කෛලාශ් මන්දාකිණි කියූ මං සලකුණු ඔස්සේ ඇයට අයත් නිවාස සංකීර්ණය දෙසට වාහනය පැදවූයේය.බිම් මහලේ පිහිටි වාහන අංගනයේ වාහනය නැවැත්වූ කෛලාශ් ඉන් බැස විත් වාහනයේ අනෙක් පස දොර විවෘත කර මන්දාකිණි ඉන් බසින තුරු බලා උන්නේය.
” මම මෙහෙම කියන එක හරි නෑ, ඒත් ශෙනාල් ට මොකක් වෙයිද කියල ඔයා හිතන්න යන්න එපා මන්දාකිණි. මොකද පබ්ලික් ප්ලේස් එකක ඔයාගේ කනට ගහනකොට එයා හිතුවෙ නෑනෙ ඔයාට මොකක් වෙයිද කියලා. “
පැය භාගයකට පමණ පෙර කෛලාශ් පැවසූ වදන් සිහියට නගා ගනිමින් මන්දාකිණි වාහනයෙන් බැස දොර වසා දැම්මාය. කෛලාශ් තම අතේ තිබූ වාහනයේ ස්වයංක්‍රීය යතුරෙන් වාහනය අගුලු ලා යතුර මන්දාකිණි වෙත දිගු කළේය.
” ඔයා ගෙදර යන්නේ කොහොමද කෛලාශ් ?”
” කැබ් එකක් දාන් යන්න පුලුවන් මට. මම මේ වාහනේ ඩ්‍රයිව් කරාට මට මෙහෙ ලයිසන් නෑනේ තාම ”
කෛලාශ් සිනාසෙමින් කීවේය.
” එහෙනම් මෙච්චර දුර ආව එකේ ඔයා මගේ වාහනේ අරගෙන යන්න කෛලාශ් “
” මට මේක මැනේජ් කර ගන්න පුලුවන් මන්දාකිණි. ඔයා ගෙදරට යන්නකෝ.තනියම උඩට යන්න පුළුවන්ද ? ”
මන්දාකිණි මොහොතක් කල්පනා කළාය. සවස් යාමයේ සිදු වුනු සිදුවීමෙන් දැනුනු කම්පනය සහ වේදනාව තවමත් හදවතේ එලෙසින්ම ඇත. අද වැනි දිනක පාළු නිවසක රැය පහන් කිරීම තමාට බොහෝ අසීරු වනු ඇතැයි මන්දාකිණි සිතුවාය.
” කෛලාශ් “
මන්දාකිණි සෙමෙන් මිමිණුවේ කෛලාශ් දෙසට හැරෙමිනි.ඇය යමක් පවසන තුරු කෛලාශ් බලා උන්නේය.
” ගෙදර කවුරු හරි ඔයා එනකන් බලා ගෙන ඉන්නවද? “
” නෑ.ඇයි ?”
කියන්නට අවැසි දෙය කියා ගන්නට නොහැකිව මන්දාකිණි තවත් කාලය ගත කළාය.
” මං මේ… අහන්න හැදුවේ “
” මොකද්ද ? ”
” කරදරයක් නැත්තං.ඔයාට අද රෑ මෙහෙ ඉන්න පුළුවන්ද ? “
මන්දාකිණි ආයාසයෙන් මිමිණුවාය.
” මං ඉන්නම් මන්දාකිණි .ඒත්.. එහෙම හිටියට කමක් නැද්ද? මං අහන්නේ ඔයාට? ”
” මට කමක් නෑ.මට අද රෑ ගෙවා ගන්නයි ඕනේ”
මන්දාකිණි කීවේ හදවතට දැනෙන අනාරක්ෂිත බව දරා ගත නොහැකිව මය. මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත සිදුවීම හමුවේ තමා අසලින් හිඳ මෙතෙක් වේලා තමාව ආරක්‍ෂා කල කෛලාශ් මේ අඳුරු රාත්‍රිය ගෙවී යන තුරු තව දුරටත් තමා අසල සිටිය යුතු යැයි හැඟීමක් මන්දාකිණි හට දැනෙමින් තිබුණි.
කෛලාශ් ට මන්දාකිණි කෙරෙහි ඇති වූයේ අතිශය අනුකම්පාවකි.ඇයට මේ මොහොතේදී කාගේ හෝ අත්වැලක් අත්‍යවශ්‍ය බව සිතමින් කෛලාශ් මන්දාකිණි සමඟ විදුලි සෝපානයට නැඟුණේය. මන්දාකිණි අත වූ අත්බෑගය දෑතින්ම ලයට තුරුළු කර ගෙන දස වැනි මහලට යන්නට විදුලි සෝපානයේ බොත්තම එබුවාය.අනතුරුව ඇය විදුලි සෝපානයේ මුල්ලකට හේත්තු වී තදින් දෑස් පියා ගත්තාය.
දසවැනි මහලට පැමිණි විදුලි සෝපානය සීනු නාදයක් සමඟ නතර වෙද්දී මන්දාකිණි තිගැස්සී දෑස් හැර බලා විවෘත වී තිබෙන සෝපානයෙන් පිටතට පියවර තැබුවාය.කෛලාශ් ඇය පසුපසින් ගොස් ඇය අත් බෑගයේ වූ , නිවසෙහි යතුර ගෙන දොර විවෘත කරන තුරු බලා උන්නේය.
දොර විවෘත කළ මන්දාකිණී දීර්ඝ සුසුමක් හෙලමින් නිවසට ඇතුළු වූ අතර කෛලාශ් ද ඇය පසුපසින් නිවසට ඇතුළු වී දොර වසා දමා අගුලු දැම්මේය.මන්දාකිණි අඩියට දෙකට ගොස් අත් බෑගය පසෙක තබා සෝෆාවට බර වී නැවත දෑස් තදකර පියා ගත්තාය.
Elegant space By Mandi ආයතනයට ඇතුළු වන විට දැනෙන සෞම්‍ය සුවඳ නිවස පුරාද නොඅඩුවම දැනෙමින් තිබුණි.ආයතනය මෙන්ම පිළිවෙල,පිරිසිදු නිවස පුරා බැල්මක් හෙලූ කෛලාශ් ට මන්දාකිණි කෙරෙහි කියා ගත නොහැකි වූ තරමේ ශෝකී හැඟීමක් දැනෙමින් තිබුණි. මෙතරම් සුඛෝපභෝගී නිවසක්, අවශ්‍ය තරමින් ආදායමක් ලැබෙන ආයතනයක් සහ සුවපහසු ජීවිතයක් ලැබී තිබියදී ඇයට නිදහසේ ජීවත් වන්නට අවස්ථාව අහිමි වී තිබීම අවාසනාවක් නොවේ දැයි කෛලාශ් කල්පනා කළේ මන්දාකිණි පෙනෙන මානයෙන් වාඩි වන අතරේය.
දෑස් තද කර පියා හුන් මන්දාකිණි එක වරම වේගයෙන් හුස්ම ගන්නට ආරම්භ කර මුව තද කර ගෙන තප්පර කිහිපයක් හිඳ දෑස් හැර බලා කෑ ගසා හඬන්නට පටන් ගත්තාය. ඇගේ එම අනපේක්ෂිත හැසිරීමෙන් කලබලයට පත් වූ කෛලාශ් ක්ෂණිකව ක්‍රියාත්මක වී වාඩි වී සිටි තැනින් නැගිට මන්දාකිණි අසලින් වාඩි වී ඇගේ අතකින් තදකර අල්ලා ගත්තාය.
” ඇයි කෛලාශ් මට මෙහෙම උනේ ? ඇයි මටම? මං මේ ලෝකෙ කාටවත් වැරැද්දක් කරලා නෑ කෛලාශ්. අඩුම ගානෙ ශෙනාල් ට වත්. එයා ඉල්ලන හැමදේම දුන්නා මිසක් මං කවදාවත් එයා ගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ. මේ ගේ ඇතුළෙදි ඕන තරම් මං එයාගෙන් ගුටි කාලා තියෙනවා. ඔයා දන්නවද? මේක මගේ ගෙදර වෙලත් එයා මාව ගෙදරින් එළියට මම වාහනේ නිදා ගත්ත දවසකුත් තිබුණා. ඇයි මට එහෙම උනේ කෛලාශ් ?”
මන්දාකිණි කෑ ගසා හඬන අතරතුරේ බොඳ වූ හඬින් කීවාය. කෛලාශ් හට ඇයව වැළඳ ගන්නට තරම් සිතිවිල්ලක් පහළ වුවත් ඔහු එසේ නොකර සිටියේය.
” ඔයා අඬන්න මන්දාකිණි. ඔයා ගේ හිතේ තියෙන ඕනෙම දෙයක් කියන්න. එළි වෙනකම් හරි මම මෙතන ඉන්නවා ඔයා කියන දෙයක් අහන්න. ඔයාට ඇති කියලා හිතෙන කම් අඬලා ඔයා ගේ හිත අද නිදහස් කර ගන්න. හැබැයි ඊට පස්සේ ඔයාට අඬන්න බැහැ “
කෛලාශ් කීවේ මෘදු, එහෙත් ස්ථිර බවකිනි.අනතුරුව මන්දාකිණි හට රිසිසේ හඬා වැටෙන්නට හැර කෛලාශ් ඇය අසලටම වී බලා උන්නේය. පැය භාගයක් පමණ ගත වූ පසු මන්දාකිණි ගේ හැඩීම බිඳෙන් බිඳ අඩු වී ගිය අතර ඇය හුන් තැනින් නැගිට විවෘත මුළුතැන්ගෙය වෙත ගොස් ශීතකරණය විවෘත කර සිසිල් වතුර බෝතලයක් ගෙන එක හුස්මට පානය කළාය.
” කෝපි එකක් බොමුද කෛලාශ් ? ”
මන්දාකිණි සාලයේ වාඩි වී තමා දෙස බලා හිඳින කෛලාශ් ගෙන් ඇසුවේ විදුලි කේතලයට වතුර පුරවන අතරේය. කෛලාශ් මදහසක් ඇතිව පැමිණ නවීන මුළුතැන්ගෙයට පිවිස වටපිට බැලුවේය.
” හරිම පිළිවෙලයි. ඔයා ගේ ඔෆිස් එක වගේම “
මන්දාකිණි නාසය උඩට ඇද සුසුමක් හෙළුවාය.
” ඔව් කෛලාශ්. මේ හැමදේම පිළිවෙලයි.මගේ ජීවිතේ ඇරෙන්න “
කෛලාශ් කිසිවක් නොකියා මන්දාකිණි ගේ හිත හැදිය යුත්තේ ඉතා ප්‍රවේසමෙන් සහ පියවරෙන් පියවර බව පමණක් සිතුවේය.මන්දාකිණි ඉහල වූ කබඩ් එකක් හැර කෝපි, සහ සීනි ඇතුලත් වීදුරු බෝතල් දෙකක් ගෙන මුළුතැන්ගෙයි කවුන්ටරය මත තබා සුදු පැහැ මග් දෙකක්ද තැබුවාය.අනතුරුව තවත් කෝප්පයක් ගෙන ශීතකරනයේ වූ එළකිරි පැකට්ටුවකින් කෝප්පයක් පුරවා එය මයික්‍රෝවේව් යන්ත්‍රය තුළට දමා එය ක්‍රියාත්මක කර බලා උන්නාය.
තප්පර තිහකට පසුව මයික්‍රෝවේව් යන්ත්‍රය නතර වූ බව හැඟවෙන සංඥාව කිහිප වරක්ම නිකුත් වුවද මන්දාකිණි නිසොල්මනේ ඒ දෙස බලා උන්නාය.
” මන්දාකිණි ”
මයික්‍රෝවේව් යන්ත්‍රය දෙස බලා ගෙන වෙන කල්පනාවක හිඳී මන්දාකිණි එක වරම තිගැස්සී මයික්‍රෝවේව් යන්ත්‍රයෙ වූ රත්වූ කිරි කෝප්පය අතට ගෙන එය කවුන්ටරය මතින් තැබුවාය.
” ඔයා ඉන්න.මම කොෆී හදන්නම් “
මන්දාකිණි යන්තමින් හිනැහී කෛලාශ් දෙස බැලුවේ පුදුමයෙනි.
” ඔයාට පුළුවන්ද? ”
” මොකද බැරි ? මගේ අම්මා මට ඒවා උගන්නලා තියෙන්නේ හරිද? ”
කෛලාශ් සිනාසෙමින් කෝපි කෝප්ප දෙකක් සකස් කර එකක් මන්දාකිණි අත තැබු අතර මන්දාකිණි දුම් දමන කෝප්පයෙන් කෝපි උගුරක් තොල ගා බැලුවාය.
” වාව්.. ඔක්කොම හරි ගානට තියෙනවා “
” ඒකනේ කිව්වේ ”
” බැල්කනියට යමු කෛලාශ් “
මන්දාකිණි සාලයේ වූ විශාල වීදුරු දොරවල් දෙක විවෘත කළ අතර ඉන් නිවස තුළට හමා ආවේ සීතල සුළඟකි. මන්දාකිණි ඒ මැදින් දීර්ඝ හුස්මක් ගෙන බැල්කනියේ වූ පුටුවක් මතට වාරු වූවාය.
” මං හැමදේම අලුතින් පටන් ගන්න ඕනේ කෛලාශ් “


