“හෙට අනිද්දම කෙල්ල බලන්න ගිහිල්ලා එන්න ඕනේ අම්මේ. මනුජිත් හදිසියේ ඩුබායි ගියා කියලා කිව්වේ…”
සාමා අම්මාට එසේ පැවසූයේ වැඩ ඇරී පැමිණ නිවසට ඇතුළු වූ හැටියේමය. තවමත් නිට්ටාවට සුව නොවූ කැස්ස නිසා රීටා සිටියේ අපහසුවෙන්ය.
“එයාව බලන්නයි මල්ලිව බලන්නයි දෙකටම එකම දවසක නිවාඩුවක් දාගත්තනම් හරි.”
අම්මාගේ පිළිතුරක් බලාපොරොත්තු නොවීම සාමා යළිත් එසේ පැවසුවාය.
“උඹට පුළුවන්ද බං ඔය හිර ගෙවල් අස්සේ යන්න…”
බන්ධනාගාරය වූයේ හූවක තරම් දුරින්ය. එහෙත් සාමාට හෝ රීටාට එහි යන්නට උවමනාවක් තිබුණේ නැත. පසුගිය දෙවතාවේම ඔහු බලන්නට ගියේ මිතුරන්ය. එහෙත් එක් වරක් හෝ තම සහෝදරයා බලා එන්නට සාමාට උවමනාවක් වූයේ අද ඊයේක සිට නොවේ. සමහර දවසට පිරිමින් සේම ගැහැණුන්ද කුඩා දරුවන්ද සිරකරුවන් බලන්නට පෝළිමේ සිටින බව සාමා ඕනෑ තරම් දැක තිබේ. ඒ ගැන සිතාම ඇය බන්ධනාගාරය තුළට යන්නට සිතෙහි වූ බියක් සැකත් අතහැර දැමුවාය. සොහොයුරා මේ දඬුවම් විඳින්නේ නොකළ වරදකටය. මෙවේලෙහි ඔහුව තනිකිරීම වරදකි.
“ඒවයේ ඉන්නෙත් මිනිස්සු. එතෙන්ට යන්නෙත් මිනිස්සුනේ අම්මේ. අනික අපි කවුරුවත් නොගියහම මල්ලිට උනත් ඒක දුකක්නේ. අපි හැමෝම දන්නවනේ මේ එයා කරපු වැරැද්දකට හිරේ ගියා නෙමෙයි කියලා.”
“මට තවමත් හිතාගන්න බෑ බං කාටද එහෙම බලු වැඩක් කරන්න ඕන වුණේ කියලා. ඌ රස්තියාදු ගැහුවට කාටවත් වරදක් නොකරන බව මිනිස්සු දන්නවා”
“මිනිස්සුන්ට හතුරෝ ඇතිවෙන්න මිනිස්සු වැරදි කරන්නම ඕනෙ නෑනේ අම්මේ. ගෙදර ආවට පස්සේ එයාට කිව්වනං හරි ඔය රස්තියාදු ගගහා අතට හම්බවෙන රස්සාවල් කරන එක නවත්තලා උදේ හවස යන එන විදිහේ රස්සාවක් හොයා ගන්න කියලා…රණ්ඩු වලට පටලැවෙන්නෙයි කතන්දර අහන්න වෙන්නෙයි හිරේ විලංගුවේ ළඟින්න වෙන්නෙයි ඔය රස්තියාදුව හින්දනේ…”
“මං උඹත් එක්ක කාරණයක් ගැන කතා කරන්න හිටියේ..”
රීටා එසේ පැවසූයේ තත්පර කිහිපයක් කැස්සාට පසුවය. ඊයේ පෙරේදා සාමා අම්මාව රෝහලට කැඳවාගෙන ගියේ මේ කැස්ස සති කිහිපයක්ම නොකඩවා පැවති නිසාය. එය වෛරස් එකක් බවත් සුව වීමට කාලයක් ගතවන බවත් පැවසූයේ එහිදීය. හැකිතාක් ඇල් වතුරෙන් ඈත්ව සිටින ලෙස වෛද්‍යවරිය උපදෙස් ලබා දුන්නාය. රෙදි සේදීමේ කටයුතු සේම ඉවීමේ පිහීමේ කටයුතුත් සාමා ඇයට තහනම් කළේ ඉන් පසුවය. උදෑසන තමාට ආහාර සකසා ගන්නා ගමන් ඇය රීටාට අවශ්‍ය දහවල් ආහාරයත් සකසා තැබුවාය. වෙනදා සාමා නිවසට එන විට අම්මා රාත්‍රියටත් උයා අවසන්ය. එහෙත් සමා පසුගිය දිනවල ඉඳිආප්ප කිහිපයක් තෝසේ හෝ පාන්, පරාටා වැනි යමක් රැගෙන ආවේ ඇයට උයන්නට ඉඩ නොදීය. තුන් වේලට බත් අවශ්‍ය වන්නේ මල්ලීටය. ඒත් කට පිච්චෙන තරම් උණුවටය. දහරාටත් ඒ පුරුද්ද එලෙසින්ම විය. රාත්‍රියට අම්මා කෑම සකසන තුරු මාමාත්, දුවත් කිහිප වරක්ම මුළුතැන්ගෙයට එබී බලන අයුරු සාමා දැක තිබේ.
“අර ප්ලැට් එකේ මංගලිකා උඹට මතකද..මං හිතන්නේ උඹට වඩා අවුරුද්දක් දෙකක් බාල ඇති…”
“හ්ම් මතකයි. කසාද බැඳලා වැඩි කාලයක් ගියේ නෑ මනුස්සයා කැන්සර් එකක් හැදිලා නැති වුනානේ..”
“ඔව්… ඔව්….ඒකි මෙතනින් එහාට මෙහාට යද්දී කීප දවසක්ම උවමනාවෙන් ඇවිල්ලා මමත් එක කතා කරල ගියා. උඹ ගැනත් මගෙන් ඇහුවා. ඊයේ පෙරේදා මල්ලි හිරේ කියලා දැන ගත්තට පස්සෙත් කීප වතාවක්ම ආවා. අද මට බත් එකකුත් හදාගෙන ආවා.”
“ඒ මොකද ඒ…”
“මට හිතෙනවා බං මංගලිකගේ හිතේ මල්ලි ගැන අදහසක් තියෙනවා කියලා.”
“මංගලික මල්ලිට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් ඇති අම්මේ.”
“එහෙම උනහම මොකද දැන් ඉතින් මේකටත් හතළිස් එකක් වෙනවනේ. ආදරයෙන් සහයෝගයෙන් ඉන්න පුළුවන් නම් වයස මොකක්ද බං.”
“මල්ලියි මංගලිකයි අතර සම්බන්ධකමක් තියෙනවද අම්මේ.”
“මං හිතන්නේ එහෙම එකක් නෑ. මංගලික හිතේ තියන් ඉන්නවා වගේ. අපේ එකා ගැන හරියට දුක් වෙනවා, පසුතැවෙනවා. ඒකිඅත් අම්මව බලාගෙන පාඩුවේ ඉන්නවනේ. ඔය ගේත් ඒකිගේ නමට ලියලා තියෙන්නේ.”
“මල්ලිට හොඳක් වෙනවනං අපි මොකට අකමැති වෙනවද අම්මේ. එයා එනකං ඉඳලා හෙමිහිට කතාබහ කරලා බලමුකෝ. එයා කැමති වෙයිද කියලා කවුද දන්නේ?…”
“ඇයි බං මේ බඩ දරු ගෑනියෙක් දාලා අර මිනිහා හදිස්සියේ පිටරටක ගිහින් තියෙන්නේ. මිනිහෙක් එහෙම දමල ගහලා යන වෙලාවක්ද මේ. කෙල්ලට පිරිත් ටිකක් කියවන්නත් ඕනේ. ඒක ඒ මහ මිනිස්සු එක්ක කතාබහ කරගන්න වෙයි නේද..”
“ඔෆිස් වලින් යන්න කිව්වහම නොගිහිල්ල බෑනේ අම්මේ. මනුජිත් තමයිලු ඒ ඔෆිස් එකෙන් ඒ ගමනට තේරිලා තියෙන්නේ. විශ්වාසෙ හින්දනේ අම්මේ. මම ගිහිල්ලා කෙල්ලව බලලා විස්තර කතා කරගෙන එන්නම්.”
සාමා නිවස ඇතුළට ගියේ එසේ කියමින්ය. අද ඈ සිතාගෙන පැමිණියේ රාත්‍රී ආහාරයට පොල් රොටිත් ලුණු මිරිසුත් සාදන්නටය. මේ සුකුරුත්තන් කෑම වලට වඩා ආසා කළේ දහරාය. සාමා ඇදුම් උනා දමා දිය රෙද්දකට මාරු වූයේ දෑස් වල කඳුලක් මෝදු වද්දීය. ඇය සිහිව මේ දෑස් තෙත් වෙන වේලාවක් අවේලාවක් නොවේ.
“ගෑනු දරුවෙක් අනුන්ගේ වත්තක පිපෙන මලක් වගේ තමයි බං. ඕක කවද හිටියත් කෙල්ල යන්න ඕන ගමනක්නේ”
එසේ පැවසූයේ වැඩපළේ අක්කා කෙනෙකි. සාමා සිත හදා ගත්තේ ඔවුන්ගේ ඒ හිතවත්කම් සමගය.
**************
දහරා නිශාදි සමඟ රෝහලට යාමට සූදානම්ව එළියට එද්දී ශ්‍රියාලතා වූයේ ආලින්දයේය. උදෑසනත්, දහරා ඇයට තම ගමන ගැන පැවසුවාය. එවේලෙහිත් මෙවේලෙහිත් ‘හ්ම්’ කිව්වා මිසක ඊට වඩා වැටි දෙයක් ඈ නෑසුවාය.
“මම රමාෂ්ට එපොයිමන්ට් එකක් දැම්මා. සල්ලි ගෙවලා නිකං නෙමෙයි..”
දහරා පෙරදා රාත්‍රියේම මනුජිත්ට කෙටි පණිවිඩයක් යැවූයේ නිශාදිගේ වට්ස්ඇප් පණිවිඩය ලැබුණාට පසුවය. එහෙත් මනුජිත් මේ වනතුරුත් එය කියවා තිබුණේ නැත. දහරා ත්‍රී රෝද රථයක් නවතා ගත්තේ නිවස ඉදිරිපිටදීමය. තවත් විනාඩි කිහිපයකට පසුව නිශාදි බොරැල්ලට පැමිණෙනවායැයි පැවසුවාය.
අද දවසේ හමුවීම් පහකට වඩා බාර නොගන්නයැයි රමාෂ් පුද්ගලික රෝහලට පවසා තිබිණ. පස් වෙනියා ලෙස පරීක්ෂා කිරීමට නියමිතව තිබුණේ දහරාය.
ඔහු උදෑසන රජයේ රෝහලේ රෝගීන් පරීක්ෂා කර පුද්ගලික රෝහල වෙත එමින් සිටියේය. දහරාට සිදුව තිබුණේ විය යුත්තක් නොවේ. තමාගේ සිත මෙතරම් ඈ ගැන තැවෙන්නේ මන්දැයි රමාෂ් දින කිහිපයක් පුරාම සිතුවත් ඊට හරි හැටි පිළිතුරක් වූයේ නැත. පෙරදා රාත්‍රියේ ඔහු දුරකථන ඇමතුමක් දී අම්මා සමගද දහරා ගැන කතා කළාය. ඇයි පැවසූයේත් කිසිම යුවතියක ඒ අයුරින් රැවටිය යුතු නොවන බවය.
“මට මතකයිනේ මනුජිත් කොච්චර වද වෙවී දහරාගේ පස්සෙන් ආවද කියලා. එයාට එහෙම එෆෙයාර් එකක් පටන් ගන්න කියලා ලොකු උමනාවක් තිබුණේ නෑ. මටත් කම්මැලි හිතුණු වෙලාවල් වලදී මාවත් උනන්දු කරගෙන ඉස්සරහට ඇදගෙන ගියේ දහරා. මං ඔය කෙල්ලගෙන් ටොකු කාල ඇති අනන්තවත්. මං හිතන්නේ මනුජිත් මාස දෙකක් විතර දහරාගේ පස්සෙන් ආවා. ඕනෙම කෙල්ලෙක් ආදරේදී බොළඳයි රමාෂ්. දහරටත් පිරිමි ගැන ලොකු අත්දැකීමක් තිබුණේ නෑ. කාලයක් යද්දී එයා හිතන්න ඇති මනුජිත් තමයි එයාගේ මුළු ලෝකෙම කියලා. එයා ක්ලාස් කට් කර කර එහෙ මෙහේ ගියාට මේ තරම් දුර දිග ගිය සම්බන්ධයක් එයාල අතර තිබුණා කියලා මම දැනගෙන හිටියේ නෑ. පව් කෙල්ලට තිබුණු හීන මං හොඳටම දන්නවනේ. අන්තිමට සිද්ධ වුණේ හැමදාම හූල්ල හූල්ල ජීවත් වෙන්න. ඒකත් එහෙම උනා කියමුකෝ මනුජිත් ඉස්සර තිබුණු ආදරෙන්ම කෙල්ලව බාර ගත්තනම්. ඒ අපායේ මංනං එක තත්පරයක්වත් ජීවත් වෙන එකක් නෑ රමාෂ්. එයා කාටවත් නොකිය හිතේ හංගගෙන මොන තරම් දුක් විඳිනවද කියලා හිතාගන්නවත් බෑ.”
නිශාදී පවා පැවසූයේ ඒ අයුරින්ය.
රමාෂ් ඒ අතීතයේ ගොස් නතර වූයේ පුද්ගලික රෝහලේ රිය අංගනයේ වාහනය නතර කළාට පසුවය. රෝහල තුළට යාමට තවත් විනාඩි කිහිපයක කාලයක් ඉතිරිව ඇති නිසා ඔහු දෑස් පියාගෙන අසුනට හේතු වූයේ අසුන සුව පහසු වනසේ සකසා ගෙනය. කැනඩාවට පැමිණ කාලයක් ගතව යන තුරුම රමාෂ්ට අමතක කළ නොහැකි වූයේ සේකර වත්ත නොව දහරාගේ මුහුණය. තමාට ඒ කඳුළු පිරි දෑස් එතරම්ම මතකයේ තිබෙන්නේ ඇයි දැයි ඔහු සිතූ වාර අනන්තය. තමා අන් කිසිවෙකු දෙස නොව දහරා දෙස පමණක් බලා සිටි නිසා එසේ සිතෙන්නට ඇතැයි අවසන රමාෂ් තම සිත රවටා ගත්තේය. සේකර වත්තේ මිතුරන් පිරිසක් වුවත් ඔහුට හැමදාමත් හොඳම යාළුවෙකු වූයේ දහරාය. ශරීරයෙන් මදක් මහත් වූ නිසා තමාට තඩි දෙමළා යැයි පැවසූ කොල්ලන්ට ගහ ගහා පැන්නූයේ දහරාය. දහරාට වඩා වසර හතකින් පමණ වැඩි මහලු වුවද රමාෂ් සෙල්ලම් කරන්නට පැමිණියේ දහරා සිටි තැන්වලට පමණි. තමාට ආරක්ෂාව ඇත්තේ ඈ සිටි තැන්වලදී පමණයැයි රමාෂ් විශ්වාස කල කාලයක් විය. දහරාට විසදා ගත නොහැකි වූ තැන්වල රමාෂ් වෙනුවෙන් ඉදිරිපත් වූයේ ඇගේ මාමාය. කාලයත් සමඟ සිත් තුළ වූ මතක අළු යට සැඟවූ ගිනි පුපුරු මෙන් සැඟව ගිය බව සැබෑය. මල්ලිගේ ජීවිතය අහිමි කරන්නටත් තමන්ට හිමිව තිබූ සියල්ල විනාශ කරන්නටත් සැලසුම් කළ සේකර වත්තේ මිනිසුන් ගැන අප්පා හැමදාමත් කතා කලේ මහත් වූ කලකිරීමකින්ය. ඒ කලකිරීම සමස්ත වූ සිංහල වර්ගයා කෙරෙහිම පැතිර තිබිණ. ඒ කතා බහ රමාෂ්ගේ සිතෙහි තිබුණු සමහර මතක සඟවා තබන්නට සමත් විය. සමහර දවසක අම්මා නිශාදිගේ දෙමව්පියන් ගැන සේම සාමා නැන්දා රීටා ආච්චි ගැන කතා කළේ මහත් වූ පැහැදීමකින්ය.
“හැම ජාතියකම හොඳ මිනිස්සුත් ඉන්නවා. නරක මිනිස්සුත් ඉන්නවා..අපිට උන් හිටි තැන් අහිමි කළෙත් උන් අපිව බේරගත්තෙත් උන්ගෙම උන්….”
ඒ සෑම වතාවකම අප්පා එසේ පැවසුවේය. අම්මාගේත් අප්පාගේත් කැමැත්ත පරිදි ආපසු ලංකාවට පැමිණියත් සේකර වත්තේ වල දමා ආ මතක අලුත් කර නොගන්නට රමාෂ් සිතුවේය. මිනිසුන් එක තැන නතරව සිටින්නේ නැත. තමාට ඔවුනුත් ඔවුන්ට තමාත් ජීවිතයේ එක් කඩඉමකදී හමු වූ මිනිසුන් පිරිසක් පමණි. රමාෂ් කොළඹට පැමිණියේ විශේෂඥ වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය අධ්‍යාපන කඩඉම සම්පූර්ණ කිරීමටය. එහෙත් මේ අහඹු හමුව ඔහුව සසල කර තිබිණ. තමාගේ වෘත්තීය පැතිකඩ අනුව රමාෂ් යනු සියලුම ගැහැණු වර්ගයාට උපරිමයෙන් ගරු කළ අයෙකි. එහෙත් දහරා අද ඔහුට ඒ සියල්ලන්ටම වඩා විශේෂත්වයක්ව දැනිමින් තිබිණ.
(යළිත් හමුවෙමු ආදරයෙන් )


