ඉසුරිට පළමු වැටුප ලැබුණේ ඔය අතරය. එය හතළිස් දෙදහස් තුන්සිය තිහක් වී තිබුණේ දීමනා කිහිපයක්ද එකතු වූවාට පසුවය. අලුතින් සේවයට බැඳුණු සතර දෙනාටම යළිත් ජයවර්ධන මහතා හමුවීමට සිදු වූයේ වැටුප ලැබුණාට පසුවය. ඔහුගේ මදක් විසල් වූ කාර්යාල කාමරයෙහි අසුන් ගෙන සිටි නවකයන් සතර දෙනාට පැයක පමණ උපදේශනාත්මක දේශනයක් ලැබුණේ කාර්යාලයේ සේවය කළ යුතු ආකාරයත් වෘත්තීමය ගැටලු විසඳා ගත යුතු ආකාරයත් ගැන පවසමින්ය. ඒ පැවසූ සමහර වදන් කාර්යාලයට මෙන්ම සිය පුද්ගලික ජීවිතවලට ද එකසේ බලපාන ස්වර්ණමය වදන්යැයි ඉසුරිට සිතුනේ වරක් දෙවරක් නොවේ. බින්දුවෙන් පටන් ගන්නා මිනිසුන්ට ජීවත්වීමට තිබිය යුත්තේ ඉලක්කයකි. ඔවුන් සිහින දැකීමෙහි වරදක් නොවේ යැයි ජයවර්ධන මහතා තවදුරටත් පැවසුවේය. එහෙත් ඒ සිහින සැබෑ කර ගැනීමට පියවරෙන් පියවර ඉදිරියට යා යුතු බවද ඒ ගමනේදී සිතුවිලි දුර්වල කරන බාධක වලට ඉඩ නොදිය යුතු බවද ඔහු පැවසීය. ඉසුරිට අනුවනම් එම වදන්වල හෝ කාලයෙහි ඉවත ලන්නට දෙයක් නොවූ බව විශ්වාසය.
ඒ එකදු වදනකවත් අර්ථය වටහා ගත්තේදැයි සිතන තරමටම බිනර උන්නේ නොසන්සුන්වය. ඔහු මේ අයුරින් එක තැනක අසුන්ගෙන කල් ගත කළ හැකි පුද්ගලයෙකු නොවන බව ඈ වටහාගෙන උන්නාය. ජයවර්ධන මහතාගේ දෑස් කිහිප වරක් ඔහු වෙත යොමුවන අයුරුත් ඉසුරි බලාගෙනය. ඒ සමහර විටක ඇය බිනර දෙස රවා බැලුවේත් කෝපයෙන්ය.
“ඉස්සර වෙලාම තමන් තමන්ගෙ තත්ත්වය හඳුන ගන්න ඕනේ. තමන්ගේ තත්ත්වය කියලා මං මෙතනදි අදහස් කළේ දුප්පත්කම එහෙම නැත්නම් පොහොසත්කම ගැන නෙමෙයි. තමන්ගේ රූප ස්වභාවයවත් තමන්ට තියෙන අනෙකුත් වත්කම් ගැනවත් නෙමෙයි. තමන් කවුද කියන එක, තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක තමා සේවය කරන ක්ෂේත්‍රයේ කොච්චරක් දුර යන්න ඕනද කියලා තීරණය කරන එක.
අපිට පුළුවන් අපි උපය ගත්ත දේවල් එක රැයකින් විනාශ කරලා දාන්න. හැබැයි ඒ දේවල් උපයන්න වෙච්ච මහන්සිය කැප කරපු කාලේ දැකපු හීන ගැන දන්න කෙනා රුපියලක් වියදම් කරන්නෙත් බොහොම අර පරිස්සමට. ඒක ලෝබකම නෙමෙයි. සකසුරුවම්කම.
විනාඩි හතළිහක පමණ තරම් වූ දේශනය නිමා වූ පසුව සතර දෙනාම කාර්යාල කාමරයෙන් පිටවූයේ එකටමය. අශිකාත් බිනරත් ඉස්සර වද්දී සහන් ඉසුරිව තනිකර ගත්තේ හිතාමතාමය.
“මට ඔයාට දෙයක් කියන්න තියෙනවා…”
“ඇයි සහන් මොකක් හරි ප්‍රශ්නයක්ද…”
“නෑ… නෑ ප්‍රශ්නයක්මත් නෙමෙයි. ඔයා ඇයි අශිකට වෙනස්කම් කරන්නේ.”
“අනේ මම…ඇයි සහන් එහෙම අහන්නේ..”
“ඒක මටත් දැණුන නිසා. අශිකා මමත් එක්ක කියපු නිසා.”
“අනේ මං හීනෙකින්වත් එහෙම දෙයක් හිතලා නෑ සහන්. අශිකා කියන්නේ මට ඔයා වගේම යාළුවෙක්. ඇයි එයා එහෙම හිතුවේ කියන්න මං දන්නෙ නෑ.”
“බිනරයි ඔයයි අතරේ යාළුකමට එහා ගිය දෙයක් තියෙනවද…”
“අනේ නෑ…… කොහොමටවත්ම නෑ..බිනර කියන්නේ යාළුවෙක් විතරමයි.”
“එහෙනම් කමක් නෑ. අපි හිතුවේ බිනර නිසා ඔයා වෙනස් වෙලා කියලා. ඌට තව වැඩි කාලයක් මේ කම්පැනි එකේ ඉන්න හම්බවෙන්නේ නෑ. දැක්කද අද ජයවර්ධන සර් ඌ දිහා බලාගෙනම තමයි කතා කලේ. මේ යකා අඩු ගානේ සර්ටවත් රෙක්ස්පෙක්ට් එකක් තිබුණේ නෑ. මොනතරම් යාළුකං තිබුණත් මොන මිත්‍රයෙක්ගේ පුතෙක් උනත් ඔයා හිතනවද ජයවර්ධන සර් තවදුරටත් බිනරව මේකේ තියාගන්න කැමති වෙයි කියලා.”
“බිනර දැන් වැඩ ටිකනම් කරගෙන යනවා.”
ඉසුරි ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට දෙවරක් සිතුවේ නැත.
“මට එදා ඉඳලම ඌව ඇල්ලුවෙ නෑ ඉසුරි. උගේ තියෙන්නේ මහ රස්තියාදුකාර පෙනුමක්. අදටත් බිනර කාගේ කවුද අතේ සල්ලි තියෙන්නේ කොහොමද මේ කිසි දෙයක් අපිත් එක්ක කියලා නෑනෙ. අඩු ගානේ ඉන්න තැනක් යන එන තැනක් ගැනවත්… මං ඔයාට කියන්නෙත් බොහොම පරිස්සමට අතේ දුරින් ආශ්‍රය කරන්න. ඌ එච්චර හොඳ එකෙක් නෙමෙයි කියලා මට හොඳටම තේරෙනවා. ඔයාලට ඒක දැනෙන්නේ නැතුව ඇති ඌ සෙල්ලක්කාරයෙක්”
“තැන්කියු සහන්..මම පරිස්සම් වෙන්නම්.”
“සැලරි හම්බවෙච්ච එකේ මුකුත් කරන්නේ නැද්ද…”
“ඒ කිව්වේ..”
“පාටියක් දාන්නෙ නැද්ද අපි..”
“අනේ නෑ සහන් මට ඊට වඩා වැඩ තියෙනවා කරන්න. මට පරක්කු වෙනවා.”
“හරි හරි මං කියපු දේවල් මතකයිනේ…”
“ඔව්… මං අශිකාත් එක්ක මේ ගැන කතා කරන්නද..”
“නෑ.. නෑ එහෙම ඕන නෑ. ඒක හරිම සුළු දෙයක්. එයා කෝල් කරලත් ඔයා එදා කෑම ගෙනාපු එක ගැන අශිකා හරි අප්සට් එකේ ඉන්නේ. ඔය අපැහැදීම් හරියයි. මං හිතන්නේ එයා බිනරට ට්‍රයි කරනවා. අශික කියන්නෙත් අපි වගේ නෙමෙයි කිසි ප්‍රශ්නයක් නැතුව හැදෙන කෙල්ලෙක්නේ. උන් දෙන්න හොඳට මැච් වෙනවා…සමහර විට එයා හිතනවා ඇති ඔයා බිනරට ඕනවට වඩා ලංවෙලා කියලා.”
“එයා ඔයා එක්ක මේ ගැන කතා කළොත් එහෙම දෙයක් නෑ කියල කියන්න. ඇත්තටම මං එදා හිටියේ පෞද්ගලික ප්‍රශ්නෙක. මට ඒ ගැන මතකයක් තිබුනෙම නෑ. මං යන්නං සහන් එහෙනම්.”
“මෙහෙම නෙමෙයි නිදහසේ කතා කරන්න අපි වෙලාවක හමුවෙමු. ඔයාගේ ඕනෙම ප්‍රශ්නකට ඔයත් එක්ක මම ඉන්නවා”
සහන් පැවසූයේ යුවතියගේ දෑස් වලට එබීගෙනය. එහෙත් ඈ ඔහු අසලින් නික්ම ගියේ අඩියට දෙකටය. ඊයේ පෙරේදා සිට ඔහුගේ වදන් සේම බැල්මත් අමුතුව ඇත. යුවතිය සමු ගනිද්දී බිනරත් අශිකාත් උන්නේ පිළිගැනීමේ කවුන්ටරය ඉදිරිපිට වූ සුවපහසු අසුන්වලය. අශිකා තම පියාගේ මෝටර් රථය පැමිණෙන තුරුම එහි රැඳී සිටින බව ඉසුරි දනී. දෙදෙනා යමක් කතා කරමින් සිටියේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. ඉසුරි දෙදෙනාගෙන්ම සමුගත්තේ සිනහමුසුවය.
කුමක්දෝ රිදුමක් හදවතට දැනෙමින් තිබිණ. මින් පෙර ජීවිතයේ මුල්ම වැටුප අතට ගනිද්දී දැනුණු සුවදායී හැඟීම දැන් ඇගේ සිතෙහි නොවේ. නගර මධ්‍යයේ වූ රෙදි පිළි වෙළඳ සැලට ඇතුළු වූ යුවතිය අම්මාට, කිරිඅම්මාට, නංගිට, මල්ලිට මෙන්ම පාරින්දටත් ඔහුගේ මවටත් පියාටත් නැගණියන් දෙදෙනාටත් යමක් මිලදී ගත්තේ යාන්ත්‍රිකව මෙහෙය වූ යුවතියක පරිද්දෙන්ය. තාත්තාවත් මධාරා පුංචිවත් ඔවුන්ගේ දියණියවත් අමතක කර දැමීමට තරම් සිතක් ඇයට වූයේ නැත. අවසන මධාරාට කොණ්ඩා කටුවකුත්, නැගණියට හෙයාර් බෑන්ඩ් කිහිපයකුත් තාත්තාට මුදල් පසුම්බියකුත් ඕ විසින් මිලදී ගත්තාය.
****************
සුරංග රාජිනීගේ දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ සොහොයුරිය තමාට කතාකොට දින දෙක තුනක් ගත වූවාට පසුවය. පාරින්දට කතා කිරීමට පෙර රාජිනී හා කතා කොට දරුවන්ගේ විවාහය පිළිබඳව ඇය කුමක් සිතා සිටින්නේදැයි හරි හැටිම දැනගත යුතුය. සොහොයුරිය තමාට කතා කළ බව ඔහු මදාරා හා පැවසූයේ පෙරදා රාත්‍රියේදීය. මධාරා යනු සැහැල්ලුවෙන් ජීවත් වූ ගැහැණියකි. ඇගේ වැඩ පිළිවෙලය. ජීවිතයට බාහිර කරදර පටලවා ගැනීමට හෝ සිත් රිදෙන තැන්වල රැඳී සිටීමට ඇය කැමති වූයේම නැත. එනිසාම ඕ සුරංගගේ සොහොයුරියව අතහැර දැමුවේ මින් බොහෝ කලකට ප්‍රථමය. එහෙත් සොහොයුරිය හා කතා කරන්නට හෝ අවැසි වෙලාවක එහි යන්නට එන්නට මදාරා තහංචි පැනවූයේ නැත.
“ඔයා මේ ගැන ඉසුරිත් එක්ක මුලින්ම කතා කරලා තීරණයක් ගන්න. ඉසුරිගේ තීරණයයි අදහසුයි තමයි වැදගත් වෙන්නේ. මොකද එකට ජීවත් වෙන්නේ ඒ දෙන්නා…”
අවසන ඇය පැවසූයේ ඒ අයුරින්ය. එහෙත් ඉසුරි යනු අම්මා තාත්තා හෝ නැන්දා පවසන ඕනෑම දෙයකට එකඟ වන යුවතියක බව සුරංග දැන සිටියේය. සොහොයුරිය බලාපොරොත්තුව දායාද ගැන හෝ ඇය ඉසුරිට ලබා දී තිබූ අඩු ලංසුව ගැන දියණිය හා කිසිවක් පවසන්නට සුරංගට සිත් වූයේ නැත.
“රාජිණි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. මේ වෙලාවේ ඒකට ඉඩ පහසුකමක් තියෙනවද…”
ඈ දුරකථනය හා සම්බන්ධ වූ හැටියේම සුරංග පැවසූයේ හැකිතාක් සන්සුන් වීගෙනය. දික්කසාඳයෙන් පසුව ඇය ඔහුට දුරකථන ඇමතුමක් ලබාගත්තේනම් හදිසිම උවමනාවකට පමණි. එහෙත් ඒ සෑම වතාවකම වදනක් දෙකක් බොහෝ කෙටියෙන් පැවසුවා මිස කිසිවෙකුගේ සැප දුක් අසන්නට හෝ යාළු මිත්‍රකම් පවත්වන්නට වුවමනාවක් ඔවුනට වූයේ නැත. නිවසේ සිදුවන යමක් සුරංග දැන ගන්නේ ඉසුරිගෙන්ය. අනිත් දරුවන් දෙදෙනාම තමා හා කෝපයෙන් පසුවන බව සුරංග දැන සිටියේය.
“මට කතා කරන්න පුළුවන්.”
“මට අපේ අක්ක කතා කලා. ඉසුරිගෙයි පාරින්දගෙයි එන්ගෙජ්මන්ට් එක ගන්න ඕනේ කියලා ඔයා කිව්වලු.”
“ඔව් ඒ ළමයි දෙන්නට හැමදාම දෙපැත්තකට වෙලා ඉන්න බැහැනේ. අනිත් එක පාරින්ද කියන්නෙත් පිරිමියෙක්. ඒ ළමයි දැන් අපි වෙනද දැකපු පොඩි ළමයි නෙමෙයි.”
“ඒක කොහොමද වෙන්නේ..”
“කසාද ලියාපදිංචි කරලා අවුරුද්දක් එකහමාරක් විතර ගිහිල්ලා මඟුල් ගෙයක් ගන්න බැරිය. එතකොට ඉසුරිටත් පුළුවන්නේ තමන්ට යමක් කමක් හදාගන්න.”
“රාජිනී අපේ අක්කලා ඉසුරි වෙනුවෙන් සෑහෙන්න යමක් බලාපොරොත්තු වෙනවා.”
“ඔව් ඉතින්…එය ඔයාගේ අම්මගෙම දුවනේ…”
රාජිනී එහා පසින් එල්ල කළේ ඇනුම් පදයකි. ඇය ගෙන ආ දෑවැද්දේ මදිපාඩු ගැන එදවස අම්මා කතා කළේ හිත් නොහොදින්ය. ඉදිරියට රැගෙන ආවේත් ඒ පුංචි පුංචි මතගැටුම් හා සිත් වල පැලවී තිබූ අමනාපකම්ය.
“එයා වෙනුවෙන් ලොකු දෙයක් මට එකතු කරලා තියන්න බැරි උනා සුරංග. හැබැයි මං ඒ යුතුකම පැහැර හරින්නේ නෑ.”
මුලින්ම එහා පසින් ඇසුණේ ඇය සුසුමක් හෙලනා හඬය. ඉන් පසුව ඒ වදන් කිහිපය ඕ පැවසූයේ මද හඬකින්ය.
“මමත් ඒ වෙනුවෙන් සල්ලි ටිකක් වෙන් කරගෙන තියෙන්නේ. ඒත්…”
“ඔයාටත් දැන් යුතුකම් වගකීම් ගොඩක් තියෙනවා. ඔතනත් ගෑණු ළමයෙක් ඉන්නවනේ සුරංග. මං ඒකට ක්‍රමයක් ලෑස්ති කරගෙන ඉන්නේ. ඔයාගේ අක්ක කොච්චරක් දේවල් බලාපොරොත්තු වෙනවද…”
“එයා හිතන් ඉන්නේ සල්ලි ගැනවත් රත්තරන් බඩු ගැනවත්, ලී බඩු ගැනවත් නෙමෙයි.”
“මහ ගේ ගැනද..මං ඒක දැනගෙන හිටියා සුරංග. ඔයා ඔය මහ ගේ අපේ නමට ලියලා ගියාට පස්සේ අක්කා හැමතැනම ඒකට දොස් කියලා තිබුණා. සමහර විට පාරින්දව අපේ දරුවාට ලං කරලා එයා බලාපොරොත්තු වුණෙත් ඒ දේම වෙන්න ඇති. ඒක එහෙමනං ඉසුරි වෙනුවෙන් ඒ දේ දෙන්න මං දෙපාරක් හිතන්නෙ නෑ.”
මේ වෙනදා නොසන්සුන්ව කෑ කෝ ගසමින් හැසිරෙන, කතා කරන ගැහැණිය නොවේ. එක තැනක තත්පරයක් ඉදගෙන ප්‍රශ්නයක් කතා කරන්නට හෝ විසඳුම් සොයන්නට පුළුවන් වූ ගැහැණියක නොවේ. අදහා ගන්නටත් බැරි තරමට ඈ සන්සුන්ව උන්නාය.
(යළිත් හමුවෙමු ආදරයෙන්…)