*තාරානාත් දහම් වංශනායක*
මිනිහෙක් මැරෙන්නෙත් උපදින්නෙත් ගෑනියෙක්ගෙ ආදරේ එක්ක කියන එකේ ඉපදෙන කතාව කෙසේ වෙතත්, මැරිලා ඉපදෙන්නේ ගෑනියෙක් නිසා කියන කතාව මට දැනුණේ ගොඩක් පස්සෙ. ඒක මට තේරුම් වුණේ සෑහෙන වෙලාවකට පස්සේ, මේ කුණාටුව පහුවෙලා ගියාට පස්සේ. මාව මං හිරවෙලා උන්න අන්ධකාර ලෝකෙක කෙළවරකින්න් බලෙන් වගේ ඇදලා අරන්, මේ ජීවත් වෙන ලෝකෙට ආයෙත් අරගෙන ආවෙ ඒ ආදරයෙන් කියන එක මට තේරුම් ගියේ මගෙ ඇඳ අද්දර, රතු කරගත්ත ඇස් අස්සෙ කඳුලු පුරවගෙන බලාගෙන උන්න නාද්යාව දකිද්දි.
මං ජිවීතේ ආයෙ පාරක් ඉපදුනේ ඒ ඇස් අස්සේ.
මම කොච්චර වෙලාවක් සිහි නැති වෙලා හිටියාද කියන එක ඇත්තටම මට හිතාගන්න පුලුවන් උනේ නෑ. වෙලාව කොච්චර වෙලා ගතවෙලද කියන එක මට තේරුණේ නෑ. මට දැනුනෙ අන්තිමටම නාද්යාගෙයි අහස්ගෙයි මූණු දෙක දැකලා කල්ප කාලාන්තරේකට පස්සෙ මම ආයෙ ඉපදුණා වගේ. මගේ ඇඟට දැනුණේ මාර වේදනාවක්. ලොකු හිරිවැටීමක් එක්ක දැනිච්ච මහ වේදනාවක්. මගේ පපුව පිච්චෙනවා වගේ දැනුණා. නහරවලට වේදනාව පුරවලා වගේ දැනුණා.
ඒත් මගේ ඇස් අන්තිමට ඇරුණාම මට මුලින්ම දකින්න ලැබුණේ ඉස්පිරිතාලෙ සිවිලිමවත්, අයි.සී.යූ. එකේ බිත්තිවල සුදු පාටවත් නෙවෙයි.
නාද්යාව.මගේ නාද්යාව.
මගේ ඇඳ ළඟටම වෙලා නාද්යා ඉන්නවා දකිද්දි, එයාගෙ ඇස් හොඳටම ඉදිමිලා, රතු වෙලා තියෙනවා දකිද්දි, ඒ ඇස් දිලිසෙන්නේ කඳුළු පිරිලා හන්දා කියලා දකිද්දි ගෙවිච්ච කාලෙ කොච්චරක්ද ඒ කාලෙ පුරාවටම නාද්යා කොච්චර අඬන්න ඇද්ද කියලා මගේ හිතට දැනුණා.
මම කොහේද ඉන්නේ කියලා මට මුලින් තේරුම් ගන්න පුලුවන් වුණේ නෑ. මුලින් මට හිතුනෙ මම නිකන් මට අයිති නැති තැනකට ගෙනත් දාලා වගේ. මට දැනුනෙ මම නිකන් එතනට එකපාර අහසෙන් කඩාගෙන වැටුනා වගේ. පපුව ඇතුළේ මහ ලාවා වගේ ගින්නක් තිබුණා වගේ. මම හුස්ම ගන්න හැදුවාට එළියට ආවේ කෙඳිරිල්ලක්. ඒ කෙඳිරිල්ල මැද්දෙ මට අහන්න තිබ්බෙ එක ප්රශ්නයයි.
“ක්…ක්ක්කො…ක්ක්කෝඔ.කෝ…පු…පුතා”
“කතාකරන්න මහන්සි වෙන්න එපා රත්තරන්. අපි හැමෝම පරිස්සමෙන් ඉන්නවා. පුතාව මම කාන්ති අක්කා එක්ක ගෙදර තිබ්බ ඉස්පිරිතාලෙට අරන් එන්න බෑනෙ”
“ග්…ග්ග්ග්.ගයාන්න්”
“බයවෙන් එපා ගයාන්ට ආයෙ එන්න බෑ. අපිට කිසි කරදරයක් නෑ. එයා පොලිසියෙ. ඔයාට සිහිය එනකම් අපි කරදරෙන් උන්නෙ. අපි කාටවත් වෙන කරදරයක් නෑ” නෑ කියලා නාද්යා කියද්දි එයාගෙ ඇස් මගේ ඇස් එක්ක ගැටුණා. එයාගෙ කටහඬේ තිබ්බෙ හිනාවකුයි, ඇඬුමකුයි, උපරිම සැනසිල්ලකුයි එක්කහු වෙච්ච මහ අමුතු ෆීලින් එකක්.
“තැන්ක්යු,” කියලා නාද්යා කිව්වෙ ඇත්තටම මොකක් ගැනද කියලා හිතාගන්න මට බැරිවෙච්ච විත්තිය මගෙ ඇස්වල ලියවෙන්න ඇති. සමහරවිට ඒ හන්දා වෙන්නැති නාද්යා මම ප්රශ්නයක් අහන්නෙ නැතුවම ඒ කතාවට උත්තර දෙන්න හිතුවෙ.
“ආයෙ ආවට. මම හිතුවා… මම හිතුවා ඔයාව මට නැති වෙයි කියලා.” කියද්දි ඒ ඇස් තිබ්බෙ ආයෙ කඳුලු වලට උල්පතක් වෙන ගමන්. දිලිසෙන කඳුලු ඇස් අස්සෙ පුරවගන්න ගමන්.
ඒ වචන ඇහෙද්දි මට දැනුනෙ මගේ පපුව ඇතුළේ එච්චර වෙලා තද වෙලා තිබුණ මොකක් හරි දෙයක් ලිහිල් වුණා වගේ.
වෙච්ච හැමදේකටම පස්සෙ ඇත්තටම මට වීරයෙක් වගේ දැනුණේ නෑ. මම ශක්තිමත් කියලා මට දැනුණේ නෑ. මට දැනුණේ දරාගන්න බැරි වේදනාවක් විතරයි. මගේ ඉළ ඇට රිදෙන, හුස්ම හිරකරන වේදනාවක්.ඒත් මගේ ඇඟිලි හෙමින් සැරේ අතගාන නාද්යාගෙ ඇස් අස්සෙ දැක්ක “මට ඔයාව නැතිඋනේ නෑ” කියන හැඟීම ඒ වේදනාව උඩ හීන් සැරේ ආදරේ කියන බෙහෙත් අතුල්ලනවා වගේ මට දැනුනෙ.
මං සැනසීමෙ ඇස් පියාගත්තෙ ඒ හන්දා.
මම එහෙමම ඇස් පියාගෙන ඉද්දි එයා මගේ අතේ ඇඟිලි අස්සෙ හරිම හෙමීට එයාගෙ අත් යවලා අල්ලාගෙන එයාගේ කම්මුල මගේ අත උඩින් තිබ්බා. එයාගෙ කම්මුලේ තිබිල හුවමාරු වෙච්ච උණුහුම මගේ ඇඟ පුරාම රිංගලා ගිහින් වේදනාවෙන් හීතල වෙලා තිබිච්ච නහර අස්සෙ උණුහුමට පිරෙනවාත් පිටින් දැනුණ දරුණු වේදනාව ටික ටික පාලනය වෙනවා වගේත් මට ඒ අස්සෙම දැනුණා.
නාද්යා කොච්චර වෙලාවක් මෙතන ඉඳලා ඇද්ද කියලාමට ඇත්තටම හිතාගන්න බැරුව උන්නෙ. එයාගේ මුහුණේ තිබ්බ මහන්සිය, එයාගේ ඇස් යට තිබ්බ කළු පාට, එයා නොකා නොබී කොච්චර වෙලාවක් මේ පුටුවල වාඩි වෙලා, මම ඇස් අරිනකම් බලන් ඉඳලා ඇද්ද කියලා හිතාගන්න මට පුලුවන් උනේ නෑ.
ඇත්තටම මම වීරයෙක් නෙවෙයි. මම කරේ මගේ පිරිමිකම වෙනුවෙන් කරන්න ඕන දේ විතරයි. හැබැයි එයා… එයා ගෑනියෙක් වෙලා තනියම මේ වේදනාව, මේ බය, මේ අවිනිශ්චිතකම දරාගෙන මෙතන ඉඳලා තියෙන ඒක තමයි නියම වීරකම නේද කියන එකත් “මං නැති කාලෙක උනත් ඔයාට ඕන තරම් හයිය තියෙනවා පුතා එක්ක මෙ ලෝකෙට තනියෙන් මූණ දෙන” කියලා මං හිතුව එක කොච්චර ඇත්තද කියන එකත් මට ඒ වෙලාවෙ කල්පනා උනා.
මගේ ජීවිතේට මම කවදාවත් එයා තරම් ශක්තිමත් ගෑනියෙක් දැකලා තිබුණේ නෑ. එයාගේ හිතේ තිබුණේ පුදුම හයියක්. ඒ හයිය නිසා තමයි එයා අඬමින් වුණත් අහස්ව පරිස්සම් කරගෙන, ගයාන්ට විරුද්ධව කටඋත්තර දීලා, මම ඇහැරෙනකම් මේක දරාගෙන ඉඳලා තිබුණේ. ඒ හැමදේම කරලා තිබුණේ මම නිසා. මං වෙනුවෙන්.
මම හෙමින් සැරේ ඇස් ඇරලා එයා දිහා බැලුවා. එයා තාම හෙමින් මගේ අත අතගානවා.
“නාද්යා…” මම කිව්වෙ අමාරුවෙන්. ඒත් ඒ අමාරුවට වඩා මට රිදුණෙ එයා අඬනවා දකිද්දි “අනේ අඬන්න එපා.”
එයා ආයෙත් ඇස්වල කඳුළු පුරවගෙන හිනා වුනේ ඒ වචනවලට.
“මම… මම දැන් අඬන්නේ නෑ මහත්තයා. ඔයා ඉන්නවනෙ මොකටද මං ඉතින් අඬන්නෙ.”
මම හෙමින් මගේ අත උස්සලා එයාගේ මූණ අතගාන්න හැදුවා. ඒත් ඒකට මට හයිය තිබ්බෙ නෑ. මගෙ ඇගිලි තිබ්බෙ හරියට රිදෙන ගමන්. ඉන්ජෙක්ශන් කටු දාහක් ගහපු වගේ වේදනාවක් උහුලගන්න ගමන්.
“පුතා…” මම ආයෙත් අමාරුවෙන් ඇහුවා. මට අහස්ව දකින්න ඕන වුණා.
“පුතා නිදි මහත්තයා. එයා ගෙදර යැව්වා. බයවෙන්න එපා. කාන්ති අක්කා ඉන්නවා එයාව පරිස්සම් කරන්න. අනික දැන් අපිට බයවෙන්න හේතුවක් නෑ. ඔයා දැන් කතා කරන්න මහන්සි එන්නෙ නැතුව ඉන්න. ටිකක් නිදාගන්න.” ඒ වචන එලියට ආවෙ අම්මා කෙනෙක් පුතෙක්ට කියනවා වගේ.
“ ආයෙ අඬන්න… එපා… නාද්යා….”
“මම අඬන්නේ නෑ,ඔයා මං ලඟ ඉන්නවා නම් මට අඬන්න කිසිම හේතුවක් නෑ.”
ඒ වචන තමයි මාව ආයෙ වතාවක් මේ ලෝකෙට පිළිගත්තෙ.
පළවෙනි වතාවට මගෙ තාත්තා.
දෙවනි වතාවට නාද්යා.
මට මේ ජිවීතෙන් ලබාගන්න ඊට වඩා දෙයක් තිබ්බෙ නෑ. “මේ හොඳටම ඇති” කියන වචන ටික තිබ්බෙ මගේ ඇඟේ හැම නහරයක්ම ආයෙ පණ ගන්නන ගමන්. මේක යුද්ධයක් නම් ඒ යුද්ධෙ දැන් අපි දිනලා ඉවරයි.
දැන් අපිට තියෙන්නෙ කරදර අඩු ලෝකයක් අස්සෙ හිනාවෙලා සන්තෝසෙන් ඉන්න. අපිව තව හයියෙන් තුරුලු කරගන්න. ආදරෙන් සැනසෙන්න.
අම්මා මාව දාලා ගියාට පස්සෙ මං හිතුවෙ කවදාවත් ආයෙ කවුරුවත් මාව පිළිගන්න එකක් නෑ කියලා. මම හැමදාම මාව ඇක්සෙප්ට් කරේ අම්මා කෙනෙක්ගෙන් රිජෙක්ට් වෙච්ච දරුවෙක් විදියට.
ඒ රිජෙක්ට් වෙච්ච දරුවව “පිරිමියෙක්” විදියට ආයෙ ඇක්සෙප්ට් කරේ ඔයා නාද්යා.
ඒකට ඔයාට ස්තුතියි.
මං ආහපු ආවෙ ඔයා මාව ඇක්සෙප්ට් කරපු හන්දා.
මං ආදරෙයි.












