පරණ බීජිංවල දකුණු පැත්තෙ ජීවත්වෙච්ච මිනිස්සු මේලින් ගැන නිතරම කිව්ව දෙයක් කිව්වා.
ඒ තමයි “ඒකිට කාටහරි කියලා වැඩක් කරගන්න එක එකාට වැඳ වැඳ යන්න තියා, අනේ මේක කරලා දෙන්න කියලා අහන්නවත් ඕන නෑ” කියලා. මේලින්ට පුදුමාකාර හැකියාවක් තිබ්බා හරිම නිහඬ හිනාවකින්, බැල්මකින් කෙනෙක්ව නම්මගන්න. කන්න ඕන උනාම කබරගොයාවත් තලගොයා කරගන්න.
මේලින් ජීවත් උනේ Red Lantern House එකේ. මිනිස්සු හරියට මෙතනට ආවා. සමහර ගෑනු උදවිය නම් මේලින් නැති තැන්වල එයාව ගෙයිශා කෙනෙක් කියලා අඳුන්නලා දුන්නට ඒ ගෑනු උදවියගෙ මිනිස්සු සල්ලි මහ ගොඩක් වියදම් කරගෙන Red Lantern House එකට ආවෙ ඇත්තටම සතුටු වෙන බලාපොරොත්තුවකින්ම නෙවෙයි. මේලින් ළඟදි හිත අස්සට කාන්දුවෙන අර නිස්සද්දෙ, අමුතුම ශාන්තිය අත්විඳින්න බලාගෙන. තමන්ව මේ විදියට බලන්න එන උදවිය ඉස්සරහ හීන් සීරුවෙ වාඩිවෙන මේලින් එයාගෙ පීපා එක වාදනය කරේ හරිම හෙමින්. කොච්චර හෙමින්ද කියනවා නම් මිනිස්සුන්ට සිද්ද උනා ඒ සංගීතෙට හරියට ඇහුන්කම් දෙන්න තමන් මේලින්ට කියන්න ආව හැමදේම අමතක කරලා, හිතෙන් අහක් කරලා දාන්න. පීපා වාදනේ අවසන් වෙච්ච ගමන්ම වගේ මේලින් කරේ තේ වක්කරලා ආව අයට බොන්න දෙන එක. ඒ අවට රැඳිලා තිබිච්ච නිශ්ශබ්ධතාවය හිත කීරිගස්සන්න හේතුවෙන එකක් නිසා මිනිස්සු උන්නෙ කටවල් අරින්න බයෙන්. කට අරින එක, තමන්ගෙ වචන වලින් ඒ නිශ්ශබ්ධෙ දූෂණය කරන එක මහා පාපකාරී දෙයක් විදියට තමයි මේ මිනිස්සු දැක්කෙ.
ඔන්න ඔහොම වෙන අතරෙ දවසක තමයි එක හීතලම හීතල රෑක ජියෑන් කියලා තරුණ කොල්ලෙක් Red Lantern House එකට එන්නෙ. රතු පාට තින්ත ගාපු දොරවල් අස්සෙන් ආව ජියෑන්ගෙ අත් දෙක උඩ පොඩි ලී පෙට්ටියක් තිබ්බා. Red Lantern House එකේ එවෙලෙ උන්න හැමෝම වගේ ජියෑන්ගෙ ඇස් අස්සෙ තැවරිලා තිබිච්ච බය දැක්කා. හැබැයි කිසිම කෙනෙක් ඇවිත් ජියෑන්ගෙන් ඒ ගැන මෙලෝම දෙයක් ඇහුවෙ නෑ. ඇවිදගෙන ආව ජියෑන් මේලින්ට ආචාර කරා. මේලින් ජියෑන්ව Red Lantern House එකේ කෙළෝරෙම තිබ්බ සේද තිර වලින් වහපු පොඩි කාමරේකට එක්කරගෙන ගියා. දොර හෙමින් වහලා, ඊට පස්සෙ එයාලගෙ කටහඬවල් වත් කාටවත් නෑහෙන තරමට නිද්දබ්ධෙ දරුණු උනා.
“ඔයාට මේක කොහෙන්ද හම්බ වුණේ?” කියලා ඇහුවෙ මේලින්
“ඒක ඔයාගේ පවුලට අයිති වුණ” කියලා ජියෑන් කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්න මේලින් ඉඩ දුන්නෙ නෑ.
“ඔයාට තිබ්බෙ මේක මෙහෙට ගේන්නෙ නැතුව ඉන්න” කියලා කිව්වෙ මේලින්.
“මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම දෙයක් කිව්වෙ කියලා” ජියෑන් ඇහුවෙ මහ පුදුමෙන් වගේ. ඇත්තටම ජියෑන් උන්නෙ මේලින් එහෙම දෙයක් කිව්වෙ ඇයි කියලා පුදුම වෙලා වගේ.
ඉන් පස්සෙ කිසිම සද්දයක් ආවෙ නෑ. හුම් කියන සද්දයක්වත් ආවෙ නෑ. ඒ වගේම ජියෑන් කාමරෙන් එළියට එනවාවත් කවුරුවත් දැක්කෙ නෑ.
දවස් එකහමාරකට දෙකකට විතර පස්සෙ දවසක උදේ වරුවෙ, ජියෑන්ගෙ නැදෑයො එයාව හොයන්න ආවා. මේලින් ඒ වෙද්දිත් උන්නෙ ඉස්සරහා සාලේ හරිම සන්සුන්ව වාඩි වෙලා, පුංචි කෝප්පවලට ජැස්මින් තේ වක්කරන ගමන්. නෑදෑයො එක්ක ආව පොලිස් ආරක්ෂකයො “ජියෑන්ගෙ අතුරුදහන් වීම සම්බන්ධයෙන්” ඇහුව ප්‍රශ්නවලට මේලින් හරිම හෙමින් උත්තර දුන්නා.
“ජියෑන් ටික වෙලාවයි හිටියේ, පරණ කවි ගැන පොඩි ප්‍රශ්න ටිකක් ඇහුවා, ඊට පස්සේ ගියා” කියලා මේලින් කිව්වා. ජියෑන්ට මොකද උනේ කියලා හොයන්න වගේම එයා අන්තිමට ආවෙ Red Lantern House එකේදි නිසා කරදරයක් උනා නම් වෙන්න ඇත්තෙ මෙතනදිම තමයි කියලා හිතලා මේලින්ගෙන් ප්‍රශ්න කරන්න හිතාගෙන ආව ආරක්ෂකයො පවා උන්නෙ මේලින්ගෙ මේ සංසුන් කම ඉස්සරහදි බය වෙලා, silent වෙලා.මේලින්ගෙ ඇස් දිහා බැලුව ආරක්ෂකයො දැක්කා ඒ ඇස්වල කිසිම බයක්වත් සැකයක්වත් තැවරිලා නෑ කියන එක. ඒ නිසාම මේලින්ම නිහඬවම විශ්වාස කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මේ ආරක්ෂකයන්ට තිබ්බෙ නෑ.
හැබැයි පරණ බීජිංවල දකුණු පැත්තෙ ජීවත්වෙච්ච මිනිස්සුන්ට කතා කරන්න සෑහෙන දේවල් තිබ්බා. එක එක විදියෙ රහස් කතන්දර, සැකයන් මිනිස්සු කතා කරා.
“ඔය මේලින් කඳුකරේ ජීවත්වෙන ශාඔලින් හාමුදුරුවරුන්ගෙන් දැනගත්ත මෝහන ක්‍රම පාවිච්චි කරනවලු”
“එයා ඔය බොන්න දෙන තේ වලට එක එක දුර්ලභ බෙහෙත් කොළ දානවලු. මිනිස්සු පිස්සු හැදිලා වගේ සල්ලි වියදම් කරගෙන යන්නෙ ඒකලු”
“එයා ගාව තියෙනවලු එක එක පවුල්වල මිනිස්සුන්ගෙ එක එක විදියෙ මහ දරුණු රහස්” වගේ කතන්දර කොච්චර හොරෙන් කට්ටිය කතා කරත් කිසිම කෙනෙක්ට කොණ්ද පණ තිබ්බෙ නෑ ඔය විත්තියක් මේලින්ගෙන් අහන්නවත්, Red Lantern House එක ළඟදි ඕව ගැන කතාකරන්නවත්. මේලින්ව දකිද්දි, එයා ළඟදි හැමෝගෙම සද්ද අඩු වුණා.
දවස් ගණන් ගෙවිලා ගියා. හීතල තව තවත් වැඩි වුණා.
ජියෑන් අරගෙන ආපු ඒ පොඩි ලී පෙට්ටිය මේලින්ගේ පීපා මේසය උඩ කවුරුන් හරි තියලා තිබ්බා. ඒක කවුද ගෙනාවේ කියලා කිසිම කෙනෙක් දැක්කේ නෑ. කිසිම කෙනෙක් ඒකේ වගකීම ගත්තෙත් නෑ. Red Lantern House එකේ කට්ටිය බයෙන් වගේ ඈත ඉඳන් ඒ පෙට්ටිය දිහා බැලුවා, ඒක අරින්න බය හින්දා කවුරුවත් ළඟට ආවෙ නෑ. හැබැයි මේලින් ඇවිත් එකම ඇඟිල්ලකින් පෙට්ටියේ පියන හෙමින් ඇරියා.
ඇතුළේ තිබ්බේ ජේඩ් කොණ්ඩ කට්ටක්, රතු නූලකින් බැඳපු පරණ ලියුම් කීපයක්, කැටයම් කරපු මුද්‍රාවක්. ඒ කොණ්ඩ කට්ට අවුරුදු ගාණකට කලින් මේලින්ගේ අම්මට අයිති වුණා කියලා තමයි ඕක දැකපු මිනිස්සු කතාව අරගෙන ගියේ. ඒ ලියුම්වල තිබුණේ මේලින් කවදාවත් කැමැත්තෙන් කතා කරන්න නොයෙදිච්ච Red Lantern House එකට එන්න කළින් ගත කළ පවුලට අදාල වෙච්ච පෙළපත් නාමය. ඕවා මේවා එක්ක මිනිස්සු තවත් දේවල් රහසින් කතා කරන්න පටන්ගත්තා. ජියෑන්ට මේ දේවල් කොහෙන්ද? මේවයින් එයා මොනවද හොයාගත්තේ? ජියෑන් මේලින්ට තර්ජනය කරන්න හැදුවද? නැත්නම් ජියෑන් එයාට උදව් කරන්නද හැදුවේ? වගෙ කතන්දර මහ ගොඩක් මිනිස්සු පැතිරෙව්වා.
ඒත් ඒ කිසිම ප්‍රශ්නෙකට උත්තර කා ළඟවත් තිබුණෙ නෑ.
සමහරු විශ්වාස කළා මේලින් තමයි ජියෑන්ට මොකක් නමුත් කරදරයක් කරන්න ඇත්තෙ කියලා. තවත් අය විශ්වාස කළා Red Lantern House එකම එක්කහු වෙලා ජියෑන්ට අනතුරක් කරා කියලා. සමහරු නම් කිව්වෙ ජියෑන් මේලින්ව හම්බෙලා ඉන්පස්සෙ Red Lantern House එකෙන් යන්න ඇති මිසක් වෙන නම් කරදරයක් වෙලා නම් නෑ කියලා. හැබැයි මිනිස්සු මොන දෙයක් කිව්වත් මේලින් ඒ කිසිම කතාවක් කිසිම දවසක හරිගස්සන්න ගියේ නෑ.
එයා දිගටම තේ වක් කළා, දිගටම පීපා එක වාදනය කළා, දිගටම එයාගෙ සයිලන්ස් එක මේන්ටේන් කරා.
ඒ අවුරුද්දේ වසන්ත කාලෙ ආවෙ හරිම ඉක්මනට. නිකන් හරිම අස්වාභාවික විදිහට ඉක්මනින්. පීච් මල් වහලවල් පුරාම හැලුණා. ජීවිතේ ඉස්සරහට ගියා, ඒ අස්සෙ ජියෑන්ව හෙමින් හෙමින් අමතක වෙලා ගියා. අමතක වීමත් එක්ක මිනිස්සු ගොඩනගපු කතන්දර වල ඩීටේල්ස් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් උනා. කතාව ආයෙත් කියන හැම සැරේකම, පොඩි පොඩි විස්තර වෙනස් වුණා. සමහර වෙලාවට මිනිස්සුන්ට අමතක වුණා ජියෑන් පෙට්ටියක් අරගෙන ආවා කියලා. සමහර වෙලාවට ජියෑන් මේලින්ට කතා කළා කියන එකත් අමතක වුණා.
ඔය අතරෙ මෙච්චර දවසක් කිව්වෙ නැති ලොකු කතාවක් මේලින් ඒ එක රෑක Red Lantern House එකේ සේවිකාවක්ට කියන්න පටන් ගත්තා.
එදා හවස Red Lantern House එකේ Lantern Festival එක තිබ්බ වෙලාවේ, Red Lantern House එකේ හිටපු වයස්ගතම සේවිකාව හරිම පරිස්සමෙන් මේලින් ළඟට ආවා. ලන්තෑරුම් එළිය ඒ මනුස්සයගෙ මූණ පුරාම වැක්කිරිලා තිබ්බා. ඒ මනුස්සයා Festival එකට ආව අන්තිම අමුත්තාත් යනකම් බලන් ඉඳලා, මේලින් එක්ක කතා කළා.
“ගම්මු හදාගත්ත කතාව එයාලාම වෙනස් කරලා. එයාලා දැන් කියන්නේ ජියෑන් පැනලා ගියා කියලා. ඒ මනුස්සයා කලබල වෙලා හිටියා කියලා. ඒ රෑ ජියෑන් මෙහෙ හිටියේවත් නෑ කියලා තමයි දැන් කියන්නේ. අනේ මන්දන්නෙ නෑ ඉතින් මේවට මොනා කියන්නද කියලා” ඒ මනුස්සයා කියද්දි මේලින් ඇස් නොඋස්සම ඒ දෙන්නට බොන්න තේ වක් කළා.
“මිනිස්සු හැමදාම තෝරන්නේ තමන්ට අඩුවෙන් රිදෙන ඇත්ත කතාවේ කොටස විතරයි,” මේලින් හරිම හෙමින් කිව්වා.
“ඒ කිව්වෙ?”
“ඒ තමයි මම කියලා කෙනෙක් මේ කතාවෙ නෑ කියන කොටස.”
“ඒ කොලුවට ඇත්තටම මොකද වුණේ?”
මේලින් ඒ වෙලාවේ එයා දිහා බැලුවා. එයාගෙ ඇස්වල තරහක්වත්, බයක්වත් තිබ්බේ නෑ. ඒ වෙනුවට තිබ්බේ ඊට වඩා හිත අවුල් කරන දෙයක්. එක්තරා විදියක පිළිගැනීමක්. සන්සුන්, සම්පූර්ණ පිළිගැනීමක්.
“ඔයා හිතනවද, මේ පළාතේ ඉන්න කාට වුණත් ඇත්තටම දැනගන්න ඕනේ කියලා වුණෙ මොකද්ද කියන එක ගැන?”
මේලින් තමන් ළඟ තිබ්බ ලන්තෑරුව කටෙන් පිඹලා නිව්වා. කාමරය ඝන අන්ධකාරෙකින් වැහිලා ගියා. ඉතුරු වුණේ ඒ දෙන්නගෙ හෙවණැලි විතරයි. ඒවත් මේලින්ගෙ අනිත් හැම ඉරියව්වක්ම වගේම නිහඬ, සන්සුන්, හැමදාම වගේ හොඳට පාලනය කරපු ඒවා.
ජියෑන් ගැන ඇත්ත කතාව කවදාවත් එළියට ආවේ නෑ. ශරීරයක් හම්බ වුණේ නෑ. සාක්ෂිකරුවෙක් උන්නෙ නෑ. කාලයත් එක්ක, ජියෑන් නිකම්ම තනියම අතුරුදහන් වුණා කියලා මිනිස්සු තමන්වම විශ්වාස කරගත්තා.
ඉතින් ඇත්ත කතාව මොකක් වුණත්, ඒ හැම ඇත්තකටම වඩා මිනිස්සු හදපු කතන්දර උඩට මතුවුණා.
මේලින් දිගටම තේ වත් කළා.
පීපා එක පවිච්චි කරලා සින්දු කිව්වා.
Red Lantern House එකට ආව හැම අමුත්තෙක්වම සිනහවෙන්, විනෝදයෙන්, මැජික් එකකින් වගේ ආකර්ෂණය කළා.
ඒ හැමදේම අස්සෙ මේලින් තමන්ගෙ Silence එකෙන් තමන් රකින්න ඕන ඒ “රහස” හරිම ලස්සනට හංගගෙන උන්නා.
කවදාවත් කාටවත් දැනගන්න බැරිවෙන්න.











