සින්දූපා ගෙවුණ දිනය පුරාම තම නිවසේ සිට ඇති බවත්, ඇගේ දෙමාපියන්ද නිවසට පැමිණ ගොස් ඇති බවත්, තමා දිනය පුරා සිහියෙන් තොරව සිට ඇති බවත් මනුජ තහවුරු කරගත්තේය. නිවසේ සිටින සියල්ලන්ම පාසා තමන් දෙස හෙලන බැල්ම කිසිලෙසකින්වත් වටහා ගැනීමට ඔහුට හැකි වූයේ නැත. දියණියගේ කාමරයට එබුණු මනුජ ඕ සිටින්නේ නින්දේ බව දැක්කේය. ඇය තමා හා අමනාපයෙන් සිටින බවත්, එයට හේතුව කුමක්දැයි කියාත් ඔහුට සිහි වූයේ එයටද පසුවය. තමා සතියකට අනිවාර්‍ය නිවාඩු යවා ඇතැයි ලෙසින් වූ දැන්වීමද ඔහුට ඉන් පසුව සිහි විය. තාත්තා තමා නිවසින් පිටතට ඇද දැමූ බවද, තමා නංගීට පහර කිහිපයක්මම ගැසූ බවද ඉන් පසුව සිහියට ආවේය.දින දෙකකට එපිට පටන් තම ජීවිතය අපායක් ලෙසින් ව ඇති බව මනුජ පැහැදිලිව සිහියට ගත්තේය.
“ තේ බීලා ඉන්න …..”
මනුර්‍යාගේ හඬින් මනුජ දියණියගේ කාමරයේ දොර දෙසින් පසෙකට වූයේය. මනුර්‍යා දෙස බැලුවේය. ඕ උන්නේ ඉවතක් බලාගෙනය.
මනුජ තේ කෝප්පය අතට ගත්තේය.
“ නංගී ….”
“ අම්මාට ඊයේ රෑ ටිකක් අසනීප ගතියක් ආවා…. ඊසීජී අවුල් නෑ … ඔයාගේ නාඩගම් තියාගන්න ගෙදරින් එලියේ…. “
මනුජ දිගින් දිගටම විස්තර විමසූවා වුවද, මනුර්‍යා ඉන් එහා කිසිත් නොපවසා හැරුනාය. මනුජ අම්මා සොයා ගියේය. ඕ උන්නේ පියා සමඟ කතා බහකය. මනුජ අවසරයක් නැතුවම කාමරයට ඇතුලු වූයේය.
“ අම්මේ?…. ඩොක්ටර් මොකක්ද කිවේ ?.. ලෑස්ති වෙන්න අපි ක්වීන්ස් එකට ගිහින් එමු ..මම ඩොක්ටර් ඇපොයිමන්ට් එකක් දාගන්නම් ….”
“ නෑ නෑ.දැණට උවමනා නෑ …”
මනුජගේ තාත්තා එලෙස පවසමින් , පසෙක වූ තේ කෝප්පය යලි අතට ගත්තේය. මනුජ අම්මා අසලින් හිඳගත්තේය.
“ අම්මේ…”
“ මගේ රත්තරන් පුතේ…. මොකක්ද පුතෙ මේ කරගන්න හදන්නේ?.. අර කිරිසප්පයවත් අරගෙන , එක්කෝ නංගි එක්ක ඒ රටකට හරි ගිහිල්ලා හිත හදාගෙන ජීවත් වෙන්නකෝ මගේ පුතේ …. මගේ ඇස් ඉස්සරහ මෙහෙම පේන්න දෙන්නෙපා පුතේ…”
“ ඔය දැන් ආයේ යෝජනා දෙනවා… අර කිරිසප්පයා අරගෙන් යන්න කියන්නේ?.. එතකොට අර දොස්තර නෝනා?… ඒ කෙල්ල ඊයේ දවස තිස්සේ වෙච්ච ඔක්කොම කියලානේ තියෙන්නේ… දැන් දෙන්නාට කතා බහ කරලා පැහැදිලි කරගෙන, තීරණයක් ගන්නකල්, නෝනේ… අපි ඔක්කොමලා පැත්තකට වෙලා ඉන්නෙක තමයි හොඳ….. මනුජ ….. ඊයේ අර දොස්තර නෝනාගේ දෙමාපියන් ආවා …. ඒගොල්ලෝ එන වෙලාවේ කෙලින් කටින් හිටියා නම් මේ වෙද්දි මේ ප්‍රශ්න ලියාගෙන … ඒත් ඉතින් තමුන්ගෙ බේබදුකම සක්වල ගහලානේ ….. “
“ තාත්තේ මං …”
“ ගිහින් අර ළමයාට කතා කරලා , එක්කෝ මෙහෙ එක්කගෙන ඇවිල්ලා හරි,මෙව්වා ලිහාගන්න ළමයෝ … එහෙම නොවෙන්න ජීවිත කීයක් පැටලේද දන්නේ නෑ…”
මනුජගේ තාත්තා කාමරයෙන් පිටවූයේය. අම්මා ගෙවුන දවසේ සින්දූපා පැමිණ සිටි විස්තර මනුජ හා සමඟ කීවාය. මනුජ ඒ සියල්ල අසා උන්නේ ස්වප්නයක තනිව සිටිනා සෙයකිනි. මනුර්‍යාගේ ජංගම දුරකතනය සොයා ගත් මනුජ සින්දූපා ඇමතුවේය.
“ මනුජ නැගිට්ටාද නංගී .. මං එන ගමන් ඉන්නේ …”
ඇමතුමට එලෙසින් කියවෙද්දී මනුජ කිසිත්, නොපවසා ගැඹුරු හුස්මකින් සුසුමකට මාරු වූයේය.
“ නංගී … අයියාට කෑ ගහන්න එපා… මම ඇවිල්ලා ඔක්කොම බලාගන්නම් …. එයාට චුට්ටක් ඔහොම ඉන්න දෙන්න .. උදේට කන්න දෙන්නකෝ මොනා හරි හොඳේ …..”
මනුජ ඇමතුම විසන්ධි කලේය. සිත් සේ නාගත්තේය. කාමරය තුළටම වී උන්නේය. සින්දුපා පැමිණි බව ඇසෙද්දී ඔහු යහනට වැටුනේය. විනාඩි දහයක් පමණ ඉක්මෙද්දී සින්දූපා කාමරයට ආ වග දැනුණි. ඔහු ඒ දෙස නොබලාම උන්නේය.
තවත් විනාඩියක අවෑමෙන්, සින්දූපාගේ සිනිඳු ඇඟිලි අග්ගිසි මනුජගේ රලු හිසකේ අතරින් දැවටෙන්නට විය. මනුජ දෑස් තදින් පියා ගත්තේය. තත්පර ගණනක සුව සහනය වෙනුවෙන් ආත්මයම නිදහස් කර හැරියේය. සින්දූපා යහනේ පසෙකින් හිඳගත්තාය.
“ නැගිටින්න මනුජ … ඔයා නිදි නෑනේ ….”
මනුජ නිසොල්මනේ එලෙසින්ම උන්නේය. සින්දූපා ඔහුගේ බාහුව මතින් අත තබා මනුජව තමා වෙත හරවා ගන්නට උත්සාහ කලේය. ඇය බලාපොරොත්තු වූ සවිය ඒ වෙනුවෙන් යොදවන්නට අවශ්‍ය වූයේ නැත. මනුජ යහනේ උඩුබැලිව හැරුනේය. දෙදෙනාගේ දෑස් විශ්වයේ අති ප්‍රාර්තනාමය නිමේශයක් පසු කරමින් හමු වූවාක් සේ විය.
සින්දූපාගේ නෙත් තෙතින් බර විය. ඕ ඔහුගේ දෑස් තුළ ගිලී මියදුනා වුවද කම් නැතැයි සිතමින් උන්නාය.
“ සින්දූ ….”
මනුජ ඇසිල්ලෙන් යහනේ කෙලින් වූයේය. සින්දූපාට සිතාගන්නට නොහැකි තරමේ වේගයකින් ඕ ඔහුගේ දෑත් අතර ගුලිව උන්නාය. මනුජ රිදෙන්නටම ඕ ගුලි කරගත්තාය.
“ සින්දූ …”
“ ඔක්කොම හරි, කමාන්ඩර්, මනුජ නිම්නෙත් … ඔයාට දැන් තියෙන්නේ .. කොහොමම හරි දෝණිව ගොඩ දාගන්න එක විතරමයි …. අනෙක් ඔක්කොම හරි …”
සින්දූපා ඔහුගේ ගෙල පාමුලින් එලෙස වන හාදුව තැබුවාය. මනුජ උන්නේ නිරිවත් උඩුකයෙනි. ගත පුරා හී ගඬු පිරී ගිය බව සින්දූපාටද දැනුණි. ඕ යළි ගෙල පාමුලින් හාදුවක් තැබුවාය.
“ අපේ අම්මලා හා කිව්වා මනුජ …. කැමති විදියට දේවල් කරගන්න කිව්වා.. එයාලා මගේ සතුට ඉක්මවන්නේ නෑ කිව්වා …. එයාලාගේ තීරණ වලින් මම දුක් විඳිනවා නම්, ඒ තීරණ එයාලා කවදාවත්ම ගන්නේ නෑ කිව්වා… අනෙක, ඊයේ මෙහෙ ඇවිල්ලා ගියාට පස්සේ අම්මලා තව හිතේ නිදහසෙන් ඉන්නේ ………… ඔයා නොඋන්න එක තමා අඩුවට තිබ්බේ.ආපි ගොඩක් දේවල් විසඳගත්තා….
මනුජ…. .. මට වෙඩින් එකක් ගන්න ඕනි නෑ .. ඒත් අම්මලා ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න බව මට දැනෙනවා… ඔයා අකමැති නැත්නම්, ඒකට මට ඉඩ දෙන්න ….ඔයා චුට්ටක්වත් මහන්සි වෙන්න ඕනි නෑ .. මම හැමදේම බලාගන්නම්…. දෝණිව අපි දෙන්නා ලඟින්ම තියාගෙන … ඔයා අකමැති නැත්නම්.. අපි චර්ච් එකේ …. මැරි කරමු ..පුලුවන් ඉක්මනට …”
මනුජ ඇගේ දෙබාහුවෙන් අල්ලා ඕ තමා ඉදිරියට වන සේ හිඳුවා ගත්තාය. අද උදෑසන වෙද්දීද ජීවිතය තිබුණේ ඉබාගාතේ යන සෙය්‍යාවකිනි. මෙතරම් ඉක්මනට සියල්ල මෙලෙසින් වන්නේ කෙලෙසද ?..
“ මොකක්ද සින්දූ කියන්නේ ?…”
“ අපි බඳිමු ….පුලුවන් ඉක්මනට … ඔයාට ජොබ් එකේ ස්ටේබල් වීම කියනෙක දැන් තියෙන්නේ මොන ප්‍රයෝරිටි එකේද කියලා බලලා… මේ හැම දේම අලුතින් පටන් ගමූ මනුජ … ප්ලීස් … තව දවසක්වත් මට ප්‍රාර්තනා අක්‍රන්න නාස්ති කරන්න ඕනි නෑ..”
ඕ මනුජගේ වත දෝතින්ම පිරිමදිමින් කීවාය. මනුජ උන්නේ හදවත පිපිරෙන තරමට වන හැඟීම් ගංගාවක් එක්කය.
“ සින්දූ …”
“ ඔක්කොම මම බලාගන්නම් … ඔයා මාව බඳින්න කැමතිද කියන්න … මං දිහා බලාගෙන කියන්න මනුජ … මම පොරොන්දු වෙනවා, ඔයාව, දෝණිව බලාගන්නවා …. හදවතින්ම ආදරේ කරනවා… ඕනි උනොත්, දාක.. නිර්ධා … එයගේ අම්මා කියන ඇත්ත , එයාට කියන්න ඔයාට ඉඩ දෙනවා…. මම ඇත්තටම කියන්නේ…..”
මනුජ අසිනියෙන් මෙන් ඇගේ දෙතොල් මතට වැටුනේය.












