ඔබේ මනෝභාවය එහෙමත් නැත්තම් Mood එක , හැමදාම එක වගේ වෙන්නේ නැහැ. යම් යම් හේතු නිසා ඔබේ මූඩ් එක සමහර දවස් වලදි වෙනස් වන්නට පුළුවන්. සමහර දවස්වලදී ඉතා කාර්යක්ෂමව වැඩ කරන ඔබට සමහර දවස් වලදී වැඩ කළ නොහැකි අලසකමක් හෝ දුර්වල කමක් දැනෙන්නට පුළුවන්. එහෙම වෙලාවකදී ඔබේ මනෝභාවය , එහෙමත් නැත්තම් මූඩ් එක වෙනස් කර ගන්නේ කොහොමද?
නැවුම් වාතය සහ ස්වභාවික ආලෝකය ලබා ගන්න

නැවුම් වාතය සහ හිරු එළිය කලබලකාරී මනෝභාවයන් ප්‍රබෝධමත් කිරීමට බෙහෙවින් උපකාරී වනවා. එලිමහනේ යම් වේලාවක් ගත කිරීම සඳහා ඔබට පොතක් කියවීම, චිත්‍රයක් ඇඳීම, දිනපොතත ලිවීම හෝ ඔබගේ සැලසුම් සකස් කිරීම ආදී කාර්යයක් තෝරා ගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් මනස සැහැල්ලු කරන සංගීතයකට සවන් දීම සඳහා අවම වශයෙන් විනාඩි පහළොවක් වත් එළිමහනය ගත කරන්නට ඔබට කාලය යොදා ගන්නට පුළුවන්. මෙවැනි කුඩා ක්‍රියාකාරකම් වලට ඔබේ මනෝභාවය ඉතා ඉක්මනින් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.
නිවැරදි නින්දක් ලබා ගන්න

ඔබේ මනෝභාවය ඉතා හොඳ තත්ත්වය පවත්වා ගැනීමට වගේම එය නරක මට්ටමකට ගෙන ඒමටත් ඔබේ නින්දට හැකියාව තියෙනවා. ඔබ ප්‍රමාණවත් සහ ගුණාත්මක නින්දක් ලබා ගන්නේ නැත්නම් පසු දිනයේදී ඔබේ මනෝභාවයෙන් නරක අතට හැරිය හැකි අතර ඔබට අලසකමක් සහ දුර්වලකමක් දැනෙන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට සෑම රාත්‍රියකදීම ප්‍රමාණවත් සහ ගුණාත්මක නින්දක් ලබා ගැනීමට වග බලා ගත යුතුයි.
හාස්‍යජනක චිත්‍රපටයක් හෝ නාට්‍යයක් නරඹන්න
ඔබේ මනෝභාවය පහළ මට්ටමක ඇති වෙලාවකදී සාමාන්‍ය චිත්‍රපටයක් හෝ නාට්‍යයක් නරඹනවාට වඩා හාස්‍යජනක චිත්‍රපටයක් හෝ නාට්‍යයක් නරඹන්න. හාස්‍යජනක චිත්‍රපට වලට හා නාට්‍ය වලට ඔබේ මනෝභාවය ඉතා ඉක්මනින් හොඳ අතට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.
ආදරණීයෙකු අමතන්න
සමහර වෙලාවට ඔබේ මනෝභාවය වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ ආදරණීය ආමන්ත්‍රණයක් පමණයි. එසේත් නැතිනම් ආදරණීයකු සමග ගත කරන කුඩා වෙලාවක් පමණයි. ඔබට ඔබේ මනෝභාවයේ යම් වෙනසක් දැනෙනවා නම් ඔබට හිතවත් සහ ආදරණීය අයෙකුගේ සහාය ලබා ගත හැකියි. එවැන්නකු සමග කෙටි දුරකථන සංවාදයක නියැලීම , කෝපි හලකට යාම හෝ ආහාර වේලක් ලබා ගනිමින් සංවාදයේ යෙදීම ඔබට කළ හැකි වන අතර ඔබ තුළ යම් දුකක් හෝ කණගාටුවක් තිබෙනවා නම් ඔබට ඔබේ ආදරණීයාගේ සහයෝගය ලබා ගත හැකියි.
කෙනෙකුට උදව් කරන්න

ඔබේ උදව් සහ සහයෝගය අවශ්‍ය අය මේ ලෝකයේ ඕනෑ තරම් සිටිනවා. ඔබ හොඳ මනෝභාවයකින් නොසිටින විට එවැනි අයකු තෝරාගෙන උදව් කිරීමෙන් ඔබට ඔබේ මනෝභාවය යම් තාක් දුරට වෙනස් කර ගත හැකියාව ලැබෙනවා. එසේත් නැත්නම් යාචකයෙකුට ආහාර වේලක් ලබා දීම හෝ වීදි සතුන්ට ආහාර වේලක් ලබා දීමත් ඔබට කළ හැකියි.
ව්‍යායාම කරන්න
ඔබේ මනෝභාවය වෙනස් කරගත හැකි ප්‍රබල ක්‍රියාකාරකමක් තමයි ව්‍යායාම කිරීම. ශාරීරික චලනයන් ලබා ගැනීම මගින් ඔබේ මනෝභාවය සැලකිය යුතු ලෙස වැඩි දියුණුකරන එන්ඩොර්ෆින් නිකුත් වනවා. බොහෝ වේලාවට විශාදය , කාංසාව සහ කනස්සල්ලෙන් පෙලෙන අයට පවා වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ දිනපතා ව්‍යායාමවල නිරත වන ලෙසයි. ඔබට ඔබේ මනෝභාවයේ වෙනසක් දැනෙනවා නම් ව්‍යායාම කිරීම , යෝගා අභ්‍යාසවල නිරත වීම , ඇවිදීම , දිවීම හෝ වෙනත් සරල ක්‍රියාකාරකමක නිරත වීම කරන්නට පුළුවන්.
Self care

ස්වයං රැකවරණය හෙවත් Self care කෙරෙහි අවධානය යොමු කිරීම ඔබේ මනෝභාවය බොහෝ දුරට වෙනස් කරවනවා.එය ඔබට සතුට ගෙන දිය හැකි හොඳම ක්‍රම වලින් එකක්. ස්වයං රැකවරණය යටතේ ඔබට බොහෝ දේවල් කළ හැකි වෙනවා. ඔබේ ප්‍රියතම කෑම වර්ගය සකස් කිරීම , රූපලාවන්‍යාගාරයකට ගොස් සත්කාරයක් ලබා ගැනීම , නියපොතු සකස් කිරීම , චිත්‍රපටයක් නැරඹීම , හොඳින් නිදා ගැනීම හෝ නිවසේදීම ඔබ වෙනුවෙන් රූපලාවන්‍ය සත්කාරයක් කර ගැනීම ස්වයං රැකවරණය කියන කාරණාවට යටතේ ඔබට කළ හැකියි. මේ ඕනෑම ක්‍රියාකාරකමක නියැළීම මගින් ඔබේ මනෝභාවය ඉතා ඉක්මනින් වෙනස් කර ගන්න ඔබට පුළුවන්.
ධනාත්මක කරුණු මෙනෙහි කරන්න

ඔබේ දිනපොත ගෙන ඔබට පසුගිය සති කිහිපය තුළ සිදුවූ ධනාත්මක දේවල් පිළිබඳව ලියන්න.ඒවා පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන්න.ඒවායින් ඔබේ ජීවිතයට සිදුවූ යහපත් දේවල් පිළිබඳව ලියන්න. ධනාත්මක දේවල් නැවත නැවත මෙනෙහි කිරීම මගින් ඔබේ ජීවිතයට ධනාත්මක දේවල් වීම ආරම්භ වන අතර සෘණාත්මක මනෝභාවයන් ඔබ වෙතින් පලා යාම සිදු වනවා. මෙවැනි ක්‍රියාවන් ඔබේ මනෝ භාවය දුර්වල අතට හැරුණු විට පමණක් නොව ඔබේ මනෝභාවය හොඳ තත්ත්වයේ තිබෙන විට පවා කළ යුතු දේවල්.
ඔබේ අවකාශය වෙනස් කරන්න

ඔබ නිවසේ වැඩිපුරම ගත කරන ස්ථානය ඔබේ නිදන කාමරය වන්නට පුළුවන්. ඔබේ මනෝභාවය වෙනස් වන විට ඔබට කළ හැකි තවත් දෙයක් තමයි ඔබේ අවකාශය වෙනස් කිරීම.මේ අදහස් කරන්නේ ඔබ වැඩි වෙලාවක් ගත කරන ඔබේ නිදන කාමරය අස් කිරීමම නෙමෙයි. ඔබේ ඇඳ , ඔබ වැඩ කරන මේසය , ඔබ පොත් කියවන ස්ථානය සහ ඔබේ අල්මාරිය ආදී දේවල් තිබෙන ස්ථාන වෙනස් කරන්න. ඔබේ නිදන කාමරයට ඔබේ මනසට සැහැල්ලුවක් ගෙන දෙන දේවල් එකතු කරන්න. ඔබට අලුත් හැඟීමක් ලබා දෙන ආකාරයට සියල්ල වෙනස් කරන්න.
මනෝභාවය කියන්නේ සෑම වෙලාවකම එක ලෙස පවතින දෙයක් නෙමෙයි.ඔබේ ජීවන රටාව , ඔබේ කාර්ය බහුල කම සහ වෙනත් හේතූන් මත එය වරින් වර වෙනස් වන්නට පුළුවන්. නමුත් එවැනි දුර්වල මනෝභාවයන්ට ඔබේ සාමාන්‍ය ජීවිතයට බලපෑම් එල්ල කිරීමට ඉඩ ලබා දිය යුතු නැහැ.ඒ නිසා ඔබේ මනෝභාවය දුර්වල වන විටදී ඔබට කල හැකි සරල දේවල් කිහිපයක් පිළිබඳයි අපි මේ ලිපියෙන් ඔබට කරුණු ගෙන ආවේ.