නිශාදිත් දහරාත් පුද්ගලික රෝහලට යද්දී රමාෂ් සිටියේ රෝගීන් පරීක්ෂා කරමින්ය. හෙදියක පැමිණ දහරාගේ බර කිරා බැලුවේ ඇය රෝහල් කාමරය තුළට යාමට ප්‍රථමවය.
“මට ආපහු හැරිලා දුවන්න හිතෙනවා.”
දහරා පැවසූයේ යෙහෙළියගේ කනට කරය.
“ඇයි….අපි පෙන්නන්න ආවේ ඩොක්ටර් කෙනෙක්ට.”
“ඒ උනාට ඒ ඩොක්ටර් රමාෂ්නේ.”
“කවුරු උනහම මොකද”
“ඔයාට තේරෙන්නෙ නෑ මට දැනෙන අපහසුතාව.”
“දහරා රමාෂ් කෙනෙක් දැනගෙන හිටියේ අපි පුංචි කාලේ. දැන් මේ ඉන්නේ ඩොක්ටර් කෙනෙක්. එයා ඔයාටයි මටයි හිතවත් වෙන්න පුළුවන්. හදිසියේ ලංකාවේ ඉන්න එකම වී ඕ ජී ඩොක්ටර් මෙයා උනානම් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි උඹට රමාෂ් ළඟට එන්න සිද්ධ වෙනවනේ. ඒ ගැන හිතන්න එපා. මම ඉන්නවනේ…”
නිශාදි පැවසූයේ යෙහෙළියක ඒ අතැඟිලි තම අතැඟිලි වලින් තද කරගෙනය. ඔවුන්ට අවස්ථාව උදා වූයේ තවත් ගැබිණි කාන්තාවක පරීක්ෂා කළාට පසුවය.
“අදට එපොයිමන්ට් ඉවරයි. මේ අන්තිම එපොයිමන්ට් එක.”
හෙදිය පැවසූයේ හිනැහෙමින්ය. ඒ නිශාදි ඇගේ දුරකථනයේ වූ බිල්පත හෙදියට පෙන්වූවාට පසුවය.
දහරා රෝහල් කාමරයට ඇතුළු වූයේම යෙහෙළියගේ අත තදකර අල්ලා ගෙනය. මේ ඇයට නුහුරු නුපුරුදු අයෙකු නොවේ. වසර ගණනකට පසුව අහම්බෙන් ඔහුව හමුවද්දී දහරාගේ සිතට දැනුනේ සතුටකි. එහෙත් ඒ සතුට මෙවේලෙහි වියැකී ගොස් තිබිණ. ඒ ඔහුව හමු නොවුනානම් යැයි සිතෙන තරමටමය. ඇයට තමා ගැනම මහත් වූ අනුකම්පාවක් දැනෙමින් තිබිණ. අද ඔහු අසලට එන්නේ වැඩිවිය පැමිණි දා පටන්ම තමාගේ ආත්ම ගරුත්වයත් ගෞරවයත් ගැන සිතූ ගැහැණිය නොවේ. ජීවිතය වරදාගත් ගැහැණියකි. ඒ ලැජ්ජාව, දුක, සාංකාව සිතෙහි වූයේ උපරිම තලයකය.
“කොහොමද…දෙන්නම ඉඳගන්න ඉතින්……”
රමාෂ්ම පැවසූයේ වෙනසක් නොපෙන්වාය. කාමරයේ දොර ඇරුණු පසු ඔහු මුලින්ම දුටුවේ දහරා නිශාදිගේ දකුණත මිරිකාගෙන අල්ලා සිටින ආකාරයයි. ඇගේ සිතෙහි වන චකිතය රමාෂ් හරිහැටි වටහා ගත්තේ එවේලෙහිය.
“රමාෂ් එපොයිමන්ට් පහක් වගේද හැමදාම ගන්නේ.”
“අපෝ නෑ. කොහොමටත් විස්සක් බලනවා. සමහර වෙලාවට හදිසියේ දුවගෙන එන එක්කෙනෙක් දෙන්නෙක් වැඩි වෙනවා.”
“මෙහේ විතරද ප්‍රයිවට් කරන්නේ…”
“ඔව් දැනට…මම කොළඹ ආවේ තව ටිකක් ඉගෙන ගන්න බලාගෙන.”
“ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක්ද…?”
“ඔව්…”
“දෙන්න බලන්න දහරාගේ ෆයිල් එක..”
සිනහ මුසුව නිශාදිට පිළිතුරු දුන් ඔහු ඊළඟට හැරුණේ දහරා දෙසටය. ඇය තමා අත වූ ෆයිල් කවරය ඔහු වෙත දිගු කළාය. එහි වූ වෛද්‍ය සහතික විනාඩි කිහිපයක් පරීක්ෂා කලාට පසුව ඔහු ඇය වෙත හැරුණේ නළලත රැළි කරගෙනය.
“දිගින් දිගටම දහරා හොඳ බරක ඉඳලා නෑ නේද. තව සති දහ තුනක් තියෙනවා. ඒකට මොනවා හරි කරන්න වෙනවා දහරා. දහරට මං කියන දේ තේරෙනව නේද. ඔයාගේ ශක්තිය, නිරෝගිකම බබාට විතරක් නෙමෙයි බබා හම්බවෙන්න යද්දි ඔයාටත් බලපානවා. මොකද දරුවා නෝමල් විදිහට මේ ලෝකෙට බිහි කරන්න අම්මගේ කාය ශක්තිය බොහොම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් ඩොක්ටර්ස්ලා සීසර් සැත්කමකට යයි.”
“මෙයාට කන්න ඒ ගෙදර කන්න තියෙන්න එපැයි. ඒ මිනිස්සු පරිප්පු ඇටෙනුත් රොටි පුච්චන ජාතියෙ මිනිස්සු.”
නිශාදී එසේ පවසද්දී දහරා ඈ දෙස රවා බැලුවාය. ඇයත් සමග ජීවිතයේ තතු බෙදා ගත්තාට ඇය මනුජිත්ගේ හෝ ඔහුගේ නිවසේ අයගේ වැරදි පිටස්තර කිසිවෙකු හා පවසනවාට දහරා කැමති වූයේ නැත.
“අනිත් එක තමයි දහරා බබාට ඔයාගෙන් ලැබෙන පෝෂණය මදි වෙනකොට එයා උපදින්නේ අඩු බර ඇති දරුවෙක් විදිහට. ඔයා මේ ගන්න හැම කෑමකම පෝෂණය එයාට යන්නේ බොහොම සුළු වශයෙන්. හැබැයි ඒ සුළු වශයෙන් එයාට යන පෝෂණය හරි වැදගත්. අඩු බර දරුවෙක් විදිහට එයා ඉපදුනොත් අපිට අවදානම් කාරණා කිහිපයකට මුහුණ දෙන්න වෙනවා. එකක් තමයි දහරා එයා කුසේ ඉන්නකොට සිද්ධ වෙන මොළේ වර්ධනය ඒක තමයි බොහොම වැදගත්. ඒකට සායනයෙන් ලබා දෙන විටමින් වර්ග වගේම ඔයාගේ මානසික සුවතාවයන් බලපානවා. මොළේ වර්ධනය අඩු දරුවෙක් විදිහට එයා ඉපදුනොත් ඒකෙන් ඔයත් දරුවත් දෙන්නම අපහසුතාවයට පත්වෙනවා.”
“මෙයාට මේවා අපි කියලා දුන්නට ඇහුවෙ නෑ රමාෂ් හොඳ වෙලාවට ඔයා මෙතනටට ආවෙ. අපිට ඩොක්ටර් සහතිකය නැතිවුණාට අපිත් දන්නවා මිනිස්සුන්ට වෙන දේවල්.”
“දහරට ඉතුරු ටික කියලා දෙන්න මට යාළුවාව එළියට දාන්න වෙනව දහරා. කරන්න දෙයක් නෑ…”
රමාෂ් එසේ පැවසූයේ සිනහසෙමින් වුවත් ඔහු නිශාදි දෙස බලා ඇසක් ඉඟි මැරුවේ පිටතට යන ලෙස අඟවන්නටය. මෙහි පැමිණෙන්නටත් පෙර ඔහු නිශාදිගෙන් ඒ ඉල්ලීම කර තිබුණේය. රෝහල් කාමරයට පැමිණියාට පසුව ප්‍රථම වතාවට දහරා රමාෂ්ගේ මුහුණ දෙස කෙලින් බලා හිනැහුණාය.
“මේවා අහන් හිටියොත් මටත් කසාද බඳින්න හිතෙන එකක් නෑ. ඒක නිසා මං කෝකටත් එළියෙන් ඉන්නම්.”
නිශාදි පුටුවෙන් නැගී සිටියේ එසේ පවසමින්ය. දහරා ඇයව නවතා ගන්නට අනෙක් පස හැරුනත් යළි රමාෂ් දෙසට හැරීමට සිදුවූයේ ඔහු, ‘ඊළඟ කාරණය තමයි දහරා…’ යනුවෙන් පවසමින් කතාව පටන් ගත් නිසාය.
“ඔයාගේ දරුවා මන්දපෝෂණයට ගොදුරු වෙන්න තියෙන ඉඩ වැඩියි. තවත් කාරණයක් දහරා ඔයා දරුවා ලැබුණට පස්සේ එයාට හොඳට කිරි දෙන්න ඕනේ. ඔයාගේ ක්ලිනීක් එකේ ඩොක්ටර් මෙන්න මේ රතු පාටින් සඳහන් කරලා තියෙන්නේ ඔයාට සමහර වෙලාවට ලේ දෙන්න වෙයි කියන එක. එතකොට ඔයාගේ ඩිලිවරි එකක් කරන ඩොක්ටර් ඒකට සූදානම් වෙනවා. ඔයාගේ මේ ක්ලිනික් කාඩ් එකේ අවදානම් කියලා සීල් එකක් ගහලා තියෙන්නේ නිකමට නෙමෙයි. මං එතෙනදි කියන්න උත්සාහ කළේ දහරා ඔයාට අඩු බර දරු උපතක් උනොත් එයාට හොඳට කිරි දෙන්න ඔයා නීරෝගීව, ශක්තිමත්ව ඉන්න ඕනේ.
මෙතනදී ඊලඟට පැහැදිලි කරන්න ඕන කාරණාව තමයි ඔයාගේ බබාව බේබි රූම් එක වගේ තැනකට දාන්න සිද්ධ උනොත් එයාට කොච්චර කාලයක් එතන ඉන්න වෙයිද කියන එක ගැටළුවක් වෙනවා. සමහර වෙලාවට අම්මව ඩිස්ටාර්ජ් කරලා දරුවට දවස් ගානක් හොස්පිට්ල් එකේ ඉන්න වෙලාවල් තියෙනවා. ඒක හරි අපහසුවක් දහරා. සමහර අවස්ථාවල දරුවට විෂබීජ යන්න පුළුවන් ප්‍රවණතාවය වැඩියි. මට විශේෂයෙන්ම ඕන වුනේ ඔයාගේ පෝෂණය වැදගත්කම ඔයාට කියලා දෙන්න. මොකද මේ හැම අවධානමක්ම දරන්න වෙන්නේ අන්න ඒ එකම කාරණය නිසා.
අනිත් කාරණය තමයි දහරා අපි හැමෝටම අපි ප්‍රාර්ථනා කරන විදිහටම ජීවත් වෙන්න ලැබෙන්නෙ නැහැ. අපිට මේ ජීවිතයේ අපි නොහිතන ඉන්සිඩන්ට් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ජීවත් වෙනවා කියන්නෙම ඒ හිත් රිදීම් ප්‍රශ්න මත ගැටුම් එක්ක හැප්පෙන එක. මං දන්නව දහරා හිත ඇතුලෙ දරාගෙන ඉන්න ගොඩක් දේවල් නිශාදි එක්ක කතා කරනවා කියලා. ඇත්තමයි වෙලාවකට මට මේ යාළුකම ගැන හරි පුදුමයි. දහරා විශ්වාස කරනවද අදටත් මට හොඳ යාළුවෙක් නෑ කියලා.”
දහරා යලිත් හිස ඔසවා ඔහු දෙස බැලුවේ එවේලෙහිය.
“ඒක අනේ මන්දා දහරා..කැනඩාවලදී මට හම්බුනේ හැමතිස්සෙම තමන්ගේ ඒම් වලට යන්න උත්සාහ කරන මිනිස්සු විතරයි. අනිත් කෙනා වෙනුවෙන් කතා කරන අනිත් කෙනා වෙනුවෙන් ජීවත් වෙන අනිත් කෙනා වෙනුවෙන් තමන්ට යුතුකමක් තියෙනවා කියන හිතන මිනිස්සු එහේ හිටියේ නෑ. දන්නෙම නැතුව මමත් අනිත් අයත් එක්ක කතා බහ කරලා හිනාවෙලා සතුටින් ඉන්න පුරුදු වුනා මිසක්කා හොඳම යාළුවෙක් හොයන එක අත්හැරලා දැම්මා. ඊට පස්සේ මම හුරතල් සත්තු හදන්න පුරුදු වුනා. සමහර වෙලාවට මං පැය ගානක් එයාලා එක්ක කියව කියවා හිටියා.”
“ඔව් සමහර තැන්වලදී නිශාදි මට හිටියේ නැත්නම් මම මේ තරමින්වත් හිත හදාගෙන ජීවත් වෙන්නේ නැතිවෙයි.”
“දහරා මං ගැන වැරදියට හිතන්නෙ නැත්තං මං ප්‍රශ්නයක් අහන්නද. මං මේක අහන්නේ එදා අපි දෙන්න අතර තිබුණු යාළුකම ළඟ නතර වෙලා.”
“මොකක්ද…”
“ඔයාට අනුමානයෙන්වත් හිතා ගන්න පුළුවන්ද හස්බන්ඩ් ඔයාව මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න හේතුව. මං එහෙම අහන්නේ සමහර වෙලාවට මිනිස්සුන්ට එක එක ප්‍රශ්න තියෙනවා. කාටවත් කියාගන්න බැරි වෙන කතන්දර තියෙනවා.”
“ඒකට එයා හරි උත්තරයක් දෙන්නේ නෑ රමාෂ්. වෙලාවකට කියනවා සේකර වත්තෙන් ගෑනියෙක් ගේන්න අදහසක් තිබුණෙ නෑ කියලා. තවත් සමහර වෙලාවකට කියනවා මෙච්චර ඉක්මනට එයා තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටියේ නෑ කියලා. තවත් සමහර වෙලාවක කියනවා එයාට හීන තිබුණා එයාගේ ජීවිතේ ඒම් එකක් තිබුණා ඒ හැමදේම මම නිසා එයාට මරල දාන්න සිද්ධ වුනා කියලා.”
“ඔයාට හිතෙන්නෙ නැද්ද දහරා ඔයාගේ ආදරේ කොතනක හරි අඩුවක් තිබුණා කියලා. හොඳ සබඳතාවයක් කියන්නේ කොන්දේසි විරහිතව අපි එකිනෙකා වෙනුවෙන් පෙනී හිටින එක.”
“එහෙම දැනුනත් මට ආපහු හැරෙන්න බෑ රමාෂ්…”
දහරා උන්නේ මේසය මත වූ ෆයිල් කවරය කොනිති ගසමින්ය. නිශාදි ඔහු හා සියල්ල පවසා ඇත. එනිසාම සත්‍ය සැඟවීමෙන් පලක් නොවේ. මේ ටිකෙන් ටික අවදිවන්නේ ඇගේ සිතයි.
“ආදරේ කියන්නේ අපි හැමෝම හරි ලෝභ සිතුවිල්ලක් දහරා. මිනිස්සු ආදරේ දී ආත්මාර්ථකාමී වෙන්නේ අහිමි කරගන්න බය ඒ සිතුවිල්ල නිසා. මං කවදාවත් දහරා වැරදියි කියලා කියන්නේ නෑ.”
“ඇත්තටම මට එයා නැතිවෙයි කියලා බය හිතුණා රමාෂ්…”
ඕ පැවසූයේ උගුරෙන්ය. ඒ ලෝභකම රමාෂ්ටත් බෝ වූවා සේය. තත්පර කිහිපයක් ගතව යනතුරු ඔහු දහරා දෙස බලා සිටියේ ඇයි පිල්ලමක්වත් නොගසමින්ය. මේ දැනෙන්නේ වෙනදා හුරු පුරුදු හැඟීමක් නොවන බව විශ්වාසය.
(හමු වෙමු ආදරයෙන්….)


