ඉසුරි කාමරය අස්කර දැමුවේ එක හුස්මටය. ඉන්පසු මධ්‍යම රාත්‍රියටත් ආසන්න වන තුරුම සොහොයුරාගේ කාමරයත්, විසිත්ත කාමරයත් මුළුතැන් ගෙයත් අස් කර දැමුවාය. කිසිවෙකු නිවස අස් පස් කරන්නේ නැතැයි කෑ ගැසුවාය. පාරින්ද රෝහල් ගත කළ පුවත පවා රාජිනී අසා දැනගත්තේ පිටුපස ගෙදර සුමනා අක්කාගෙන්ය. ඉන්පසුව ක්‍රිකට් පුහුණුවීම් අහවරව නිවසට ආ ඉසුරුගෙන්ය.
“ලොකු පුතාට කොහොමද ඉසුරි..”
රාජිනී මුළුතැන් ගෙය වෙත ඇවිද ගියේ ඉසුරි ශීතකරණය අස් කරමින් සිටියදීය.
“වරදක් නෑ….”
“ගොඩක් තුවාල වෙලාද?”
“නෑ අතකට බැන්ඩේජ් එකක් දාලා තියෙනවා එච්චරයි.”
“ඔයා ඉස්පිරිතාලෙට ගිහිල්ලා ආපු බවක් මට කිව්වෙ නෑනේ.”
“කියන්න තරම් විශේෂත්වයක් නෑ අම්මේ.”
“ඉසුරි ඇයි එහෙම කතා කරන්නේ. ඔයයි ලොකු පුතයි අතර මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාද?”
“හැමෝම ජීවත් වෙන්නේ තම තමන්ට ඕන විදිහට. මං ගැන හිතන්න කවුරුවත් නෑ. මට තියෙන්නෙත් රිදෙන හිතක් කියල හිතන්න කාටවත් උවමනාවක් නෑ.”
රාජිනී මුළුතැන් ගේ තුලම වූ කුඩා බංකුවෙන් වාඩි වූයේ ඈ එසේ පැවසුවාට පසුවය. ඇය ඉසුරි තුලින් දුටුවේ පුදුමාකාර ගැහැණියකි. කෙදිනකවත් තමාට ඒ ගතිගුණවලට ලං වන්නට සිතන්නටවත් නොහැකියැයි රාජිනී තමාටම පවසා ගත් වාර ගණන අනන්තය.
“අපි කවුරුවත් ඔයාලගේ ඒ අලුත් ජීවිතේට බාධාවක් කරගන්න එපා ඉසුරි. වැදගත් වෙන්නේ ඔය දෙන්නගෙ සතුට. එතැනදී මට අඩියක් ආපස්සට ගන්න බැරි කමක් නෑ.”
“ඇයි අම්මට නැද්ද මොනවා හරි කිව්වද?”
“නැන්දා මට කිව්වේ නැහැ. කිරි අම්මත් එක්ක කියලා තිබුණා. ඒ දේවල් එහෙමනම් වෙන්නේ මං එයාගේ කකුල් දෙක ළඟට ගිහිල්ලා සමාව ගන්න ලෑස්තියි. ඕක අද ඊයේ තිබුණු තරහක් නෙමෙයි ඉසුරි. හේතු ඇතුවත් නැතුවත් එයා එහෙමයි.
“කවුරුවත් කා ගාවවත් එහෙම කරන්න ඕනේ නෑ.”
ඉසුරිගේ හඬ අන් කවරදාටත් වටා දැඩි වී තිබිණ.
“ඉසුරි…”
“එහෙම කරන්න ඕනෙ නෑ අම්මේ. එහෙම කරලා මොනවද අපි එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ගොල්ලෝ මේ ගේ ඉල්ලනවා කියලා මට කිව්වේ නංගි. කාගෙන් අහලද අම්මයි තාත්තයි එහෙම පොරොන්දු දුන්නේ. ඒ ගොල්ලන්ගේ ජීවිතවල මට තියෙන වටිනාකම මොකක්ද අම්මේ?”
“ලොකු පුතා හොඳ දරුවෙක් ඉසුරි. එයා ඉස්සර ඉඳලම ඔයාව බලා ගත්ත හැටි, පරිස්සම් කරපු හැටි අපි දැක්කා. මේ වෙලාවේ මටයි තාත්තටයි ඕනේ ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න මිසක් අපි ගැන හිතන්න නෙමෙයි.”
“කසාද ජීවිතයකට තියෙන්න ඕනේ ගෙවල් දොරවල් ද අම්මේ. දෑවද්ද.. තේරුම් ගැනීමක් නැති, ආදරයක් නැති, සමගියක් නැති විශ්වාසයක් නැති කසාද ජීවිතයක් ඇතුලේ මොනවද අම්මේ ගෑනියෙක්ට ලැබෙන්නේ.”
“ඉසුරි ඔයා කවදාවත් මීට කලින් මෙහෙම කතා කරල නෑ…”
“ඔව් අම්මේ…මගේ අම්මට තැනක් නැති. මගේ නංගිට, මල්ලිට තැනක් නැති තැනක මට තැනක් තියෙයිද..ලොකු අයියගේ යාළුවා කියපු විදිහට ලොකු අයියා පාරෙදි කාත් එක්ක හරි රණ්ඩු වෙලා තමයි මේක වෙලා තියෙන්නේ. හැබැයි නැන්දා කිව්වේ නැකත් බලවපු ගමන් මෙහෙම වෙච්ච එක හොඳ නෑ බාධාවක්, අපලයක් කියලා. එයාලා ඒ නොකියා කිව්වේ ඒ අපලෙ මම කියලා. කසාදයක් කරන්න මේ ගේ ඉල්ලන්න තරම් එයාලට මාව නොවටිනා කෙනෙක්ද අම්මේ. ඒක ගණුනෙුවක්. මං ගැන හැඟීමක් නැති මං ගැන වටිනාකමක් නැති තැනක මට සතුටක් තියෙයිද අම්මේ. මට එහෙම ඉන්න බෑ අම්මේ මං මැරිල යයි.”
මවට පිටුපා ශීතකරණය අසල බිම වාඩිවී උන් යුවතිය නැගී සිටියේ එසේ පවසාගෙනය. රාජිනීගේ පපුව සිහින් දැවිල්ලකින් රිදුම් දෙමින් තිබිණ.
“ලොකු පුතා මේවට මුකුත් කියන්නෙ නැද්ද ඉසුරි. නැන්දලත් එක්කනම් ජීවත් වෙන්න ටිකක් අමාරුයි තමයි. ඒත් ලොකු පුතා… මං හිතන් හිටියේ රට ඉඳලා ඇවිල්ලා ඕගොල්ලන්ගේ වෙඩින් එක ගත්තට පස්සේ මේ ගේ ඔයාලටම දීලා කුලී ගෙදරකට යන්න. ඒක හිත සතුටින් කරන දෙයක් මිසක් අකමැත්තෙක් කරන දෙයක් නෙමෙයි.”
“එහෙම වටිනාකම් එක්ක දීග දෙන්න ඕනේ නොවටිනා මිනිස්සු. මං එහෙම නොවටිනා ගෑණියෙක් මෙයි අම්මා. ලස්සනට ජීවත් වෙන්න ගෑනියෙක් කසාද බඳින්න ඕනෙම නෑ.”
“එහෙම ජීවත් වෙන්න අපි කාටවත් බෑ ඉසුරි. ලොකු පුතා මෙහෙට යනවට එනවට මිනිස්සු දැනටමත් කතන්දර කියනවා.”
“අම්ම කවදද කතන්දරවලට බය වුණේ. එහෙම බය වෙලා ජීවත් උනානම් අම්මට ජීවත් වෙන්න පුළුවන්ද? අපට මිනිස්සු කතන්දර කියනවා අම්මා. අදත් කියයි හෙටත් කියයි. අනිත් මිනිස්සුන්ටත් කියනවා ඇති. අපි ඒවා දන් නෑ. මොකද අපි හොයන්න යන්නේ නෑනේ.”
“මට එහෙම වෙච්ච හින්ද තමයි ඉසුරි ඔයාට ඒ ටික වෙනවට කැමති නැත්තේ..ලොකු පුතා මොනවද කියන්නේ කියන්නකො.”
එයා කතා කරන්නේ නැන්දගේ වචන. සමහර විට නැන්දා එයා ලව්වලා තමන්ගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න උත්සාහ කරනවා ඇති. මට දැන් කවදාවත් නැතුව මම ගැන බයක් දැනෙනවා අම්මේ. මට ඔයා ගැන බයයි නංගියි මල්ලියි ගැන බයයි.”
“මට ජීවිතේ එක තැනක වැරදුනා පුතේ. ඒක වරදක් කියලා නොදැන දිගින් දිගටම මං ඒ වරද කළා. ඇත්තටම ඔයාගේ තාත්තට මං ගොඩක් වැරදි කලා පුතේ. නැන්දත් එක්ක තිබුණු තරහා, ආච්චිත් එකක තිබුණු තරහා, මට මගේ යාලුවෝ වගේ සැප සම්පත් පිරුණු ජීවිතයක් ගතකරන්න බැරි උණු තරහා මේ හැමදේම පිටවුණේ තාත්තගේ පිටින්. දන්නෙම නැතුව අපිට අපිව එපා උනා. අපි කසාද බඳින්න ඉක්මන් උනා වගේම, ජීවිතයේ සමහර තීරණ ගන්න ඉක්මන් උනා වගේම. ඉක්මනට දික්කසාද වෙන්නත් සිද්ධ වුණා. අපි දෙපැත්තකට වෙලා එකිනෙකාට එදිරිවාදිකම් කරන්න ගිහිල්ලා අන්තිමට ඔයාලට රිදුනා. මං තාත්තත් එක්ක කතා කරන්නම් ඉසුරි. ඔයාල දෙන්නා විවාහ වෙන්න ඕනේ මේ ප්‍රශ්න විසඳගෙන.”
ඉසුරි අම්මා දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. මේ වෙනදා සැහැල්ලුව, නිදහස සෙවූ ගැහැනිය නොවේ. වගකීම් දැරීම වදයක්යැයි සිතූ ගැහැනිය නොවේ. මැරී ඉපදී උන් තරමටම ඈ වෙනස්ව උන්නාය.
“එපා අම්මේ….තාත්තත් එක්ක කතා කළා කියලා දැන් ආපස්සට හැරෙන්න බෑ. සමහරවිට මට අම්මටත් වඩා අන්ත විදිහට ජීවත් වෙන්න සිද්ධ වේවි. මං ලබා උපන් දෛවය ඒකනං මං ඒකට මුහුණ දෙන්න ලෑස්තියි අම්මේ.
“ලොකු පුතා මං ගැන ඉන්නෙ වැරදි වැටහීමක. හැබැයි එයා එහෙම හිතන එක වැරදිත් නෑ. මං නිවැරදියි කියලා කියන්න මට බෑ. ජීවිතය අවබෝධ කරගෙන ආපස්සට හැරෙන කොට ගොඩක් තැන් වැරදිලා ඉවරයි. ආපහු හදන්න බැරි තරමට. ඒ මොනවා උනත් ලොකු පුතා ඔයාට ආදරෙන් ඉදී කියලා මම හිතුවා. මේ විදිහට වෙනස් නොවෙයි කියලා හිතුවා. මම නිසානං මේ හැම දෙයක්ම මම ලෑස්තියි පුතේ නැන්දගේ කකුල් දෙක අල්ලලා හරි සමාව ගන්න.”
“එපා අම්මේ….ඔයා මගේ අම්මා. මොනවා උනත් ඔයා මගේ අම්මා. ලොකු අයියා ඔයාට ගෞරවයක් දෙන්නෙ නැත්තං එයා මට ගෞරවයක් දෙන්නෙත් නෑ අම්මේ. අපි එන විදිහකට ජීවිතයට මුහුණ දෙමු. මට මහන්සිය අම්මේ. මම යනවා නිදා ගන්න…”
ඉසුරි මුළුතැන් ගෙයින් පිටව ගියේ එසේ පවසමින්ය. දිගු සුසුමක් මුදාහළ රාජිනී එහෙමම බිත්තියට හේත්තු වූයේ දෑස් වලින් ගලා හැලෙන කඳුළු වලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය. ඉසුරි මේ කලබලයෙන් නිවස අස් කලේ අවශ්‍යතාවයකට නොවනබව විශ්වාසය. ඇයට උවමනා වූයේ සිය සිතුවිලි සන්සුන් කර ගන්නටය.
වසරකට ආසන්න කාලයක් තිස්සේ තමා රැකගෙන දරා උන් රහසක් වන බව මේ කිසිවෙකු අදටත් නොදනී. දැන් ඇයට වන්නේ ඉසුරිව තනිකර යාමට බියකි. ඊයේ පෙරේදා වනතුරුත් තමා ගැනටත් වඩා වැඩි විශ්වාසයක් ඇයට පාරින්ද ගැන විය. ඔහු ඉසුරිට යහපත් සැමියෙකු වේයැයි සිතුවා පමණක් නොව අනිත් දරුවන් දෙදෙනාට යහපත් සහෝදරයෙකු වෙතැයි සිතුවාය. තමා අතින් වූ ඒ වරද නිවැරදි කරන්නටනම් වසර තුනක්වත් පිටරටක සේවය කර මුදල් ඉපයිය යුතුමය. ඈ මේ සියල්ල සැලසුම් කලේ පාරින්ද ගැන බලාපොරොත්තු තබා ගෙනය.
**************
ජයවර්ධන පවුලේ සියල්ලෝම සිටියේ කෑම මේසයට වාඩි වී ගෙනය. හාල් පිටි වලින් සෑදූ නූඩ්ලස් වර්ගයකුත්, කුකුළු මස් හොද්දකුත්, තැම්බූ බිත්තර කිහිපයකුත් මේසය මතින් ගෙනවිත් තැබුවේ අම්මාය. බිනර සහ හංසිකා වෙනුවෙන් සාදා තිබුනේ සුප් වර්ගයක් සහ සැන්ඩ්විච් පෙති කිහිපයකි.
“මං හිතන් ඉන්නේ ලබන සතියෙ මීටින් එකක් අරගෙන බිනර කාගේ කවුද කිලා කියන්න.”
බිනර තිගැස්සුනේ තාත්තා එසේ පවසද්දීය. ඔහු හංසිකා දෙස බැලුවේත් ඒ තිගැස්සුන වේගයෙන්මය. ජයවර්ධන සිටියේ ඔහු දෙස බලාගෙනය.
“එහෙම හොඳයි නේද තාත්තේ…..”
අනතුරුව ඔහු තම පියා දෙසට හැරුණේය.
“ඔව්…එහෙම තමයි මමත් කලේ.”
“තාත්තා ඒකට තව ටිකක් කල් ගත්තොත් හොඳ නැද්ද?”
“ඇයි බිනර මොකක්ද ප්රශ්නය..”
“මට තව ටික කාලයක් මේ වගේ සාමාන්‍ය සේවකයෙක් විදිහට වැඩ කරන්න ඕනේ. මං හිතනවා මං තවම මැනේජ්මන්ට් එකට ඇතුල් වෙන්න තරම් කොලිෆිකේෂන් සම්පූර්ණ කරලා නෑ කියලා”
“මටනම් එහෙම එකක් දැනෙන්නෙ නෑ. තව දුරටත් ඔයා මෙහෙම හිටියොත් සේවකයෝ අතරේ අපි ගැන තියෙන විශ්වාසය බිඳෙන්න පුළුවන්.”
බිනර යළිත් හංසිකා දෙස බැලුවේ තමා ‘බේරා ගන්න’යැයි පවසන්නාක් සේය.
“ඉගෙන ගන්න තියෙන දෙයක් මැනේජ්මන්ට් එකට ආවට පස්සේ ඉගෙන ගන්න බැරියැ.”
එසේ පැවසූයේ සීයාය.
“මල්ලි කියන දේ හරි තාත්තා. අපි තව ටික කාලයක් මල්ලිට කට්ටියත් එක්ක ගැවසෙන්න ඉඩ දෙමු. මං හිතනවා ඒක වඩා වැදගත් වෙයි කියලා. මොකද එයා ලංකාවට ආවේ අවුරුදු හතරකට පස්සේ. මුලින්ම එයාට මිනිස්සු ගැන අවබෝධයක් ලැබෙන්න ඕනේ. සමහරවිට මේ ඉන්නේ එයා යද්දි ඉඳපු මිනිස්සු නොවෙන්න පුළුවන්. එහෙම නේද තාත්තා..”
හංසිකා එසේ පැවසූයේ බිනරගේ සිත සැහැල්ලු කරමින්ය. ඒත් තාත්තාගේත් සීයාගේත් තීරණය කුමක් වේදැයි සිතූ ඊළඟ තත්පරයේදී ඔහු වෙවුලා ගියේය. මේ තමා ඉසුරි හා රැඳී සිටිය යුතුම වේලාවක් බව විශ්වාසය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)












