ළතෙත් ආදර හැඟුම් ගංගා – 47

*නාද්‍යා සොනාලි සල්වතුර*

“ඇක්ශන්”

ඇඩ් වීඩියෝවක් ෂූට් කරද්දි කැමරාව ඔන් වෙන්නත් කලින් තමයි ඇත්තටම හැමදේම පටන් ගන්නෙ. කැමරාව අස්සෙන් පේන්නෙ ඇඩ් එකේ හතරෙන් එකකටත් වඩා අඩු වැඩ කොටසක් විතරයි.

බිස්නස් එකක් කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. බිස්නස් එකක් කරනවා කියන්නෙ පාරිභෝගිකයාට ඕන දේ දෙන එකම නෙවෙයි. ඒක යුද්ධයක් වගේ, හැම පැත්තෙන්ම ගැහිල්ලක්නෙ තියෙන්නෙ. අලුත් අදහස් හැමදාම හොයන්න වෙනවා මොකද මාකට් එක හැමදාම වෙනස් වෙන ගමන් තියෙන හන්දා. අනික අපේ ලන්ච් ක්ලබ් එක කියන්නෙ කෑම සම්බන්ධ බිස්නස් එකක් උනාට මිනිස්සුන්ට කෑම කවන්නත්, අපේ කෑම කන උවමනාව ඇති කරන්නත් අපිට ඇඩ් හදන්න වෙලා තියෙන ලෝකෙක තමයි අපි දැන් ජීවත්වෙන්නෙ.

තරඟකාරයෝ නිතරම අපිට වඩා හොඳ ප්ලෑන් හදන ගමන් ඉන්නෙ. අපෙන් කෑම ගන්න මිනිස්සුන්ව දිගටම අපි ළඟ තියාගන්න අපේ කෑම වල කොලිටි ලෙවල් එක විතරක් මේන්ටේන් කරලා මදි කියන එක මට කියලා දුන්නෙ තාරානාත්. අපි කොච්චර කෑම කොලිටි එක හොඳ කරත් ඒක මිනිස්සුන්ට නිතරම කියන්නෝන බව පෙන්නන්නෝන බව මට කියලා දුන්නෙ තාරානාත්. අපි මේ ඇඩ් කැම්පේන් එක කරන්න හිතුවෙත් අපේ ලන්ච් ක්ලබ් එකේ සාර්තකත්වය දැකලා ඒ අයිඩියා එක කොපි කරන්න කීප දෙනෙක්ම පටන් අරගෙන තියෙනවා කියන එක අපිට දකින්න හම්බෙච්ච හන්දා.

ඇඩ් එකක් කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. ඒක දවස් ගාණක් අපි හැමෝම මහන්සි වෙන්නෝන දෙයක්නෙ. අපිට තත්පර ගානක පොඩි වෙලාවක් ඇතුලෙදි මුළු කතාවක්ම සම්පූර්ණයෙන්ම පෙන්නන්න සිද්ද වෙනවා. ඒක නිකන් හරියට බලෙන් දීමක් වගේ දෙයක් තමයි. ඩිරෙක්ටර්ගේ ඔලුව ඇතුළෙ තියෙන දේ ලයිට් දාලා, කැමරාව දාලා එළියට ගන්න වෙනවා වගේ වැඩක්නෙ මේ අපි කරන්නෙ. 

එදා උදේ තිබ්බෙත් ඒ වගේම අමුතුම විදියෙ යුද්ධෙකට ලෑස්ති වෙන ගමන්. ෆැක්ටරි එක ශූට් එකට ඕන විදියට රෙඩි කරලා තමයි තිබ්බෙ. බිස්නස් එකේ වැඩත් එක්ක මට ලොකුවටම ඔය මීටින්ස් වලට යන්න බැරි වුනාට තාරානාත් හැම දෙයක් ගැනම අප්ඩේට් එකක් දීලා තිබ්බ නිසා මට ලොකු අමාරුවක් තිබ්බෙ නෑ වෙන දේවල් තේරුම්ගන්න. 

“දැන් මේ වැඩෙන් පස්සෙ අපේ බිස්නස් තව වැඩිවෙයිද?” කියලා මම තාරානාත්ගෙන් ඇහුවෙ උඩ ඔෆිස් එකේ වාඩිවෙලා පල්ලෙහා කට්ටිය ශූට් එකට රෙඩි වෙන විදිය බලාගෙන ඉන්න අතරවාරෙ.

“ඇඩ් කැම්පේන් එකක් කරන්නෙ ඉතින් බිස්නස් වැඩිවෙන එක වෙනුවෙන්ම නෙවෙයි. බිස්නසුත් වැඩිවෙයි හැබැයි ඊටත් වඩා අපි බලන්නෙ මෙතනදි ඉතින් අවෙයානස් බිල්ඩ් කරන්න තමයි”

“අවෙයානස් වැඩිවෙලා අපිට මේක කරගෙන යන්න අමාරු උනොත් මොකද කරන්නෙ?”

“කරගන්න අමාරු උනොත් කියලා ඔයා මීන් කරේ මොකද්ද?”

“මං කිව්වෙ දැනටම අපිට ඕනවටත් වඩා ඕඩර්ස් එනවනෙ දවසකට. අපි මේ විදියට මිනිස්සුන්ට තව තව අපි ගැන කියලා අපිට මැනේජ් කරගන්න බැරි තරම් බිස්නස් ආවොත් මොකද කරන්නෙ? අනික දැන් පුතා ලොකුවෙලා ඉස්කෝලෙ එහෙම යද්දි මට දැන් තරම්ම බිස්නස් එක ගැන බලන්න පුලුවන් වෙයිද කියලා කියන්නත් බැනෙ”

“ඉතින් කවුද කිව්වෙ දැන් ඔයා මුලු ජීවිත කාලෙම මේ බිස්නස් එක බලන්නෝන කියලා. බිස්නස් තව වැඩි උනත් නැතත් මම උන්නෙ ඉක්මනට ඔයාව මේවයින් අයින් කරලා දාන්න”

“ආහ් ඇයි ඒ? අයින් කරලා වෙන කාවහරි සෙට් කරගන්නද?” කියලා මම විහිලුවට වගේ කිව්වට තාරානාත්ගෙ මූනෙ තිබ්බ සීරියස් ගතිය දැක්කම නම් ඇත්තටම මට බයත් හිතුනා තාරානාත් මාව අයින් කරලා දාන්න යනවද කියලා. අන්න ඒ නිසාම තමයි මම ඉඳගෙන උන්න තැනින් නැගිටලා ගිහින් තාරානාත් වාඩිවෙලා උන්න තැන බිම දනගහගෙන එයාගෙ මූණ දිහාවට ඉස්සිලා ඇහුවෙ.

“කියන්නකො අනේ ඇයි එහෙම දෙයක් කිව්වෙ? ඔයා කැමති නැද්ද මම මෙ බිස්නස් එක කරනවට?” කියලා. මගේ මූන දිහා බලාගෙන උන්න තාරා එයාගෙ කැරකෙන රෝද පුටුව ඇඩ්ජස්ට් කරගෙන මගෙ මූන දිහාවට පහත්වෙලා එයාගෙ අත් දෙක මගේ මූණ දෙපැත්තෙන් තියලා තමයි අර සීරියස් මූනෙන්ම කතාව කන්ටිනිව් කරේ.

“ඔයා බිස්නස් එකේ ඉන්නවට මම අකමැති නෑ ළමයො. ඔයානෙ ඇත්තටම මේ හැමදේම බිල්ඩ් කරේ. ඒ උනාට ඔයා තාම තරුණයි. ඔයාව මැරි කරලා ගෙදරට හිරකරන අදහසකින් නෙවෙයි මම කිව්වෙ ඔයාව අයින් කරනවා කියලා. මම තාත්තගෙ මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් කරගෙන ආවට පස්සෙ අපි ගිහින් බලමු ඔයාට බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකක් කරන්න පුලුවන් තැනක්. ඔයා මේ එක්ස්පීරියන්ස් බිල්ඩ් කරගන්නවා වගේම පේපර් කොලිෆිකේශන් එහෙමත් හදාගත්තොත් ඔයා නතර වෙන්නෙ මේ වගේ පොඩි තැනකින් නෙවෙයි.

ඒකයි මං කිව්වේ. අනික බිස්නස් එක ලොකු වෙන්න ලොකු වෙන්න ඔයාට ඔයාගෙ මුලු ජීවිතේම ඒකටම කැපකරන්න පුළුවන් කමක් නෑනෙ. අනික ඔයා එහෙම කරන්නෝනත් නෑ. මෙච්චර කාලයක් ඔයා දරුවා වෙනුවෙන් මේ බිස්නස් එක වෙනුවෙන් නැහුනනෙ. දැන් ඇති. මං කියන්නෙ නෑ මේ අපේ ගෙවල් වල සුර සැප තියෙනවා කියලා. ඒ උනාට මට දෙන්න පුලුවන් උපරිම සැප මං ඔයාට දෙනවා කියලා පොරොන්දු වෙනවා.

ඔයා දන්නෙ නෑ රෑට නිදාගන්න ගියාම මට කොච්චර හිතට අමාරුද කියලා ඔයා අර වත්තෙ මදුරුවො කන ඒවා අස්සෙ නිදාගන්නෙ කොහොමද කියල මතක් වෙද්දි. හරි මැරි කරන්න කලින් අපෙ ගෙදර එන්න බෑ කියලම කියමුකො. ඔයා කැමති නෑනෙ මම ඔයාට වෙන තැනක් රෙන්ට් එකටවත් අරගෙන දෙනවට. අඩුම ඔයා මට ඉඩ දෙන්නෙ නෑනෙ මගෙ දරුවා වෙනුවෙන් වත් එහෙම කරන්න” කියලා තාරානාත් කියද්දිත් මගෙ හිත තිබ්බෙ ආයෙ ආයෙ අහන ගමන් “මං වගේ ජීවිතේ වරද්ද ගත්ත කෙනෙක්ට මෙහෙම හොඳ මනුස්සයෙක්ව ලැබෙන්න පුළුවන්ද?” කියලා.

ඒත් මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න උනේ නෑ. මොකද ඒ වෙලාවෙම තමයි අමරසූරිය ඇවිල්ල කිව්වෙ ශූට් එකට ඔක්කොම දේවල් රෙඩි වෙලා තියෙන්නෙ. ඩිරෙක්ටර් ශූට් එක පටන් ගන්න යන්නෙ අපිටත් පල්ලෙහට එන්න කිව්වා කියලා. ශූට් එකක් කිව්වම මම හිතුවෙ නිකන් පැය දෙකෙන් තුනෙන් ඉවර වෙන වැඩක් කියලා උනාට මොකෝ රෑ වෙනකම් වැඩේ යද්දි තමා මට තේරුනේ මේ රඟපාන එකත් හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි නේද කියලා.

එදා රෑ මහ ලොකුවට මහන්සි උනාට පස්සෙන්දා දවස් ටිකේ නිවනක් කියලා දෙයක් තිබ්බේ නෑ. ඊට දවස් තුනකට පස්සෙ තාරානාත් එයාලගෙ තාත්තව අරගෙන ඉන්ග්ලන්ඩ් යන හන්දා ඒ ගෙනියන්නෝන ජාති අස් කරන්න එහෙම තමයි ලොකුවටම තිබ්බේ.

හිත තිබ්බ දුකෙන්. ඒත් තාරානාත් යන්නෙ සදහටම නෙවෙයි කියලා දැනගෙන උන්නත් මගේ හිත එච්චරටම දුකෙන් පිරිලා තියෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ මගෙ හිතෙත් තිබ්බා. මගෙ මූණෙන් ඒක පෙනිච්ච හන්දද මන්දා රට යන දවසට කලින් දවසෙ රෑ මාවයි අහස්වයි එයාලගෙ ගෙදර ගෙනිහින් තියාගන්න තාරානාත් වැඩ කරා.

තාරානාත්ගෙ ඇඳුම්, එයාලට එහෙ ඉන්න මාසෙට වගේ ඕන කරන මෝජු, සීනි සම්බල් දාපු සීල් කරපු බෝතල් එහෙම පැක් කරද්දි මං උන්නෙ මොකක් හරි විදියක මටවත් නොතේරෙන තෝන්තු ගතියකින්.

“මං යනවට දුකෙන්ද?” කියලා එයා ඇවිත් ඇහුවෙ පිටිපස්සෙන් මාව බදාගෙන. අහස් උන්නේ කාමරේ නිදියගෙන. ඒ වෙලාවෙ තමයි මම ඔක්කොම බෑග් ටික එහෙම අහුරලා වැඩ ටික ඉවර කරේ.

“නෑ” කියලා කියද්දිත් කටහඬ තිබ්බෙ බැරැණ්ඩි වෙලා. කඳුලු කැට කම්මුල් දිගේ නොගැලුවට ඇස් දිලිහෙද්දි තාරානාත් තේරුම් ගන්න ඇති මං ඉන්නෙ හිතේ දුකකින් කියලා.

“වැඩ ඉවරද?” කියලා තාරානාත් ඇහුවෙ පුරුදු විදියටම මගේ බෙල්ල අස්සෙ එයාගෙ මූණ හංගගෙන කොඳුරලා. මං වගේම එයා ඉන්නෙත් මොකක් හරි කියාගන්න බැරි දුකකින් කියන එක මට තේරුණේ බෙල්ල දිගේ සීතලට කඳුලු කැට වැක්කෙරෙද්දි.

“චිකේ මොකද මේ කොල්ලො අඬනවද?” කියලා අහන්න ඕන උනත් මම ඒ වෙද්දි දැනන් උන්නා කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් අඬන්න අයිතියක් තියෙනවා කියන එක. ඒ නිසාම මම එහෙම කතාවක් කියලා තාරානාත්ගෙ ඒ කඳුලු වලට ගරහන්න හිතුවෙ නෑ.

සමහර වෙලාවට ආදරේදි ගෑනුන්ටත් වඩා පිරිමි දුර්වල වෙනවා කියන එක, ඉමෝශනල් වෙනවා කියන එක දැන දැනම ඒක අහන්න මට උවමනාවක් උනේ නෑ.

අනික මේ පිරිමියා පිට පිරිමියෙක් නෙවෙයි මගේ පිරිමියා කියන එකත් හිත ඒ වෙද්දි සම්පූර්ණයෙන්ම පිළි අරගෙන උන්නා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles