මතකයක සේයා – 38

0
75

” මගෙ පුතාව හිරේ වැටෙන්න ඇරලා උඹට එහෙම ලේසියෙන් අත පිහ දාගන්න පුළුවන් වෙයි කියලා හිතුවද?”

එසේ කියා කෑ ගසමින් මන්දාකිණි ගේ නිවසට කඩා වැදුණු ශෙනාල් ගේ මව අනතුරුව විමසිල්ලෙන් බැලුවේ සෝෆාවේ කොන් දෙකක වාඩි වී සිටින මන්දාකිණි ගේ දෙමව්පියන් දෙදෙනා දෙසය.

” හහ්. මහා උන්දලා දෙන්නත් ඉන්න එක හොඳයි මෙතන දෝණියැන්ද ගේ වැඩ ගැන දැන ගන්න “

සුසිලා ඉදිරියට විත් අනවසරයෙන්ම සෝෆාවට මුහුණලා වාඩි වූවාය. ශාන්ත ද ඒ අනුව විත් සුසිලාට එහා පසින් අසුන් ගත්තේය.

” සුසිලා ඔයා මෙහාට ආවේ කලබල කරන්නේ නැහැ කියලනේ.අපි මේවා කතා කරලා විසඳගමු ” 

ශාන්ත හැකි තාක් සෙමෙන් පැවසුවද කෝපාවිශ්ට වී සිටි  සුසිලා ඉන් මෙල්ල වන බවක් පෙනෙන්නට තිබුණේ නැත. මන්දාකිණි වෙව්ලන දෙපා වලින් පියවර තබමින් සියල්ලෝම ඉදිරියට පැමිණ නතර වූවාය.මන්දාකිණි ගේ දෙමව්පියන් දෙදෙනා සිදු වන්නේ කුමක් දැයි තෝරා බේරා ගත නොහැකිව බලා උන්නෝය.

” මොකක්ද මන්දාකිණි මේ වෙන්නේ ? “

ධර්මරත්න පසෙක හුන් මන්දාකිණි දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් සටහන් වූ මුහුණෙනි.

” තාත්තා.. මේ ” 

මන්දාකිණි කියන්නට ගිය දෙය කියා අවසන් කරන්නට සුසිලා ඉඩ තැබුවේ නැත.

” මෙයා යාළු වෙලා හිටියේ මගේ පුතා එක්ක.පුතා දැන් ඉන්නෙ හිරේ “

ධර්මරත්න සහ පුෂ්පා පුදුමයෙන් මුසු දෑස් වලින් එකිනෙකා දෙස බලා ගත්තේ තම එකම දියණිය පිළිබඳව කිසිසේත්ම අසන්නට අපේක්‍ෂා නොවූ දෙයක් අසන්නට ලැබුණු බැවිනි.

” හිරේ? ” 

ධර්මරත්න සුසිලා දෙස බලා උන්නේ කිසිවක් අදහා ගත නොහැකිවය. සුසිලා කෝපය මුසු දෑසින් මන්දාකිණි දෙස බලා නැවත ඇගේ දෙමව්පියන් දෙසට හැරුනාය.

” ඔව්. මේකි මෙහාට වෙලා සැපට ඉන්නේ මගේ එකම දරුවාව හිරේ යවලා “

ශාන්ත සුසිලාගේ අතින් අල්ලා නතර කළේය.

” සිද්ධ වෙච්ච දේ අපි හරියට කියමු සුසිලා.අපි මෙතන කලබල කරා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ නේ “

” අනේ මේ ඔයා කට වහගෙන ඉන්න ශාන්ත. තවත් බලාගෙන ඉන්න පුළුවන් දේවල්ද මේවා”

තවදුරටත් නිහඬව බලා සිටීමට ධර්මරත්න හට හැකි වූයේ නැත.නන්නාදුනන යුවළක් පැමිණ නොතේරෙන කතා බහක් ආරම්භ කර ඇත්තේ තම එකම දියණිය පිළිබඳවය.

” කරුණාකරලා මට කියන්න පුළුවන්ද මොකද්ද වෙලා තියෙන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක අපිට විසඳ ගන්න පුළුවන් නේ ? ” 

ධර්මරත්න කීවේ කල්පනාකාරීවය. 

” මේකයි මන්දාකිණි ගේ තාත්තේ. ඇත්තටම කිව්වොත් මම මෙහෙට එන්න කැමති වුණෙත් නැහැ.මෙයාගෙ බලකිරිල්ලට තමයි පුතා කියපු විස්තර වලට අපි මෙහෙ ආවේ ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා බලා ගන්න.මොකද, ඕගොල්ලන්ගේ දුවට අපේ පුතා එක්ක සම්බන්ධයක් තිබුණා. ඒක ඉතින් මේ තරුණ කාලෙදි ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක්නේ. ඒ උනාට, පුතා කියපු හැටියට එයා ජීවත් උනෙත් මේ ගෙදර “

ශාන්ත එසේ කියා නතර වනවාත් සමගම පුශ්පා දෑතින්ම මුව වසා ගත්තාය. අනතුරුව ඇයත් ධර්මරත්නත් දෙදෙනාම එක වරම මන්දාකිණි දෙස බැලූ අතර මන්දාකිණි වරදකාරී හැඟීමෙන් යුතුව බිම බලා ගත්තාය.

” දෙයියනේ ” 

” මේ දෙන්නා අතර එළියේදී ප්‍රශ්නයක් ඇති වෙලා ඒක ටිකක් දුරදිග ගිහින්. පුතා අවුරුදු කීපෙකට හිරේ ගියා ” 

එසේ කියූ ශාන්ත ඉවත බලා ගත්තේය. තම පුතු අත තවත් බොහෝමයක් වැරදි ඇති බව වෙනත් පාර්ශ්වයක් ඉදිරියේ පැවසීමට හිත හදා ගත නොහැකි නිසා ශාන්ත කතාව එතනින් නතර කළේය.

” අවුරුදු ගානක් හිරේ යන්න තරම් මොකක්ද උනේ? ” 

ධර්මරත්න ඇසුවේ තමා සහ බිරිඳ දෙස ඍජු බැල්මෙන් බලා සිටින සුසිලා ගෙනි.

” මෙයාගේ වැඩ තමයි.වෙන මොනවද ? ” 

සුසිලා කෝපයෙන් මන්දාකිණි දෙස බලා පිළිතුරු දුන්නාය.අසාධාරණයට ලක් වූ තමා, වැරදිකරු වූ ශෙනාල් ගේ දෙමව්පියන් නගන අසත්‍ය චෝදනා ඉදිරියේ තව දුරටත් නිහඬ වී සිටිය යුතු නැතැයි සිතූ මන්දාකිණි සිතට ධෛර්ය ගත්තාය.

” තාත්තා.. මං කියන්නම් මොකක්ද උනේ කියලා “

මන්දාකිණි ගේ දෙමව්පියන් මෙන්ම ශෙනාල් ගේ දෙමව්පියන්ද මෙතෙක් වේලා නිහඬව සිට මුව විවර කළ මන්දාකිණි දෙස බැලුවෝය.

” ශෙනාල් ගෙයි මගෙයි affair එකක් තිබුනා.ශෙනාල් හිටියෙත් මෙහෙ. මාත් එක්ක. හැබැයි මං එයා ගෙන් සත පහක් අරගෙන වත් එයාට කිසිම වංචාවක් කරලවත් නැහැ කවදාවත් “

මන්දාකිණි පැහැදිලි හඬකින් එසේ කියා සුසිලා දෙස බැලූවාය.ඇය මුල සිටම තම පුතු අත ඇති වරද පිළිගන්නට සූදානම් නොවූ මවකි. එසේ තිබියදී දැන් ඇය පැමිණ තම දෙමව්පියන් ඉදිරියේ ද තමාව සම්පූර්ණ වරදකාරිය කිරීමට උත්සාහ ගනී.

” ශෙනාල් ගෙයි මගේයි අතර ගොඩක් ප්‍රශ්න තිබුණා. ගොඩක් නොගැලපීම් තිබුණා.හැබැයි මම ඒ හැමදේම ඉවසගෙන එයා කරපු හැමදේටම එයාට සමාව දුන්නා. කොටින්ම මේ ගෙදර වෙච්ච ප්‍රශ්න නිසා මගේ බිස්නස් එකට පවා සෑහෙන පාඩු උනා “

ධර්මරත්න සහ පුෂ්පා මේ කතා අසා උන්නේ ඉතා ඉවසීමෙනි. තමන් දෙදෙනා නොදන්නා බොහෝ දේවල් තම දියණියගේ ජීවිතයේ සිදු වී තිබීම අවාසනාවකි. අනෙක් අතට ඇය තම පෙම්වතා සමග එකම වහලක් යට ජීවත් වී තිබීමද බරපතල කාරණාවකි.

” අන්තිමට මම හිතුවා තවදුරටත් මෙහෙම ජීවත් වුණොත් මට වගේම ශෙනාල් ටත් වෙන හොඳක් නෑ කියලා. ඒ නිසා එයා ගෙන් අයින් වෙන්න මං තීරණය කරා. ඒක ගැන අපි දෙන්නා කතා කරලා තිබුනේ ” 

” පේනවනේ. මගේ කොල්ලව රවට්ට ගෙන කොල්ලාගේ ජීවිතේම විනාස කරලා ” 

ශාන්ත නැවතත් සුසිලාගේ අතින් අල්ලා ඇයට නිහඬ වන ලෙස ඉඟි කළේය. තමා බිරිඳ සමඟ පැමිණියේ පලක් නොමැති ගමනක් බව තේරුම් ගෙන උන්නත් ඔහුට ඒ මොහොතේදී කළ හැකි දෙයක් වූයේ නැත.

” ඒ කතාව කියන්න ඕනේ මම. රෙස්ටූරන්ට් එකක මිනිස්සු ඉස්සරහා ශෙනාල් කම්මුලට ගැහුවේ මට ” 

මන්දාකිණි එවදන් පිට කළේ පෙර නොවූ දැඩි හඬකිනි. ඇගේ මුහුණේද දක්නට වූයේ ඇගේ හඬ තුළ ගැබ්ව තිබූ දැඩි බවමය.

” මට ගහපු නිසයි, රෙස්ටූරන්ට් මිනිස්සු කම්ප්ලේන් කරපු නිසයි ශෙනාල් ව ඇරෙස්ට් කරේ. එයාට දවස් කීපයකින් එළියට එන්න තිබුණා. ඇප ඉල්ලන්නත් කලින් එයාව ඩ්‍රග්ස් කේස් එකකට අහු උනේ නැත්තම් ” 

මන්දාකිණි දිග හුස්මක් ගත්තාය. ඇගේ දෙමාපියන් දෙදෙනා උන්නේ කිව යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිවය. 

” අම්මයි තාත්තයි මට සමාවෙන්න ඕනෙ මේ කිසිම දෙයක් නොකිව්වට. මම ගත්ත සමහර තීරණ මට වැරදිලා කියලා තේරෙන කොට වෙන්න ඕන ගොඩක් දේවල් වෙලා ඉවරයි “

” එහෙම කියලා අත පිහිද ගන්න පුළුවන්ද?අපේ කොල්ලට මොකක්ද වෙන්නේ? “

සුසිලා ඇසුවේ අසුනින් නැගිටිමිනි. ඒ සමගම ශාන්ත ද උන් තැනින් නැගී සිටියේය.

” එයා අවුරුදු ගානකට ඇතුලට ගියේ ඩ්‍රග්ස් හින්දා මිසක් මම කරපු දෙයක් නිසා නෙමෙයිනේ අම්මේ. ඒ නිසා ඉතින් මම මුකුත් කරයි කියලා ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා. කොහොමත් ඩ්‍රග්ස් කේස් එකකට මට කරන්න පුළුවන් දෙයක් නැහැ ” 

මන්දාකිණි තරයේම පැවසුවාය. ශෙනාල් කිසිදු වගකීමකින් තොරව ජීවත් වන්නට ඔහුගේ මවද හේතුවක් වන්නට ඇතැයි මන්දාකිණි අනුමාන කළාය. එහෙත් නොකළ වරදක් භාර ගැනීමට ඇය කිසිසේත්ම සූදානම් වූයේ නැත.

සියල්ල දෙස බලා සිටි ධර්මරත්න අනතුරුව නැගී සිට මන්දාකිණි අසලට පැමිණියේය.

” මං ඔයාගෙන් කවදාවත් මේ වගේ දේවල් බලාපොරොත්තු වුණේ නැහැ මන්දාකිණි.හැබැයි වෙච්ච දේවල් වෙනස් කරන්න බැරි නිසා ,ඔයා දේවල් තේරුම් අරන් ඉන්න නිසා තාත්තා කෙනෙක් හැටියට ඔයාට ගහන්න බනින්න මට බැහැ.මොකද ඔයා ඉන්නෙ ඔයාගේ ජීවිතේ ගැන තීරණ ගන්න පුළුවන් වයසක “

එසේ පැවසූ ධර්මරත්න අනතුරුව ශෙනාල් ගේ දෙමාපියන් දෙසට හැරුනේය.

” ඕගොල්ලන්ගේ පුතා පිට තැනකදී අපේ දුවට ගහපු එක හරි කියලා ඕගොල්ලෝ හිතනවද? ඕගොල්ලන්ට දුවෙක් ඉඳලා එයාට මෙහෙම වුණා නම් ඇත්තටම ඔය දෙන්න මොකක්ද කරන්නේ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here