The bench by the lake

පීටර් හවස පහ වෙනකොට වැව අද්දර තිබුන ලී බංකුවට ඇවිත් වාඩි වුණා. ඒ වෙනකොට වෙලාව හවස පහ පහුවෙමින් තිබුන නිසා හරිම ලස්සනට ඉර බැහැ ගෙන යන දර්ශනය දිහා පීටර් ඇසි පිය නොහෙලා බලා ගෙන හිටියා. ඉර බැහැ ගෙන යනවා වුණත් ඉරේ ආලෝකය වැව පුරාම පතිත වෙලා පරිසරයට පුදුමාකාර ලස්සනක් එකතු කරමින් තිබුණා.

පීටර් සුසුමක් හෙලුවා.ඒ මීට අවුරුදු පහලවකට කලින් අතීතය මතක් වෙලා.

” ඔයා දුකෙන්ද පීටර් ? ” 

ඒ වචන ටික පීටර්ට ඇහුනේ ඈත ලෝකෙකින් එනවා වගේ. පීටර් ” නැහැ ” කියන්න වගේ ඔළුව වැනුවා. ආයෙමත් පීටර් ගේ හිත දුවගෙන ගියේ අතීතයට.

” අපිට කවද හරි අපේම දරුවෙක් එක්ක මේ වැව් ඉවුරේ ඇවිදින්න තියෙනවා නම් කොච්චර හොඳයිද නේද පීටර් ? ” 

අතීතයේ දවසක එලීසා එහෙම ඇහුවේ විවාහ වෙලා අවුරුදු ගානක් ගියත් පීටර් ගෙයි එලීසාගේයි ලෝකයට දරුවෙක් ආපු නැති ශෝකයෙන්. හැම සති අන්තයකම වගේ වැව ගාව තියෙන බංකුවට වෙලා වැව දිහා බලා ගෙන කතා කර කර පුංචි කාලයක් ගෙවන්න එළිසාටයි පීටර්ටයි පුරුද්දක් තිබුණා. දෙපාර්ශවයේම පවුල් වලින් නිතර නිතර දරුවෙක් ගැන අහන එක පීඩාවක් වුණත් කවදාවත් ඒ කිසිම පීඩාවක් පීටර් ගෙයි එලිසා ගෙයි ආදරයට බාධාවක් වුණේ නැහැ.

” එහෙම දවසක් කවද හරි එනවා එලීසා ” 

එලිසාට ඕන වුණේ නගරයේ කෙළවර පුංචි ලී ගෙදරක ජීවත් වෙන්න. විවාහ වෙන්න කලින් පීටර් ඇගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරා. නගර මධ්‍යයේ ගෙදරක හිටපු පීටර් එලීසා වෙනුවෙන්ම නගරයේ කෙළවර බිම් කඩක් මිලදී අර ගෙන එලිසා ආස විදිහේ පුංචි ගෙයක් හැදුවා. එලිසා ආස කරේ නිස්කලංක ජීවිතයකට. විවාහයෙන් පස්සේ පවුල් වලින් ආපු පීඩනය නිසා දරුවෙක්ගේ වුවමනාව ඉස්මතු වුණත් එලිසාට හැමදාම ඕන වුණේ දරුවෙක් නොහිටියත් පීටර් එක්ක සතුටින් ජීවත් වෙන්න. 

පීටර් යමක් කමක් තියෙන පවුලක කෙනෙක් උනත් ඔහුගේ රැකියාව වුණේ එළවළු විකුණන එක. ඔහුට ඔහුගේම එළවලු වෙළඳසැලක් නගර මධ්‍යයේ තිබුණා. එලිසා ගේ රැකියාව වුණේ ඇඳුම් මහන එක. ඇය ඇයටම ආවේනික වූ රටාවන් වලට රෙදි වලින් විලාසිතා මවන කොට අහල පහල හැමෝම වගේ එලිසා ගෙන් ඇඳුම් මහ ගන්න ආවා.ජීවත් වෙච්ච පුංචි ලී ගෙදර ලස්සන කරන්න එලීසා දොර රෙදි වල ඉඳලා කුෂන් කවර වෙනකන්ම හැම දෙයක්ම ඇගේ අතින්ම මැහුවා. 

විවාහ වෙලා අවුරුදු ගානක් ගත වුණත් එලිසා සහ පීටර් ජීවත් වෙච්ච පුංචි ලී ගෙදර ආදරය ,සෙනෙහස සහ කරුණාව කියන හැමදේම පිරිලා ඉතිරිලා ගිහිල්ලා තිබුනා. 

” බැඳලා අවුරුදු පහක් ගිහිල්ලත් ළමයෙක් නැත්තේ මොකද කියල නැන්දලා අහනවා. දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක් වත්ද?  ” 

ඉතාම සාම්ප්‍රදායික කාන්තාවක් වුණ එළිසා ගේ අම්මා දවසක් ඇවිල්ල එලිසාගෙන් එහෙම අහනකොට පීටර් ගෙදර හිටියේ නැහැ.

” අනේ අපි දෙන්නා අතර කිසිම ප්‍රශ්නයක් නැහැ අම්මා. ජීවිතේට දරුවෙක් ඉන්නම ඕන කියල දෙයක් නෑනේ ” 

එලිසා එහෙම උත්තර දුන්නේ වේදනාවෙන්.

” ඒ මොන මෝඩ කතාවක්ද ? අපි හැමදාම ජීවත් වෙලා ඉන්නේ නැහැනේ.ඔය දෙන්න වයසට ගිය දාක ඔය දෙන්නව බලා ගන්න දරුවෙක් මල්ලෙක් ඉන්න ඕනේ. ” 

” දරුවෙක් ඉන්න ඕනේ අපිව බලා ගන්න නෙමෙයිනේ අම්මේ ” 

එලිසා උත්තර දුන්නේ සඟවා ගත්ත කෝපයෙන්. ආදරේ ඉතිරිලා තියෙන මේ පුංචි ලී ගෙදර ඇතුලට කොහේදෝ නැති ප්‍රශ්නයක් එනවට එලිසා කැමති වුනේම නැහැ.ඒත් අම්මා පිටත් වෙලා ගියාට පස්සේත් එලිසා හිටියේ වේදනාවෙන්. අම්ම කියපු වචන ආයෙ ආයෙම ඇහෙනවාා වගේ එලීසාට දැනුනා.

” ඔයාගේ මූණ හරි නෑ එලිසා ” 

පීටර් හවස ගෙදර ආපු ගමන්ම එලිසාගේ වෙනස අඳුර ගත්තා

” අද අම්මා ඇවිල්ල ගියා ” 

අම්මත් එක්ක වෙච්ච කතා බහ එලිසා අකුරක් නෑරම පීටර් ට කිව්වා. දෙන්නෙක් විවාහ වුණාට පස්සේ දරුවෙක් හදන්න ඕන කියන එක සමාජ සම්මතය නිසා ඒ ගැන ටිකක් හිතලා බලන්න ඕන කියල අන්තිමට පීටර් හිතුවා.

ඊළඟ සති අන්තයේ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්න එලිසා වගේම පීටර් තීරණය කළේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුන නිසා.

” ප්‍රශ්නෙ තියෙන්නේ එලීසා ගේ ” 

වෛද්‍ය පරීක්‍ෂණ ගණනාවක් කෙරුනට පස්සේ වෛද්‍යවරයා දවසක් එහෙම කිව්වා.එලිසා එදා ගෙදර ආවේ කියා ගන්න බැරි තරම් දුකකින්. තමන්ට අම්මා කෙනෙක් වෙන්න හැකියාවක් නැහැ කියන එක දරා ගන්න එලිසාට පුළුවන් වුණේ නැහැ. 

” මට ඔයා ඉන්නවනේ එලිසා. ඒ ඇති ” 

පීටර් එහෙම කිව්වත් ඔහු දරුවකුට ආස බවත් , පවුල් වලින් අහන ප්‍රශ්න වලින් ඔහුටත් ගැලවීමක් නැති බවත් එළිසා දැන ගෙන හිටියා. පුංචි ලී ගෙදර තිබුණ සතුට වගේම එලිසා ගේ හිනා හඬත් ටිකෙන් ටික නැති වෙලා මුළු ගෙදර පුරාම නිහඬ බව විතරක් ඉතිරි වුණා. ඒ ගැන පීටර් හිටියේ පුදුමාකාර ශෝකයකින්.

” දරුවෙක් නැහැ කියලා අපේ ගෙදර කිසිම අඩුවක් නැහැනේ එලීසා. ඔයයි මමයි විතරක් ඉන්න එකත් මට ලොකු සතුටක් “

පීටර් හැමදාම උත්සාහ කරේ එලීසා ගෙ හිත හදන්න. සති අන්තයේ එළියට ගියත් පාරෙදි දකින දරුවන් දිහා එලිසා නතර වෙලා බලා ගෙන ඉන්නවා කියලා පීටර් වාර ගණනාවකදිම දැක්කා. අහල පහලක ගෙදර දරුවෙක් ආවත් එලිසා එයාලට ආදරෙන් සලකන හැටිත් , එයාලව ආපහු ගෙදර යවන්න ලෝභ වෙන හැටිත් පීටර් ට දැක ගන්න පුළුවන් වුණා.

” ඔයාට දරුවෙක් ඕනෙම නම් අපි දරුවෙක් අරන් හදා ගමු ” 

දවසක් රාත්‍රී ආහාර ගන්න ගමන් පීටර් එලීසාට කිව්වේ එලිසා විඳින වේදනාව බලා ගෙන ඉන්න බැරිම තැන.

” එහෙම දරුවෙක් අරන් හදා ගත්තා කියලා මට අම්මා කෙනෙක් වෙන්න බැහැ කියන ඇත්ත හංගන්න බැහැනේ පීටර් ” 

එලිසා උත්තර දුන්නේ ඇස් වල කඳුළු පුරව ගෙන. මොන දේ කළත් ඇගේ ඒ හිතේ තියෙන වේදනාව මකල දාන්න පීටර්ට බැරි වුණා.

දවසක් රෙදි වගයක් මිලට ගන්න නගරයට ගිය එලීසා පාසල ඇරිලා පාර පනින්න බලාගෙන ඉන්න දරුවෝ කීප දෙනෙක් දිහා නතර වෙලා බලා ගෙන හිටියා. එලිසා හිටපු පැත්තෙන් පුංචි බලු පැටියෙක් එන හැටිත් පාරෙන් අනිත් පැත්තේ අම්මගේ අත අල්ලගෙන හිටපු පුංචි දරුවෙක් ඒ අත අත ඇරලා බලු පැටියා දිහාවට දුව ගෙන එන හැටිත් එලීසා දැක්කා.ඒ එක්කම පාරෙන් අනිත් පැත්තේ වේගයෙන් එන බස් රථයක් දැක්ක එලීසා පාරට පැනලා අර පුංචි දරුවාව තුරුලු කර ගත්තා.

එලිසා අවසන් හුස්ම හෙළුවේ ඒ පුංචි දරුවාවත් තුරුළු කරගෙනමයි. 

හිතපු නැති විදිහට ජීවිතේ අතර මැද තැනකදී පීටර් තනිවුනා. 

” දරුවෙක් වත් හිටියා නම් පීටර්ට ඔහොම වෙන්නේ නැහැ නේ ” 

පවුල්වල අය වගේම පීටර්ව දන්න කියන හැමෝමත් කිව්වේ එහෙම. ඒත් කවදාවත් පීටර් වචනයකින් වත් එලිසා ගැන අහිතක් හිතුවේ නැහැ. බොහොම නිහඬ ජීවිතයක් ගත කරපු පීටර් හැමදාම වැව් ඉස්මත්තට ඇවිල්ලා එලිසා එක්ක වාඩි වෙන බංකුවේ වාඩි වෙලා වැව දිහා බලා ගෙන ඉර බහිනකම් බලා ගෙන හිටියා. ඒ හැම දවසකම එළිසා තමන් ළඟ වාඩි වෙලා ඉන්නවා වගේ පීටර්ට දැනුනා.

” අපිට අපේ කියලා දරුවෙක් නැති උනත් , හිතපු නැති වෙලාවක ඔයා යන්න ගියත්, ජීවත් වෙලා හිටපු කාලේ අපි දෙන්න ආදරෙන් හිටියනේ එලිසා. මට ඒ ඇති ” 

හුඟාක් දවස් වලට පීටර් තමන්ටම එහෙම මුමුන ගන්නවා.

| කෙනෙකු ඔබට ලබා දුන් ආදරයට ස්තුතිවන්ත සහ ගෞරවාන්විත වෙන්න. එය ඔබට අහිමි වුණත් | 

More Stories

Don't Miss


Latest Articles