මනුජ විශ්ව පසුපස ඇවිද ගියේ කිසිවක් සිතීමට උත්සාහ නොකරමිනි. ඇය උදෑසන නිවසටද ආවා නොවේද ? ඉන් පසුව නිවසේ සිට රෝහලට ඇති දුර අවදානම් මඟක නොවේය. ඇයට කුමක් වූවාද ?
තමා නිරපරාදේ කලබල වූවාට, ඇතැම්විට ඔවුන්ගේ සේවා මුර මාරු කර දමා ඇතිවා විය යුතුය. මනුජ විශ්ව හා සමාන්තරව යන්නට වේගවත් අඩි කිහිපයක් තැබුවේය.
විශ්වගේ මුහුණෙන් කිසිවක් කියවාගන්නට නොහැක. ඔහු යමක් සඟවාගන්නට උත්සාහ කරනවාදැයි මනුජට නොසිතුනා නොවේ.
එහෙත් මනුජ කිසිවක් විමසුවෙ නැත
” බෙඩ් නම්බර් සික්ස්ටීන් …. හැදියාවක් ඇතුව හැසිරියං…
විශ්ව වාට්ටුවට ඇතුලු වී මනුජට වාට්ටුවේ ඇඳන් පේලියක් දෙස හිසින් සන් කරමින් කීවේය. මනුජ විශ්වට පිළිතුරු දෙන්නට නැවතුනේ නැත. අඩියට දෙකට දහසයවැනි ඇඳ වෙත ඇවිද ගියේය. සින්දූපා, ඇය උන්නේ නින්දකය. ඇයට කුමක් වීදැයි සිතාගන්නට නොහැක. පිටින් පෙනෙන්නට තරමේ තුවාලයක් හෝ වෙලුමක්ද නැත
මනුජ ආපසු හැරී බැලුවේය. විශ්ව උන්නේ ඔහු උන් දෙසට ඇවිද එමිනි. මනුජ අභිනයෙන් සින්දූපා ව පෙන්වමින් කුමා වී දැයි විමසුවේය. විශ්ව කිසිවක් නොපවසා ඇවිද ආවේය. සින්දූපා ගේ දෙපා වැසෙන සේ දමා තිබු ඇතිරිල්ල ඉවත් කලේය. මනුජ මදක් ඒ දෙසට නැවී දෙපා දෙස බැලුවේය.
ඇගේ එක් පාදයක් සම්පුර්ණෙන්ම වෙලා දමා තිබුණි.
මනුජගේ දෑස් වූයේ විසල්වය. විසල්වූ දෑස් තුළ වූයේ සින්දූපා පිළිබඳව වන වේදනාව සහ තමා පිළිබඳව වන කෝපයය.
” මො.මොක….මොකකද්ද බං…උනේ ?”
“පඩි හයකින් ස්ලිප් වෙලා… මාසයක්වත් ඉන්න වෙයි….”
“කො..කොහෙදිද ?”
“මෙහෙම තමා… වෝර්ඩ් එකේ එහා කෑල්ලෙදි…”
“ඇයි ..මෙහෙම ඉන්නේ ?”
“මෙහෙම ඉන්නෙ ඇයි අහන්නේ ?… කකුල කැඩිච්ච මනුස්සයෙක් වෙන කොහොම ඉන්නද යකෝ… ඔය වෝර්ඩ් දැම්මා විතරයි… සිහිය ඇවිල්ලා උන්නේ.. ඔය වේදනාවට නින්ද ..”
“එතකොට ?”
“යකෝ…සිහියට වරෙං…”
විශ්ව මනුජගේ පිට මැදට වන සේ පහරක් ගැසුවේය. මනුජ පියවි සිහියට එලැඹියේ ඉන් ය. ජීවිතය තුළ දරාගන්නට හැකි බොහෝ දේ විය. බොහෝ දේ ඇත. එහෙත් , තම සිහිය පවා ඉවතට ඇද දමන දේවල් මනුජ දැන් දන් වටහා ගනිමින් සිටින්නේය . දියණිය…. දැන් ඇය…
” දැන් පලයං…. මම බලලා විස්තරයක් කියන්නම් ….”
මනුජ විශ්ව දෙස බලා, යලි සින්දූපා දෙසද බැලුවාය.
” මං හින්දා නේද බං මේ ඔක්කොම …. බලපං
මං යන්තම් මේ කෙල්ලගේ ජීවිතේට ආවා විතරයි ඔක්කොම නුහුරට…. මං …. උඹ කියන්න හේ මගෙන් කාටවත් හොඳක් වෙන්නේ නෑ බං…. කාටවත්ම හොඳක් වෙන්නේ නෑ… “
“අනේ මේ…. බහු භූත කියවන්නේ නැතුව හිටහං…. කිව්වත් කමක් නෑ.. මට ඕවා අහගෙන ඉන්න බෑ… මේ මැඩම්ට සිහිය ආවහම ඕනි මඟුලක් කියාගනින්…”
” දැන් අවුලක් නෑ නේද බං…?”
මනුජ යලි එක්වරම සිහිවූවාක් මෙන්, සින්දූපා දෙස බලා එලෙස විමසුවේය. විශ්ව සියල්ල යහපත් බව පෙන්වන බැල්මක් පෙන්වූයේය. ඉන් පසුව මනුජ යලි සින්දූපා අසලට අඩියක් පමණ ලං වූයේය. ඇගේ මෘදු හිසකේ අතරින් අතැඟිලි යැව්වේය.
මනුජගේ ගත පුරා ක්ෂණික විදුලියක් පැතිර ගියේය. එය හැම විටකම, ස්ත්‍රී ස්පර්ශයක් හමුවේ නැගෙන විදුලියක් නොවේය. විශ්ව උන්නේ මනුජගේ හැසිරීම් පිළිබඳව සැලකිල්ලෙනි.
” ගෙදෙට්ට කිව්වාද බං ?”
“නෑ…. මෙයාගෙන් අහලා එපැයි මොක වුනත් කරන්න ….. කිව්වොත් ඇවිල්ලා කොළඹ එක්ක යයි.. මෙයා කැමති වෙයිද දන්නේ නෑනේ…”
මනුජ සුසුමක් හෙලුවේය. විශ්ව යලි සිහිපත් කල නිසා රෝහලෙන් පිට වූයේය. රියැදුරා ලවා නිවසින් ඇරලවා ගත්තේය.
” කාර් එක එවපං ..”
“හරි සර්.. “
සාරතී උන්නේ දියණිය සමඟ සෙල්ලම් කරමිනි. මනුජගේ මුහුණේ වෙනස සාරතී ඇඳින්නාය. දියණිය සන්තෝෂයෙන් දිව විත් මනුජගේ දෙපා බඳාගත්තාය.
” මහත්තයා ඇඟ පත් හෝදගන්න …..කෝ..බබා..මෙහෙට වෙන්න …..”
සාරතී එලෙසින් පවසමින් දියණිය පසෙකට කරගන්නට උත්සාහ කලාය. එහෙත් මනුජ ඇයව නැවැත්වූයේය
” ඉන්න දෙන්න …. සාරතී නැන්දා ගිහින් ඔපරේශන් එකක් කරලා සිහිය ආපු ලෙඩෙක්ට කන්න , බොන්න පුලුවන් විදියේ දෙයක් හ්දාගන්න… අපි දියතලාවේ යනවා .ටිකකින්….”
” කාටද මහත්තයා ..කාවද ඉස්පිරිතාලෙට දාලා තියෙන්නේ…?”
මනුජ දියණියට බෝලය අල්ලන්නට පවසමින් බෝලය විසි කලේය. ඉන් පසුව සාරතී දෙස බැලුවේය.
” දොස්තර නෝ…නා….”
” සීවර දෙයි හාම්මුදුරුවනේ… ඒ මක්කා වුනාය ? … අනේ..මහත්තය…යා….”
“පඩිපෙලකින් ලිස්සලා…වළලුකර ලඟින් කකුල කැඩිලා….. ඔපරේශන් එකක් කරලා… මම එද්දිත් එහෙන් සිහිය තිබුනේ නෑ…”
“දෙයි හාමුදුරුවනේ… මේ දරුවට තියෙන කරදර…. මං සුටුස් ගාලා හදලා ගන්නම් මහත්තයෝ..රෑට ළඟ ඉන්නම බලාගෙන යන්නම් මම….”
සාරතී අඩියය දෙකය නිවෙස තුළට දිව යන අයුරු මනුජ බලා උන්නේය.
මනුජ රාජකාරී නිළ ඇඳුම පිටින්ම දියණිය සමඟ සෙල්ලම් කලේය.ඉන් පසුව ඇගේගත දොවා ඇඳුමක් ඇන්දුවේය.මනුජද ක්ෂණිකව ස්නානය කරගත්තේය.
සාරතී සකසා තිබූ සැන්ඩ්විච් එකක් දියණියටද කැව්වේය. ඔහුද කටට දෙකට ගිල්ලේය.
” අපි ටව්න් යනවද අප්පච්චී ?”
“අපි ඩොක්ටර් ආන්ටිව බලන්න යන්නේ හොඳේ….ආන්ටිය ඌවා වෙලානේ පුතේ…”
දියණිය සින්දූපා පිළිබඳව ඇයට වූ මතක පිළිබඳව කියවමින් උන්නාය. මනුජ ඒවාට හූ මිටි තැබුවාය. විශ්වගේ ඇමතුමක් ආවේ එවෙලෙහිය.
” උඹ රෑට එනවද ?”
“එන්න ලෑස්ති වෙන ගමන්..”
“අර ආන්ටව රෑට චුට්ටක් නවත්තන්න බලාගෙනම වරෙං….. හෙටට් කවුරු හරි හොයාගන්නකල් මම…”
“හරි…. ලෑස්ති වෙන්වා….”
“ගෑණි මැරිච්ච මිනිහා වගේ හූල්ලන්න එපා බං…. උඹ එක තීරණේක ඉඳං වැඩ කරහං… එන්න කියනවා.. එනවා.. ආයේ යනවා…අතුරුදන් වෙනවා…. නිග්ලෙක්ට් කරනවා… පිස්සුනේ බං….උඹ හින්දා මේකි වැටුනා කියලාවත්, උඹ නිසා මේකිට මේ නරක කාලේ ඇවිල්ලා කියලවත් කියනවා නෙවෙයි මම…හැබැයි පුතෝ.. සින්දූපා උඹ හින්දා පිස්සු වැටෙමින් ඉන්නේ..ඒ නිසා දැනුම් තේරුම් තියෙන වැඩිහිහිට්යෝ වගේ උඹලා දෙන්නා තීරනය ගනිල්ලා…. එච්චරයි….”
මනුජ එයට කිසිත් නොපවසා සිටිද්දි විශ්වම ඇමතුම විසන්ධි කලේය.