ඩුබායි රටට ගියදා සවස දුරකථන ඇමතුමක් ලබා දුන්නාට පසුව ශ්‍රියාලතාට මනුජිත් ඇමතුමක් ලබා ගත්තේ උදෑසනය.
“අම්මේ හෙට හවසට කෙනෙක් එයි. එයාගේ අතට ලක්ෂ පහක් දෙන්න.”
ශ්‍රියාලතා ඇඳ මතින් නැගී සිටියේ ඒ වදන් වැරදීමකින් තමාට ඇසුණාදැයි සිතමින්ය.
“මෝ…..මොකක්ද ඒ කිව්වේ….”
“හෙට හවසට නලින්ද කියලා උස තට්ටෙ තියෙන මනුස්සයෙක් එයි. එයාගේ අතට ලක්ෂ පහක් දෙන්න.”
“ලක්ෂ පහක්..කො..කොහෙන්ද පුතේ..”
“කොහෙන්වත් නෙමෙයි. අම්මා අර දාලා තියෙන ෆික්ස් එක කැන්සල් කරලා එයාගේ අතට ඒ සල්ලි දෙන්නකෝ..මම ඒක ආපහු දෙන්නම්.”
ශ්‍රියාලතා යළිත් ඇඳ මතින් අසුන් ගත්තේ සිය දෙකකුල් අඩපණව ගිය නිසාය. වසර ගණනක් තිස්සේ සැමියාට හොර රහසේ එකතු කළ මුදල් ඈ ස්ථාවර ගිණුමක තැන්පත් කළේ මීට දෙවසරකට පෙරය. ඒ සඳහා මනුජිත්ගේ උදව් ලබා ගැනීමට සිදුවූයේ බැංකුවේ වැඩ කටයුතු තනිවම කර ගැනීමට ශ්‍රියාලතාට දැනුමක් නොවූ නිසාය. එසේම ඒ ගැන තාත්තාට නොකියන්නට මනුජිත් පොරොන්දු කරවා ගන්නට ඈ සමත් විය. මේ ඔහු පවසන්නේ තමා හුස්ම සේ රැකී ජීවිත කාලය පුරාම තමාගේ කියන්නට ඉතිරි කරගත් මුදල ගැනය.
“ඒ මොකටද එහෙම දෙන්නේ…ඒ කවුද ළමයෝ..”
“මේ වෙලාවේ මගෙන් ප්‍රශ්න අහන්න එපා අම්මේ. මාව බේරගන්න ඕනනම් ඔය සල්ලි දෙන්න. මම ඩුබායිවලට ආවේ සති දෙකකට නෙමෙයි. අවුරුදු දෙකකට. ඒ අවුරුදු දෙකේ අම්මල ජීවත් වෙන්න ඕන පිළිවෙල ගැන මම සැරින් සැරේ කියන්නම්. මේක ප්ලෑන් එකක්. අර ගෑනිගෙන් ගැලවෙන්න ප්ලෑන් එකක්. ඔය ගෑනිත් එක්ක ජීවත් වෙන්න මට බෑ අම්මේ. එහෙම වුණොත් මට ජීවිතේ නැති කරගන්න හිතෙයි. අම්මට මාව බේර ගන්නට පුළුවන් මේ ක්‍රමෙන් විතරයි.”
“අනේ පුතේ……”
ශ්‍රියාලතාගේ හඬ බිඳී ගියේ ඔහු එසේ පවසද්දීය. එකී සිතට දැනුනේ බියකි. රැකියාව කරන ස්ථානයෙන් සති දෙකකට පිටරටක යනවායැයි පැවසූ නිසා ශ්‍රියාලතා උන්නේ සිතේ සැනසීමෙන්ය. මනුජිත්ට කුමක් හෝ කරදරයක්දැයි සිතද්දී ඈ වෙවුලා ගියාය. මෑණියන් පැවසූ ආකාරයට මේ ඔහුට එතරම් සුභ කාලයක් නොවේ.
“මේක ඒ ගෑනිගෙන් අයින් වෙන්න ගහන ප්ලෑන් එකක් අම්මේ. බයවෙන්න එපා. අවුරුදු දෙක පහුවෙද්දී දෙයියනේ කියලා කීයක් හරි හොයාගෙන මට ඔය ගෑනිගෙනුත් නිදහස් වෙලා ලංකාවට ආපහු එන්න පුළුවන්. ඒ නැති උනත් අම්මවයි, තාත්තවයි මෙහෙට ගෙන්න ගන්න පුළුවන්. මම ඔය කෙනෙකුට දෙන්න තියෙන සල්ලි වගයක්. මාස දෙක තුනක් යද්දි මම අම්මට ඕක දෙගුණයක් කරලා එවන්නම්. ඒක නිසා බය නැතුව ඕක ගෙනත් දෙන්න.”
“උඹට කරදරයක් නෑ නේද පුතේ……”
“නෑ.. නෑ මං හොඳටම හොඳින් අම්මේ..මං හිතුවට වඩා හොඳ ජොබ් එකක් මට මෙහේ හම්බ වුණා. දැන් අපි ගොඩ ගිහිල්ලා ඉවරයි අම්මේ. අම්මලා හිතේ සැනසීමෙන් ඉන්න.”
ශ්‍රියාලතාගේ මුවෙහි එවර මතුවූයේ සිනහවකි. දිවා රෑ පැතුවේ මනුජිත්ගේ යහපතය. සේකරවත්තේ කෙල්ලක හා සම්බන්ධයක් පටලවාගෙන ඔහු අතින් ඈ ගැබිනියක වී ඇතැයි පවසද්දී පවා ශ්‍රියාලතා එය විශ්වාස නොකළාය. හිටිහැටියේ නිවසට කඩා වැදුණු දහරාගේ ආච්චීත් අම්මාත් ප්‍රතික්ෂේප කරන්නට තරම් ශ්‍රියාලතාට හයියක් වූයේ ඒ විශ්වාසයය. සේකරවත්තට ගිය ඈ සිතුවේම දහරා කපටි කෙල්ලක බවය. එවැනි කෙල්ලන්ට මෙවැනි රඟපෑම් අමුත්තක් නොවන බවය. තරයේම මනුජිත්ව විශ්වාස කළ ශ්‍රියාලතා දහරාට චෝදනා කරමින් සිටියේ ඒ හයිය අරගෙනය. එහෙත් හිටිහැටියේම මනුජිත් නිවසට පැමිණ දහරාව කසාද බඳින්නට සිදුවනවායැයි කියද්දී ශ්‍රියාලතාට දැනුනේ මුළු ලෝකයම තම දෙපාමුල කඩා වැටුණු ගණනටය.
“අම්මා මම මේ කියනදේ හොඳට අහගන්න. මීට එහාවත් මෙහාවත් වචනයක් කතා කරන්න එපා. මම අද රෑට දහරට මැසේජ් එකක් දානවා ඔෆිස් එකේ වැඩකට ආවේ සති තුනකට වුණාට අවුරුදු එකහමාරක් විතර මට මෙහේ ඉන්න වෙනවා කියලා. මේක දැනගත්තට පස්සේ කොහොමත් දහරාගේ අම්මා එනවා. ඒ ආවට පස්සේ බොහොම හොඳට කතා කරලා අම්මා එයාට කියන්න මමත් ලංකාවේ නැති නිසා දහරව මෙහේ තියාගන්න බයයි, බබා හම්බවෙනකල් ගෙදර තියා ගන්න කියලා. අම්මයි තාත්තයි දෙන්නම ලෙඩ ගානේ නිසා දහරාගේ වැඩ ඔයාලට කරන්න අමාරුයි කියලා කියන්න.”
“අර වස වර්ති මාමා හිරේ ඉඳලා ආවොත් පුතේ.”
“එයාට තව මාස හයකටවත් එන්න හම්බ වෙන්නේ නෑ. එයා නැති අතරේ මේ සේරම වෙන්න ඕනේ අම්මේ..අම්මට මං කියපු දේ විතරක් කරන්නකෝ දැනට. හෙට උදේම ගිහිල්ලා බැංකුවට කියන්න පික්ස් එක කැන්සල් කරලා සල්ලි ගන්න ඕනි කියලා. ඒක එවෙලෙම කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ සල්ලි ටික අර මනුස්සයාට දෙන්න. ඒ අතරේ මං දහරට පණිවිඩය දෙන්නම්.”
“මෑණියෝ කිව්වා මේ ප්‍රශ්නෙ විසඳලා දෙනවා කියලා පුතේ..අනේ එහෙනම් මෑණියන්ට පින්සිද්ධ වෙන්න ඕනේ..ඒකට ක්‍රමයක් මං හදන්නම් කියලත් කිව්වා.”
“අනේ අම්මේ මෑණියෝ කරපු මඟුලක් නෑ. නිකන් ඒ ගෑනිට සල්ලි පූජා කරන්න යන්න එපා. මං කියන විදිහට වැඩ කරන්නකෝ.”
දුරකථනය එහා පසින් විසන්ධි වී ගියත් ශ්‍රියාලතා එය කන තබාගෙනම සිටියේ ඇදහිය නොහැක්කක් සිදු වූ ගණනටය. දිවා රෑ ඕ සිතමින් සිටියේ දහරාගෙන් නිදහස් වන ක්‍රමය ගැනය.
එදා රාත්‍රියේ ‘මට දහරාව කසාද බඳින්න වෙනවා අම්මේ..’ යැයි මනුජිත් පැවසුවාට පසුව දින කිහිපයක් ගතව යනතුරු මෙම නිවසේ බතක් නොඉඳුණු තරම්ය. ශ්‍රියාලතා කාලය ගත කළේ හැඬූ කඳුළින්ය. මනුජිත් ඉපදුණු දා පටන් ඇගේ ලෝකයම වූයේ ඔහුය. ඔහු අධ්‍යාපනයෙන් සමත්කම් දක්වද්දී, විශ්ව විද්‍යාලයට යද්දී ඈ උන්නේ මහ මෙරක සතුටක් සිත මත තබා ගෙනය. තමාගේත් සැමියාගේත් පවුල් දෙකටම ඔහු ආලෝකයක් වූවායැයි ශ්‍රියාලතා සිතුවාය. අවසන විඳින්නට සිදු වූයේ ඈ අපේක්ෂා නොකළ අයුරේ නින්දාවකි. මනුජිත්ගේ ජීවිතයේ වූ මේ සිදුවීම ඇයව උඩු යටිකුරු කර දමන්නට සමත් වූයේ ඒ නිසාය.
ශ්‍රියාලතාට දහරාව පෙනෙන්නට වූයේ තම දරුවාගේ ජීවිතය විනාශ කර දමන්නට ආ යක්ෂණියක ලෙසය. කොහොමටවත් ඇයව මේ නිවසෙහි ලේලිය ලෙස පිළිගන්නට කැමැත්තක් ශ්‍රියාලතාගේ නොවේ. ඇය මනුජිත්ගේ බිරිඳගෙන් බලාපොරොත්තු වූයේ ඒ සාම උගත්කමක් ඇති, ගොඩ මඩ ඉඩකඩම් සහිත දෑවැද්දට යමක් කමක් ඇති කෙල්ලකි.
එහෙත් මනුජිත් ඩුබායි රටට යාමට පෙර තමාට ඇත්ත නොකීම පිළිබඳව ශ්‍රියාලතාගේ සිතෙහි ඇතිව තිබුණේ වේදනාවකි. එහෙත් ඕ ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන්නට නොගියාය. මේ නිවස තුළ එවන් යමක් කතා කරන්නට ඔහුට බියක් ඇතිවීම සාධාරණයැයි ඇයට සිතුනේ ඊළඟ තත්පරයේය. කොහොමටත් ඕ එදත් අදත් මනුජිත්ව සාධාරණීකරණය කරන්නට දෙවරක් සිතන්නේ නැත.
සැමියා පවා අවසන පැවසූයේ ඔහුගේ තීරණය නිවැරදි එකක් බවය.
“මහ එකාගේ ඉඳලා පොඩි එකාගේ වෙනකම් තමන් කරපු වැරදි වලිනුයි පව් වලිනුයි බේරෙන්න කරන්නේ රටින් පිට වෙන එක.අපේ එකා ඒක නොකෙරුවොත් තමයි පුදුමේ. ඒ ක්‍රමෙන් හරි මිනිහා මිනිහගේ ජීවිතේ හදාගන්නවනම් එච්චරයි. මං ඒකට වැරදියි කියන්නෙ නෑ.”
පසුගිය දිනවල මනුජිත් වැඩකළ පිළිවෙල පිළිබඳව ඔහු සිටියේ ඒ තරම් සිත හොඳකින් නොවේ. තම අපැහැදීම මනුජිත්ට පවසන්නට උත්සාහ කළ සෑම වතාවකම ශ්‍රියාලතා තම සැමියාව නිහඬ කර ගැනීමට සමත් වූවාය. ඊයේ පෙරේදා වනතුරුත් ඈ සිටියේ නිවස තුළ පිය පුතු ගැටීමක් ඇතිවේයැයි බියෙන්ය. සැමියාව තම වදන්වලට අවනත කරගැනීමට හැකිවීම ගැහැණියකගේ ජයග්‍රහනයක්යැයි ඕ විශ්වාස කළාය.
“එක අතකින් පුතා අපිට මේක නොකිය ගියපු එක හොඳයි. දවස් ගානක ඉඳලා ඕක දැනගත්තහම අපිට වෙනද විදිහට හැසිරෙන්න බැරුව යනවා. අපි අහුමුළුවල ඕක කතා කරන්න පටන් ගන්නවා. අපේ වෙනස අරයා දැනගන්නවා. ඊට පස්සේ ඒකට හේතු හොයන්න ගන්නවා. මේ වෙලාවෙත් මට විශ්වාස නෑ මේ බිත්ති වලට කන් තියාගෙන ඉන්නවද කියලා. අපි අදටත් දන්නෙ නෑනේ ඔය කිව්වට ඔය බඩේ ඉන්න ළමයා අපේ පුතාගෙමද කියලා. ඔය වතුවල ළමයින්ට ලැජ්ජාවක් බයක් කියල දෙයක් නෑ. එක මිනිහෙකුට සීමා වෙච්ච ගෑනුත් ඕවයේ නෑ. පුතා විශ්වාස නොකලට මට හිතෙනවා මෑණියෝ මොනවම හරි කලා කියලා. මැනියෝ විශ්වාසෙන්ම කිව්වා මම හරි වෙලාවට හරි දේ කරලා දෙන්නම් කියලා”
ශ්‍රියාලතා එසේ පවසද්දීත් දෙවරක් තුන් වරක් කාමරයේ දොර හරිහැටි වැසී ඇත්දැයි ඕ එබිකම් කළාය. තමා මේ පවසන දෑ කිසිවෙකුට නොඇසෙන බව දැන සිටියත් ශ්‍රියාලතා වදන් පිට කළේ අසල වූ තම සැමියාටවත් හරි හැටි නොඇසෙන තරමට සෙමින්ය.
“කොහොමත් අපේ පුතා කියකියනේ හිටියේ ගොඩ යන්න ඕනනම් අවුරුදු දෙක තුනක්වත් පිටරටක වැඩ කරන්න ඕනේ කියලා. ඒ එද්දි මේ ගෑනිගෙන් නිදහස් වෙලා එන්න තිබුනොත් හොඳ වයස. දෙයියනේ කියලා අපිටත් ගැලපෙන අපේ දරුවටත් ගැලපෙන තැනකින් හොඳ කසාදයක් කරගන්න පුළුවන්.”
ශ්‍රියාලතා සිටියේ යළිත් බලාපොරොත්තු පොදි බඳින්නට පටන් ගෙනය. විනාඩි කිහිපයකට පසුව මුළුතැන් ගෙයට යද්දී ඈ දුටුවේ දහරා සුදු කැකුළු බතක් උයා මිරිසට හැදූ කුකුල් මස් ව්‍යංජනයක්, පරිප්පු හොද්දක් සමග බත් කන ආකාරය.
“අම්මි හවස කාමරේ නිදි අතරේ මං කඩේට ගිහිල්ල බඩු ටිකක් අරගෙන ආවා. හිතේ කොච්චර ප්‍රශ්න තිබුණත් දරුවා වෙනුවෙන් හරි කන්න ඕනනේ අම්මේ. අම්මටයි තාත්තටයි මං බෙදලා වෙන් කළා. මට හරි බඩ ගින්නක් ආවා. ඒක හින්දයි කන්න ගත්තේ.”
ශ්‍රියාලතා මේසය මත වූ වට්ටිය උඩට එසවූයේ ඈ එසේ පැවසුවාට පසුවය. වෙන වෙනම දීසි වලට බෙදූ බතුත් ව්‍යාංජනත් ඒ මත විය. පසෙක වූ පිඟානක් අතට ගන්නට ගිය ශ්‍රියාලතා ආපසු ඒ අත ඇදගත්තේ හදිසියේ යමක් සිහිවී ගෙනය. ඒ හා සමඟම මුළුතැන් ගෙයින් පිටවූයේ
“ඔය ළමයා අපිටත් එක්ක උයන්න ඕනේ නෑ. තමන්ට කැමති දෙයක් හදාගෙන කන එකයි තියෙන්නේ. මීට පස්සේ තාත්තටයි මටයි හරියන්න මං උයාගන්නම්.” යනුවෙන් පවසමින්ය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)


