කලුවර රෑ සඳක් වගේ – 35

0
241

බොස්ගේ කාමරෙන් එළියට එද්දී මට දැනුණේ හරියට මගේ පපුව උඩ මහා බර කළුගලක් පටවලා වගේ. 

කකුල් දෙක පණ නැතුව වෙව්ලනවා වගේ දැනුනත් මම වැටෙන්නෙ නැතුව ඇවිදගෙන ආවා. මම අමාරුවෙන් හිත හයිය කරගෙන දොර වහගත්තේ, මගේ ඇස් දෙකේ පිරිලා තියෙන කඳුළු ටික කාටවත් පේන්න කලින් මගේ සීට් එකට යන්න ඕන හින්දා. දිව්‍යා මට විනාඩි දෙකකට කලින් එළියට ගියා. මම හිතුවා වගේම මම අපේ සෙක්ෂන් එකට ඇතුල් වෙද්දීම දැක්කේ ඒකි තව කට්ටියක් වට කරගෙන ලොකු දේශනාවක් දෙනවා. අනිවාර්‍යෙන්ම ඕකි දැන් මං කසාද බැඳපු විත්තිය අනිත් අයට කියලා ඇති කියලා හිතෙද්දිම මට පුදුම ලැජ්ජාවක් තමයි දැනුනෙ.

දිව්‍යා ඉන්නේ අප්සරායි, විහඟයි තව කීප දෙනෙකුයි මැද. මාව දකිද්දීම දිව්‍යා තවත් හයියෙන් කතා කරන්න ගත්තේ මටත් ඇහෙන්න කියලා මම දන්නවා. ඒකිගේ මූණේ තිබුණේ අර ‘දැන් බලපන් මම කරන දේ’ වගේ මහ කුපාඩි, නින්දිත හිනාවක්. දිව්‍යා තමන්ගේ කලර් කරපු කොණ්ඩේ පිටිපස්සට කරලා, හරිම ආඩම්බරෙන් වටේ ඉන්න අයට ඇහෙන්න කියවන්න ගනිද්දි මං කරේ ඔලුව නවාගෙන කැබින් එක හරහා ඇවිත් මගෙ සීට් එකෙන් වාඩිවෙච්ච එක.

“අනේ මන්දා බං, මම නම් කියන්නේ ඕනම දේකට ලෙවල් එකක් තියෙන්න ඕනේ. මේ තමන්ට ගෙදර මිනිහෙක් ඉඳිද්දී අනුන්ගේ කොල්ලෝ පස්සේ යන්න තරම් මක් වෙලාද මන්දා. ඒ මදිවට දැන් බොස් ගාවට ගියාම මාරම අහිංසක පාට් එක දාගෙන ඉන්නවා. හැබෑට මේ සමහර ගෑනුන්ට ලැජ්ජාවක් කියලා නාමයක් ගෑවිලාවත් නැද්ද? තමන්ගේ ලිමිට් එක දන්නේ නැති ගෑනු හින්දා තමයි මුළු ඔෆිස් එකේම ඉන්න අනිත් ගෑනුන්ටත් කුණු කතා අහන්න වෙන්නේ.”

දිව්‍යා ඒ වචන ටික කිව්වේ නිකන් විහිළුවට වගේ හිනා වෙවී වුණත්, ඒ හැම වචනයකම තිබුණේ මාව මරන්න පුළුවන් විසක්. මම ඒ වෙලාවේ මගේ සීට් එකට ගිහින් වාඩි වුණේ නිකන් කිසි දෙයක් ඇහෙන්නේ නැති ගානට. ඒත් දිව්‍යාගෙ කට කියවිල්ල නතර වුණේ නෑ. තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න කියලා හිතාගෙන වගේ දිව්‍යා උන්නෙ දිගටම දිගටම කියෝගෙන කියෝගෙන යන ගමන්..

“අනික ඉතින් තිදස්ට පිස්සු නැහැනේ මේ වගේ බැඳපු ගෑනු එක්ක නටන්න. එයා හොඳ පවුලක කොල්ලෙක්. එයා දන්නවා කාත් එක්කද ඉන්න ඕනේ කියලා. මේ කොහේවත් ඉන්න ගොඩේ ගෑනුන්ට අහුවෙන්න තරම් එයා මෝඩයෙක් නෙවෙයි. නිකන් බොරුවට ඔෆිස් එකේ නම්බුව කනවා මෙහෙම උන් හින්දා.අනේ මට නං දැන් තිදස් ඇවිල්ලා කතා කරන්න බැරි නම් වඩාහෙන හිටියත් කිසි ගාණක් නෑ. තිදස්ට ඉතින් පිස්සු වෙන්නෝන මේ බැඳපු ගෑනු එක්ක සෙට් වෙන්න.

අනික නිකන් කොහොමද ඉඳියෙ? නිකමටවත් අපි එක්ක ඔය බැඳපු විත්තියක් කිව්වෙ නැතුව ඇත්තෙ සමහරවිට මෙහෙම නාඩගම් එහෙනම් නටන්න බැරිබව දැනගෙන උන්න හන්දා වෙන්නැති” 

දිව්‍යා උන්නෙ නිකන් කටර් එකක් වගේ කියවගෙන කියවගෙන යන ගමන්. ගොං ගෑනිගෙ හොම්බ තැලෙන්න දෙකක් දෙන්න කොච්චර උවමනාව තිබ්බත් මට එදා ඒක කරගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. මොකෝ මට තේරුණා මේ ප්‍රශ්නෙදි කට්ටියම වැඩි බරක් දීලා තිබ්බෙ දිව්‍යාගෙ පැත්තට කියලා. ඒකෙ වරදක් තිබ්බෙ නෑ ඉතින් කොහොමත් ඒකි මට කලින් මේ ඔෆිස් එකට ආව එකේ ඒක එහෙම වෙන්නෝනනෙ කියන දේ වගේම මම නිකන් මෙච්චර දවසක් මම බැඳල කියන එක හංගගෙන උන්න හන්දා ඒකත් කට්ටියට මගෙ පැත්තට කතා නොකරන්න හේතුවක් වෙන්න ඇති කියන එක මට එවෙලෙ කල්පනා උනා. ඒ නිසාම මට සිද්ද වුනා සද්ද නැතුව ඉන්න.

“ඇත්තටම බං, තමන්ගේ මනුස්සයා ගැනවත් හිතන්නේ නැතුව මෙහෙම නටන නාඩගම් ගැන නම් කතා කරලත් වැඩක් නැහැ. ලැජ්ජයි හලෝ! හෙට අනිද්දා තිදස් සර්ගේ ගෙදරටත් මේවා ආරංචි වුණාම මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න තිබ්බා. පිරිමි කියන ජාතියත් ඉතින් මෙහෙම ඇඟේ එල්ලෙන්න එනකොට බැහැ කියන්නේ නැහැනේ. හැබැයි තිදස් සර් පව්! ඒ මනුස්සයා හොඳ හන්දා හොඳයි නැත්තම් ඉතින් අපිට මේකෙ තව තව නාඩගම් බලාගන්න තිබ්බා” දිව්‍යා කට කොනකින් හිනා වෙලා ආයෙත් සැරයක් මගේ පැත්ත බැලුවේ මාව පණ පිටින් පුච්චලා දාන්න වගේ. බොස් කිසිම පදනමක් නැතුව දිව්‍යා අතට දුන්නෙ මාව සහමුලින්ම විනාශ කරලා දාන්න පුළුවන් විදියෙ ආයුධයක් කියන එක මතක්වෙන වාරයක් වාරයක් පාසා මට ඇත්තටම දෙන්නවම මරං කන්න තරම් තරහක් හිතට ආවා.

මගේ හිත ඇතුළේ ලොකු ගින්දරක් ඇවිලුණත් මම කරබාගෙන හිටියෙ ඇත්තටම මට මාර අසරණකමක් දැනිච්ච හන්දා. මං හිත අස්සෙන් උන්නෙ අඬ අඬ. “අනේ දෙයියනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කියලා හිත තමන්ගෙන්ම අහද්දි ගෑනියෙක් කොච්චර අසරණ වෙනවද කියන එක දන්නෙ ගෑනියෙක්ම විතරයි. පිරිමියෙක්ට නම් ඕනෑම මඩක්, අපහාසයක් ගසා දාලා හිනා වෙලා යන්න පුළුවන්කම තිබුණට, ගෑනියෙක්ගේ චරිතයට එක මඩ පොදක් වැටුණත් ඒක මැකෙන්න මුළු ජීවිත කාලෙම යනවා. ඒ මදිවට මේකි මාව මරන්නේ වචන වලින්. දිව්‍යාට ඕන වුණේ මාව මේ ඔෆිස් එකේ හැමෝම ඉස්සරහා පජාත කරලා දාන්න. මගේ බැඳීම, මගේ ගෞරවය, මගේ රස්සාව විතරක් නෙවෙයි මගේ ආත්ම අභිමානය පවා ඒකි තමන්ගේ සපත්තුවට යට කරලා දාලා පාගනවා වගේ මට දැනුණේ.

“අනේ මන්දා ඉතින්… ඔය ප්‍රශ්න අපිට විසඳන්න විදියක් නැහැනේ බං.” විහඟ කිව්වේ දිව්‍යාගේ දිහා බලාගෙන. “ඒ වුණාට අඩුම ගානේ අපි මේ වගේ පෞද්ගලික ප්‍රශ්න වැඩ අස්සට අරගෙන එන එක නතර කරමු. අපිට ඉතින් කන්න හම්බෙන්නේ අපි හම්බ කළොත් විතරනේ. මෙතන මෙහෙම ලොකු ලොකු ප්‍රශ්න ඇති කරගත්තම අපිටත් වැඩක් කරගන්න නැහැ. බොස්ගේ මූණත් අද හොඳ නැහැ. අන්තිමේ අපිත් නිකන් චාටර් වෙන එක වෙන්නෙ”

“ඔව් දිව්‍යා, විහඟ කියන එක ඇත්ත. අපි දැන් අපේ වැඩක් බලාගමු. කවුරු මොනවා කළත් අපිට මොකද? කාගේ කාගේත් පුද්ගලික දේවල්නේ. වැඩක් කරගන්න නැතුව මෙතන කාලේ කෑවොත් අපිටත් අන්තිමට බැනුම් අහන්න වෙන්නේ.” කියල අප්සරා උනත් කිව්වෙ “අනේ අපි නං ඕවට නෑ” කියලා අත හෝදගන්න ටෝන් එකකින් විත්තිය මට නොතේරුණා නෙවෙයි.

ඒත් දිව්‍යා නං උන්නෙ මේ කතාව ඉවර කරන සීන් එකක් නං නෙවෙයි. 

“නැහැ බං, මම කිව්වේ මේ ඔෆිස් එකේ ඉන්න අනිත් අහිංසක උන්වත් මේවා දැනගන්න ඕන හින්දා. මොකද මේ වගේ කපටි ගෑනුන්ගේ රඟපෑම් වලට අහුවෙලා හෙට අනිද්දා තව කොල්ලෙක්ගේ ජීවිතයක් විනාස වෙන්න පුළුවන්නේ.”

මගේ ඇස් දෙකෙන් කඳුළු බිංදුවක් වැටෙන්න ඔන්න මෙන්න තිබ්බේ. මට ඕන උනේ මෙතනින් වෙන තැනකට ගිහිල්ලා මහ හයියෙන් අඬන්න. කාගෙ හරි පපුවකට බර වෙලා, එයා මගෙ කෙස් අස්සෙන් හෙමින් සැරේ ඇඟිලි යවද්දි එයාව බදාගෙන අඬන්න ලොකුවට උවමනාවක් තිබ්බත් හිත කියන “එයා” තිදස් ද? මනුසත්ද? කියන එක ගැන මට ඇත්තටම අයිඩියා එකක් තිබුණෙ නෑ.

මට ඕන වුණා හයියෙන් කෑගහලා අඬන්න. මම මේසෙ යටින් මගේ කලවා තද කරලා මිරිකා ගත්තේ කඳුළු පිටතට එන එක නවත්තගන්න. “අනේ අම්මේ… ඔයා හිටියා නම්” කියලා මට හිතුණේ මම කවදාවත් නැති තරම් තනි වෙලා කියලා දැනුණු හින්දා. අනුන්ගේ කුණු හොයන, අනුන්ගේ ජීවිත වලට ගිනි තියලා ඒකෙන් සතුටක් ලබන දිව්‍යා වගේ ගෑනු ලෝකේ ඉන්නකල්, මම වගේ අහිංසක විදියට ජීවත් වෙන්න හදන ගෑනුන්ට හැමදාම වෙන්නේ මෙහෙම විඳවන්න තමයි.

මම හෙමින් මගේ පෝන් එක අතට ගත්තා. මට හිතුණා මේ දැන්ම අස්වීමේ ලිපිය ලියලා දාලා මෙතනින් පැනලා දුවන්න. ඒත් මගේ හිතේ එක පැත්තකින් මහා කේන්තියක් ආවා. මම වැරැද්දක් කරලා නැත්නම් මම ඇයි මෙහෙම දුවන්නේ? මම වැරැද්දක් නොකරත් ඇයි මම මෙච්චර බය? ඒත් ඒ කේන්තියට වඩා මගේ අසරණකම ඉස්සරහට ආවා. මට තේරුණා මම මේ රස්සාවට ආවේ කීයක් හරි හම්බ කරගෙන මගේ පාඩුවේ ඉන්න මිසක් මෙහෙම කුණු කතා අහන්න නෙවෙයි කියලා.

දිව්‍යා ආයෙත් මොකක් හරි කැත හිනාවක් දානවා මට පෙනුණා. ඒකිගේ මූණ දිහා බලද්දී මට ඇති වුණේ මහා පිළිකුලක්. “තෝ බලන් ඉඳපන්… මම වැටිච්ච වළේ තෝ වැටෙන දවසක් එයිනෙ. එදාට මං හිනාවෙන්නෙ කටෙන් නෙවෙයි උඹට පස්ස පැත්තෙන්” කියලා මම හිතින් සාප කළා. ඒත් මගේ හිතේ තිබුණු ඒ වේදනාව ඒ සාප කිරිල්ලෙන් අඩුවුණේ නැහැ.

අන්න ඒ වෙලාවෙ තමයි තිදස් අපේ කැබින් එකට බෙල්ල දැම්මේ.

” පොඩ්ඩක් මෙහාට එන්න පුළුවන්ද? මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ.”

දිව්‍යායි මමයි දෙන්නම තිදස්ගෙ මූණ බලලා අපි දෙන්නගෙම මූණ බලාගත්තෙ තිදස් එහෙම කිව්වම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here