ඉඩෝරයක මල් වැස්සක් – 45

බිනරත් මුළු රාත්‍රියම ගත කළේ නිදිවර්ජිතවය. මේ මුදල ලක්ෂ දෙක තුනක් වූවානම් ඔහුට ගැටලුවක් ඇත්තේම නැත. ලක්ෂ තිහක් පමණ වන මුදලක් සොයා ගැනීම ලෙහෙසි පහසු එකක් නොවේ. 

“තාත්තා…මට ලෝන් එකක් ගන්න ඕනේ. මගේ සැලරි එකෙන් කැපෙන්න…

අවසන තීරණයක් ගත් බිනර එසේ පැවසූයේ උදෑසන කෑම මේසයේදීය. තාත්තා සීයා තාත්තා අම්මා පමණක් නොව පොඩි අක්කාද එකවරම හිස ඔසවා ඔහු දෙස බැලුවේ විමතියෙන්ය.

“කීයක්ද මොකටද..”

“ලක්‍ෂතිහක්……”

“ලක්‍ෂතිහක්…”

සීයා තාත්තා තම දෙබැම අකුලා ගත්තේ බිනර ඇඟට පතට නොදැනී එසේ අසද්දීය.  තමා මේ කතා කරන්නේ බැරෑරුම් කටයුත්තක් ගැන බව දැන සිටියත් බිනරට වුවමනා වූයේ සැහැල්ලු වන්නටය. 

“මොකටද බිනර..”

“මාලිංග අලුත් බිස්නස් වැඩකට අත ගහන්න යන්නේ. ෆෝන් වගයක් ගෙන්නන්න. මට හිතුනා ඒකෙ ශෙයා හෝල්ඩර් කෙනෙක් වෙන්න.”

“මාලිංග කොහොමත් ෆෝන් ගෙන්නනවනේ.”

“ගෙන්නනවා තමයි. ඒ බිස්නස් එක ටිකක් දියුණු කරගන්න තමයි බලන්නේ.”

කතා කළත් ඔහුගේ දෑස් තිබුණේ මේසය මත වූ ආප්ප පිඟානේය. බිනර යනු යනු පුරුද්දක් ලෙස බොරු කියූ අයෙකු නොවේ. විශේෂයෙන් අම්මාත් තාත්තාත් ඉදිරිපිට කලින් සිතා මතා සැලසුම් කරගත් බොරුව වුවද ඔහු පැවසූයේ මහත් වූ අපහසුතාවයකින්ය. 

“මෙච්චර හොඳට රන්වෙන බිස්නස් එකක් තියෙද්දි අනුන්ගේ බිස්නස් වලට සල්ලි දාලා ලාභ පාඩු ගැන බයෙන් ඉන්න ඕනෙ නෑ බිනර. ඔයාට ඕනෙ නං තමන්ගෙ දෙයක් පටන් ගන්න අලුත් දෙයක්. ලක්‍ෂ තිහක් ඔයාට ලෝන් එකක් විදිහට දෙන්න අවශ්‍ය නෑ. හරි දෙයක් පටන් ගෙන ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදිහේ ප්‍පෝසල් එකක් හදලා දෙන්න. ඔයාට සල්ලි මම දෙන්නම්.”

ජයවර්ධන එසේ පැවසූයේ මේසය මත වූ ආනමාලු ඇවරියෙන් ගෙඩියක් කඩාගන්නා ගමන්ය. උදෑසනට හෝ රාත්‍රියට ආප්ප සාදන දවසට ආනමාලු කෙසෙල් ඇවරියක් මේසය මත වරදින්නේ නැත.

“යාළුවෝ එක්ක  හවුලේ බිස්නස් කරන්න ගිහිල්ලා අන්තිමට සල්ලිත් නැති වෙනවා යාළුකමත් නැති වෙනවා. ඊට මීට වඩා හොඳයි පුතේ අර තාත්තා කිව්ව වගේ තමන්ගෙ දෙයක් පටන් ගන්න එක.”

සීය තාත්තා සිටියේ තාත්තාගේ වදන්  වලට අත්වැල් සපයමින්ය. එනිසාම තවදුරටත් මේ ගැන කතා කිරීම තේරුමක් නැති එකක් බව බිනර වටහා ගත්තේය. 

අනතුරුව ඔහු කෑම මේසයෙන් නැගී සිටියේ  කුස පිරෙන්නට ආහාර නොගනිමින්ය. ඒ ගැන අම්මා විස්සෝප වන බව දැන සිටියත් බිනරට එවේලෙහි වුවමනා වූයේ ඊළඟට තමා කුමක් කළ යුතුදැයි සිතන්නටය. තම කාමරයට ගිය බිනර ලොකු අක්කාට ඇමතුමක් ලබාගත්තේ ක්ෂණිකව සිටි නැගී ආ සිතුවිල්ලකට අනුවය. මේ වේලාව ඇගේ වේලාවෙන් මධ්‍යම රාත්‍රිය පසුව හෝරාවක් දෙකක් ගතව ඇති බවත්, ඔවුන් සුව නින්දේ සිටින වේලාවක් බවත් බිනරට අමතකව තිබිණ. 

සොයුරිය දුරකතනයට පිළිතුරු සැපයූවේම තැති ගෙනය. අසනීපව සිටින අම්මා පිළිබඳව ඇගේ සිතෙහි නිරතුරුවම වූයේ බියකි. නොසන්සුන් වූ අක්කාව සන්සුන් කරගන්නට බිනරට තව තත්පර කිහිපයක් ගතවූයේ එනිසාය. 

“එහෙනම් මේ රෑ මාව ඇහැරගෙන මොන මගුලක්ද හලෝ කරන්නේ.” 

“මේ ලොකු අක්කේ..මට පොඩි හෙල්ප් එකක් ඕනේ හලෝ…

“මොකක්ද…”

මට ලක්ෂ දහයක් දෙනවකෝ…”

“මොකටද අනේ හදිසියේ…”

“මම මාලිංගයත් එක්ක පොඩි වැඩක් පටන් ගන්න හිතුවා. තාත්තයි සීයයි දෙන්නම උදැල්ල දානවා හලෝ. දහයක් මදි. හැබැයි ඉතුරු ටික මට හොයාගන්න පුළුවන්. ප්ලීස් මට පොඩි හෙල්ප් එකක් දෙනවකෝ…”

“දැන් කීයක්ද ඕනේ ඕකට…”

“තිහක්…”

“මේ පිස්සුවක් නටන්න නෙවෙයි නේ. මං ළඟ තියෙන්නේ මං හරි අමාරුවෙන් හම්බ කර ගතපු සල්ලි.”

“අනේ නෑ. ඕනනං මං මාලිංගට කියලා කෝල් එකක් අරන් දෙන්නම්. මොනවද අනේ ඕක තමුසෙලා දෙන්නගේ මාසෙ පඩිය නේ..”

“සල්ලි ගැන එච්චර සැහැල්ලුවෙන් හිතන්න එපා මල්ලි. ඒ මාසෙ පඩිය ගන්න දවස් කීයක් නිදි මරනවද දවස්  කීයක් හීතලේ ජැකට් දෙක තුනක්  පොරවගෙන වැඩට යනවද කියලා චුට්ටක් හිතන්න.”

“ඒක මං දන්නවා..මේ මට සැලරි හම්බවුණාට පස්සේ මං ඔයාට පුලු පුලුවන් විදිහට ඒ සල්ලි ආපහු දෙන්නම්. ඔයාගේ මෙහේ එකවුන්ට් එකට transfer කරන්නම්. ඔයාට ගන්න පුළුවන්නේ. ප්ලීස් පුළුවන්නම් මේ ගැන අම්මයි තාත්තයි එක්ක මුකුත් කතා නොකර ඉන්න”

“මං ආයෙත් මේ අහන්නේ. සල්ලි දෙන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා මේ සල්ලි ඉල්ලන්නේ වැරදි වැඩකට නෙමෙයි නේ.”

“අනේ නෑ අක්කේ..ප්‍රොමිස් වෙනවා මං ඔයාට”

“එතකොට ඉතුරු ටික හොයාගන්නේ කොහොමද..?”

“පොඩි අක්කගෙනුත් කීයක් හරි ඉල්ල ගන්න පුළුවන් වෙයි. බලමු…”

“මං විස්සක් දාන්නම්..පුළුවන් නම් පොඩි අක්කගෙන්  ඉතුරු ටික ඉල්ල ගන්න. හැබැයි ඔයා සක්සස් වෙලා පෙන්නන්න ඕනේ.” 

හංසිකා කාමරයට එබුණේ ඔහු දුරකථන ඇමතුම නිමා කරද්දීමය. පෙර ඔහුගේ මුහුණෙහි වූ අඳුර දැන් නොවේ. 

“ඔයා මොකක්ද කරන්න හදන්නේ. අක්කට නේද කතා කළේ. මල්ලි එයා එහේ සල්ලි ගස්වලින් කඩන්නේ නෑ. මෙහේ අපි සල්ලි හොයන්න දුක් විඳිනවට වඩා එයා එහේ සල්ලි හොයන්න දුක් විඳිනවා. තේරුමක් නැති වැඩ වලට අක්කගෙන් සල්ලි ඉල්ලන්න එපා. මතක තියාගන්න එයා දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. අනිත් එක ඔයා මට කියන්න ඇත්තටම මොකක්ද කරන්න හදන්නේ කියලා.?”

“මං සල්ලි හොයන්න ඉසුරිට…”

“ඉසුරිට..එයාට මොකටද සල්ලි. එයා ඔයාගෙන් ඉල්ලුවද?”

“නෑ අක්කේ..මොනවද ප්‍රශ්න වගයක් ඇවිල්ලා ඉසුරිගේ අම්මා එයාලගේ ගේ  බැංකුවට මෝගේජ් කරලා ලක්ෂ තිස්පහක ලෝන් එකක් අරගෙන. මේ වෙලාවේ ඒක ගෙව්වෙ නැත්නම් එයාලට ප්‍රශ්නයක් වෙනවා.”

“කීයක්ද ගෙවන්න තියෙන්නේ..”

“මං හිතන්නේ ලක්ෂ තිහක් වගේ තමයි දැන් ගෙවන්න තියෙන්නේ. ඉසුරිගේ අම්මා ඒ සල්ලි ගෙවන්න මිඩ්ල්යීස්ට් යන්න හදනවා. එයාට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයිත් ඉන්නවා.” 

“ඉසුරි මේ ගැන ඔයා එක්ක මොනවද කිව්වේ..”

“මොකුත්ම කිව්වේ නෑ. එදා ඒ ඉසුරි  ඔෆිස් එකෙන් ගිහිල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට. එයා ෆෝන් ඕෆ් කරගෙන ඉඳලා තියෙන්නේ මේ ප්‍රශ්නෙ නිසා. මං දන් නෑ අක්කා මං එයාට හෙල්ප් කරන්න ඕන ක්‍රමය මොකක්ද කියලා.”

“කවදට කලින්ද ඕක කරන්න ඕනේ.”

“මම එහෙම ඩේට්  එකක් ගැන දන්නේ නැහැ. මම හිතන්නේ ළඟදිම ඒක අර්ජන්ට්.”

ඉසුරි කියන්න ඇවිල්ලා මාව හම්බවෙන්න කියලා. 

“ඒත් පොඩි..”

“ඔයා කාගේ කවුද කියලා ඉසුරි දැනගන්නේ නෑ. ඉසුරිට කියන්න ඔයා ලෝන් එකක් ගැන මමත් එක කතා කලා කියලා. මං ඔයාට ලක්ෂ දහයක් දෙන්නම්. ඉතුරු ලක්ෂ විස්ස ඉසුරිට ලෝන් එකක් විදිහට අරන් දෙන්නම්. එතකොට එයාගේ සැලරි එකෙන්  ඒක මන්ත්ලි අඩුවෙයි. එයාට පුළුවන් සැලරි එක අප් කරගන්න පාට්ටයිම් එකක් විදිහට අපේ පබ්ලිකේෂන් එක පැත්තෙ වැඩ කරන්න.” 

“තෑන්ක්ස් පොඩී….එයා එක කරයි. එයාට ඒක කරන්න බැරි කමක් නෑ.”

“මල්ලි මිනිස්සු ශක්තිමත් වෙන්න ඕනෙ ප්‍රශ්නවලට මුහුණ දීලම තමයි. එයාට ලක්ෂ තිහක් දෙන්න අපිට බැරිකමක් නෑ. හැබැයි එහෙම දිය යුතු නෑ. මම තාත්තත් එක්ක මේ ගැන කතා කරන්නම්.” 

“තාත්තා දැනගත්තොත්..”

“මේක මගේ ඉල්ලීමක්. ඔයා ඉසුරිට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා.අද තාත්තයි මමයි ඔෆිස් එකට යනවා”

බිනර තම සොහොයුරියව බදා වැළඳ ගත්තේ ඒ කොපුලක් සිප ගෙනය. 

“මගේ සැලරි එකෙනුත් ලෝන් එක කවර් කරන්න පුළුවන්.”

“එපා. මතක තියාගන්න ඔයාලා දෙන්නා දෙන්නෙක්. එයාගේ ප්‍රශ්නෙ විසඳගන්න ක්‍රමය හොයලා දුන්න වගේම ඊළඟට එයාට එන ප්‍රශ්නෙ විසඳගන්නත් ක්‍රමයක් මම කිව්වා. අපි බලමු එයා කොහොමද ඒකට ෆේස් කරන්නේ කියලා. කිසිම මනුස්සයෙකුට නිකං දෙයක් දිය යුතු නෑ මල්ලි. දෙයක් ලබාගන්න වෙහෙස මහන්සි වෙන්න ඕනෙ කියල එයාලට දැනෙන්නන ඕනේ. මං ඔයාට ලක්‍ෂ දහයක් ට්‍රාන්සර් කරන්නම්.”

අවසන හංසිකා කාමරයෙන් පිටව යන්නට සැරසුණේ එසේ පවසමින්ය. අඩි කිහිපයක් ඉදිරියට තැබූ ඇය ආපසු හැරුනේ හදිසියේ යමක් සිහිවය. 

“ලොකු අක්කට මැසේජ් එකක් දාන්න සල්ලි අවශ්‍ය නෑ කියලා.” 

බිනර හිස වැනුවේ ඇයට එකඟවය. 

                                **********

පාසලට නොගිය නිසා පසුගිය දින කිහිපයේම පාරින්ද මදක් දහවල වනතුරු නිදාගත්තේය. මේ උදෑසනත් ඔහු නැගී සිටියේ අම්මාගේ කෑ ගැසිල්ලටය. 

“මේ උඹට ඉසුරි කතා කළේ නැද්ද..?”

“නෑ ඇයි..”

“ඇයි කියලා මගෙන් අහන්නේ ඔය ටෙලිෆෝන් එක අතේ තියෙන එකේ දවසට වතාවක් දෙවතාවක් ඒ කෙල්ලට කතා කරල බලහන්කෝ.”

“මොනවා කතා කරන්නද..”

“ඈ බං උඹලා හෙට අනිද්දා කසාද බඳින්න නේද ඉන්නේ. 

“කසාද බඳින්නේ අපිනේ. අම්මලා නෙමෙයිනේ. කතා කරන දෙයක් කසාදෙන් පස්සේ කතා කරගන්න බැරියැ.” 

“එතකොට පෙරහර ගිහිල්ලා තියෙයි.”

“දැන් ඉසුරට කතා කරාද කියල අහන්නද අම්මා උදේ පාන්දර මාව නැගිට්ටෙව්වේ.”

“හොඳ උදේ පාන්දර දැන් වෙලාව අටයි. ඊයේ උන්ගෙ ගෙවල් පැත්තෙන් සද්දයක් ඇහුනලු. ඉසුරු ටිකක් හයියෙන් හයියෙන් කෑ ගැහුවලු. රාජිනීගේ කටහඬත් යන්තම් ඇහුනලු. ඊට පස්සේ ඉසුරිත් වෙනදට වඩා වේලාසනින් ගෙදර ආවලු. එයා උඹට ඒ බවක් කිව්වේ නැද්ද?”

“කියන්න මං ඒකිත් එක්ක කතා කරන්නේ නෑ.”

ඇයි උඹල තරහහ වෙලාද?”

“එහෙම ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඉතින් මොකක්ද වෙලා තියෙන්නේ?

“ඊට පස්සේ අපේ එකත් හැන්දෑවේ ඇවිත් තියෙනවා. බයිසිකලේ මිදුලේ තියෙනවා දයානි දැකලා. ආයේ කිරි සුදු පාට වාහනයකින් රෑ කොල්ලෙක් ඇවිත් තියෙනවා. සෝමගේ කඩේ ළඟින් බැහැලා තමයි ඉසුරිගේ විස්තරේ කියලා ගෙදරට යන පාර අහලා තියෙන්නේ. ඒ වෙලාවේ දයානිගෙ මිනිහා කඩේ ඉදලා..”

“මට තේ එකක් හදන්නකෝ. මං මූණ හෝදගෙන එන්නම්.”

ගිලිහී වැටෙන්නට ගිය සරම දකුණතින් අල්ලා ගත් තරුණයා නැගී සිටියේ කලබලයෙන්ය. ඔහු නිවස පිටුපස ඇති නාන කාමරයට ඇවිද ගියේත් ඒ කලබලයෙන්මය. විනාඩි කිහිපයකට පසුව මිතුරෙකු ගෙන්වාගත් පාරින්ද ඒ යතුරුපදිය පසුපසට නැගුණේ ඉසුරිලාගේ ගෙදරට යාමේ අරමුණෙන්ය. නිවාස  දෙක අතර එතරම් දුරක් නොවුවත් පයින් යාමේ පුරුද්දක් පාරින්දට වූයේ නැත. 

සෙනසුරාදා දිනයක් වූ නිසා ඉසුරි සිටියේ මිදුල අතුගාමින්ය. පාරින්දත් මිතුරාත් රැගත්  යතුරුපැදිය වත්තට ඇතුළුවද්දීම ඕ මදක් පසුපසට වූයේ ඉදලත් අත තබාගෙනමය.

“පැය බාගෙකින් වරෙන් මාව ගන්න.”

මිතුරාට එසේ අණ කළ පාරින්ද යුවතිය අසලට ළං වූයේ හිස් වැසුමත් සිය වමතින් අල්ලා ගෙනය.

“ඊයේ මොකක්ද උනේ..”

“මොකුත් නෑ…”

“එහෙනම් හදිසියේ මාම ඇවිත් තියෙන්නේ.”

“හදිසියේ නෙමේ තාත්තට අම්මත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා ඇවිත් ගියේ..”

“එයාටත් එහෙනම් පරණ ලව් එක රහ වැටිලා වගේ ආපහු”

“පව් පිරෙන කතා කියන්න එපා ලොකු අයියේ. එන්න ගෙට..”

“නෑ ගෙට යන්න ඕන නෑ මෙහෙම ඉමු. තමුසෙටත් දැන් මං  මොනවා හරි කිව්වොත් ඒවා වැරදි කතා. එහෙම නැත්නම් පව් පිරෙන කතා.”

“ඔයා කොහොමත් හැමතිස්සෙම මගේ අම්මට අපහාස කරනව ලොකු අයියේ..”

“අපහාස කරනවා… මේ මම..තමුසෙ පාරට බැහැල බලනවා කෝ මිනිස්සු තමුසෙගේ  අම්මට කියන දේවල්.”

“මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද. එහෙම මගේ අම්මට කවුරුහරි මොනවා හරි කියනවනම් ඔයාගේ යුතුකම  තමයි ලොකු අයියේ මගේ අම්මව ආරක්ෂාා කරන එක. මොකද මොනවා කිව්වත් ඔයාගේ හිතත් දන්නවා මගේ අම්මා වැරදි නෑ කියලා.” 

“ඊයේ රෑ  හතට අටට විතර මේ පැත්තට වාහනයක් ඇවිත් තියෙනවා. කොල්ලෙක් තමයි කඩෙන් තමුසෙ ගැන අහලා තියෙන්නේ. කවුද ඌ..”

පාරින්ද එසේ ඇසුවේ ඉසුරරි කියූ කිසිවක් නෑසුනා සේය. 

“ඒ අපේ ඔෆිස් එකේ වාහනයක්….”

ඉසුරි පැවසූයේ කල් තියා සැලසුම් කරගෙන සිටි බොරුවමය. රාත්‍රියේ පැමිණි ඔවුන් ගැන අහල පහළ මිනිසුන් විමසිලිමත් වන බව ඇය දැන සිටියාය. 

“ඔපිස් එකේ වාහන මොකටද රෑ තිස්සේ ගෙවල් වලට එන්නෙ.”

“ඒ හදිසි ෆයිල් එකක් මට දීලා යන්න.”

“ඒව තියාගන්න ලෑස්ති වෙන්න එපා. අන්තිමට නැති කතන්දරත් හැදෙයි.”

“ඒ තරමටම කතන්දරවලට බය නම් ඇයි ලොකු අය ඔයා මෙහෙට එන්නේ. ඔයාට මාව මැරි කරන්නෙ කියලා කවුරුහරි බලපෑම් කරන නිසාද. මාව තේරුම් ගන්න බැරිනම් මාව විශ්වාස කරන්න බැරි නම්,  මගේ ගෙදර මිනිස්සු තමන්ගෙ කියල පිළිගන්න බැරිනම් එහෙම තැනක නතර වෙන්න මමත් දෙපාරක් හිතන්න ඕනේ.”

“උඹ ඔය කාටද කතා කරන්නේ කියලා දැනගෙනද කතා කරන්නේ.”

“ලොකු අයියේ මං කතා කරන්නේ ඔයාට. මං ආදරේ  කරපු ඔයාට මාව බලා ගතපු ඔයාට . චුට්ටක් හිතන්න මං මේ කියන දේවල් වැරදිද?”

“උඹ කියන දේවල් වැරදි වුනත් හරි උනත් උඹ අහන්න ඕනේ මං කියන දේ. උඹ මීට පස්සේ ජොබ් එකට යන්න ඕනේ නෑ. මට පුළුවන් විදිහට මං කන්න අඳින්න දෙන්නම්. ෆයිල් දික් කරගෙන ඔය එන වාහනම තමයි ඊළඟට උඹව  ඕවයේ නග්ග ගෙන යන්නත් හදන්නෙ. උඹට වඩා හොඳට මං සමාජෙ ගැන දන්නවා. 

පාරින්ද  එසේ පැවසූයේ සිය දබරැඟිල්ල දිගුකරමින්ය. ඉසුරි බිම බලා ගත්තේ දෑස් කඳුළින් තෙමී යද්දීය. 

(හමු වෙමු ආදරයෙන්……..)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles