දෑත දරා – 53

මනුජ රෝහලට පැමිනෙන විට සින්දූපා දියතලාවේ අහස යටින් සෑහෙන දුරකට ගොස් උන්නාය. ඇගේ ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය.   පෞද්ගලික ගිලන් රථයේ  අම්මාගෙන් ජංගම දුරකතනය ඉල්ලා සිටින්නට ඇයට හය්යක් වූයේ නැත.

” පවු දෙය්යනේ කොල්ලා… මම ..හින්දා…පිච්චෙනවා…”

සින්දූපා දෑස් තරයේ පියාගෙන සිතුවාය. ඇගේ සිතුවිලි සුසුම් ලෙසින් පිට විය. සින්දූපා ගේ මව සින්දූපා දෙස බලා උන් නිසාම ඇගේ සුසුමේ බර අම්මාටද දැනුණි. කොහොමටත්, අම්මලාගේ ජීවිත එහෙමය.

” අර ළමයාට කතා කරලා… පිලිවෙලට කියලා.. මේක ඉවර කරගන්න මගේ පුතේ ගෙදර ගියාම … හරිද ? …. එහෙම නොවෙන්න තාත්තා මිනීමරුවෙක් වෙන එකෙන් මෙහා දෙයක් වෙන එකක් නෑ පුතේ…. ඒ ළමයත් නාහෙන අහන්නේ නැති කෙනෙක් වෙච්චි… දෙන්නා හැප්පෙන එකෙන් ඒ දෙන්නා වගේම අපි දෙන්නත් , ඒ ළමයාගේ පවුලේ අයත් විනාස වෙනවා…”

සින්දූපා දෑස් හැරියාය. අම්මාගේ වචන වලින් ඇයට යම් සවියක් දැනුනා සේ විය. මනුජගේ ජීවිතය හා සම්බන්ධ වෙද්දී, මෙවන් ගැටලු ඇති වීම් ගැන ඕ නොදැන උන්නා නොවේ.  එහෙත්,  එක්වරම සියල්ල සිදුවෙද්දී සින්දූපා යම් කලබලයකට පත්වූවාය. අම්මා සහ තාත්තාගේ ජීවිත තමා වටා කෙතරමින් බැඳි ඇති දැයි  දැන හිඳීම නිසාම ඕ තවත් සිර වූවාය.  කිනම් දාං ගැටයක් හෝ දමා දියතලාවේ නවතින්නට තිබූ ඉඩ කඩ ගැන අමතක කර දමා, ඕ කොළඹ යන්නේ ඒ නිසාය.

සින්දූපා රෝහලේ නොමැති බවත්, කිංග්ස් රෝහලේ ගිලන් රියකින් කොළඹ බලා ගෙන ගොස් ඇති බවත් , දැනගත් මොහොතට සිනාමුසුව මුහුණ දෙන්නට ඔහුගේ රැකියාවේ පන්නරය  මනුජ යොදාගත්තේය.

” ඕකේ… තෑන්ක්ස් …”

සින්දූපා රෝහලට ඇතුලත් කරන්නට රැගෙන ආ දිනයේ ඇය අසලම දැවටෙමින් උන්, කඩවසම් ගුවන් හමුදා නිළධාරියා රෝහල් කාර්‍යමණ්ඩලයේ බොහෝ දෙනාට මතක තිබූ නිසාත්, පෙරදින සින්දූපා ගේ කාමරය තුළ සිදුවූ සිදුවීම එහෙන් මෙහෙන් රෝහල තුළ පැතිරී තිබූ නිසාත්,  මනුජගේ විමසීම පිටුපස ඇති කතාව රෝහල් කාර්‍යමණ්ඩලය දැන උන්නෝය.

මනුජ යළි විශ්ව ඇමතුවේ රෝහලේ ඉදිරි පිවිසුම අසල සිටමය.

” කියහං…”

“උඹ කොහෙද?..”

“හොස්පිට්ල් ….”

“මං එන්නද ?..”

” ඔහොම කියලා හිටිංකෝ… මං හවසට ඒ පැත්තේ එන්නම්….”

” මචං… සින්දූ ව කොළඹ එක්ක ගිහිල්ලා…”

“ඉතින්…?”

මනුජට යන්තමකින් හෝ තිබුණ බලාපොරොත්තුව සිඳුනේය. විශ්ව, එලෙසනම් ඔහුද එය දන්නේය. විශ්වට සින්දූපා ගේ දෙමාපියන් පරයා යෑම කල නොහැකි වන්නට ඇත. එසේ නොවන්නට ඇය එලෙස යන බව පවසා තමාට ඇමතුමක් දෙන්නට බැරි වන්නේ නැත.

” උඹ …. දැනුවත්ද…”

“මනුජ …. මේක හොඳට අහලා ඔලුවට දා ගනින් බං… උඹ ආයේ මගෙන් සින්දූපා ගැන කොයි දේ කොහොම ඇහුවත් , මගෙන් උත්තර ලැබෙන්නේ නෑ බං… උඹට යමක් දැනගන්න තියේනම්, එක්කෝ සින්දූපා කන්ටැක් කරගනින්… එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා විස්තරයක් හොයා ගනින්… අන්තිමේදි මම මේ ඔක්කොමට බ්ලේම් වෙන මිනිහා වෙලා බං… ඒ කමකුත් නෑ… දෙය්යනේ කියලා ඔලුව උස්සලා ඉන්න මගේ නංගීත් මේ දෙව්වල් වලට පැටලෙන්න පටන් අරන්…. ඒක ඉවසන්න මට බෑ බං… මට සමාවෙයං… උඹේ ඕනි දේකට මම ඉන්නවා මචං… උඹ දන්නවා නේ… ඒත්, මට මේ වෙනුවෙන් කරන්ම දෙයක් නෑ බං තවදුරටත් …ප්ලීස්…. ආයේ අහලා, අපි දෙන්නම අපහසුතාවෙට පත් වෙන්නෝනි නෑ බං… එපා…”

“හරි බං….   අවුලක් නෑ…”

මනුජ ඍජුවම රාජකාරියට වාර්තා කලේය.  උදෑසන වරුවට  නියමිතව තිබුනේ ප්‍රායෝගික පුහුණු සැසියකි.ඔහු එය ඇරඹීමට පෙර සින්දූපා ට ඇමතුමක් ගත්තේය. ග්‍රාහකයා වූයේ සම්බන් කල නොහැකි ඉමකය. ඔහු ජංගම දුරකතනය සාක්කුව තුළට දමා දෑතද දෙපස සාක්කු වලට දමාගෙන මොහොතක් උන්නේය.

ඇය තමා අමතන්නේ නැතුව නොසිටින බව තමාට විශ්වාස බව  සිතුවේය.  තමාට ඉවසීමට සිදුවේ.

සින්දූපා  කිංග්ස්  රෝහලට ඇතුලත් කෙරුණි. හෙදියක ලවා සම්පූර්ණයෙන්ම ආරෝපණය කරවා ගත් ජංගම දුරකතනය සින්දූපා අතට ලැබුණේ තවත් පැය කිහිපයක් ඉක්මවා ගිය පසුය.

මනුජ උන්නේ යම් ලිපිලේඛන ගොනුවක් දෙසට අවධානය යොමු කරමිනි.

” සින්දූ…”

ජංගම දුරකතන තිරය මත මල් වැහි වැටෙමින් තිබුණි.

” හෙලෝ… හෙ..ලෝ…”

සින්දූපා ගේ වෙහෙසකාරී, බලාපොරොත්තු පිරුණ හඬ මනුජගේ හදවත තුළ අප්‍රාණිකව තිබූ ඉසව්වකට හුස්ම දුන්නෙය.

” සින්දූ ……”

” අනේ මට සමාවෙන්න … මනුජ…. මට සමාවෙන්න … මට … මට මුකුත්ම කරගන්න බැරුව ගියා…”

” ශ්..ශ්…. ඔක්කොම හරි…ඔක්කොම හරි… දැන් මේ අපි ඉන්නවනේ …හරිද? ඔයා කොළඹ ඉන්න්ක කොහොමටත් හොදයි… අනෙක ඔයාගේ ට්‍රීට්මන්‍ට්ස් වලට හන්ඩ්‍රඩ් පර්සන්ට් ඇටෙන්ශන් තියෙනවා ඔහේ…අම්මලා ඉන්නවා ඇහැ ගහගෙන… හරිද ? ඔය ඔක්කොම හොඳම විදියට වෙන්නේ …. මගේ දොස්තර නෝනා නාඬා ඉන්නකෝ…ම්ම්ම්ම්ම්…”

මනුජ ඔහු සතුව තිබූ වේදනා ගිණි ඔහු සන්තකයේම තබා ගත්තේය.

“ඒ වුනාට… තාත්තා…”

” මං කිව්වනේ … ඒ ඔක්කොම මම බලාගන්නම්…. තාත්තාට වරදක් කියන්න බෑනේ සින්දූ .. අපි දැනන් උන්නානේ මේම වෙයි කියලා…ම්ම්ම්ම්… ඒ නිසා හොඳ කෙල්ල නේ… හිත කලබල කරගෙන, මාව අවුල් කරන්නේ නැතුව අපි ඉස්සෙල්ලම සනීප වෙමු.. මම වීකෙන්ඩ් ආවම එන්නම් බලලා යන්න…”

“ඇත්තටම් එනවාද?”

“නෑවිත් කොහොමද? … කොහොමම හරි එනවා….”

සින්දූපා ගේ හඬ  ඉන් වෙනමම මානයකට මාරු විය. ඕ ඔහේ කියෙව්වාය. තාත්තා අත් හැරීමට නොහැකි යම් සේද, මනුජව අත් හැරීමද අපහසු බවට කියමින් දිවුරුවාය.

” මං දන්නවානේ… මං දන්නවනේ.. ඒකනේ මමන් ආදරේ  …. බයවෙන්නෙපා..ලොක්කා මට කෙල්ලව නුදුන්නොත්…කෑම්ප් එකම බස්සල උස්සන් එන්නම් අහසින්ම… හරිද?…”

මනුජ නොවූ සන්සුන්කමකින් සින්දූපා ගේ සිත සැනසුවාය. ඇයට අවැසි මානසික සහය සඳහා වන සියලු අහුකොන්  සැපයූවේය.

” ඔයා කලබල වෙලා පිස්සු නටන්නත් එපා..හොඳේ… බබාව මිස් කරගන්නෙපා… මම ආන්ටිට ත් කතා කරලා බලනවා… ඩ්‍රින්ක්ස් අරන් අහු වෙන්නෙපා මට ලිමිට් එක්සීඩ් වෙන්න…”

“බොන්නේ නෑ…”

“ආයේ.. විශ්ව අය්යට කතා කරොත්, නිකමටවත් මම ගැන අහන්නෙපා…”

“කතා කරන් නෑ…”

“හ්ම්… එයාව මේවට පැටලෙන්න ඕනි නෑ…. පාඩුවේ ඉන්න දෙමු එයාට…”

“හ්ම්…  හරි….”

” ඔයා කෑම්ප් එකේද?..”

“ඔව්…”

“මනුජ…. “

“ම්ම්ම්….”

” මාව අතාරින්නපා… මට ඔයා ලඟට එන්න කොච්චරක් කල් බලන් ඉන්න් වෙයිද දන්නේ නෑ…එහෙම එන්න  බැරිවෙයිද මම දන්නේත් නෑ… ඒත්  ,  මං වෙන කා ලඟටවත් යන් නෑ….”

“සින්දූ… ඒ ඔක්කොම අපි කාලෙට බාර දෙමු… හරිද… ?”

“මට පාලුයි… දුකයි….”

” ඔයා හිතන්නේ මට කොච්චරක් පාලු ඇති කියලාද සින්දූ …. මට බලාපොරොත්තුවක් පෙනිලා නොපෙනිලා යන එක…”

මනුජ ඇයට පෙන්වමින් තිබූ සැහැල්ලුව මොහොතකට ගිලිහුණේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles