හඳපානේ රෑයාමේ

එකෝමත් එක කාලෙක, ගාල්ලේ පැත්තේ, ගිං ගඟ අයිනට වෙන්න හරිම නිසංසල ගමක් තිබුණා. ඒ ගමේ ජීවත් වුණු අරවින්දි කියන්නේ හරිම අහිංසක, ඒ වගේම හරිම ප්‍රියමනාප ගෑනු ළමයෙක්. අරවින්දිගේ මූණ හරියට පුන්සඳ වගේ ලස්සනයි කියලා ගමේ නාකි උදවිය පවා කිව්වා. හැබැයි ඉතින් මොන ලස්සන තිබුණත් වැඩක් නෑ, ඒ කෙල්ල ඉපදිච්ච වෙලාවේ ලියපු කේන්දරේ ඒ ලස්සන ඔක්කොම වහලා දාලා තිබුණේ මහා මූසල කතාවකින්.

අරවින්දි ලොකු ළමේක් දවසේ ගමේ හිටපු නැකැත් රාළ කේන්දරේ බලලා කිව්වේ,

 “මේකිගේ කේන්දරේ අඟහරු ඉන්නේ හත්වෙනි කොටුවේ… ඕක හරිම දරුණුයි. මේකිව කසාද බඳින එකාට හත් පොළකින් ලේ වක්කරගෙන මැරෙන්නයි  වෙන්නෙ. කෙල්ලගේ කේන්දරේ හැටියට මිනිහට බොහෝම අපලයි. අඟහරු ලෝකෙන්ම එකෙක්ව අරගෙන ආවොත් මිසක්කා මේ කපේ මේ රටෙන් නම් මනමාලයෙක් හොයන එක කරන්නැහැක් දෙයක් නෙවෙයි” කියලා.

 ඉතින් ඔය කතාව ගම පුරාම පැතිරුණේ අකුණක් ගැහුවා වගේ. 

ඒ කාලේ ඉතින් කේන්දරේට වඩා දෙයක් මිනිස්සුන්ට තිබුණේ නෑනේ. මඟුල් කපුවෝ අරවින්දිලාගේ වත්ත පැත්තෙන් යනකොට කුඩේ පහත් කරගෙන, අහක බලන් ගියේ හරියට අරවින්දිව දැක්කත් අපල වෙයි කියලා හිතාගෙන වගේ.

ඔහොම ඉතින් කාලය හෙමින් හෙමින් ගෙවිලා ගියා. අරවින්දිගේ වයස දැන් තිහටත් කිට්ටු වෙලා. එයාගේ වයසේ හිටපු හැම කෙල්ලෙක්ම කසාද බැඳලා, දරුවෝ හදලා, පදිංචි වෙද්දී අරවින්දි තාමත් ගෙදරටම වෙලා හිටියා. ගෙදර මිනිස්සුන්ගේ කටවල් වලිනුත් බේරෙන්න බැරි වුණා. අරවින්දිගේ අම්මා වුණත් හරිම නපුරු විදියට තමයි අරවින්දිට කතා කරේ.

 “උඹේ ඔය මූසල කේන්දරේ නිසා අපිට කවදාවත් උඹෙන් ගැලවෙන්න නම් හම්බෙන්නෙ නෑ. නාකි වෙවී ඉඳහන් ගෙදෙට්ට වෙලා අපෙන් පස්සෙ උඹේ මේ මල කරදරේ ඔලුව උඩ තියාගන්න වෙන්නෙ අයියට තමයි,” කියලා අම්මා හැමදාම වගේ බනිනවා.

අරවින්දි මේ හැමදේම අහගෙන හිටියේ හරිම නිස්සද්දව. කෙල්ල හිතුවේ තමන් කරපු මොකක් හරි පවක් නිසා මේ දේවල් වෙනවා කියලා. හැමදාම රෑට තමන්ගේ කාමරේට වෙලා කොට්ටේ තෙමෙනකම් අරවින්දි අඬනවා. 

“අනේ දෙයියනේ, මට විතරක් ඇයි මෙහෙම අවාසනාවන්ත කේන්දරයක් දුන්නේ?” ටික වෙලාවකින් කඳුළු පිහගෙන අම්මලටයි අරයලා මෙයාලටයි හිතෙන් දොස් කියනවා “යකෝ හරියට මට ඕන වෙලාවට මං ඉපදිච්ච තාලෙටනෙ මුං අනං මනං කඩප්පුලි කතන්දර කියන්නෙ? මගෙ කේන්දරේ මං ලියාගත්තා වගේ කියන්නෙ. කවුද දන්නෙ හරියටම මං ඉපදිච්ච වෙලාවමද ඕකුන් කේන්දරේ හදද්දි අරගත්තෙ” කියලා කෙල්ල තමන්ගෙන්ම අහගතන්නවා 

කොහොමහරි මේ “අරවින්දි කියන්නෙ අඟහරු හතේ කෙල්ලෙක්‍” කියන කතාව ගමේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තිබ්බයින් ගමේ කොල්ලෙක්වත් එයා දිහා ආදරේකින් ඇහැක් ඇරලා බැලුවේ නෑ. කවුරු හරි කොල්ලෙක් එයාට කැමති වුණත්, ඒ කොල්ලගේ දෙමව්පියෝ අර කේන්දරේ ගැන අහපු ගමන් ඒ මඟුල එතනම නතර කරනවා.ඒ හන්දා ආදරේකට තියා වෙන දේකටවත් කවුරුවත් අරවින්දි දිහාව නෙවෙයි බැලුවෙ.

ගමේ මිනිස්සු අරවින්දි ගැන කතා කළේ හරිම අමුතු විදිහකට. “බලපන් අර කෙල්ලගේ ලස්සන, ඒ වුණාට මොනවා කරන්නද, අඟහරු හතේනේ. අවාසනාවන්ත එකී.හතේ උන්නත් කමක් නෑ අඩුම නීච නොවී අඟහරු උච්ච වුණා නම්. ඒකත් එහෙම නෑනේ.” කියලා කට කොනකින් හිනා වුණා. මුල් කාලෙ නම් අම්මලා ඔය කතරගම දෙයියන්ට කන්නලව් කිරිලි, රතු මල් පූජා කිරිලි, ස්කන්ධ දිව්‍ය රාජෝත්තම යන්ත්‍රෙ පැළඳිලි එහෙම කරාට, පස්සෙ පස්සෙ ඔව්ව නිකන් සල්ලි නාස්ති කිරිලි විතරයි කියලා තේරුංගත්තයින් අරවින්දිට ඒ පිහිටත් නැතිවෙච්ච එකයි වුණේ.

අරවින්දි පාරේ යනකොටත් මිනිස්සු රහසින් මොනවා හරි කියනේවා කෙල්ලට ඇහෙනවා ඉතින්. මේ හැමදේම හින්දා අරවින්දි හරිම හුදෙකලා වෙච්ච කෙල්ලක් වුණා. එයාට දැනුණේ මුළු ලෝකෙම තමන්ට විරුද්ධව ඉන්නවා වගේ.

අරවින්දිට ඕන වුණේ කවුරු හරි තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක්. කේන්දරේට වඩා තමන්ගේ හදවත දකින කෙනෙක්. ඒත් ඉතින් ඒ කාලේ ඒ වගේ පිරිමි මේ ලෝකේ හිටියේ නෑ කියලා තමයි අරවින්දිට හිතුණේ. ගෙදර මිනිස්සුන්ගේ නින්දා අපහාස, ගමේ මිනිස්සුන්ගේ කටකතා මේ හැමදේම අරවින්දිගේ හිත පහුරුගෑවා. කෙල්ල නොදැනුවත්වම තමන්ගේ ඉරණමට සාප කරන්න ගත්තෙ අන්න ඒ හන්දා. හැබැයි කෙල්ල දැනගෙන හිටියේ නෑ, තමන්ගෙ මේ අවාසනාවන්තයි කියන කේන්දරේම තමයි තමන්ට ලෝකේ තියෙන ලස්සනම ආදරේ ගේන්න නියම වෙලා තිබුණේ කියලා.

අරවින්දිගේ අයියා, ගුණපාල, කසාද බැන්දට පස්සේ ගෙදර තත්ත්වේ තවත් නරක අතට හැරුණා. අලුත් නෑනාට ඕන වුණේ ගුණපාලව තමන්ගේ අල්ලේ නටවන්න. ඉතින් රෑ තිස්සේ හේනේ පැලට වෙලා සත්තු පන්නන්න ගුණපාල යනවට නෑනා කොහොමටවත් මනාප වුණේ නැහැ. නෑනා දවස තිස්සේම ගුණපාලගේ කනේ තිබ්බේ අරවින්දි ගැන කේලාම්.

අන්න ඒ විදියට තමයි අරවින්දිට නොහිතුව දේකට මූණ දෙන්න සිද්ද වුණේ. ඒ වෙද්දි අප්පච්චිත් මැරිලා අම්මත් උන්නෙ අයෝබල වෙලා හන්දා අයියා වෙච්ච ගුණපාලගෙ කීම් බස් තමයි ඒ ගෙදර රජකරේ. අයියගෙ කිව්වට අයියගෙ වචන පස්සෙ තිබ්බෙ නෑනගෙ කියුම් කෙරුම් කියන එක අරවින්දිත් දැනං උන්නා. අම්මා නං ඕවට මක්කවත් කියන්න නොගියෙ එහෙම කිය කිය උන්ගෙන් කකා මෙතන වැටිලා ඉන්න බැරි හන්දා.

“බලපිය නංගී, උඹ ඔය මල ඉලව් කේන්දරේ අස්සේ අඟහරුවෙක් ලැගගෙන ඉන්න හදන හින්දා අපිටත් අපලයිනේ බං. බලපංකෝ… මං කසාද බැන්දා කියලා අපිට තාම හරිහමන් වගතුවක් තියෙද කියලා? වත්තේ පිටියේ අස්වැන්නක් නෑ, කරන කියන දේක හරියෑමක් නෑ. අඩුම තරමේ මේ වහල යට කිරි සුවඳක් එන්න දරු පැටියෙක්වත් නෑනේ තාම. වෙන කාගෙවත් නෙවෙයි ඉතින්, ඔක්කොම උඹේ ඔය මූසල අපලෙ තමයි!” අයියා බුලත් විටක් හපමින් පඩික්කමට කෙළ පාරක් ගැහුවේ නුරුස්සන බැල්මකින්.

අරවින්දි බිම බලාගෙන, ඇස් දෙකට උනන කඳුළු චීත්ත පොටින් හංගන්න උත්සාහ කරන ගමන් හීන් හඬින් කෙඳිරුවා. “ආයේ මං මක්කරන්නද අයියේ… ඈ මං මක්කරන්නද? මං කාටවත් දරුවො හදන එකට බාදාවක් කරාය? හැම එහෙකටම මගෙ අපලෙ අල්ලගන්නේ. අයියා ඒකට නෑනව අල්ලගනිල්ලකෝ… මං මොන වරදක් කළාටද මෙහෙම වද දෙන්නේ?”

“මොකක්ද කිව්වේ? නෑනාව අල්ලගන්න?” අයියා එකපාරටම පුටුවෙන් නැගිටලා අරවින්දි දිහාවට රවාගෙන ආවා. ” ඈ බොල බොණ්ඩියෙ තොට ඒවට නං කට තියෙනවා නේද? මූසලකම තිබුණා මදිවට දැන් ලොකු කතාත් කියනවා. බාධාවක් වෙන්නේ නෑනේ? උඹ මේ ගෙදර ඉන්න එකම බාධාවක්නේ බං! උඹේ ඔය මූණ උදේට දැක්කත් දවසම ඉවරයි කියලා මුන්දැ මට දවස තිස්සේම මැසිවිලි කියනවා. මං රෑට හේනේ පැලට ගියාම මුන්දැ මෙහේ තනියම… උඹ මෙහේ පල්වෙවී ඉන්න හින්දා එයාට හිතේ නිවනක් නෑ. උඹට මක්කැයි… උඹව ගන්න මනුස්සයෙක් මේ ලෝකේ ඉපදිලා නෑනේ. එකෙක් එන්නෙත් නෑ! ඒ හන්දා මං ඒකට පිළියමක් හැදුවා.අද පටං උඹ පලයං හේනට. ඔය හේනෙ උඹ උන්නය කියලා ආය මොකෙක්වත් එන්නෙ නැනෙ උඹව උස්සන් යන්න. ඒ හන්දා මං ගෙදෙට්ට වෙලා දරු පැටියෙක් ගේන හැටියක් බලන්න උඹ අද පටං පලයං හේනෙ පැළට. මට මෙතන මේ රෑ තිස්සෙ හේනෙ කරක් ගහලා ඇවිල්ල උදේ දවල් වරුවල උඹලගෙ මූසලකම් අහගෙන බලාගෙන ඉන්න බෑ”

“ඉතින් අයියේ, මං කොහොමද රෑ තිස්සේ හේනේ තනියම ඉන්නේ? මට බයයි අයියේ…”

“බයයි? උඹට මොන යකෙක්ටද බය? උඹේ ඔය මූණ බලන්න පිරිමියෙක් නාවට, මං දන්නවා එක දෙයක්… උඹේ ඔය මූණ දැක්කම වල් ඌරෝ ටික විතරක් නෙවෙයි, අලියත් බයවෙලා කැලේ කඩාගෙන දුවයි! උඹව මරන්න යකෙක්වත් එන්නේ නෑ… උඹට වඩා ලොකු යකෙක් තවත් ඉන්නවද? ඒ හින්දා අද ඉඳන් උඹ මං වෙනුවට හේනේ පැල රැකපන්. අද ඉඳන් මං යන්නේ නෑ. මුන්දැ එක්ක මට සැනසිල්ලේ ගෙදර ඉන්න ඕනේ. උඹට ඔය කේන්දරේ අඟහරු එක්ක පැලේ ලී තට්ටුව උඩ ඕන මඟුලක් කරගන්න දීලා මං නිදහස් වෙනවා!”

අයියා රවාගෙන කුස්සිය පැත්තට යද්දී, අරවින්දි අසරණ වෙලා ගේ මැද්දෙ බිම වාඩි වුණා. කෙල්ලගෙ කඳුළුවලට උත්තර දෙන්න ඒ වහල යට කිසිම හිතක් තිබ්බෙ නැහැ.

තමන්ගේම එක කුස උපන් සහෝදරයා තමන්ට මෙහෙම නින්දා කරයි කියලා අරවින්දි කවදාවත් හිතුවේ නෑ. කෙල්ල අඬ අඬා තමන්ගේ පරණ පැදුරයි, කුප්පි ලාම්පුවයි අරගෙන ගෙදරින් එළියට බැස්සා. අඳුර වැටිලා තියෙන හේන දිහා බලද්දී කෙල්ලගෙ මුළු ඇඟම වෙව්ලන්න ගත්තා.

කෙල්ල හේනේ තියෙන උස ලී කණු උඩ හදපු පුංචි පැලට නැග්ගා. වටපිටාවම කළුවරයි. කොහේ හරි ඉන්න කැලෑ කුරුල්ලෙක්ගේ කෑගැහිල්ල විතරක් ඇහෙනවා. අරවින්දි පැදුර එලාගෙන, දණහිස් දෙක බදාගෙන පැලේ මුල්ලකට වෙලා හූල්ලන්න ගත්තා.

“අනේ දෙයියනේ… මගේ කේන්දරේ වරදක් තියෙන එකට මං මක්කරන්නද? මටත් තිබුණා නම් හිතේ ගින්දර නිවන එක හිතක්… එක පිරිමියෙක්. මට හිනාවෙනවා වෙනුවට මගේ කඳුළු පිහින එකම එක මල යකෙක් හරි උන්නා නම්, අනේ දෙයියනේ මොකෙක් හරි කමක් නෑ කේන්දරේ අඟහරු ඉන්න එකෙක් කොහෙන් හරි මාව ඇවිත් එක්කාන යනවනං” කියලා හේනෙ පැලේ තනිවෙච්ච කෙල්ල මහ හඬින් ඉකිගහලා ඇඬුවා. කෙල්ල හිතුවෙ තමන්ගෙ ඇඬිල්ල කාටවත් ඇහෙන එකක් නැතය කියලා.

ඒත් කෙල්ල දැනගෙන හිටියේ නැහැ, තමන්ගෙ ඒ ඇඬුම්කාර හඬ අහස පසාරු කරගෙන ගිහින්, අඟහරු ලෝකයේ හත්වැනි කලාපයේ ඉඳන් බලාගෙන හිටපු කෙනෙකුගේ හිතටම වැදුණාය කියලා. එදා රෑ හඳ පායන්න තිබුණේ හරිම අමුතු විදිහකට. අරවින්දි බයෙන් බයෙන් හඳ පායනකම් බලන් හිටියේ පාලුව මකාගන්නයි. අන්න ඒ විදියට මහ පොළොවට වැටිච්ච පළවෙනි රතු පාට හඳ එළිය දිගේ තමයි ඒ අමුත්තා අරවින්දිව බලලා යන්න ආවේ.

හේනේ පැල ළඟට ආපු ඒ අමුතු අමුත්තා දිහා අරවින්දි බලන් හිටියේ අදහගන්න බැරුව. ඒ උන්නාන්සෙ ගාවින් එන අර දිව්‍යලෝක හතක් පරාද කරන මල් සුවඳ මුළු හේනම වහගෙන තිබුණා. අරවින්දි වෙව්ලන අත් දෙකෙන් කුප්පි ලාම්පුව ඉස්සරහට කරලා ඒ ආව උත්තමයගෙ මූණ බැලුවා. අඩි හයකට වඩා උස, ඒ පිරිමියා ඉස්සරහා අරවින්දි ඇත්තටම පුංචි කෙල්ලෙක් වගේ පෙනුණා.

“උඹ… උඹ කවුද? අනික මේ මහ රෑ යාමේ මේ කැලෑ අස්සේ උඹ මක්කරනවද?” අරවින්දි බයෙන් ඇහුවෙ ඇත්තටම මේ උත්තමයා කවුද කියලා හිතාගන්න බැරිවෙච්ච හන්දා.

අමුත්තා හීන් හිනාවක් දාලා පැල අයිනේ තිබුණු ලී තට්ටුව උඩ වාඩි වුණා. “මම ආවේ ගොඩක් ඈතක ඉඳලා. මගේ ලෝකේ අය මාව එවන්නේ වෙන ලෝකවල තියෙන හරිම වටින,  ලේසියෙන් හොයාගන්න බැරි දේවල් හොයාගෙන එන්න. මම ආවෙත් මේ පොළොවේ තියෙන වටිනාම දේ මගේ ලෝකෙට අරන් යන්න.”

“වටිනා දේවල්? වටින දේවල් හොයන්න මක්කටද හේන් අස්සෙ රිංගන්නේ? මේ හේනේ තියෙන්නේ වල් ඌරෝ කාලා ඉතුරු කරපු කුරක්කන් ටික විතරයි. උඹට මක්කැයි ඕනේ? මැණික්ද? රත්තරන්ද? එව්වනං මෙහෙ නෑ. මෙහෙ ඉන්නෙ ඉතින් මමයි මගෙ වගාවයි. වගාව තරංවත් වටින්නෙ නෑ මාව න. මේ පැලේ ඉන්නේ මේ ලෝකෙටම එපා වුණු අවාසනාවන්තියක්. මං මේ බලන් ඉන්නෙත් මොන මල යකෙක් හරි ඇවිත් මාව මේ අපායෙන් අරන් යනකම් තමයි. උඹ මල යකෙක් නෙවෙයි නම්, උඹට මගෙන් වැඩක් නෑ. මට උඹෙනුත් වැඩක් නෑ”

“ඇයි ඔයා එහෙම කියන්නේ? ඔයා මොකටද මල යකෙක් එනකම් බලන් ඉන්නේ?” ඒ මනුස්සයා ඇහුවෙ මහ පුදුමයෙන්.

“මක්කටද අහන්නේ? මාව මල යකෙක් ඇරෙන්න වෙන එකෙක් ගෙනියන්නේ නෑ. මගේ කේන්දරේ අඟහරු හතේලු. ඒක අහපු ගමන් මේ ලෝකේ ඉන්න පිරිමි වලිගෙ කකුල් අස්සේ ගහගෙන දුවනවා,” 

“ඉතින්… අඟහරු හතේ වුණාම මොකක්ද වෙන්නේ?”

“මොනවා වෙන්නද? මාව බඳින මිනිහා මැරෙනවලු! මගේ හැමදේම විනාස වෙනවලු. මගේ කේන්දරේ තියෙන ඒ ගින්දරට අහු වෙලා මිනිස්සු අළු වෙනවලු. ඒකයි මගේ අයියා මාව පිරිමියෙක් නෙවෙයි, වල් ඌරෙක්වත් බලන්නේ නැති මේ හේනට පන්නලා දැම්මේ.”

“එතකොට ඔයාට කොහොම කෙනෙක්වද හොයන්නෝන?”

“අඟහරු හතේ කෙනෙක්ම තමයිලු මට කවදහරි පෑහෙනවානම් වෙන්නෙ. ඒ උනාට එහෙම කේන්දර හොයන්න ලේසි නෑනෙ”

අන්න ඒ කතාව කිව්වයින් පස්සෙ තමයි ඒ මනුස්සයා වාඩිවෙලා උන්න තැනින් නැගිටලා ගිහින් අරවින්දිගේ අත් දෙක හෙමින් තමන්ගේ අත්වලට අල්ල ගත්තෙ. ඒ මනුස්සයගේ අත් හරිම රස්නෙයි. “ඉතින්… ඔයාව බඳින මිනිහා මැරෙනවා නම්, ඒ මිනිහත් අඟහරු හතේම එකෙක් වුණොත් ඌ මැරෙන එකක් නෑ නේද? ආලෝකෙට ආලෝකෙ හම්බවුණාම ඒක මහා ආලෝකයක් වෙනවා මිසක්, විනාසයක් වෙන්නේ නෑනෙ නේද?”

අරවින්දි ගල් ගැහුණා වගේ බලාගෙන හිටියෙ එහෙව් කතාවක් කෙල්ල මීට කළියෙන් අහලා තිබ්බෙ නැති හන්දා. කවදාවත් කිසිම පිරිමියෙක් අරවින්දිට මෙහෙම කතාවක් කියලා තිබුණේ නැහැ. 

“එහෙව් මනුස්සයෙක් හොයාගන්න එකනෙ අමාරු ඉතින්”

“ඉතින් මේ මං ඉන්නෙ”

“ඒ කිව්වෙ? ඔය ඇත්තන්ගෙත් අඟහරු හතේද?”

“මගේ අඟහරු හතේ නෙවි. මං ආවේ අඟහරු වල ඉඳලා. එහෙමෙකේ හතේ වුනත් එකේ උනත් අපි දෙන්නා පෑහෙනව නේද?

“අඟහරු වල ඉඳලා? එහේ මිනිස්සු ඉන්නවය? ඔය ඇත්තමද කියන්නේ? ඔය ඇත්තා  මට විහිළු කරනවා නෙවෙයි නේද?” අරවින්දිගේ ඇස්වලින් කඳුළු කැට කිහිපයක් කඩාගෙන වැරෙද්දි ඒ උත්තමයා කරේ ඒ කඳුළු තමන්ගෙ එක අතක් උඩට එක්කහු කරගන්න එක. වැටිච්ච කඳුළු කැට ඒ මනුස්සයගෙ අත්ලට වැටිලා වියැකිලා ගියේ නෑ. ඒ වෙනුවට ඒවා ග්‍රහලෝක  වගේ වෙලා අත උඩ වටේට පාවෙන්න ගත්තා.

“මම විහිළු කරන්නේ නැහැ. මං ඇත්තටම ආවෙ අඟහරුවල ඉඳලා. මට ඇහුණා කවුරුහරි අඬනවා. මං ආවෙ ඒ ඇඬිල්ල අහගෙන. මං හිතන්නෙ මෙතනින් පස්සෙ ඒ කෙනාට ආය අඬන්න උවමනා වෙන එකක් නෑ”

එදා රෑ හඳපානේ, අරවින්දිට මුල්ම වතාවට තමන් අවාසනාවන්තියක් නෙවෙයි කියලා දැනෙන්න ගත්තා. එයැයිගෙ හිතේ තිබුණු කළුවර හෙමින් හෙමින් අයින් වෙලා, අමුතුම බලාපොරොත්තුවක් දළුලන්න ගත්තා.

එදායින් පස්සේ අරවින්දිට හේනේ පාලුවක් දැනුණේම නැහැ. හැමදාම රෑට හඳ පළවෙනි කිරණ පොළොවට එවද්දී, අර මල් සුවඳත් එක්කම අර උස මනුස්සයා පැල ළඟට එනවා. අරවින්දි දැන් පැලට එන්නේ අඬ අඬා නෙවෙයි, එයැයි එන්නේ ලස්සනට පීරපු කොණ්ඩේ වටේට පිච්ච මල් වැලක් ගහගෙන, හිත පිරුණු හිනාවකුත් අරගෙන.

ඒ මනුස්සයා පැලේ ලී වැට අයිනේ වාඩි වෙලා, අරවින්දි ගෙනෙන බඩඉරිඟු කරලක් පුළුස්සලා කන ගමන් අඟහරු ලෝකේ විස්තර  අරවින්දිට කිව්වා.

“අරවින්දි, මගේ ලෝකේ ඔයාලගේ වගේ මඩ කුඹුරු නැහැ. එහේ තියෙන්නේ රතු පාට වැලි තලාවන්. හැබැයි රෑට අහස පේන්නේ දම් පාටට. ඔයාගේ මේ පොළොවේ තියෙන ගස්වැල්වල කොළ පාට දකිද්දී මගේ හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ,” 

අරවින්දි එයැයි දිහා බලාගෙන හිටියේ වසී වෙලා වගේ. “මොනවා වුණත් ඔයැයි ආපු එක මගේ වාසනාව. ඔයැයි දන්නවද, ඔයැයි එක්ක මෙහෙම කතා කරද්දී මට අර කේන්දරේ කිව්ව අඟහරු හතේ කරුමෙ ගැන අබ මල් රේණුවක දුකක් දැනෙන්නේ නෑ. ගමේ පිරිමි මාව දැක්කම හැංගුණාට, ඔයැයි මගේ ළඟ ඉන්නකොට මට දැනෙන්නේ මං තරං වාසනාවන්තියක් වෙන මේ ලෝකෙ නැතෙයි කියලා.”

අර මනුස්සයා අරවින්දිගේ අතක් තමන්ගේ අත් දෙකට ගත්තා. එයැයිගෙ ඇඟිලි තුඩුවලින් පිටවෙච්ච ඒ රස්නෙම අරවින්දිගේ මුළු ඇඟ පුරාම දිව්වා. 

“අරවින්දි, ඔයාගේ ලෝකේ මිනිස්සු දකින්නේ ඇස් ඉදිරිපිට තියෙන දේ විතරයි. ඒත් මට පේන්නේ ඔයාගේ හදවත ඇතුළේ තියෙන අර ලස්සන ආදරේ. ඒක අඟහරු හතේ උපන් මට විතරයි දරාගන්න පුළුවන්. ඒකයි මම තීරණය කළේ ඔයාව මගේ ලෝකෙට අරන් යන්න.”

“අරන් යන්න? ඒ කියන්නේ මට මේ ගම, මේ ගහකොළ අතෑරලා එන්න කියලද ඔය ඇත්තා කියන්නේ?”

“ඔව් අරවින්දි. මෙහේ ඉඳලා ඔයා හැමදාම අහන්නේ නින්දා අපහාස විතරයි. හැබැයි මගේ ලෝකේ ඔයාට ආදරේ කරන, ඔයාට ගරු කරන අය ගොඩක් ඉන්නවා. එහේ ඔයාට අඬන්න වෙන්නේ නැහැ කොහොමත් මං ඉන්න තැනක ඔයාට අඬන්න වෙන්නෙම නෑ”

අරවින්දි ටික වෙලාවක් කල්පනා කළා. ඇත්තටම තමන්ට මේ ගමේ ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? අයියගේ බැනුම්, අම්මගේ නපුරු වචන, නෑනගෙ රැවිලි බැණිලි, ගමේ මිනිස්සුන්ගේ ඔලොක්කු හිනාව විතරයි. 

“ඔය ඇත්තා මාව අරන් ගියොත් අපේ මිනිස්සු කියයි අරවින්දිව යකෙක් අරන් ගියා කියලා.”

“කියපු දෙන් ඉතින්. ඔයාගේ සන්තෝසෙ තියෙන්නේ මගේ ළඟ නම්, මිනිස්සු කියන දේවල්වලින් ඔයාට මොනවා වෙන්නද? මම එනවා ඔයාව කැන්දන් යන්න. ඔයා ලෑස්ති වෙලා ඉන්න.”

සති කිහිපයක් මෙහෙම ගෙවිලා ගියා. දෙන්නා අතර තිබුණු බැඳීම තවත් තද වුණා. අරවින්දි දැන් හේනේ පැලට යන්නේ හරියට දිව්‍ය ලෝකෙට යනවා වගේ සන්තෝසෙන්. හඳ එළිය දිගේ එන එන වාරයක් පාසා අර මනුස්සයා එයාට එහෙ වැවෙන අමුතු අමුතු පලතුරු වර්ග ගෙනැල්ලා කන්න දුන්නා, ඒවා කෑවම අරවින්දිගේ හම තවත් ලස්සන වුණා, ඇස් තවත් දිලිසෙන්න ගත්තා. ගෙදර මිනිස්සුන්ටත් මේ වෙනස ටික ටික තේරෙන්න ගත්තා.

“මොකද මේකි මේ දවස්වල හේනට යන්න මෙච්චර පෙරේතකම? මුලින් නාහෙන් අඬ අඬනෙ ගියේ. මූණෙත් මොකද්දෝ මන්දා අමුතුම එළියක් තියෙනවා. මිනිහෙක්වත් හොයාගෙනද දන්නෙ නෑ. එහෙම වෙන්නත් බෑ. එහෙම දෙයක්නම් මේ ලෝකෙ මිනිහෙක් වෙන්න බෑ ඉතින් ඔය අඟහරු හතේ කතාව දැනගෙන ඒකි එක්කලා පූට්ටු වෙන්න” අරවින්දිගේ නෑනා කුස්සියේ ඉඳන් අම්මට කියනවා අරවින්දිට ඇහුණා. අරවින්දි තනියම හිනාවුණා. කෙල්ල  දැනගෙන හිටියා තමන්ගෙ ජීවිතේ ලොකුම පෙරළිය ළඟදීම සිද්ධ වෙන්න යනවා කියලා.

දවසක් හවස් වෙලාවක අරවින්දි හේනට යන්න ලෑස්ති වුණා. වෙනදා වගේ නෙවෙයි, එදා කෙල්ල තමන්ගේ තියෙන ලස්සනම චීත්තය ඇඳලා, අත් දෙකට වළලු ටිකක් දාලා, කොණ්ඩේ හරිම පිළිවෙළට බැඳලා තිබුණා. අරවින්දිගේ මූණේ තිබිච්ච ඒ අමුතු සන්තෝසෙ දැකපු අයියටයි, අම්මටයි, නෑනාටයි මේක ලොකු ප්‍රශ්නයක් වුණා.

අරවින්දි කුස්සියට ගිහින් අම්මගෙන් ඇහුවා, “අම්මේ, මගේ රත්තරන් පාට කරාබු දෙක කොහේද තියෙන්නේ?” කියලා.

“අනේ අම්මේ හේනෙ පැලට යන්න මෙච්චර හැඩවෙන්නෙ  හේනේ පැලට යන්නේ අලියෙක් හම්බවෙන්නද දන්නේ නෑ”

ගුණපාල එළිමහනේ ඉඳන් ඇතුළට ආවේ අමුතු බැල්මක් දාගෙන. “මොකද උඹ මේ මඟුල් ගෙදරක යනවා වගේ හැඩවෙලා? කවුරු බලන්නද? තවමත් හිතාගෙන ඉන්නවද කවුරු හරි කුමාරයෙක් එයි කියලා?”

“අයියේ… උඹලා මට මොන නින්දා අපහාස කළත් මට දැන් ඒවා වැඩක් නෑ. උඹලා කිව්වට කවුරුත් මාව බලන්නේ නෑ කියලා, මට දැන් මිනිහෙක් ඉන්නවා! මට ආදරේ කරන, මගේ කේන්දරේට බය නැති, මාව රැකබලා ගන්න පුළුවන් මනුස්සයෙක් මට ඉන්නවා!” අරවින්දි බය නැතුව කිව්වෙ ඒ වෙද්දිත් කෙල්ල තීරණයක් අරගෙන උන්න හන්දා..

මුළු ගේම එකපාරටම නිස්සද්ද වුණේ එහෙම කතාවක් මේ කපේට අහන්න උන් සූදානං වෙලා උන්නෙ නැති හන්දා. ඊටපස්සේ අම්මයි, අයියයි, නෑනයි තුන්දෙනාම එකතුවෙලා හයියෙන් හිනාවෙන්න ගත්තා. ඒ හිනාවට මුළු පැළම හෙල්ලුණා වගේ වුණා.

“අපොයි මගේ කට! කෝ බං උඹේ ඔය කියන මිනිහා? හේනේ ඉන්න කවුරු හරි හොරෙක්ද? නැත්නම් වල් ඌරෙක්ද?”

“ඌ හොරෙක් නෙවෙයි අම්මේ. ඌ මේ ලෝකේ කිසිම පිරිමියෙක්ට වඩා උසස් කෙනෙක්. එයා මාවත් කැන්දගෙන යන්න එනවා කිව්වා,” 

 “බලපන් නංගියෙ උඹට පිස්සුද නැත්නම් උඹ අපිට පිස්සු වට්ටන්න හදනවද? උඹ වගේ මූසල කෙල්ලෙක්ව කැන්දන් යන්න එකෙක් මේ ලෝකේ ඉපදිලා නෑ. මං මේක පිරිමියෙක් විදිහට කියන්නේ. උඹට ඔය කියන මිනිහෙක් එක්ක යන්න වෙන්නේ හඳපානේ තමයි! හඳපානේ තමයි උඹේ ඔය මඟුල් පෙරහැර යන්නේ!”

“ඔව් ඔව්… අනේ උඹ හඳපානේ හරි යනවා නම් අපිටත් කියපන්, අපිත් බලන්නම් මොන මල යකෙක්ද මේ හඳපානෙ උඹව ගෙනියන්න එන්නේ කියලා!”

අරවින්දි කිසිම දෙයක් කිව්වේ නැහැ.කෙල්ල හෙමින් තමන්ගේ කුප්පි ලාම්පුවත් පත්තු කරගෙන ගෙදරින් එළියට බැස්සා. “හඳපානේ තමයි මං යන්නේ අයියේ… උඹලා කිව්වා වගේම මං යන ගමන උඹලා හැමෝටම පෙනෙයි,” ඒ උනාට කෙල්ල ඒක ඇහෙන්න කිව්වෙ නෑ. තමන්ටම තමයි කියාගත්තෙ.

එදා රෑ අහසේ හඳ වෙනදාට වඩා ලොකු වෙලා, වෙනදට වඩා දිළිහෙන්න පායන්න ලෑස්ති වුණා. ඒක පෝය දවසට කිට්ටු දවසක්. අරවින්දි හේනේ පැලට ගිහින් වාඩි වුණේ අන්තිම වතාවට තමන් ගෙ ගමේ සුවඳ විඳගන්න.

අහස පුරාම රිදී පාටින් හඳ එළිය විහිදිලා, මුළු ගමම දිව්‍ය ලෝකයක් වගේ බැබළෙනවා. අරවින්දි හේනේ පැලට වෙලා බලාගෙන හිටියේ හරිම නොඉවසිල්ලෙන්. කෙල්ල තමන්ගේ අතේ තිබුණු වළලු ටික හෙමින් හෙල්ලුවා. කෙල්ලගෙ හිතේ බයක් තිබුණේ නැහැ, තිබුණේ අවුරුදු තිහක් තිස්සේ හිර කරගෙන හිටපු ඒ හිර කූඩුවෙන් නිදහස් වෙන්න තියෙන ආසාව විතරයි.

පලවෙනි හඳ එළිය එක්ක තමයි අර හුරුපුරුදු මල් සුවඳ හේන පුරාම පැතිරෙන්න ගත්තෙ. හඳ මුදුනටම පායලා, ඒකෙන් නිකුත් වෙච්ච පළවෙනිම කිරණ  කෙළින්ම ඇවිත් අරවින්දිගේ පැලට වැටුණා. ඒ ආලෝකය කොච්චර දිළිහෙනවද  කියනවා නම්, මුළු හේනම නිකන් දවල් වගේ පේන්න ගත්තා. අරවින්දි දැක්කා තමන්ගෙ කුමාරයා  ඒ ආලෝක ධාරාව දිගේ පාවෙලා එනවා. එදා උන්දැගෙ  ඇඳුම මුළු ආකාහෙම තිබිච්ච තරු අමුණලා හැදුවා වගේ බැබළෙනවා.

“අරවින්දි, ඔයා ලෑස්තිද?” 

එහෙම අහන ගමන් උන්දැ හෙමින් අරවින්දිගේ අතින් අල්ලගත්තා. ඒ එක්කම ඒ දෙන්නා වටේට මහා ආලෝක වළල්ලක් මැවුණා.අරවින්දි තමන්ගෙ කුමාරයගෙ උරහිසට හිස තියාගත්තා.කෙල්ලට දැනුණේ මුළු ජීවිතේටම නොදැනිච්ච නිදහසක්. අරවින්දි තමන්ගේ ගම දිහා අන්තිම වතාවට බැලුවා. ඒ පුංචි පැල, ඒ ගමේ මනුස්සයෝ දැන් හරිම පුංචි වෙලා පේන්නෙ. ඒ හැමදේම පුංචි තිතක් වෙලා නොපෙනී යද්දි අහස පසාරු කරගෙන, වලාකුළු අතරින් පීරගෙන අරවින්දි එයාගෙ කුමාරයා එක්ක  අඟහරු ලෝකය දිහාවට පියාසර කළා.

අඟහරු හතේ කරුමෙ කියලා හැමෝම කොන් කරපු අරවින්දි, ඇත්තටම අඟහරු ලෝකේ කුමාරිකාවක් වෙලා හඳපානේ රෑ යාමෙ යන්න ගියා කියලා අදටත් ගමේ මිනිස්සු තියා කවුරුවත් දන්නෙ නෑ. හඳ පායන රෑට ඒ හේන පුරා තාමත් අර අමුතු මල් සුවඳ පැතිරෙනවලු. ඒ අරවින්දි “ගමේ මිනිස්සු දැන්වත් වෙනස් වෙලාද?” කියලා බලන්න හීන් සැරේ ඇවිත් යන වෙලාවල් වලදිලු!

More Stories

Don't Miss


Latest Articles