No More Gossiping

ඒ ගමේ පිරිමින්ට කතා කරන්න බැරුව ගියේ නිකන් උන් හිටි ගමන් වගේ.

ගමේ මිනිස්සු ඒත් කිව්වා “මේක නම් මේ ගමට පලදීපු මහ සාපයක්” කියලා. එකපාර මෙච්චර කල් හොඳට කතා කර කර උන්න මනුස්සයෙක්ට කතා කරන්න බැරුව යනවා කියන එක ඉතින් සාපයක් විදියට දකිනවා ඇරෙන්න දකින්න වෙන සාධාරණ විදියක් ඇත්තටම ඒ ගමේ මිනිස්සුන්ට තිබ්බෙ නෑ.

“පිරිමින්ට කටක් අරින්න බැරුව කොහොමද මේ සමාජෙ තියෙන තැනින් ඉස්සරහට යන්නෙ?” කියලා ඒ වෙද්දිත් කටහඬ පරිස්සම් වෙලා තිබිච්ච පිරිමි ඈයො අහද්දි ගෑනු නම් අනේ උන්නෙ සාරි පොටෙන් මූණ වහගෙන අනිත් ගෑණු එක්කලා කුටු කුටු ගගා දෙයක් කිය කිය.

“සමාජෙ මේ තියෙන තැන තිබ්බා නම් ඇති නේද? තියෙන තැනින් ඉස්සරහට අරගෙන යන්න කියලා මහ ලොකුවට කිව්වට අන්තිමේ ඒක උස්සන් යන බරත් දරන්න වෙන්නෙ අපෙ කර උඩට තමයි” කියලා උන් උන් කතා වුණා.

හැබැයි ඇත්තටම ගෑනුන්ටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බේ කොහොමද මේ උන් හිටි ගමන් ගමේ පිරිමින්ට කතා කරන්න බැරුව ගියේ කියන එක. ඒක සාපයක් නම් කවුද ඔය සාපෙ කරේ කියන එක. 

“මං නම් ඇත්තටම සන්තෝසයි අපේ මිනිහට කතා කරන්න බැරුව ගිය එක ගැන. මොකෝ වෙනදා බීලා මිනිහා හන්දියෙ එද්දිම අපිට දැනගන්න පුළුවන් නෙ කටේ සද්දෙට. දැන් ඒක හන්දා රෑට මිනිස්සුන්ට නිස්කලංකෙ කනක් ඇහිලා නිදියන්න පුළුවන්” කියලා සුමනා කිව්වට මොකෝ ඒ කතාවට එකඟ වෙන්න හැම ගෑනිටම පුළුවන්කමක් තිබ්බෙ නෑ. මොකෝ ඒ විදියට තමන්ගෙ මිනිහාගෙ කට වැහිච්ච එක ඒ මිනිහගෙ ගෑනිට පුදුමාකාර නිදහසක් උනාට ඒ මිනිහා එක්ක එක එක විදියට සම්බන්ධ වෙලා උන්න වෙන ගෑනුන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා.

ඔය සුමනගෙ මනුස්සයා තමා ගමේ තැපැල් පියුන් උනේ. ගෙදරින් ගෙදරට ලියුම් බෙදන ගමන්, ගමේම තියෙන කුණු කන්දල්, අනිත් මිනිස්සුන්ගෙ ඕප දූප තැන තැන වපුරන එක තමයි මිනිහට තිබ්බ ලොකුම රාජකාරිය වුණේ.

ඒ උනාට මිනිහගෙ කට වැඩ කරන එක නතර වුණයින් පස්සෙ ඕපදූප හොයන මිනිස්සුන්ට ඕපදූප දැනගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. අනික් එක ලියුම් අරන් ගේ ළඟට ඇවිල්ලා කොච්චර බෙල් එක ගැහුවත් මිනිස්සු එළියට එන්නෙ නැති එකේ ඉන්පස්සෙ මිනිහට හයියෙන් කෑගහලා “කවුරුත් නැද්ද?” කියලා අහන්න පුළුවන්කමක් තිබ්බෙත් නෑ. ඕකෙන් මේකෙන් උනේ ලියුම් පරක්කු වෙච්ච එක, ඔය මනුස්සයෙක් දානෙකට පිරිතකට මගුලකට එහෙම එන්නය කියලා ලියුමක් එව්වම, ඒ ඒ උත්සව වලට යන්න උනේ අදාල කටයුත්ත කෙරිලාත් හෙන කාලෙකට පස්සෙ වෙච්ච එක. ඒක හන්දා ගමේ ඕප දූප දැනගන්න උවමනා වෙච්ච ගෑනුන්ට ඉන්පස්සෙ තැපැල් මාර්ගෙන් එන ඕපදුප දැනගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අත පය හොල්ලලා, බබ් බබ්බ් ගානවා ඇරෙන්න මිනිහට වෙන කියන්න දෙයක් තිබ්බෙත් නෑ.

සුමනගෙ මනුස්සයගෙන් පස්සෙ ගොලු වුන අනික් මනුස්සයා වුනේ එළෝලු කඩේ මුදලාලි. එළෝලු කඩේ මුදලාලි ගමේ උන්ගෙන් ලොකුවටම දැනගෙන උන්නෙ පිරිමින්ව නෙවෙයි ගෑනුන්ව. මොකෝ ඉතින් ගෑනුනෙ එළෝලු ගන්න එළියට එන්නෙ. මේවා මේ හරිම පරණ ගම් හන්දා ඔය එළෝලු ගන්න දෙයක්, පන්සලේ මක්කා හරි දේකට, ඔය සල්පිලකට යන්න එන්න ඇරුණා ගෑනු නෙවෙයි එළි බැස්සෙ වෙන වෙන ඒවට. රෑ තිස්සෙ අරහෙ මෙහෙ ගියේ, ළමයිව ඉස්කෝලවලට ඇරලවන්න එහෙම ගියෙත් පිරිමි මිසක්කා ගෑනු නෙවෙයි.

ඒ හන්දා ගෙවල්වලට ඕපදූප අරගෙන ආවෙ පිරිමි. ඇත්තටම කිව්වොත් මේ ගමේ ඕපදූප අරගෙන එන රාජකාරිය භාරවෙලා තිබ්බෙ පිරිමින්ට. හැබැයි අවුල කියන්නෙ පිරිමි දැනගෙන උන්නෙ නෑ තමන් මේ කරන්නෙ ඕපදූප බෙදාහැරිල්ලක් කියන එක. මොකෝ උන්ටවත් නොතේරී උන්ගෙ ගෑනු තමයි “මොනවද ඉතින් අද වුණේ? අරයා මොනවද ඔයාට කිව්වේ? මං ගැන මොනවද කිව්වේ? ඔයා මොනවද ඇහුවෙ?” කියලා පිරිමි ලව්වා ඔය ඕපදූප බෙදන වැඩේ කරගත්තෙ. පිරිමි ඉතින් අනේ කොහොමත් මෝඩයිනෙ. ගෑනුන්ට දේවල් කියන්න හොඳ නෑ කියලා දන්නේ නැතුව වගේ උනුත් කරේ තමන් දන්න ඔක්කොම ඒවා හවසට වැඩ ඇරිලා ගෙදර ඇවිත් බත් එහෙම කන ගමන්, එහෙම නැත්තම් නාන ගමන්, තමන් ළඟට වෙලා හිටගෙන කන එක බලන් ඉන්න හරි එහෙමත් නැත්තම් තමන්ගෙ තුවාය අතේ තියාගෙන තමන් නාලා ඉවර වෙනකම් එතනට වෙලා ටැග්ගැහිලා ඉන්න ගෑනු එක්කලා දොඩන එක.

බොරු කියන්නෝන නෑනෙ මෝඩකම ඇරෙන්න පිරිමින්ගෙ තුන් හිතකවත් තිබ්බෙ නෑ ඔය ගෑනු පත්තුකරන ඕපදූප ගින්නට පිදුරු දාන්න. ඒ වුනාට ඉතින් දන්නෙම නැතුව ඒක තමයි වෙලා තිබ්බේ.

එළෝලු කඩේ මනුස්සයට කට ඇරලා මක්කවත් කියන්න බැරි වුණයින් පස්සෙ වෙච්ච දේ තමයි එළෝලු ගන්න ගියාම ගණන් හිලව් කතා කරන්නවත්, මේ පොළොස් ගෙඩිය ගන්න මේක මේ වත්තෙ කොස් ගහේ එකක් කියලා කියන්න, කොහිල හරි ශෝක් මල බද්ධෙට කියන්න තියා, දඹුල්ලෙන්ද ගෙනාවේ, නුවර එළියෙන්ද ගෙනාවෙ කියලා කියන්නවත් ලේසි වෙච්ච නැති එක. අන්තිමේ හැම එළෝලුවක් ළඟම පොඩි බෝඩ් කෑල්ලක ගෙනාවෙ කොහෙන්ද, කීයෙද, දවස් කියක් තියාගන්න ඇහැකිද වගේ කතන්දර ලියලා තියන්න තමයි වුණේ.

ඔය වගේ කී දෙනෙක්ට නම් කතා කරගන්න බැරුව ගියාද? කොණ්ඩෙ කපන සැලුන් එකේ අයියා, පන්සලේ ලොකු හාන්දුරුවො, ගමේ දේවාලෙ කපුවා වගේ පිරිමි හෙන හැත්ත බුරුත්තකටම කතා කරන්න බැරුව ගියා. මුළින් ඕක හරි ශෝක් කිව්වට පස්සෙ පස්සෙ ගෑනුන්ට ඕක පුදුම ප්‍රශ්නයක් වුණා.

“ගමේ ගෑනු උදවිය වැඩිහරිය කතාකරන පිරිමින්ටමනෙ අප්පා මේ සාපෙ පලදීලා තියෙන්නෙ නේද? දැන් මේ නිතරම බෑඟිරි ගාන පොඩි එවුන් ඉන්නවා උන් ඔය යස අගේට ඉන්නෙ මක්කවත් පුරස්නයක් නෑනෙ”

“එහෙම බැලුවම මේක මේ පිරිමි පාර්සවේටම පල දීපු සාපයක් කියන්න බෑ නේද? පොඩි එව්වො එහෙම බේරලා නෙව සාපෙ පල දීලා තියෙන්නෙ”

“අර කිතුල් හකුරු කඩේ මලියටත් සාපෙ පල දීලා නෑ නේද?”

“උට නම් සාපයක් පලදෙන්නෝන නෑනෙ අක්කේ. කොහොමත් කා එක්කවත් වචනයක් කතා කරන්නෙ නැති එකෙක්නෙ ඌ. මං පහුගිය දොහේ උගෙන් ඇහුවා ඇත්තද කියලා කිතුල්වත්තෙ ගෙදර පුංචි මැණිකෙ බඩක් හදාගෙනය කියන්නේ? ඌ නෙවෙයි කටක් ඇරලා ඔව්ද නැද්ද කියලාවත් කිව්වෙ”

“ඒකෙන් මේකෙන් උනේ අන්තිමේ අපිට මේ ගමේ වෙන දෙයක් දැනගන්න තිබ්බ චෑන්ස් එක තමයි නේද?” කියලා ගෑනු උදවිය අතන මෙතන කතා කරා. ගමෙන් එළියට යන්න ඉඩක් එහෙම හම්බුවෙන්නෙ නැති හන්දා ඕකෙන් මේකෙන් උනේ ගෑනුන්ට මුකුත් දැනගන්න බැරි වෙච්ච එක තමයි.

අන්න ඒ හන්දම තමයි ගෑනු හොයන්න ගියේ ඇත්තටම කොහොමද මෙහෙම දෙයක් උනේ කියලා. මේ ගමේ ගෑනුන්ට ප්‍රශ්නයක් උනාම ගෑනු ඒක කියන්න හරි අහන්න හරි ගිය දේවතාවියක් ගමේ කෙළවරක තිබ්බ අඹ ගහක උන්නා.තමන්ගෙ පිරිමි තමන්ට ගහද්දි බණිද්දි, අනං මනං කියද්දි, කිසිම දේකට කිසිමාකාරෙක උදව්වක් නොදෙද්දි ගෑනු දුක කියන්න ගියේ ඔන්න ඔය ගහ ළඟට තමයි. ඒ හන්දා මේ දේවතාවි ගමේ ගෑනු හැම කෙනාගෙම හැම ප්‍රශ්නයක්ම වගේ දැනගෙන උන්නා.

ඒ හන්දා මේ වෙච්ච දේටත් උත්තරයක් දෙන්න දේවතාවිට පුළුවන් කියලා හිතලා ගෑනු ඔක්කොමලා වගේ එක්කහු වෙලා තමයි දේවතාවි හම්බෙන්න ගියේ. වෙනදට නම් තනියෙන් ගිහින් නිකන් හොරෙන් වගේ ප්‍රශ්න ටික කියලා ආවෙ මොක උනත් තමන් ලෝකෙට පෙන්නගෙන ඉන්නෝන හොඳ මූණ මේන්ටේන් කරන්නෝන හන්දා උනාට අද එහෙම ප්‍රශ්නයක් කාටවත් තිබ්බෙ නෑ මොකෝ මේක ඉතින් හැමෝටම පොදුවෙ බලපාපු ප්‍රශ්නයක් නෙ.

ඉතින් ඔන්න අපේ ගෑනු සෙට් එක දේවතාවි හම්බෙන්න ගියා.

මෙයාට දේවතාවි කිව්වට මෙයා ඔය අතන මෙතන කෝවිල් දේවාල වල දකින්න ලැබෙන විදියෙ typical දේවතාවියක් නම් නෙවෙයි. ටිකක් අමුතුයි. කොයි වෙලේ බැලුවත් කටේ පොඩි සුරුට්ටුවක් ගහගෙන දුම් පිඹ පිඹ තමයි ඉන්නේ. “ගෑනියෙක් කියන්නත් ලැජ්ජයි” කියලා මේ උදව් ඉල්ලන් ආව ගෑනුම අතන මෙතන දේවතාවි ගැන කතා කරාට දේවතාවි නම් නෙවෙයි ඒව තඹ සතේකට මායිම් කරේ.

“ආහ් මොකද අද සෙට් වෙලා ආවෙ ඔක්කොම?” කියලා අහන ගමන් දේවතාවි එළියට ආවෙ කටේ තිබ්බ සුරුට්ටුව ලයිටරෙන් පත්තු කරගන්න ගමන්.

“අපිට පොඩි ප්‍රශ්නයක් වෙලා” කියලා කතාව පටන් ගත්තෙ සුමනා.

“මොකද්ද සීන් එක?” 

“අපේ ගමේ පිරිමින්ට සාපයක් පල දීලා” කියලා සුමනා කියද්දි දේවතාවි කරේ පොඩි කිණ්ඩි හිනාවක් දාන එක. ඒ හිනාව පිටිපස්සෙ නිකන් හැංගිලා තිබ්බේ “තොපිලව කසාද බැඳගත්ත එකට එහා සාපයක් තියෙනවද උන්ට තව පලදෙන්න?” කියන කතාවක් උනාට කවුරුවත් ඒක decode කරගන්න හිතුවෙ නෑ. 

“මොකද්ද සාපෙ?”

“අපේ පිරිමින්ට දැන් කතා කරන්න බෑ”

“කතා කරන්න බෑ?”

“ඔව්”

“ඉතින් හොඳයිනෙ?”

“හොඳ වෙන්නෙ කොහොමද දේවතාවි අපිට කිසි දෙයක් කතා කරගන්න පුලුවන්කමක් නැතිවෙච්ච එකනෙ ඒකෙන් මේකෙන් උනේ. අපිට ගෙදරක වැඩක් පලක්  උවමනා දෙයක්වත් කතා කරගන්න විදියක් නෑනෙ”

“හොඳටම ශුවර්ද උවමනා දේවල්මයි කතා කරේ කියලා?” දේවතාවි ආයෙ නිකන් කිණ්ඩි හිනා දාද්දි ගෑනු සෙට් එක කරේ මූණට මූණ බලාගත්ත එක. හරියට නිකන් “දේවතාවි අපිට කෝචෝක් කරනවද?” කියලා අනික් එකාගෙන් අහන්න වගේ.

“ඇයි දේවතාවි එහෙම ඇහුවෙ?” කියලා අය කට ඇරියෙ සුමනා.

“සුමනට මතකද මීට මාස කීපෙකට කළින් ඔහේ ඇවිල්ලා මං ළඟ අඬා වැටුණා අර සුදු පාට චීත්තෙ ඇඳන් ඉන්න කුසුමා ගම වටේට කිය කිය යනවා කියලා සුමනට මේ අවුරුදු හතළිහක් වෙලා ළමේක් හම්බෙන්න ඉන්නවය, අතන මෙතන වමනෙ දදා යනවා දැක්කය කියලා” දේවතාවි අහද්දි සුමනා කුසුමා දිහා බලලා බිම බලාගත්තෙ නිකන් ගමේ උන් ඉස්සරහා රෙද්ද ගැලවිච්ච ගාණට.

“ඔය ඔතන ඉන්න බවලතීට මතකද ඔය ඇත්ති දවසක් ඇවිල්ලා ඇඬුවා කවුද එකියක් තැන් තැන්වල කිය කිය යනවය කියලා තමුන්ට වෙන කවුද මනුස්සයෙක් එක්කලා ඕන් නැති විදියෙ සම්බන්ධයක් තියෙනවය කියලා”

“එතකොට ඔය ඇත්තිට මතකද ඔය ඇත්ති හන්දා අර කෙළෝරෙ ගෙදර සිරියාගෙ කසාදෙ කැඩෙන්න ගියා ඒ සිරියට ලැබෙන්න ඉන්න ළමයා සිරියගෙ මිනිහගෙ වෙන්න බැරිය කියලා කිව්ව එකෙන්?” කියලා දේවතාවි එක එක කතන්දර එළියට අරගෙන කියද්දි ගෑනු සෙට් එකම වගේ උන්නෙ බිම බලාගෙන.

“තමුන්ලා ඔය ඕන් නැති අනුන්ගැන ඕපදූප, තම තමන්ගෙ පිරිමි උදවිය වැඩපල කරන තැන්වලින් අහුලගත්ත එක එක කතන්දර, තම තමන්ට ඕන ඕන විදියට හදලා පිරිමින්ගෙ කන් අස්සෙන් කටවල් අස්සෙන් එළියට ඇදලා අරගෙන තැන තැන වැපිරුවා” කියලා දේවතාවි ආයෙ අහද්දි හැමෝම හිතෙන් “දෙයියනේ ඔව් නේද?” කියලා හිතුවට කවුරුවත් ඒක ඇත්ත කියලා ප්‍රසිද්ධියේ පිළිගන්න කැමති උනේ නෑ.

ඒ උනාට ගෑනුන්ට දේවතාවිගෙන් අහන්න එකම එක ප්‍රශ්නයක් තිබ්බා.

“ඉතින් ඕපදූප කියවන එක නම් වැරැද්ද අපේ කටවල් නෙ දේවතාවි වහන්නෝන පිරිමින්ගෙ කටවල් වහලා මක්කරන්නද?” 

අන්න ඒකට නම් දේවතාවි කරේ මහ හයියෙන් හිනාවෙලා දෙවනි සුරුට්ටුව පත්තු කරගත්ත එක. ඉන්පස්සෙ තමයි ඒ එකම එක ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ.

“ගෑනුන්ගෙ කටවල් වැහුවා කියලා ඕකුන් ඕපදූප හොයන එක නතර කරනවද? කවුරුවත් මැරිච්ච නැති ගේකින් අබ මිටක් ගේන එක ලේසියි ඒක නතර කරනවට වඩා.

ඒ හන්දා මං පිරිමින්ගෙ කටවල් වහලා දැම්මා, අඩුම උන් හරි පරිස්සම් වෙලා ඉන්නෙ නැතෑ”

More Stories

Don't Miss


Latest Articles