ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?

අම්බලන්ගොඩ පැත්තේ පරණ මිනිස්සු  තාමත් රූකඩ දිහා බලන්නේ නිකන්ම නිකන් ලී වලින් කරපු, කැටයං කපාපු දෙයක් දිහා බලනවා වගේ නෙවෙයි. උන් විශ්වාස කරන්නේ ඒවට මනුස්සයින්ට වගේම පණ තියෙනවා කියලා.

මේ රූකඩ ඉපදෙන්නේ ගස්වලින්. වෙල් කඳුරු, රුක්අත්තන, කිරිවල්ල වගේ ගහක් තෝරගන්නේ ඒකේ තියෙන කඳේ උස මහත බලලා විතරක් නෙවෙයි. ඒ ගහ ඇතුළේ හැංගිකා ඉන්න අමුතුම පණක් තියෙන ආත්මෙ අඳුරගන්න පුළුවන් හන්දා. පොරෝ පාරක් ගහේ පොත්තට වදින්න ඉස්සෙල්ලා, ගහ මුල මල් බුලත් තට්ටුවක් තියලා, පහනක් පත්තු කරලා, යාතිකාවක් වගේ  කරලා හුලඟ එක්කලා ආකාහෙ දිහාවට ඇදෙන සුවඳ දුම් අල්ලලා පූජාවක් තියන්න ඕනේ. රූකඩ නැට්ටුවා හීන් හඬින් ඒ ගහට ඒ වෙලාවට ඕන් මෙහෙම කියනවා.

“මේ මහා වෘක්ෂයට අරක්ගත්තු දේවතාවුනේ, මට වරදක් නොගෙන සමා වෙන්ඩ. මේ කඳ කපලා මරණයක් කරන්ඩ නෙවෙයි මේ හදන්නේ… ලීයට පණ දීලා රූපයක් නෙළන්ඩයි. ඉතින් ඒ අලුත් ජීවේ මවන්ඩ මේ කඳ මට පූජා කරන්ඩ ඉඩ දීලා ඔබ වහන්සේ මේකෙන් අහක් වෙන්ඩ!”

අන්න ඒ විදියට වෘක්ෂ දේවතාවුන්ගෙන් අවසර කන්නලව්ව ගත්තට පස්සෙමයි ගහට පොරෝ පාරක් තියන්නේ. ඊට පස්සේ ඒ කඳන් ටික එක එක ප්‍රමාණයට වෙන් කරලා, පදම් වෙන්න කියලා තම්බලා අව්වේ දින ගාණක් වේලෙන්න අරිනවා.

ඇත්තම කිව්වොත් රූකඩයක් නෙළනවා කියන්නේ නිකම්ම ලී කෑල්ලක් ඇද පළුදු කරලා රූපයක් මවන එකට නෙවෙයි. දක්ෂ රූකඩ කාරයෙක් ඒ ලී කොටේ අස්සෙන් මවන්නේ පණ තියෙන හැසිරීමක්. අතපය හොලවන්න පුළුවන් විදියට, තාලෙට වෙව්ලන ඇඟිලි තුඩු, සතුටයි දුකයි පේන මූණවල් ඒ අතින් නෙළෙන්නේ නිකම් ආරූඩ වෙලා වගෙ. මකුළු මැටියි, හිරිගල් කුඩුයි, ගස්වල ලාටුයි, තෙල් ජාතියි කලවම් කරලා හදාගත්ත සායම් හරිම හීං සීරුවට ලීයේ තවරනවා. ඊට පස්සේ තෙල් ගාලා මැදපුවාම, ඒ ලී රූපේ මතුපිට මනුස්සයෙක්ගේ හමේ තියෙනවා වගේ අමුතුම දිස්නයක් මතු වෙන්නේ ඇඟ හිරිවට්ටමින්.

අන්තිමේදී, රූකඩේ හිසටයි, උරහිස්වලටයි, අත් පාවලටයි නූල් නවයක් ගැටගහලා, ඒ නූල් උඩින් තියෙන ලී දණ්ඩට අමුණනවා. එක නූලක් අදිනකොට රූකඩේ හිස නමලා ආචාර කරනවා, තව එකකින් ඇවිදිනවා, තව එකකින් අත උස්සනවා. මේ නූල් ටික එක තාලෙකට අදිනකොට අර පණ නැති ලී කෑල්ල ඇට මස් ලේ නහර තියෙන මිනිහෙක් වගේමයි පේන්නේ. ඔහේ පණ නැතුව තිබිච්ච රූපෙට හඬක් ලැබෙනවා. නිස්සද්දව තිබිච්ච ලීයට මනුස්ස කතාවක් ලැබෙනවා.

පණක් කටක් නැති ලී කෑල්ලකට හුස්ම පිඹිනවා කියන එක, ඒක හරියට මේ ලංකා දීපෙට විතරක් උරුම වෙච්චි අමුතුම මන්තර ගුරුකමක් වගෙ දෙයක්. ඉතින් අද මේ කියන්න යන්නෙ රූකඩ වලට මිනිස්සු වගේ පණ දුන්න කතාවක් නං නෙවෙයි ඕන. පණ තිබ්බ මිනිස්සුන්ගෙ පණ අහක් කරලා රූකඩ කරා වගේ කතාවක්.

රූකඩ සාස්තරේ ලංකාවෙ හතරතේ පැතිරෙන්න අරං ඔන්න ඔහොම කාලයක් ගෙවීගෙන යනකොට තමයි, සෙනෙවිරත්න කියන මනුස්සයා මේ හතර දිග්බාගයේ කරක් ගහන්න ගත්තේ. මිනිහා ගමකට පය ගැහුවේ හරියට හැන්දෑ කරුවලත් එක්කම පොළොවට වැටෙන දිග අඳුරු හෙවණැල්ලක් වගෙ. කොහේ ගියත් මිනිහගේ කරේ එල්ලගෙන හිටියා නමලා ගත්ත රූකඩ මැස්සයි, රූකඩ පුරවපු ගෝනි මිටියයි. සෙනෙවිරත්න රූකඩ නටවලා ලොකුවට සල්ලි බාගෙ, බඩුමුට්ටු ඉල්ලපු මිනිහෙක් නෙවෙයි. මිනිහට ඕනෑ වුණේ ගමේ එවුන්ගේ ඇස් තමන්ගේ පැත්තට හරවගන්න විතරයි. තමන්ගේ රූකඩ සෙල්ලම දිහා මිනිස්සු කට ඇරගෙන බලාගෙන ඉන්නවා දකින එකයි මිනිහගේ හිතේ තිබුණු එකම ආසාව.

හැබැයි මේ වැඩේ අස්සේ අමුතුම අබිරහසක් හැංගිලා තිබුණා. 

සෙනෙවිරත්න රූකඩ මඩුව ගැහුවම, වෙනදා රූකඩ බලන්න දුවලා එන කොලු රෑනටත් වඩා ගමේ හැඩකාර ගෑනු තමයි පෝලිමට ඉස්සරහින්ම ඇවිල්ලා වාඩි වුණේ. ඒක මිනිහගේ රූකඩවල හැඩ හින්දම නෙවෙයි. නාඩගම් තාලෙට වයන මද්දලේ බෙර සද්දෙට හරි, සර්පිනා හඬේ තියෙන ගුප්ත හිත ඇදිලා යන ගතියට හින්දමත් නෙවෙයි. ඒක සෙනෙවිරත්නගේ ඇස්වල තිබිච්ච මළානික වසඟයක් වගේ දෙයක් හන්දා වෙච්ච දෙයක්. මිනිහා කටක් ඇරලා කතා නොකළත්, ඒ ඉවසිලිවන්ත ඇස් දෙකෙන් ගෑනියෙක්ගෙ පපුව පසාරු කරගෙන හිත අස්සටටම කිඳා බැහැලා බලන්න පුළුවන් මන්තර බලයක් තිබුණා.

රූකඩ සෙල්ලම ඉවර වෙලා හතර දිග්බාගෙන් ආපු සෙනඟ විසිරිලා යනකම් ඉඳලා, සෙනෙවිරත්න කට කොනකින් හීන් හිනාවක් දානවා. දාලා, තමන් හිතේ ඇඳගත්ත ගෑනි ළඟට ගිහින් බොහොම හීන් හඬින් රහසක් කියනවා වගේ මෙහෙම අහනවා…

“මං ඔය ඇත්තන්ගේ රූපේ… එකම එක වතාවක් මේ කදුරු ලීයෙන් නෙළාගන්නද?”

සමහර ගෑනු ඒ මන්තර බහට වහ වැටිලා හා කිව්වා. තවත් සමහරු බයේ ගැහිලා මඟ ඇරලා දිව්වා. හැබැයි ඒ අහපු කතාව පිටිපස්සේ හැංගිලා තිබුණු දරුණු විපත්තිය ගැන නම් සෙනෙවිරත්නගෙ මලානික ඇස් අස්සෙ තිබිච්ච වසඟෙට අහු වෙච්චි එකෙකුටවත් වැටහීමක් තිබුණේ නැහැ. උන්ට ඒකෙ ගැබුරු තේරුණේ ඔක්කොම හත්පොලේ ගාගත්තට පස්සෙයි.

මුළු ගමම මළ ගෙයක් වගේ නිහඬ වෙලා, අවට දනව්වල හූනෙක්වත් හඬ නොතලන යාමේ තමයි සෙනෙවිරත්න තමන්ගේ මන්තරේ මතුරන්නෙ.

සෙනෙවිරත්න ඒ ගෑනිගේ රූපේ ලීයෙන් කපන්න ගත්තේ හරිම අමුතු, ඇඟ කිලිපොලා යන විදියකට. ඒ පව්කාර වැඩේට මිනිහට යන්නේ එකම එක රැයයි. ඒ කාලකන්නි රැයේ, අර මන්තර බහට අහු වෙච්චි ගෑනි තනියම සෙනෙවිරත්න නවාතැං අර ගෙන ඉන්න පාළු පැලට ඇවිදගෙන එනවා. ඒකි එන්නේ පියවි සිහියකින් නෙවෙයි, හරියට පන්දම් එළියට අහු වෙන්න යන මෙරුවෙක් වගේ වසඟ වෙලා.

පැලේ දොරකඩට ආපු ගමන්, ඒ ගෑනි තමන්ගේ කැමැත්තෙන්ම ඇඟේ තියෙන වස්ත්‍රාභරණ එකින් එක උනා දාලා, කිසිම ලැජ්ජා බයක් නැතුව සෙනෙවිරත්න ඉස්සරහ දණින් වැටෙනවා. සෙනෙවිරත්න කරන්නේ තමන්ගේ හීන් මුවහත් පිහියයි, නියනයි අරගෙන, අර නිර්වස්තර ගෑනු ඇඟ පුරා තමන්ගේ හිතුමනාපේට කැටයම් කපන්න ගන්න එකයි. ඒ මුවහත් නියන ඒකිගේ පපුව දිගේ ඇදිලා යනකොට, ලේ බිංදු වැටෙන කොටත් ඒකි වේදනාවෙන් කෑගහන්නේ නැහැ. ඒකිගේ කටින් පිටවෙන්නේ නූල් සූත්තරේකට හිරවෙච්චි රූකඩයක් නූල එක්ක හක්කලං කරද්දි එකට ඇතිල්ලෙනවා වගේ අමුතුම හීන් කෙඳිරියක් විතරයි. සෙනෙවිරත්නගෙ ඒ අන්ධකාර පැල අස්සෙ වෙන්නෙ හරියට මළගිය ප්‍රේතයෙක් තමන්ගේ බිල්ලක් එක්ක කරන අන්ධකාර සෙල්ලමක් වගේ දෙයක්. ඒ දෙන්නා අතරේ සිද්ධ වෙන ඒ වැඩේ නිකම්ම ගෑනි පිරිමි රූප දෙකක් එක්කහු වීමක් නෙවෙයි, ඒක හරියට මළ මිනියක් පණ ගන්වන්න කරන යාගයක් වගෙයි.

සෙනෙවිරත්න අර ලී කෑල්ලට සායම් පෙව්වේ ඒකිගේ ඇස්වල තියෙන මළානික බැල්මයි, ඒකිගේ හුස්මයි ඒ ලී කුට්ටිය ඇතුළටම හිර කරලා මන්තර මතුරනවා වගෙයි. ඒ රූකඩේ කැපීම ඉවර කරලා, මූණට ඇස් දෙක තියලා ජීවං කරනවාත් එක්කම… අන්න අර පණ තියෙන ගෑනිගෙ පණ කඳ පණ නැති වෙලා හීතල වෙලා යනවා. අන්තිමට ඒකි හිතක් පපුවක් නැති, සෙනෙවිරත්නගේ ඇඟිලි තුඩුවලට නටන ලී රූපයක් විතරක්ම වෙනවා. සෙනෙවිරත්න ඒකිගේ ශරීරෙ හැම අඟලක්ම තමන්ගේ නියනෙන් පදම් කරනකොට, ඒකිගේ ආත්මෙ  හීන් නූලෙන් ඒකිගෙන් ගිලිහිලා සෙනෙවිරත්න අතේ තියෙන ලී කෑල්ලට ඇදිලා යනවා. අන්තිමේදී ඒ ලී රූපේට ඇස් තියනකොට, ඒකිගේ ශරීරෙ සෙනෙවිරත්න ඉස්සරහ පණ නැති වුණත්, ඒකිව සදහටම තමන්ගේ නූල්වලට බැඳගන්න මිනිහා සමත් වෙනවා.

අන්තිමේදී සෙනෙවිරත්න ගමෙන් පිටමං වෙලා යන්නෙ තනියම නෙවෙයි. මිනිහගේ රූකඩ පෙට්ටිය ඇතුළේ අලුත් රූකඩෙකුත් එක්ක. ඒ දිහාව ගම්මු බලාගෙන හිටියේ හෙන බයකින්. සෙනෙවිරත්න කියන්නේ රූකඩ හදන දස්සයෙක් නෙවිය, මිනිස්සුන්වම රූකඩ කරන මාරයෙක් කියලා එදා තමයි ගම්මුන්ට තේරුණේ.

සෙනෙවිරත්නගේ මන්තර බහට අහු වෙලා හා කියපු අසරණීන්ට පහුවදා ඇහැරෙනකොට දැනුණේ මුළු ඇඟපතම හීතල වෙලා, පපුව ඇතුළේ මොකක්දෝ කියාගන්න බැරි පාලුවක් පිරිලා තියෙනවා වගෙයි. ඒක හරියට මළ ගෙදරක තියෙන හීතල හිස්කමක් වගේ දෙයක්.

උන්ගේ කටින් පිටවුණු කටහඬ පවා ඇහුණේ හත් ගව්වක් ඈතින් එන හීන් කෙඳිරියක් වගෙයි. කවුරු හරි කටකාරයෙක් විහිළුවක් තහළුවක් කළත්, ඒකට හිනාවෙන්න උන්ට සැහෙන වෙලාවක් ගියා;. හරියට ඒ හිනාවත් කොහේදෝ අතරමං වෙලා පරක්කු වෙලා එනවා වගෙයි. උන් අඩියක් තිබ්බත්, අතක් පයක් හෙලෙව්වත් ඒ හැම හෙලවීමක්ම මොකක්දෝ අමුත්තක් තිබුණා. හරියට වතුරේ පේන හෙවණැල්ලක් වගේ, ඒ හෙලවීම්වල කිසිම පණක් තිබ්බෙ නැති ගාණයි.

රෑ තිස්සේ හීනෙන් උන් හැමෝම දැක්කේ එකම මූසල දෙයයි.

ඒ රූකඩයක්! 

සායම් තැවරිච්ච තොල්, කැටයම් කරපු කම්මුල්, ඔක්කොම දන්නවා වගේ බලන් ඉන්න වීදුරු බෝල ඇස් දෙකක් තියෙන රූකඩයක්. ඒ රූකඩේ අත් කකුල්වලටයි, කරටයි, ඔළුවටයි නූල් නවයක් ගැටගහලා. ඒ නූල් කොන අල්ලන් ඉන්නේ අර සෙනෙවිරත්න. මිනිහගේ අත් දෙකෙන් ඒ නූල් අදිනවා, රූකඩේ නටවනවා.

ඒ ගෑනු මොනවා හරි කියන්න හැදුවත් උන්ගේ කටින් පිටවුණේ හිතාගන්න බැරි අමුතුම බාසාවක වචන. තමන්ට ඕනෑ විදියට නිදහසේ අඩියක් තියන්න හැදුවත්, උන්ගේ සිරුරු අවනත වුණේ අර සෙනෙවිරත්නගේ අතේ තියෙන නූලෙ තාලෙට විතරමයි.

ටික දවසක් යනකොට සෙනෙවිරත්න පය තිබ්බ හැම ගමකම බය හිතෙන කතා පැතිරෙන්න ගත්තා.

 “අර කෙල්ලගේ රූපේ ලීයෙන් නෙළුවට පස්සේ ඒකි ඉස්සර හිටපු කෙල්ල නෙවෙයි බං…” මිනිස්සු රහසින් මුමුණන්න ගත්තා. “මූ මේ ගන්නේ වෙල් කදුරු ලී විතරක් නෙවෙයි. මූ මිනිස්සුන්ගේ ඇතුළේ තියෙන ආත්මෙම හොරකම් කරනවා.”

සෙනෙවිරත්නගෙ ඇහැට අහුවෙච්ච ඒ අසරණියන්න්ගේ ඇඟවල් ඇතුළේ තිබුණේ අපේ වගේ මස් ලේ නහර නෙවෙයි. ඊට වඩා මොකක්දෝ අමුතුම මළානික දෙයක්. ඒක ලීයකටත් වඩා බරයි, ඒත් පුළුන් රොදක් වගේ පාවෙන ගතියක් තිබුණා.

සෙනෙවිරත්න උන්ගෙන් උදුරගෙන තිබුණේ උන්ගේ හිත්… උන්ගේ පණ කඳ… උන්ගේ නිදහස! උන් දැන් පණ තියෙන මනුස්සයෝ නෙවෙයි, සෙනෙවිරත්නගේ ඇඟිලි තුඩුවල තියෙන නූල් සූත්තරේට නටන පණ තියෙන රූකඩ විතරමයි.

සමහර ගෑනුන්ට එකිනෙකාව මුලිච්චි වුණා. පන්සලේ මල් ආසනේ ළඟදී, එහෙම නැත්නම් රෙදි හෝදන්න ගිය වැව අද්දරදී, නැත්තම් සෙනඟ පිරිච්ච හන්දියේ කඩපොළේදී උන්ගේ ඇස් එකට මුලිච්චි වුණා.

උන් එකිනෙකාව අඳුරගත්තේ උන්ගේ ඒ හීතල වෙලා ගිය හිස් බැල්මෙන්. අර අඩියක් තියන්නත් පරක්කු වෙන අමුතු පණ නැති ගතියෙන්. පපුව අස්සේ හිරවෙලා තියෙන, කවදාවත් අත්හැරලා නොයන ඒ හීතල වේදනාවෙන් උන් තමන්ගේම වර්ගයේ උන්ව අඳුරගත්තා.

“මට දැන් මගේ හිනාව අමතකයි බං…” 

“මට මගේම කටහඬ මොන වගේද කියලවත් මතක නෑ,” 

“ඒ කාලකන්නි රැයේ මිනිහා මගේ ඇඟ උඩ නියන තියද්දි, මගේ පණ කඳ ඒ නියන පාර දිගේ ලී කෑල්ලට ඇදිලා ගියා. දැන් මගේ මේ මස් ඇඟ ඇතුළේ තියෙන්නේ පණ නෙවෙයි, එයා නටවන නූල් සූත්තරේ විතරමයි.” කියලා ගෑනු ගෑනු ඇස්වලින් නිස්සද්දව කතා කරගත්තා.

හැබැයි පුදුමේ කියන්නේ, ඒ එකෙක්වත් සෙනෙවිරත්නට සාප කළේවත්, බැන වැදුණේවත් නැහැ. උන් කෑගැහුවේවත්, මිනිහට අතක්වත් තිබ්බේ නැහැ. මොකද උන් දැනගෙන හිටියා සෙනෙවිරත්න වගේ මිනිස්සු සම්පූර්ණයෙන්ම මනුස්ස ලෝකේ එවුන් නෙවෙයි කියලා. උන් මේ ලෝකෙට බැඳිලා ඉන්නේ මන්තර කලාවට, අර අභිචාර විධිවලට, ගස්වලයි නූල්වලයි තියෙන කියන්න නොතේරෙන මායාවකට විතරයි කියලා උන්ගේ හිතට වැටහිලා තිබුණා.

ඉතින් ඒ ගෑනු හැමෝම තමන්ගේ අලුත් ජීවිතේට පුරුදු වුණා. හරියට කිව්වොත් හිරවුණා. හුරුවුණා. හරියට සෙනෙවිරත්නගේ පෙට්ටියේ තියෙන රූකඩ වගේ, උන් සද්ද නැතුවම තමන්ගේ මූසල ඉරණමට ඉඩ දීලා බලාගෙන හිටියා.

ඔන්න ඔහොම අවුරුදු හත අටක්ම ගෙවිලා ගියා. සෙනෙවිරත්නගේ අර පරණ රූකඩ මැස්ස තවත් එක අලුත් ගමකට සේන්දු වුණා.

ගමේ ගෑනු ඒ මඩුව වටේ රොක් වුණේ මොකක් හරි අලුත් දෙයක් බලාගන්න තියෙන කෑදරකමට නෙවෙයි. ඒක හරියට උන්ගේ පපුව ඇතුළෙම පැටලිලා තිබිච්ච ඇහැට පේන්නේ නැති නූල් සූත්තරේකට ඇදිලා ආවා වගේ මූසල පුරුද්දකට. උන් වචනයක්වත් කතා නොකර බලාගෙන හිටියා අර ලී රූප කරළියේ නටන දිහා. නාඩගම් කතා අස්සේ තමන්ගේම අතීත ජීවිතේ ලී රූපවලින් මැවෙන හැටි උන් අඳුරගත්තේ ඇඟ හිරිවැටීගෙන යද්දි.

මද්දලේ “තක් දොම්… තක් දොම්” සද්දෙයි, අර සර්පිනා හඬයි මුළු වටපිටාවම වහගත්තා. අන්න ඒ වෙලාවේ තමයි උන්ට පළමු වතාවට ඇත්තම ඇත්ත තේරුණේ

උන් හැමෝම තමන් කවදා හරි පණ ඇරලා ආදරේ කරපු මිනිස්සුන්ගේ ජීවිත අස්සේ හුස්ම ගන්න, හිතන්න පතන්න පුළුවන් පණ තියෙන රූකඩ විතරයි කියන එක උන්ට තේරුණා. ඒ මන්තර නූල් සූත්තරෙන් ගැලවිලා යන්න විදි කොච්චර තිබ්බත් තමන්ට එහෙම උවමනාවක් තිබ්බෙ නැතෙයි කියන එක උන්ට තේරුණා.

උන් ඒකට උත්සාහ නොකළා නෙවෙයි. සමහරු ගම් අතෑරලා පැනලා ගියා. තවත් සමහරු ගේ ඇතුළට වෙලා හැංගුණා. තවත් උදවිය සෙනෙවිරත්නට රහසින් සාප කළා. හැබැයි ඒ හැමදේකටම වඩා අර ලෝකෙට නොපෙනිච්ච නූල් හරිම හයිය බව උන් දැනං උන්නා. ඒ නූල් උන්ගේ හිතේ හයියට වඩා, උන්ගේ කටහඬට වඩා, උන්ගේ පණ වගේ තිබුණු ආදරේටත් වඩා හයිය වුණා.

ඉතින් කොහේ ගියත් උන් ආයෙත් හැරිලා ආවා. හැමදාම වගේ… නූල් ඇදෙන තාලෙට උන් ආයෙත් සෙනෙවිරත්නගේ රූකඩ මැස්ස ළඟටම ඇදිලා ආවා.

හැම ගමකම, හැම නගරෙකම, හැම කරළියකම අන්තිමට දකින්න ලැබුණේ එකම දේ.

රූකඩ නැටුවා. රූකඩ කාරයා නූල් ඇද්දා.

ඒ තිරයෙන් පිටිපස්සේ කොහේ හරි මුල්ලක අර අසරණ ගැහැනු මළානික විදියට හිනා වෙන්න හැදුවා, නැත්නම් මොනවා හරි කෑගහලා කියන්න හැදුවා. හැබැයි ඒ එකම එක කෙඳිරියක්වත් ලෝකෙට ඇහුණේ නැහැ. සමහරු අර බලන් ඉන්න ලී රූප වගේම හීතල වෙලා සුදුමැලි වුණා. තවත් සමහරුන්ගේ ඇස් තමන්ගේම රූකඩවල තියෙන වීදුරු ඇස් වගේම හිස් වෙලා ගියා. සමහරුන්ගේ කටින් ආයෙත් කවදාවත් හිනාවක සද්දයක් පිටවුණේ නැහැ.

අන්තිමේදී ගම්වල අම්මලා තමන්ගේ දූවරුන්ව ළඟට අරන්, පපුවට තද කරගෙන හීන් හඬින් මෙහෙම රහස් කියන්න ගත්තා.

“බලාගෙනයි දුවේ… ඔය නිස්සද්ද ඇස් තියෙන රූකඩ කාරයෙක් ගමට ආවොත් හොඳට පරෙස්සම් වෙයන්. හත්ගව්වක් ඈතින් හිටපන්. ඇහැට පේන්න නැති නූල් සූත්තර ගැන සීරුවෙන් හිටපන්. මොකද උඹ දැන් නිදහස් කියලා හිතන කොටත්, උඹව නටවන්න ඒ රහස් නූල්වලට ඕනෑම වෙලාවක පුළුවන්.”

ඉතින් ඒ කතාව දුමාරයක් වගේ, පපුව හාරන ලොකු දුකක් වගේ ගමෙන් ගමට හීන්සීරුවේ පැතිරිලා ගියා. රූකඩ එහෙමම ඉතුරු වුණා. නූල් සූත්තරත් එහෙමමයි. අර අසරණ ගෑනුත් එහෙමම ඉතුරු වුණා. උන්ගේ ජීවිතවල තිබිච්ච ඒ පපුව පැලෙන වේදනාව, අර ලී රූපවල මූණුවල හරිම පරෙස්සමට, කිසිම අඩුවක් නැතුව නෙළලා තිබුණා.

රූකඩ නාටක පෙන්නන හැම ගෙදරකම මේ කතාව කියවුණා. හැබැයි ඒ හැම වෙලාවකම ඒක කියවුණේ වෙව්ලන තොල්වලින්, හිත පත්ලට වැටිච්ච කඳුළුවලින්.

ඈත පළාතක, ගස් හෙවණක, එක තනි ගහක් නිහඬව බලාගෙන හිටියා. 

තවත් රූකඩයකට පණ දෙන්න, තවත් හදවතක් තමන්ගේ මායාව පස්සේ ගෙන්නගන්න තමන්ගේ සිරුර පූජා කරන්න ඒ ගහ හැමදාම වගේ ලෑස්ති වෙලා හිටියා.

More Stories

Don't Miss


Latest Articles