එක්වුණ දාට උක් දණ්ඩේ පැණි සේමා

නිශානි අන්තරස්දාන උනේ එකපාරටම වගේ.

හැබැයි එහෙමයි කියලා ගමේ මිනිස්සුන්ට පුලුවන් උනේ නෑ තමන්ගෙ වැඩපල ඔක්කොම නතර කරලා නිශානිව හොයන්න උදව් වෙන්න. මේ ගමේ මිනිස්සු කරේ උක් ගස් හිටෝලා, උක් පෙරන එක. උක් ගස් කපලා මෝලට අරගෙන ගිහිල්ලා උක් දඬු මිරිකන එක නතර කරලා දැම්මොත් තමන්ට කෙළ වෙන බව දන්න හන්දාම මිනිස්සුන්ට නිශානි ගෙ කතන්දරේට වඩා මෙතනදි ලොකු උනේ උක් ගස් ටික තමයි.

හැබැයි ඉතින් වැඩ අස්සෙත් කට්ටිය අනං මනං කතා කරන එක නම් නතර වුණේ නෑ. කට්ටියට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තිබ්බා “නිශානිට ඇත්තටම මොකද වුණේ?” කියන එක ගැන. හැමෝටම දැනගන්න ඕනේ වුණා, නිශානිට මොකද උනේ, ගෑනි කොහෙටද ගියේ කියන එක.

උක් මිරිකන මෝලේ සුපර්වයිසර් මහත්තයා උනේ රුවන්. රුවන් තරුණ හාදයා. මෝලේ වැඩට උන්න එක ඉස්තිරියාවක් එක පාර අන්තරස්දාන වෙන එක මෝලෙ වැඩවලට ප්‍රශ්නයක් හන්දම රුවන් හරියට මහන්සි උනා ඇත්තටම නිශානිට මොකද උනේ කියලා හොයලා බලන්න.

නිශානි අතුරුදහන් වෙලා දැන් දවස් හතරක් වගේ වෙනවා. හතරවෙනි දවසෙ තමයි රුවන් වෙනදට වඩා උනන්දුවෙන් උක් දඬු මිරිකලා යුශ වැක්කෙරෙන භාජනේ දිහා බැලුවෙ. වෙනදා වගේම ඒ ජූස් එක උකුවට, රත්තරන් පාටට, සුවඳට තිබ්බට රසේ මොකාආඅක්ම හරි ලොකූඌඌ වෙනසක් තියෙනවා කියන එක රුවන්ට තේරුණා.

“හැම කන්නෙකම මම රහ බලලා තියෙනවා. හැබැයි මේකෙ රහ ඒ හැම වතාවකටම වඩා සෑහෙන්න වෙනස්” කියලා රුවන් කිව්වෙ ඉස්ටෝරුවෙ කීපර් ගුණරත්න එක්ක.

“වෙනස් කිව්වේ, මජර රහද මහත්තයො?” කියලා ගුණරත්න ඇහුවෙොය හැලියම කට තියන් බිව්වත් රහේ වෙනසක් අඳුරගන්න බැරි ලෙවල් එකකට තමන්ගෙ කට දිව හුණු, දුංකොල, බුලත්, පුවක් වලින් තැම්බිලා තිබිච්ච හන්දා. මිනිහා කොහොමත් උන්නෙ දැන් විටේ රහවත් නොදැනෙන තරම් ලෙවල් එකක.

“නෑ බං නෑ. සිරාවටම මාර රසයි. ඒ උනාට එකම උක් ගස් වලින් මෙච්චර කාලයක් ගත්ත උක් පැණි වලින් ආවෙ නැති විදියෙ රසක් එකපාර කොහෙන්ද ආවෙ කියලා හොයන්න එපාය”

“ඔච්චර මොකටද මහත්තයො ඔය පැණි රහ ගැන වදවෙන්නෙ? හරි නැත්තං නෙ හිත කරදර කරගන්න ඕන” කියලා ගුණරත්න කිව්වට රුවන් කරේ ඒකට හිනාවෙච්ච එක.

“එහෙම බෑනෙ ගුණරත්න. වෙනස හොඳ උනත් නරක උනත් අපි හොයලා බලන්නෝන ඇයි එහෙම වෙනසක් උනේ කියලා. අනික ගුණරත්න මෙහෙමනෙ ඔය එකපාර මතුවෙන හොඳවල් තියෙනවා නේද?”

“ඔව් මහත්තයා”

“අන්න ඒවයින් තමා අපි වැඩියත්ම පරිස්සම් වෙන්නෝනයි ඇහැ ගහගෙන ඉන්නෝනයි” කියලා කියද්දිත් රුවන්ගෙ උගුරෙ නිකන් මහ අමුතුම පැණි රහක් එක්ක කැලැත්තිලා. ඒ පැණි රහේ නිකන් අමුතු හිත කාරවන, පාරවන කහට රහක් තියෙනවා කියන එක රුවන්ට හිතුනා. එහෙමත් නැත්තම් එයාගෙ හිත එහෙම කතාවක් කිව්වා.

“මහ අමුතු තද, හිත රිද්දන පැණි රහක් තියෙන්නෙ” කියලා රුවන් ඕක කිව්වේ තමන්ගෙ ඇසිස්ටන්ට් වගේ උන්න, උක් මෝලෙ ඔෆිස් එකේ වැඩ කරන අමායාට. රුවන්ගෙ ඒ වචන වලට අමායා නම් කරේ මහ අමුතු හිනාවක් දාපු එක. 

“පැණි රහක් කොහොමද හිත රිද්දන්නේ?” කියලා අහන ගමන් රුවන් තමන් දිහාවට දික්කරපු උක් පැණි පිරිච්ච හැන්ද අමායා අතෙන් එහාට කරේ “මටේපා” කියන්න වගේ.

“රසවල් බැඳිලා තියෙනවා අපි එක්ක සෑහෙන එමෝශනලි. රසකට පුළුවන් අපේ මනස එක එක විදියකට උත්තේජනය කරන්න. හිත රිදෙනවා කියන්නෙත් ඉතින් එක්තරා විදියක උත්තේජනයක්නෙ.

ඇයි ඔයා උක් පැණි වලට ආස නැද්ද?”

“මං ඔය ඕනවට වඩා පැණි රස ඒවට එච්චර ආස නෑ”

“අර මොකෝ”

“මට දිරවන්නෙ නෑ” කියලා වචනෙන් දෙනෙක් කියලා දාමු අමායා එතනින් මාරුවෙලා ගියා.

” අනේ මන්දා අනේ මට නම් හිතෙන්නෙම මේකෙ පැණි රස වැඩියි වගේ. ඒත් ඇයි කියලා තමයි හිතාගන්න බැරි”

“සමහර දේවල් වෙන්නෙ ඉතින් හිතාගන්න බැරි විදියට තමයි” කියලා අමායා ආයෙමත් කබඩ් එකක් අස්සෙන් මතුවෙද්දි රුවන් ගැස්සිච්ච පාර එයාගෙ අතේ තිබිච්ච උක් පැණි වලින් බිංදුවක් බිමට වැක්කුරුණා.

“හිතාගන්න බැරි විදියට හොඳක් වෙන එකනෙ හිතාගන්න බැරි” කියාගෙනම රුවන් එතනින් ගියේ අර හිතේ තිබ්බ පැණි රහ කහට ගතිය එන්න එන්න පැතිරෙද්දි.

මේ පැණි හැදුවේ හරි සාම්ප්‍රදායික විදිහට. උසට උසේ තියෙන උක් දඬු ටික කපලා මෝලට ගෙනියන්නෙ ට්‍රැක්ටර් වල දාගෙන. ඊට පස්සේ ඒ දඬු යකඩ රෝලර් අතරින් මිරිකෙන්න යවනවා. යුෂ ටික කට ලොකු  භාජනේකට එක්කහු කරලා, කළු වෙච්ච ලොකු හැලිවලට වක්කරනවා. පැය ගාණක් ඉන්පස්සෙ ලිපේ තියලා උණු කරනවා. පෙණ ටික අයින් කරනවා. දිගටම හැඳි ගානවා. ඒ හැඳි ගාද්දි තමයි හෙමින් හෙමින් ඒ මිශ්‍රණේ රත්තරන් පාට පැණි විදියට උකු වෙන්නෙ. සුවඳයි, රසයි. මේ උක් පැණි එක්කහු කරලා පිටරටවල් වලට තමයි ගොඩක්ම යවන්නෙ.

අනික මේ පැත්තෙ ටුවරිස්ට් හෝටල් හෙන සෙට් එකක් තියෙන හන්දා පැක්ටේරියේදිම මේව විකුණගන්නත් පුළුවන්.

නිශානි නැතිවෙලා දවස් හයක් වගේ යද්දි තමයි රුවන්ට දැනිච්ච රහේ වෙනස ගම්මුන්ට දැනෙන්න පටන් ගත්තෙ. මේ කන්නයේ පැණි, ඊට කලින් කිසිම කන්නෙක තිබුණට වඩා රසයි කියන එක තේරුණාට ගම්මු උනත් උන්නෙ ඒක එයාකාරයෙන්ම දිරවගන්න බැරුව. 

“තමුසේ රහ බැලුවද?” එක්කෙනෙක් තව එක්කෙනෙක්ගෙන් ඇහුවා

“පොඩිත්තක් දිව ගෑවා. ගිය අවුරුද්දට වඩා සෑහෙන්න හොඳයි,හැබැයි මොකක්දෝ වෙනසක් තියෙනවා.”

රුවන්ටත් ඔය වෙනස්කම් තේරුණා.පැණි ඩිංගක් තොල ගාලා හෙමින් මිනිස්සු අමුතුවට ඔළුව වනන හැටි, ඒ මුණුවල තිබ්බ චකිතය මේ හැමදේම රුවන් දැක්කා, හැබැයි මිනිහා උන්නෙත් ඇත්තටම මේකට හේතුව මොකද්ද කියල හිතාගන්න බැරුව.

ඇත්ත කතාව එළියට එන්න පටන් ගත්තෙ හෙමින් හෙමින්.

“මේ පැණි රහ එන්නේ උක් වගාවට අමුතුවෙන් මක්කවත් එක්කහු කරපු හන්දා නෙවෙයිනම් අනිවාර්‍යෙන්ම උක් පැණි හදන ප්‍රොසෙස් එකේදිනෙ. අපි ඉස්සෙල්ලා ලේසි තැනින් වැඩේ පටන් ගමුකො” කියලා රුවන් උක් දඬු මිරිකලා පැණි අරගන්න පැක්ටේරියෙ අස්සක් මුල්ලක් නෑර පරික්ශා කරලා බලද්දි තමයි රහ වෙනස් වෙන්න හේතුවෙච්ච කාරණාව හොයගන්න පුළුවන් උනේ.

ඇත්ත කතාව හෙමින් හෙමින් එළියට ආවෙ ඒ එක්කම ටිකෙන් ටික. 

“කොහෙද මන්දා අන්තරස්දාන වෙලා” කියලා මිනිස්සු කිව්ව නිශානි උන්නා ඔක්කොම උක් යුශ ටික එක්කහු වෙලා මැශින් වලින් හැඳි ගෑවෙන උක් පැණි ලීටර් බර ගාණක් එක්කාසු වෙන ලොකුම ලොකු යකඩ හැලිය අස්සෙ. 

නිශානි උන්නෙ දියවෙලා ගිහින්. එයාගෙ දිගම දිග කොණ්ඩ ගස් යකඩ හැඳි වල දැවටිලා තිබ්බා. රත්තරන් පාට උක් පැණි ඕනවටත් වඩා පෙවිච්ච හන්දද මන්දා දියවුණත් නිශානිගෙ තිබ්බෙ මහ අමුතු පිම්බිච්ච ගතියක්. මුලු ඇඳුම් හැම එකකම වගේ පණි තැවරිලා නිශානිගෙ ශරීරෙ පෙණුනෙ හරියට ලොසින්ජර වලින් හදාපු බෝනික්කෙක් වගේ. හැබැයි ලස්සනට නෙවෙයි, බය හිතෙන විදියට.

ගම්මු බයවෙච්ච විදිය අමුතුවෙන් කියන්නෝන නෑනෙ. නිශානි අතුරුදහන් උනාට පස්සෙන්දා ඉඳලා හදාපු උක් පැණි රහ බලපු හැම කෙනාම උන්නෙ වමනෙ දාන්න තැන් හොය හොය. උගුරෙ රැඳිච්ච පණි රහ කහට ගතිය මකාගෙන එලියට එන්න හදන වමනෙ ගංගාව නවත්තගෙන උනත් කල්පනා කරන්න රුවන්ට ලොකුම ලොකු කාරණා දෙකක් තිබ්බා.

එකක් තමයි නිශානිට මෙහෙම දෙයක් උනේ කොහොමද? කවුද එයාව මේ හැලියට දැම්මෙ කියන එක. අනික් එක මෙච්චර දවසක් කවදාවත් නැතුව පැණි ඕනවටත් වඩා පැණි රහ හේතුවෙන්න උනේ නිශානි ද කියන එක.

එවෙලෙ එක්කාසු වෙලා උන්න රුවන්, අමායා, ගුණරත්න, චන්දිම වගේ තව දහ පාළොස් දෙනෙක්ට සිද්ද උනා මෙහෙම කතාවක් තියෙන විත්තිය කාටවත් නොකිය ඉන්න.

“මේ කතාව එලියට යන එකෙන් වෙන්නෙ පැක්ටේරිය වැහෙන එක” කියලා රුවන් කියද්දි “පැක්ටේරිය වැහුනොත් කන්නෙ බොන්නෙ කොහොමද?” කියල අමායා ඒකට උල්පන්දම් දෙද්දි “meca attac” කියලා හිතනවා ඇරෙන්න වෙන කරන්න දෙයක්, ඒ කතාවට ඔලුව  වනනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අනිත් උදවියට තිබ්බෙ නෑ.

“පහුගිය දවස්වල ගත්ත පැණිවල තිබිච්ච අමුතු රහට හේතුව මෙහෙම දෙයක් කියලා සුද්දො දැනගත්තොත් අපිට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා” කියන එක හැමෝගෙම හිත්වල ගලේ කෙටුවා වගේ ලියවුණා.

මුලින් කට්ටියම උන්නෙ බය වෙලා බව ඇත්ත. හැබැයි ටික ටික “මෙන්න මෙහෙම කරමු” කියන ජාතියෙ කතන්දර එළියට මතුවෙන්න ගත්තෙ උන්ගෙන්මයි. 

“මිනිස්සු ලොකු ගණන් ගෙවලා පැණි ගන්න එකේ අපි සද්ද නැතුව ඉමු. අනික මුකුත් වෙයි කියලා මං හිතන්නෙ නෑ. තව මනුස්සයෙක්වනෙ එක්කහු වෙලා තියෙන්නෙ පැණියට. මනුස්සයෙක්ට තව මනුස්සයෙක් අගුණ වෙන්න විදියක් නෑනෙ නේද?”

“එක්වුණ දාට උක් දණ්ඩේ පැණි     සේමා

වෙන්වුණ දාට යක් දෙබරේ වද      සේමා

ගොසින් ගොසින් කටු අත්තේ අග  සේමා

ඉතිං ළඳේ කරවිල තිබ්බටු               සේමා” කියලා ඒ පැණි රහ තිත්ත ඇත්ත වහගෙන ඉන්න හැමෝම එක්කහු උනා.

ඒ විදියට හැමදේම තීන්දු උනා. මුළු ගමක්ම වගේ එකට එක්කාසු උනා නිශානිගෙ අන්තර්ස්දාන වීම අමතක කරලා වැරදෙන එක වචනයක් හන්දා “තමන් දැන් මේ උක් පැණි හදලා විඳින සැප” අන්තරස්දාන වෙන එක නතර කරගන්න. ඒ නිසා නිශානිව දිගටම පැණි හැලිය අස්සෙ දියවෙන්න අරින්න සිද්ද උනා. කාට කාටත් කටවහන් ඉන්න උනා. මරණයක් හැංගුවා. නිශානි නැති වුණු එක අමතක කරන්න තීරණය කළා. පැණි ටික රත්තරන් පාටට, ‍රසේ වැඩියක් මිස අඩුවක් නැතුව, කිසිම කෙනෙක්ට අත තියන්න බැරි විදිහට බෝතල් කරලා විකුණුවා.

දවස් ගණන් ගෙවිලා ගියා. හැමෝම එකම රහසක් හිතේ තියාගෙන අනිකා දිහා වපරැහින් බැලුවා. ළමයින්ව මෝල පැත්තට යවන්නේ නැතුව පරිස්සම් කරගත්තා. ළඟ තියෙන ටවුමෙන් පොලිසියෙ මිනිස්සු ඇවිත් ප්‍රශ්න ඇහුවා. කිසිම කෙනෙක් කිසිම දෙයක් දැක්කේ නෑ. කිසිම කෙනෙක් කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඇත්ත හංගන්න හැමෝම එක්කහු වෙලා වැඩ කළා. උක් පැණි ටික පරිස්සම් කරගත්තා. 

ගම්මු, පැණි ගන්න පිටින් ආපු අය ඉස්සරහා හොඳට මනුස්සකමට හිනා වුණා. අස්වැන්න ගැන, හොඳ කාලගුණේ ගැන, උත්සව ගැන, පැණි ගැන කතා කරා. උදේ පාන්දර පැක්ටේරිය වැඩ පටන් ගනිද්දි “දඩ දඩ” සද්දෙට හැඳි ගාන විසාල හැලිය සද්ද දාන් ඇහැරෙද්දි මුලු ගමම තප්පර ගානකට ගැස්සුණා, නිස්සද්ද උනා. 

හරියට නිශානිව මතක් වෙලා වගේ. “දඩ දඩ” සද්දෙ නිශානිගෙ උදව් ඉල්ලලා කෑගහන සද්දෙ ඇහුණා වගේ. ඒත් කවුරුවත් දැනගෙන ඉඳියෙවත් හොයන්න මහන්සි උනේවත් නෑ “නිශානි කොහොමද වහලා දාලා තියෙන ලොකු හැලියක් අස්සට වැටුණෙ?” කියන එක ගැන.

අස්වැන්න නෙළන කාලෙ වෙද්දි, ගම කලින් කවදාවත් නැති තරම් සල්ලි තිබ්බ තැනක් වුණා. දුර පළාත්වලින් වෙළෙන්දෝ ඇවිත් පැණි අර ගත්තා. මේක කවදාවත් රස බලලා නැති තරම් පැණි රසයි කියලා තමයි කතාව ගියේ. ගණන් ඉහළයි. මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව මේවා ගත්තා, මොකෝ කවුරුවත් දැනන් උන්නෙ නෑ ඒ පැණි රහ පස්සෙ තිබිච්ච දුක හිතෙන, බය හිතෙන කතාව ගැන මුකුත්.

රුවන් පුරුදු විදියට හැන්දෑවට උක් කෙත් යායවල් දිගේ ඇවිදගෙන ගියා, එළියෙන් හිනා වෙලා උන්නට මිනිහා උන්නෙ හිත ඇතුළෙන් හොල්මන් වෙලා. ලොසින්ජර බෝනික්කෙක් වෙලා උන්න නිශානිගෙ සරීරෙ තමන් දැක්කා කියන එක, තමන් රස බැලුවෙ නිශානිව මිසක් උක් පැණි නෙවෙයි කියන එක අමතක කරන්න නිශානිට පුළුවන් උනේ නෑ. දවස් ගෙවෙද්දි හිතේ බැඳිච්ච අර පැණි රහ කහට ගතිය ඔලුව පිස්සු වට්ටවද්දි උනත් රුවන්ට සිද්ද උනා සද්ද නැතුව ඉන්න. මොකෝ කිසිම දෙයක් කරන්න පුලුවන්කමක් රුවන්ට තිබ්බෙත් නෑ. හැමෝම මේකට හවුල් වුණා. හැමෝටම වාසි වුණා. ගම එකතු වෙලා තිබුණා. වැරදි දේකට උනත් ගම එක්කහු වෙලා තිබ්බා. දැන් මේ රහස එළියට දාන එකෙන් වෙන්නෙ තමන් තවත් ලොකු වැරදිකාරයෙක් කියන එක දැනගෙන උන්න හන්දම රුවන් සද්ද නැතුව ඉඳියා.

“පැමිණි දුක් පැණි රසයි කියල භාරගන්න හැමෝම ලෑස්ති නෑ රුවන් සර්. සමහරු බලනවා එක එක හිතාගන්න බැරි විදියෙ ක්‍රම ඒ දුක ඇත්තටම පැණි රහක් කරන්න. අපි කවුරුවත් හැමදාම දුක් විඳින්න ආස නෑනෙ. මිනිස්සු ඒ හන්දා කල දේ වැරදි නෑ.” කියලා අමායා කියද්දි රුවන් හෙමින් ඔළුව වැනුවා. උක් දණ්ඩේ සුවඳ, පැණිවල වාශ්පෙ, රත්තරන් පාට උකු ගතිය තමන්ව පිස්සු වට්ටවන්න හේතු වෙනවා බව දැනගෙන උන්නත් රුවන්ට තේරුණා, මේ ගම කවදාවත් ඇත්ත කියන්නේ නෑ කියන එක.

කාලයත් එක්ක පැණි රහ චුට්ට චුට්ට අඩුවෙන්න ගත්තා. මිනිස්සුන්ට තේරුණා නිශානි සම්පූර්ණයෙන්ම දියවෙලා ගිහින් ඉවරයි කියන එක. 

ඒ දවස් වල තමයි රුවන් තීරණය කරේ මේ පැක්ටෙරියෙන් අස් වෙලා රට යන්න.

රුවන් අස් වෙලා යන එක වෙනුවෙන් පැක්ටේරියේ පාටියක් තිබ්බා. එදා රෑ ඒ පාටියෙදි රුවන්ගෙ සමුගැනීම මතක් වෙන්නත් එක්ක, පුරුද්දක් විදියට කරගෙන ආව “පැණි උගුරකට චියර්ස්” කරන මෝමන්ට් එකේදි රුවන් මුල්ම පැණි හැන්ද තොල ගෑවා.

“දැන් ආයෙ මේ පැණිවලින් එන්නෙ පරණ රහමයි නේද?” කියලා පැණි හැන්දක් තොල ගාපු අමායා රුවන් දිහා බලලා කිව්වා.

“මං හිතුවෙ ඔයා පැණි රහට ආස නෑ කියලා” රුවන් අමායාගෙන් ඇහුවෙ එහෙම කතාවක් තමන් අතර වෙච්ච බව අමායාට මතක් කරලා දෙන්න වගේ.

“මං ඔය ඕනවට වඩා පැණි රස ඒවට එච්චර ආස නෑ” අමායා කිව්වා

“අර මොකෝ” රුවන් ඇහුවා

“මට දිරවන්නෙ නෑ” කිව්ව අමායා අමුතු හිනාවක් එක්ක රුවන්ට සමු දුන්නා.

More Stories

Don't Miss


Latest Articles