” මනුජ පුතා… කොහේද මෙහෙ ?..”
“අංකල්… මේ.. මේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් චුට්ටක් අසනීප වෙලා ඇඩ්මිට් කරන්න ආවා…”
“ආහ්.. හරි හරි… මම ඒ පැත්තේ එන්න ඕනි කියලා ඊයෙත් ඇන්ටිට කිව්වා.. ප්‍රේමේ කතා කරාම , කාන්ති කියනවා ඇහෙනවා ගිහින් දෙන්නව බලලා එන්න කියලා.. මේ මගේ යාලුවෙක්ගේ හොස්පිට්ල් එකක් පුතා.. මැනේජ්මන්ට් එක බලලා දෙන්න කිව්වා.. ඒකට බිසි ..”
“ශේප් අංකල්.. අම්මා ඒ එහෙම කියන්නේ මාව බබා ගානට දාලා.. වෙලාවක එන්න… සෙට් වෙන්න බලාගෙනම…”
“මට ඒ ගැන කතා කරන්න කාරණාවකුත් තියෙනවා පුතා.. කෝමින් හරි… මම කෝල් එකක් දෙන්නම්…”
මනුජ පියාගේ මිතුරාට සමුදී රෝද පුටුවේ උන් සින්දූපා දෙස බැලුවේය. ඕ උන්නේ මූණ අකුලාගෙනය. හේතුව මනුජට වැටහෙන්නේය. විශ්ව ඇතුලත් කිරීමට අදාල කටයුතු වලය. විශ්වගේ බිරිඳ දෙදෙනාට ඉඩ දී විශ්ව වෙත ඇවිද ගියේය.
” සින්දූ . ඔක්කොම ගිනි එක පාර ඇවිලෙන්න දුන්නම බැහැනේ.. ඒ අංකල් තාත්තාගේ හොඳම යාලුවා… ඕක මෙවෙලේ කිව්වා නම් එහෙම අපේ ගෙදර ඇවිලෙනවා ආයේ හිතාගන්න බැරි වෙන්න… දැනටම වෙන කාරණාවක් නිසාඅපේ නංගී ෆයර් වෙලා ඉන්නේ…”
සින්දූපා මුහුණ යලි සකසා ගත්තාය. හිස සැලුවාය.
” මගේනේ ඉතින් දැන්… “
මනුජ මනමාල පෙනුමකට මාරු වෙමින් කීවේය. සින්දූපා වටපිට බලමින් සිනාසුනාය.
මනුජගේ හදවත තුළ වූ උණුසුම ඔහුට සීමා සහිතව දරාගැනීම පහසුවූයේ නැත. මේ ජීවිතයේ කිසි දිනෙක යලි හිමි කරගැනීමට සිතා උන් යමක් නොවේය.
” කකුල රිදෙනවා ටිකක් …”
සින්දූපා එක්වරම එලෙස පවසද්දී, මනුජගේ ස්වරූපය වෙනස් වූවේය. වහ වහා තොරතුරු විමසන්නට ගත්තේය. සින්දූපා ඔහුගේ අතකින් අල්ලා ගත්තාය.
” චුට්ටක් රිදෙන්නේ… ඔච්චරට කලබල වෙන්නෙපා… එතකොට පපුව රිදෙනවා සෑහෙන්නම …”
මනුජ යලි ඇය උන් රෝද පුටුව අසල අසුනක හිඳගත්තේය.
” හිතුවක්කාරකම් කරන්නේ නැතුව.., ඉස්සෙල්ලම සනීප වෙලා ඉන්නෝනි… හරිද?”
සින්දූපා හිස සැලුවාය.
” ප්‍රශ්න ඔක්කොම මට තියලා.. ඔයා රිලැක්ස් වෙන්න… මං හෙමින් හෙමින් ඔක්කොම එකින් එක විසඳගන්නම්…”
” ඔක්කොම ප්‍රශ්න නෙවි.. මට තනියෙන් විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා..”
“ඒ මොකද්ද ?”
” අර වෝර්ඩ් එකෙ මගේ සුපර්විශන් උන්න දරුවා… ඒ දරුවා මම ඩියුටි රිපෝර්ට් කරන්න කලින් ඩිස්චාර්ජ් කරවලා.. ඒ දරුවාව මම හොයාගන්න ඕනි..”
“ඩීටේල්ස් මට පාස් කරවලා දෙන්න… මම ඒක බලාගන්නම්..”
සින්දූපා ගේ වත මත මල් ඉහිරුන බව පෙනෙද්දී, සගයකු ජීවිතයට කෙතරම් නම් වටිනවාදැයි මනුජ සිහිපත් කරගත්තේය. ජීවිතය සතු සියල්ල අන් දෑතක් මත තබා නිදහස්ව ඇස් පියාගනට හැකි තරමේ විශ්වාසවන්ත බැඳීමක් මිනිසුන් සතු විය යුතුය.
” මම නිලූ මිස්ගෙන් ඩීටේල්ස් ඉල්ලලා එවන්නම්…”
“හ්ම්…”
” මට හිතෙන්නෙම ඒ දරුවා ඇබියුස් වෙලා.. වෙමින් උන්නා සහ වෙන්න නියමිතයි…”
සින්දූපා එක්වරම එලෙස පැවසුවාය. මනුජ එය සාවධානව අසා උන්නේය.
” ඒ මොක උනත්, ඔයා එව්වට දුවන්න පනින්න යන්න තහනම්…”
“මෝඩ කමාන්ඩර් කෙනෙක් වෙන්නෙපා ඒයි… අඩිය උස්සලා තියාගන්න බැරුව කොහොමද මම දුවන්නේ පනින්නේ……”
සින්දූපා ගේ සිනහව නැවතුනේ විශ්ව එතැනට පැමිණි නිසාය.
” ඔව්.. තොපි හුරුතල් වෙවී මල් කඩපල්ලා… මම කටු කන්නම්..”
“ඇයි මේ හනුමන්තා වලිගේ ගිණි අරගත්ත වෙලේ හැසිරුනා වගේ හැසිරෙන්නේ.. සන්සුන් වෙයංකෝ..”
“අනේ මේ මනුජ .. මං පෙන්නුවා කියලා හිතාගනින් උඹට හනුමන්තා…
විශ්ව මනුජට බැණ වදිමින්, පැමිණි හෙදියකට සින්දූපා ගේ සියලු වෛද්‍ය වාර්තා බාර කලාය සින්දූපා රෝද පුටුවෙන්ම රෝහල් කාමරය වෙත ගෙන ගියේ රෝහල් කාර්‍යමණ්ඩලය විසිනි.
“පැය කාලක් දෙන්නම්.. ඉක්මනට වරෙං…”
විශ්ව සහ බිරිඳ අවශ්‍ය අදාලා කටයුතු පිලිවෙල වූවාට පසු රෝහල් කාමරයෙන් නික්මෙද්දී, විශ්ව මනුජට ලංවී කීවේ තර්ජනය සහ කෝපය මුසු හඬකින් ය. මනුජ ඔහුගේ සුරතින් විශ්වගේ ගෙල බඳා ඔහු ට තාවකාලිකව සමුදුන්නේය.
සින්දූපා උන්නේ මනුගෙන් දෑස් ඉවතට නොගෙනය. දෙදෙනා අත් පටලාගත් හ. දෑස් මදි නොකියන්න ඇලී තිබුණි.
” ගිහිල්ලා එන්නම්…. කෑම ගෙනාවම කාලා බෙහෙත් බොන්න…. වොශ් රූම් යන්න ඕනි වුනාම අර කීව කෙනාව ගෙන්නගන්න…. හෙට අප්පච්චී ආවම මොකක් හරි පිලිවෙලක් කරාවිනේ…”
සින්දූපා හිස සැලුවාය.
” මට සමාවෙන්න පෙරේදා නොකියාම ආවට…. මගේ ඔලුව අච්චාරු වෙලා තිබුනේ… ඇත්තටම කරන්න ඕනි දෙයක් මට තේරුන් නෑ… “
” තවම අච්චාරූ ද ?”
“මොකක්ද ?”
” ඔලුව…?”
“පිස්සු ගෑණි.. මං අච්චාරුව හෙමින් සීරුවේ බේරගන්නම්… අපේ නංගිව අද රෑම බැලන්ස් කරගන්න ඕනි… එහෙම නැති වුනොත් හෙට අනිද්දාට අනිවාර්‍යෙන්ම අපේ අප්පච්චී මෙහෙ ඉඳී..”
මනුජ ඊයේ රැයට අදාල සිදුවීම සින්දූපා ට පවසා තිබූ මතකය යලි අවුස්සමින් කීවේය. සකලබල නොවී කතා බහ කරන්නට මනුජට උපදෙස් දෙද්දී මනුජ උවමනාවෙන් සවන් දුන්නේය. තමා සවන්දීම ඉතා අවම මිනිසෙකු බව මනුජ දනී.රැකියාව තුළ ඒ අඩුව සෑහෙන්නම දුරකට පාලනය කර ගනිමින් කටයුතු කරනවා වුවද, පෞද්ගලික ජීවිතය තුල එය විශාල අඩුපාඩුවක්ව ඇති බව ඔහු දනී. එය තමා හා අතිශය පෞද්ගලික බැඳීම් වල සිටින මිනිස්සුන්ගේ ජීවිත වලට අප්‍රමාණ රිදවීම්, කලකිරීම් ඇති කරවිය හැකි බවද මනුජ අවබෝධ කරගෙන ඉන්නේය
මනුජ යන්නට නැගිට, ඉදිරියට ගොස් යලි හැරීවිත් සින්දූපා ගේ නළල ඉම්බේය.
” ටූ මච් ෆෝර්වර්ඩ් …ඉට්ස් ඕකේ..නේ ? ..”
ඔහුම සින්දූපා ට ඇසෙන නෑසෙන හඬින් විමසුවේය. සින්දූපා සතු වූයේ සැනසීමේ සිනහව පමණි.
” පරෙස්සම්මට යන්න… බබාව බලන්න… “
“විශ්වයා එක්ක නේ යන්නේ.. ඌ යන විදියම් තමා…… බබා නිදි කරලා.. මම කතා කරන්නම්…..
“හ්ම්ම්ම්..”
“එතකල්, කාලා බෙහෙත් බොන්න…. “
“හරි….. පරෙස්සම්මට මනුජ..”
මනුජ ආපසු නොහැරීම පිටවූයේය. ඒ පිටවීම සින්දූපා ගේ ජීවිතයට පිවිසීමක් ලෙසින් සින්දූපා විඳගත්තාය. අවසානයේ හෝ මනුජට එතරම් ශක්තිමත් බවක් ලැබීම ගැන සින්දූපා විශ්වයටම ස්තූති වන්ත වූවාය. තමාට කෙතරම් තදින් දැනෙන හැඟීමක් වුවද, අනෙකාගේ සහයෝගය නොමති තැන ඒ හැඟීම සඟවා සිටින්නට සිදුවේ.