ඉඩෝරයක මල් වැස්සක් – 24

ඉසුරි ගැහෙන ඇඟිලි තුඩුවලින් අල්ලාගෙන උන් ලිපිය කියවූයේ එක හුස්මටය. ඇය තාත්තාගෙන් බොහෝ ආදරයෙන් ඉල්ලා තිබුනේ තවදුරටත් මේ ජීවිතය තුළ ඉවසා සිටින ලෙසය. දරුවන් තිදෙනා තනිකර තමා වෙත නොඑනා ලෙසය. නර්මදා  පුංචි අම්මා කාත් කවුරුවත් නොමැතිව ළමා නිවාසයක හැදුණු අයෙකු බව ඉසුරි දැනගත්තේ ඒ ලිපියෙන්ය. 

“හැම කෙනෙක්ම කවද හරි දවසක ජීවිතේ සැනසීම වෙනුවෙන් මොනතරම් වටින තැන් වුණත් අතාරින බව කියන්න හොඳම සාක්ෂිය තමයි ඉසුරි ඔය. මොනතරම් ගෙදර ප්‍රශ්න ඇතිවුණත් ඔයාගේ තාත්තා තමන්ගෙ දරු පවුලට ආදරේ කරපු මනුස්සයෙක්. ඒක මම හොඳටම දන්නවා. ඒ උනාට ප්‍රශ්න වලින් පිච්චි පිච්ච ජීවත් වෙන මිනිස්සු තමන්ට ලැබෙන පුංචිම සැනසීම හරි නැති කරගන්න කැමති නෑ.”

“දැන් පහුගිය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ අම්මේ. දැන් හරි අම්මා තේරුම් ගත්තනම් අම්මගේ අතින් වැරදි වුණා කියලා අපි ඉස්සරහ කාලය සතුටින් ජීවත් වෙමු. තාත්ත නැති උනා කියලා අම්මට අපි තුන්දෙනා නැති වුණේ නෑ. අම්මගේ ජීවිතේ අම්මට නොලැබුණු, අම්ම නොදැකපු සතුට අපිට ගෙනත් දෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.”

“ගොඩක් දේවල් වලට දැන් මං පරක්කු වැඩියි ඉසුරි. තාත්තා අපිව දාල ගියාට පස්සේ තාත්තගෙන් පළිගන්න තියෙන පුංචිම අවස්ථාවක්වත් මම නැති කරගත්තේ නෑ. මට හැම තිස්සෙම ඕනෙ වුණා තාත්තට දැනෙන්න මොනවා හරි කරන්න. එහෙම හිත හිත මං තාත්තට ඇහෙන, දැනෙන ගොඩක් දේවල් කළා ඉසුරි. මේ දේවල් වලින් නැති වෙන්නේ මගේ ජීවිතේ කියලා හිතන්න මට පුළුවන් කමක් තිබුණෙ නෑ. මනුස්සයෙක්ගෙ හිත වෛරයෙන්, තණ්හාවෙන් අන්ධ උනාට  පස්සේ තමන්  කරන්නේ  කියන්නේ මොනවද කියලා හැඟීමක් ඒ මනුස්සයාටම නෑ ඉසුරි. මං දන්නවා වෙන තැනකට වෙලා උනත් තාත්තා මගේ දිහා හරි උපේක්ෂාවෙන් බලාගෙන හිටියා. තාත්තා මට දවසක් මැසේජ් එකක් එව්වා ‘රාජිනී ඔයාට තහංචි දාන්න කවුරුවත් ඔයාගේ ළඟ නැති වුණාට දරුවෝ තුන්දෙනාගේ ගෞරවය ගැන හිතලා ඔයා කරන වැඩක් කරන්න කියලා. එහෙම නැත්තං දරුවෝ තුන්දෙනා මට දීල ඔයා ඕන දෙයක් කරගන්න කියලා’

ඉසුරි යළිත් ඈ දෙස බැලුවේ දෑස් මහත් කරගෙනය. තාත්තා අදටත් අම්මා ගැන කතා කරන්නේ මහත් වූ කලකිරීමක් සිත දරාගෙනය. ‘එයා ජීවිතේට හදන්න පුළුවන් ගෑනියෙක් නෙමෙයි  ඔහු එක් වරක් තෙවරක් නොව සිය වතාවක් පමණ ඇය සමඟ එසේ කියා ඇත.”

ඉසුරි ලිපි කවරය පසෙක තබා අම්මා අසලට ගොස් අසුන් ගත්තේ දිගු සුසුමකට පසුවය. ඇත්තය. මිනිසුන්ට ජීවිත වරදින්නට බොහෝ වේලා ගත වන්නේ නැත. 

“මාමලවත් මේ ප්‍රශ්නවලට මැදිහත් වුණේ නැද්ද අම්මේ.?”

“නෑ…..ඒ හැමෝම දැක්කේ මගේ වැරදි පැත්ත. පුතේ… එහෙම තමයි. ගොඩක් මිනිස්සු වගේ මාමලා හැම තිස්සෙම කිව්වෙත් ඒවා අපිට අත දාන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි පවුල් ප්‍රශ්න කියලා.” 

“කමක් නෑ අම්මේ..සිද්ධ  වෙච්ච කිසිම දෙයක් ආපස්සට වෙනස් කරන්න බෑ. අපි අනාගතේ ගැන හිතමු”

“පුළුවන් ඉසුරි. එකම එක දෙයක් තියෙනවා මං මැරෙන්න කලින් ආපස්සට වෙනස් කරන්න ඕනේ…ඒ මොකක්ද කියලා මගෙන් අහන්න එපා ඉසුරී. මං අද මේ දේවල් ටික ඔයාට කිව්වේ මට වැරදුණු තැන ඔයාට වරදිනව දකින්න ඕනේ නැති නිසා. මං තේරුම් ගත්ත ලොකු පුතා නං ස්වභාවයෙන්ම  ටිකක් දරදඬු චරිතයක්. හැබැයි එයා ඔයාට ආදරේ බව මම දන්නවා. හැම තිස්සෙම තමන්ගේ ජීවිතේ  මුල් තැන ඔයා ලොකු පුතාට දෙන බව පෙන්නන්න. දරුවෝ හදපු කාලෙක වුණත්,  මොකද පිරිමි හරි කැමතියි තමන්ගේ කසාද ජීවිතේ ඇතුලේ තමන් තමයි ප්‍රධාන චරිතේ කියලා හිතට දැනෙනවාට. හරි වැරැද්ද කතා කරන්න කලින් දෙපාරක් හිතන්න ඉසුරි. සමහර තැන්වල වැරදි පෙනි පෙනි උනත් නිහඬ වුණාට කමක් නෑ. කසාද ජීවිතයකට ඕන  වෙන්නේ ගෑනියෙකි ඉවසීම මිසක් වෙන මුකුත් නෙමෙයි”

ඉසුරි කිසිවක් නොකියා අම්මාගේ වදන්  අසා සිටියාට වෙනදා සේ ඊට එකඟව හිස වැනීමට තරම් සිතක් ඇයට නොවූවාය. බිනර විවාහ ජීවිතය ගැන අර්ථකථනය කරන්නේ මීට වඩා සපුරාම වෙනස් අයුරකින්ය. ඔහුට අනුව කසාද ජීවිතය තුළදී පිරිමියෙකු හෝ වේවා ගැහැණියක හෝ වේවා නිදහස්ව, නිරවුල්ව ජීවත් විය යුතුය.  

“යන්න ඉසුරි….මේ දේවල් මට ඔයත් එක්ක කියන්න ඕන උනා. මේවා හිතේ තියා ගත්තහම ඇති. ඉසුරි මම අවුරුදු තුනකින් ලංකාවට එන්නේ ඔයාගෙයි ලොකු පුතාගේ වෙඩින් එක ගන්නම බලාගෙන..”

“මං ආයෙත් අහන්නේ අම්මට ඔය ගමන නොගිහින් ඉන්න බැරිද?”

“මේ ජීවිතය ඇතුලේ මගේ අතින් වෙච්ච එක වරදක් තියනව ඉසුරි. ඒ වරද මං හරි ගැස්සුවේ නැත්නම් ඔයාටයි, මටයි, ලොකු පුතාටයි, නංගිටයි, මල්ලිටයි මේ හැමෝටම විඳවන්න වෙනවා.” 

“අම්මා මොනවද කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ.”

“ඔයා ඒක තේරුම් ගන්න උත්සහ කරන්න ඕනෙත් නෑ. ඒකට උත්තරේ බොහොම සරලයි. අන්න ඒ පාර තමයි ඉසුරි මං තෝරා ගත්තේ.”

“යන්නකෝ. මට ටිකක් තනියම ඉන්න ඕනේ. ඉසුරි පුලුවන්නං මට තාත්තට කෝල් එකක් අරන් දීලා යන්න. ඔයාලගේ  එන්ගේජ්මන්ට් එක සම්බන්ධවවත් නැන්දත් එක්ක කතා කරන්න මට හිතෙන් නෑ. ඒ දින වකවානු තාත්තම කතා කරලා පිළිවෙලක් කරගත්තාවේ.”

කාමරයෙන් පිටතට ගිය ඉසුරි යළි පැමිණියේ තමාගේ ජංගම දුරකථනයත් අතැතිවය. තාත්තා ඇමතුම හා සම්බන්ධ වූ හැටියේම ‘තාත්තේ අම්මට ටිකක් කතා කරන්න ඕනලු’…යැයි පැවසූ ඕ දුරකථනය රාජණීය අත තැබුවාය. ඉන්පසු කාමරයෙන් පිටවූයේ නිහඬවය. 

අන් කවරදාවත් නොදැනුණු දුකකින් ඇගේ පපුව පිරී තිබිණ. එවේලෙහි ඇයට වූයේ ඒ දුක කිසිවෙකු හා බෙදා ගැනීමේ උවමනාවය. සාලයේ කෙළවරක චාජරයට ගසා  තිබූ අම්මාගේ ජංගම දුරකථනය අතට ගත් යුවතිය මතකයේ හැටියට බිනරගේ අංකය එහි සඳහන් කළාය. අවසන ආලින්දයේ බිත්ති කණ්ඩිය මත අසුන් ගත්තේ දුරකථනය නාද වද්දීය.

“මං ඉසුරි…”

“ඔව් ඉසුරි… අලුත් නම්බර් එකක්.”

“මේක අම්මගේ නම්බර් එක. අම්මා මගේ ෆෝන් එකෙන් තාත්තත් එක්ක කතා කරනවා.”

“ඔයාගේ කටහඬ වෙනස් වෙලා මොනවා හරි ප්‍රශ්නෙකද…?”

ඉසුරිගේ දෑස්  වලට කඳුළු පිරුණේ ඔහු එසේ ඇසුවාට පසුවය. කටහඩේ වෙනස් වීමක් වුවද හඳුනාගත හැකි මිතුරෙකු සිටීම යුවතියකට මහඟු සම්පතකි. 

“අද කවදාවත් නැතුව අම්මා එයාගේ  ජීවිතේ වැරදිච්ච තැන් ගැන ගොඩක් පසුතැවුනා. ඔයා දවසක් මට කියපු දෙයක් මට මතක් උනාා බිනර. මතකද ඔයා කිව්වා අපි හැමෝටම කියන්න කතාවක් තියෙනවා කියලා.” 

“ඔව්…”

“අම්මටයි තාත්තටයිත් ඒ වගේ දුක හිතන කතාවක් තිබිලා තියෙනවා. සමහර විට ඔයා වගේ හොඳ යාළුවෙක් ඒ දෙන්නට හිටියනම් අදටත් ඒ දෙන්නා තමන්ගේ දුර්වලකම් හදාගෙන එකට ජීවත් වෙන්න තිබුණා.”

“අතීතය අතීතයටම බාර දෙන්න ඉසුරි. අතීතෙ මතකවල හෙවනැලි අරගෙන ඇවිල්ලා වර්තමානයේ අඳුරු කරගන්න එපා.”

“මට අම්මව නවත්ත ගන්න ඕනේ.”

“නෑ ඉසුරි… මං කියන්නේ මේ වෙලාවේ ඒක කරන්න එපා. ඔයා මට දවසක් කිව්වා අම්මා හිටියත් නෑ වගේ කියලා. ඔයාලා උස්මහත් උනේ ආචිත් එක්ක් කියලා. එතකොට ඔයාලගේ ජීවිතවල අමුතු වෙනසක් වෙන්නේ නෑ නේද…අනිත් එක ඔයා දැන් වගකීමක් ගන්න  පුළුවන් අක්කා කෙනෙක්. තාත්තා මල්ලි ගැන හොයලා බලනවනං. ඔයාට පුළුවන් නංගි ගැන හොයලා බලන්න. මේ වෙලාවේ අම්මා රට අත ඇරලා යන්නේ එයාගේ හිත හදාගන්නම් එයාගේ අතින් කොතනකදි හරි වෙච්ච වරදක් නිවැරදි කරගන්නනම් ඒකට එයාට ඉඩ දෙන්න. අවුරුදු තුනක් කියන්නේ හරි පුංචි කාලයක්.”

“මං දැන් වෙනදට වඩා අම්මගේ ආදරේට ආසයි. ලෝබයි. එහෙම ගිහිල්ලා එයා සදහටම නැතිවෙලා යයි කියලා මට බයයි.” 

“එහෙම වෙන එකක් නෑ ඉසුරි….”

“අම්මා  තාත්තත් එක්ක කතා කරන්නේ ලොකු අයියගෙයි  මගෙයි  එන්ගේජ්මන්ට් එකට දින දාගන්න. බිනර ඔයා තවමත් කියනවද ඒ මගේ තැන නෙමෙයි කියලා.”

“ඔව්.. විශ්වාසයෙන්ම කියනවා.”

“මං කොහොමද ආපස්සට හැරෙන්නේ…”

“හැරිය යුතු තැන්වලදී ආපස්සට හැරෙන්නම වෙනවා. මට පුළුවන් යාළුවෙක් විදිහට ඔයාව හයියෙන් අල්ලගෙන ඉන්න විතරයි. තීරණ ගන්න ඕන ඔයා.”

ඔහු බොහෝ දේ පැවසුවේය. තර්ක විතර්ක නොකරමින් සාධාරණීකරණය නොකරමින් ඉසුරි ඒ සියල්ල අසා සිටියාය. අම්මා තාත්තාත් අතර ගැටුම් ඇතිවී තිබුණේ ඔවුනොවුන් හරි හැටි තේරුම් නොගත් නිසාය. එහෙව් ජීවිතයක් ඈ පැතුවේ නැත. 

“ඉසුරි…..”

අම්මා කෑ ගසද්දී යුවතිය වහ වහා දුරකථන ඇමතුමට සමු දී ඒ අංකය පවා දුරකථනයෙන් මකා දැමුවාය. 

“තාත්තා කතා කරල ඉවර වෙනවත් එක්කම ලොකු පුතාගෙන්  කෝල් එකක් ආවා. මේ බලන්නකෝ..”

යළිත් වරක් ජංගම දුරකථනය නාද වූයේ යුවතිය හිස වනා අම්මා අත වූ දුරකථනය තමාගේ අතට ගනිද්දීමය. ඇය ඇමතුම හා  සම්බන්ධ වූයේ අම්මා ඉදිරියේදීමය. 

“තමුසෙට දැන් මං  කීපාරක් ගත්තද? මොකා එක්කද මෙච්චර වෙලා ෆෝන් එකේ  එල්ලිලා හිටියේ. ඉසුරි මං නරක මිනිහයි කියන්න එපා හරිද…..”

එහා පසින් ඇසුනේ ඔහු⁣ගේ කෝපය පිරි උස් හඬය. ඔහු කොහොමත් එහෙමය. තත්පරයක ප්‍රමාදයක් ඉවසිය හැකි කමක් ඔහුට වූයේ නැත. මෙවර ඕ ඒ ප්‍රමාදයට හේතු කියන්නට නොගියාය. එසේ කිරීමෙන් ඇතිවන්නේ කළකිරීමකි

( යළිත් හමු වෙමු ආදරයෙන්…)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles