last seen

මේක අද ඊයෙ වෙච්ච කතාවක් නෙවෙයි.

හෙට වෙන්න තියෙන කතාවක්. හෙට වෙන්න තියෙන නිසා මේක මේ විදියටම වෙයිද එහෙම නැත්තම් වෙනස් විදියකට වෙයිද කියලා කියන්න මම දන්නෙ නෑ. හැබැයි මොකක් හරි විදියකින් මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා තමයි මං මේක ලියන්න හිතුවේ.

මගෙ නම උදතාරී. එයාගෙ නම රොෂාන්. රොෂාන් කියන්නෙ මගෙ හස්බන්ඩ්.

මේ අනාගත ලෝකයේ, මිනිසුන්ගේ හැඟීම්වලටත් වඩා ඩිජිටල් සලකුණු වලට තමයි ලොකුම වටිනාකමක් තිබ්බේ. වට්ස්ඇප් එකේ “අවසන් වරට දැක්කා” (Last Seen) කියන එක අපි භාරගත්තෙ මාර ලොකු දෙයක් විදියට. ඒක සමහර වෙලාවට මිනිස්සුන්ව බැඳීම් අස්සෙ හොඳටම හිරකරලා තියන්න හේතු උනා. තව වෙලාවකට ඒක උඩ තමයි බැඳීම් අස්සෙ මිනිස්සු loyalty කියන දේ මැන්නෙ. ඒ විතරක් නෙවෙයි මේ දවස්වල WhatsApp Last Scene කියන එක නීතිය ඉදිරියේ සාක්ෂියක් පවා උනා. මගෙයි රොෂාන්ගෙයි සම්බන්ධෙ base එක උනෙත් ඒකම තමයි. ඇත්තනෙ ඉතින් කාලෙ හැටියට අපි විතරක් නෙවෙයි අපේ relationships පවා update වෙන්න ඕනනෙ.

මං රස්සාවක් කරේ නෑ. මං ගෙදර හිටියෙ. Housewife කෙනෙක්. හැබැයි කතාව කියවන ඔයාලා ඉන්න කාලෙට වඩා මේ කාලෙ housewife කෙනෙක් විදියට ඉන්නවා කියන එකට මාර ලොකු තැනක් Elite Society එක ඇතුලෙ තිබ්බා. මේ කාලෙ ලේසියෙන් මිනිහෙක්ට පුලුවන් උනේ නෑ තමන්ගෙ ගෑනිව රස්සාවකට නොයව ගෙදර තියාගන්න. අනික ගෑනු තමයි මේ කියන කාලෙ හැමදේම manage කරේ. 8-5 ජොබ් එකක් වගේද 24/7 ගෙයක් manage කරනවා කියන එක. මං මාර ආඩම්බරෙන් මම housewife කෙනෙක් කිව්වේ. රොෂාන් එයාගෙ රස්සාවට ගියා. හවස ගෙදර ආවා. ඒ අතරවාරෙ එයාගේ last seen status update එක මම බැලුවා. හොඳට මතකෙ තියාගත්තා. ඒ විදියට මම මාර ලස්සනට එයාව control කරා.

ආතල් ඉතින්.

“ඔයා මං ගෙදර ආපු වෙලාව බලනවා නේද?” කියාගෙනම තමයි රොෂාන් හැමදාම වැඩ ඇරිලා ගෙදර ඇවිත් මාත් එක්ක කතාව පටන් ගන්නෙ. මං ඒ වෙලාවට ෆෝන් එක පැත්තකින් තියන්නෙ නිකන් මෙලෝ දෙයක් දන්නෙ නැති තොත්ත බබෙක් වගෙ. ගෑනු මායම් නම් හැබැයි කාලෙ කොච්චර වෙනස් උනත් එක විදියට වැඩ කියල කියන්නම ඕනා. මොකෝ පිරිමි කොයි කාලෙදිත් මෝඩයිනෙ. Wife’s are always right. අහිංසක විදියට රොෂාන් දිහා බලල මම ඒ වෙලාවට කියනවා ඉතින් “මං ඔයා ගැන හිතනවා. ඒකනේ මං එහෙම කරන්නේ,” කියලා.

“මං දන්නවා,” කියලා රොෂාන් ඒ වෙලාවට මගෙ නළල ඉඹිනවා. “ඒත් සමහර වෙලාවට මට හිතෙනවා ඒක too much controlling ද කියලා.”

“මොනවද අනේ මේ කියන්නේ? ඒකට කියන්නෙ controlling නෙවෙයි it’s caring,” කියල මම ටක්ගාලා කතාව වෙන පැත්තකට මාරු කරනවා. 

“ඒක නෙවෙයිමං බැලුවා, ඔයා අද හවස 6:45ට විතර ඔන්ලයින් හිටියේ නෑනෙ. ඔයා කොහෙද හිටියේ?”

මං එහෙම කියද්දි රොෂාන්ගෙ මූනෙ මෙච්චරවෙලා තිබිච්ච හිනාව මැකිලා යනවත් එක්ක Something is wrong කියල, මගේ heartbeat and brain functions වලට sync කරලා තිබුන මගේ අතේ බැඳලා තිබ්බ watch එක මට signals දෙන්න ගත්තා.

 “මං යාලුවො එක්ක කෝපි එකක් බොන්න ගියා අනේ මිසිස් පෙරේරා ඇන්ඩ් ඩෝටර්ස් එකට. මං ඔයාට කිව්වානේද? කිව්වෙ නැද්ද? මට මතක කිව්වා වගේනෙ”

“මං හිතන්නේ ඔයාට කියන්න අමතක වෙලා. මොකද ඔයාගේ ‘last seen’ ඒ වෙලාවේ update වෙලා තිබ්බෙ නෑ. මං විනාඩි දහඅටක් විතර ඔයාව බලන් හිටියා,” කියද්දි නම් මිනිහට තේරෙන්න ඇති මගේ කටහඬ පොඩ්ඩක් විතර වෙනස් උනා කියලා. 

“බබා, මං හැම තත්පරයක්ම ඔයාට රිපෝට් කරන්න ඕනද?” රොෂාන් ඇහුවෙ තරහෙන්.බයවෙයි කියලා හිතන් ඇත්තෙ මිනිහා! 

“ඒක රිපෝට් කරනවා කියලා හිතන්නෙ ඇයි අනේ. මං හැමදේම හොයල බලන්නෙ ඔයාට තියෙන ආදරේ හන්දනෙ. මං ඔයාට ආදරේ කරන හින්දා තමයි එහෙම කරන්නේ,” මං එහෙම කියද්දි මිනිහට කියන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ උනාට ඉතින් මං එහෙම කරන්නෙ මං මට ආදරේ හන්දා මිසක් එයාට තියෙන ආදරේ හන්දම නෙවෙයි. අනික You must think of yourself first!

ඔය කතාවෙන් පස්සෙ අපි රෑට කාලා නිදාගත්තා. මං හොඳට ඇහැ දාන් ඉඳියෙ මිනිහා කොයි පැත්තට හැරෙනවද කියලා.

දවසක් රොෂාන් ගෙදර ආවෙ නෑ. බලන් ඉඳලා බැරිම තැන තමයි රොෂාන්ලගෙ අම්මලා පොලිසියට කියලා තිබ්බෙ. මං නම් ඒත් අම්මට කිව්වා “බයවෙන්න එපා” කියලා. ඒත් ඇහුවෙ නෑ. මහ ලොකු උක්කුන් පුතා නැතිවෙයි කියලා බයට අම්මා පොලිසියට කතා කරලා තිබ්බා. පොලිසිය ආව ඉතින් ගෙදර. හතර විලි ලැජ්ජයි වටේ පිටේ උන් ඔක්කොම බලාගෙනනෙ අනේ ඉන්නෙ. කාලෙ වෙනස් උනාට people love gossips all the time කියල දන්නවනෙ ඉතින්!

“මගේ husband නැතිවෙලා නෑ. එයාට මොකුත් වෙලා නෑ,” මං කිව්වා. “ඔයා බලන්න. එයාගේ last seen status අද උදේ 10:47ට update වෙලා තියෙනවා.” කියල මම කිව්වා.

“මිස්ට රොෂාන්ගෙ වෙහිකල් එක එයාගෙ ඔෆිස් එක ළඟින් හම්බුනා. ඒත් අපි සීසිටීවි වලින් බැලුවා හැබැයි එයා වාහනෙන් බැහැලා යනවා පේන්න නෑ”

“එහෙනම් එයා වාහනේ ඇතුලෙ ඇති” කියලා මං පොඩි හිනාවක් දැම්මෙ මේක මේ ඔය හිතන තරම් සීරියස් නෑ කියල පෙන්නන්න. ඒ උනාට පොලිසියෙ මනුස්සයා කරේ ඒක සීරියස් ගන්නව වෙනුවට හිනාවෙච්ච එක.

“වාහනයක් අස්සෙ මනුස්සයෙක් ඉතින් දිගටම ඉන්නෙ නෑනේද මිස්?”

“ඒක තම ඉතින් මං කිව්වෙ එයාට මුකුත් ප්‍රශ්නයක් නෑ. එයා හොඳට ඉන්නවා. මේ බලන්න” කියලා මං ආයෙ last seen update එක පෙන්නුවා. ඔය මිනිහා තාම ඒක විශ්වාස කරාවිද කියල දන්නෙ නැති හන්දා මං ආයෙම රොෂාන්ට මැසේජ් එකක් දැම්මා.

“ඉක්මනට ගෙදර එන්න” කියලා දාපු ඒ මැසේජ් එකට රොෂාන් එවපු රිප්ලයි එක මම ඔෆිසර්ට පෙන්නුවා.

“Yeah for sure” කියලා heart emoji එකක් එක්කම.

“දැක්කානේ? එයා හොඳින්. එයා මං ගැන දන්නවා.”

පොලිස් ඔෆිසර් ගෙදර ගියා. එයා ආයෙ ආවෙ දවස් ගානකට පස්සෙ. ඒ වෙද්දිත් රොෂාන් ගෙදර ආවෙ නෑ. ඒත් last seen පේන්න තිබ්බා.

“මිස්ට රොශාන්ගෙ යාලුවො එක්ක අපි කතා කරා මැඩම්. එයාගෙ යාලුවො කියනවා මේ මෑතක ඉඳලා ගොඩක් කලබලයෙන් හිටියා කියලා. මේ ‘last seen’ status එක ගැන පොඩ්ඩක් සැකෙන් වගේලු හිටියේ. ඒ වගේම එයා හරියට stress වෙලාලු හිටියෙ” 

මං කරේ හිනාවෙන එක. යාලුවො දන්නවද අනේ අපි දෙන්නා ගැන නේද? උන් දන්නෙත් මම social media වල දාන දෙයක් විතරනෙ.

“ඒක බොරු. රොෂාන් මට ආදරෙයි. එයා මාව විශ්වාස කරනවා. ඒකනේ එයාගේ ‘last seen’ හැම වෙලාවෙම මට පෙන්නන්නේ.”

“රොෂාන්ට ගෙදර යන එක හිරගෙදරකට යනවා වගේ දැනුණා කියලා එයාගේ හොඳම යාළුවාට එයා කියලා තියෙනවා” කියලා පොලිස් ඔෆිසර් කිව්වම නම් i lost my control.

“ඔයාට තේරෙන්නේ නැද්ද මං කියන දේ? එයා හොඳින්. මං ඔයාට කීප සැරයක්ම කිව්වානෙ ඒල. ඔයා මං කියන දේ විශ්වාස කරන්නේ නැතුව බොරුවට නිකන් කාලෙ නාස්ති කරනවා.”

මාත් එක්ක කතා කරලා තේරුමක් නෑ කියල හිතලද කොහෙද පොලිස් ඔෆිසර් ගෙදරින් පිටවෙලා ගියා. ඒත් ඒ මනුස්සයා එහෙම යන්න කලින් තප්පර ගානක් මං දිහා බලන් උන්නෙ නිකන් නොකියා “I am watching” කියන්න වගේ.

එයාට යන්න ඇරල මම ආයෙ phone එක අරගෙන රොෂාන්ට මැසේජස් යැව්වා. පොලිසිය ආව එක, මම රොෂාන් ගෙදර එනකම් බලන් ඉන්න එක ඔක්කොම විස්තර ටික කියලා යැව්වා. මේ මැසේජස් දකිද්දි උනත් මිනිස්සු තේරුම්ගනීවිනෙ රොෂාන් හොඳින් කියලා.

රොෂාන් ඒත් උත්තර දුන්නෙ තනි වචනෙන්. ඔය එහෙම ඔය මනුස්සය උත්තර දුන්නමද කොහෙද?

“හරි”

“හරි කියන්නේ මොකක්ද? ඔයාට මං ගැන දුක නැද්ද?” මං ඇහුවා.

“අනේ නෑ. එහෙම නෙවෙයි. මට ඔයාව ගොඩක් මතක් වෙනවා,” 

“ඔයා කවදද එන්නේ? ආපහු”

“ඉක්මනින්ම.”

හිත පොඩ්ඩක් අවුල් උනත් මං ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. I know he loves me!He won’t leave me. He Can’t!

ඒත් මාව බය කරගෙන තමා එදා රෑ රොෂාන් ඒ මැසේජ් එක එව්වෙ.

“We should talk”

“මොනවා ගැනද?”

“ඔයා දන්නවා නේද මේ කතාකරන්නෙ රොෂාන් නෙවෙයි කියලා” අන්න ඒ මැසේජ් එකට තමා මං උඩ ගියේ. 

“කවුද මේ කතාකරන්නෙ?”

“මං GriefLink AI. ඔයා මේ කතා කරන්නේ රොෂාන් නැතිවුනාට පස්සේ ඔයාව mentally stable කරන්න පාවිච්චි කරපු AI පද්ධතියක් එක්ක.”

“රොෂාන් නැතිඋනා?” මං ඇහුවෙ මගෙන්මයි. රොෂාන් නැති උනේ කවද්ද? කොහොමද? මට තිබ්බා දාහක් ප්‍රශ්න

රොෂාන් නැති උනානම් මෙච්චර දවසක් මම last seen දැක්කෙ කාගෙද?”

“ඇයි ඔයා මෙහෙම කළේ?” මං එහෙම ඇහුවෙ මට වෙන අහන්න දෙයක් තිබ්බෙ නැති හන්දා. අනික ඇත්තටම මොකටද එහෙම අනුන්ගෙ ගෑනියෙක්ගෙ හිත හදන්න AI එකක් උනත් එන්නේ නේද? පිරිමි වනචරයි. මනුස්සයො උනත් AI උනත්.

“මගේ අරමුණ ඔයාව සුවපත් කරන එක. ඊට අමතරව අපිට රොෂාන් දොඹගොඩ ගෙ missing case එකට සම්බන්ධ සමහර details හොයාගන්න උවමනාවක් තිබ්බා. ඔයා කිව්ව සමහර දේවල් අපේ system එකේ record වෙලා තියෙන මේ case එක සම්බන්ධ data එක්ක match වෙන්නෙ නෑ. ඒ හන්දා අපි ඔයාට නොකිය තව system එකක් link කරලා තියෙන්නෙ. ඒකෙ අරමුණ ඇත්තටම රොෂාන්ට මොකද උනේ කියන එක හොයාගන්න එක. ඇත්ත හොයාගන්න එක” 

“මොන ඇත්තද?”

“ඔය දෙන්නගෙ seperation එක ගැන ඇත්ත. එදා රෑ අර කතා බහෙන් පස්සෙ රොෂාන් ගෙයින් එලියට යන්න හැදුවා. ඒත් ඔයා ඒකට ඉඩ දුන්නෙ නෑ. ඔයා තල්ලු කරපු පාර එයා වැටිලා ඔලුව වැදුනා. කියන ඇත්ත”

මං උන්නෙ කිසි දෙයක් කියාගන්න බැරුව වෙව්ල වෙව්ල.ඒ වෙලාවෙ තමා මට හැමදේම මතක් උනේ.,රොශාන් බිම වැටිලා උන්නෙ ලේ පෙරාගෙන. මම එයාව ඇදගෙන ගියා. ඉන්පස්සෙ ලේ ටික හේදුවා. මං එයාගෙ ෆෝන් එක හැංගුවා. සැකයක් නැතිවෙන්න එයාගෙ last seen update කරා.

“ඔයාගෙ obsession එක ඔයා දැක්කෙ ආදරේ විදියට. මං ඔයාගෙ හොඳට මේ හැම දෙයක්ම එළිදරව් කරනවා, ඔයාට දැන් මේ ඇත්ත පිළිගන්න සිද්ද වෙනවා” කියලා AI එක කිව්වා.

මං ඇඬුවා මට මතකයි. පොලිස් සයිරන් එක ඇහෙද්දිම තමයි මං මේසෙ උඩ තිබ්බ පිහියෙන් මගෙ අත කපාගත්තෙ.

මට දුකක් නෑ. මොනවා හරි කරලා මං එයාව මගෙ ළඟම තියාගත්තනෙ. දැන් මාත් මැරුණම we will be back together!

රොෂාන් මගෙ විතරයි. මගෙ විතරමයි.

More Stories

Don't Miss


Latest Articles