සන්තාන සුසුම් සර – 53

0
3

යසස්වි වෙතින් කෑම රුචිය පලා ගියේ ය. ශක්තිමත් ව සිටිය යුතු බව ඈ දැන සිටියා ය. ඇගේ යටි හිත නිරන්තර හිස ඔසවා බලා ඒ බව ඇයට අලුතෙන් මතක් කරමින් ද සිටියේ ය. නමුත් සියල්ල වූයේ ඇගේ පාලනයෙන් තොරවයි.

පියා ට යළි ජීවිතය ගෙනවිත් දෙන ලෙස ඉල්ලමින්, නො පෙනෙන බලවේග වල පිහිට යදිමින් දවස පුරා ඒ මේ අත දිව යාම නිසා ඇගේ කායික ශක්තිය පිරිහෙන්නට ගති. තුසිතය ට ඇගෙන් සිදු වෙන්නට යන වරද ගැන වන මානසික පීඩනය තව දුරටත් ඈ දුර්වල කරවී ය.

‘වෙඩින් එක කල් දාන්න වෙන එක ගැන ඔයා පොඩ්ඩක්වත් හිතන්නෙපා. ඔයාගෙ තාත්ත මෙහෙම තත්වෙකින් ඉද්දි අපි කොහොමද වෙඩින් එකක් අරං සතුටු වෙන්නෙ. මං කීයටවත් එහෙම දෙයක් කරන්නෑ යසස්වි. ඒ ගැන හිතල ඔයා හිතට වද දීගන්නැතුව ඉන්න හොඳ ළමය වගේ’

අස්විද ඇගේ හිස පිරිමැද්දේ පියෙකු ගේ ස්නේහයෙනි. යසස්වි ඔහු ගේ අත ගෙන මුවට තද කොට සිප ගත්තේ ය.

‘අනේ මට හරි දුකයි අයිය’

ඇගේ දෑසින් කඳුළු කඩා හැළිණි.

‘මං මහ අවාසනාවන්ත කෙල්ලෙක් අප්ප. මං නිසා කාටවත් සතුටක් සැනසීමක් නෑ. තාත්ත හිටියෙත් මං නිසා හිතේ කරදරෙන්. දැන් ඔයාටත් එහෙමයි. මට තේරෙනවනෙ. ඔයාගෙ අම්මල හැම දේම ලෑස්ති කරගෙන… දැං එයාල ඉන්වයිට් කරපු අයට මොනාද කියන්නෙ…මං නිසා තමයි මේ ඔක්කොම…’

‘මේ අහන්න ඉතිං. ඉන්වයිට් කරපු අයට කියන්න පුළුවන් ඔයාගෙ තාත්තගෙ තත්වෙ. ඕඩර් කරපු දේවල් කල්දාගන්නත් අපිට පුඵවන්’

‘ඒත් නැකත් වලට දේවල් කරන්න බැරිවෙන එක ගැන ඔයාගෙ අම්මල අවුල් යයි. ආන්ටිට ඔයාගෙ වෙඩින් එක ගැන තිබුණ බලාපොරොත්තු මං දන්නවනෙ. මට මගෙ දෙමව්පියන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්නත් බැරි වුණා… ඔයාගෙ දෙමව්පියන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්නත් බැරි වුණා’

‘යසස්වි… අපි දෙන්න අපිව තේරුං අරං ඉමු. අනිත් අය හිතන විදිහ ගැන වද වෙන්නැතුව ඉමු. මෙතන ඔයාගෙ කිසිම වරදක් නෑනෙ’

‘ඒත් මට බයයි අයියෙ… ඒගොල්ලොන්ටත් මාව එපා වුණොත්…’

‘එහෙම වෙන්නෑ. අනික එහෙම වුණත්… කාට එපා වුණත් ඔයාට මං ඉන්නව. ඒ මදිද… අපි හිත හයිය කරගෙන මේකට ෆේස් කරමු. ඔයා නැකත් දවස් පහු වෙන එක ගැන බින්දුවක්වත් වද වෙන්න එපා’

ජීවිතය සොහොන් පිටියක් වාගේ වී තිබෙන වෙලාවක අස්විද සෙත් පිරිතක් සේ ඇයට දැනුණු බව ඇත්ත ය. නමුත්    විවාහ උත්සවය සඳහා නියම කරගත් දිනයට දින කිහිපයක් තිබියදී, හවස රෝහලේ සිට ගෙදරට ගොඩ වූ ගමන් යසස්වි ට සිරුරෙහි වෙනසක් දැනිණ. එකවර සියල්ල කැරකී යනුත් අඳුරකින් ඈ වැසී යනුත් පමණක් ඇයට මතක ය.

ඈ බිම පතිත නොවුණේ ඊට පෙර යසස් විසින් අල්වාගනු ලැබූ බැවිනි. මුහුණට වතුර ඉස, පවන් සලා යළි සිහිය ලද ද යසස්වී රෝහල් ගත කළ යුතු ය යන්න සාවිත්‍රි ට සේ ම යසස් ට ද සිතුණ දේ ය. ඒ අනුව ඇයව පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණි.

අස්විද ගේ විවාහ උත්සවයට පෙර සිය නිවසට පදිංචියට යාමට චේතිය ට අවැසි විය. විවාහයෙන් පසු නව යුවළට තුසිතය තුළ නිදහසේ සිටිනට අවස්ථාව තිබිය යුතු ය කියා ඔහු තරයේ විශ්වාස කළේ ය. නැතහොත් නිලූකා ගේ අනවශ්‍ය අතපෙවීම් නිසා යසස්වි ගේ අලුත් ජීවිතයට බලපෑමක් විය හැකි බැව් ඔහු ඉඳුරා දැන සිටියේ ය.

‘අපේ ගෙදරට ගියාට පස්සෙවත් අම්ම ටිකක් වෙනස් වෙන්න. තාත්තට කනක් ඇහිල ඉන්න දෙන්න. හැම එකටම පරණ කාලෙ ගෑනු කෙනෙක් වගේ කියවන්න යන්නැතුව… තාත්තට වුණත් එපා වෙන්නැති විදිහට ඉන්න’

අලුත් ගෙදරට බඩු අදින්නට නියමිත දිනට පෙර දා සන්ධ්‍යාවෙහි දී, පිටත මුළුතැන්ගෙය අසලට වී හිඳ සනුක නිලූකා ගෙන් ඉල්ලීමක් කළේ ය. ඇය ඔහු දෙස බැලූයේ නළල රැලි නංවාගෙනයි.

‘කවුද එයාද කිව්වෙ මට එහෙම ඉන්න කියල… කියහං මගෙ කන්දොස්කිරියාවත් එක්ක එයාට දැන් ජීවත් වෙන්න බෑ වගේනං මට හොඳ වන්දියක් දීල දික්කසාද කරන්නයි කියල. කොහොමත් දැන් ඔය ගෙදරට ගියාට පස්සෙ මගෙ අතට සොච්චමක් එන මාර්ගෙකුත් නෑනෙ. උඹල ඔක්කෝටම මගෙ කටේ තමයි වැරැද්ද තියෙන්නෙ’

‘අයියෝ… මොකද්ද අප්ප ඔය කියවන හැටි. අම්මට මුකුත් කියල තේරුං කරන්න බෑනෙ’

සනුක එතැනින් නික්ම ගියේ මඳ කේන්තියකිනි. ඔහු මෙවැනි යෝජනාවක් කරන්නට ඉදිරිපත් වූයේ ම පසු ගිය කාලය තුළ පියා ගැන තනිව කල්පනා කිරීමෙනි. අම්මා හා තාත්තා අතර වන චර්යාමය නො ගැලපීම් වඩාත් හොඳින් ඔහු ට පෙනෙන්නට ගත්තේ අස්විද බාප්පා හා යසස්වී ව සමීප ව දැකීමෙනි. තාත්තා ගේ මුදල් පසුම්බියෙහි තිබී අම්මා ට රන් ආභරණ බිලක් හමු වූ වෙලාවේදී හිතට දැනුණු ගැස්ම සනුක ට මතක ය. ඒ වෙලාවේ අම්මා දෙස් දෙවොල් දෙත්දී හා හඬා වැටෙත්දී ඔහු ට ඈ ගැන අනුකම්පාවක් දැනිණි. ඇත්තට ම අම්මා චෝදනා කරන පරිදි තාත්තා ට වෙනත් සබඳකමක් වන්නේ නම් ඔහු මේ විවාහය බිඳ දමා නික්ම යනු ඇතැයි සනුක භීතියට පත්ව සිටියේ ය. සිය පවුල බිඳී විසිරී යනු ඇතැයි සිතීම පවා ඔහු ට ඉමහත් වේදනාවක් හා භීතියක් ගෙන ආවේ ය. නමුත් ඒ සිදුවීමෙන් යම් කාලයක් ගත වී තිබෙන මේ මොහොතේ දී සිය ළදරු ආත්මයෙන් බැහැර වී වැඩිහිටියෙකු ලෙස ප්‍රශ්නය දෙස බැලීමේ උනන්දුවක් සනුක තුළ ඇතිව තිබේ. තාත්තා ට ජීවිතයෙහි වැදගත් ම කාර්තුවක් අහිමි වී තිබෙන බැව් එහෙම සිතත්දී ඔහු ට පෙනෙමින් තිබේ!

අලුත් ගෙදරට චේතියලා ගේ බඩු අදින්නට විජිත සේ ම වජිරා ද වෙහෙස වෙමින් සිටියහ. තුසිතයට අයිති ව තිබූ ඇතැම් ගෘහ භාණ්ඩ ද වජිරා සිය කැමැත්තෙන් ම ලොකු පුතා වෙනුවෙන් නිලූකා ට පවරා දුන්නා ය.

‘පොඩි ලේලි අලුත් බඩු ගෙනෙයිනෙ. ඒකට අම්ම ගේ හිස් කරනවද කොහෙද…’

නිලූකා එහි ද හොඳක් දකිනු වෙනුවට කළේ ඇනුම් පදයක් කියනා එකයි.

‘නිලූකා… මගෙ මහත්තය මගෙං දෑවැද්දක් ඉල්ලුවෙත් නෑ. මගෙ කොල්ලො දෙන්නව අපි ගෑනුංගෙ දෑවැද්දෙං ජීවත් වෙන විදිහට හැදුවෙත් නෑ. නිලූකා එද්දිත් දෑවැද්දක් අරං ආවෙ නෑ කියල මතක ඇතිනෙ. ඉතිං යසස්වි මොකටද දෑවැදි ගේන්නෙ… තුසිතෙ තියන බඩු පරණයිනං ඒගොල්ලොන්ට අලුත් දේවල් ඕනනං ඒ දෙන්නත් එක්ක එකතු වෙලා ඒව කරගනියි’

ඉන් නො නැවතී සිය ලේලියට අවවාදයක් දෙන්නට ද වජිරා මේ අවස්ථාව කරගත්තා ය.

‘ඔයත් දැන් මේ අලුත් ගෙදර අලුත් ජීවිතයක් පටං ගද්දිවත් අලුතෙන් හිතන්න බලන්න. දැන් ඔයාගෙ පුතාල ලොකුයි. ඒ දෙන්නත් තව වැඩි කාලයක් නොයා එයාලගෙ ජීවිත හොයං යයි. ඔයාට ඉතුරු වෙන්නෙ ඔයාගෙ මහත්තය. එයාට ඔයා. ඒ නිසා ඔය දෙන්න අතරෙ ඔයිට වැඩිය ආදරයක් ගෞරවයක් ඇතුව හැසිරෙන්න බලන්න’

 යසස්වි ගිලන් වී රෝහල් ගත කළ බවට සාවිත්‍රි ගෙන් අස්විද ට දුරකතන ඇමතුම පැමිණියේ ඒ හැන්දෑවේ ය. අස්විද ද රයන් ද චේතිය ගේ සහායට එහි වූහ. යසස්වි රෝහල් ගත කළ බව දැනගත් ගමන් අස්විද ට අනුරාධපුරයේ යාමට අවශ්‍ය විය.

‘දැන් රෑ වේගෙන එනවනෙ පුතා. ගියත් රෑ ජාමෙකනෙ එහෙට යන්න වෙන්නෙ. උදේ පාන්දරින් මෙහෙන් පිටත් වුණොත් මොකද…’

විජිත කල්පනා කරමින් වඩා හොඳ මාර්ගය පෙන්වූයේ ය. නමුත් අස්විද ට යසස්වි ගේ තත්වය දෑසින් නො දැක රැයක් පහන් කිරීමේ හැකියාවක් වූයේ නැත.

‘හරි. එහෙනං උඹ තනියම යන්නෙපා. මං එන්නං’

රයන් මිතුරා වෙනුවෙන් ඉදිරිපත් වූයේ ය. කලබල වූ හිතකින් අස්විද ඒ තරම් දුරක් රිය පැද යාම ගැන රයන් ගේ සතුටක් වූයේ නැත.

‘අනේ ඒකනං ලොකු උදව්වක් පුතා. මටත් දැං මහන්සි වෙලා නිසා පැය ගාණක් ඔය ගමන යන්න බෑ. නැත්තං මටත් යසස්වි බලන්න යන්නෝනෙ’

‘නෑ නෑ අම්ම දැන් යන්න ඕන නෑ. කොහොමත් එයාගෙ තත්වෙ බලල එහෙම වුණොත් මං යසස්විව මෙහෙ අරං එනව’

එය අයිතිවාසිකමක් හා වගකීමක් පිළිබඳ හැඟීමක් කළ ප්‍රකාශයකි. චේතිය සොයුරා ගේ උරහිසකට තට්ටුවක් දැම්මේ මේ වෙලාවේ ඔහු තනි වී නැති බවට අදහසක් දෙමිනි.

‘මාත් එන්නද බාප්පෙ යන්න…’

සනුක ද ස්ව කැමැත්තෙන් ම ඉදිරිපත් වූයේ ය.

‘ඔව් සනුක යන්න. ඒක හොඳයි’

චේතිය ඒ යෝජනාව ස්ථිර කළෙන් ගමනට සනුක ද එකතු විය.

රිය පැදවූයේ රයන් ය. අස්විද ගේ සිත කැළඹී තිබිණ. දැන් ඉතින් විවාහ උත්සවයක් ගන්නවා කියන්නේ හිතළුවක් පමණකි. ගෙදරින් පිටත් වෙත්දී අස්විද සාවිත්‍රි ට ඇමතුමක් දුන්නේ ය.

‘ලොකු අමාරුවක් නෑනෙ… පුතා මේ කලබලේ දුවං එන්නැතුව උදේට ආවනං හරි ඉතිං… ඒත් දැන් මගටත් ඇවිත්නෙ’

‘නෑ අම්ම මං එන්නෝනෙ දැන්ම. යසස්විව මං කොළඹ එක්කං එනව අම්ම. කා එකේ එන්න අමාරුනං ඇම්බියුලන්ස් එකක් හයර් කරං හරි’

‘පුතා එන්නකො. ආවහම අපි කතාකරමු’

දැන් ඉතින් යසස් ට මේ දේවල් සැඟවිය නො හැකි බැව් සාවිත්‍රි ට දැනෙන්නට විය. රෝහල් කුටියෙහි දියණිය ළඟ සිටි ඕ, පැටලුම් ලිහාගත යුතු බව සිතුවා ය. යසස්වි සිටියේ නින්දේ ය. ඇගේ සිරුරට සේලයින් දියර ලබා දෙමින් තිබේ. කරදර එන විට එන්නේ තනිව නොව පෝලිමේයි කියන කතාව සැබෑවක් යයි සාවිත්‍රි ට සිතේ. ඇය යසස් ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

‘පුතා කොහෙද ඉන්නෙ… ඔයා දැන් මෙහෙට එනවද…’

‘ඇයි අම්මෙ මොකද වෙලා තියෙන්නෙ…’

ඔහු ගේ සිතට ද දෙගිඩියාවක් දැනිණ.

‘නෑ කලබල වෙන්න දෙයක් නෙවෙයි. මට ඔයාට කියන්න දෙයක් තියනව’

‘මං එන්නං’

අම්මා කෙනෙකුට, බිරිඳකට, ජීවිතයේ යම් මොහොතක මේ වාගේ ගින්නකට හසු වන්නට සිදු වෙතැයි මේ වනතුරු ඇය සිතා තිබුණේ නැත. නමුත් මුහුණ දෙනවා විනා මේ කිසිවකින් පලා යා නො හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here