මනුජ තමා ඉදිරියේ අසුන් ගෙන සිටින නිර්ධා සහ ජනිදු දෙස බලා උන්නේය. ජනිඳු නිර්ධාට නියමිත බෙහෙත් කිහිපයක් කුඩා මංජුසාවකින් ගෙන ඇය අතේ තබා වතුර බෝතලයක්ද බෑගයෙන් ගෙන ඇය වෙත ලං කරන යුරු මනුජ බලා උන්නේ සැබෑ සැනසීමෙනි. නිර්ධාට අවැසි වූයේ එවන් ප්‍රේමයකි. එහෙත් තමා කිසිදිනෙක එවන් ප්‍රේමයක් දැරූවෙකු නොවන බව මනුජ දනී.
“ දැන් මට ගොඩක් සනීපයි ….”
මනුජගේ මුහුණේ හැඟීම් කියවන්නට එතරම් වෙහෙසෙන්නේ නැතුවම නිර්ධා පවසද්දි මනුජ පියවි සිහියට එලැඹියේය. ඉන් පසුව නිර්ධා ඇය ලංකාවට පැමිණියේ ඇයිදැයි කීවේ, මනුජට කිසිත් පවසන්නටම ඉඩ නොදීය.
“ සින්දූපාගේ තාත්තා මගේ කන්ටැක් හොයාගෙන මට කතා කරලා කියපු දේවල් එක්ක මම හරියට කලබල වුනා.. එයා කිව්වේ, සින්දුපා දරුවා ඔයා ළැඟ ඉන්නකොට මැරි කරන්න අකමැති නිසා දරුවාව අම්මලටම දාලා, මැරි කරලා රට යන්නයි ඔයාගේ ප්ලෑන් එක …. මෙවෙලේ ඒක ගෑණු දරුවෙක්ට බලපාන විදිය මට තේරෙනවා නේද ?.. එහෙම කිව්වේ.. එයා ඔය දෙන්නාගේ සම්බන්ධේ දිග් ගැස්සෙනවාට පොඩ්ඩක්වත් කැමති නෑ කිව්වා.. මගෙන් ඉල්ලුවේ එයා වෙනුවෙනුයි, මගේ දරුවා වෙනුවෙනුය් ඇවිල්ලා මෙහෙ සිටුවේශන් එක සෙට්ල් කරලා දෙන්න කියලා….. මගේ ට්‍රීට්මන්ට්ස් කිව්වම, එයා ඒ ඔක්කොම ඇරේන්ජ් කරලා දෙන්නම් කියලා කිව්වා… ජනිඳු නම් කිව්වේ යන එක තේරුමක්ම නෑ.. අනුන්ගේ ප්‍රශ්න කරට ගන්නෙපා…. යමක් වෙන්න ඕනි නම් අම්මලාට කතා කරලා බලමු කියලා… ඒ වගේම, ඔයා දෝණි දාලා ගියොත්, අපි දෙන්නා දෝණිව අරගමු කියලත් ජනිඳු කිව්වා….. ඒත් මම ආවා….. මම ආවේම දරුවා අරගෙන යන්න … මං තව අවුරුදු විස්සක් ජීවත් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා මට .. එතකොට දෝණිට මාව නැති වුනාට කමක් නැති බව මම හිතුවා.. එතකල් දෝණිව අරගෙන යන්න හිතුවා….
ඒත්, එදා දෝණිව දැක්කම, එයා මට රෙස්පොන්ස් කල විදිය දැක්කම මට තේරුනා තවදුරටත් මම එයාට අම්මා නෙවෙයි කියලා.. එයාව අරගෙන යන්න උත්සාහ කරනෙකම එයාගේ ජීවිතේට නෙගටිව් කියලා.. මම අම්මා තමා.. ඒත් මම අම්මා නොවන බව මම තේරුම් ගත්තා මනුජ .. මට දෝණිව දාලා යන එක කොච්චරක් අමාරු වුනාද කියලා දන්නේ මමම විතරයි .. ඇත්තටම ජනිඳු නේන්න , මම මෙලහකට සූසයිඩ් කරගෙන … අනෙක් අතට, ඩොක්ටර් සින්දූපා දෝණිට ආදරේ කරන බවත් දැනගත්තා… අම්මා කිව්ව, ඔයා දෝණිව කීයටවත් අතෑරගන්නේ නෑ කියලා……”
නිර්ධා හෙලූ සුසුම මනුජද එලෙසින්ම හෙලුවේය. සියල්ල කෙතරම් යහපත් ලෙසින් විසඳෙමින් යනවාද ? එහෙත් ….,
“ ඔය ඔක්කොම වැඩක් නෑ නිර්ධා ..ඔයාට සනීප වෙලා තියෙන එක මට හරි සැනසීමක් … එහෙම නොවෙන්න, ඔයාව මඟ ඇරලා, ඔයාව මරාගත්ත මිනිහා මම වෙනවා… මං දන්නවා… මං කවදාවත් … ඔයාට ඕනි විදියේ කෙනෙක් වුනේ නෑ ..අනෙක මම දරුවාව ඔයාට කොහොමටවත් ගෙනියන්න දෙන්නේ නෑ.. මේ ලංකාව ඇතුලේ නම් ඕනි දෙයක් … .”
“ ප්ලීස් මනුජ …”
නිර්ධා ඉතා පහත් ස්වරයෙන් කීවාය. මනුජ ජනිඳු දෙස බැලුවේය. තමා අතන් කියවුන ඇතැම් දේ ගැන පසුතැවීමක් පෙන්වන්නට උත්සාහ කලේය.
“ සොරි මචං ..”
“ ඉට්ස් ඕකේ …ඉට්ස් ඕකේ මචං .. එහෙම අවුලක් නෑ … “
ඉන් පසුව කතා බහ එදිනෙදා සාමාජයීය කාරණා වෙතට මොහොතක් හැරුණි. මනුජ සියලු දෙනා වෙනුවෙන් උදෑසන ආහාර පාන ඇණවුම් කලේය.
නිර්ධා උන්නේ යම් නුහුරක් සම්ඟය. කලක් ජීවිතයේ වඩා වටිනාම පුද්ගලයා වූයේ ඔහුය. ඔහුගේ එක් වචනයකින් පවා තම ජීවිතය කෙතරම් පිරුණාදැයි ඕ දනි. එහෙත්, අද මනුජ යනු තම දරුවාගේ පියාය යන හැඟීම පමණක් නොවේදැයි නිර්ධාට සිතුනේ මනුජ පිළිබඳව වන ලෝභී හැඟීමක්වත් තමාට නොදැනෙන බව සිතමිනි. වඩා දැන හැඳුනුම්කම් සමඟ, ජීවිතෙ සියල් අහුකොන් බෙදාගත් පිරිමියා මෙතරම් ආගන්තුකව දැනීම මෙතරම් සැනසිලිදායක හැඟිමක් බව නිර්ධා සිතා තිබුනේ හෝ නැත.
“ මචං … මෙයාගේ කීමට ආවාට, දරුවා ගැන හිත කරදරෙන් ආවාට, දැන් අපි මෙහෙ ඉන්න ඕනි නැති මම හිතන්නේ… මම කියන්නේ, මෙයාත් එහෙම හිතනවා… කොච්චරක් හිතාගෙන ආවත්, මෙයාගේ ට්‍රීට්මන්ට්ස් එහෙන්ම ඉවර කරගන්න මම කැමති … ඒ නිසා අපි ෆ්ලයිට් බුක් කරන්න බැලුවේ ආයෙම යන්න … අපි දෙන්නටම මෙහෙ ඉන්න එක ඇත්තටම පොඩ්ඩක්වත් අවශ්‍ය දෙයක් නෙවෙයි දැන් ..”
මනුජ හිස සැළුවේඋඅ. එහෙත්, ඔවුන් දෙදෙනාගේම අවසරය සම්ඟ මනුජට යමක් සපුරා ගැනීමට තිබුණේය.
“ මට තේරෙනවා… කොහොමටත්, එහෙ ට්‍රීට්මන්ට්ස් වලින්ම මේක ෆුල් රිකවර් වෙන එකට මාත් කැමතියි මචං පර්සනලි .. ඒත් … යන්න කලින් … මට එක උදව්වක් ඕනි ….. ස්පෙශලි .. උඹේ පර්මිශන් එක්ක ….”
“ ඩෙෆිනීට්ලි … “
“ සින්දූපා එක්ක මම සම්බන්ධයක් හදාගත්තා තමයි … අපි අනාගතේ ගැන හීනත් හදාගත්තා තමයි .. ඒත් .. අපි.. දෙන්නාම දහ අටේ පොඩි කොල්ලෙකුයි, කොල්ලෙකුයි නෙවෙයි …. කොහොමටත්, මම ජීවිතේ ඉස්සරහට දේවල් හිතන්න ඕනි දෝණිගේ අප්පච්චි විදියට මිසක්, සින්දූපාගේ බෝයි ෆ්‍රෙන්ඩ් විදියට නෙවෙයි …”
නිර්ධා විමතියෙන් මෙන් ජනිදු දෙසද බැලුවාය. එහෙත් ජනිඳු උන්නේ මනුජ පවසන්නේ කුමක්දැයි ගලපා ගන්නට නොහැකිව මෙන් ඔහු දෙසම බලාගෙනය.
“ සින්දූපාගේ තාත්තාට ඕනි එයාට ඒගොල්ලන්ගේ ස්ටේටස් වලට සෙට් වෙන කොල්ලෙක් කසාද බන්දන්න … මට තේරෙනවා බං ඒ තාත්තාව… ඒ තව අවුරුදු විස්සකින් විසි පහකින් මමම තමා…. මෙවෙලේ, මම මෙතනින් අයින් වෙන්නම ඕනි .. ඒක සින්දුප එක්ක කතා බහ කරලා, එයාට පහදලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි … ඒ නිසා , මට නිර්ධාගෙන් උදව් ඕනි ..”
“ ඔයාට පිස්සුද මනුජ ..? මොකක්ද ඔයාගේ අඩුව ?..”
නිර්ධා කඩා පැන්නාය. මනුජ දෙතොල් නොපිටට පෙරලා සිනාසුනේය.
“ ඒක අපි දෙන්නාම දන්නවා නිර්ධා . ඒක උඹට වුනත් නොතේරෙනවා නෙවෙයි නේ මචං .. උන් වගේ සල්ලිකාර බිස්නස් කාරයෝ ස්ටේටස් හොයන්නේ අමුතුම විදියට …”
ජනිඳු එයට හිස සැළුවේය.
“ දික්කසාද, එක්දරු, එයාර්ෆෝස් ඔෆිසර් කෙනෙක් කියන්නේ එ ස්ටේටස් අහලකින්වත් තියන්න බැරි එකෙක් බව, ඒ තාත්තා ආයේ ආයෙම, ආයේ ආයෙම මට පැහැදිලි කලා… මට ඒක තේරුම් ගන්න ලේසි වුනේ දෝණිවත් අල්ලලම ඒක හිතලා බැළුවම …”
“ උඹ ඔය කියන කතාව හරි ඇති බං .. ඒත් ඕනැම මිනිහෙක්ට ජීවිතේ දෙවෙනි අවස්තාවක් එන්නම ඕනි..”
“ එන්න ඕනි තමයි බං .. ඒත් ඒ සින්දූපා වගේ කෙල්ලෙක් එක්ක නෙවෙයි වෙන්න ඇති …”
ජනිඳු එයට කිසිත් නොපවසා වතුර වීදුරුවෙන් අඩක් පානය කලේය.
“ ඔයා හදන්නේ, ඔයත් විනාශ වෙලා, අම්මලාටත් මානසික වදයක් වෙලා, දෝණිගේ බර ආයෙමත් අම්මලාටම දෙන්න ….”
“ එහෙම වෙන්නේ නෑ නිර්ධා … “
ඉන් පසුව නිර්ධා දියණිය පිළිබඳව තමා තුල වන වේදනාව පවසමින් හඬන්නට ගත්තාය. ජනිඳු ඇය අස්වසන්නට අසීමිත වෙහෙසක් ගත්තේය.
“ දෝණි ටිකක් ලොකු වුනාම එයාට ඔයා ගැන කියන්නම් මම නිර්ධා .. මම පොරොන්දු වෙනවා.. එයා ඔයාට අම්මා කියාවි … යාහ් …”
නිර්ධා මනුජ දෙස බලා උන්නේ ඒ ඇසුනේ තමාගේ මනසේ වූ හිතලුවක්දැයි සිතාගන්නට නොහැඛිව මෙන් ය.












