ගෑනියෙක්ට තමන් පණටත් වඩා ආදරේ කරන මිනිහාව මුළු ලෝකෙම ඉස්සරහා පාවා දෙන්න පුළුවන් වුණත්, ඒ මිනිහා තවත් ගෑනියෙක් ඉස්සරහා තමන්ව බාල්දු කරන එක නම් කවදාවත් දරාගන්න බැරි දෙයක්. මනුසත් එයාගේ තේ කෝප්පෙත් අරන් මං දිහා නොබලාම යන්න යද්දී මට හිතුණේ, මම මේ ගෙදරට ගෙනාපු ආදරේ අද මටම මහා ලොකු කරුමයක් වෙලා නේද කියලා. මනුසත් මට ඇඟිල්ල දික් කරලා කිව්වේ මම ඊයේ හැසිරුණේ ගොඩේ ගෑනියෙක් වගේ කියලා. ඒත් ඒ ගොඩේ ගෑනිටත් තමන්ගේ මිනිහා තව එකෙක් එක්ක බෙදාගන්න බැරි ලෝභකමක් තියෙනවා කියලා ඒ උගත් මනුස්සයට තේරුණේම නැද්ද කියන ප්‍රශ්නෙ මනුසත් මාව තනි කරලා ගියාට පස්සෙත් මං ගාව ඉතුරු වෙලා තිබුණා.
ඇත්තටම මනුසත්ට ඕන වුණේ භානුකී වගේ ක්ලාස් එකක් තියෙන, හැඟීම් පාලනය කරගන්න දන්න, බොරු හිනාවකින් ඕනෑම ප්‍රශ්නයක් වහගන්න පුළුවන් ශිෂ්ට සම්පන්න ගෑනියෙක් නම්, ඇයි දෙයියනේ එයා මාව කසාද බැන්දෙ? මාව මේ ගෙදරට ගෙනාවේ එයාගේ වැඩකාරියක් විදියට පාවිච්චි කරන්නද, නැත්නම් එයාගේ පරණ තුවාල වලට බෙහෙත් දාගන්න සෙල්ලම් බඩුවක් කරගන්නද? මම මනුසත්ව කොච්චර බලාපොරොත්තු තියාගෙනද බැන්දෙ? අන්තිමේ මොනවද මට හම්බුනේ, මගෙ පවුලෙ මිනිස්සුන්වත් තරහා කරගෙන මම මනුසත්ව තෝරගත්තා. අන්තිමේ දැන් මට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. මනුසත් වෙනුවෙන් ඉව්වෙ පිහුවෙ, ගෙවල් අස් කරේ, එයාගෙ හැමදේම පොඩි ලොකු හැම වැඩක්ම කරලා දුන්නෙ එයාට භානුකීව එයාගෙ ඔලුවෙනුත් මකල දාන්න පුළුවන් වෙන්න කියලා හිතලා බව ඇත්ත. ඒත් ඒ හැමදේම මිරිඟුවක් විතරයි කියලා අද මට හොඳටම තේරෙනවා.
භානුකීට මේ ගෙදරට එන්න පරණ රිපෝට් කාඩ් එකක් තිබුණම ඇති, ඒත් මට මේ ගෙදර මගේම කියලා අයිතියක් හදාගන්න මගේ මුළු ජීවිතේම පූජා කරලත් තාම බැරි වෙලා. මම එයා වෙනුවෙන් මගේ ලෝකෙම අතෑරලා ආවේ අන්තිමට මගේම ගෙදර මම පිටස්තරයෙක් වෙන්නද? මනුසත්ගේ ඇස් ඉස්සරහා මම අද වැරදිකාරියක්. හැබැයි ඒ වැරැද්ද පිටිපස්සේ තිබුණේ මගේ ආදරේ පරාජය වෙයි කියන බය කියලා එයාට තේරුම් ගන්න තරම් උවමනාවක් එයාට කවදාවත් තිබිළා නෑ. දැන් නැති දෙයක් කොහොමද පස්සෙ කාලෙක ඇතිවෙන්නෙ?. එයා තාමත් ඉන්නේ අතීතයේ මතකයන් අස්සේ හිරවෙලා නම්, මම මේ ගෙවන ජීවිතේ තේරුම මොකක්ද කියලා හිතෙද්දී මට දැනුණේ මං නිකන් අනාථ වුනා වගේ ෆීලින් එකක්.
“මට භානුකීව සහමුලින්ම ජීවිතෙන් අයින් කරන්න බෑ…”
ඒ වචන ටික මගේ කන් අස්සේ රින් රින් ගගා කැරකි කැරකි තිබ්බේ. මනුසත්ට ඒක සාධාරණීකරණය කරන්න හේතු දාහක් තියෙන්න ඇති. එයා ඒක මනුෂ්‍ය ස්වභාවය කියලා ලස්සන වචන වලින් ඇඳින්නුවට, මට ඒක දැනුණේ පපුව මැදට ඇන්න පිහි පාරක් වගේ. මම කණ්ණාඩියෙන් මගේ මූණ දිහා බැලුවා. ඇඬූ කඳුළින් ඉදිමිච්ච ඇස්, අවුල් වෙච්ච කොණ්ඩෙ එක්ක මට මාවම පෙනුණේ අනුන්ගේ යුද්ධයකට මැදි වෙලා තුවාල වෙච්ච අසරණියක් වගේ.
“මම ගොඩේ ගෑනියෙක් වෙන්න ඇති මනුසත්… ඒත් ඒ ගොඩේ ගෑනිටත් තිබුණේ පිරිසිදු ආදරයක්. ඔයා කියන ඔය ක්ලාස් එක, ශිෂ්ටකම ඉස්සරහා මම අද අන්ත අසරණ වෙලා ඇති. ඒත් මගේ හිතේ තිබුණේ ඔයාලා වගේ කිරලා මැනලා දෙන ආදරයක් නෙවෙයි. මගේ මුළු ලෝකෙම ඔයා කියලා හිතාගෙන, ඔයාගේ සතුට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න බලාගෙන හිටපු අවංක හිතක් විතරයි.
ඔයාට ඒකේ අගයක් නැත්තේ ඒක ඔයාට ඕනෑවටත් වඩා වැඩියෙන් ලැබුණු නිසා වෙන්න ඇති. මම ඊයේ හැසිරුණ විදිය වැරදි ඇති, ඒත් මනුසත්… තමන්ගේ පණ වගේ ආදරේ කරන මිනිහා, තමන්ට වඩා පරණ ගෑනිට තැන දෙනවා දකිද්දී ඉවසන්න පුළුවන් පත්තිනි අම්මලා මේ ලෝකේ නැහැ. මම වැරදි කළේ මනුස්සයෙක් නිසා. මම කෑගැහුවේ මගේ ආදරේ තව කෙනෙක් එක්ක බෙදාගන්න මට තියෙන අකමැත්ත නිසා.
ඔයාට ඕනෙ හැමදේම ඉවසගෙන, කට පියගෙන, බෝනික්කියෙක් වගේ ඉන්න ගෑනියෙක් නම් මම ඒකට ගැලපෙන්නේ නැතුව ඇති. මොකද මගේ පපුව ඇතුළේ ලේ මස් වලින් හැදුණු, රිදෙන්න දන්න හදවතක් තියෙනවා. ඔයා මාව අද පාවා දුන්නේ මම වැරදි නිසා නෙවෙයි, මගේ ආදරේ ඔයාට අද වදයක් වෙලා තියෙන නිසා.
මම ගොඩේ වෙන්න ඇති මනුසත්… හැබැයි ඒ ගොඩේ ගෑනිට පුළුවන් වුණා තමන්ගේ අම්මව, තාත්තව, උපන් ගමව පවා අතෑරලා ඔයා කියන මේ නන්නාඳුනන ලෝකෙට ඔයා වෙනුවෙන්ම විතරක් එන්න. ඔයා ඔය කියන උගත්, ලොකු ක්ලාස් එකක් තියෙන ගෑනුන්ට පුළුවන්ද මම කරපු කැපකිරීම්වලින් හතරෙන් පංගුවක්වත් කරන්න? ඔයා මගේ ආදරේට ගාණක් නියම කළේ ඊයේ නෙවෙයි මනුසත්, මම මේ ගෙදරට පය තිබ්බ දවසෙමයි. ඒත් මම ඒක තේරුම් ගන්න පරක්කු වුණා වැඩියි.”
මම හෙමින් කියාගත්තෙ මටමයි.
මම හිත හයිය කරගෙන ඔෆිස් යන්න ලෑස්ති වුණේ මනුසත්ගේ නිස්සද්ද කතන්දරවලින් හිරවෙලා මැරෙනවට වඩා, එළියේ ලෝකේ අපහාස විඳින එක සැපයි කියලා හිතුණ නිසා. මම පඩිපෙළ බැහැගෙන එද්දී මනුසත් එයාගේ පාඩුවේ වැඩ. අපි දෙන්නා අතරේ අඩි දහස් ගාණක පවුරක් ඉදි වෙලා වගේ. එයා වචනයක්වත් කිව්වේ නැහැ. අඩුම ගාණේ මං ගිහින් ඩ්‍රොප් කරන්නද කියලවත් කියන්න තරම් මම අද එයාට වටින්නේ නැහැ. මම හෙමින් ගේට්ටුවෙන් එළියට ආවේ මගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා වගේ දැනෙද්දී. ත්‍රීවීල් එක ඇතුළේදීත් මම කල්පනා කළේ අද මට මොනවා වෙයිද කියලා. තමන්ගේ ගෙදර සාමය නැති වුණාම, අනිත් හැම දේම මහා වදයක් වගේ දැනෙනවා. මං උන්නෙ අන්තෝ ජටා බහි ජටා තත්ත්වෙක. ගෙදර ප්‍රශ්න අස්සෙ මම ඔෆිස් එකක් හොයාගත්තෙ ඒ ප්‍රශ්න වලින් තාවකාලිකව හරි නිදහස් වෙන්න උනාට අන්තිමේ උනේ මං හින්දා ඒ තැන් දෙකම ගිනි ගත්ත එක. ඊයෙ වෙච්ච දේවල් අද කට්ටිය රස කර කර කතා කරනවා ඇති. මම කොහොමද ඒ ඇස් වලට මූණ දෙන්නේ? මට එවෙලෙ තිබිච්ච ප්‍රශ්නෙ අන්න ඒක.
ඔෆිස් එකේ දොර ඇරගෙන ඇතුළට යද්දී වෙනදා තිබිච්ච ඒ හිත පිරෙන උණුසුම් බව අද තිබ්බෙ නැහැ. හැමෝගෙම මූණුවල තිබුණේ අමුතුම නිහඬතාවයක්. මම මගේ සීට් එකට ගිහින් වාඩි වෙලා බෑග් එක පැත්තකින් තිබ්බා. මට දැනුණේ මුළු හෝල් එකේම ඉන්න අයගේ ඇස් මගේ ඇඳුම් පසාරු කරගෙන යනවා වගේ. අප්සරා මං දිහා බලලා යාන්තමට හිනා වුණත් ඒ හිනාවේ තිබුණේ අමුතුම අනුකම්පාවක්. විහඟ වෙනදා වගේ ගුඩ් මෝනිං කිව්වේ නැහැ. එයා එයාගේ කොම්පියුටරේ අස්සේ මූණ ඔබාගෙන මොකක්දෝ කරනවා හරියට මාව නොදැක්කා වගේ.
ඔය අස්සේ තමයි තිදස් බොස්ගේ රූම් එකේ ඉඳන් එළියට එනවා මං දැක්කෙ. එයා එළියට එද්දී මූණේ තිබුණේ මාරම අප්සට් පෙනුමක්. මගේ පපුව එකපාරටම ඩික් ඩික් ගාලා ගැහෙන්න ගත්තා. මම හිතුවා තිදස් මගේ ළඟට ඇවිත් “ඊයෙ කලින් එකපාර ගියේ ඇයි?” කියලා හරි ආහවි කියලා. ඒත් මගේ බලාපොරොත්තු කුඩු කරන ගමන් තිදස් මං ඉන්න දිහා නොබලා ගියේ අහක බලාගෙන. එයා හිතාමතාම මාව මගහැරියා. මට දැනුණේ මගේ අන්තිම හයියත් දිය වෙලා ගියා වගේ.
“තිදස් පවා මාව මගහරින්නේ එයාත් හිතන්නේ දිව්‍යා කියපු කතා ඇත්ත කියලද? නැත්නම් එයාගේ නම්බුව බේරගන්න මාව පාවා දෙනවද? මිනිස්සු මොන තරම් ආත්මාර්ථකාමීද? තමන්ට ප්‍රශ්නයක් වෙද්දී තමන්ව අගය කරපු මිනිස්සු පවා හරිම ලේසියෙන් අහක බලාගන්නවා නෙ” කියලා මං කියාගත්තෙ මටමයි.
මම හිතේ බරත් එක්ක ෆයිල් එකක් දිග ඇරගත්තා විතරයි. මගේ ඇඟ සීතල වෙලා ගියේ හුරුපුරුදු කටහඬක් ඇහිච්ච නිසයි.
“ලිහිණි මිස්… දිව්‍යා මිස්…”
බොස්ගේ පියන් අපේ කැබින් එක මැද හිටගෙන හිටියා. එයාගේ මූණේ තිබුණේ මාරම සීීරියස් පෙනුමක්.
“බොස් කිව්වා දෙන්නටම දැන්ම එයාගේ රූම් එකට එන්න කියලා.”
මුළු ඔෆිස් එකේම මීයට පිම්බා වගේ සයිලන්ට් වුනේ අන්න ඒ වචන එක්ක. හැමෝගෙම ඇස් අපේ මේස දෙක පැත්තට හැරුණා. දිව්‍යා එකපාරටම නැගිටලා මං දිහා අමුතු විදියට බලලා, එයාගේ ඇඳුම් හදාගෙන බොස්ගේ කාමරේ පැත්තට ඇවිදගෙන ගියා. ඒකි යන විදිය දැක්කම මට තේරුණා ඒකි මේ වෙලාව එනකම් මග බලන් හිටියා කියලා.
මම අමාරුවෙන් පුටුවෙන් නැගිට්ටේ මගේ කකුල් පණ නැති වෙලා වගේ දැනෙද්දී.
බොස් අපිට එන්න කිව්වේ ඊයේ වෙච්ච රණ්ඩුව ගැන වෙන්න ඇති.
මට දැනුණේ මගේ රස්සාව විතරක් නෙවෙයි මගේ මුළු ජීවිතේම අදින් පස්සේ කණපිට හැරෙන්නයි යන්නේ කියලා.
මනුසත්ගෙන් උදව්වක් ඉල්ලන්න විදියක් නැහැ. තිදස් අහක බලාගෙන. මම අද අන්ත අසරණ වෙලා. මම බොස්ගේ කාමරේ දොර ළඟට ගිහින් හෙමින් තට්ටු කළා.
ඇතුළෙන් ඇහුණ “කම් ඉන්” කියන සද්දේ මට ඇහුණේ හරියට මරණ තීන්දුවක් වගේ.


