ළතෙත් ආදර හැඟුම් ගංගා – 38

*නාද්‍යා සොනාලි සල්වතුර*

ආදරේකට පුළුවන්ද එහෙම හිතිච්ච හිතිච්ච වෙලාවට හිත් අස්සෙන් මතුවෙන්න කියලා මම හිතුවෙ “මගේ හිතේ ආයෙ කවදාවත් පිරිමියෙක් වෙනුවෙන් ආදරයක් මතුවෙන්නෙ නෑ අහස් වෙනුවෙන් ඇරෙන්න” කියලා හිතපු මම මමවත් දන්නෙ නැතුව තාරානාත්ට ආදරේ කරන්න පටන් ගත්තම. මං වගේ දරුවෙක් එක්ක තනිවෙච්ච ගෑනියෙක් තාරානාත් වගේ කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න වරදක් වගේම කවදාවත් කවුරුවත් අනුමත කරන දෙයක් නෙවෙයි කියලා මතක් වෙන හැමවතාවකම මට තාරානාත්ට කතා කරලා “අපි මේක නතර කරමු” කියලා කියන්න හිතුනත් එයා එයාගෙ ආදර වරුසාවෙන් මාව නාවද්දි මට හිතට එකඟව ඒක කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.

අපි දෙන්නගෙ ආදරේට පුලුවන් උනා ලන්ච් ක්ලබ් බිස්නස් එක තව ඉස්සරහට අරගෙන යන්න. ඒ විදියට තමයි ඒ අවුරුද්ද ඉවර වෙද්දි අපිට ඒ අවුරුද්දෙ තිබ්බ බිස්නස් අවෝඩ් සෙරමනි එකකදි බෙස්ට් ඉමර්ජින් බිස්නස් ඔෆ් ද ඉයර් සම්මානෙ හම්බුනේ. 

“ඔයා යන්න අනේ, ඔයා දන්නවනෙ මම ආස නෑ කියලා ඔය සෙනග ඉන්න තැන්වලට යන්න” කියලා මම කිව්වට තාරානාත් ඒ වැඩේට කැමති උනේම නෑ.

“මේ මේ ඩබල් දාලා වැඩේ කරලා අන්තිමේ ප්‍රතිඵල ආවම මට විතරක් ඒවා භාරගන්න කියන්න එපා මැඩම් හරිද? කරුණාකරලා මාව නරක මිනිහා කරගන්නෙ නැතුව එන්න ලෑස්තිවෙන්න හෙට රෑට. අනික අපි හෙට අවෝඩ් සෙරමනි එකට ගියාට අනිද්දා උදේම අපිට ආයෙ ඔෆිස් එකට එන්න වෙනවා අර ශූට් එකේ වැඩේට”

“එයාලා අපේ ඔෆිස් එක ඇතුළෙත් ශූට් කරනවද?”

“ඔව්, මම කිව්වා මේ වීඩියෝ එක නිකන් අපේ කම්පනි එක ගැන කියවෙන ඉන්ට්‍රො වීඩියෝ එකක් විදියට හදමු කියලා. අපේ බිස්නස් එක ගැන කියලා. පික් මී එකෙන් කතා කරා එයාලා කරන බිස්නස් ටු බිස්නස් කැම්පේන් එකකටත් අපි එක්ක වීඩියෝ එකක් කරන්න පුළුවන්ද කියලා. අපි ඕකේ කරමු නේද ඒ වැඩෙත්? එයාලගෙ ප්ලැට්ෆොම් එකේ අපේ කොන්ටෙන්ට් එකක් යන එකෙන් එයාලගෙ ඕඩියන්ස් එකත් අපිට ලොකුවටම ටාගට් කරගන්න පුලුවන් නෙ”

“මගෙන් අහන්නෝන නෑ ඉතින් ඔයා මේ බිස්නස් ගැන උපාධි ගත්ත මනුස්සයෙක්නෙ. හොඳ විදියක් බලලා කරන්න”

“මං ඔයාගෙ ඔක්කොටම ආසයි ඔන්න ඔය හීනමානෙට තමා ආස නැත්තෙ”

“හීනමානයක් නෙවි අනේ ඉතින් මං කිව්වෙ ඇත්තටම”

“මට මාකටින් ඩිග්‍රි තියෙන එක ඇත්ත නාද්‍යා. ඒ උනාට ඩිග්‍රි වලින් අරගන්න තියරටිකල් නොලේජ් එකට වඩා හැමතිස්සෙම වැඩකරන්නෙ ප්‍රැක්ටිකල් නොලේජ් එක. දැන් මට කොච්චර උගත්කම තිබ්බත් ඔයා නැතුව මට පුළුවන්කමක් තිබ්බෙ නෑනෙ තාත්තගෙ බිස්නස් එක ගොඩගන්න. මම වහලා දාන්න හිටියෙ ඒක ඔයා නේ සපෝට් කරේ. ඒ හන්දා ඔයා ඔයා ගැන අඩු තක්සේරුවකින් හිතන්න එපා” කියලා තාරානාත් කියද්දි එයා එහෙම කියන්නෙ අපි දෙන්නා බිස්නස් පාට්නර්ස්ලා විදියට සලකලද එහෙම නැත්තම් අපි දෙන්නාට දෙන්නා ආදරේ කරන එක ගැන හිතලද කියලා හිතාගන්න ඇත්තටම මට පුළුවන්කමක් තිබ්බේ නෑ. ඒ දෙකෙන් මොන එක උනත් එහෙම නැත්තම් දෙකම උනත් තාරානාත්ගෙ ඒ වචනවලට පුළුවන් උනා ඇත්තටම මාව වශී කරගන්න. ආයෙ ආයෙ ආයෙ ආයෙම එයා වෙතට.

අපි තව කෙනෙක් එක්ක ආදරෙන් බැඳෙනවා කියන එකේ තේරුම අපි එයාගෙ මනස එක්තරා ආදරණීය විදියකට ආක්‍රමණය කරනවා කියන එකත්, නතු කරගන්නවා කියන එකත්, මම ඇත්තටම තේරුම්ගත්තෙ තාරානාත් ළඟදි. සෑහෙන කාලෙකට කළින් ගයා එක්ක නිදාගද්දි උනත් මම ඒක ආදරේ කියලා වැරදියට තේරුම්ගත්තට ඇත්තටම එතන තිබිලා තියෙන්නෙ අපි දෙන්න අපි දෙන්නගෙ ශරීර නතු කරගත්ත එක විතරයි කියලා මට තේරුණේ තාරානාත් ළඟදි මම මගේ හිතට හරියට ඕපන් වෙන්න ඉඩ දුන්නම.

ඉස්සරහට තියෙන මාස කීපෙ අපි දෙන්නා නොසැහෙන්න බිසී වෙනවා කියන එක අපි දැනගෙන උන්නෙ සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් ඉස්සරහට තිබිච්ච හන්දා. අපේ වීඩියෝ ශුට් එක, අවෝඩ් සෙරමනි එක, අලුතෙන් අපි පටන් ගන්න බලාපොරොත්තුවෙන් උන්න ලන්ච් ක්ලබ් රෙස්ටුරන්ට් එක. ඒ වගේම මට වගේම තාරානාත්ටත් විශේෂ වෙච්ච අපේ අහස්ගෙ පළවෙනි උපන්දිනේ.

“දරුවෙක්ගෙ පළවෙනි උපන්දිනේ නෙවෙයි නාද්‍යා හැම උපන්දිනයක්ම අම්මටයි තාත්තටයි ඒ දරුවගෙ කොච්චර වැදගත් ද? ඉස්සර මම පොඩිකාලේ අපේ තාත්තා මගේ උපන්දින හැම එකක්ම වගේ නෑයො හැමෝටා එන්න කියලා ලොකුවට ගෙදර සෙලිබ්‍රේට් කරා.අපේ තාත්තා කවදාවත් මට වෙනසක් කරේ නැති හන්දා නෑයො මාව එයාලගෙම දරුවෙක් විදියට බාරගත්ත එක බව ඇත්ත හැබැයි මගෙ උපන්දින පාටි වලයි මගෙ යාලුවන්ගෙ උපන්දින පාටියි අතරෙ ලොකු වෙනසක් තියෙනවා කියන එක මට ඒ පොඩි කාලෙත් තේරුණා”

“මොකද්ද වෙනස?”

“ඒ උපන්දින පාටිවල අම්මා කෙනෙක් හිටියා හැබැයි මට හිටියෙ නෑ කියන එක. ඒ හන්දා අපි දෙන්නා අහස්ගෙ පාටි එකට හොඳට ගමු. මං ආස නෑ මං ඒ පාටිවලදි වින්ද හිත් වේදනාව මගෙ දරුවට කවදාවත් විඳින්න වෙනවට” 

ඒ වෙද්දි කාන්ති අක්කා දැනගෙන උන්නා මමයි තාරානාතුයි අතරෙ බිස්නස් පාට්නර්ස් කියන දේට එහා ගිය සම්බන්ධයක් තියෙනවා කියන එක. වචනෙන් ඒක ගැන කිසිම දෙයක් කාන්ති අක්කා මා එක්ක කතා නොකරට තාරානාත් ගෙදර ආවාම වෙනදට “මහත්තයා” කියලා කතා කරමු කාන්ති අක්කා, තාරානාත්ගෙම ඉල්ලීම “මල්ලි” කියලා කියන්න පටන් ගත්තයින් පස්සෙ හැමෝම මේකට එකඟයි කියලා තේරුම්ගන්න මටයි මගෙ හිතටයි පුළුවන් උනා.

අපේ අවෝඩ් සෙරමනි එක තිබ්බෙ බී එම් අයි සී එච් එකේ. ඒ මම එහෙම දේකට ගියපු පළවෙනි වතාව. මෙතුවක් දවසක් අපේ බිස්නස් එකේ කිසිම දේකට මගේ මූණ තියා නමක් වත් දාන්න මම උත්සහ නොකලේ ඒ ඔස්සේ හරි මටහැංගෙන්න උවමනා කරලා උන්න අපේ ගෙදර අය, කැම්පස් එකේ අය එහෙම මාව හොයාගෙන ඒවි කියන බයට. ඒ නිසාම බී එම් අයි සී එච් එකේ තිබ්බ අවෝඩ් සෙරමනි එකට ඇවිත් උන්න මිනිස්සු දකිද්දි මගෙ කකුල් දෙක වෙව්ලන්න පටන් ගත්ත එක ඇත්ත. මං උන්නෙ ඒ අඩි දෙක තුන ඇවිදගෙන ගිහින් කන්ෆරන්ස් හෝල් එකට යන්න කිසිම කන්ෆිඩන්ස් එකක් නැතුව. මං උන්නෙ බයකින්. මං අඳුරන එක්කෙනෙක් හරි මේ සෙනග ගොඩේ ඉන්න එකක් නැද්ද කියන බයකින්. එහෙම කෙනෙක් ඉඳලා එයා මාව අඳුරගනීවි කියන විදියෙ බයකින්. අහස තිබ්බෙ වහින්න ඔන්න මෙන්න කියලා. තව තප්පර ගාණකින් මහ වැස්සක් කඩාවැටෙන්න කියලා අන්ධකාර කරලා. මගෙ හිත තිබ්බෙත් ඒ වගේම අන්ධකාරෙකින් වැහිලා ගිහින්. 

“අනේ මට යන්න බෑ” කියලා මම කිව්වේ වාහනේ කෙළවරේම තිබ්බ ගහක් යට නවත්තලා බහින්න හිතාගෙන දොරට අත තිබ්බ තාරානාත්ව නතර කරන බලාපොරොත්තුවකින් එයාගෙ වම් අත වැලමිට හරියෙන් අල්ලලා නතර කරලා.

“ඇයි කෙල්ලේ ම්ම්ම්?” කියලා අහන ගමන් තාරානාත් දොර වහලා ආයෙම මගෙ දිහාවට පාත් උනේ සීට් බෙල්ට් එක ගලවලා, එයාගෙ දකුණු අතෙන් මගේ තුනී මේකප් තට්ටුවකින් හැඩ කරමු කම්මුල හරිම සනීපෙට අතගාලා.

“අනේ මට යන්න බෑ. මට බයයි අඳුරන කවුරුහරි ඉඳීවි කියලා. මට මූණ දෙන්න බෑ. ප්ලීස් මම ඉන්නම් ඔයා ගිහින් එන්න” කියලා.

මං දන්නෙ නෑ ඇයි මට එහෙම හිතුනෙ කියල. සමහරවිට ගෙදරින් ඔෆිස් එකටයි ඔෆිස් එකෙන් ගෙදරටයි මාරු වෙන ජිවීතයක් තිබ්බ හන්දා, මිනිස්සු එක්ක ලොකුවට මුහුවෙන්න මගෙ හිතේ ලොකු බයක් තිබ්බ හන්දද කියන එක.

එහෙමත් නැත්තම් මොකක් හරි මහා විනාසයක් ඉස්සරහට වෙන්න තියෙනවා කියන විදියෙ හැඟිමක් මගෙ හිත මට කිය කිය උන්න නිසාද කියන එක.

ගෑනුන්ට ඉව තියෙනවා කියන එක ඇත්තක් උනාට ඒ ඉව මං වෙනුවෙන් වැඩ කරාවිද කියන ප්‍රශ්නෙ ඇස් වල ඇඳගෙන මම දිගටම කලේ තාරානාත් දිහා බලාගෙන ඉන්න එක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles