හැම උදේකමයි හවසකමයි රේණු තේ කෝප්ප දෙකක් හදනවා.
එකක් එයාට.
අනිත් එක එයාගේ මහත්තයා, සමීරට.
තේ කෝප්ප දෙක හදලා එයා සමීර එයාගෙ තේක බොනකම් තේ දෙකටම ඇල් වෙන්න ඉඩ ඇරියා. ඒ නිසාම ගොඩක් දවසට ඒ තේ ගියේ කාගෙවත් බඩට නෙවෙයි සින්ක් එකට. මොකද සමීර ඒ තේක බොන්න ආවෙ නැති හන්දා. තේකක් හැදුව බව අමතක කල හන්දා.
රේණු කිසිම දවසක ඔය තේ කෝප්ප දෙක හදන වැඩේ මොන හේතුව නිසාවත් මග ඇරියෙවත්, අමතක කරලා දැම්මෙ නෑ.
කොටින්ම කියනවනම් සමීර තමන්ට cheat කරනවා කියලා දැනගත්තට පස්සෙවත් රේණු ඒ පුරුද්ද නැවැත්තුවෙ නෑ.
සමීර තමන්ව රවට්ටනවා කියන දේ රේණු දැනගත්තෙ සමීරගෙ පිටේ පැත්තක අතට වැහිලා තිබිච්ච hickey එක දැක්ක දවසෙ.
ඒ Hickey එක පරණ එකක් වෙන්න බෑ අද ඊයෙ ලැබිච්ච එකක් වෙන්නෝන කියලා රේණු ඒකෙ පාට දැක්ක ගමන්ම තේරුම් ගත්තා. අනික පරණ වේවා අලුත් වේවා Hickey එකක් දෙන්න වෙන විදිය ශාරීරික බැඳීමක් තමන් දෙන්නා අතර උනේ නෑ කියන එකත් රේණුට මතක තිබ්බා.
රේණු ඇඬුවේ නෑ. මුලදී නම් නෑ. එයා ඒක දිහා බලලා හිත අස්සෙන් පොඩ්ඩක් ගැස්සුනා විතරයි. ඒක හරියට හිත ඒ වෙද්දිත් දැනගෙන උන්න, හැබැයි “එහෙම නෑ, එහෙම වෙන එකක් නෑ, එහෙම වෙන්න බෑ” කියලා හිත හිත උන්න කාරණාවක් හිතයි මොළෙයි දෙකම දැන් තේරුම් ගත්තු, හරියටම confirm කරගත්ත වෙලාවක කටෙන් එළියට පනින තමන් ගැනම හිත අස්සෙන් මතුවෙච්ච sarcastic හිනාවක් වගේ එකක්.
සමීර ගෙදර එනකොට, එයා හැමදාම වගේ රෑ කෑම හැදුවා. සමීර එනකම් කන්නෙ නැතුව බලාගෙන උන්නා. හොඳට ලූණු, මිරිස් තෙම්පරාදුවක් දාපු, මිරිස් කෑලි පාවෙන තෙම්පරාදු පරිප්පුවක්, පොල් සම්බෝලයක්, කරවල බැදුමක් එක්ක සුදු බත් හදාගෙන රේණු සමීර එනකම් බලාගෙන හිටියා. එහෙම සමහර දවස්වල සමීරගේ ඇඟේ Hickeys තියෙනවද කියලා බලන්න රේණු එක එක දහං ගැට දැම්මා. හැබැයි කිසිම දවසක මොකක් හරි හේතුවක් නිසා රේණු සමීරගෙන් ඒ ගැන Directly ඇහුවෙ නෑ. සමහර දවස්වලට රේණු මොනවා හදාගෙන ගෙදර උන්නත් සමීර ගෙදර ඇවිත් කෑවෙ නෑ.
“කෑවද?” කියලා රේණු අහද්දි සමීර ඔව් කියන්න ඔළුව වැනුවා. ඉන්පස්සෙ කිව්වා
“ඔව්… යාළුවෝ ටිකක් එක්ක එළියට යන්න උනා.” එහෙමත් නැත්තම් “මීටින් එකකට එළියට ගියා ඒ එක්ක කෑවා” එහෙමත් නැත්තම් “හවස ස්නැක්ස් වගයක් කෑවා ඒක නිසා බඩගිනි නෑ” වගේ එක එක හේතු කිව්වා.
ඒ හැමදේටම රේණු කරේ හිනාවෙලා “ඕකේ” කියන එක විතරයි. ඉන්පස්සෙ ඒ උයපු කෑම ෆ්‍රිජ් එකේ දාපු රේණු දවස් ගානක් ඒවා උදේට රත්කරගෙන කෑවා. දවල්ටත් කෑවා. ආයෙ ආයෙ මේ සෙතේම වෙන බව දැනගෙනම රෑට හොඳට කෑම ඉව්වා.
සමීර ගෙදර ඇවිත් “කන්නෙ නෑ” කිව්වා. රේණු කෑම ෆ්‍රිජ් එකට දැම්මා. පස්සෙන්දට මයික්‍රොවේව් කරලා උදේට එහෙමත් නැත්තම් දවල්ට ඒවා කෑවා.
රේණු හැමදාම ඒවට “ඕකේ” කියලා කිව්වට රේණු දැනගෙන උන්නා “It’s not okay” කියන එක.
දෙන්නා අතර කිසිමාකාරෙක ෆයිට් එකක් තිබ්බෙ නෑ. රණ්ඩු සරුවල් තිබ්බෙ නෑ. ඒ දෙකටම වඩා දරාගන්න අමාරු සයිලන්ස් එකක් තමයි දෙන්නා අතරෙ තිබ්බේ. ඒ සයිලන්ස් එක හරිම හෙමින් සැරේ ගලාගෙන ගිහින් ගෙදර හැම තැනක්ම පුරවගෙන වැහිලා ගියා. ගෙදරින් එළියෙ උන්න සමීරට ඒක නොතේරුණාට මුලු දවසම ගෙදර උන්න රේණුව යටකරගෙන ඒ සයිලන්ස් එක ගෙදර හැම අස්සක් මුල්ලකම පුරවලා දැම්මා.
දවස් ගෙවිලා ගියා. සති ගෙවිලා ගියා. රේණු කාටවත් කිව්වේ නෑ තමන්ගෙ වේදනාව. මොකද කා එක්කවත් බෙදාගන්න බැරි තරම් ඒ වේදනාව තමන්ගෙම දෙයක් වෙලා කියන එක ඒ වෙද්දිත් රේණුට තේරුම් ගිහින් උන්නා.
හැබැයි මේ කිසිම දෙයක් මැද්දෙ රේණු තමන්ගෙ wife duties මග ඇරියෙ නෑ. අම්මයි තාත්තයි නැතිවුණයින් පස්සෙ, පවුල එකම දරුවා වෙච්ච තමන්ට සමීරගෙ ගෙදරින් එළියට ගිහින් ජීවිතයක් නෑ කියන එක රේණු හැමතිස්සෙම හිතට කිව්වා. ආයෙ ආයෙ මතක් කරගත්තා.
ඒ හන්දම එයා සමීරගෙ කමිස ඉස්ත්රික්ක කළා. එයාගේ ලන්ච් එක පැක් කළා, රෑට ගෙදර එන්න පරක්කු වෙනවද කියලා සමීරගෙන් ඇහුවා. හැබැයි රේණු දැනුවත්ව හෝ නොදැනුවත්වම වගේම සමීරගෙ අනු දැනුමකින් සහමුලින්ම වගේ තොරව පොඩි දෙයක් හිමින් හිමින් වෙනස් වෙන්න ගත්තා. හරිම සයිලන්ස් එකේ තමයි ඒක උනේ. ඒ රේණුගෙ ඇස්වල තිබුණ පුරුදු තෙත උණුසුම වෙනුවට, දැන් තිබුණේ ඈතකට ගියපු, පොඩ්ඩක් වේළුණ ගතියක් තියෙන distant බැල්මක් කියන එක.
හැම උදේකම, එයා තේ දෙකක් හැදුවා. ඒ දෙවැනි කෝප්පෙ හැමදාම ඇල් වෙලා ගියේ සමීර ඒක බොන්නත් කළින්. හරියට තමන්ගෙ හිතේ තිබුණ තරහට, දුකට රේණු දවසෙන් දවස ඇල් වෙන්න දුන්න වගේ. එක සිකුරාදා දවසක හවස, සමීර වෙනදට වඩා ඉක්මනින් ගෙදර ආවා. එයාගේ අතේ මල් බොකේ එකක් තිබුණා. මූණෙ මොකක් හරි රේණු මින් පෙර නොදැක්ක විදියෙ ෆීලින් එකක් තිබ්බා. Expression එකක් තිබුණා.
මල් බොකේ එකක් අතේ තියාගෙන ආව සමීර එළියේ වරැන්ඩාවේ ඉඳගෙන book fair එකෙන් ගත්ත අලුත්ම පොතක් කියව කියව උන්න රේණු දිහා බැලුවා. රේණු කරේ හරිම සාමාන්‍ය විදියට සමීර දිහා බලපු එක. ඉන්පස්සෙ පුටුවෙන් නැගිටලා සමීරට තේකක් හදලා දෙන්න හිතාගෙන ගේ ඇතුළට යන්න ගිය එක.
අන්න ඒ වෙලාවෙ තමයි සමීර රේණුට කතාකරේ.
“රේණු,” සමීර කිව්වෙ හරිම හිමින්. ඒ කටහඬේ තිබුණේ ඉල්ලීමක්. තමන්ට කවදාවත් දෙන්න බැරි දෙයක් ගැන ඉල්ලීමක් කියන එක රේණුට හිතුනා.
“කියන්න”
“මම වැරැද්දක් කළා.”
“මම දන්නවා.”
“මම දන්නේ නෑ ඇයි මම ඒක කළේ කියලා.”
“මම ඒකත් දන්නවා.”
“ඔයා කවදා හරි මට සමාව දෙයිද?” කියලා සමීර අහද්දි මේ වෙලාවෙ තමන් දෙන්නා අතරෙ වෙන කිසිම කතාවක්, ඇත්තක් නෙවෙයි, සමීර මේ කරන්නෙත් එක්තරා විදියක රඟපෑමක්, මොකක් හරි එයාට මේ ගෙදරින් එළියෙ, තමන්ගෙන් පරිබාහිරව තියෙන situation එකකට මෙතනදි react කිරීමක් කියන එක රේණු දැනගෙන උන්නා.
රේණු මේසේ උඩ තිබුණ තමන් බීලා අහවර වෙච්ච තේ කෝප්පෙ දිහා බැලුවා. හයියෙන් ගැඹුරු හුස්මක් ගත්තා.
“සමාව දෙන්න?” කියලා රේණූ කවදාවත් නොකරපු විදියට සමීර දිහා කෙළින්ම බැලුවා. “ඔයාට සමාව දෙනවා කියන්නෙ මට එකපාරක් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සමීර. මගෙ හිත දුර්වල වෙන එක නතරවෙන දවසක් එනතුරු මම ඔයාට හැමදාම දෙන්නෝන දෙයක්”
“ඒ හිත දුර්වල වෙන එක කවදාවත් නතර වුණේ නැත්තම්?”
“මම හැමදාකම දෙවනි තේ කෝප්පයක් වක්කරලා තියයි”
දවස් මාස බවට හැරුණා. අවුරුද්දක් ගෙවිලා ගියා.
සමීර හිත ඇතුළෙන් වෙනස් වෙන්න හැදුවා. ඉක්මනින් ගෙදර ආවා, රෑ කෑම කෑවා, රේණු පොත් කියවද්දි එයා ලඟට වෙලා උන්නා. ගෙදර තිබිච්ච අර සයිලන්ස් එක හිමීට ආයෙත් පොඩි පොඩි කතන්දර වලින් පිරුණා. හැබැයි විශ්වාසය කියන බිඳුණු වීදුරුවේ ඉරිතැලීම, එළිය වැටෙන හැම වෙලාවකම රේණු දැක්කා.
රේණු හිටියේ බලෙන් නෙවෙයි. එයා උන්නේම “මේක තමයි මගේ තීරණේ, මේක තමයි මගෙ choice එක, මම සමීරට සමාව දුන්නා නම් මට දැන් ආයෙ එයාගෙන් මේ ගැන අහ අහ, පොඩි ප්‍රශ්නවලටත් මේක ඈඳගෙන හෝද හෝද මඩේ දාන්න බෑ” කියන කතාව තේරුම් අරගෙන. ඒ වගේම ආදරේ කියන්නේ හැම වෙලාවෙම ලස්සනට ලැබෙන දෙයක් නෙවෙයි, ලස්සනට දෙන්නෝන දෙයක් කියලා දැනගෙන උන් හන්දා. තමන්ට වෙන කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් තමන් තමන්ට ආදරේ කරන්න ගත්තම විතරයි කියන එක. සමහර වෙලාවට ආදරේ කියන්නෙ ඉවසීමක්, දරාගෙන ඉන්න, සුවපත් කරන්න, දෙපාරක් උත්සාහ කරන්න උවමනා කරන ඉවසීමක් කියන එක තේරුම් අරගෙන උන්න නිසා.
එක දවසක් උදේ මාස ගාණකට පස්සේ, සමීර කුස්සියට ආවා.
මේසේ උඩ තිබුණේ තේ කෝප්පයක් විතරයි. ඒ සමීරගෙ තේ කෝප්පෙ.
“රේණු… ඔයා අද තේ බොන්නේ නැද්ද?” කියලා සමීර ඇහුවෙ වෙනදට දකින තේ කෝප්ප දෙක වෙනුවට එකක් විතරක් පේන්න තිබ්බ නිසා.
“මම මගේ එක බිව්වා” රේණු කිව්වෙ හිනාවෙලා. ඒ හිනාව අස්සෙ රේණු කවදාවත් වචන වලට හැරෙව්වෙ නැති වේදනාවක් හන්දම බිඳිච්ච හිතක් ඒ වේදනාව පිළි අරගෙන ඉන්නවා කියන එක සමීරට තේරුණා.
සමීර හිමින් එතන තිබුණ ස්ටූල් එකේ වාඩි වුණා. එයා තමන්ගෙ තේ කෝප්පයෙන් උඩට යන දුම දිහා බලාගෙන හිටියා. පළවෙනි වතාවට, ගෙදර කොච්චර silent ද කියලා සමීරට තේරුණේ එවෙලෙ.
එයාට මතක් වුණා රේණු එයාලා දෙන්නටම තේ හදපු හැම උදේකම, එයා පරක්කු වෙලා ගෙදර ආපු දවස්වල පවා, එයා බොරු කියපු දවස්වල පවා රේණු කවදාවත් තේ කෝප්ප දෙකක් හදාගෙන බලාගෙන උන්න ritual එක අමතක කරේ නෑ කියලා. රේණු බලාගෙන උන්නෙ තමන් ගෙදර ඇවිත්, ඒ තේ කෝප්ප දෙක බෙදාගෙන බෝවි කියන එක. ඒත් තමන් කවදාවත් ඒක කරේ නෑ නේද කියන එක.
හරිනම් අදත් මෙතන තේ කෝප්ප දෙකක් තියෙන්නෝන උනත් හැබැයි දැන් තිබුණේ එකක් විතරයි.
ඒක තරහක් නෙවෙයි. පළිගැනීමක් නෙවෙයි.
හරිම silent, cold පිළිගැනීමක් කියන එක සමීර තේරුම් ගත්තා.
ආයෙ කවදාවත් තමන්ගෙ කෝප්පෙ එහා පැත්තෙන් දෙවනි තේ කෝප්පයක් දකින්න නොලැබෙන බවත්, ආයෙ කවදාවත් රේණු තමන් එක්ක තේ බොන්න නොඑන බවත් සමීරට එතකොට තේරුණා.
තමන්ගෙ හිතේ peace එක වෙනුවෙන් රේණු අවසානයේදී තමා එනකල් බලන් ඉන්න එක නවත්තලා කියන එක, තමන් වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන එක නවත්තලා කියන එක සමීරට තේරුණා.
රේණු තමන්ට සමාව දීලා තිබුණා.
හැබැයි ඒ සමාවත් එක්ක රේණු එක වචනයක්වත් නොකියා තමන්ගෙ එයාගෙ හිතෙන් යන්න ඉඩ හදලා දීලා තිබුණා.
“සමාව දෙනවා කියන්නේ වෙච්ච දේවල් අමතක කරනවා කියන එක නෙවෙයි, සමීර. සමාව දෙනවා කියන්නේ ඒ මතකයන් එක්කම ජීවත් වෙන්න ඉගෙනගන්න එක හැබැයි ආයෙ වතාවක් ඒ මතක හන්දා හිත කඩාගන්නෙ, රිද්දගන්නෙ නැතුව ඉන්න එක”
Neighbors ලා හැමදාම හවසට ඒ දෙන්නවා දැක්කා. වරැන්ඩාවේ ඉඳගෙන, පොතක් කියවන ගමන් තේ බොන රේණු ලඟට තේ කෝප්පයක් අරන් එන, ඇවිත් වාඩිවෙන්න හදන සමීරව එයාලා දැක්කා.
හැබැයි හොඳට බැලුවොත් රේණුගේ කෝප්පෙ හැමදාම හිස් කියන එකත් ඒ මිනිස්සුන්ට දකින්න තිබ්බා.
මොකද ඇත්තටම කිව්වොත් රේණු ඒ වෙද්දිත් උන්නෙ එයාගෙ තේ එක බීලා ඉවර කරලා.
ඒ තේ එකේ තවදුරටත් තිබුණේ වේදනාවක් නෙවෙයි, අවසානයේදී රේණූම හොයා ගත්තු එයාගේ නිදහසේ රහ!











