අහස ගුගුරා

ඒ ගමේ මිනිස්සු කිව්වේ වැස්ස පටන් ගත්තේ අඟහරුවාදා උදේ පාන්දර කියලා.

 ඉර අවදි වෙන්නත් කලින්, කිසිම කුස්සියක කේතලය උතුරන්නත් කලින් තමයි වැස්ස වැඩ පටන් අරගෙන තිබ්බෙ. මුලින්ම ආවේ හුළඟ. හරිම හෙමින්, ඉවසිලිවන්තව, තාලෙට ආවෙ හරියට හැබෑ තාලෙ පටන් ගන්න කලින් පරණ, පුරුදු බෙරකාරයෙක් තමන්ගෙ අත් දෙක රත් කරගන්න බෙරේට තට්ටුවක් දානවා වගේ. ඉන් පස්සේ අහස කළු වුණා. ඉන්පස්සේ පළවෙනි බිංදුව බිමට වැටුණා. මිනිස්සු හිතුවේ ඒක මේ වෙනදටත් මේ කාලෙට වැටෙන සාමාන්‍ය මෝසම් වැස්සක් කියලා. හැබැයි ඒ පොද වැස්ස තද වුණා, හිතුවෙ නැති විදියට. කල්ප කාලාන්තරයක් තිස්සෙ එක්කහු කරගෙන උන්න වතුර ගංගාවක් පල්ලෙහට වක්කරනවා වගේ අහස උන්නෙ එක තප්පරේකටවත් නතර කරන්නෙ නැතුව අකල් වැස්සක් පොළොවට වක්කරන ගමන්.

ඒ වැස්ස කොච්චරද කිව්වොත් මේ පැත්තෙ ඉන්න මනුස්සයට කෙත් යායෙ එහා පැත්ත නොපෙනෙන තරම් ඒ වැස්ස දරුණු උනා, සැඩ උනා.  ඒත් වැස්ස දිගටම වැටුණා. වැටුණා. වැටුණා. බිම පෙරලුණා. කඳුවල හැප්පුණා. ගංගාවල් වලට පිස්සු හැදෙව්වා.

දෙවෙනි දවස වෙද්දී කෙත් යායවල් තිබ්බෙ විල් බවට පත් වෙලා. තවදුරටත් ඒ ගම මැදින් ගලං ගිය පාරවල් එතන තිබ්බෙ නෑ. ඒක දැන් තේ පාට ගංගාවක් වෙලා. ඒ තේ ගංගාව දිගේ මිනිස්සුන්ගෙ බඩු භාණ්ඩ, කොළ, ගස්, සත්තු, මිනිස්සු මුහුද පැත්තට පාවෙලා ගියා. ගෙවල් වල බිත්ති උන්නෙ ඒ වැස්ස දරාගන්න බැරුව, වතුර උරා බීපු බිත්ති පොළොවට සමතලා කරලා දාන්න පටන් අරගෙන. මිනිස්සු උන්නෙ කරකියාගන්න දෙයක් නැතුව.

ඒ ගමේ කෙළවරේ තිබ්බෙ කන්දක්. ඒ කන්දේ උඩම තිබ්බ පුංචි ගෙදරක උන්නෙ මාලා අම්මා. මාලා අම්මා එවෙලෙ උන්නෙත් මේ අකල් වැස්ස දිහා බලාගෙන “අනේ සංසාරෙ” කියලා කල්පනා කරන ගමන්. 

“මේක මේ මහ අකල් වැස්සක්. මං කවදාවත් නොදැක්ක විදියෙ ඉවරයක් නැති වැස්සක්” කියලා මාලාම්මා කියාගත්තෙ තමන්ට. මෝසම් වැහි කීයක් නම් තමන්ගෙ මේ වයසට තමන් ඇහින් දැකලා, ඇඟෙන් තෙමිලා ඇද්ද. ඒ උනාට මේ වැස්ස ඒ දැකපු වැහිවලින් එකක්වත් වගේ නොවිච්ච හන්දා මාලම්මගෙ කටහඬ තිබ්බෙ වෙව්ලන ගමන්.

“මේක දඬුවම් වැස්සක්. කවුරු හරි දෙවියන්ව තරහ කරගෙනද මන්දා.” කියලා මාලාම්මා ආයෙ කියාගත්තෙ තමන්ට උනාට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මුණුපුරා වෙච්ච රුවන් මාලාම්මා ළඟට ඇවිත් උන්නා.

“වතුර අපේ ගෙට ඒවිද?”

“කන්ද උඩට වතුර ආවොත් ඒවි”

“මේ කන්ද පුරවන්න තරම් වතුර අහසට තියෙනවද? අපි පාවෙලා යාවිද පහල මිනිස්සු පාවෙලා යනවා වගේ?” කියල බය පිරිච්ච ඇස්වලින් රුවන් අහද්දි ඒ පුංචි හිත තලලා දාන විදියෙ උත්තරයක් දෙන්න මාලාම්මාගෙ මනුස්සකම ඉඩ දුන්නෙ නෑ. ඒ හන්දා තමා එයා කිව්වෙ 

“අපි හරි විදියට නම් ඉන්නෙ, මොලේ පාවිච්චි කරලා නම් වැඩ කරේ, මේ කරදර වෙලාවෙත් එකට නම් ඉන්නෙ එහෙම වෙන එකක් නෑ” කියලා.

තුන්වෙනි දවස වෙද්දී ගමේ මිනිස්සු හැමෝටම කන්ද නැගලා මාලම්මලගෙ ගෙදෙට්ට එක්කහු වෙන්න සිද්ද උනා. ඒ වෙද්දි දවස් තුනක් එක දිගට වැස්ස වැස්සෙන් බේරිලා තිබුණෙ ඒ කන්දෙ කොටහක් විතරයි. ඒක තමයි හුස්ම ගන්න පුළුවන් කමක් තිබිච්ච එකම තැන වුණේ. බල්ලො පූසෝ, කබරො, තලගොයි, කුරුල්ලො පවා ඒ ගේ අස්සෙ එවෙලෙ එක්කහු වෙලා උන්නා. අනිකව කාලා දාවි කියලා බය වෙන ජාතියේ සත්තු පවා කිසි වෙනසක් නැතුව ඒ කරදර වෙලාවෙ අනිකට කරදර කරන්නෙ නැතුව එතන ලැගලා උන්නා. හැමෝම වෙවුලුවේ සීතලට නෙවෙයි, බයට. මේ වැස්ස කොහෙන් නවතීද, නවතින එකක් නැද්ද කියලා නොදන්නා බයට.

“අපිට බේරාගන්න කෙනෙක් එනකම් බලන් ඉන්න එක මහ මෝඩකමක්” කියලා කතාව මාලාම්ම පටන් ගත්තෙ තවදුරටත් බලන් උන්නොත් වෙන්නෙ මුලු කන්දම යට කරගෙන වතුර ගංගාව ගලන එක කියලා තේරිච්ච තැන. 

“දෙයියො අපිව බේරගනීවි” කියලා මෙච්චර වෙලා කිව්ව මිනිස්සු පවා උන්නෙ එවෙලෙ ඒ කතාවට ඔලුව වනන ගමන්. “මේ වෙලාවෙ නොපෙනෙන දෙයියෙන් ගැන විස්වාස කරනවට වඩා අපිට ලේසි පේන්න ඉන්න මිනිස්සු ගැන විස්වාස කරන එක. සමහර විට දෙයියො උනත් බලාගෙන ඇත්තෙ අපි එහෙම දෙයක් හරි කරනකම්” 

“වතුර හරිම ඉක්මනට වැඩි වෙනවා. අපි මොකක් හරි හදන්න ඕනේ. පාවෙලා මෙතනින් යන්න පුලුවන් විදියෙ දෙයක්.”

“අර පරණ කතන්දරවල තියෙනවා වගේ නැවක්ද?”

“ඔව්. නැවක් වගේ දෙයක් වෙන්න පුළුවන්. කන්ද උඩහා ඉඳලා මේ මඩ ගංගාව මැද්දෙ ගොඩබිමකට පවුල් ටිකයි, සත්තු ටිකයි අරගෙන යන්න පුළුවන් විදියෙ හයිය නැවක්. වෙන උදව් එනකම් බලන් උන්නොත් සමහර විට අපිටත් වෙන්නෙ මේ කන්ද පාමුල හැංගෙන්න.”

ඉතින් ඒ වැඩේ පටන් ගත්තෙ ඔන්න ඔය වචන එක්ක.

මිනිස්සු වැස්සේම මාලම්මගෙ ගේ වටේ තිබ්බ කොස් ගස්වල පුලු පුලුවන් අතු කැපුවා. ගෑනු අය පොල් ලෙලිවලින් ඒ ලෑලි එක්කහු කරලා ලණු ගැට ගැහුවා. කොල්ලො උරහිස් උඩ ලී පතුරු උස්සගෙන ගියා, මිනිස්සු මහන්සිවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරි තැන සත්තු පුලු පුලුවන් විදියට වැඩේට සම්මාදම් උනා. අලි ඇත්තු ලී ඉස්සුවා. බල්ලො එහෙම සත්තුන්ව අදාල අදාල තැන්වලට මෙහෙයෙව්වා.මේ හැමදේම මැද්දෙ අකල් වැස්ස තමන්ගේ අවසානයක් නැති, දයාවක් නැති වැහි නැටුව නැටුවා. 

අකල් වැස්ස දවස් අනන්ත ගානක් වැස්සට පස්සෙ, කන්දෙ මුදුන වතුරෙන් යටවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි නැව හදලා අහවර උනා.

“මුලින්ම නඟින්නේ කවුද?” කෙනෙක් ඇහුවා.

මාලම්මා වටපිට බැලුවා. දරුවො වඩාගෙන ඉන්න අම්මලා, දරුවො හම්බෙන්න ඉන්න අම්මලා, තරුණ කොල්ලො කෙල්ලො, මැදි වයසෙ මිනිස්සු, වලපයයි ගොඩපයයි තියාගෙන උන්න මිනිස්සු, සත්තු වගේ දහස් ගාණක තමන් දිහා බලාගෙන ඉන්නවා මාලම්මා දැක්කා.

“මුලින්ම පරිස්සම් වෙන්න ඕන අයව ඉස්සෙල්ලා නග්ගමු, තමන්ව බේරගන්න හයියක් නැති පොඩි දරුවො වගේ අය,” කියලා එයා කිව්වා.

අන්න එවෙලෙ තමයි මැදි වයසෙ උන්න මනුස්සයෙක් තරහෙන් වගේ ඉස්සරහට ආවෙ,

“ඉල්ලන ගාණක් දෙන්නම් මගේ ෆැමිලි එකේ අයට ඉස්සෙල්ලා නගින්න දෙන්න” ඒ විදියට එක එක ඉල්ලීම් ටිකෙන් ටික ආවා.

වැස්සක මැරිලා යන්න බැරි අය, අලුත කසාද බැන්ද අය, අපි ලොකු මිනිස්සු කිව්ව අය, පොඩි එකාට කවදාවත් තැනක් නෑ කිව්ව අය, උසස් කුලේ, පහත් කුලේ කියලා බෙදිච්ච අය වගේ ඉල්ලීම මහ ගොඩක් එද්දි මාලාම්මා උන්නෙ ඒ හැමදේම අහගෙන, බලාගෙන. වැස්ස තිබ්බෙ එන්න එන්න වැඩිවෙන ගමන්. තව ටිකකින් තමන්ට මේ නැවත් නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා මාලම්මා දැනන් උන්නා.

“පොළොව මුහුදක් උනාම, අහස බිමට කඩන් වැටුණම මනුස්සකමට වඩා හයිය වෙන කිසිම දෙයක් මේ ලෝකෙ තියෙන්න විදියක් නෑ” කියලා මාලම්මා කිව්වෙ අන්න ඒ හන්දා.

“ආච්චි, අපිත් ඔය බෝට්ටුවට යනවද?” කියලා රුවන් මාලම්මාගෙන් ඇහුවෙ එවෙලෙ. එයා උන්නෙත් වැස්සට බය වෙලා.

මාලම්මා රුවන් දිහාව බැලුවෙ හරිම මහන්සි වෙච්ච ඒත් මේ මහා සීතල වැස්සෙත් මනුස්සකමෙන් උණුහුම් වෙලා තිබිච්ච හිතෙන්. 

“අපේ වෙලාව ආවම අපි යමු. මුලින්ම අපි අනිත් අයට ඉඩ දෙමු.”

මිනිස්සු එකිනෙකාට නැවට නඟින්න උදව් කරන්න පටන් ගත්තා. හයිය තිබ්බ අය නැති අයව උස්සලා ගත්තා. අත පය හයිය තියෙන අය ආබාධිත අයව උස්සගෙන ගියා. තරුණයෝ දෙන්නෙක් ගැබ්බර අම්මා කෙනෙක්ට උදව් කළා. තව කෙනෙක් කවදාවත් වචනයක්වත් කතා කරලා තිබ්බෙ නැති, සීතලට ගැහි ගැහි උන්න වයසක මනුස්සයෙක් වටේ උණුහුමට සළුවක් එතුවා. පොඩි දරුවෙක් තමන්ගේ අතේ ඉතුරුවෙලා තිබ්බ අන්තිම විස්කෝතුව අඬන දරුවෙක්ට දුන්නා.

“මේ වෙලාවෙ අහසෙ සද්දෙට වඩා හයියෙන් ඇහෙන්නෝන, අහසට වඩා හයියෙන් වැක්කෙරෙන්නෝන මනුස්සකම” කියලා මාලම්මා කියද්දි කිසිම කෙනෙක් කුලය ගැන ඇහුවේ නෑ. සල්ලි ගැන. දේශපාලනය ගැන. ආගම ගැන කතා කරේත් නෑ.

කුණාටුව ඒ හැමදේම හෝදලා අරගෙන ගිහින් තිබුණා.

නැව අන්තිමට ඒ මහ ගංගාවට තල්ලු කරද්දී, මාලම්මා ලන්තෑරමක් පත්තු කරගෙන අන්තිමටම නැවට නැග්ගා. ඒ ලන්තෑරුම් එළීය මැද්දෙ ඒ මහා මනුස්සකමේ නැව මඩ වතුර ගංගාව මැද්දෙ හින් සැරේ පාර හොයන් පාවෙලා යන්න ගියා.

ඒ රෑ, අහස මේ මනුස්සකම දරාගෙන ඉන්න බැරුව වගේ තව තව සද්දෙට කෑගහද්දි මිනිස්සු නැව පරෙස්සමට තමන්ව ගොඩබිමකට අරගෙන යාවි කියලා බලාපොරොත්තු තියාගෙන උන්නා. ලන්තෑරුව දිවා රෑ වෙනසක් නැතුව උදා තාරකාවක් වගේ දැල්වුණා.

 ඒ මොහොතේදී මිනිස්සුන්ට මෙච්චර දවසක් කිසිම දේශනාවක්, පොතක්, වැඩිහිටියෙක් කවදාවත් තමන්ට ඇත්තටම උගන්වපු නැති දෙයක් තේරුම්ගත්තා. ඒ තමයි

“අහස කඩාගෙන වැටෙනකොට, අපිට ඉතුරුවෙන්නෙ මනුස්සකමේ හෙවණ” කියන එක.

හැම කුණාටුවක්ම අන්තිමට නවතිනවා. හැබැයි පාරවල් වේළිලා, වතුරෙන් වැහිච්ච කෙත් යායවල් ආයෙත් පණ ගහලා ගොඩක් කල් ගියාට පස්සේත්, මිනිස්සුන්ට මතක තිබුණා ඒ නැව හැදුවේ කොහොමද කියන එක. ශක්තිමත්ම අය නෙවෙයි, පොහොසත්ම අය නෙවෙයි, හයියෙන් කතා කරපු අය නෙවෙයි,  හැබැයි කරුණාවන්ත, මනුස්සකම පිරිච්ච අය එක්කහු වෙලා කියන එක.

ඉන්පස්සෙ අකුණු ගගහා වහින හැම වෙලාවකම අහස දිහා බලාගෙන කියන්න කතාවක් මිනිස්සුන්ට ඉතුරු වෙලා තිබ්බා.

“ඒ ගංවතුර දවසෙ අපේ ජීවිත රැකගත්තු සැබෑ නැව කියන්නේ, අපි ලී පතුරු අමුණලා හදපු මේ නැව නෙවෙයි.

ඒ නැව ඇතුළට ආව දයානුකම්පාව කියන මහා බලය, අසීමිත මනුස්සකම, සහ සහකම්පනය කියන විශ්වාසය.

ඕනම ආපදාවක් මැද්දෙ, තමන් යන ගමනෙදි අපිවත් හානියක් නැතුව ගොඩට එක්කහු කරගෙන යන්න පුළුවන් හදවත් තියෙන මිනිස්සු තමයි, අපේ සැබෑ ගැලවීමේ නැව වුණේ.”

 කියන එක.

More Stories

Don't Miss


Latest Articles