මනුජ ට පසුවදා යලි කඳවුරට යෑමට සිදු විය. ඔහු දින දෙකක් සේවය අවසන් කරං, සිකුරාදා සවස පෙරලා කොළඹ එන්නට පිටත් වූයේය. ඒ දින දෙක පුරාවටම ඔහු සින්දූපා සමඟ නඩත්තු කලේ ඉතා කෙටි සංවාදය.
” ඇයි මනුජ මෙහෙම ?”
සින්දූපා කිහිපවර විමසුවාය
” මට ටිකක් ෆ්‍රී ස්පේස් ඕනි සින්දූපා … මට ඉස්සරහ ගැන නිදහසේ කල්පනා කරන්න ඕනි…”
“ඇයි ඔයා සින්දූපා කියන්නෙ මනුජ ?”
” හනේ … වචන වල එල්ලිලා ඔලුව කන්නෙපා සින්දූපා .. මට විසඳගන්න ප්‍රශ්න කෝටියක් තියෙනවා.. ඒකට මම ඔලුව නිදහසේ තියාගන්න ඔනිනේ…”
” ඔය කෝටියෙන් එකක් දෙකක් හරි විසඳන්න උදව් කරන්න මටත් ඉඩ දෙන්නකෝ…”
මනුජ ගැඹුරු හුස්මක් සමඟ සින්දූපා බිඳ දැමීම ඇරඹුවාය.
” ප්‍රශ්න කෝටි දෙකක් විතර මගේ කරපිට ගෙනල්ලා දාලා දැන් ආයේ එක දෙකක් විසඳන්න අහන්නෙපා සින්දූපා .. ඒක හෙනම අප්‍රසන්නයි…”
සින්දූපා ට දැනුනේ හිස මත මහ අකුණක් පුපුරා ගිය සෙයිනි. නැත , අකුණක් නොව එය පිළිස්සී යලි යලි ඇවිලෙන ගින්නක් ය.
” ඔයා මට බ්ලේම් කරනවද මනුජ ..?”
“අනේ ප්ලීස් සින්දූපා ..”
ඇමතුම විසන්ධි කර මෝටර් රියට නැග ගත් බව ඔහුට මතකය. ඉන්පසුව සින්දූපාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත.
නිවසට ගියාට පසුවද මනුජ හුදෙකලාව තෝරාගත්තේය. දියණිය ඒ වනවිටත් නින්දේ උන් නිසා කිසිවෙක් ඔහුට බාධා කලේද නැත. එහෙත් පැයකට පමණ පසු විශ්ව කාමරයට ආවේය.
“ උඹ කාලා හිටපං .. අර නැන්දලාට කුස්සිය අස් කරලා නිදාගන්න …”
විශ්ව එලෙස පවසමින් යහනට වැටුණේය. මනුජ සිගරට්ටුව නිවා දැම්මේය.
“ උඹ ඔහොම සිගරට් ගැහුවොතින් නම් දියවෙලා තමයි නවතින්නේ…”
විශ්ව යලි ආඩපාලි කීවේය. එහෙත් මනුජ කිසිවක් පැවසූවේ නැත. විශ්ව පැමිණ සිටින්නෙ කිනම් කාරණාවක් නිසාදැයි මනුජ හොඳින්ම දැන උන්නේය.
“ කාලා වරෙන් මනුජ..”
“ බඩගිනි නෑ බං.. මං කිව්වානේ මට කෑම එපා කියලා..”
“ උඹ එහෙම කිව්වට ඒ මිනිස්සුන්ට එහෙම බැරුව ඇතිනේ… ඒකනේ අර කෑම රත් කරන් බලන් ඉන්නේ..”
“ අනේ උඹලාට ඕනි එකයි, එපා එකයි බල බලා ජීවත් වෙන්න පුලුවන්ද මට බං… මොන මඟුලක්ද මේ ?…”
මනුජ යම් උස් හඬකින් කීවේ කමිසය ගලවා පසෙකට විසි කර දමමිනි.
“ ආහ් එතකොට ඒ හින්දද අර කෙල්ලට අර සද්ද දාන්නේ?…”
“ කොයි කෙල්ලටද ?..”
“ උඹටයි මටයි කතා කරන්න කප්පරක් කෙල්ලෝ නෑනේ බං… සින්දූපා ගැන කිව්වේ….”
“ මං මොකටද බං සද්ද දාන්නේ කාටවත් …”
“ මොකක්ද උඹ කරන්න යන්නේ මනුජ ?..”
“ මං මුකුත් කරන් නැ බං.. මං කිසිම දෙයක් නොකර බලාගෙන ඉන්නවා …. “
“ උඹ අර කෙල්ලව අතාරින්නද බං යන්නේ ?…”
මනුජ කිසිවක් නොපවසා කලිසමද උනා දැම්මේය. ඉන් පසුව අත් ඔර්ලෝසුව ගලව මේසය මතට දැම්මේය.
“ උඹ මේ ප්‍රශ්න වලින් අයින් වෙයං විශ්ව … උඹ මම කොච්චර උත්සාහ කලත්, සින්දූපාගේ තාත්තා කියන්නේ උඹ කිව්වා වගේම මනුස්සකම් තියෙන මිනිහෙක් නෙවෙයි … ඒත් ඒ මිනිහා තාත්ත කෙනෙක්නේ බං … මට සින්දූපාව උස්සන් යන්න බැරි මාත් ඉන්නේ එතන බව මට තේරෙන නිසා බං …”
විශ්ව කිසිත් නොපවසා බලා උන්නේය. මනුජ අවසානයේ, පැය හතලිස් අටක් ඇතුලත සියල්ල තීරණය කර අවසාන වග පෙන්වන්නට උත්සාහ කරන්නේය.
“ නිර්ධා ට මාව මුණ ගැහෙන්න ඕනි කිව්ව…”
“ ඉතින් ?…”
“ එච්චරයි …”
“ මොකක්ද උඹ කියන්නේ මනුජ ..”
“ එහෙම මුකුත් නෑ.. සමහරවිට , ඔක්කොම ආයේ අලුතින් පටන් ගන්නත් පුලුවන් වෙයි …. කොහොම වුනත්, ඒ දෝණිගේ අම්මා… ඒක නෑ කියන්න මට බෑනේ…”
“ යකෝ… උඹද මනුජ මේ කතා කරන්නේ ?…. ඈ… උඹට දැණ්ද යකෝ ඒක මතක වුනේ…? නිර්ධා අම්මා බව?… ඇ… තෝව අර කෙල්ලත් එක්ක දාලා ගියාට පස්සෙත් .. ඒ ගිහින් වෙන මිනිහෙක් එක්ක සෙට්ල් වුනාට පස්සෙත් … ආයෙම … තෝ ?…..”
“ නිර්ධා ගිහින් තියෙන්නේ ඇයි කියන්න දැන් උබයි මායි දෙන්නම දන්නවානේ බං .. සමහරවෙලාවට, ආදරේ කරන තරම වැඩිම වෙලාවක, අතෑරලා යන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ බං ..”
මනුජ සිතෙහි යමක් තබාගෙන, විශ්වට අනෙකක් සිතාගන්නට දී කීවේය. විශ්ව දිගින් දිගටම මනුජට බැණ වැදුනේය. මනුජ කලේ යලි සිගරට්ටුවක් දල්වා ගැනීමය.
“ උඹට මම කියන දේ ඇහෙනවාද බං?..”
“ උඹ පුලුවන් නම් නංගි එක්ක ගිහින්, සින්දුගේ ගෙදර සතියක් දෙකක් හිටහං ආයේ දියතලාවේ යන්න කලින් .. මෙවෙලේ .. ඒක .. සින්දූට .. වටී …”
“ මං මොකටද බං එක එකීගේ තනි රකින්න යන්නේ.. මෙව්වා මම කතා කරලා කරපු මඟුලද .. මං ඒකිට මුලදිම කිවා.. මං තොටත් මුල ඉඳන්ම කිව්ව.. ඒ කියද්දී තොපි දෙන්නාම අන්ධයෝ, බීරෝ වගේ ඉඳලා දැන් මෙතන අල්ලන කස්තිරම් වලට මට කරන්න දෙයක් නෑ ….:
විශ්වද කෝප ගත්තේය. මනුජට එයට දෙන්නට පිළිතුරක් වූයේ නැත.
විශ්ව කාමරයට ගොස් මනුර්‍යාවද ගෙන්වාගෙන, මනුජ සූදානම් වන්නෙ කුමකටදැයි ඔහුට සැක දැනෙන ලෙසින් කීවේය.
“ ආදරේ කලේ දෙන්නම නම්, අයියා කොහොමද එහෙම තීරණය කරන්නේ අයියේ ?..”
මනුර්‍යා සියල්ල අවසානයේ එක්වරම ඇසුවේ, කෝපයක්ද එක්කය
“ ඒක ඉතින් මගෙන් අහලා වැඩක් නෑනේ… මට බය .. අන්තිමේ අපේ මරණ වලට කර ගහන්න ඉන්න උන්ගේ මරණ වලට අපට කර ගහන්න වෙන වැඩක් මේ…”
“ පිස්සුද අයියේ ?… බලන්නකෝ අක්කේ විශ්ව අයියා මේ කියන කතා….”
මනුර්‍යා විශ්වගේ බිරිඳ දෙස හැරි කීවාය.
“ සින්දූපා ඉන්නේ ඩිප්‍රෙස් වෙලා… ඒකි දැන් ඉන්නේ වෙන ඕනි දෙයක් වෙද්දෙන් කියලා මනුජ එක්ක යන්න බලාගෙන ….. ඒත් දැන් මනුජයා කර අරිනවා….”
කිසිවෙකු සතුව පිළිතුරු වූයේ නැත. මනුජ යනු කිනම් හිතුවක්කාරයෙක්දැයි දන්නා නිසාම ඔහුට උපදෙස් දෙන්නට යෑම පලක් නැත. එහෙත්, ඔහුගේ හිතුවක්කාරකම් වලින් ඔහුගේ ජීවිතයම අගාධයකට වැටෙයි නම්……….
“ අයියා හිරවෙලා ඉන්නේ තාත්තා කියන හැඟීමේ බර එක්ක විමුක්ති … සින්දූපාව එයාගේ තාත්තාගේ අකමැත්තෙන් බැඳගන්න එක එයාට මහ දෙයක් නෙවෙයි වුනාට, දාක, දෝණි ත් ඒ දේම කරොත් කියලා සමහරවිට හිතනවා ඇති .. මං දන්නවා අයියාව .. එයා වෙලාවකට මහ පුදුම මිනිහෙක්.. අනෙක් හැමෝම ගැණ හිතලා, අයියා ඔක්කොම දරාගන්නවා.. සමහර වෙලාවට එයා කිසිම කෙනෙක් ගැණ නොහිතා.. ඔහේ එයා ගැනම හිතනවා…. දැන් අයියා පරිණත මිනිහෙක් නේ විමුක්ති .. එයා හදවත පැත්තකට දාලා…. මොළෙන් කල්පනා කරනවා ඇති …”
මනුර්‍යා රැය කියා නොසිතා විමුක්ති ඇමතුවාය.
“ ඒක හරි .. ඒත් අර කෙල්ලව ඔහොම බොරු කතා පෙන්නලා , නාටක පෙන්නලා පැත්තකට කරනෙක හරිද ?…”
“ ඔයා කියන්නේ?… නිර්ධා අක්කා එක්ක බොරුවක් පෙන්නලා එයා සින්දූපාගෙන් අයින් වේවි කියලද ?…”
“ ආයේ අහන්න දෙයක් නෑ.. ඕක තමයි අනිවාර්‍යෙන්ම උගේ ප්ලෑන් එක … හෙට අනිද්දා දෙකෙන් එකක නිර්ධාව හම්බෙන්නේ නැද්ද බලන්න ඕකා.. මං නොදන්න මනුජ ප්‍රේමනාත ..”











