ඇයි සැකද?

බොරැල්ලේ තියෙන ගෑනු ළමයින්ගේ හොස්ටල් එක එච්චර ලොකු, ෆැන්සි තැනක් නෙවෙයි. ඒත් ඒ හොස්ටල් එකට තිබ්බා මහ ලොකු ඉතිහාසයක්. හොස්ටල් එක  තිබ්බේ රතු පාට  තාප්පෙකින් වටවෙච්ච කොන්වන්ට් එකක් පිටිපස්සේ, කොට්ටම්බා ගස් ගාලක් අස්සෙ හැංගිලා. අතෑරලා දාපු ගෙයක් වෙන්නැති කියලා හිතලද මන්දා සමහරු ඒකෙ බිත්තිවල එක එක පෝස්ටර් පවා අලවලා තිබ්බා. මලකඩ කාපු කොළ පාට යකඩ ගේට්ටුව, ඒක ඇරලා ඇතුළට ගියහම පේන්න තිබ්බ බොරළු පාර, ලී පොළොවක් තිබ්බ ඉස්තෝප්පුව මේ හොස්ටල් එකට එන, හොස්ටල් එක දකින ඕන කෙනෙක්ගෙ හිත අස්සෙ එකම එක කතාවක් කියන්න හේතුවෙච්ච තැනක් වුණා.

“ටිකක් creepy නේද?” කියලා එලියෙන් බලන අය හිතුවට හොස්ටල් එකේ ගොඩක් කෙල්ලො නතරවෙලා උන්නා.

හරිම ලොකු Silence එකක් තමයි හොස්ටල් එකක් වුණාට ඒකේ තිබ්බේ. සාමාන්‍යයෙන් ගෑණු ළමයි ඉන්න හොස්ටල් එකක් කිව්වම ඒකෙ තියෙන්න එපාය සද්ද බද්ද, කච කච සද්ද. ඒ වුණාට මේ හොස්ටල් එකේ තිබ්බෙ නිකන් පිහාට්ටක් බිම වැට්ටත් ඇහෙන ලෙවල් එකේ silence එකක්.

හොස්ටල් එකේ උඩ තට්ටුවේ කොරිඩෝවේ අන්තිමටම තිබ්බේ 6 වැනි කාමරේ. ඒ කාමරේ අයිති වුණේ නදීෂා, ෂෙහානි සහ තරුෂි කියන කෙල්ලො තුන්දෙනාට.

නදීෂා තමයි මේ කාමරේට අලුතෙන් ආපු කෙනා. මාතලේ ඉඳන් කොළඹට ආපු, හරිම නිහඬ කෙල්ලෙක්. හොස්ටල් එකට එයාව ඇරලවන්න ආපු දවසේ එයාලගේ අම්මා හරි බයෙන් උන්නේ “අනේ මන්දන්නෙ නෑ ළමයො ඔයා කොහොමද ඉඳීවිද කියලා, ගෙදරත් තනියම කාමරේක උන්න එකේ මේ share කරගන්න rooms ඔයාට ගැලපේද?” කියලා. තාත්තා නම් බැලුවෙ ඇඳ ළඟ plug points කීයක් තියෙනවද, ඒව වැඩද, කොටු pin ද, රවුම් ඒවද කියලා.

ෂෙහානි කියන්නේ second year Mass Comm student කෙනෙක්. ෂෙහානි මේ කාමරේට ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර. එයා මාරම stylish. හැමවෙලේම ඇස්වලට waterproof eye liner ගාපු, 2000 ගණන්වල ආව අලුත් සිංදු අහපු, ලෝකෙම එයාට ණයයි වගේ කතා කරපු කෙනෙක් තමයි මේ ෂෙහානි කියන්නෙ. එයා එක්ක ඔට්ටු වෙන්න හොඳ නෑ කියලා හැමෝම දැනගෙන හිටියා වගේම ෂෙහානි කියන්නෙ අතේ දුරෙන් ඇයි හොඳයි කියන්න ඕන කෙනෙක් විත්තිය නදීෂාටත් තේරුණා.

තරුෂි නම් වෙනස්. එය නම් හරිම විනීතයි, හරිම ප්‍රසන්නයි, හැමවෙලේම හිනාවෙලා ඉන්නවා. Third Year Medical Student කෙනෙක්. ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කයේම වැඩිම ලකුණු අරන් තමයි එයා campus ඇවිත් තියෙන්නෙ කියන එක කිව්වේ නදීෂාගෙ අම්මා. නදීෂා බඩු අස් කරන වෙලේ තරුෂි අම්මා එක්ක කතා කර කර උන්න හන්දා තමා ඒවා දැනගෙන තියෙන්නෙ. අම්මා කෙනෙක්ට තමන්ගේ දුවට “අර කෙල්ල වගේ ඉන්න” කියලා කියන්න පුළුවන් තරම් හොඳ කෙනෙක් තමයි මේ තරුෂි. අන්න ඒ හන්දම අම්මා ඇස් වලින් ඉඟි බිඟි දදා කිව්වේ “මේ ළමයා එක්ක යාලුවෙන්න” කියන කතාව බව නදීෂාට නොතේරුණා නෙවෙයි.

මුලදී හැමදේම හොඳින් සිද්ධ වුණා. නදීෂා එයාගේ පාඩුවේ හිටියා. හවසට ඉක්මනට මැගී එකක් හදාගෙන කෑවා, නිදාගන්න කලින් ගෙදරට කතා කළා. එයාගේ ඇඳ තියෙන පැත්ත හරිම පිළිවෙළට තියාගත්තා. බෑග් ටික ඇඳ යට තියලා, පොත් ටික පිළිවෙළට තියලා, බිත්තියේ motivational quotes ලියපු පොඩි calendar එකක් එල්ලලා තිබ්බා.

හැබැයි සති කීපයක් ගියාට පස්සේ තමයි නදීෂාට හැමදේම අමුතු විදිහට දැනෙන්න පටන් ගත්තෙ.

එක උදේක ඇහැරෙද්දි නදීෂා දැක්කා එයාගෙ glow and lovely face cream එක බාගෙට ඇරලා මේසේ උඩ තියෙනවා. නදීෂාට හොඳටම sure ඒක ඊයෙ රෑ wash දාන් ආවට පස්සෙ එයා තිබ්බෙ තමන්ගෙ wash bag එකේ කියලා.එහෙම එකේ ඒ cream එක මෙතනට ආවෙ කොහොමද කියන ප්‍රශ්නෙ නදීෂාට නොතිබ්බා නෙවෙයි.

ෂෙහානි හරි තරුෂි හරි ඒ cream එක use කරාද කියලා බලන්න ඒ දෙන්නගෙ ඇඳවල් දෙක දිහා බැලුවට ඒ දෙන්නම උන්නෙ නිදාගෙන. නදීෂා එක එක විදිවලින් උනේ මොකද්ද කියලා හිතන්න බැලුවට ඒ කිසිම දෙයක් හිතාගන්න බැරිවෙච්ච තැන එයා වැඩේ අත ඇරලා දැම්මේ “මමම අමතක වෙලා ඒක එතන තියන්න ඇති” කියලා. ඒත් හිත ඇතුලෙන් නදීෂා දැනන් උන්නා “මං එහෙම දේවල් බාගෙට කරන කෙනෙක් නෙවෙයිනෙ” කියන එක.

තව දවසක, නදීෂා එළියෙ මේසෙ ඉඳන් පාඩම් කරලා කාමරේට ආවාම දැක්කේ එයාගේ ලාච්චුව ඇරලා තියෙනවා. කඩලා නෙවෙයි නිකන් ඇරලා බලලා බාගෙට වහලා වගේ. ඇතුළේ කිසිම දෙයක් අවුස්සල වගේ පෙනුණේ නැති උනාට එයාගේ අම්මා දුන්න පොඩි රිදී කරාබු දෙක නැති වෙලා කියන එක නදීෂාට තේරුණා.

එදා තමයි මේක අනිත් දෙන්නා එක්ක කතාකරනවා කියලා නදීෂා හිතුවෙ.

තරුෂියි, ෂෙහානි කාමරේට ආවම නදීෂා ඇහුවෙ හරි පරිස්සමෙන්.

“අක්කි… පොඩි කරාබු පෙට්ටියක් දැක්කද? ඒක දෙවැනි ලාච්චුවේ තිබුණේ…සිල්වර් කලර්”

නදීෂාට උත්තර දෙන්න ඇඳ උඩ වාඩිවෙලා උන්න ෂෙහානි ෆෝන් එකෙන් ඇස් අහකට ගත්තේවත් නෑ. “මොකටද babe මම ඔයාගේ ලාච්චුව අදින්නේ? ඔයා ගෙදර දාලා ආවද දන්නෙ නෑ…”

නදීෂා ටිකක් වෙලා හිතුවා. “නෑ… මම ෂුවර්, මම ගෙනාවා. ඔරියන්ටේෂන් එකට ගිය සතියේ  දැම්මෙත් ඒකනෙ.”

ඇඳ උඩ ඉඳන් තරුෂි හරිම හීනි හඬෙන් කතාකරේ අන්න ඒකට උත්තර දෙන්න. “සමහරවිට ඔයා වෙන තැනක තියන්න ඇති? බෑග් එකේ බලන්නද? ඔයා මේ දවස්වල හරි ස්ට්‍රෙස් වෙලා වගේ ඉන්නේ.”කියලා එයා ආයෙ කරුණාවන්ත විදියට ඇහුවා. ඒත් ඒ කරුණාවන්ත කම අස්සෙ මොකක් හරි දෙයක් හැංගිලා තියෙනවා කියන එක එයාට නොතේරුණා නෙවෙයි. 

ඒත් ඒ මොකද්ද කියල නදීෂාට තේරුණෙත් නෑ. අහන්න විදියක් තිබ්බෙත් නෑ.

ඉන්පස්සෙ මේ වෙන දේවල් නැතිවෙයි කියලා හිතුවට ආයෙ ආයෙ එක එක දේවල් වෙන්න පටන් ගත්තා.

නදීෂාගෙ පොත් නැති වුණා, එයාගේ දත් බුරුසුව එයා දත් මැද්දේ නැති වෙලාවටත් තෙමිලා තිබ්බා. එක පාරක්, එයාගේ ෆෝන් එකේ ගැලරිය බලද්දි එයා නොගත්ත ස්ක්‍රීන්ෂොට් තිබ්බා. එයාගේ කොට්ටේ වෙන කෙනෙක්ගේ ෂැම්පු සුවඳක් ආවා. නරකම දේ තමයි, එයාට එයාගේම කාමරේ පිටස්තරයෙක් ඉන්නවා වගේ දැනුණ එක. 

එක හවසක නදීෂා දැක්කා එයාගේ ඩයරිය කවුරුහරි කියවලා එහෙමම ඒක ඇරලා දාලා ගිහින් කියන එක. 

මේ කාමරේ ඉන්න අය ඇයි එහෙම තමන්ගෙ දේවල් හාරවුස්සල බලන්නේ කියන එක තේරුම්ගන්න බැරුව වගේ එයා බාත්රූම් එකට වෙලා ඇඬුවා.

හැබැයි තවදුරටත් මේක ෂෙහානිගෙනුයි, තරුෂිගෙනුයි අහන්නෙ නැතුව ඉන්න එකෙන් ප්‍රශ්නෙ වෙන්නෙ තමන්ටම තමයි කියලා තේරිච්ච හන්දා තමයි නදීෂා ඒ දෙන්නගෙන් මේ ගැන අහන්න හිතුවෙ.

“මම දන්නවා ඔයාලා මගේ බඩු ඇදලා බලනවා කියලා,” කියද්දිත් නදීෂාගෙ voice එක වෙව්ලුවා. “please… එහෙම කරන එක නවත්තන්න.මම ආස නෑ කවුරුවත් මගෙ බඩු අදිනවට”

මේන්න මේක අහපු ගමන් ෂෙහානි පරල වෙලා එයාගේ ඇඳ උඩට වෙලා, dramatic විදියට ෆෝන් එක පැත්තකට විසි කළා.

“මොනවද මේ කියවන්නේ?”

“ඔයාලා මගේ ඩයරිය කියෙව්වෙ නැද්ද. ඔයාලා මගේ ක්‍රීම් එක පාවිච්චි කලේ නැද්ද. කවුරු හරි මගේ කරාබු ගත්තෙ නැද්ද. මගේ tooth brush එක…”

“අනේ දෙවියනේ, ඔයා ඇත්තටමද මේ කියන්නේ?” ෂෙහානි ඇස් කරකවලා කිව්වා. “ඔයාට පිස්සු, නදීෂා. සමහරවිට ගෙදර තනියම කාමරේක රාජ කුමාරි වගේ උන්න ඔයාට මේ වගේ sharing rooms තියෙන hostels හරියන්නෙ නැතුව ඇති. ගෙදර වගේ මෙහෙත් මේ princess treatment හම්බෙයි කියලා හිතන්න එපා අපෙන්.අනික මේ ඔයාගෙ දේවල් අවුස්සල බලන්න අපි හිඟන්නො කියලද හිතන් ඉන්නේ. පිස්සු මෙන්ටල් කේස් එකක්නෙ මෙයා, බහුබූත හිතෙන් මවාගෙන”

ෂෙහානි එහෙම කියද්දි නදීෂා කලේ තරුෂි දිහා බලන එක. හරියට ඔයාවත් මාව විශ්වාස කරන්න කියනවා වගේ.

 “මම මේ දේවල් හිතින් මවාගන්නවා නෙවෙයි.”

තරුෂි හෙමින් හුස්මක් පිට කලේ නදීෂාගෙ හිත තේරුම්ගත්තා වගේ.

 “නදී… මට හිතෙනවා ඔයා කාත් එක්ක  හරි මේ ගැන කතා කරන්න ඕන කියලා. ඔයා දැන් දවස් ගාණක් තිස්සෙ අපි දෙන්නා දිහාම නිකන් සැකෙන් බලන විත්තිය අපිට තේරුණා. අපි එක ගණන් ගත්තෙ නෑ ඔයාට studies එක්ක stress ඇති කියලා හිතලා. අනික ඔයා ගෙදරමනෙ උන්නේ. ඒ උනාට මෙහෙම අපි නොකරපු දේවල්වලට ඔයා අපිව accuse කරද්දි අපිට තව ඒක බලාගෙන ඉන්න බෑනෙ නේද?”

තරුෂි එහෙම කිව්වට නදීෂා කතා කළේ නෑ. බිම බලාගෙන හිටියා විතරයි.

ඒ කතාව එතනින් ඉවර උනාට ඒ රෑ එයාට නින්ද ගියේ නෑ.

ඊළඟ දවසේ එයා hostel එක බලාගන්න උන්න කුසුම් ඇන්ටි ළඟට ගියා. හරිම strict මනුස්සයෙක් වෙච්ච කුසුම් ඇන්ටි කීයටවත් මේ ගැන සරලව බලන්නෙ නැ කියලා හිතන ගමන් නදීෂා මෙහෙම කිව්වා.

“මට මේ කාමරේ safe නෑ කියලා දැනෙනවා, දැනටම මගෙ බඩු ගොඩක් නැති වෙලා. ගෙදරින් එද්දි අරන් ආව සිල්වර් කලර් ඉයරින්ස් දෙකකුත් නැතිවෙලා. කවුරුහරි මං ඉන්නවට අකමැති හරි මාව stress කරන්න ප්‍රශ්න දානවද කොහෙද?”

කුසුම් ඇන්ටි කිසිම දෙයක් කිව්වෙ නෑ. එයා විනාඩි ගාණක් තිස්සෙ කලේ නදීෂාගෙ මූණ දිහාම බලාගෙන උන්න එක. ඉන්පස්සෙ එයා පොඩි කොළ කෑල්ලක මොනවදෝ ලිව්වා, ඊට පස්සේ ආයෙ හිමීට ඔළුව වැනුවා.

“මම මේ ගැන බලන්නම් දරුවෝ. මේ කෙල්ලෝ මගේ දරුවෝ වගේ.මං හිතන්නෙ නෑ එහෙම හොරකම් කරන වැඩක් නම් මෙහෙ වෙයි කියලා. මොකෝ මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් උනේ නෑ. මං අවුරුදු ගාණක් මේ හොස්ටල් එක කරානෙ. මේ ෂෙහානිලා එහෙම මාත් එක්ක දැන් ගොඩක් කල් ඉන්නවා. කවුරුවත් එයාලා ගැන කිසිම complain එකක් කරලා නෑ ඔයා අද මෙහෙම කියනකම්. ඒත් ඔයත් තේරුම් ගන්න ඕන – හොස්ටල් ලයිෆ් අමාරුයි. හැමෝම adjust වෙනවා. ඔයත් පොඩ්ඩක් adjustවෙන්න ඕන නේද?”

දවස් දෙකකට පස්සේ නදීෂාට ලියුමක් ලැබුණෙ ඒ කතාවෙන් පස්සෙ.

“අනෙකුත් ශිෂ්‍යාවන්ගෙන් ලැබුණු පැමිණිලි සහ අන්තර් පුද්ගල ගැටුම් වැඩි වීම හේතුවෙන්, ඔබගේ කාමරය වෙනස් කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. කරුණාකර මෙම සතිය අවසානයේදී 6 වැනි කාමරයෙන් ඉවත් වන්න.”

ඒ ලියුම දිහාම බලාගෙන උන්න නදීෂාට තමන්ගෙ අතත් එක්කම හිතත් ගැහෙන විත්තිය තේරුණා. ඒ තරහෙන්, වේදනාවෙන්.

එයා කාමරේට ආපහු ආවේ පිස්සුවෙන් වගේ. ෂෙහානි හිටියේ එයාගේ eyebrows pluck කර කර හිටියා. තරුෂි ෆෝන් එකේ tiktok බල බල උන්නේ.

“ඔයාලා ආන්ටිට කිව්වද මගෙන් කරදරයි කියලා?” නදීෂා හිමීට ඇහුවෙ තරහා හිත අස්සෙම තියාගෙන.

ෂෙහානි සිනාසුණා. “ඔයා හැමතිස්සෙම අපි දිහා නිකන් සැකෙන් නෙ බැලුවෙ. අනේ අපිට මේ එහෙම කතන්දර අහ අහ ඉන්න බෑ. ඒ හන්දා තමයි අපි ආන්ටිට කිව්වේ”

ෂෙහානි don’t care විදියට කිව්වට තරුෂි නම් නදීෂා දිහාව බැලුවෙ අනුකම්පාවෙන් වගේ. ඒ නිසාම තමයි  එයා නදීෂා ළඟට ඇවිත් උරහිසට අත තිබ්බේ.

“නදී… සමහර වෙලාවට දේවල් අමාරු වුණාම අලුතෙන් පටන් ගන්න එක හොඳයි. ඔයා අනිත් කාමරයට කැමති වෙයි. ඒකෙ ඔයාට තනියෙන් ඉන්න පුලුවන් නෙ. කොහොමත් ඔයාට පුලුවන් එතකොට ගෙදර වගේම නිදහසේ ඉන්න නේද?”

තරුෂි එහෙම කියද්දි නදීෂා කලේ එක දිගටම බලාගෙන උන්න එක. තරුෂි ආයෙම වතාවක් කට ඇරලා “ඊළඟ පාර… ඔයාගේ ඩයරි එක ලොක් කරලා තියන්න. එතකොට ප්‍රශ්නයක් වෙන එකක් නෑ.” කියද්දි නදීෂාට දැනුනා එයාගෙ හිත අස්සෙන් මොන මොනවාහරි කැඩිලා බිඳිලා යනවා.

එයා කාමරේ දිහාව ඇස් ඇරලා බැලුවා. එයාගෙ අකුරු වලින් ලියවෙච්ච පෝස්ටර්, බෑග්, එයාම එල්ලපු calendar එක ඒ හැමදෙයක්ම නදීෂා දැක්කා. කණ්ණාඩියෙන් පෙනිච්ච තමන්ගෙ රූපේ කණ් දෙක ලස්සන රිදී කරාබු දෙකකින් හැඩවෙලා තියෙනවත් එයා දැක්කා. 

එයාට කෑගහන්න හිතුණා. අඬන්න හිතුණා. හැමදේම කඩා බිඳ දාන්න හිතුණා.

ඒත් ඒ වෙනුවට, එයා කලේ හිනා වෙච්ච එක.

නදීෂා මුකුත් කියන්නෙ නැතුව නිශ්ශබ්දව බඩු ටික පැක් කරගත්තා.

කිසිම සද්දයක් නැතුව එයා තමන්ට Allocate කරපු අලුත් කාමරේට ගියා.

කුසුම් ඇන්ටි දොර ළඟට වෙලා එයා යන දිහා බලාගෙන හිටියා. ෂෙහානියි තරුෂියි දෙන්නාත් බලන් උන්නා. තරුෂි හයියෙන් හුස්මක් අතෑරියේ හිතේ තියෙන වේදනාව පිට කරන්න වගෙ.

“එයා නරක ළමේක් නෙවෙයි” කියලා තරුෂි කියද්දි කුසුම් ආන්ටි ඔලුව වැනුවෙ ඔව් කියන්න වගේ.

“පව්”

“එයාගෙ අම්මලා එයාට මෙහෙ ඇවිත් ඉගෙන ගන්න ඉඩ දීලා තියෙන්නෙත් එයා යාලුවො එක්ක එකට ජීවත්වෙද්දි ඔය හැම කෙනා දිහාම සැකෙන් බලන එක නතර කරාවි කියලා හිතලා.

එයාට හැමෝම එයාට විරුද්ධයි කියලා හිතෙන ඒක එයාගේ අසනීපෙ මිසක්, නරකකමක් හන්දා කරන දෙයක් නෙවෙයි.

පව් ඉතින්. ඒත් මොනා කරන්නද නේද?” කියලා කියන ගමන් ෂෙහානියි තරුෂියි කාමරේ ඇතුළට යද්දි කුසුම් ඇන්ටිත් එතනින් ගියා.

More Stories

Don't Miss


Latest Articles