” ඊට පස්සේ මනුස්සයා හෙමින් තාලේ කිව්වා උදව්වක් ඕනි, ඒ වෙනුවෙන් ඕනි දෙයක් ආයෙම කරන්න එයා ලෑස්ති කියලා… මම ඉතින් මුකුත්ම නොකියා ඔහේ බලන් උන්නා විතරයි… වචනයක් කිව්වෙ නෑ මම….. ආහ් නෑ.. ඊට කලින් අසනීපේ ගැන ඒම ඇහුවා…. දියතලාවේ වැඩ කරන්නේ නේද කියලා අහලා… අඳුනන අය්යා කෙනෙක් එහෙ කෑම්ප් එකේ ඉන්නවා කියලත් කිව්වා…”
එලෙස පවසන විට සින්දූපා ඇස් උස්සා සිනාසුනාය.
“හ්හ් හා… ඉතින්…”
” මං ඉතින් අහගෙන හිටියා.. ඊට පස්සේ මූ කිව්වා, එයා මැරි කරා දවස් කිහිපෙකට කලින්…. ගෙදරින් ඒ මුකුත්ම දන්නේ නෑ… අම්මලා කසාද කතා කරලා තියෙන්නේ එයාගේ කැමැත්තකින් නෙවෙයි .. එයාට මේ කසාදේ කියටවත් ඕනි නැතිය .. එහෙම කිව්වා.. මාත් ඉතින් අහගෙන හිටියා…. ඊට පස්සේ කිව්වා…, එයාගේ කැරැක්ටර් එක එච්චරට හරි නා වගේ කතාවක් ටික දවසකින් අම්මලාට කියලා මේක නවත්තන්න පුලුවන් ද කියලා….. හෙනම අහිංසක තාලෙන් ඇහුවේ.. ඉතින් මට හිතාගන්නත් බැරි උනා මොකද්ද ඒ කියන්නේ කියලා…”
“මොකක් ?..”
” ඔව් .. ඔව්…අර හැරස්මන්ට් වචනේ මතු උනේ එතනින්… එයා මට එහෙම ඩිස්ටර්බ් වෙන විදියට හැසිරෙන්න ගත්තා කියනෙක තදින්ම කිව්වොත් මේක විසඳගන්න පුලුවන් වෙයි කිව්වා….. අහන්නකෝ ඉතින්.. මම ඊට පස්සේ ඇහුවා.. මම කොහොමද ඔහොම බොරු කියන්නේ කියලා…”
” ඊට පස්සේ එයා කිව්වා එහෙම බොරු කියලා ගෙදරයි එයායි අතරේ ප්‍රශ්නයක් හැදුවොත්, අම්මලා එයාගේ තීරණේකට ඉඩ දෙන එක අනිවාර්‍යෙන්ම වෙනවා. ඒකෙන් එයාගේ ප්‍රශ්නේ විසඳෙනවා… එයා ඒ වෙනුවට මට ඕනි උදව්වක් කරන්නම් කියලා…”
“ඉතින්..”
“මං ඉතින් හා කිව්වා.. එයා කිව්ව සතියක් හමාරක් ශේප් එකේ ඉඳලා ට්‍රිප් එකක් යනවා වගේ එලියට ගිහින් ඇවිල්ලා ඔය ප්‍රශ්නේ හදමු කියලා..”
“දැන් එතකොට ඔය ප්ලෑන් එක අර අපේ ගොන් එළදෙනගේද ?.”
“අහන්නකෝ කියනකල් …”
“හ්ම්… හ්ම්..
” පැය දෙකක් විතර ඔහොම කියව කියවා ඉන්නකොට එයාට කෝල් එකක් ආවා.. ටිකක් එහාට ගිහින් එයා ෆෝන් එක ආන්සර් කලේ… පස්සේ ඇවිල්ලා කිව්වා එයාගේ වයිෆ් ඒ කියල.. ඒ එක්කම ඒ දෙන්නාගේ ෆොටෝ එකක් පෙන්නුවා… ඔයාගේ රූම් එකේ නංගිගේ ෆොටෝ එක තිබ්බ නිසා මම ඉතින් හොඳටම මතකෙන් උන්නේ එයාගේ මූණ… ඊට පස්සේ මම ඇහුවා එයාගේ නම… මනුර්‍යා නිල්නෙතු ප්‍රේමනාථ කිව්වා… මට තරු පෙනුනා ඉතින්….”
“හා ..ඉතින්…”
“ඊට පස්සේ මම පුදුමෙන්ම බලාගෙන උන්නා….ඒ පාර එයා ඇහුවා, ඇයි කියලා… ඊට පස්සේ මම එකපාරම කිව්වා.. මම තමා මනුජ නිම්නෙත් ප්‍රේමනාථ එක්කල යාලු වෙලා ඉන්නේ කියලා… ඔයාට කියන්න ඒ කොල්ලා නිකන් බෝම්බයක් වැදුනා වගේ හොල්මන් වුණා.. ඒ පාර, මුකුත්ම නොකියා… යන්තම් තේකක් බීලා ශේප්වෙලා ගියා…”
“ඊට පස්සේ…?”
“එදා රෑ , කෝමහරි අර අය්යා ගිහින් පැයකින් විතර ඔයාලාගේ නංගී මට කතා කලා…. එයා සෑහෙන්නම කලබලෙන් හිටියේ…. මට හිතුනේ, ඔයා මාව රවට්ටලා වගේ මූඩ් එකක උන්නේ එයා… ඒ කිව්වේ ඔයාගේ ඇත්ත මම දන්නේ නෑ කියලා වගේ හිතුවේ… ව්ටෙන් විටේ ඉඟි දුන්නා එයා… මං එකපාරම කීවා, දෝණි මා එක්ක යාලුයි.. මම එයාව බලන්න යනවා කියලා…”
“ඊට පස්සේ… නංගී වීඩියෝ කෝල් එකක් ගත්තා… “
” හ්ම්…”
” එයා ඉස්සෙල්ලම කිව්වේ , අය්යට හොඳටම ගැලපෙනවා අක්කේ ඔයා කියලා…”
“මොකක්.. පුදුමයි ඔහොම දෙයක් කිව්වා…”
සින්දූපා එයට සිනාසුනාය. අය්යා සහ නංගීගේ රණ්ඩු ඇත්තේ වෙනම මානයකිනි.
” ඊට පස්සේ එයා ඇඬුවා…”
මනුජ කිසිවක් නොවිමසා ඊළඟ ට සින්දූපා කුමක් පවසාවිදැයි අසා උන්නේය.
” එයා ඇහුවා, මොන ප්‍රශ්නේ ආවත්, ඔයා ළඟින්, බබා ලඟින් ඉන්න තරම් මට හය්ය තියේවිද කියලා…. නිර්ධා කියන නම එක්ක සැහෙන්නම දේවල් කිව්වා… ඇත්තටම එව්වට මම සෑහෙන්නම ඇඬුවා… ඇඬුවා නෙවී, ඇත්තටම මට සෑහෙන්නම ඇඬුනා… ඒ කතා මම එහෙම දැනගෙන උන්න ඒවත් නෙවි, මට අදාලත් නෑ තමා.. මන්දා… මට හරියට රිදුනා….”
මනුජ දෑත මිට මොලවාගත්තේය. නැගණිය ගැන කෝපයක් සිතෙන්නේද නැත.
” ඉතින්.. මූණ අකුලෝගන්න එපා.. එවෙලෙට ඒ.. දැන් හරි. පස්සේ නංගී කිව්වා ඔයා ගැන එයා හරියට හිතේ බයෙන් උන්නේ.. දැන් ඒ බය බාගයක් විතරම අඩු උනා කියලා… අනෙක බබා ගැනත් කිව්වා… එයාලා දෙන්නා කෝම හරි කරලා බබාගේ අයිතිය ගන්න විදියක් බලන්නත් එක්ක ආවේ…. ඒ නිසා ඒ ගැන චුට්ටක්වත් හිතන්නෙපා කියලා..”
මනුජ සුසුමක් හෙලුවේය.
” මං ඒකට මුකුත්ම කියන්න ගියේ නෑ.. ඔයා ඉද්දී, ඔයා හොඳ සිහියෙන් මේම ඉද්දී වෙන කාටවත් බබාව ඉල්ලන්න බෑ මනුජ… ඒ අයිතිය ලැබෙන එකම කෙනා බබාගේ අම්මාම විතරයි….”
මනුජ හිස සැලුවේය. විශ්ව සහ ඔහුගේ බිරිඳ නිවෙසට පැමිණියේ ඒ අතරේය. විශ්වගේ වෛද්‍ය පරීක්ශණයක් අවසන් කර ඔවුන් නගරයේ මද වේලාවක් රැඳී හිඳ නිවසට එමින් සිටියෝය. සින්දූපා දුටු විශ්ව උන් තැනම ගල් ගැසුනේය. ඉන් පසුව අසල වූ අසුනකට වැටුනේය.
” ඒ ඒ.. මේ.. බලපං.. උඹ හිතන විදියේ දෙයක් නෙවී…. වාඩිවෙයංකෝ… නංගී.. නංගී… වතුර එකක් ගේනවාකෝ…..
මනුජ උස් හඬින් කෑ ගැසුවේය.
විශ්ව සින්දූපා දෙස බලා උන්නේ භීතියෙන්, හොල්මනක් දැකි අයෙකු මෙන් ය.
” මචං.. මේ බලපං.. මං සින්දූ ව උස්සන් ඇවිල්ලා නෙවෙයි මේ.. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ .. හරිද ??? අඩෝ මේ .. මේ බලපංකෝ මගේ දිහා… විශ්ව…”
එහෙත් විශ්ව සන්සුන් වූ බවක් පෙනුනේ නැත. එහෙත් ඔහු මනුර්‍යා රැගෙන ආ වතුර වීදුරුවම බීවේය. ඉන් පසුව ගැඹුරු හුස්මක් හෙලුවේය.
මනුජ යලි විමුක්ති ඇමතුවේ, මෙවෙලට අවශ්‍ය වන සාමකාමී බව පලමුව ගොඩ නඟා ගන්නට සිතමිනි.
” මේ බලපං.. මේ විමුක්ති …. හරිද ? සින්දූ ට ප්‍රපෝස් කරපු.. ..උඹලෑ මාමගේ පුතා… හරිද ?? උන් දෙන්නා මේ ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙන්නේ….”
විශ්ව ඉන් උන්නාටද වඩා කලබල වූයේය. සින්දූපා අන් තරුණයෙකු හා බැඳී හිඳීම මනුජට මෙතරම් සැහැල්ලුවෙන් ඉවසිය හැකිද ? ඔහුට මෙතරම් සන්සුන්ව සිටිය හැකිද ? තමා දන්නා මනුජට මෙතරම් පහසුවෙන් යමක් ඉක්මවා යා නොහැකි බව ඔහු දනී.
” නංගී …. මොකක්ද මෙතන වෙන්නේ ??”
ඔහු සින්දූපා දෙසට හැරී විමසුවේය.
” කලබල වෙන්නෙපා අය්යේ… අහන්නකෝ… “
“වෙන්නේ මොකක්ද කියහල්ලා… තොපි මාව මරාගත්තම මේ ගෑණිට යන එන මං නැති වෙනවා යකුනේ…මේකිට පිස්සු හැදේවි.. “
විශ්ව උස් හඬින් කෑ ගැසුවේය.












