නොවැම්බර් 26 වැනි ද සිද්ධ වෙච්ච ඒ මහා ඛේදවාචකයෙන් පස්සේ වීරවිල කෘෂිකර්ම උපදේශක මහත්තයා සතියක්ම වැඩට ආවේ නැහැ. ඒ අයි මහත්තයට වෙලා තියෙන කරදරේ ඒ වෙද්දෙත් හැමෝම දැනගෙන ඉවරයි.
” මහත්තයලා ගේ ගෙවල් , මහ ගෙවල් ඔක්කෝම ගිහිල්ලලු. තිබ්බ තැනක්වත් හොයාගන්න නැහැයි කියන්නෙ? මහත්තයාලය අම්මලයි , මහත්තයාලායි නෝනලායි ඊට දවසකට කලින් කතරගම එන්න පිටත් වෙලා. ඒකෙන් ගෙදර තිබිච්ච වෑන් එකයි ජීවිතයි විතරයි බේරිලා තියෙන්නේ ..වාසනාව කියන්නේ අර මහත්තයා ආසාවෙන් ආදරෙන් හදපු බලු තඩියාවත් බලු බෝඩිමක නවත්තලාලුනෙ ගිහින් තියෙන්නේ. ඒකෙන් උන්දැගේ ජීවිතේ බේරිලා. එහෙම නොවෙන්න ඉතින් මේ වෙද්දි ඉතුරු වෙන්නේ නැහැ……..”
ඉස්සර වෙලාම හරි විස්තර හොයාගත්ත කට්ටිය එහෙම කතා කරනකොට එහෙම මෙහෙන් අනෙක් අයත් විස්තර හොයාගෙන ඒ අයි මහත්තයා ගැන විස්තර කියන්න පටන් ගත්තා.
අවුරුදු තුනකට කලින් පළවෙනි පත්වීම ලබලා වීරවිල ප්‍රදේශයට ආවට පස්සේ, තමන්ගේ ගම්පළාතෙන් බොහෝම දුරක උනත් රාජකාරිය වෙනුවෙන් ඒ අයි මහත්තයා කැප වෙච්ච විදිය ගැන ගමේ හැමෝම දන්නවා. කොයි තරම් අපහසුතා තිබුණා වුණත් සතියේ හැම දවසකම වගේ රාජකාරිය වෙනුවෙන්ම කැප වෙලා ඉන්න ඒ අයි මහත්තයා වගබලා ගත්ත බවත් හැමෝටම අමතක නැහැ.
ගමේ මිනිස්සුන්ගේ ආර්ථිකය නගා සිටුවන්න වගේම ආකල්ප සංවර්ධනය වෙනුවෙනුත් ඒ අයි මහත්තයාගෙන් වුන මෙහෙවර මෙතෙකැයි කියන්න බැරි බව ඒ හැමෝම ආයෙ ආයේ කතා කරන අතරේ මතක් කරා.
“දැන් ඉතින් ඔය කියන විදියට මහත්තයලාගේ ඉඩම්වල ආයේ ගෙවල් හදන්න බැරිි වෙයි……”
” ඒ හැදුවත් හතර වටේම උන්නු දන්න කියන මිනිස්සු වැළලිලා ගියපු පොළවක ආයේ කොහොමද ඔළුවක් උස්සල ජීවත් වෙන්නේ….”
“ඒකත් එහෙමයි. ඒ දරු පැටව් ටික එහෙ දාලා මහත්තයා එහෙ මෙහෙ රස්සාවල් කරන්න හිත හදාගන්නෙ කොහොමද..?”
සමිතිය රැස් වෙච්ච වෙලාවේ හැමෝම එකිනෙකට වෙනස් කතන්දර වලින් නමුත් එකම අදහස තමයි කිව්වේ.
” මං දන්නෑ මේ යෝජනාවට ඔහෙල කොහොම කැමති වේවිද කියන්න… හැබැයි මහත්තයට මේ පළාතෙන් ගෙයක් හදලා දෙනවා නම් ඕං මගෙන් අක්කර කාලක් මම වෙන් කරලා මහත්තයාගේ නමටම ලියලා , වැට කඩුලුත් දාලම දෙන්නම්……..
සමිතියේ සභාපතිතුමා එහෙම කියනකොට හැමෝගෙම ඇස්වලින් කඳුළු වැටෙන්න ගත්තා.
ඒ අයි මහත්තයා වීරවිල ප්‍රදේශයට ආවට පස්සෙ ඉඳන් තමන්ගේ ජීවිත කොයිතරම් නම් යහපත් අතට වෙනස් වුණාද කියලා ගමේ හැමෝටම අමතක නැහැ. එක රුපියල් 1000ක් හොයාගන්න බැරිවෙලා තිබුණු ගෙවල්වලට රුපියල් ලක්ෂයක් , ලක්ෂ පහක් උපයා ගන්න පුළුවන් වෙන විදියට ආදායම් මාර්ග හැදිලා තිබුණා.
කෘෂි තාක්ෂණය හරියට දැනගෙන කරපු වගාවල් නිසා ගොවීන්ගේ අතමිටට සරු වුණා.
ව්‍යවසායකත්වය මිනිසුන්ගේ ඔලුව ඇතුලට ගෙනාවට පස්සේ මිනිස්සු අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න පටන් ගත්තා. ඒ හින්දම ඒ ගමේ ඒ වෙද්දී ජීවත් වුණේ මීට අවුරුදු තුනකට කලින් ජීවත් උනාට වඩා ආර්ථිකවත් සමාජීයවත් ගොඩක් ශක්තිමත් වෙච්ච මිනිස්සු. ඒ වෙනසට හේතුව වුණු ඒ අයි මහත්තයාගේ ජීවිතේ මේ වෙලාවේ තියෙන්නේ සොබා දහම හින්දා අසරණ වෙලා බව එය හැමෝටම නොතේරෙනවා නෙවෙයි.
” ඔය ගෙවල් සම්පූර්ණ නාය ගියපු අයට රජයෙන් උපකාර දෙනකම් අපට බලාගෙන ඉන්න බැහැනේ…සභාපතිතුමා කියන්නාහේ සභාපතිතුමා ඉඩම දෙනවනම් මුළුගේම හදන්න ඕන වැඩේ මං භාරගන්නම් …”
ගමේ ඉන්න ප්‍රධානම වැඩවලට යන එන මේසන් බාසුන්නැහේ එහෙම කියනකොට බාසුන්නෑහේගේ සහයට වඩු මහත්වරු , සහායක මහත්තුරු වගේම පුළු පුළුවන් හැටියට උදව් කරන්නම් කියලා කට්ටිය ඉදිරිපත් වුනා.
“ඕන කරන වැලි ටික ඔක්කොම මං ගෙනල්ලා බාන්නම්”
“අපේ පවුල් දෙක තුනෙන් සිමෙන්ති ඔක්කොම ගේනවා….”
‘ගල් වැඩේ මායි අපි මල්ලිලා දෙන්නයි කරනවා”
“ඕන කරන ලී ටික ඔක්කොම මං ගේන්නම්….”
“ගේ ඇතුලට ඕන කරන ඇඳ මේස පුටු ටික අපි හදලා දෙන්නම්…..”
“කුස්සියට ඕන කරන කළමනා ඔක්කෝම අපට බාර දෙන්න….”
නොහිතපු විදියට දෙසීයක් විතර වුන එය සමිතිය හැමෝම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එයයි මහත්තයාගේ ඉදිරියෙන් හිට ගත්තා. මේ හැමදේම සිද්ධ වුණේ ඒ අයි මහත්තයා ඒ ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි.
ප්‍රදේශයේ උන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වගේම , නගර සභාව හරහා කරගන්න අවශ්‍ය ඇස්තමේන්තුව අනුමත කරගන්න කාර්යන්, සැලසුම් අනුමත කරගන්න සියලුම වැඩ ග්‍රාමලධාරී මහත්තයා බාරගත්තා.
“‘තරංග ඒ අයි මහත්තයා කියන්නේ මේ ප්‍රදේශයට මහා සේවයක් කරපු රාජ්‍ය නිලධාරියෙක්……. එහෙව් රාජ්‍ය නිලධාරියෙක් වෙනුවෙන් ඕගොල්ලන්ගේ මේ කැපවීම ඇත්තටම හිතාගන්න බැහැ…….”
” තරංග මහත්තයා අපට නිකම්ම නිකන් රාජ්‍ය නිලධාරියෙක් නෙවෙයි ……අපේ ජීවිත අපේ දරුවන්ගේ ජීවිතවලට වාසනාව ගෙනාපු රාජ්‍ය නිලධාරියෙක්.. මේ ගම්තුලාන වල කැම්පස් එකකට යන්න තුන් හිතකවත් අදහස් තිබ්බ නැති ළමයි කීයක් නම් දැන් කැම්පස් යන හීනෙ ඔළුවේ තියාගෙන වැඩ කරනවද ? ළමයින්ගේ ඔලුව ඒ තාලේට හැදුවේ තරංග මහත්තයා..”
ග්රාමලධාරි මහත්තයා කියපු කතාවට පිළිතුරු කතා කිහිපයක්ම ඒ විදියට ඇහුණා.
මාස එකහමාරක් ගත වෙනකොට සමිතියේ සභාපතිතුමාගේ ඉඩමේ තරංග මහත්තයා වෙනුවෙන් ගෙයක් හැදිලා ඉවරයි. තරංග මහත්තයා ඒක නවත්තන්න කොයි තරම් උත්සාහ කරත් ගම් වැසියෝ තරංග මහත්තයට ඉඩ දුන්නේ නැහැ.
” මං වෙනුවෙන් ඔය මෙහෙම දේවල් කරන්න උවමනා නැහැ. රජයෙන් අපට යම් ආධාරයක් ලැබෙනවා. ඒ දේවල් බලල හෙමිහිට මම දේවල් සූදානම් කරගන්නම්. මේ ඔයාලා උපයා ගත්ත දේවල්…..”
ඒ අයි මහත්තයා ආයෙ ආයෙම පැහැදිලි කරන්න උත්සාහ කරේ එකම දේ.
” මහත්තයෝ…. මහත්තයා හින්දා අපේ ජීවිත කොච්චරක් නම් වෙනස් වුණාද කල එලි වුණාද කියලා මහත්තයා නොදන්නවා වෙන්න බැහැ. එහෙව් මහත්තයාගේ ජීවිතේ මෙච්චර අමාරු අඩියකට වැටුනහම අහක යන්න තරම් කළගුණ නොදන්න මිනිස්සු නෙවෙයිි අපි… මහත්තය මේ වීරවලින් ඈතකට රස්සාව කරන්න ගියත්, අපිට ඇහැකි නෝනලයි අම්මලයි බලාගන්න ඕං.. ප්‍රාදේශීය ලේකම් මැඩම් කියලා තිබුණනේ නෝනගෙ ට්‍රාන්සර් එකත් මේ පැත්තට හදාගන්න උදව් කරනවාා කියලා…….”
ගම් වැසියෝ තරංග මහත්තයා ඉස්සරහ මහා පවුරක් වගේ හිටගෙනහිටියා.
” නිවාඩුවට ගෙදර එන්නෙත් නැතුව සමහර දවස්වලට ඔයා කරපු කැප කිරීම් මෙච්චරක් වටිනවා කියලා මං ඇත්තටම දැනගෙන හිටියේ නෑ තරංග……. ඒ වගේම ඔයාගේ ජොබ් එක ඇතුලෙ ඔයා මිනිස්සුන්ගේ ජීවිත මේ තරම් නම් වෙනස් කරලා ඇති කියලා මම කීයටවත් හිතුවේ නැහැ…
ඒ ඔක්කොම පැත්තකින් කිව්වත්, කරකියාගන්න දෙයක් නැතුව ජීවිත විතරක් අපේ අතේ ඉතුරු වෙච්ච වෙලාවක අපිව බලා කියාගන්න මේ තරම් මිනිස්සු ගොඩක් අපේ ඉස්සරහින් හිටගනී කියලා කොහොමද විශ්වාස කරන්නේ….ඒකත් මගෙත් එක්ක රණ්ඩු කර කර ඔයා ඇවිල්ලා මෙහෙ කරපු මේ රස්සාව හින්දම……”
ඒ අයි මහත්තයාගේ නෝනා ඇස් දෙකේ කඳුළු පුරවගෙන එහෙම කිව්වම තරංගට දෙන්න උත්තර තිබුණෙ නැහැ. මොකද ඒ අයි මහත්තයා දැනගෙන හිටියා, ඔහු ගත්ත පඩියට වඩා යමක් වීරවිල මිනිස්සුන්ගේ ජීවිත වලට දුන්න කියලා.
ඒ වෙනුවෙන් ලැබෙන කලගුණ සැලකීම ට ඇස් දෙක පියාගෙන විශ්වයට ස්තුති කරන ගමන් , මේ මිනිස්සුන්ගේ ආදරේ ඔලුව නවල ආචාර කරන ගමන් පිළිගන්න එක ඇරෙන්න වෙන විකල්පයක් ඒ අයි මහත්තයට තිබුනෙත් නැහැ.
අවසානයේදී රාජකාරිය දේවකාරිය කරගෙන මිනිසුන්ගේ ජීවිත වලට ඒ රාජකාරී ඔස්සේ ආලෝකයක් ගෙනාපු ඒ අයි මහත්තයාගේ ජීවිතේ වැටෙන්න ගියපු තැනදී ඒ හැමෝම එකතුවෙලා ඒ අයි මහත්තයාව අල්ල ගත්තා.සොබා දහම එහෙමයි ජීවිතවලට ආශිර්වාද කරන්නේ.
නිමි
ඒ අයි මහත්තයා – කෘෂිකර්ම උපදේශක











