වෙඩින් එකකට ඉන්විටේෂන් එකක් ලැබුණ ගමන් අපේ ඔළුවට මුලින්ම එන්නේ “අම්මෝ… මොකක්ද මම අඳින්නේ?” කියන ප්‍රශ්නය නේද?
ලංකාවේ අපිට වෙඩින් එකක් කියන්නේ නිකන්ම උත්සවයක් විතරක් නෙමෙයි, ඒක අපේ තියෙන ලස්සනම ඇඳුම් පැළඳුම් එළියට දාන්න ලැබෙන ලොකු චාන්ස් එකක්. හැබැයි ලස්සනට අඳිනවා වගේම, වෙඩින් එකකදී අපි පිළිපදින්න ඕන සදාචාරාත්මක පැත්තකුත් (Wedding Etiquette) තියෙනවා.
අද අපි කතා කරන්නේ අන්න ඒ ගැන
1. බ්‍රයිඩ්ගේ තැන ගන්න හදන්න එපා
ඕනෑම වෙඩින් එකක “ප්‍රධාන චරිතය” වෙන්නේ මනමාලි. ඒ නිසා අමුත්තෙක් විදියට අපි යනකොට අපේ පළවෙනිම වගකීම තමයි මනමාලිට ලැබෙන අවධානය උදුරගන්න උත්සාහ නොකරන එක. ඇත්තටම සමහරු වෙඩින් එකකට යන්නේ හරියට ඒක නිකන් මේ එයාගෙවෙඩින් එක වගේ හිතාගෙනනෙ.
ලංකාවේ ගොඩක් වෙලාවට මනමාලියන් තෝරාගන්නේ සුදු, ඕෆ්-වයිට් හෝ ක්‍රීම් වර්ණ තමයි එයාලගෙ big day එකට තෝරගන්නෙ. ඒ නිසා ඔයා අමුත්තෙක් විදියට වෙඩින් එකකට යනවා නම් මේ වර්ණවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම තමයි හොඳම දේ. ඒ වගේම තමයි “බ්‍රයිඩල් ස්ටයිල්” එකට හුරු, අධික ලෙස ගල් සහ මුතු අල්ලපු, ගොඩක් බර සාරි හෝ ලෙහෙන්ගා ඇඳීමත් එච්චර සුදුසු නැහැ. විශේෂයෙන්ම ඔයාගේම වෙඩින් එකට ඇඳපු සාරිය හෝ හෝම්කමින් එකට ඇඳපු ඇඳුම තව කෙනෙක්ගේ වෙඩින් එකකට අඳින එක ගැන දෙපාරක් හිතන්න. මොකද එතකොට බ්‍රයිඩ් කවුද, ගෙස්ට් කවුද කියලා අඳුරගන්න පවා අසීරු වෙනවා. අපේ ලස්සන පෙන්වන්න ගිහින් මනාලියව අසීරුතාවයට පත් නොකරන්න අපි වගබලා ගන්න ඕන.
2. අපේ “ස්කින් ටෝන්” එකට ගැලපෙන වර්ණ තෝරාගමු
සමහර ඇඳුම් කඩේදී දකිනකොට මාර ලස්සනයි, හැබැයි ඇන්දහම ඒ පෙනුම එන්නේ නැහැ නේද? ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ හමේ පැහැයට (Skin Tone) ඒ වර්ණය ගැලපෙන්නේ නැති එක. ලංකාවේ අපේ හම ගොඩක් වෙලාවට තලෙළු හෝ රන්වන් පැහැයට හුරුයි (Warm Undertone).
ගොඩක් අය හිතන්නේ උදේ වෙඩින් එකකට නම් ලා පාට (Pastel colors) අඳින්න ඕන කියලා. හැබැයි මතක තියාගන්න, ඕනෑවට වඩා ලා පැහැති පාටවල් (උදාහරණයක් විදියට බේබි පින්ක්, ලා නිල්) නිසා අපේ හමේ තියෙන ස්වභාවික දීප්තිය මැකී ගිහින්, අපිව නිකන් අසනීප වෙලා වගේ පේන්න පුළුවන්. ඒ වෙනුවට මස්ටඩ් (Mustard), කොරල් (Coral), පීච් (Peach) හෝ ටෙරාකොටා (Terracotta) වගේ උණුසුම් වර්ණ තෝරාගන්න. ඒ වගේම Dusty Rose හෝ Olive Green වැනි වර්ණත් ලාංකික අපේ සමට මාරම ලස්සනක් එක් කරනවා.

3. දවල් වෙඩින් එකක්ද? රෑ වෙඩින් එකක්ද?
උත්සවය තියෙන වෙලාව අනුව අපේ තෝරාගැනීම් වෙනස් වෙන්න ඕන.
- දවල් කාලයේ නම්: පුළුවන් තරම් සැහැල්ලු පෙනුමක් තියෙන ඇඳුම් තෝරාගන්න. අධික ලෙස දිලිසෙන ඇඳුම් දවල් අව්වේදී ටිකක් අමුතු පෙනුමක් අරගෙන එන්න පුළුවන්. ඒ වෙනුවට මල් වැටුණු (Floral) මෝස්තර හෝ සිල්ක් වැනි රෙදි වර්ග තෝරාගන්න.
- රාත්‍රී කාලයේ නම්: රෑ වෙඩින් එකක් කියන්නේ ඔයාට ඕනෑ තරම් “ග්ලැමරස්” (Glamorous) වෙන්න පුළුවන් වෙලාවක්. තද කොළ (Emerald Green), රතු (Maroon), තද දම් (Plum) හෝ රෝයල් බ්ලූ (Royal Blue) වගේ “Jewel Tones” රාත්‍රියේ ලයිට් එළියට මාරම වටිනා පෙනුමක් අරගෙන එනවා. ඒ වගේම රන්වන් (Gold) හෝ ලෝකඩ (Bronze) පැහැති ඇඳුම්වලිනුත් රෑ සාදයකට ලොකු ආකර්ෂණයක් ගන්න පුළුවන්.

4. කළු පාට අඳිනවා නම් මේවා මතක තියාගන්න
කළු කියන්නේ ඕනෑම කෙනෙක් කෙට්ටු කරලා පෙන්වන, හරිම “Sophisticated” පාටක්. හැබැයි වෙඩින් එකක් කියන්නේ සතුට සමරන අවස්ථාවක් නිසා කළු පාටින් පමණක් සැරසීම සමහරු අසුභයි කියලා හිතන්නත් පුළුවන්. ඒ නිසා කළු පාට අඳිනවා නම් ඒක නිකන් “ඩල්” (Dull) පෙනුමක් අරගෙන එන දෙයක් වෙන්න දෙන්න එපා.
තනි කළු සාරියක් අඳිනවා නම් ඒකට ලස්සන රන්වන් පාටින් වැඩ දාපු බ්ලවුස් එකක් හෝ වර්ණවත් ආභරණ පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් දීප්තිමත් පාටක ක්ලච් එකක් (Clutch) අතට ගන්න. එතකොට තමයි ඒ ඇඳුමට මංගල උත්සවයකට ගැලපෙන “Festive Look” එකක් ලැබෙන්නේ.
5. ලස්සන වගේම “කම්ෆර්ට්” එකත් බලන්න
මේක තමයි ගොඩක් අයට වරදින තැන. සමහරු ලෝකේ තියෙන ලස්සනම ඇඳුම ඇන්දත් ඒකේ පහසුවක් නැති නිසා මුළු වෙඩින් එක පුරාම ඉන්නේ මාරම ස්ට්‍රෙස් එකකින්. සාරිය වැඩියෙන් තද කරලා ඇඳලා හුස්ම ගන්න බැරුව, නැත්නම් හීල්ස් දාගෙන ඇවිදගන්න බැරුව, එහෙමත් නැත්නම් ඇඳුමේ කර ගැඹුරු වැඩි නිසා හැම වෙලේම ඒක හද හදා ඉන්න වුණොත් ඔයාට ඒ මෝමන්ට් එක එන්ජෝයි කරන්න ලැබෙන්නේ නැහැ.
ඇඳුමක් තෝරගත්තට පස්සේ ඒක ඇඳලා ගෙදරදී වාඩි වෙලා, නැගිටලා, පොඩ්ඩක් ඇවිදලා බලන්න. විශේෂයෙන්ම කෑම ගන්න කොට ඒ ඇඳුමෙන් ඉන්න පහසුද කියලා බලන්න. ඔයා අසහනයෙන් ඉන්නවා නම් ඒක ඔයාගේ මූණෙන් පේනවා. එතකොට ඔයා මොන තරම් මිල අධික ඇඳුමක් ඇන්දත් ඔයාගේ ඒ ලස්සන ඉස්මතු වෙන්නේ නැහැ. සැබෑ ලස්සන තියෙන්නේ ඔයා ඒ ඇඳුම ඇඳගෙන ඉන්න “Confidence” එක සහ සැහැල්ලුව ඇතුළෙයි.
6. මේකප් සහ හෙයාර් ස්ටයිල් (Minimal is More)
ඇඳුම වගේම තමයි මේකප් එකත්. උදේ වෙඩින් එකකට නම් පුළුවන් තරම් ස්වභාවික පෙනුමක් (Natural look) තියාගන්න බලන්න. ඕනෑවට වඩා “Heavy” මේකප් එකක් දවල් එළියේදී හරිම අස්වාභාවිකයි. රෑ වෙඩින් එකකට නම් පොඩ්ඩක් “Bold” ලිප්ස්ටික් එකක් හෝ අයි-මේකප් එකක් පාවිච්චි කළාට කමක් නැහැ. කොණ්ඩා මෝස්තරය තෝරාගැනීමේදීත් ඔයාගේ ඇඳුමට සහ මූණේ හැඩයට ගැලපෙන, ඒ වගේම ඔයාට කරදරයක් නොවන විලාසිතාවක් තෝරාගන්න.
වෙඩින් එකකට යනවා කියන්නේ තමන්ගේ ලස්සන පෙන්වනවා වගේම, තව කෙනෙක්ගේ සන්තෝස දවසකට හදවතින්ම සහභාගී වෙන එකයි. ඉතින් මනමාලියට ගරු කරලා, තමන්ගේ සමේ පැහැයට ගැලපෙන වර්ණයක් තෝරාගෙන, තමන්ට පහසු විදිහට හැඩගැන්වුණොත් ඔයාට පුළුවන් එතැන ඉන්න වඩාත් ආකර්ෂණීය සහ ආදර්ශමත් අමුත්තා වෙන්න.
ඉතින් ඊළඟ වෙඩින් එකට යන්න කලින් මේ ටිප්ස් ටික ඔළුවේ තියාගන්න. එතකොට ඔයාට පුළුවන් කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව, සුපිරියටම ඇඳලා කරලා ගිහින් ඒ දවස සතුටින් ගත කරන්න!











