කුසුම්ශාර්

ඒක 1951 මැයි මාසෙ හරිම ලස්සන උදේ වෙලාවක්. 

මෙහෙර්ගෙ මුළු ගෙදරම තිබ්බෙ මල් වලින් පිරිලා ගිහින්. කහ පාට දාස්පෙතියා මල් වගේම පිච්ච මල් වැල් දොරවල්වල එල්ලලා තිබුණා. ගෑණු හිනා වෙවී මඟුල් සිංදු කිව්වා. සුවඳ දුම් සහ රෝස වතුර සුවඳ ගෙදර හැම තැනම පිරිලා තමයි තිබ්බේ. 

මෙහෙර්ලගෙ ගෙදර හැමදාම නම් මෙහෙම නෑ. හැබැයි අද මෙහෙම වෙන්න විශේෂයක් තිබ්බා. ඒ තමයි අද මේ ගෙදර කසාදයක් සිද්ද වෙන එක. වෙන කාගෙවත් නෙවෙයි මෙහෙර්ගෙ කසාදෙ

මෙහෙර් කත්‍රි අද තමයි කසාද බැඳලා අලුත් ගෙදරකට යන්නෙ. එයා ඒ වෙලාවෙ උන්නෙ කණ්ණාඩියක් ළඟ වාඩි වෙලා මෙලෝ දෙයක් කියන්නෙ නැතුව හැබැයි දාහක් දේවල් කල්පනා කරන ගමන්. එයාලගෙ ආච්චි උන්නෙ මෙහෙර්ගෙ කොණ්ඩෙ මැදින් රතු පාට ඉරක් අඳින ගමන්. මෙහෙර් ඇඳගෙන හිටිය රතු සේද සාරිය තිබ්බෙ ගේ අස්සට පැනගෙන ඇවිත් තිබිච්ච ඉර එළිය වැක්කිරිලා දිළිහෙන ගමන්. මෙහෙර්ගෙ ඇස් හරි ලස්සනයි. මැණික් කැට වගේ. ඒ ඇස්වල තැවරිලා තිබ්බේ හරිම සනීප හැඟීමක්. හැබැයි ඒ සනීප හැඟීම අස්සෙ “ඉස්සරහට මොනා වෙයිද?” කියලා ඕනම අලුත් මනමාලියෙක්ට හිතෙන පුංචි බයකුත් තැවරිලා තියෙනවා කියන එක මෙහෙර්ගෙ ඇස් අස්සට එබුණා නම් උවමනාවෙන් බලන කෙනෙක්ට හොයාගන්න තිබ්බා. ඒත් ඒ බය මැද්දෙත් මෙහෙර්ගෙ රතු පාට නාදලු දෙතොල් අස්සෙ හීනි හිනාවක් තිබ්බා.

මෙහෙර්ගෙ තාත්තා තමයි රඝු කත්‍රි ආචාර්ය. තමන්ගෙ දුව අද කසාද බන්දල ගෙදරින් පිට කරන දවස වෙච්චි තාත්තා දොර ළඟ හිටගෙන හිටියා. ලස්සන හොඳ චරිතවත් දුවෙක් කසාදබන්දලා දෙන ආඩම්බරෙන් හිටියත්, තාත්තගෙ ඇස් කෙළවරක කඳුළු බිංදුවක් නළියනවා කියන එක කණ්ණාඩියෙන් උනත් තාත්තාව දැක මෙහෙර් අඳුරගත්තා. ඒත් රඝු උන්නෙ ඒ ඇෂ් මෙහෙර් ගෙන් හංගගන්න උත්සහ කරන ගමන්.

“තාත්තෙ,” මෙහෙර් ඇහුවෙ හරිම හෙමින්, “ඇයි ඔයා අද දුකින් වගේ ඉන්නෙ?”

‍රඝු ආචාර්‍ය කරේ ඒකට හිනාවෙච්ච එක. “මොකද මම ඔයාගෙ තාත්තා, දුවේ. දුවලා සතුටින් ඉන්නකොටත් වෙලාවකට තාත්තලාට බයයි.ඊටත් වඩා මෙච්චර දවසක් මම නාගයෙක් රකින මැණිකක් වගේ පරිස්සම් කර ඔයාව මගෙ ඇස් මානෙන් ඈතකට අරන් යන්න ඉඩ දෙනවා. ඉතින් තාත්තා කෙනෙක් විදියට මට දුක්වෙන්න අයිතියක් තියෙනවා නේද මෙච්චර මේ සන්තෝස කාරණා මැද්දෙත්”ෙ එහෙම කිව්වා රඝු ආචාර්‍ය මෙහෙර් ලඟ තිබිච්ච පුංචි බංකුවෙ වාඩි වුණා.

“චක්‍රවර්ති පවුල හොඳ පවුලක්. ගගන්දීප් උනත් නරක මනුස්සයෙක් නෙවෙයි කියලා තමයි මගෙ හිත කියන්නේ. එයාලා හොඳ වත් පෝසත්කම් තියෙන මිනිස්සු හන්දා ඔයාට කවදාවත් දුකක් විඳින්න වෙන්නෙ නෑ කියන එකයි මගෙ හිතට තියෙන ලොකුම සැනසීම. අපි බ්‍රාහ්මණ කුලේ උනාට දැන් ඉස්සර වගේ අපිට වත්කම් නෑ කියලා ඔයා දන්නවනෙ. අම්මාත් නැතුව මම ඔයාව හදා වඩාගත්තෙ කොච්චර අමාරුවෙන්ද කියලා. ගගන්දීප්ලා වගේ පවුලකින් කවදාවත් අපිට ඔයාට කසාදයක් කතාකරගන්න බෑ පුතේ. ඒ මිනිස්සුම ඇවිල්ලා අපෙන් ඔයා ගැන ඇහුවෙ අපේ වාසනාවට. ගගන්දීප්ගෙ කලින් කසාදෙ කැඩිලා තියෙන්නෙ ලමේක් නැති හන්දනෙ. ඔයාට එහෙම අවාසනාවක් පල දෙන්නෙ නෑ. මට නක්ශත්‍රම් බලන කෙනත් කිව්වා ඔයාට හොඳම හොඳ පිරිමි පුතෙක් ලබන්න වාසනා ඵල තියෙනවා කියලා. 

ඒ හන්දා මං වෙනුවෙන් ඔයා ශක්තිමත් වෙන්න ඕනෙ, මෙහෙර්. මට පොරොන්දු වෙන්න ඔයා ඉවසීමෙන් සහ කරුණාවෙන් ඉන්නවා කියලා.”

“මම එහෙම කරන්නම්, තාත්තෙ. මම ඔයාට ලැජ්ජාවක් වෙන දෙයක් කවදාවත් කරන්නෙ නෑ”

විවාහයේ වත් පිළිවෙත් පටන් ගන්න පූජක තුමා කතාකරද්දි මෙහෙර් හිමින් සැරේ පුටුවෙන් නැගිට්ටා. හෙමින් එළියට ඇවිදගෙන යද්දි එයාගෙ කකුල් වල තිබිච්ච රත්තරන් පා සලඹ සද්ද උනා. ශෙහ්නායි නළා තිබ්බෙ පූජනීය තනු වය වය. විවාහය වෙනුවෙන් පත්තු කරලා තිබුණ ශුද්ධ වූ ගිනිමැලේ පත්තුවෙද්දි මෙහෙර්, ගගන්දීප් දෙන්නගෙ පවුලෙ අය ඒ වටේට වාඩිවෙලා උන්නා. ගගන්දීප් උන්නේ මෙහෙර්ගෙ බෙල්ලෙ රතු පාට නූලක් තියෙන මංගල සූත්‍රෙ කසාද බැන්දා. නළලෙ රතු තිළකෙ තිබ්බා.

“මෙහෙර් අද හරියට ලක්ෂ්මි දේවතාවි වගේ” කියලා කියපු උදවිය මෙහෙර් ගගන්දීප්ගෙ ජීවිතේට වාසනාව අරගෙන ඒවි කියලා බලාපොරොත්තු උනා. 

ඒත් මෙහෙර්ගෙ හිතේ, පුංචි බයකුත් තිබුණා, මොකද්ද කියලා කියන්න බැරි බයක්.

මෙහෙර් චක්‍රවර්ති මෙහෙල් (මහ ගෙදරට) ආවෙ අන්න ඒ බයත් එක්ක.

චක්‍රවර්ති මහ ගෙදර කියන්නෙ උස කණු, දිග කොරිඩෝර වගේම හැම තැනම සඳුන් සුවඳ පිරිලා තියෙන, ලොකු, පරණ ගෙයක්. මෙහෙර්ට දැනුනෙ තමන් මේ මේ අලුත් ලෝකෙට ආව ආගන්තුකයක් වගේ.

ඒත් තමන් විවාහක බිරිඳක් විදියට කරන්නෝන යුතුකම් ටික හරියට කරන්නෝන කියලා තාත්තා කිව්ව මතකෙ මෙහෙර්ට මතක තිබ්බා. එයා හැම උදේකම ඉර එළියට කලින්ම නැගිට්ටා, දේවාලෙ ලාම්පු පත්තු කළා, ගෙදර හැමෝටම සේවිකාවො හදලා තිබිච්ච තේ බෙදලා ගිහින් දුන්නා. හොඳ  බිරිඳක් වගේම හොඳ ලේලියෙක් වෙන්න හැකි උපරිමයෙන් උත්සාහ කළා.

ඒ හැමදේම මෙහෙර් කරේ සන්තෝසෙන් උනත් ඒ ගෙදර කිසිම කෙනෙක් නම් ඒවයින් සතුටු වෙච්ච පාටක් මෙහෙර් දැක්කෙ නෑ.

“මේ කෑමට ලුණු වැඩියි. ඔයා මොකටද කෑම හදන්න ගියේ. මේ ගෙදර ඕන තරම් සේවිකාවො ඉන්නවා ඒ වැඩවලට. ඔයාව මේ ගෙදරට ගෙනාවෙ සේවිකාවකගෙ වැඩ කරන්න නෙවෙයිනෙ” කියලා නැන්දම්මා කිව්වට මොකද එයාගෙ තොල් අස්සෙ තැවරිලා තිබුන හිනාවෙන් මෙහෙර් දැක්කේ නැන්දම්මා හිතෙන් “හරිනම් ගැලපෙන්නෙ ඒ වගේ දේකට තමයි” කියලා කියන එක.

“ඔය ගම්වල පොඩි ගෙවල් වල ඉඳලා කෙල්ලො ගෙනෙද්දිම මම අම්මට කිව්වනෙ ගගන්දීප් අයියට නම් හරියන්නෙ නෑ කියලා. මේ වගෙ නගරබදව තියෙන මාළිගාවල ජීවත්වෙලා මෙයාලට පුරුද්දක් නෑනෙ” කියලා කිව්වෙ ගගන්දීප්ගෙ පොඩිම මල්ලිගෙ බිරිඳ වෙච්ච රාගිනී චෝටි බෙහෙන්.

ගගන්දීප්ගෙ ලොකු මල්ලිගෙ බිරිඳ වෙච්ච කෝමලී බඩී බෙහෙන් කරෙත් ඒ වචන වලට හිනාවෙච්ච එක. එයා හිත රිදෙන මුකුත් නොකිව්වට ඒ හිනාවම මෙහෙර්ගෙ හිත කීතු කීතු කරලා දැම්මා. එයාට මේ දුක කියන්න කවුරුවත් උන්නෙ නෑ. තාත්තගෙ හිත රිද්දන්න බයට එයා තාත්තට කිව්වෙත් නෑ. තමන් කියන දෙයක් අහන්න ගගන්දීප් ගෙදර උන්නෙත් නෑ.

ගගන්දීප්, හැමදාම එයාගෙ රෙදි බිස්නස් වැඩවලින් බිසී වෙලා හිටියෙ. එයා කරුණාවන්තයිද නපුරුද කියන එකවත් තාම හරියට තේරුම් ගන්න බැරිවෙච්ච තරම් මෙහෙර් සහ ගගන්දීප් උන්නෙ එකිනෙකාගෙන් හරියට දුර්සථ වෙලා. එයා උදේම ගෙදරින් ගියා. රෑ වෙලා ගෙදරට ආවා. මෙහෙර් එක්ක ශරීරෙන් එක්කහු උනා. ආපහු නිදියෑවා. පොඩ්ඩක් කතා කරා. ඉක්මනට කෑවා. එයා වැඩිහරිය ඉඳියෙත් ඒ දෙන්නගෙ කාමරේට වඩා එයාගෙ ඔෆිස් රූම් එකේ. මුලින් මේක ඔලුව පිස්සු වට්ටන දෙයක් උනාට ටික දවසක් යද්දි මෙහෙර් ඒ තනිකමට පුරුදු වුණා. ඒ තනිකමට ආස වුණා.

මෙහෙර් හවස් කාලය තනියෙන් ගෙව්වේ. එයාගෙ කාමරේ බැල්කනිය අයිනෙ බැල්කනියෙ තිබ්බ කලුයි සුදුයි ටයිල් එක පාදාසයකටම හෙවණ දීපු ලොකුම ලොකු අසෝක මල් ගහක් තිබ්බා. ඒ අසෝක ගහේ අත්තක එල්ලපු ඔංචිල්ලාවෙ වාඩිවෙලා මෙහෙර් කරේ එයා ගෙදරින් අරන් ආව පොත් ආය ආය කියෙව්ව එක. පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවම මෙහෙර් දැක්කා අසෝක ගහේ කොල හුලඟ එක්ක සෙල්ලම් කරනවා. ඒත් කොච්චර පරණ උනත් ඒ අසෝක ගහේ කවදාවත් මල් පිපිලා තිබ්බෙ නෑ. “වඳ ගස්නෙ ඉතින්” කියලා කියන ගමන් නැන්දම්මා ගගන්දීප් දිහා බලද්දි මෙහෙර්ට තේරුණා ගගන්දීප් ගෙ කලින් බිරිඳ මේ ගෙදර ගෙවන්නැත්තෙ මොන වගේ ජීවිතයක්ද කියන එක. 

පුංචි කාලෙ ඉඳන්ම මෙහෙර්, අශෝක ගහ කියන්නෙ කාම දෙයියො (කුසුම්ශාර්) ජීවත්වෙන තැනක් කියන එක ගැන  කතා අහලා තිබුණා. “ආදරේ ජීවත් වෙන තැන විතරයි ගහක මල් පිපෙන්නෙ” කියලා ආච්චි අම්මා කියනවත් මෙහෙර්ට මතක තිබ්බා.

ඒ හින්දා හැම රෑකම මෙහෙර් බැල්කනිය ළඟ වාඩි වෙලා, ඇස් පියාගෙන හිමින් කාම දෙයියන්ගෙන් ඉල්ලුවා. “ස්වාමීනි කාම දේව්, මට ආශීර්වාද කරන්න. මේ ගෙදර මිනිස්සුන්ගෙ ආදරේ හොයාගන්න මට උදව් කරන්න. ගගන්දීප්ගෙ පවුලෙ අය බලාපොරොත්තු වෙන විදියට මට දරුවෙක් ලබාගන්න උදව් කරන්න”

තමන් කියන දේවල් දෙයියන්ට ඇහේද කියලා විශ්වාසයක් නොතිබ්බත් හිත සනසගන්න මෙහෙර් හැමදාම කාම දෙයියන්ව යැද්දා.

දෙයියන්ට ඇහෙන එකක් නෑ කියලා එයා හිතලා තිබ්බට මෙහෙර්ගෙ වේදනාව දෙයියන්ට ඇහිලා තිබ්බා.

එදා මහ හයියෙන් වැස්ස දවසක්. අසෝක ගහ යට ඔංචිල්ලාවෙ පොත් කියව කියව උන්න මෙහෙර් උන්නෙ නින්ද ගිහින්. එයා ඇහැරූනේ වැස්සෙ සද්දෙට.

ගැස්සිල්ලා ඇහැරිච්ච මෙහෙර් ආයෙ වතාවක් ගැස්සුනේ අසෝක ගහේ බැල්කනිය දිහාවට විහිදිලා උන්න අත්තක වාඩිවෙලා එයා දිහාව බලාගෙන උන්න පිරිමි කෙනෙක්ව දැකලා. ඒ පිරිමි කෙනාගෙ එක උරහිසක රතු පාට මාලයක් බෙල්ලෙ බැඳගත්ත ගිරවෙක් උන්නා.

මෙහෙර් ගැස්සිලා පුටුවෙන් නැගිට්ටා. එයාගෙ ඔලුව ඇතුලෙන් එයාට මතක් උනා කාම දෙයියන්ගෙ සුරතලා ගිරවෙක් නේද කියන එක. කොච්චර හයියෙන් වැස්සත් ඒ කොල්ලා උන්නේ කිසි ගාණක් නැතුව. එයාගෙ ලස්සන කූරු කොණ්ඩෙ නළලෙන් පල්ලෙහටා වැක්කිරිලා හරිම දඟකාර ගතියක් තමයි එයාට අරගෙන දීලා තිබ්බේ. තෙමිච්ච සුදු කමිසෙ තිබ්බෙ ඇඟටම ඇලිලා. කොණ්ඩෙ ලාවට තෙව්මිලා. ඒත් ඇස් දෙක හරිම ශාන්තයි.

“මේක වෙන්න පුළුවන් දෙයක් ද?” කියලා මෙහෙර් ඇහුවා නෙවෙයි එයාට ඇහුණා.

“වෙන්න බැරි මොකද්ද?” කියලා කොල්ලා ඇහුවෙ තෙමිච්ච කොණ්ඩෙ නළලෙන් පොඩ්ඩක් එහාට මෙහාට කරන ගමන්.

“ඔබ වහන්සේ කොහොමද මගෙ බැල්කනියට ආවෙ? මම ඔබ වහන්සේට වන්දනාමාන කර එක ඇත්ත. ඒ වගෙම මම හිතාගෙන උන්නට වඩා ඔබ වහන්සේට තියෙන්නෙ වෙනස් පෙනුමක්. ඔබ වහන්සේගේ සුරතලා වෙච්ච ගිරවා උරහිසේ උන්නෙ නැත්තම් මට අඳුරගන්න පුළුවන් වෙන්නෙ නෑ” කියලා මෙහෙර් කියද්දි ඒ පිරිමි කෙනා හීනියට හිනා උනා.

“මං ආවෙ ඔයා කතාකරපු ඒවා ඇහිලා තමයි. මට ඔබ වහන්සේ කියන්න එපා මගෙ නම කුසුම්ශාර්” 

“ඇයි මේ වැස්ස වෙලාවෙ ආවෙ?”

“ඇයි වැස්ස වෙලාවෙ එන්න නරකද?” කියලා කුසුම්ශාර් අහද්දි මෙහෙර් ගෙ හිත තිබ්බෙ කලබල වෙලා දෙයියෙක්ට කොහොමද කොයි විදියටද තමන් සලකන්න ඕන කියලා.

ඒ දවසෙන් පස්සෙ, මෙහෙර්ට කුසුම්ශාර්ව නිතර දකින්න ලැබුණා. එයා ආවෙ මෙහෙර් ඔංචිල්ලාවෙ නින්දට වැටිච්ච වෙලාවට. තමන් නිදියගෙන ඉන්න වෙලාවට ගහේ අත්තෙ වාඩිවෙලා තමන්ගෙ ගිරවව උරහිසේ තියාගෙන තමන් දිහා බලාගෙන කල්පනා කරන්න කුසුම්ශාර් කැමති බව තේරිච්ච හන්දම මෙහෙර් ඒකට විරුද්ධ වෙන්න, කුසුම්ශාර් එනකම් ඇහැරිලා ඉන්න හිතුවෙ නෑ. කාමරෙන් එලියට නොයන, චක්‍රවර්ති මෙහෙල් ඇතුලෙ කතා කරන්න කියලා කිසිම කෙනෙක් නොඋන්න මෙහෙර් කුසුම්ශාර්ව කාලෙ එක්ක භාරගත්තෙ දෙයියෙක්ට වඩා හොඳ යාලුවෙක් විදියට. ඒ යාලුකම හිත අස්සෙන් අමුතුම අන්දමේ හැඟීමක් පුප්පන්න හේතු වෙලා තියෙනවා කියලා තේරුණාට ඒ හැඟීම මොකධ්ඩ කියලා අඳුරගන්න තරම් ආදරේ කරලා පුරුද්දක් මෙහෙර්ට තිබ්බේ බෑ. අනික ඒ හැඟීම මොක උනත් කුසුම්ශාර් වගේ දෙයියෙක් එක්ක එහෙම දෙයක් කතාකරන්න හිතේ හයියක් මෙහෙර්ට තිබ්බෙත් නෑ. ඒත් කුසුම්ශාර් ඇතුළෙ මොකහරි තමන්ගෙ හිත නිවන නිස්කලංක දෙයක් තිබුණා කියන එක එයා කතා කරනකොට, තමන් වටේ තියෙන ලෝකෙ සන්සුන් වුණා වගේ දැනෙනකොට, එයා හිනා වෙනකොට හිතේ බර හෑල්ලු කරලා හිනාවෙන්න මෙහෙර්ට පුළුවන්කම ලැබුණා. දෙවියෝ තමන්ගෙ යාච්ඤාවලට උත්තර දීලා මිනිස් වෙසින් ලඟට ආව වගෙම තමන්ගෙ හිතට සැනසිල්ල, ප්‍රශ්නවලට උත්තර හොයලා දේවි කියන විශ්වාසයක් මෙහෙර්ගෙ හිතේ තිබ්බා.

“ඇයි ඔයා මං දිහා ඔහොම බලන්නෙ?” දවසක් හවස් වෙලාවක, කොළ අස්සෙන් ඉර එළිය මෙහෙර්ගෙ ලස්සන මූණ ඉඹගෙන ඉඹගෙන යද්දි කුසුම්ශාර් ඇහුවා. 

“මට වෙලාවකට හිතෙනවා මෙහෙම වෙන්න පුලුවන්ද කියලත්” මෙහෙර් කිව්වෙ ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන හිනාවෙන ගමන්. 

“ඒ කිව්වේ?”

“ඔයාව මට පේන්නෙ ඇත්තක් වගේ. ඒත් ඔයා ඇත්තක් වගේ පේන්න බෑ නේද? දෙයියොයි යක්සයොයි ඉන්නෙ අපි අතරෙම කිව්වට මේ පලවෙනි වතාව මට දෙවි කෙනෙක් හම්බෙච්ච. මම මේ ගෙදර දුකෙන් තනි වෙලා ඉන්නකොට, මට මගේ හිත තේරුම්ගන්න පුලුවන් කෙනෙක්ව ගොඩක්ම ඕනෙ වුණ වෙලාවෙ ම ඔයා ආව එකම මට වෙලාවකට විශ්වාස කරන්න බෑ”

“සමහර වෙලාවට, ආදරේ එන්නෙ හිමින් මිසක් හයියෙන් සද්ද කර කර නෙවෙයි.”

“ඒ කියන්නෙ ඔයා ආවෙ මට ආදරේ හන්දද?” කියලා මෙහෙර් අහද්දි කුසුම්ශාර් ඒකට වචනෙන් උත්තර දුන්නෙ නෑ එයා හීන් සැරේ පාත්වෙලා මෙහෙර්ගෙ නළල ඉම්බා. ඒයාලා රහසින් හම්බ වෙන්න පටන් ගත්තා. ඒක ලෝකෙ ඉස්සරහදි හිත හරියට බය ගන්නන රහසක් උනාට ඒ බයම මෙහෙර්ගෙ හිත සන්සුන් කරලා තිබ්බා. ඒ ආදරේ මෙහෙර්ව සන්තෝස කරලා තිබ්බා. මෙහෙර් හැමදාම දහවල් කෑමෙන් පස්සෙ අශෝක ගහ ළඟට ගියා. කුසුම්ශාර්ව හම්බුණා. ආදරෙන් එක්වුනා.

කුසුම්ශාර් සමහර වෙලාවට මෙහෙර්ට නොපෙනෙන්න ඇවිත් ජනේලෙ ළඟ මල් වැල් තියලා ගියා. ඒ මල් උදේට මෙහෙර්ගෙ කාමරේ පුරාම සුවඳ කළා. සමහර වෙලාවට මෙහෙර් කුසුම්ශාර්ට කුස්සියෙන් රසකැවිලි හදලා, නැන්දම්මාට හොරෙන්, තේ බොන මේසෙන් හොරකම් කරන් ඇවිත් බැල්කනිය උඩ තබනවා. “දෙයියන්ට කන්න පුලුවන්ද අපේ කෑම?” කියලා හිතුනට මෙහෙර් ඒක ඇහුවෙ නෑ. කුසුම්ශාර් “ඔයාගෙ කැවිලි රසයි” කිව්වත් මෙහෙර් “ඔයා ආසාවෙන්ද කෑවේ?” කියලා කිව්වා මිසක් වෙන කිසි ප්‍රශ්නයක් ඇහුවෙ නෑ. මෙහෙර් දැනන් උන්නා කන්න බැරි උනත් කුසුම්ශාර් ඒවා කියන්නෙ තමන්ගෙ හිත සනසන්න කියලා. දවසක් රෑ, පුර හඳ අශෝක ගහ උඩට වැක්කිරිලා තිබ්බා. අන්න එදා මෙහෙර් කුසුම්ශාර්ගෙ පපුවට ඔලුව තියන් හයියෙන් ඇඬුවා. කුසුම්ශාර් උන්නේ ඒ කඳුලු කැට වලට තමන්ගෙ පපුවෙ රෝම අස්සෙ හැංගෙන්න ඉඩ හදන ගමන් මෙහෙර්ව බදාගෙන

“මම මේ ගෙදර ඉන්න හැම දවසක්ම මරන්න ගෙනියනවා වගේ දැනෙන්නෙ. මට මේ කිසි දෙයක් අපේ තාත්තට කියන්න බෑ. අම්මත් නැතුව එයා මාව හදාගත්තෙ අමාරුවෙන්. තාත්තා හිතන් ඉන්නෙ මම සන්තෝසෙන් ඉන්නවා කියලා. මොකද මම මගේ දුක එයාට පෙන්නන්නෙ නැති හන්දා. ඒත් මම මෙහේ ඉන්නෙ ගගන්දීප්ට අයිති වස්තුවක් වගේ. මගේ හිත මගෙ ගෑනුකම දවසෙන් දවස මැරිලා යනවා,” කඳුලු අතරෙන් මෙහෙර් කිව්වා 

“ඔයා දෙවියෙක් වගේ මගෙ ජීවිතේට ආවෙ නැත්තක් නම්, මෙලහකටත් මං ජීවිතේ නැති කරගෙන. අනේ මට පොරොන්දු වෙන්න ඉස්සරහට එන හැම ජීවිතේකදිම මට ඔයා ලඟින් ඉන්න දෙනවා කියලා. ආයෙ කවදාවත් මට දුක් විඳින්න දෙන්න එපා.”

ඒ හඳ එළියෙ කුසුම්ශාර්ගෙ හාදු එදා මෙහෙර්ගෙ නළලෙන් විතරක් නතර වුනේ. ගගන්දීප් බිස්නස් වැඩ එක්ක දවස් ගාණකින් පය නොතිබ්බ මෙහෙර්ගෙ කාමරේ එදා කුසුම්ශාර්ගෙ සුවඳෙන් පිරිලා ගියා. ඒ සුවඳ එක්ක සිනිදු ඇඳ ඇතිරිලා පොඩි වෙලා ගියා. කුසුම්ශාර්ගෙ කන් අග්ගිස්ස මෙහෙර්ගෙ කෙඳිරිල්ල එක්ක කිති කැවිලා ගියා. හැමදේම අවසානෙ මෙහෙර් සන්තෝස කඳුළු බිංදු දෙකක් පිරිච්ච ඇස්වලින් තමන් දිහා බලාගෙන ඉද්දි කුසුම්ශාර් ආයෙ හරිම හෙමින් පාත්වෙලා ඒ නාදලු තොල් ඉම්බා.

පස්සෙන්දා උදේ, ජීවිතෙ පලවෙනි වතාවට අසෝක ගහේ මල් පොහොට්ටුවක් පිපිලා තිබ්බා.

“දිව්‍යමය ප්‍රේමයකට පුළුවන් මගේ ජීවිතේ වගේම මේ අසෝක ගහෙත් මල් පුප්පවන්න” කියලා මෙහෙර් කිව්වේ කුසුම්ශාර්ගෙ තොල් පාරකට අසෝක මලක රතු පාටකට හැරිලා තිබ්බ පපුවෙ ලපේ දුපට්ටාවෙන් වහගන්න ගමන්.

මාස ගාණක් ගෙවිලා ගියේ ඒ දිව්‍යමය ප්‍රේමය එක්ක. 

අසෝක මල් දවසෙන් දවස පිපුණා. ඒ එක්කම මෙහෙර්ගෙ පියයුරු කිරෙන් පිරුණා. කුස ලොකු වුණා. හිත සැනසුනා. එයා බලාපොරොත්තු වුන සැලකීම චක්‍රවර්ති මෙහෙල් ඇතුලෙ එයාට ලැබෙමින් තිබ්බා. ගගන්දීප්ගෙ ආදරේ දෙවනියට දාලා කුසුම්ශාර් ආදර මල් වරුසාවක් වස්සවමින් උන්නා.

එක එක කලකෝලහාල ගැන මිමිණීම් තැනින් තැන ඇහෙන්න ගත්තා. දේශපාලන ප්‍රශ්න නිසා ආපු පරණ තරහ ආයෙත් සමාජෙ අස්සෙ වැඩෙන්න පටන් අරන් තිබුණා. විරෝධතා, ගහගැනීම්, පාරවල්වල මිනිස්සු “පාවා දෙන්නෝ!”, “අපිට පක්ෂපාතී වෙයල්ලා!” කියලා කෑ ගහන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙ පිහිටෙන් බිස්නස් කරගෙන දියුණු වෙලා උන්න ගගන්දීප්ගෙ පවුල කලින් ඉංග්‍රීසි නිලධාරීන්ට උදව් කරලා තිබුණ නිසා ඉන්දියානි පුරවැසියන්ගෙ වෛරයේ රැල්ල එයාලා දිහාවට හැරෙමින් තිබුණා.

දවසක් රෑ මෙහෙර් ඇහැරුණේ හරිම කලබලයෙන්. ගෙදර වැඩ කරන අය උන්නෙ කලබලෙන් වගේ රත්තරන් බඩු, වටින කියන ලියකියවිලි මලු ගැටගහ ගහ. බැල්කනියෙන් එහා පේන නගරෙ ගිනිදැල් පත්තුවෙනවා මෙහෙර් දැක්කා. ගගන්දීප් හදිස්සියෙන් බඩු පැක් කරමින්, නියෝග දෙන ගමන් කෑ ගැහුවා.

“කාර් එක ලෑස්ති කරන්න කියන්න! මෙහෙර් ඕන කරන බඩු ඉක්මනට පැක් කරගන්න. අපි අද රෑ කල්කටා යනවා! ඉක්මනට!”

මෙහෙර් උන්නේ දෙයියො තමන්ට දුන්න දරුවා හුස්මගන්න බඩ උඩ අතක් තියාගෙන. යන්න කලින් කුසුම්ශාර්ට ස්තුතියි සහ ආදරෙයි කියන ඕන උනත් එදා රෑ කුසුම්ශාර් ආවෙ නෑ. ඒ සමහරවිට තමන්ගෙ මේ වෙලාවෙ තත්ත්වෙ එයා දැකපු නිසා කියන එක හිතට කිව්ව මෙහෙර් තමන්ගෙත් කුසුම්ශාර්ගෙත් ආදරේ සලකූණ පරිස්සම් කරගන්න හිතාගෙන හීන් සැරේ ගගන්දීප්ගෙ අණට අනුව වැඩ කරා. තාරාවෙක් වගේ ඇවිදන් ආව මෙහෙර් හීන් සැරේ කාර් එකේ පිටිපස්සට නැග්ගා. 

කාර් එකේ ඩිකියට වගේම වහල උඩට එක එක බඩු පිරෙද්දි හුලඟට පාවෙලා වගේ ආව අසෝක මලක් මෙහෙර්ගෙ උකුලට වැටුණා. 

“කන්නන් අපි ගියා කියලා බෑ. චක්‍රවර්ති මෙහෙර් හොඳට බලාගන්න” කියලා ගගන්දීප්ගෙ අම්මා කාටහරි සේවකයෙක්ට අණ දෙනවත් එක්කම කාර් එක පිටත් වුනා. උකුල උඩ වැටිච්ච අසෝක මල අල්ලගෙන උන්න මෙහෙර් ගෙ ඇස් වලින් වැටිච්ච කඳුලු ඒ රැයේ අන්ධකාරෙට කවුරුවත් දැක්කෙ නෑ.

පැය කීපයකට පස්සෙ, කාර් එක ගිනි ගන්න නගරයෙන් අයින් වෙලා යද්දි මෙහෙර් හැරිලා බැලුවා තාම ගිනිගන්න නගරෙ තමන්ගෙ අසෝක ගහ පේනවද කියලා. ඒත් කඳුළු තිබ්බෙ එයාගෙ ඇස් බොඳ කරලා.

“ඔයා කොහේද කුසුම්ශාර්?” කියන ප්‍රශ්නෙ මෙහෙර්ගෙ හිත බොඳ කරා.

සුවපහසු වගේම ආරක්ශිත නවාතැනක් අස්සෙ ආයෙ ජීවිතේට හිමින් හුස්ම ගන්න ඉඩ හම්බෙද්දිත් මෙහෙර් කුසුම්ශාර් ආය තමන්ව බලන්න ඒවි කියලා කල්පනා කරා. දෙයියන්ට යැද්දා.

ඒත් එයා නොදන්නවා උනාට චක්‍රවර්ති මෙහෙල් විරෝධකරුවන්ගෙ ගින්නට අහුවෙද්දි, බිමට වැටිච්ච අසෝක ගහේ මුල පාමුල සුදු කමිසයක් ඇඳගත්ත තරුණයෙක්ගෙ පණ නැති සරීරෙ අසෝක මල් වලින් වැහිලා තිබ්බා.

ඒ වෙලාවෙත් අර දඟකාර කෙහෙ රැල්ල එයාගෙ නලලට වැටිලා තිබ්බා.

කොහෙවත් දකින්න නොලැබිච්ච එයාගෙ සුරතල් ගිරවගෙ එකම එක ලා කොළ පාට පිහාට්ටක් එයාගෙ පපුව උඩ වැටිලා තිබ්බා.

More Stories

Don't Miss


Latest Articles