චමරි විසිපස් වියැති ගුරුවරියක්. තාත්තා ගේ මරණයෙන් පස්සේ ඇය අම්මත් එක්ක ඇගේ මහ ගෙදර තනිවම ජීවත් වුණා.චමරිට උවමනා වුණේ සාමකාමී ජීවිතයක්.ඇයයි අම්මයි විතරයි හිටපු ජීවිතේ ඇයට ඒ සාමකාමී බව ඕනෑවටත් වඩා තිබුණා.යහමින් මිල මුදල් නොතිබුණත් ඒ පුංචි ලෝකය ඇතුළේ චමරි සතුටින් ජීවත් වුණා.
සෞඛ්‍ය කඳවුරු කිහිපයක් පැවැත්වීම සඳහා සහය සේවකයෙක් හැටියට ඉෂාන් මේ ගමට එන්නේ ඔය අතරතුරදි.පාසලේදීත් සෞඛ්‍ය කඳවුරු කිහිපයක්ම පැවැත්වුණ නිසා චමරි සහ ඉෂාන් අතර සමීප හිතවත් කමක් ඇතිවෙන්නේ දෙදෙනාම බලාපොරොත්තු නොවුන විදිහට.පාසලේ ඕනෑම කටයුත්තකදී මූලිකත්වය අරගෙන කටයුතු කරන චමරි මේ සෞඛ්‍ය කඳවුරු වලදීත් මූලිකත්වය අරගෙන කටයුතු කරපු නිසා නිතර නිතර ඉෂාන් එක්ක ගනුදෙනු කරන්න ඇයට සිදුවුණා.මේ ගනුදෙනු කිරීම අවසාන වුනේ බොහොම දුරදිග ගිය සම්බන්ධයකින්.
ආදරය ගැන කිසිම අත්දැකීමක් නොතිබුන චමරි ඉශාන්ගේ ආදරයට සහ වචන වලට ඇබ්බැහි වුනේ හිතාගන්න බැරි තරම් වේගයකින්.වෙනදට ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන චමරි ඉස්කෝලෙ විස්තර තොරතෝංචියක් නැතුව අම්ම එක්ක කියන්න පුරුදු වෙලා හිටියට කාලය ගතවෙනකොට ඇය පුරුදු උනේ ආදරයේ රස මතක මතක් කරමින් මුළුගැන්විලා ඉන්නයි. ඇගේ මේ වෙනස අම්මට හොඳින්ම තේරුණත් ඇය මුකුත්ම නොකියා ඉවසීමෙන් බලාගෙන හිටියා.
ගම පුරා පැවැත්වුණු සෞඛ්‍ය කඳවුරු මාස තුනක පමණ කාලයක් තිබුණු නිසා ඒ කාලය පුරාවටම ඉශාන් ගමේ නවාතැන් අරගෙන හිටියා. පාසල් ඇරෙන වෙලාවෙන් පස්සේ ඔහුව මුණ ගැහෙන්න යන්න චමරිට කිසිම බාධාවක් තිබුණෙ නැහැ. ගමේ තැන් තැන් වලදී චමරි තරුණයෙක්ව මුණගැහෙන බව චමරිගේ අම්මාගේ කනට වැටෙන්න ඒ තරම් කාලයක් ගියේ නැහැ.
” මාර වැඩක්නේ මට කොල්ලෙක් එක්ක කතා කරන්නවත් බැරිද? “
අම්මා ඒ ගැන අහපු ගමන් චමරිගේ උත්තරය වුණේ ඒක. කවදාවත් චමරිගෙන් නොදුටුව හිතුවක්කාර කමක් අම්මා ඒ වෙලාවේ ඇගේ ඇස් වලින් දැක්කා.තරුණ කාලයේදී තමන් කරන හොඳ නරක ගැන ඒ තරම් තේරුමක් නැති නිසා මේක ඇයව තරවටු කරලා හදන්න පුළුවන් වෙලාවක් නෙමෙයි කියල තේරුම් ගත්ත අම්මා ඇගෙන් ඒ ගැන තවදුරටත් අහන්නේ නැතුව ඉන්න තීරණය කළා.
“මොන දේ කළත් පරිස්සමෙන් පුතේ “
අම්මා කිව්වේ එච්චරයි.ඒත් වයස අවුරුදු විසි ගණන් වලදී තරුණියකට පෙම්වතෙකු හිඳීම අතිශය සාමාන්‍ය දෙයක් කියලා හිතපු චමරී තමන්ගේ ජීවිතයේ නිදහස උපරිමයෙන් වින්දා.
” චමරි අර කොල්ල නැවතිලා ඉන්න කාමරයටත් රිංගනවලු “
ගමේ කාන්තාවක් චමරිගේ අම්මට දවසක් එහෙම කියනකොට මලක් වගේ හදපු තමන්ගෙ දියණිය ගැන ඇයට ඇති වුණේ තදබල කම්පාවක්.
” ගෑණු ළමයෙක්ට ඔක්කොටම වැඩිය තමන්ගේ ආත්ම ගරුත්වය වටිනවා.ඔයා මේ මොකක්ද කරගන්න හදන්නේ පුතේ ?”
වෙනදට ඉස්කෝලෙ ඇරිලා හවස දෙක වෙනකොට ගෙදර එන චමරි ගෙදර එනකොට හවස පහට කිට්ටු වෙන නිසා හැම දවසකම ඇය එනකන් ඇගේ අම්මා මග බලාගෙන හිටියේ හුඟක් ලොකු හිතේ ගින්දරකින්.
” මම පොඩි ළමයෙක් නෙමෙයි අම්මා.මටත් දැන් දේවල් තේරෙනවා.ගමේ ගෑනු කියන දේවල් අහල හැම වෙලේම මාත් එක්ක එල්ලෙන්න හදන්න එපා “
” මිනිස්සු නිකන් කතන්දර කියන්නේ නෑනේ පුතේ “
අම්මා කතා කළේ හුඟක් ඉවසීමෙන් උනත් ඒ හැම වචනයක් ගානෙම චමරි කෝපයට පත්වුණා.
සති දෙක තුනකට පස්සේ සෞඛ්‍ය කඳවුර නිමාවට පත්වුණා. සියලු වැඩ අවසන් වුණාට පස්සේ තවත් දින දෙකකින් ඉෂාන් නැවත කොළඹට යන්න නියමිතව තිබුණා.
” ඔයා මට කතා කරනවා නේද ඉශාන්?”
චමරි එහෙම ඇහුවේ ඉශාන් ආපහු කොළඹ යන්න නවාතැනට වෙලා තමන්ගේ බඩු බාහිරාදිය ලෑස්ති කරන අතරේ.
” මං ඔයාට කතා කරන්නේ නැතුව කාට කතා කරන්නද චමරි ? ඔයා දන්නවනේ මං ඔයාට කොච්චර ආදරෙයිද කියලා ?”
” ඔයාට පුළුවන් නේද ආපහු මාව බලන්න මෙහෙ එන්න? “
චමරි ආයෙම ඇහුවා.
” බයවෙන්න එපා මං ආපහු එනවා.මං කොහොමද ඔයාව නොබලා ඉන්නේ දැන් ? ඔයත් මට කෝල් කරන්න ඕන හරිද ?”
තමන් ආපු කාර්යය අවසන් කරපු ඉෂාන් තමන්ගේ සගයන් එක්ක ආපහු කොළඹ බලා පිටත් වුනා.
හැබැයි, චමරි බලාපොරොත්තු උන විදිහට කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ.
කොළඹ බලා ගියපු ඉෂාන්ගෙන් එදා හවස ඉඳලම චමරිට එකම එක දුරකථන ඇමතුමක්වත් කෙටි පණිවිඩයක් වත් ලැබුණේ නැහැ.ඊළඟ දවසේ උදේ වෙනකොට ඉශාන්ගේ දුරකථනය පවා ක්‍රියා විරහිත කරලා තිබුණා.තමන් මවපු හීන ලෝකය දෙපා මුල කඩාගෙන වැටෙන කොට කර කියා ගන්න දෙයක් නැතුව චමරි අසරණ වුණා.ඉෂාන් පහුගිය කාලය පුරාවටම දීපු බලාපොරොත්තු, හීන එක්ක අතරමං වෙච්ච චමරි හැම වැඩක්ම අතපහු කරගෙන නොකා නොබී කාලය ගත කරන්න පටන් ගත්තා. පාසලට ගියත් හුඟක් වැඩ කටයුතු කරගන්න බැරි තත්ත්වයකට චමරි පත්වුණා.ගෙදර ආවට පස්සෙත් පැත්තකට වෙලා කල්පනා කර කර ඉශාන්ව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් චමරිට තිබුණෙ නැහැ.
“හැම මනුස්සයාම අපිට ලංවෙන්නේ ආදරේට නෙමේයි පුතේ. ආදරය කරන කාලෙදි ලස්සනයි කියලා අපිට පේන , හැබැයි අපිට නොතේරෙන හුඟක් දේවල් තේරෙන්නේ පහුවෙලා. “
චමරි බොහෝ වේලාවක් කල්පනා කරා.තමන් ගැන වටෙන් පිටෙන් ආරංචි වෙනකොට අම්මා කියන්න උත්සාහ කළේ මේ දේ නේද කියලා චමරි හිතුවා.ඒ ජීවිතය නතර ඕන තැනින් කොහෙන් කොහොම පටන් ගන්නද කියලා අදහසක් චමරිට තිබුණෙ නැහැ.
” එක වැරැද්දකට වඩා ඔයාගේ ජීවිතේ හුගක් ලොකුයි. ඒ එක වැරැද්දට ඔයාගේ ජීවිතය නතර වෙන්න දෙන්න එපා පුතේ “
චමරි හෙමින් හෙමින් හිත හදාගන්න පටන් ගත්තා.ජීවිතයේ මුලින්ම දැනුණු ආදරය, රැවටිලිකාරයෙකුට අහුවෙන්න වීම ගැන කම්පා වෙන එක ටිකෙන් ටික නතර කරලා චමරි ආපහු පරණ ජීවිතයට හැඩගැහුණා.
මාසයක් දෙකක් පහුවෙනකොට පරණ චමරි විදිහට පාසලේ වැඩ කටයුතු කරන්න වගේම ගෙදර වැඩ කටයුතු කරන්නත් පටන් ගත්ත චමරි ගමේ ළමුන් වෙනුවෙන් අමතර පන්තියකුත් ආරම්භ කරා.
අවුරුද්දක් විතර ගත උනාටට පස්සේ එක දවසකදි නොහිතපු විදිහට ඉශාන් ගමට ආවා.ඒ බව චමරිට ආරංචි වුණේ ගමේ මිතුරියකගෙන්. ඒත් එක දශමයකින්වත් චමරිගේ හිත හෙල්ලුණේ නැහැ.
ඒ ආරංචිය ඇවිල්ල දින දෙකකට පස්සේ චමරි ඉස්කෝලෙ ඇරිලා යන වෙලාවක චමරිව හොයාගෙන ඉශාන් ආවා. අපිළිවෙල ඇඳුම් සහ අපිළිවෙළ පෙනුම වගේම ඉශාන්ගේ මුහුණෙන් පවා දකින්නට තිබුන පරාජිත පෙනුමක්. ඒත් චමරි තමන්ගේ හිත පරිස්සම් කර ගන්න වග බලා ගත්තා.
” මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ චමරි “
ඉෂාන් චමරි ළඟට ඇවිල්ල බැගෑපත් උනා.කෙටි කාලයකට හරි තමන් ආදරය කරපු තරුණයා නේද කියලා හිතලා ඔහුට ඇහුම්කන් දෙන්න චමරි තීරණය කරා.
” මං ඔයාව රැවට්ටුව බව ඇත්ත. එහෙම රවට්ටල ගිහින් මට හරි ගියේ නැහැ චමරි. මං කලේ කොච්චර ලොකු වැරැද්දක්ද කියලා මට තේරුනේ ඔයා මට ආදරේ කරා වගේ මං කෙනෙක්ට ආදරේ කරලා ඒ කෙනා මාව රැවැට්ටුවට පස්සේ. ඔයා මට සමාව දෙනවද ?”
හිතේ තිගැස්මක් තිබුණත් තමන් අමාරුවෙන් හදාගත්ත හිත ආයේ වතාවක් රිද්ද ගන්න චමරිට උවමනා වුණේ නැහැ.
” ඔයාට සමාව දෙනවා මං “
චමරි බොහොම සැහැල්ලුවෙන් උත්තර දුන්නා.
” මට ආපහු අවස්ථාවක් දෙනවද චමරී ?”
ආයෙමත් අර බැගෑපත් හඬෙන් ඉශාන් ඇහුවා.
” කවදාවත් නෑ. ඔයා මට උගන්නලා ගිය ලොකුම පාඩම තමයි ලස්සන වචන වලට කවදාවත් රැවටෙන්න එපා කියන එක “
ඉෂාන්ට තවත් කිසිවක් කියන්න ඉඩ නොතබා චමරි හෙමින් හෙමින් පාර දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා.ඉශාන් ඒ දිහා බලාගෙන හිටියේ පසුතැවිල්ල සහ කඳුළු පිරුණු දෑස් වලින්.










