රියදුරු අසුනට එහා අසුනේ වාඩි වී හුන් කෛලාශ් තමා පසුකර ඇදෙන ගොඩනැගිලි සහ වාහන දෙස නිසොල්මනේ බලා උන්නේය.
” මට මේ වැඩ ටික ඉවර කරන්න මේ සති දෙක ඕනෑවටත් වැඩියි “
මීට සුළු වේලාවකට පෙර මන්දාකිණි කීවේ තදබල විශ්වාසයකිනි.තමා අතින් සිදු වූ අඩුපාඩු වෙනුවෙන් පලවන මොහොතේම සමාව අයද සිටි මන්දාකිණි ඊළඟ මොහොතේ පටන් laptop පරිගණකයේ ගබඩා කර තිබූ සැලැස්ම පෙන්වමින් ඉදිරි වැඩ කටයුතු පිළිබඳව අපූරුවට විස්තර කළාය.ඒ සියල්ලක්ම තමා මෙතෙක් බලාපොරොත්තු වී සිටියාටත් වඩා අතිශය නිර්මාණශීලී දේවල්ය.තම කුළුඳුල් ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් මන්දාකිණි විසින් අභ්‍යන්තර නිර්මාණ කටයුතු සැලැස්ම පමණක් නොව ඒවා ප්‍රයෝජනයට ගනිමින් හෝටලය විවෘත කිරීමේ උත්සවයට අදාල සැරසිලි කළ යුතු ආකාරය පවා අදහසක් ලෙස ඉදිරිපත් කළාය. එය තමා විසින් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයේ සැලසුමකි.
” මන්දාකිනි ඕපනින් සෙරමනි එකත් ලස්සනට ප්ලෑන් කරලනේ ”
සත්සර කීවේ ඇය පැවසූ දේවල් අවසානයේ පුදුමයට පත් වෙමිනි.හෝටලයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව මෙතෙක් කාලයක් වද වූවා මිස තමා වත් ,හෝටලයේ හිමිකරු වූ කෛලාශ් වත් ඒවා පිළිබඳව සිතා තිබුණේ නැත.
” ඇත්තටම කිව්වොත් මිස්ටර් සත්සර මේවා මං අමුතුවෙන් ප්ලෑන් කරපු දේවල් නෙමෙයි.හැබැයි මේ interior ටිකත් එක්ක මම මේ කියපු විදිහට කළොත් එදාට හරිම ලස්සනට තියෙයි කියලා මට හිතුනා.ඇත්තටම කිව්වොත් මේක නිකං අදහසක් විතරයි.කරන්න පුළුවන් නම් හොදයි ඉතින් “
කෛලාශ් නිහඬව බලා උන්නේය.තමා සිතුවාටත් වඩා,බලාපොරොත්තු වූවාටත් වඩා ,මවාගෙන උන්නාටත් වඩා මන්දාකිණි යනු අපූරු සිතුවිලි ඇති තරුණියකි.හෝටලයේ නිර්මාණ කටයුතු වලදී සිදුවී තිබූ අඩුපාඩු ඇය අතින් සිදු වූවා දැයි සිතා ගැනීමට වත් නොහැකි තරමට ඇය ඉදිරිපත් කළ ඉදිරි සැලසුම ඉදිරියේ කෛලාශ් සැබවින්ම පුදුමයට පත් වී උන්නේය.
” මට තව දෙයක් වෙනස් වෙන්න ඕන මන්දාකිණි “
සියල්ල දෙස මෙතෙක් වේලා නිහඬව බලා සිටි කෛලාශ් හඬ අවදි කළේය.මින් පෙර සත්සර පෙන්වා දුන් පරිදි තමා අතින් සිදුවූ අඩුපාඩු නැවත සකස් කර ගැනීමට හැකි ආකාරයේ සැලසුමක් තමා ඉදිරිපත් කර තිබියදී කෛලාශ් මේ කියන්නට සූදානම් වන්නේ කුමක් දැයි සිතමින් මන්දාකිණි තැති ගැන්මට පත් වූවාය.
” මො..මොකද්ද මිස්ටර් කෛලාශ්?”
මන්දාකිණි ඒ මොහොතේ උන්නේ කෛලාශ් ගේ දෑස් දෙස කෙලින් බැලීමට පවා නොහැකි තරමේ බියකිනි.
” මට මගේ ඔෆිස් රූම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ මන්දාකිණි “
කෛලාශ් එසේ පැවසූ විට සත්සර ඔහු දෙස බලා අනතුරුව මන්දාකිණි දෙස බැලුවේය.මන්දාකිණි ප්‍රශ්නාර්ථයකින් යුතුව මොහොතක් බලා උන්නාය.
” ඒත් මිස්ටර් කෛලාශ් ඔයාගේ ප්ලෑන් එකට අනුව ඒකෙ නම් වැඩ හරියටම කරලා තිබුණා නේද? මිස්ටර් සත්සරට කියන්න අමතක වෙච්ච මොකක් හරි මිස්ටේක් එකක් වත් තිබුනද ? “
” එහෙම දෙයක් නෙමෙයි මන්දාකිණි “
කෛලාශ් තත්පර ගණනාවකට කියන්නට ගිය දෙය නතර කර මන්දාකිණි ගේ කාර්යාල කාමරය පුරාම බැල්මක් හෙළුවාය.
” මට මගේ ඔෆිස් රූම් එක මේ ඔෆිස් රූම් එක වගේම හදන්න ඕනේ. මේ කලර්ස් වලින්ම. මේ විදියටම. මේ ඩෙකෝස් පවා එහෙමම තියෙන්න ඕන “
මන්දාකිනි සැනසුම් සුසුමක් හෙළුවාය.සත්සර ද ඒ හා සමානම හැඟීමකින් යුතුව කෛලාශ් දෙස බලා උන්නේය.
” මචං ඒක අපේ හොටෙල් එකේ තීම් එකත් එක්ක එච්චර මැච් වෙන්නෙ නෑ නේද ? මං කියන්නේ කලර්ස් එහෙම? ”
සත්සර කීවේ දුරදිග සිතා බලාය. හෝටලයේ වර්ණ සංකලනය සමඟ මන්දාකිණිගේ කාර්යාල කාමරයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු ගැලපෙන්නේ නැත.එහෙත් කෛලාශ් ඉල්ලා සිටින්නේ එවැන්නකි.
” ඒකට කමක් නැහැ.මගේ ඔෆිස් රූම් එක වෙනස් උනා කියලා ඒක හොටෙල් එකේ interior වලට ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ නෑ. අනිත් එක ගෙස්ට්ලා මගේ office room එකට එන්නේ නැහැනේ.ඒක මම ඉන්න තැන නිසා මට කම්ෆටබල් විදිහට තිබ්බහම ඇති.ඒකට හොඳම විදිහ මේක කියලා මම හිතනවා “
හෝටලයේ හිමිකරු ඔහුය.ඒ සඳහා සම්පූර්ණ මූල්‍ය වියදම දරන්නේ ද ඔහුය.එම නිසා සියල්ල සිදුවිය යුත්තේ ද ඔහුට අවැසි ආකාරයටය.තමාට හෝ සත්සර ට ඒ සඳහා මැදිහත් විය නොහැක.
” හරි එහෙම කරමු එහෙනම් ”
මන්දාකිණි කීවේ මෘදු හඬකිනි.කෛලාශ් එයින් සෑහීමකට පත් වූ බව පෙනෙන්නට තිබුණි.
” තව මොනාහරි කෙරෙන්න තියෙනවද මිස්ටර් කෛලාශ් ? ”
කෛලාශ් ලැප්ටොප් පරිගණකය දෙස බලාගෙන තවත් විනාඩි කිහිපයක් කල්පනා කළේය.මන්දාකිණි මෙතෙක් වේලා විස්තර කළ ආකාරයට තවත් සිදුවිය යුතු කිසිවක් නැත.මෙවර ඇය කිසිදු අඩුපාඩුවකින් තොරව සියල්ල නිසි ආකාරයෙන් සැලසුම් කර තිබේ.
” නෑ. හැබැයි.. ”
කෛලාශ් කතාව නතර කළේය.ඔහු ඇනුම් පදයක් හෝ කියතැයි බලාපොරොත්තුවෙන් මන්දාකිණි බලා උන්නාය.
” කිසි දෙයක් මුල ඉඳලා වෙනස් කරන්න ඕනෙ නැහැ.අඩුපාඩු හැදුනම ඇති.අනිත් එක ඔයාගේ කම්පනි එකට පාඩුවක් වෙන විදිහේ කිසිම දෙයක් කරන්න ඕනෙත් නැහැ. යන හැම වියදමක්ම දාලා ෆයිනල් පේමන්ට් එක වෙන්න ඕන විදිය මට හරි සත්සර ට හරි කියන්න ”
කෛලාශ් කීවේ ඉතා සන්සුන්වය.ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසා මන්දාකිණි උන්නේ සැනසීමට පත්වය.මේ හමුවීම පීඩනයකින් තොරව ගලා යාමම සන්තෝසයට කාරණාවක් බව මන්දාකිණි ඊළඟ මොහොතේ සිතුවාය.
” ඔයා මේ කියපු විදිහට ඕපනින් සෙරමනි එකේ දේවල් කරන්නත් මං කැමතියි.ඒ ටික පිළිවෙලට ඕගනයිස් කරන්න පුළුවන් කම්පනි එකක් ඔයා දන්නවද ? ”
නොදන්නා කරුණක් ගුරුවරියකගෙන් අසනවා මෙන් කෛලාශ් මන්දාකිණි ගෙන් අසද්දී සත්සර පවා පුදුමයෙන් බලා උන්නේය.
” මම දන්න ඉවෙන්ට්ස් කම්පනි කීපයක් තියෙනවා. මං කතා කරලා බලලා මිස්ටර් කෛලාශ් ට පණිවිඩයක් දෙන්නම් “
ඒ සියලු කාරණා හැරුණු කොට කෛලාශ් ට සහ සත්සරට හෝටලයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් කිරීමට කිසිවක් ඉතිරිව තිබුණේ නැත.අසුනට හිස තබා ගෙන දෑස් පියා ගෙන හුන් කෛලාශ් දිග හුස්මක් ගත්තේත් රියදුරු අසුනේ හුන් සත්සර ඔහු දෙස බැලුවේත් එක් නිමේෂයක් තුළදීය.
” උඹ ලොකු කල්පනාවක නේද ඉන්නේ ? “
සත්සර ඇසුවේය. කෛලාශ් දෑස් හැර ඔහු දෙස බැලුවේය.
” මට මොකක්දෝ අමුත්තක් දැනෙනවා මචං “
” ඒ කිව්වේ? ”
” මං දන්නෙ නෑ මට මේ කෙල්ලව හොඳට පුරුදුයි “
” උඹගේ ඔළුවෙත් වෙලාවකට හොල්මන් කතන්දර තියෙන්නේ.අවුරුදු ගානකින් දැකපු නැති කෙල්ලෙක්ව හොයනවා එක වෙලාවකට.ඒ පාර මේ ජීවිතේ පළවෙනි වතාවට හම්බ වෙච්ච කෙල්ලෙක්ව දැකල පුරුදුයි කියනවා “
කෛලාශ් කිසිවක් කීවේ නැත.මන්දාකිණි ගේ දිදුලන දෑස අමතක කිරීමට නොහැකි තත්ත්වයකට කෛලාශ් පත්ව උන්නේය.දෑස් පියා ගන්නා මොහොතකදී මෙන්ම දෑස් හැර බලන මොහොතකදීත් සිහිපත් වූයේ ඒ දෑස් පමණමය.
” මන්දාකිණි ගේ ඉස්සරහ ප්ලෑන්ස් ගැන දැන් උඹට කිසිම ඩවුට් එකක් නෑ නේද ? “
හමුවීම අතරතුරදි මොනවා කීවත් කෛලාශ් යනු පහසුවෙන් සෑහීමකට පත් නොවන පුද්ගලයකු බව අත්දැකීමෙන්ම දන්නා නිසා සත්සර ඇසුවේ අඩමානයටය.
” ඒ කෙල්ල වැඩේ හොඳට කරයි මේ පාර “
කෛලාශ් එවදන් කීවේ විශ්වාසයෙනි.
” ඔහු විතින් පළවෙනි පාර උඹේ හැටි දැන ගත්ත නිසා දැන් ඉතින් බයටම වැඩේ හරියට කරයි.හැබැයි ඉතින් මට බය තියෙන්නේ මේ සති දෙක ඇති වෙයිද කියලා ඔය කිව්වට “
” එයා මේක ඊට කලින් කරලා ඉවර කරනවා “
මන්දාකිනි පිළිබඳව කතා කිරීමට පවා අකැමැත්තෙන් සිටි කෛලාශ් වෙනමම පුද්ගලයෙකු බවට පත්ව උන්නේය.පැය කිහිපයක් තුළ ඔහු තුළින් දක්නට ලැබෙන මේ වෙනස පිළිබඳව සත්සර පුදුමයට පත් වී උන්නත් ඔහු ඒ පිළිබඳව වැඩි යමක් විමසන්නට නොගියේ කෛලාශ් මේ වන විට ඉන්නේ කුමක් හෝ නොසන්සුන් බවක බව ඔහුගේ හැසිරීමෙන් සහ කතා බහෙන් පැහැදිලිවම දක්නට ඇති නිසාය.
” මං දෙයක් උඹෙන් අහන්න උඹ මට ඇත්තම කියනවද කෛලාශ් ?”


