නිහාරි විවාහ වෙලා ආවෙ රමේශ් ගේ ගෙදරට. ඇයට රමේශ්ව මුණ ගැහෙන්නේ විශ්ව විද්‍යාලයේදී. නිහාරි කියන්නේ පවුලේ එකම දරුවා. හුඟක් සැප සම්පත් මැද්දේ ඉතාම සුවපහසුව හැදුන තරුණියක් උන නිහාරි ඉගෙනීම අතින් ඉතා ඉහල තැනක හිටියත් ගෙදර දොරේ වැඩ කටයුතු වලට කුඩා කාලයේ ඉඳලම මෙහෙකාරියන් හිටපු නිසා ඒ ගැන පුරුද්දක් නිහාරිට ඒ තරම් තිබුණෙ නැහැ.
යන්තමින් බතක් එක්ක ව්‍යාංජනයක් දෙකක් සකස් කරගන්න නිහාරිට පුළුවන් වුණත් ඇයව ඉතා සුවපහසුවෙන් හදපු ඇගේ දෙමව්පියන්ගේ අදහස වුණේ නිහාරිගේ ජීවිතය ඉදිරි කාලයටත් මෙහෙකාරියෙකු ගේ සහයෝගය ලබා ගත යුතුයි කියලා.
” බැන්දට පස්සේ යන්නේ රමේශ්ගේ ගෙදරටනේ අම්මේ.එහෙට සර්වන්ට් කෙනෙක් අරන් යන්න බැහැනේ. මං හිතන්නේ නෑ එයාගේ අම්මා කැමති වෙයි කියලා ”
නිහාරිට විවාහ වෙන්න කලින් තිබුණ ලොකුම ගැටලුව තමයි ගේ දොර කටයුතු කළමනාකරණය කරගැනීම සහ ඒ ගැන ලොකු පුරුද්දක් නොතිබීම.
” එහෙනම් ඉතින් ඔය දෙන්න වෙනම ගෙදරකට ගිහින් සර්වන්ට් කෙනෙක් අරගෙන ඉන්න. අනිත් එක නිහාරි රස්සාවක් කරනකොට කොහොමද ඔයා උදේ පාන්දර නැගිටලා උයා ගෙන ගෙවල් අස් කර ගෙන හැමදේම තනියෙන් කර ගන්නේ ”
රමේෂ්ගේ අදහස වුණේ විවාහයෙන් පස්සේ මහා ගෙදර නවතින එක. ගේදොර වැඩ කටයුතු වලට තමන්ගේ අම්ම ගෙන් සහයෝගය ලැබෙයි කියලා රමේෂ් දැනගෙන හිටියා.
” අම්මා ඕන දේකට උදව් කරයි. ඒ උනාට නිහාරී අපිට එයාගෙන් හැමදේම බලාපොරොත්තු වෙන්න බැහැ නේ.ඔයා හැමදේම ටික ටික පුරුදු වෙන්න. ඕන තරම් ජොබ් කරන ගෑනු ඉන්නේ උදේ හතරට නැගිටලා උයල පිහලා වැඩට යන “
සැලසුම් කළා වගේම නිහාරි විවාහයෙන් පස්සේ රමේශ්ගේ ගෙදරට පදිංචියට ආවා. රමේෂ්ගෙ අම්මා නිහාරිව පිළිගත්තේ බොහොම ආදරයෙන්. රමේෂ්ගෙ එකම අක්කත් විවාහයෙන් පස්සේ විදෙස් ගතවෙලා ඉන්න නිසා නිහාරිගේ ආගමනයෙන් ගෙදර තිබුන දියණියගේ අඩුව මැකුණ කියලයි රමේෂ් ගෙ අම්මා හිතුවේ.
විවාහය නිසා සති දෙකක් විතර නිවාඩු දාලා හිටපු නිහාරි වගේම රමේශුත් මුල්ම වතාවට රැකියාවට යන දවස උදාවුණේ ඊට පස්සේ.රමේෂ්ගෙ අම්මා උදේ පාන්දරම නැගිටලා රමේෂ්ටයි නිහාරිටයි අරගෙන යන්න කෑම ලෑස්ති කලා. නිහාරි අවදි වුනේම උදේ හයට විතර. කෑම ලෑස්ති කරන්න කරදර වෙන්න එපා කියලා රමේෂ් ගෙ අම්මා කලින් දවසෙම කියලා තිබුන නිසා නිහාරි නිවිහැනහිල්ලේ අවදි වෙලා රැකියාවට යන්න සූදානම් වුණා.
කාර්යබහුල ජීවන රටාවට රමේෂ්ගෙ අම්ම ගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබුණ නිසා ගෙදර දොරේ වැඩ කළමනාකරණය කරගන්න හැටි තමන් ඉගෙන ගන්න ඕන කියලා නිහාරි ඒ තරම් දුරට හිතුවේ නැහැ. හැබැයි තමන්ගෙ අම්මා උදේ පාන්දර නැගිටලා තමන්ටත් බිරිඳටත් කෑම ලෑස්ති කරලා ගෙදර දොරේ වැඩ හැමදේම තනියම කර ගන්න එක ගැන ටික දවසක් යනකොට රමේෂ් ගෙ හිතේ නොරිස්සුමක් ඇති වුණා.
ඒ නොරිස්සුම පිට පැන්නෙ එක දවසක් හවසක නිහාරියි රමේශුයි රැකියාවට ගිහින් එන වෙලාවේ ඇඳ උඩ නවල තිබුණ රෙදි කන්ද දැකලා.
” මේ හැමදේම අම්ම තනියම කරනකන් ඔයා මොනවද කරන්නේ නිහාරි ? අඩුම ගානේ නිවාඩු දවසකට වත් මේ රෙදි ටික නවල පිළිවෙලක් කරන්න ඔයාට බැරිද ? ”
රමේෂ් ගේ උස් හඬ මුළුතැන් ගේ හිටපු රමේෂ් ගෙ අම්මට ඇහුනත් තමන් ගේ පුතාට දැන් වෙනමම පවුලක් තියෙන බව මතක් කරගෙන රමේෂ් ගෙ අම්මා මුළුතැන්ගෙයටම වෙලා හිටියා.
” අනේ ඉතින් අම්මා මේ ටික නවලනේ රමේශ් ”
නිහාරි පිළිතුරු දුන්නේ වරදකාරී හැඟීමකින්. රෙදි සෝදන යන්ත්‍රයට හෝදන්න දාපු ඇඳුම් සියල්ල වේළුනාට පස්සෙත් දවස් ගානක් පුරාවටම කූඩයක් ඇතුලෙ තිබුණා කියලා නිහාරිට වගේම රමේෂ්ටත් මතක් වුණා.
” මේ ටික දවස් ගානක් තිස්සේ අර බාස්කට් එක ඇතුලේ තිබුණ වෙලාවේ ඔයාට නවා ගන්න තිබුණනේ. ඔයා අර ගෙදර හැදිච්ච පොඩි එකා නෙමෙයි නිහාරි දැන්.කසාද බැඳපු ගෑනියෙක්. මගේ අම්මා මේ ගෙදර වැඩකාරි නෙමෙයි. ඔයාට ගෙදර වැඩ කරන්න බැරි නම් අඩුම ගානේ ඒ ටික කරන්න අම්මට උදව්වක් හරි දෙන්න.මෙච්චර කල් මාව බලා ගත්ත අම්මාට ඒ පාර වෙලා තියෙන්නේ ඔයා වත් බලා ගන්නනේ. කවද හරි අපට දරුවා ලැබුන දවසකත් එයාලව බලා ගන්න වෙන්නෙත් අපේ අම්මට තමයි මේ යන විදිහට ”
තමන් ගේ අතින් වුනේ මොන තරම් ලොකු වරදක්ද කියලා නිහාරිට තේරුම් ගියා. ඒත් තමන් ගේ නොවන ගෙදරක තීරණ අර ගෙන වැඩ කරන්නේ කොහොමද කියලා හිතා ගන්න නිහාරිට බැරි වුණා.
රාත්‍රී ආහාරයත් වැඩි කතා බහක් නැතුව අර ගත්ත නිහාරි වෙනදටත් වඩා කලින් නින්දට වැටුනා. ඊළඟ දවසේ උදේ පාන්දර හතරට අවදි වුන නිහාරී සීරුව ඇඳෙන් බැහැලා මුළුතැන්ගෙය පැත්තට ආවේ රමේශ්ගේ අම්මට කලින් මොනම විදිහකින් හරි කෑම ටිකක් ලෑස්ති කරනවා කියලා හිතා ගෙන.
මුළුතැන්ගෙයට ආපු නිහාරි මුළුතැන්ගෙය සිසාරාම බැල්මක් හෙලලා ටික වෙලාවක් කල්පනා කරා. මේ ගෙදර පදිංචියට ඇවිල්ලා මාසයකට කිට්ටු වෙන්න ඇවිල්ලත් හාල් තුන පහ තියෙන තැනවත් නොදන්න එක ගැන නිහාරිට දැනුනේ ලැජ්ජාවක්. නිහාරි කබඩ් එකින් එක ඇරලා ඒවායේ තියෙන්නේ මොනවද කියලා බැලුවා.
” පුතේ ”
රමේෂ් ගෙ අම්ම ගේ කරුණාවන්ත හඬ ඇහුනේ නිහාරි හාල් තියෙන්නේ කොහෙද කියලා හොයන අතරේ.
” මෙච්චර උදෙන් ඇහැරිලා ඇයි පුතේ ? ”
රමේෂ්ගෙ අම්මා එහෙම අහලා නිහාරි ලඟට එනකොට නිහාරි ගේ ඇස් වල කඳුළු පිරුනා.
” මං උයන්න කියලා හැදුවේ අම්මා ”
” එච්චර හරියක් ඉක්මනට කරන්න බැහැනේ පුතේ ”
රමේෂ්ගෙ අම්මා මුළුතැන්ගේ දොර පිටුපස තිබුන තරමක් විශාල කූඩයක් ඇරලා ඒක ඇතුලේ තිබුණ හාල් බෑග් එකක් එලියට අරගෙන මේසය උඩින් තිබ්බා.
” රයිස් කුකර් එක අරගෙන ඕකෙන් හුණ්ඩු තුනක් දාන්න පුතේ “
උදේ කෑමට සහ දවල් කෑමට තුන් දෙනෙකුට ප්‍රමාණවත් වෙන්න කොච්චරක් හාල් උවමනා වෙනවද කියලා නොදැන හිටපු නිහාරි රමේෂ් ගේ අම්මාගේ මිම්මට හාල් මැනලා රමේෂ්ගෙ අම්මා කියපු විදිහටම හාල් ටික හෝදලා රයිස් කුකර් එක ක්‍රියාත්මක කළා.
කලින් දවසේ රාත්‍රියේ ලුණු පහේ අත ගාපු කුකුල් මස් ටික ශීතකරණයෙන් එළියට ගත්ත රමේෂ්ගෙ අම්මා ඒක උයන්න අවශ්‍ය කළමනා ටික නිහාරිට ලං කරලා දීලා පියවරෙන් පියවර උයන හැටිත් කියලා දුන්නා. ඊට පස්සේ පරිප්පුවකුත් මැල්ලුමකුත් හදන්න නිහාරිට පුළුවන් වුණේ රමේෂ්ගෙ අම්මා එකින් එක හැමදේම කියලා දීලා ළඟටම වෙලා හිටපු නිසා.
උදේ හය වෙද්දි වෑංජන තුනකුත් එක්ක බත් පාර්සල් දෙකක් ලස්සනට ලෑස්ති කරලා නිහාරි ඒ දෙක සාලයේ තියෙන කෑම මේසය උඩින් තියනකොට රමේශ් අවදි වෙලා කාමරයෙන් එළියට ආවා.
” අම්ම උයන කෑම ටික ඔතල ගෙනල්ල තියෙන ලස්සන විතරක් “
රමේෂ් නොරිස්සුමෙන් කියන කොට නිහාරි ගේ මූණ බලා ගෙන ඉද්දිම අඳුරු වුණා.රමේෂ් ගෙ අම්මා මුළුතැන්ගෙයි ඉඳලා සාලයට ආවේ එතකොට.
” අද කෑම හැදුවෙ නිහාරි ”
රමේෂ්ගෙ අම්මා මූණ හිනාවකින් පුරවගෙන එහෙම කියනකොට රමේශ් නිහාරි දිහා බැලුවේ පුදුමයෙන්.
” අද නිහාරි මටත් කලින් නැගිටලා වැඩ පටන් අරගෙන තිබුණා. මං කලේ උදව් කරපු එක විතරයි. නිහාරි තමයි ඔක්කොම හැදුවේ ”
නිහාරි හෙමින් සීරුවේ කාමරයට ගියා. රමේෂ්ගෙ අම්මා රමේෂ් කිට්ටුවට ආවේ නිහාරි කාමරයට ගියාට පස්සේ.
” නිහාරි කියන්නේ වැඩ බැරි ළමයෙක් නෙමෙයි පුතා. මනුස්සයෙක්ට ඕනම දේකට පුරුදු වෙන්න කාලයක් යනවනේ. මං ළඟ ඉඳලා කියලා දෙනකොට ඒ ළමයා හැමදේම ලස්සනට ඉගෙන ගත්තා. සමහරවිට එයාගේ අම්මට එහෙම කරන්න කාලයක් තියෙන්නේ නැතුව ඇති. අද ඉගෙන ගත්තා වගේ එයා හෙමින් සීරුවේ හැමදේම ඉගෙන ගනියි. ඔයා කලබල නැතිව ඉන්න ”
තමන්ගේ අම්මාවත් තමන් ගැන නොහිතපු තරමට රමේෂ්ගෙ අම්මා තමන් ගැන හිතලා තමන් වෙනුවෙන් කතා කරන එක කාමරයේ ඉඳන් අහගෙන හිටපු නිහාරිට කඳුළු නතර කරගන්න බැරි උනා.