කලුවර රෑ සඳක් වගේ – 34

0
70

බොස්ගේ කාමරේ දොර ඇරගෙන ඇතුළට යද්දී මට දැනුණේ මම මරණ දඬුවම අහන්න යන විත්තිකාරියක් වගේ.

 ඒ කාමරේ ඇතුළේ තිබුණේ මාරම හුස්ම හිරවන ගතියක්. ඒසී එකේ සීතල මැද්දෙත් මගේ නළලෙන් දාඩිය බිංදු වැටෙනවා වගේ මට දැනුණා. මමයි දිව්‍යයි ඉස්සරහා පුටු දෙකේ වාඩි වුණත්, අපේ මැද්දේ තිබුණේ නොපෙනෙන මහා ලොකු ගින්දරක්. අපි දෙන්නා අතර අඟලක වගේ පරතරයක් තිබුණට, ඒ පරතරය අස්සේ මහා ලොකු වෛරයක් පිරිලා තිබුණා කියලා තමයි මට හිතුණෙ.

දිව්‍යා වාඩි වෙලා හිටියේ හරියට කිසිම වරදක් නොකරපු, ලෝකේ ඉන්න අහිංසකම ගෑනු ළමයා වගේ හෙන සාන්ත දාන්ත ලීලාවෙන්.මට ඇත්තටම ඕන වුනා ඒකිගෙ කලර් කරපු කොණ්ඩෙන් ඇදලා අරගෙන “පරට්ටි, උඹ මාව කෑවා” කියලා ඒකිට ගහගෙන ගහගෙන යන්න. ඒත් මගේ හිතේ තිබ්බ ඒ කේන්තිය මම අමාරුවෙන් පාලනය කරගත්තා. මගේ අත්ලට දාඩිය දාලා, මම මගේ ඇඟිලි පටලවගෙන මිරිකන්න ගත්තේ හිතේ තියෙන නොසන්සුන්කම වහගන්න. මම මීට කලින් කවදාවත් මෙහෙම තැනක වැරදිකාරියක් වෙලා වාඩි වෙලා නැහැ. ඒ හින්දමද මන්දා මට ඒක දැනුනෙ පපුව හූරගෙන යන වේදනාවක් එක්ක. 

“ඊයේ මුළු ඔෆිස් එකටම ඇහෙන්න මට බැණලා, මගේ චරිතේ හූරලා කාලා දැන් මෙතන ඇඟ බේරගන්න හදන හැටි. තොගේ ඔය ලස්සන මූණ පිටිපස්සේ තියෙන කුණුකම බොස් දන්නවා නම්, තෝව අදම පන්නලා දානවා.” කියලා මම තව තප්පර ගාණක් හිතෙන් දිව්‍යාට බැන්නා.

අපි දෙන්නම උන්නෙ බොස් අහන දේකට හිතෙන් දෙන්නෝන උත්තර හද හද වෙන්නැති. බොස් උන්නෙ විනාඩි ගාණක් පුරාවට ෆයිල් එකක් දිග ඇරගෙන ඒක දිහාම බලාගෙන. අපි අතරෙ තිබ්බෙ මාරම ලොකු සයිලන්ස් එකක්. ඒ සයිලන්ස් එක තත්පරයෙන් තත්පරය මගේ පපුව පලන්න වගේ වැඩි වුණා. කාමරේ තිබ්බ ඔරලෝසුවේ ටික් ටික් සද්දේ මගේ ඔළුව ඇතුළට මිටියකින් ගහනවා වගේ ඇහෙනවා. මම හිතින් දිව්‍යාට දහස් වාරයක් ශාප කළා. “උඹේ ඔය විස කට හින්දා මගේ නම්බුවත් මේ ඔෆිස් එක ඇතුලෙ අද ඉවර වෙන්නයි යන්නේ… තොට හෙන ගහන්න ඕනේ මේ කරන විනාසෙට.” මම හිතින් බැන්නා. දිව්‍යා යාන්තමට මා දිහා බලලා කට කොනකින් හිනා වුණා. ඒ හිනාවේ තිබුණේ ‘දැන් බලමුකෝ උඹට වෙන දේ’ වගේ පෙනුමක්. 

“මම කෙළින්ම කතාවට බහින්නම්… ඊයේ මේ ඔෆිස් එක ඇතුළේ වෙච්ච සිද්ධිය මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේක රජයේ කන්තෝරුවක්වත්, ගෑනු අයට කෙහෙවලු පටලවගන්න පුළුවන් කාන්තා සමිතියක්වත් නෙවෙයිනෙ. මේක ප්‍රයිවට් කොම්පැනියක්. අපි බොහොම අමාරුවෙන් ගොඩ නගා ගත්ත තැනක්. මෙතන තියෙන්නේ වැඩ කරන්න මිසක් පෞද්ගලික ප්‍රශ්න විසඳගන්න නෙවෙයි.මට ඇත්තටම කණගාටුයි මේ වගේ දේකට ඔයාලව මෙතනට කැඳවන්න වුණ එක ගැන. ඔයාලා දෙන්නම මේ ආයතනයට වැදගත්. හැබැයි මම ආයෙත් කියනවා, පෞද්ගලික ප්‍රශ්න වෙනයි, වැඩ වෙනයි. ඔයාලා දෙන්නා අතර මොනවා හරි ගැටුමක් තියෙනවා නම්, ඒක ඔෆිස් එකෙන් එළියට ගියාම ඕන විදියකට විසඳගන්න. හැබැයි මේ වගේ ලැජ්ජා සහගත විදියට හැසිරිලා ආයතනයේ ගෞරවය නැති කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ ස්ටාෆ් එකේ අය මෙහෙම පටු විදියට හිතයි කියලා.ඔයාලා දෙන්නට මොනවා හරි ගනුදෙනුවක් තියෙනවා නම්, පරණ කෝන්තරයක් තියෙනවා නම් ඒක මේ ඔෆිස් එකේ දොරෙන් එළියට ගියාම ඕන විදියකට විසඳගන්න. මම ඒකට අත දාන්න එන්නේ නැහැ. හැබැයි මේ වගේ ලැජ්ජා සහගත විදියට හැසිරිලා, තව කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ ගැන මඩ ගහගෙන රණ්ඩු වෙන්න මගේ ඔෆිස් එක පාවිච්චි කරන්න දෙන්න බැහැ. ඒක මතක තියාගන්න. මේක ආයතනයේ ගෞරවය විතරක් නෙවෙයි, ඔයාලා දෙන්නගේම වෘත්තීය ගෞරවයටත් ලොකු කැළලක්”

බොස්ගේ ඇස් මගේ මූණේ නතර වෙද්දී මට හිතුණේ මම පොළොව පලාගෙන යන්න තිබුණා නම් කොච්චර ශෝක් ද කියලා. මගේ ඇස් පියාගන්න ඕන වුණත්, මම අමාරුවෙන් බිම බලාගෙන හිටියා. මට මනුසත් මතක් වුණා. උදේ එයා මට බැන්නේ ගොඩේ ගෑනියෙක් වගේ හැසිරුණා කියලා. දැන් බොස්ගේ ඉස්සරහත් මම ඒ ගොඩේ ගෑනිම වෙලා නේද කියලා හිතෙද්දී මට දැනුණේ මහා පරාජිත හැඟීමක්. මගේ ක්ලාස් එක, මගේ නම්බුව හැමදේම මේ පුංචි කාමරේ ඇතුළේ කුඩුපට්ටම් වෙලා යනවා වගේ මට දැනුණා.

“පෞද්ගලික ප්‍රශ්න වෙනයි, වැඩ වෙනයි. ඔයාලා දෙන්නා අතර මොනවා හරි ගැටුමක් තියෙනවා නම්, ඒක ඔෆිස් එකෙන් එළියට ගියාම ඕන විදියකට විසඳගන්න. හැබැයි මේ වගේ ලැජ්ජා සහගත විදියට හැසිරිලා ආයතනයේ ගෞරවය නැති කරන්න මම ඉඩ දෙන්නේ නෑ කියන එකත් හොඳට මතක තියාගන්න. වැඩ කරන්න මිනිස්සුන්ව ඕන තරම් හොයාගන්න පුලුවන් හැබැයි කම්පනි එකක් කඩං වැටුණොත් ආය ඒකක් ගොඩනගන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. මං මේ දෙන්නටමයි කියන්නෙ” බොස් කියන හැම වචනයක්ම මගේ හදවතට හෙල්ලකින් අනිනවා වගේ තමයි මට දැනුණෙ. මොන හතර විලි ලැජ්ජාවක්ද මේ? අනික මේ මම කියන්නෙ මේ දිව්‍යා වගේ එකියක් හන්දා බොස් කෙනෙක් ඉස්සරහා මෙච්චර ලැජ්ජ වෙන්නෝන ගෑනියෙක්ද කියන එක මට කල්පනා උනේ නැත්තෙ නෑ.මොක වුණත් මම ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක්. දිව්‍යා කියන්නෙ මොකෙක්ද?

හැබැයි බොස් කිව්ව වචන මගේ හිත කොච්චර රිද්දුවත් දිව්‍යාගේ මූණේ තිබිච්ච අර බොරු අහිංසක පෙනුම නං පොඩ්ඩක්වත් මැකුණෙ නෑ. ඒකි හිටියේ හරියට බොස් කියන හැම දේකටම එකඟයි වගේ ඔළුව හොල්ල හොල්ල. 

“ආයේ මේ වගේ දෙයක් වුණොත් මට සිද්ධ වෙනවා දෙන්නටම එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න. ඒක මතක තියාගන්න. මේක ඔයාලට දෙන පළමු සහ අවසාන අවවාදය. මම මේ වතාවට විතරක් මෙහෙම වර්බල් වෝනින් එකක් දීලා ඉවර කරනවා වෝනින් ලෙටර් එකක් දෙන්නෙ නැතුව. හැබැයි ඊළඟ පාර නම් වෝනින් මුකුත් නෑ යන්න පුළුවන් ඕන වෙලාවක.” බොස් එහෙම කියලා මේසය උඩ තිබුණ පෑන අතට ගත්තෙ මේ කතාව ඉවරයි කියලා කියන්න වගේ. එයාට ඕන වුණේ මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවර කරන්න වුණත්, මගේ හිතේ ඇති වෙච්ච තුවාලය එතනින් ඉවර වුණේ නැහැ.

අපේ මැද්දේ තිබුණේ මාරම සීතල යුද්ධයක්. අපි දෙන්නා මුණ බලාගෙනවත්, වචනයක්වත් කතා කළේ නැහැ. දිව්‍යා උන්නෙ එයාගෙ අතේ ඇඟිලි දහයටම වගේ දාගෙන උන්න එක එක ජාතියේ මුදු වලින් එක එක ඒවා විටෙන් විටේ කරකවන ගමන්. 

“අනික ඉතින් ලිහිණි…ඔයා මැරීඩ් කෙනෙක්නේ. ඔයා බැඳපු ගෑනියෙක් හින්දා මේ වගේ බොරු කතාවලට, ඕපදූප වලට පැටලෙන එක ඔයාගේ පෞද්ගලික ජීවිතේටත්, ඔයාගේ නම්බුවටත් හොඳ නෑ කියලා මම හිතනවා. ඒ හින්දා මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න. දැන් යන්න පුළුවන්.”

බොස් ඒ වචන ටික කිව්ව විතරයි, මම දැක්කා දිව්‍යා මං දිහාව බැලුවේ ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන. 

ඒකිට හිතෙන්න ඇති “මේකි මේ කසාද බැඳලා ඉද්දිද තොත්ත බබා වගේ තිදස් එක්කත් හුරතල් වෙන්නෙ?” කියලා.

මට දැනුණෙ නිකන් මම මාරම ලොකු රහසක් හංගගෙන ඉඳලා ඒක එකපාර හැමෝම ඉස්සරහා රිවීල් වුණා කියලා.

මං හිතුවෙ මං ඉවරයි තමයි කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here