ආදර දෙවොල

මේ කතාව දිග ඇරෙන්නෙ ලෝක සිතියම්වල ලකුණු වෙලා තිබුණේ නැති ගමක් අස්සෙ.

සිතියමක ලකුණු වෙලා තිබ්බෙ නැති උන එක මේ ගමට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ ගම තිබ්බෙ හරිම නිහඬව, කාගෙවත් අවධානයක් නැතුව, පුරුද්දට වගේ ගලාගෙන යන ජීවිතත් එක්ක එක්කාසුවෙලා.

ඉර පායන්නත් කලින් ගම ඇහැරෙනවා. ගෑණු අය කොස්ස අරන් මිදුල් අතුගාලා, වේලිච්ච කොල එහෙම අස්පස් කරලා දානවා. ඒක හරියට තවත් කීකරු දවසක පටන් ගැන්මක් වගේ. පිරිමි අය ගඟට ගිහින් නානවා. ගමේ කෙළවරේ තියෙන පුංචි ශිව කෝවිලේ සීනුව හෙමින් නාද දෙනවා. ඒත් මේ හැමදේටම මැද්දෙන්, කෝවිලටත් වඩා පරණ, යාඥාවලටත් වඩා පැරණි දෙයක් තිබුණා.

ඒ තමයි අර යෝධ නුග ගහ.

කවුරුවත් දන්නේ නැහැ ඒක කවුරු හිටෙව්වද කියලා. ගමේ ඉන්න නාකිම උන්දැලා කියන්නෙත්, ඒ අය පොඩි කාලෙත් මේ ගහ මෙහෙමමයිලු. ගහ වටේට හදපු ගල් බැම්මත් ගහේ මුල්වලට යට වෙලා කැඩිලා ගිහින්. ඒක හරියට “මාව මේ විදිහට හිර කරන්න එපා” කියලා ගහ කියනවා වගේ තමයි මේ ගමට එන සමහරු වගේම ගමේ ඉන්න සමහරුත් දැක්කෙ.

මේක මේ පොළොවටම අයිති ගහක්.

 ගමේ හැම චාරිත්‍රයක්ම මේ ගහ වටේටයි ගෙතුණේ. 

සඳුදා දවස්වලට ගෑණු අය ගහ වටේ හත් වතාවක් කැරකිලා රතු නූල් බඳිනවා, ඒ පිරිමි දරුවෝ පතලා, එක්කො නැත්නම් ආරක්ෂාව පතලා. මේ කට්ටිය ගහ වටේට සිකුරාදාට පහන් පත්තු කරනවා. හැබැයි කවුරුවත් ගහේ කඳ අල්ලන්නේ නැහැ. ගහට පිට දීලා ඉඳගන්නේ නැහැ. වැටිලා තියෙන අත්තක්වත් දරට ගන්නේ නැහැ. ගහේ හෙවණැල්ලක් යටටවත් එන්නෙ නැහැ.

ඒ විතරක් නෙවෙයි කවුරුවත් ඉර බැස්සට පස්සේ එතන රැඳෙන්නේ නැහැ.

මොකක් හරි තහනම් දෙයක් ගාව තියෙන අමුතු ආකර්ෂණය මේ ගහටත් තිබුණා. සමහර වෙලාවට ගමේ මිනිස්සු දැක්කා අතරමං වෙච්ච හරක් එහෙම මේ ගහ යට හරිම සනීපෙට නිදාගෙන ඉන්නවා. අඬන පොඩි එකෙක් මේ ගහ යටට ගෙනාවම ඉක්මනටම නිදාගන්නවා. නිතරම කෑ ගහන සත්තු පවා මේ ගහ ළඟදි හරිම නිශ්ශබ්ධ වුණා. මිනිස්සුන්ට මේ ගහ යටදී හරිම අමුතු විදිහේ පැහැදිලි බවක් දැනෙන්න ගන්නවා.

මේ වගේ ගමක තමයි මීරා ඉපදුණේ.

පොඩි කාලේ ඉඳන්ම මීරා අනිත් අයට වඩා වෙනස්. 

එයා දඩබ්බර නැහැ, කාටවත් කරදර නොකර, සද්ද බද්ද නොකර උන්න මීරා නිතරම හිටියේ තමන්ගේම ලෝකෙක. අනිත් ළමයි ගහේ සීමාවෙන් එපිට සෙල්ලම් කරද්දී, මීරා කරන්නේ හුළඟක් නැතුවත් ගහේ කොළ හෙලවෙන දිහා බලාගෙන ඉන්න එක.

“ඇයි ඔය විදිහට බලාගෙන ඉන්නේ? දෙවියෝ කැමති නැහැ කුතුහලයෙන් ඉන්න අයට,” අම්මා මීරාට නිතරම බණින්නත් ඕක හේතුවක් වුණා.

මීරා ලොකු වෙද්දී, ගමේ සිරිත් විරිත් හරියට අර මැටි පිඬක් වගේ එයාගේ ජීවිතේ හැඩ කළා. යාඥා, පහන් පත්තු කිරීම්, හැමෝම හිනා වෙලා ඉන්න උත්සව. මීරාට මේ හැමදේම දැනුනෙ මහ බරක් විදියට. ගමේ මිනිස්සු, පව්ලෙ මිනිස්සු දේවත්වයෙන් අදහන කසාදෙ, කීකරුකම, ඕන දේකට ඔළුව නවලා එකඟ වෙන එක, දෙමව්පියන්ගෙ වචනෙට පිටින් නොයන එක වගේ දේවල් මීරාට දැනුනෙ තමන්ගෙ ජීවිතේට එල්ල වුන බාධාවන් වගේ.

ඒ බර හිතට වගේම ඔලුවට දරාගන්න බැරි ප්‍රශ්න විදියට එල්ල වුණ හැම වෙලාවකම ඒ බරෙන් තාවකාලිකව නිදහස් වෙන්න, හිත සැහැල්ලු කරගන්න වගේ මීරා ඇදිලා ගියේ අර නුග ගහ ගාවට. 

වැඩිහිටියෝ කිව්වේ ගහ අහගෙන ඉන්නවා කියලා අපේ හිත්වල, අපේ ඔලු අස්සෙ තියෙන පාපකාරී දේවල්. පූජකයෝ කිව්වේ ගහ විනිශ්චය කරනවා කියලා අපි හිතන පතන දේවල්. ගෑණු අය කිව්වේ ගහට ගෑණුන්ගේ දුක පිරිමින්ට වඩා හොඳට තේරෙනවා කියලා.

මීරා මොනවා විශ්වාස කළාද කියලා මීරාවත් දැනගෙන උන්නෙ නැහැ. හැබැයි  ගහ ළඟින් යද්දී මීරාට දැනුණා එතන මොකක් හරි මතකයන් ජීවත් වෙනවා වගේ බර ගතියක්. ලොකු වේදනාවක්, දුකක් වගේම සන්තෝසයක්, සැනසීමක් දරාගත්ත මතකයක් ජිවත්වෙනවා වගේ බර ගතියක්.

මීරා නුග ගහ ළඟට යන එක නිකම්ම පුරුද්දක් වුණේ ඒ මතකෙ මොකද්ද කියලා මතක් කරගන්න එයාට තිබිච්ච උවමනාව. ඒ හන්දම තමයි මීරා පුංචි පිත්තල පහනක් අරන් ගිහින් ගහ යට, කැඩිච්ච බැම්මෙ ඉතුරු වෙච්ච සිමෙන්ති කෑල්ලක් උඩ තියලා පත්තු කරන්න පටන් ගත්තෙ. වතාවතක් වගේ එයා මේක දිගටම කරා.

“මම මොනවා බලාපොරොත්තු වෙන්න ඕනෙද කියලා මමවත් දන්නේ නැහැ” කියලා මීරා එහෙම දවසක නුග ගහ යටදි කිව්වෙ ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරේ මීරාවත් දැනගෙන උන්නෙ නැති හන්දා.

දෝංකාර දුන්න තමන්ගේම කටහඬ ඇහිලා මීරා බය වුණා. “ගෑණු අය තමන්ගේ ආශාවන් හයියෙන් කියන්නේ නැහැ, විශේෂයෙන්ම දෙවියෝ ඉස්සරහා” කියලා අම්මා කිව්ව වචන මීරාට මතක් වුණේ එවෙලෙ.

“ඒකට හේතුව, ඔයාට පුරුදු කරලා තියෙන්නේ අනිත් අයට ඕන විදිහට ඉන්න මිසක්, ඔයාට ඕන දේ කරන්න නෙවෙයි නිසා.” කියලා ගහේ කොළ හෙමින් හෙලවෙද්දි වෙනදා ඇහිච්ච නැති විදියෙ කතාවක් මීරාට ඇහුණෙ.

මීරා ගැස්සුණා.

“කවුද ඔයා?”

“මං කවුද කියලා දැනගෙන නෙවෙයිද ඔයා කතා කරේ?”

“එහෙම කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලවත් මම දැනගෙන උන්නෙ නැහැ”

“කතා කරන්න ඕන නැහැ, “ඔයා මෙතන නැවතුණානේ. ඒ ඇති.” කියලා වචන ටික ඉවර වෙන ගමන් ගහ පිටිපස්සෙ ඉඳලා මිරා ඉස්සරහට ආවෙ මින් ඉස්සරවෙලා මේ ගමේ කිසිම කෙනෙක් දැක්කෙ නැති කෙනෙක්. ගමේ කිසිම කෙනෙක් ඉස්සරහට ආවෙ නැති කෙනෙක්. 

එදා ඉඳන් මීරා හැම හවසකම නුග ගහ යටට ආවා. සමහර වෙලාවට එයා ගොඩක් දේවල් කිව්වා. සමහර වෙලාවට දෙන්නම කිසි දෙයක් කතා නොකර අහගෙන හිටියා. රුක් දේවතාවා මීරාගෙන් කිසිම පඬුරක් ඉල්ලුවේ නැහැ, වඳින්න කිව්වේ නැහැ. එයා කළේ මීරාට ඇහුම්කන් දුන්න එක විතරයි.

“ඔයා ඇයි මේ ගහ ඇතුළේ මෙහෙම ඉන්නේ?” දවසක් මීරා ඇහුවා.

“ලෝකේ හැමදේම වේගයෙන් දුවද්දී, ඒ දුවන එක මට දැනුණේ මගේම ජීවිතේ තියෙන සතුට, සැනසීම, නිස්කාංසුව හොරකම් කරනවා වගේ. ඒ නිසයි මම මේ නිහඬ බව තෝරගත්තේ.”

සති ගෙවිලා ගියා. මීරා ගමේ අය ගැන කිව්වා. උත්සවවලට හයියෙන් හිනා වෙලා, පස්සේ කාටත් හොරෙන් අඬන ගෑණු ගැනත්, යාඥා කළාට කිසිම දෙයකට ඇහුම්කන් නොදෙන පිරිමි ගැනත් එයා කිව්වා.

“ගමේ අය කියනවා ගෑණුන්ගේ ආරක්ෂාව තියෙන්නේ කීකරුකම ඇතුළේ කියලා,” 

“සද්ද නැතුව ඉන්න එක හයියක් වෙන්නේ ඒක අපිම තෝරගත්තොත් විතරයි. වෙන කෙනෙක්ගෙ බලපෑමක් හන්දා සද්ද නැතුව ඉන්නවා කියන දේ හරිම භයානක දෙයක්”

ඔය වගේ ගොඩක් දේවල් කතා කරපු දවස් ගාණකට පස්සෙ,

“අද මට මංගල යෝජනාවක් ආවා. රෝෂන් හරිම හොඳ කෙනෙක්. හැමෝම ගරු කරන කෙනෙක්.” කියලා මීරා රුක් දේවතාවට කිව්වා. එහෙම කියද්දි එයාගෙ ඇස් අස්සෙ මොකක් හරි හෙලවීමක් දකින්න මීරා බලාපොරොත්තු උනත් එහෙම කිසිම දෙයක් දකින්න නොලැබිච්ච තැන මීරාට සිද්ධ වුණේ නිහඬවෙන්න.

“ඉතින්?”

“එච්චර හොඳ කෙනෙක් එක්ක මංගල්ලෙ තීන්දු වෙලත් මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කිසිම සන්තෝසයක් දැනෙන්නෙ නැහැ. කිසිම හැඟීමක් නෑ. ජීවත්වෙනවා කියලා කිව්වට ඒක එහෙමමද කියලත් මට හිතෙනවා.”

“ජීවත් වෙන්න නම් හැඟීම් ඕන නැහැ, එකඟතාවය විතරයි ඕනේ කියලා දෙමව්පියන් කියන විත්තිය ඔයාම නේද මට කිව්වේ?” 

“එහෙනම් ඇයි මට මාවම නැති වෙනවා වගේ දැනෙන්නේ?”

“මොකද ඔයා දැන් දන්නවා කාටවත් බය, කාගෙවත් බලපෑමක් නැතුව නිදහසේ ඉන්න එකේ රහ.මීට කළින් ඔයා ඒ රහ බලලා තිබ්බෙ නෑ නේද?”

කසාදෙ තීන්දු වුණේ ඒ විදියට. 

ඒත් මීරා නුග ගහ යටට යන එක කවදාකවත් නතර කරේ නෑ. ඒ වගේම මෙච්චර දවසක් රහසෙන් වගේ ආව ඒ ගමන තවදුරටත් ගමේ අයට රහසක් වුණේ නැහැ. ගෑණු එක එක කතා කිව්වා. පූජකයෝ රැව්වා. මීරාගේ අම්මා බයෙන් වගේ එයා දිහා බලාගෙන හිටියා.

“ඔය ආශ්‍රය එච්චර හොඳ දෙයක් නෙවෙයි මීරා. දෙන දේට වඩා දෙවියෝ ගන්න දේ වැඩියි. දෙයක් ලබාගන්න නම් කැපකිරීමක් කරන්නම ඕන. ගෑණුන්ට කරන්න වෙන කැපකිරීම් ඕනවටත් වඩා බර වැඩියි” කියලා  අම්මා අනතුරු ඇඟෙව්වෙ කෙල්ලෙක්ට තමන්ගෙ හොඳ නම නැති උනොත් ආයෙ ඒක ගොඩනගාගන්න බැරි බව දන්න හන්දා.

“දෙවියෙක්ට ගන්න දේවල් ඉතින් මං ගාව තියෙන්න ඕනනෙ අම්මෙ,” කියලා මීරා කිව්වට ඒක එහෙමමද කියන ප්‍රශ්නෙ මීරාටත් තිබ්බා.

අන්න ඒ හන්දා තමයි මීරා ඒ ප්‍රශ්නෙ ඇහුවෙ. 

“ඔයා මට ආදරෙයිද?”

නුග ගහේ කොළ හෙලවුණේ හරියට දිග හුස්මක් හෙළනවා වගේ.

 “මම මිනිස්සු වගේ ආදරේ කරන්නේ නැහැ. මම ඔයාව අයිති කරගන්නේ නැහැ, ඔයාව බඳින්නේ නැහැ, ඔයාව බේරගන්නෙත් නැහැ. ආදරේ කියලා ඔයාලා බලාපොරොත්තු වෙන්නෙ ඒ අයිති කරගැනීම නේද? එහෙම නම් එහෙම දේවල් මගෙ හිතෙ නෑ”

“එහෙනම් මේක මොකක්ද?”

“මේක තමයි, ඔයාට ඔයා වෙලා ඉන්න පුළුවන් එකම තැන. ඒ තැන දිගටම ඉන්නවද නැද්ද කියන දේ තීරණය කරන්න ඕන ඔයාමයි”

එතකොටයි මීරාට ඒකේ තියෙන භයානකකම තේරුණේ. දෙවියෝ එයාට බල කරන්නේ නැහැ. එයාට ඉන්න කියන්නෙත් නැහැ, යන්න කියන්නෙත් නැහැ. තීරණය තියෙන්නේ සම්පූර්ණයෙන්ම මීරාගේ අතේ. බල කිරීමකට වඩා තෝරා ගැනීමක් කියන්නෙ අමාරු දෙයක් විත්තිය මීරාට තේරුණේ අන්න එවෙලෙ.

පහුවදා පාන්දර, ගමේ අය දැක්කා නුග ගහ පාමුල තවමත් පත්තු වෙන පිත්තල පහනක්. ඒ ළඟම මීරාගේ පාසලඹ තිබුණා. හැබැයි මීරාගේ හෙවණැල්ලක්වත් දකින්න ලැබුණේ නැහැ.

එදා ඉඳන් ඒ නුග ගහ වෙනදට වඩා උසට වැවුණා. හෙවණ වෙනදට වඩා තදයි. ගමේ අය කිව්වේ මීරාව දෙවියෝ බිලිගත්තා කියලා.

හැබැයි ඇත්ත කතාව කිව්වේ නුග ගහේ කොළ විතරයි. හුළඟට හෙලවෙන වාරයක් පාසා ඒ කොළ “මීරා කොහේවත් අතුරුදහන් වුණේ නැහැ. එයා කළේ තමන්ට කීකරු වෙන්න කියලා බල නොකරන, තමන්ගේ හුස්ම ගැන විතරක් සලකන සැබෑ ආදරයක් ඇතුළේ නිදහස් වුණ එක” කියලා ඒ කතාව කිව්වා. ඒත් නිස්කාංසුවෙ ඇවිත් ඒ කතාව අහගෙන ඉන්න ගමේ කාටවත් උවමනාවක්, ඉස්පාසුවක් තිබ්බෙ නැහැ.

සදාකාලික නිහඬ බව තෝරගත්ත රුක් දේවතාවා, තමන්ව කවුරුහරි කිසිම ඉල්ලීමක් නැතුව තෝරාගැනීම කියන්නේ මොකක්ද කියලා මීරාගෙන් ඉගෙන ගත්තා.

 “ජීවිතේ ඉස්සරහට එන ප්‍රශ්න අස්සෙ තමන් කරන්නෝන මොකද්ද කියලා දන්නෙ නැති උනාම  මිනිස්සු කරන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මොකක් හරි අයිති කරගන්න එක,” කියලා තමන්ගෙ හෙවණ අස්සෙ සදාකාලික සැනසීමෙන් නතර වෙච්ච මීරාට රුක් දේවතාවා කිව්වා.

 “ඔයා ඒක නවත්තන්නේ නැද්ද?” 

“මිනිස්සුන්ගේ හිතට සහනයක් ලැබෙන කිසිම විශ්වාසයක් මම නවත්තන්නේ නැහැ මීරා. මොකද මිනිස්සු දෙවියන්ට පුද පූජා පවත්වලා, රතු නූල් ගැටගහලා මේ හැමදේකින්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ හිතේ තියෙන බය නැති කරගන්නයි, තමන්ට ඕන කරන දේවල් ලබාගන්නයි විතරයි. ඒක ඇත්තම භක්තියක් නෙවෙයි, තමන්ගේ වාසියට දෙවියන්ව වුණත් අයිති කරගන්න දඟලන එකක් විතරයි. ඒත් ආදරය කියන්නේ කෙනෙක්ව අයිති කරගන්න එකවත්, තමන්ගේ වාසියට පාවිච්චි කරන එකවත් නෙවෙයි; ඇත්තම ආදරය කියන්නේ කෙනෙක්ට තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න නිදහස දීලා, ඒ දිහා කිසිම බලාපොරොත්තුවක් නැතුව සතුටින් බලාගෙන ඉන්න එකටයි.

ඇත්තටම මීරා, දෙවියත් යක්ෂයත් ජීවත් වෙන්නේ අපි තුළමයි. 

මිනිස්සු ඒක තේරුම් ගත්ත දවසට මේ ලෝකේ මීට වඩා හුඟක් නිස්කලංක වේවි.”

More Stories

Don't Miss


Latest Articles