ඉඩෝරයක මල් වැස්සක් – 59

“පූජනී මොනවා හරි වරදක් උනානං ඔයා ඇත්ත කියන්න. අපි මෙතන වැඩ කරන්නේ සහෝදරයෝ පිරිසක් වගේ. ඔයාගේ ජීවිතේ ගොඩක් අමාරු අවස්ථාවලදී අපි ඔයත් එක්ක හිටියා. ඉස්සරහටත් අපි ඔයා එක්ක ඉන්නවා. අවුරුදු හයක් ඔයා අපි එක්ක වැඩ කරලා එක්ස්පීරියන්ස්  එකක් ඔයාට තියෙනවා. අවබෝධයක් ඔයාට තියෙනවා. මං පිළිගන්නවා මෙච්චර කාලයක් මෙහෙම දෙයක් කරන්න උවමනාවක් ඔයාට තිබුණේ නෑ. හැබැයි කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ උවමනාවල් වෙනස් වෙන්න පුළුවන්. පූජනී මෙහෙම දෙයක් කරලා ඔයා මොනවද බලාපොරොත්තු වුණේ. මේ වෙලාවෙත් තාත්තා ඔයාගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නේ බොහොම කරුණාවෙන්.”

“අනේ මැඩම් මම දැනගෙන හිටියේ නෑ…”

“පූජනී මේක දැනගෙන හිටියේ නෑ කියන එක අපිට විශ්වාස කරන්නේ කොහොමටවත් බැරි දෙයක්. මොකද අපි ඔයාගේ බ්‍රන්ච් එකේ අය වෙන වෙනම ගෙනත් ප්‍රශ්න කළා. ඒ හැමෝගෙම උත්තරය වුණේ මේ ෆෝල්ට් එක වෙන්න ඇත්තේ පූජනීගෙන් කියලා.”

“සර් හැමෝගෙන්ම ප්‍රශ්න කළා කියලා කිව්වේ.”

“බිනර සර්ගේ ඉඳලා ඔයාගේ බ්‍රාන්ච් එකේ ඉන්න හැම කෙනෙක්ගෙන්ම. අපිට සිද්ධ වෙනවා පූජනී  ඔයාව කම්පැනි එකෙන් අයින් කරන්න. ඒ වගේම ඔයාට විරුද්ධව පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න. මේක රැවටීමක්. මේ නිසා අපේ කම්පැනි එකට  ලොකු හානියක් වගේම ලොකු කැළලක් වෙන්න තිබුණා. මං හිතන්නේ අපේ වාසනාවකට අපිට ඒක ඊට කලින් දැනගන්න ලැබුණා.”

“අනේ මැඩම් එහෙම කරන්න එපා.”

ඈ කතා කලේ දෑස්වල කදුළු පුරවාගෙනය.

“එහෙම නොකර බෑනේ පූජනී. ඔයා මේ වෙලාවේ හරි අපිට ඇත්ත කියනවනම් අපිට සාකච්ඡා කරලා මොකක්ද කරන්න ඕනේ කියලා පියවරක් ගන්න පුළුවන්. මොකද මේ වෙද්දිත් හැම පැත්තකින්ම ඇඟිල්ල දික්වෙන්නෙ ඔයාට. අපිට මෙහෙම නාස්ති කරන්න කාලයක් නෑ පූජනී. අද වෙනකොට ඔයා මේ කම්පැනි එක  ඇතුලේ ස්ථාවර වෙලා හොඳ සැලරි එකක් ගන්න කෙනෙක්. ඒ වගේම මමත් තාත්තත් පුද්ගලිකව ඔයාව කැඳවලා ඔයාගේ ජීවිතය ගැන යම් යම් අවස්ථාවල හොයලා බලලා තියෙනවා. ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් අපිත් එක්ක කතා කරන්න කියලා අපි ඔයාට කියලා තියෙනවා. එහෙම කියන්නේ අපේ මේ සේවකයෝ අපිට සමීපයි කියල හිතන නිසා. ඒ අයගේ ජීවිතවල පුද්ගලික කාරණා වලදිත් අපිට පුළුවන් සීමාවේ ඉදලා  අපි මැදිහත් වෙන එක යුතුකමක් කියලා හිතන නිසා. ඔයා මේ නැති කරගන්න හදන්නේ පවුලක්. ඔයාට ගොඩක් ආදරේ කරන පවුලක්.”

“අනේ මැඩම්…..”

ඇගේ  කොපුල් හරහා කඳුළු බේරී යමින් තිබිණ. එහෙත් ඕ එක වදනක්වත් කතා නොකළය. දිගින් දගටම කතා කලේ හංසිකා පමණි.

“පූජනීට තව එක අවස්ථාවක් දෙන්නම්. ඔයාට ඕනනම් මාත් එක්ක පුද්ගලිකව කතා කරන්න පුළුවන්.”

හංසිකා එසේ පැවසුවේ ජයවර්ධන දෙස බලා දෑස් වලින් යමක් පවසමින්ය. කුලසේකර හිස වනමින් ඇයව අනුමත කළේය. 

“මැඩම්…අනේ මං ගැන වැරදියට හිතන්න එපා. මට එහෙම කරන්න වුණා. මට කෙනෙක්ගෙන් ගොඩක් කරදරයි.”

“ගොඩක් කරදරයි කිව්වේ. කවුද ඒ කෙනා”

“අර බිනර කියලා කෙනෙක් ඉන්නේ. එයා සර්ලගේ ඥාති වෙන කෙනෙක්ලු. ඒක නිසා මේ ගැන සර්ල එක්ක කතා කරන්න මම බයේ හිටියේ. සර් මාව විශ්වාස කරන එකක් නෑ කියල මට හිතුනා.”

හංසිකාත්, ජයවර්ධනත් මුහුණින් මුහුණ බලා ගත්තේ එකම වරකය. හංසිකාට ‘සන්සුන් වන්න…’ යැයි පැවසූයේත් ජයවර්ධනමය. 

“මොන වගේ කරදරද ඔයාට බිනරගෙන් තියෙන්නේ. එහෙම දෙයක් තිබුනනම් පූජනීට තිබුණ අපි එක කතාා කරන්න.”

“සර් මට ගොඩක් දවස් වල රෑට බිනර කතා කරනවා.”

“කතා කරනවා…ඒ ඇයි..”

“මැඩම් කතා කරලා මට එයා එක්ක… අනේ මැඩම් මං කොහොමද එහෙම කියන්නේ.”

“කතා කරන්න පූජනී  මේ ඉන්නේ ඔයාගේ තාත්තා වගේ කෙනෙක්. කුලසේකර අංකල් උනත් ඔයාගේ තාත්තා වගේ. මං ඔයාගේ සහෝදරියක් වගේ. අපිට කතා කරන්න බැරිකමක් නෑ නේ. අනිත් එක අපේ ඔෆිස් එකේ ඇතුලේ කෙනෙක්ගෙන් ඔයාට එහෙම වරදක් වෙනවනම් අපි ඒ ගැන නොබලා කොහොමද..?”

“මගේ හස්බන්ඩ් නෑ කියල දන්න නිසා බිනර මට එයත් එක්ක ජීවත් වෙන්න එන්නලු.”

“ඒ කියන්නේ එෆෙයාර් එකක් පටන් ගන්න.”

“නෑ එහෙමත් නෙමෙයි. හොර සම්බන්ධයක් පවත්වන්න. අර එකවුන්ට් එකේ ඉන්න ඉසුරිත් එක්කත් එයාගේ එහෙම සම්බන්ධකමක් තියෙනවලු. එයා එහෙම විනෝදෙන් ජීවත් වෙන කෙනෙක්ලු. මං හරි ලස්සනයිලු. ඒ උනාට එයා බඳින්න වෙන කෙනෙක් ඉන්න නිසා මාව කසාද බඳින්න බැහැලු. ඒ උනාට එයත් එක්ක එකට ජීවත් වෙන්නලු. ඒකට මට සල්ලි ගෙවන්නම්ලු.”

“කවදද  ඔයාට මේ දේවල් බිනර කිව්වේ.”

හංසිකා සිටියේ වෙව්ලමින්ය. වරින් වර ජයවර්ධන ඈ දෙස බලා සන්සුන්වන්නයැයි පැවසූයේ දෑස් වලින්ය.

“දැන් සති දෙකක ඉඳලම කියනව සර්. මහ රෑටත් කතා කරනවා. මං බැරිම තැන කිව්වා මට පාඩුවේ ඉන්න දෙන්න කියල. මේ ළඟදි දවසක් මට තර්ජනය කළා එයා කියන තැනකට ආවේ නැත්නම් සර්ලට බොරුවක් කියලා මාව ජොබ් එකෙන් අයින් කරනවා කියලා.” 

“ඉතින් බිනර කියපු තැනට පූජනී ගියාද.”

“නෑ එහෙම තැනක් කිව්වේ නෑ. හෙට අනිද්දම කියයි කියල මං බයේ ඉන්නේ. සමහර වෙලාවට මට නරක වීඩියෝස් පවා එවනවා. ඊට පස්සෙ කියන දේවල් අනේ මං කොහොමද කියන්නේ.” 

“ඔෆිස්  එකට ආවට පස්සෙත් බිනර එහෙම කරනවද?”

“නෑ.. කිසිම දෙයක් නොදන්න ගානට මගේ දිහා බලන්නෙවත් නැතුව ඉන්නවා. එහෙම රෑට කෝල් කරද්දි බිනර කියනවා මම ඔෆිස් එකේදි වැරදීමකින්වත් ඔයාගෙ දිහා බලන්නේ නෑ කියලා. ඒ මනුස්සයා හරි කපටි මනුස්සයෙක් සර්.”

“පූජනී ළඟ තියෙනවද ඒ බිනර වීඩියෝස්, මැසේජ් එවන කතා  කරන නම්බර් එක.”

“ඔව්.. ෆෝන් එකේ තියෙනවා. වීඩියෝස් නං මම ඩිලීට් කරලා දානවා. සමහර වෙලාවට මගේ ෆෝන් එක අක්කගෙ දුවත් පාවිච්චි කරනවා.” 

“කොතනද ෆෝන් එක තියෙන්නේ.?” 

“මගේ මේසේ  ලාච්චුවේ. අරගෙන එන්නද මැඩම්.?”

“එපා මම කවුරුහරි ලව්වල එක ගෙන්න ගන්නම්.”

විනාඩි කිහිපයකට පසුව කාර්යාලීය කාර්ය සහායකයෙක් රැගෙන ආ ජංගම දුරකථනය  පරීක්ෂාකල හංසිකා බිනර විසින් එව්වායැයි පැවසූ කෙටි පණිවිඩ ජයවර්ධනට මෙන්ම කුලසේකරටද පෙන්වූවාය. ඒ දුරකථන අංකය පමණක් නොව කෙටි පණිවිඩවල සේයාරූප පවා හංසිකා ලබාගත්තේ වෙව්ලන ඇඟිලි තුඩු වලින්ය. බිනරට මේසා පැහැදිලි සිංහලෙන් කෙටි පණිවිඩ යැවීමේ හැකියාවක් නොවේ. මේ සියල්ල කිසිවෙකුගේ සැලැස්මක් බව පැහැදිලි වුවත් හංසිකාගේ සිතෙහි ඇතිවූයේ පුදුමාකාර බියකි. එහෙත් ඕ මහත් ආයාසයකින් වදන් ගලපා ගත්තාය.

“බිනර සම්පූර්ණයෙන්ම වැරදියි. පූජනීය අපේ ඉන්නේ ඔයත් එක්ක අපි පොරොන්දු වෙනවා අපි ගන්නේ ඔයාගේ පැත්ත කියලා. ඒ වගේම බොහොම ඉක්මනට මේ ප්‍රශ්නෙන් ඔයාව නිදහස් කරනවා කියලා.”

“සමහර දවස්වලට මැඩම් මට සල්ලි දාන්න කියලා මගේ එකවුන්ට් නම්බර් එකක් ඉල්ලනවා. මිනිහා මැරිච්ච නිසා කවුරු එක්ක බුදිය ගත්තත් ප්‍රශ්නයක් නෑනේ කියලත් කියනවා. බිනර කසාද බැන්දත් මාව අමතක කරන්නේ නෑ කියලත් කියනවා. එයා ඉසුරිව තියන් ඉන්නෙත් එහෙමලු. එයා ජීවිතයේ ජොලි කරන මනුස්සයෙක්ලු.” 

“තව කවුද මේ ගැන දන්නේ?”

ජයවර්ධන එසේ ඇසුවේ දිගු  සුසුමක් මුදා හරිමින්ය. 

“සහන්…විතරයි සර්”

“සහන්…සහන් එක්ක එහෙම දෙයක් ගැන කියන්න තරම් ඔය දෙන්න අතරේ හොඳ යාළුකමක් තියෙනවද? මං ඇහුවේ විශ්වාසවන්තද.?”

“නෑ සර්.. සහන් කියන්නේ ඇත්තටම හොඳ යාළුවෙක්. සහන්ට බිනරගේ වෙනස දැනිලා තිබුණා. සහන් තමයි ඉස්සර වෙලාම මගෙන් ඒ ගැන ඇහුවේ.”

“මොනවද ඇහුවේ…”

“ඇයි බං අර බිනර කන්න වගේ උඹ දිහා බලාගෙන ඉන්නේ කියලා ඇහුවා. කීප වතාවක්ම එහෙම මගේ දිහා බලාගෙන ඉන්නවා සහන් දැකල තියෙනවා කිව්වා.”

“ඇත්තටම බිනර කන්න වගේ ඔයාගේ දිහා බලාගෙන ඉඳලා තියෙනවද පූජනී.” 

“මට කවදාවත් එහෙම දැනිලා නෑ. මම මැඩම්ට කිව්වේ බිනර ඔෆිස් එකේදි හැසිරෙන්නේ මාව නොදන්න ගානට.” 

“එතකොට සහන් දැකලා තියෙනවා.” 

“ඔව් සර්. සහන්ලා බිනරලා එකට ඉන්න්න අයනේ. ඒ වෙලාවේ සහන් බිනර ගැන මට ගොඩක් විස්තර කිව්වා. බිනරට හැමතැනම ගෑනුලු. මහ සෙල්ලක් කාරයෙක් කියලා කිව්වා. ඔයාට එහෙම හිත වැටුණානම් ඔයාව ඇඳට අරගෙනම තමයි නවතින්නෙ කියලත් කිව්වා. ඔෆිස් එකෙත් කීප දෙනෙකුටම බිනරගෙන් කරදර වෙලා තියෙනව සර්. ඊට පස්සේ සහන් මාව ආරක්ෂා කළා.”

“ආරක්‍ෂා කළා කිව්වේ…”

“මාව බස් හෝල්ට් එකට ඇරලුවා. සමහර දවස්වලට උදේටත් බස් හෝල්ට්  එකට වෙලා හිටියා. බිනර මොනවාම හරි කියවපු ගමන් එයාට කියන්න කියලත් කිව්වා. බිනර එන්න කියලා කතා කළාට තනියම යන්න එපා කියලත් කිව්වා.” 

“බොහොම හොඳ යාළුවෙක්නේ…”

කුලසේකර එසේ පැවසූයේ අවඥාවෙන් හිනැහෙමින්ය.  එහෙත් ඒ සිනහවෙහි වූ අවඥාව පූජනී හඳුනාගත්තේ නැත. 

“ඔව්… මේ ප්‍රශ්නෙදි මට හිටියෙ සහන් විතරයි.”

“හරි දැන් පූජනී මට කියන්නකො ඔය ඔක්කොම කාරණා කොහොමද මේ එකවුන්ට්ස්වල ප්‍රශ්නෙට සම්බන්ධ වුණේ කියලා.”

“සහන් දිගින් දිගටම බිනරව මේ ඔෆිස් එකෙන් එලව ගන්න ක්‍රමයක් ගැන කතා කළා. මං නම් කිව්වේ අපි ගිහිල්ලා සර්ට මේ විස්තර කියමු කියලා. හංසිකා මැඩම් උනත් බිනරත් එක්ක ගොඩක් හිතවත් නිසා අපි මේ දේවල් කියන්න බය වුණා. මොකද සහන් මට නිතරම කිව්වා එයා ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට මේ විස්තර කියන්න එපා කියලා. මම මනුස්සයා නැතුව තනි වෙච්ච ගෑනියෙක් හින්දා ඊට පස්සේ මෙතන ඉන්න අනිත් අයත් ප්‍රයෝජන ගන්න බලයි කියලා කිව්වා. ඒක ඇත්තනේ..ඒ නිසා සහන් මට කිව්වා අපි කාටවත් නොදැනෙන්න බිනරව මෙතනින් එලවන්න බලමු කියලා.” 

“ඒ කොහොමද…”

“මේ විදියට දිගින් දිගටම සේල්ස් රිපෝට්ස් වැරදෙද්දී සර් උනත්, හංසිකා මැඩම් වුණත් බිනර ගැන තියෙන විශ්වාසේ නැති කර ගනී කියලා කිව්වා. කොච්චර හිතවත් කෙනෙක් උනත් ඒ විශ්වාසෙ නැති වුණාට පස්සේ මෙතන තියාගන්න එකක් නෑ කියලා අපි හිතුවා. මොකද හැම තිස්සේම සර් කතා කරන්නේ විශ්වාසෙ ගැනනේ. එහෙම නැතුව කාටවත් වරදක් කරන්න මට වුවමනාවක් තිබුනේ නෑ. අනේ ප්ලීස් මට මේ ජොබ් එක හරි වටිනව සර්. මං විතරක් නෙවෙයි මගේ අම්මයි තාත්තයි ජීවත් වෙන්නෙත් මේකෙන්. බිනරගෙ මේ ප්‍රශ්නෙ ඉවරයක් කරලා දෙන්න. බිනර සමහර වැඩ උනත් හංසිකා මැඩම්ගෙන් හරි ඉසුරිගෙන් හරි අහගෙන කරන්නේ. එකවන්ට් එකේ ඉන්න කාලේ බිනරගේ වැඩ කලෙත් අර ඉසුරි.”

පූජනී එවර පැවසූයේ දෑත් එක්කරගෙනය. සැබවින්ම  ඇය කොතැනකින් හෝ අසරණව උන්නාය. 

“හොඳයි…. ඔයාගේ මේ ප්‍රශ්නෙ මං බොහොම ඉක්මනට ඉවරයක් කරල දෙන්නම්. ඒකට අපිට තව සාක්ෂි ටිකක් වුවමනා වෙනවා. පූජනී බිනර වරදක් කරනවනම් ඔයා කිව්ව වගේම එක තත්පරයක්වත් මෙතන එයාව තියාගන්නේ නෑ. හැබැයි අපිට එයාව එක හෙලාම එළියට දාන්නත් බෑ. ඔයාට විතරක් නෙමෙයි. මෙතන සේවය කරන කිසිම ගෑනු දරුවෙකුට වරදක් වෙන්න මැනේජ්මන්ට් එක විදිහට අපි ඉඩ තියන්නේ නෑ. මට සතියක් දෙන්න මම මේ ප්‍රශ්නේ විසඳනවා. ඒ වගේම පූජනීගේ පැත්තෙන් මට උදව්වක් ඕනේ.” 

“ඒ මොකක්ද සර්…”

“කිසිම වෙනසක් නැතුව මේ සති දෙක වගේම ඔයා ඉස්සරහටත් වැඩ කරන්න ඕනේ. අපි ඔයා එක්ක කතාකල  බවවත් ඔයාගෙන් අපි ප්‍රශ්න කල බවවත්  මේ කිසිම දෙයක් සහන් එක්ක කියන්න යන්න එපා. හැබැයි සහන් කියපු විදිහට ඔයාට බිනර එවන මැසේජ් ගැන ඔයා සහන් එක කතා කරන්න. මොකද ඔයාට කලින් සහන් බිනරගේ යාළුවෙක් උනේ. මැනේජ්මන්ට් එකේ අපි යම් තීරණයක් ගන්න හදනවා කියන එක ඔයා සහන් එක කතා කලොත් සහන්ගෙන් බිනරට යන්න පුළුවන්. මම මේ කියන්නේ එහෙම වෙන්න පුළුවන් කියන එක. මොකද ඒගොල්ලෝ එකට මේ කම්පැනි එකට  වැඩට ආපු අය. ඔයාට තේරෙනවා නේද.?”

“ඔව් සර්…”

“සහන් ඔයාට ලබාදෙන ආරක්ෂාව ඔයා දිගටම තියාගන්න. හැබැයි පූජනී හැම වෙලාවකම මතක තියාගන්න අපි ජීවිතේ තනි උනහම අපිට ප්‍රශ්න එන්න තියෙන ඉඩ වැඩියි කියලා. ඔයාට පුළුවන් හංසිකා මැඩම්ම විශ්වාස කරනවනම් ඕනෙම දෙයක් හංසිකා මැඩම් එක්ක කතා කරන්න. මම දන්නවා හංසිකා වැඩම්ගෙයි බිනරගෙයි අතර එෆෙයාර් එකක් තියෙනවා කියලා මේ කම්පැනි එකේ කතාවක් තිබුණා. ඇත්තටම කිව්වොත් බිනරගේ දෙමව්පියෝ අපේ පවුලේ හිතවතුන්. පොඩි කාලේ ඉඳලම මේගොල්ලෝ දන්න අඳුනන අය නිසා එයාලා  කතාබහ කරන්නේ සහෝදරයෝ වගේ.”

“පූජනී බිනර කියන්නේ මට මල්ලි කෙනෙක්. හැබැයි එයා මගේ මල්ලි වුණත් වරදක් කරනවානම් ඒ වරද හංගන විදිහේ සහෝදරියක් නෙමෙයි මම. ඒ නිසා පූජනී මේ වෙලාවේ තාත්තා කියන විදිහට වැඩ කරන්න.” 

“මේ වෙලාවේ ඔෆිස් එකට ඔයාව ගෙන්නුවෙ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් ඔයා කියන්න අලුත් පොත් වගේක සේල්ස් ගැන කතා කරන්නයි ගෙන්නුවේ කියලා. බොහොම ඉක්මනට මේ ප්‍රශ්නය විසඳෙනවා විතරක් නෙමේ පූජනී ඔයාගේ ජීවිතේ හැම දේකටම අපි ඔයත් එක්ක ඉන්නවා කියන එකක් මතක් කරනවා.”

“අනේ බොහොම ස්තුතියි සර්. ඇත්තටම මේ ප්‍රශ්නය නිසා සති දෙකක් තිස්සෙම මම නිදාගත්තේ නැති තරම්. ඒ තරම්ම බිනර මට කරදර කළා. ජොබ් එක නැති වෙයි කියන බයටම තමයි අන්තිමට මේ හැම දෙයක්ම කියන්න තීරණය කලේ. කළුගල්වල ඔළුව ගහගන්න පුළුවන් කමකට නෙමෙයි.”

“පූජනී අපිව විශ්වාස කරන්න. මේ ඉතිරි දවස් කිහිපයේත් අපි බිනරට වෙනසක් කරන්නේ නෑ. බිනර මේ වරද මේ ඔෆිස් එකේ හැමෝම ඉස්සරහදි පිළිඅරගෙන ඔයාගෙන් සමාව ගන්න ඕනේ. ඊට පස්සේ තමයි එයා මෙතනින් එළියට යන්නේ.” 

“මට පස්සේ කරදරයක් වෙයිද සර්…”

“එහෙම වෙන්නේ නෑ කියන එකට මම වග කියනවා පූජනී…” 

ජයවර්ධන එසේ පැවසූයේ ස්ථිර හඬකින්ය. තවත් විනාඩි කිහිපයක් කාර්යාලයේ රැඳී උන් ඇය ඉන් පිටව ගියේ ජයවර්ධනලා පිළිබඳව ඇති කරගත් විශ්වාසයකින් පසුවය. 

“මේවට අඬන්නද හිනා වෙන්නද කියලා මට හිතාගන්න බෑ තාත්තේ. මල්ලිට මේ දේවල් කියන්න එපා දැන්ම. එයා කලබල වෙයි අනිත් එක මේ එක්ස්පීරියන්ස් එක්ක එයාට ජොබ් එක එපා වෙයි.

මේ සහන් ප්ලේ කරන්නේ ගේම් එකක්. ඔය ටික ඔය විදිහට නැති උනත් සහන් මට දවසක් කිව්වා.”

“මේක අපි බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕන වෙලාවක් මිස්ටර් ජයවර්ධන. මං හිතන්නේ මගේ රාජකාරි ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙහෙම දෙයක්  වුණේ.”

සමරදිවාකර පැවසූයේත් සිය නළලත රැළි කරගෙනය.

(යළිත් හමුවෙමු ආදරයෙන්……)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles