එකෝමත් එක කාලෙක, මුහුදු හුළඟට නැවිච්ච පොල් ගස් පේළියකුයි, රත්තරන් පාටට දිලිසෙන වැල්ලකුයි තිබුණ හරිම නිස්කලංක වෙරළක් අයිනේ නීල් කියලා කොල්ලෙක් හිටියා.
නීල්ගේ හිත හරියට ඉර හොඳට පායපු දවසක දකින නිල්ම නිල් අහස වගේම පිරිසිදුයි. එයාගේ ලෝකේ තිබුණේ හරිම සරල, ලස්සන හීන. නීල් මුලින්ම ආදරේ කළේ ඒ ගමේ හිටපු හරිම හැඩකාර කෙල්ලෙක්ට. එයාගෙ නම මාලි. මාලි කොච්චර ලස්සනද කියනවා නම්, එයා පාරේ යද්දී ඕනෑම කොල්ලෙක් නතර වෙලා දෙපාරක් හැරිලා බලන තරම් මාලි ලස්සනයි. නීලුත් ඉතින් ඒ රූපෙට රැවටිලා, තමන්ගේ මුළු ජීවිතේම මාලිගෙ පාමුල තියන්න හිතාගත්තා.
මුල් දවස්වල හැමදේම හරිම ලස්සනට වුණා. මූදු හුළඟේ පෙඟි පෙඟී දෙන්නා වෙරළ දිගේ ඇවිදිනකොට නීල් හිතුවේ ලෝකේ තියෙන ලොකුම වස්තුව තමන්ට හම්බුණා කියලා. හැබැයි ටික කාලයක් යද්දී ඒ ලස්සන හීනෙ හරිම බය හිතෙන එකක් වෙන්න පටන් ගත්තා. ඒ කෙල්ල නීල්ට ආදරේ කළේ නැහැ, එයා කළේ නීල්ව තමන්ගේ අත් අස්සේ හිරකරලා තියාගෙන වද දීපු එක.
“තමුසෙ මක්කටද ඒකි එක්ක කතා කළේ?”
“තමුසෙ ඉන්නෝන මට ඕන විදියට”
“මට අරක අරන් දීපන්, මේක අරන් දීපන්. තමුසෙට තමයි මට මුකුත් අරන් දෙන්න බැරි. ඉඳලා ඉඳලා මාත් යාලුවෙච්ච හිඟන්නා” කියලා මේ කෙල්ල ආදරේ නාමයෙන් නීල්ගෙ හුස්ම චුට්ට චුට්ට හිරකරා. නීල්ට තමන්ගේම කියලා හිතක්, තමන්ට ඕන විදිහට වැඩක් කරන්න ඉඩක් මාලි ඉතුරු කළේ නැහැ. ඒක හරියට හරිම සුවඳයි කියලා හිතලා අතට ගත්තට පස්සේ හත් පොළකින් ලේ එන්න කටු ඇනෙන රෝස මලක් වගේ දෙයක් කියන එක නීල්ට උනත් තේරෙන්න ගත්තෙ ටිකක් කල් යද්දිල්.
නීල් මේ හලාහල විසක් වගේ බැඳීම ඇතුළේ හිරවෙලා හොඳටම විඳෙව්වා. ඒ කෙල්ල නීල්ට හැමදාම කළේ නින්දා අපහාස කරපු එකයි, නීල්ගේ හිත පෑරෙන විදිහට කතා කරපු එකයි විතරයි. අන්තිමේදී, ඒ කෙල්ලගේ තිත්ත වචන තවත් දරාගන්න බැරි වුණු දවසක, නීල් රෑ යාමේ තනියම මූද අද්දරට ආවා. එදා අහස හරිම අමුතුයි, එක තරුවක්වත් පේන්න තිබුණේ නැහැ. මහ මූදේ රළ පෙළ වෙරළේ වැදිලා බිඳෙන සද්දේ විතරක් මුළු පළාතෙම දෝංකාර දුන්නා. ඒ රළ පහරවල් වැල්ලේ වැදිලා ආපහු ඇදිලා යද්දී, නීල්ට දැනුණේ තමන්ගේ සතුටත් ඒ රළ එක්කම ඈත දියඹට ඇදිලා යනවා වගේ.
නීල් වැල්ලේ දණ ගහලා ඉඳගෙන, දෑතින් වැලි අහුරු මිරික මිරික මහ හයියෙන් ඉකිගහන්න ගත්තා. ” මං හිතුවේ ආදරේ කියන්නේ මාව සුවපත් කරන, මට සතුට දෙන දෙයක් කියලා. ඒත් ඇයි බං මේ ආදරේ මගේ හදවත මෙච්චර පහුරුගාන්නේ? මට නිස්කලංකෙ හුස්ම ගන්නත් බය හැඟීමකට අපිට ආදරේ කියලා කියන්න පුළුවන්ද? මට දැනෙන්නෙ මට මාවම නැති වෙලා වගේ. මාලි මට රිද්දද්දි ඕවා ඉවසපං, කෙල්ලො එහෙම තමයි කිව්වා මිසක්, මගේ ඇස්වල තියෙන කඳුළක්, මගෙ හිතේ තියෙන වේදනාව දකින්න එක හිතක්වත්, එක මනුස්සයෙක්වත් මේ ලෝකේ නැද්ද?”
නීල් මේ වේදනාව මූදට කියද්දී, රළ පෙළ අතරින් හෙමින් සීරුවේ වැල්ල දිහාවට ඇදිලා ආව එක්කෙනෙක් නීල් දිහා බලාගෙන උන්නා. නීල් කියන දේට කන්දුන්නා. නීල් කියන්න මනුස්සය හිතක් අස්සෙ ආදරේ හන්දා ඇතිවෙන වේදනාව කොයි ආකාරෙ එකක්ද කියලා තේරුං ගන්න උත්සහ කරන ගමන් හිටියා. එයාට තිබ්බෙ දිගම දිග නිල් පාට කොණ්ඩයක්. මූදු වතුර උඩ පාවි පාවි තිබිච්ච ඒ නිල් පාට කොණ්ඩෙයි, මූදු රලයි වෙන් කරලා අඳුරගන්න උවමනාවෙන් ඒ දිහා බැලුව කෙනෙක්ටත් අපහසු වෙන තරමට ඒ ගෑනු ළමයා මූදු පාටයි. ඒ මූදු ගෑනු ළමයගෙ ඇස්වල තිබුණේ මූදු පතුල තරම්ම ගැඹුරු අනුකම්පාවක්. නීල් එයාව දැක්කෙ නැති බව ඇත්ත, ඒත් එයා නීල් දිහා බලාගෙන, නීල්ගෙ දුක අහගෙන හිටියා. හෙමින් නීල් වාඩි වෙලා හිටපු තැනට රළ පෙළක් එවලා, එයාගේ කකුල් දෙක පිරිමැද්දා. ඒ සීතල දිය දහරාව වැදෙද්දී නීල්ගේ හිතට පොඩි සැනසීමක් දැනුණා.
නීල්ට ඒ රළ බිඳෙන සද්දෙ ඇහුණෙ “අනේ අඬන්න එපා” කියනවා වගේ. ඒ හඬ හරියට ඈතින් ඇහෙන මූදු බෙල්ලෙක්ගේ හඬක් වගේ හරිම සිහින්.
මූදු කෙල්ලට ඕන වුණා නීල්ව තදට බදාගෙන සනසන්න. ඒත් තමන් අයිති මූදට. එයා අයිති මහ පොළොවට. තමන් එකිනෙකා පෑහෙන්නෙ නෑ. නීල් තමන්ගේ පළමු ප්‍රේමයෙන් පරාද වෙලා හෙමින් හෙමින් ගෙදර යද්දී, මූදු කෙල්ල සාගර පතුලේ ඉඳන් එයා දිහා බලාගෙන හීල්ලුවා. ඇත්තටම නීල් ගැන හිතන, දුක්වෙන කෙනෙක් මෙතන ඉන්දැද්දී, නීල් අඳුරු හීනයක් පස්සේ දුවන එක ගැන මූදු කෙල්ලට දැනුණේ ලොකු දුකක්.
පළවෙනි ආදරේ දුන්න තුවාලවල කැළැල් මැකෙන්නත් කලින්, කාලය හෙමින් හෙමින් ගලාගෙන ගියා. නීල්ගේ හිතේ තිබුණු අර ලස්සන හීන දැන් ටිකක් පරවෙලා වගේ පෙනුණත්, කොල්ලෙක් වුණාම ආයෙමත් හිතක් ආදරේ වැහිලා පෑදෙන එක නවත්තන්න බෑනේ. ඔය අතරේ තමයි නීල්ට තවත් කෙල්ලෙක් හම්බවුණේ. එයා හරිම අහිංසක පාටයි. කතා කරන්නේ හරිම හීන් හඬින්, ඇවිදින්නේ හරිම විනීත විදිහට. නීල් හිතුවා, “පළවෙනි පාර මට වැරදුණාට, මේ කෙල්ල නම් මගේ පෑරුණු හිත සුවපත් කරන දේවතාවියක්ම වෙයි” කියලා. එයාගෙ නම නිශා. නිශා එක්ක ඉන්නකොට නීල්ට දැනුණේ මහා නිස්කලංක බවක්. දෙන්නා හවස් යාමයට වෙරළ දිගේ ඇවිදිද්දී, රතු පාට ඉර බැහැන් යන හැටි බලාගෙන නීල් හිතුවේ තමන්ගේ ජීවිතේ අඳුර දැන් මකලා ගිහින් කියලා.
හැබැයි ඉතින් දෛවය කියන්නේ හරිම සෙල්ලක්කාර එකක්නේ. නීල් නිශාට තමන්ගේ පණටත් වඩා ආදරේ කරනකොට, නිශා ඒ ආදරේ නීල්ට විතරක් නෙවෙයි, තවත් කොල්ලෝ හතර පස් දෙනෙක්ටම බෙදලා දීලයි තිබුණේ. නීල් නිශාව තමන්ගෙ මුළු ලෝකෙම කරගත්තට, නිශාට නීල් කියන්නේ පාලුව මකාගන්න හිටපු තවත් එකෙක් විතරයි. මේ අමිහිරි ඇත්ත නීල් දැනගත්තේ හරිම අහම්බෙන්. එදා නීල්ගේ ලෝකය ආයෙමත් සැරයක් කෑලි කෑලිවලට කැඩිලා, මුළු ජීවිතේම අළු වෙලා ගියා වගේ දැනුණා. තමන් අවංකවම ආදරේ කරද්දී තමන්ව තවත් කෙනෙක් රවට්ටන එක තරම් වේදනාවක් තවත් නෑ කියලා නීල්ට හිතුණා.
එදා රෑ අහස හරිම මූසලයි. කළුම කළු වලාකුළු අතරින් හඳ ඉඳහිට එබිලා බැලුවේ හරියට නීල්ට අනුකම්පා කරනවා වගේ. නීල් හති දාගෙන දුවගෙන ආවේ තමන්ට මේ ලෝකෙ දුක කියන්න ඉන්න මහා මුහුද ගාවට. වෙරළ අයිනේ තියෙන පරණ තොටුපළ ළඟ නීල් වැල්ලේ දණ ගහලා වැටුණා. මුහුදු හුළඟ එදා හරිම සැරට හැමුවා, ඒ හුළඟට මුහුදු වතුරේ ලුණු රහ නීල්ගේ තොල්වල තැවරිලා කටුක ගතියක් දැනුණා.
“ඇයි මටම මෙහෙම වෙන්නේ?” නීල් මහා හඬින් කෑගැහුවා. එයාගේ හඬ මුහුදු රළේ ඝෝෂාව අස්සේ දෝංකාර දුන්නා. “මම එක හිතකින්, කොච්චර ආදරෙන්ද උන්නෙ නිශාට?. මම ඒකිට මගේ මුළු ලෝකෙම දුන්නා. ඒත් ඒකිට මගේ ආදරේ මදි වුණාද? ඇයි ඒකි මාව රවට්ටලා තවත් කොල්ලෝ පස්සෙ ගියේ? මාව තවත් එකෙක් විතරක් වුණේ කොහොමද දෙයියනේ?”
නීල් වැල්ලට අතින් ගහ ගහා තමන්ගේ කේන්තියයි දුකයි පිට කළා. ඒ වෙලාවේ මුහුද පතුලේ හිටපු මූදු කෙල්ලට ඒ පෑරුණු හිතේ රිදුම හොඳටම දැනුණා. මූදු කෙල්ල හෙමින් හෙමින් දිය මතුපිටට ආවා. එදා එයාගෙ රූපය වෙනදාටත් වඩා අර හඳ එළියට දිලිසුණා. එයාගෙ දෑස්වල තිබුණේ නිල්වන් සාගරයේ තියෙන ගැඹුරු බව. ඒ ගැඹුරු බව නීල්ගෙ හිතේ තිබ්බ විරහවේ වේදනාවෙ ගැඹුරු බව තරම්ම ගැඹුරුයි. මූදු කෙල්ල හෙමින් මූදු රැල්ල එක්ක පාවෙලා ඇවිත් නීල් වාඩි වෙලා හිටපු තැනට ලං වුණා. එයාගෙ හඳ එළිය වැටිච්ච ශරීරෙන් පිටවුණු ඒ අමුතු ආලෝකය නිසා අවට තිබුණ මුහුදු පෙන කැටිති හරියට මුතු ඇට වගේ රිදී පාටට දිලිසෙන්න ගත්තා.
මූදු කෙල්ල නීල්ට පේන්න හිටියේ නැහැ, ඒත් එයා නීල්ගෙ හිස අතගානවා වගේ හෙමින් සනීපෙට ලුණු රස හුළඟක් වගේ හැමුවා.
“අනේ මගේ නීල්…” එයා කිව්වෙ හරිම හෙමින්. එයාගේ හඬ හරියට රළ වෙරළේ වැදෙන සිනිඳු සද්දේ වගේමයි.
“ඔයා මොකටද ඔය මනුස්ස දූවරුන්ගේ බොරු ආදරේ වෙනුවෙන් අඬන්නේ? ඔයාට පේන්නේ නැද්ද මගේ මේ පපුව අස්සෙ සප්ත සාගරයටත් වඩා ගැඹුරු ආදරයක් ඔයා වෙනුවෙන් මෙතන තියෙනවා කියලා? ඔයාගෙ ඔය පිරිසිදු හදවත මේ ලෝකේ කාටවත් තේරුම් ගන්න බැහැ. ඒක තේරෙන්නේ මට විතරයි නීල්. ඇයි ඔයාට මාව තේරුං ගන්න බැරි”
නීල් වෙරළේ වැලි අහුරක් අරන් මුහුදට විසි කළා. “මට කවුරුත් එපා! මේ ලෝකේ ආදරේ කියන්නේ මහා බොරුවක්! හැම කෙල්ලෙක්ම කරන්නේ කොල්ලන්ව රවට්ටන එක විතරයි!” කියලා එයා තමන්ටම කියාගත්තා.
ඒ වචන ඇහිච්ච මූදු කෙල්ලගෙ හිතත් පෑරිලා ගියා. තමන් මෙච්චර ආදරේ කරද්දී නීල් ඒක දන්නේ නැතුව තවත් කෙල්ලෙක් වෙනුවෙන් අඬන එක මූදු කෙල්ලට දරාගන්න බැරි වුණා. නීල් තමන්ගේ වේදනාව මුහුදට කියලා හෙමින් නැගිටලා යද්දී, මූදු කෙල්ල මූදු රළ අස්සේ හැංගිලා නීල් යන දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වලින් ගලාගෙන ආපු කඳුළු සාගර දියත් එක්ක එකතු වුණා.
කාලය ගෙවිලා ගියේ නීල්ව තවත් හුදකලා කරලයි. කලින් වෙච්ච රැවටීම් නිසා නීල් හිටියේ ආදරේ කියන වචනෙටත් බය වෙලා. හැබැයි ඉතින්, හිතක් කියන්නේ මහා පුදුම දෙයක්නේ. මළානික වෙලා තිබුණු නීල්ගේ හිතට තවත් කෙල්ලෙක් ලං වුණේ අන්න එහෙම. එයා සමාධි. සමාධි කලින් හිටපු දෙන්නා වගේ වද දුන්නෙත් නෑ, වෙන කොල්ලෝ පස්සේ ගියෙත් නෑ. එයා නීල්ට හරිම කරුණාවන්ත වුණා. නීල් හිතුවා “අන්න දෙවියෝ මගෙ දුක දැකලා මාව තේරුං ගන්න මනුස්ස හදවතක් තියෙන කෙනෙක්ව එවලා” කියලා. නීල් තමන්ගේ අන්තිම සතේ පවා වියදම් කරලා සමාධිට ඕන දේවල් අරන් දුන්නා. සමාධිගෙ හිනාව වෙනුවෙන් නීල් නොකළ දෙයක් නෑ.
හැබැයි දවසක් හවස් යාමයක, අහස රතුම රතු පාට වෙලා, හරියට ලේ විලක් වගේ පෙනුන වෙලාවක සමාධි නීල්ව මූද අයිනට ගෙන්නුවා. නීල් හිතුවේ සමාධි මොනවා හරි සන්තෝසම හිතෙන කතාවක් කියයි කියලා. ඒත් සමාධි නීල්ගේ ඇස් දෙක දිහා බලලා හරිම සරලව මෙහෙම කිව්වා. “නීල්, මට මේක තවත් කරගෙන යන්න බෑ. ඔයා හරිම හොඳ කෙනෙක්. ඒත් මට හිතෙනවා ඔයා වගේ කෙනෙක්ට මට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න ඕනේ කියලා. අපි අද ඉඳන් යාළුවෝ වගේ ඉමු.”
නීල්ගේ මුළු ඇඟම පණ නැති වෙලා ගියා වගේ දැනුණෙ ඒ වචන එක්ක.
“මට වඩා හොඳ කෙනෙක්?” නීල් ඒ වචන ටික හෙමින් මිමුණුවා. “ඔයාට මාව එපා නම් ඒක කෙළින් කියපන්. නැතුව මට වඩා හොඳ එකෙක් ලැබෙයි කියලා මගේ හිත රිද්දන්න එපා සමාධි. ඔයාටනෙ මගෙන් ගැලවෙන්න උවමනා. මට උවමනා නෑ වෙන හොඳ කෙනෙක්වත්, වෙන කිසිම කෙනෙක්වත් හන්දා ඔයාගෙන් ගැලවෙන්න.”
ඒත් ඒ වචන ඉවර වෙනකම්වත් හිටියෙ නැති සමාධි නීල්ව ඒ වැල්ලේ තනියම දාලා හැරිලා ගියා. එයාගේ පිය සටහන් වැල්ලේ මැකී යනකම් නීල් බලාගෙන හිටියා. “ඔයා වගේ කෙනෙක්ට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි” කියන වචන ටික නීල්ගේ පපුව පසාරු කරගෙන ගියා. ඒකෙන් අදහස් කළේ සමාධිට තමන්ව තවත් වටින්නේ නෑ කියන එක වගේම සමාධිට වෙන හොඳ කෙනෙක් හම්බෙලා කියන එක නීල්ට තේරුං ගන්න අපහසු වුණේ නෑ.
එදා රෑ මූද හරිම අකීකරුයි. රළ පෙළ මහා හයියෙන් ගොරවමින් වෙරළේ වැදුණා. නීල් වැල්ලේ දණ ගහලා ඔළුව බිමට තියාගෙන ඉකිගහන්න ගත්තා. “මට මොකටද එයාට වඩා වඩා හොඳ කෙනෙක්? මට ඕන වුණේ එයාවවිතරයි! ඇයි හැමෝම මාව හොඳ වැඩි මනුස්සයෙක් කියලා අතරමං කරලා යන්නේ? මගේ හොඳකම මටම සාපයක් වෙලාද? මං නරක මනුස්සයෙක් උනා නම් හරිද?”
ඒ වෙලාවේ මූදු කෙල්ල මූද මැදින් මතු වුණා. එයාගේ ඇස්වලින් ගලාගෙන ආපු කඳුළු රිදී පාටින් දිලිසුණා. එයා නීල් වාඩි වෙලා හිටපු තැනටම පීනලා ආවා. එයාට ඕන වුණා නීල්ගේ කඳුළු පිහදාන්න. මූදු කෙල්ල හෙමින් නීල්ට ඇහෙන්න මෙහෙම මිමුණුවා.
“නීල්… ඔයාගෙ ඔය ලස්සන ඇස් දෙක ඇරලා බලන්න. ඔය කෙල්ලෝ කියන ‘හොඳ මනුස්සයා’ ඉන්නේ ඔයා ඇතුළේ නෙවෙයි, ඔයාගෙ ආදරේ අස්සේ. ඔයා වැරදි තැන්වල ආදරේ හෙව්වා නීල්. බලන්න ඔයා වෙනුවෙන් පණ වුණත් දෙන්න බලාගෙන ඉන්න මං මෙතන ඉන්නවා. ඔයාගෙ ඔය හැම වේදනාවක්ම මගේ පපුවට දැනෙනවා. හැබෑ ආදරේ ඔයා ළඟම තිබ්බත්, ඇස් දෙක ඉස්සරහම තිබ්බත් ඔයා වගේ මිනිස්සුන්ට ඒක අඳුරගන්න බෑ නීල්. මගෙ මේ සාගරේ තරං ආදරේ නැත්තං ඔයාට නොපෙනි තිබුණේ කොහොමද නීල්?”
නීල්ට ඒ හඬ හීනෙකින් වගේ ඇහුණා.
“කවුද… කවුද ඒ?” නීල් වටපිට බැලුවා. ඒත් මූදේ රළ අස්සේ මූදු කෙල්ල හැංගුණා. නීල් හිතුවේ තමන්ට තියෙන දුකට දැන් පිස්සු හැදීගෙන එනවා කියලා. එයා ඒ වැල්ලේ දිගා වෙලා අහස දිහා බලාගෙන හිටියා.
“මට මේ ලෝකේ තවත් කවුරුත් නෑ. මම හරිම තනි වෙච්ච මනුස්සයෙක්,” නීල් හෙමින් මිමුණුවා. මූදු කෙල්ල ඒ වචන ඇහෙනකොට මහා හයියෙන් වැලපුණා. එයාගේ ලෝකේ රජ්ජුරුවෝ වගේ ඉන්න නීල්, තමන්ගේ ආදරේ අඳුරගන්නේ නැතුව විඳවන එක මූදු කෙල්ලට දරාගන්න බැරිම තැනට පත්වුණා.
නීල්ගේ හිත දැන් හරියට ගින්නට අහුවෙච්ච කැලෑවක් වගේ. හැමදේම පිච්චිලා, අළු වෙලා, එකම එක බලාපොරොත්තුවක දල්ලක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. එයාට දැන් මේ ජීවිතේ මහා එපාවුණු බරක් වගේ දැනෙන්න ගත්තා. “ඇයි මම විතරක් මෙහෙම පෑරෙන්නේ? ඇයි මගේ හිත දන්න එකම එක ගැහැනු හිතක්වත් මේ ලෝකේ නැත්තේ?” නීල් හැම වෙලේම තමන්ගෙන්ම අහගත්තා.
එදා රෑ අහස හරිම බියකරුයි. වලාකුළු මහා අන්ධකාරෙට අහස වහගෙන, හඳ එළියට එක ඉඩක්වත් දුන්නේ නැහැ පායන්න. මූද වෙනදාට වඩා මහා භයානක විදිහට ගොරවන්න ගත්තා. රළ ගෙඩි මීටර් ගණන් උසට පැනලා වෙරළේ වැදුණේ හරියට මූදත් එක්කම තරහ වෙලා වගේ. නීල් වෙරළ අයිනේ තියෙන මහා කළු ගලක් උඩට වෙලා මූද දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වලින් කඳුළු ගලන එක නතර වෙලා තිබුණා, ඒ වෙනුවට ඒ ඇස්වල තිබුණේ මහා හිස් බවක්.
“මූද විතරයි හැමදාම මගේ දුක ඇහුවේ. හැමදාම මම ඇවිත් වැලපෙද්දී උඹේ රළ මගේ කකුල් පිරිමැද්දා. මට දැන් මේ මිනිස්සුන්ගේ ලෝකේ ඉන්න බෑ. මම එනවා උඹේ පතුලටම හැංගෙන්න,” නීල් හෙමින් මිමුණුවා. එහෙම මුමුණා මුමුණ එයා වාඩිවෙලා උන්න ගල් පොත්තෙ කෙලවරටම ඇවිදන් ආවා.
ඒ වෙලාවේ මූදු කෙල්ලට දැනුණා නීල් අන්තිම ගමන යන්න හදන්නේ කියලා. එයා මහා රළ ගෙඩි පලාගෙන මතුපිටට ආවා. වෙනදා නීල්ට නොපෙනී හිටපු මූදු කෙල්ල, එදා නීල්ගේ ඇස් ඉස්සරහම පේන්න උන්නා. එයාගේ මුළු ඇඟම නිල් පාට ආලෝකයකින් බැබළුණා. එයාගෙ ඇස්වලින් කඳුළු ගලන හැටි නීල්ට හොඳටම පෙනුණා.
“නීල්! එපා නීල්… මැරෙන්න හදන්න එපා! මං මෙතන ඉන්නවා… ඔයා වෙනුවෙන්ම පණ වුණත් දෙන්න බලාගෙන මං මෙතන ඉන්නවා!” මූදු කෙල්ල මහා හයියෙන් කෑගැහුවා.
නීල් ඒ දිලිසෙන රූපය දිහා බලලා මොහොතකට නැවතුණා. “කවුද… ඔයා කවුද? ඇයි ඔයා මට මැරෙන්න දෙන්නෙ නැත්තෙ?” නීල් ඇහුවා.
“මම තමයි ඔයාගෙ දුක හැමදාම අහගෙන හිටපු මූදු කෙල්ල. නීල්, සැබෑ ආදරේ කොච්චර ළඟ තිබ්බත් අපිට අඳුරගන්න බෑ නීල්. ඔයා ඔය හොයපු ආදරේට වඩා ලොකු ආදරයක් මගේ පපුව ඇතුළේ තියෙනවා. ඇයි ඔයා මං දිහා නොබැලුවේ?” නීල් වැලපෙමින් ඇහුවා.
නීල් තිගැස්සුණා. එයාගේ හිතට පුදුමයක් දැනුණත්, ඒ වෙනකොටත් එයාගේ හිතේ තිබුණු කලකිරීම ඒ හැමදේටම වඩා ලොකු වෙලා තිබුණා. “දැන් වැඩක් නෑ… හැම කෙල්ලම එකයි. ඔහොම මුලින් කියාගෙන ඇවිත් අන්තිමේ යන්නෙ අපේ හැම සන්තෝසයක්ම හූරං කාලා” නීල් හිනාවුණේ හරිම වේදනාවකින්.
“එහෙම කියන්නෙපා නීල්. මට එකම එක අවස්තාවක් දෙන්න මම ඔයාව මගේ පපුව උඩ තියාගෙන රකින්නම්,” මූදු කෙල්ල දෑත් දිගු කරලා කිව්වා.
ඒත් එක්කම මහා රළ ගෙඩියක් කළු ගල දිහාවට කඩාගෙන ආවා. නීල් තීරණය කරලා ඉවරයි. “මට සමාවෙන්න… මේ ලෝකේ කාටවත් මාව අඳුරගන්න බැරි වුණා. ඔයාටත් මාව අඳුරගන්න ලැබුණේ මම මැරෙන්න හදන වෙලාවක විතරයි,” නීල් මහා හඬින් කෑගැහුවා.
මූදු කෙල්ල නීල්ව අල්ලගන්න ඉස්සරහට පනිනකොටම, නීල් මහා රළ ගෙඩියක් අස්සෙ අතුරුදන් වුණා. මූදු කෙල්ල රළ අස්සේ නීල්ව හොයන්න දඟලද්දී, මූදේ මහා ගෝරනාඩුව විතරක් මුළු පළාතම දෙදරවාගෙන ඇහෙන්න ගත්තා.
මුළු සාගරයම එදා රෑ මහ අමුතු විදිහට ගොළු වුණා. අර දරුණු රළ ගෙඩි එකපාරටම සන්සුන් වෙලා, මූද හරිම නිසල වුණා. හරියට මුළු විශ්වයම මේ සිද්ධ වෙන්න යන දේ දරාගන්න බැරුව හුස්ම හිර කරගෙන බලා ඉන්නවා වගේ. නීල්ගේ නිසල සිරුර හෙමින් හෙමින් සාගර පතුලේ තියෙන වැලි තලාව මත පතිත වුණා. එයාගේ ඇස් පියවිලා තිබුණේ මහා නිදහසක් හොයාගත්තා වගේ හරිම සහනදායී හැඟිමකින්.
මූදු කෙල්ල පීනලා ගිහින් නීල්ගේ ඒ සීතල වුණු සිරුර තමන්ගේ පපුවට තද කරගත්තා. එයා ඒ නිසල මූණ දෙස බලාගෙන මහ හයියෙන් වැලපුණා. “අනේ මගේ නීල්… ඇයි ඔයාට එක පාරක් මාව තේරුං ගන්න බැරි වුණේ? ඇයි ඔයා නිකමට මං දිහා එක පාරක් බැලුවේ නැත්තේ? ඔයාගෙ මේ පිරිසිදු හදවත කොච්චර වටිනවද කියලා ඔයාටවත් තේරුණේ නෑ, අර මනුස්ස දූවරුන්ට තේරුණෙත් නෑ. ඒත් මට… මට ඔයා නැති ලෝකෙකින් තියෙන පලේ මොකද්ද නීල්?”
මූදු කෙල්ලගෙ කඳුළු බිංදු වැදිලා සාගර දිය දහරාව තවත් ලුණු රස වුණා. එයා දැනගෙන හිටියා තමන් මූදු කෙල්ලක් නිසා තව අවුරුදු දහස් ගණනක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් නීල් නැතිව ගත කරන එක තත්පරයක්වත් එයාට අපායක් වගේ දැනුණා. නීල් හෙව්වේ ඇත්තම ආදරයක්. ඒ ආදරේ එයා ගාව තිබ්බත්, මේ පෘථිවියේ තියෙන සාපලත් දෛවය නිසා ඒ දෙන්නා අතර මහා පවුරක් බැඳිලා තිබුණා.
“නීල්… ඔයා ජීවත් වෙද්දී මං ඔයාට මෙච්චර ආදරේ කරද්දී, ඔයා ඇයි මාව දැක්කේ නැත්තේ? දැන් මං ඔයාව තනියම මරණයට යවන්නේ නෑ. මගේ හුස්මත් ඔයා එක්කම ඉවර වෙන්න ඕනේ,” මූදු කෙල්ල වේදනාවෙන් කෑගැහුවා.
එයා තමන්ගේ දිව්‍යමය බලයයි, අමරණීය ජීවිතයයි හැමදේම අත්හැරලා දාන්න තීරණය කළා. එයා නීල්ගේ සීතල සිරුර තදින් බදාගෙන, තමන්ගේම පපුව පලාගත්තා. ඒත් එක්කම එයාගේ සිරුරෙන් පිටවුණු දිලිසෙන නිල්වන් ලේ ධාරාවන් නීල්ගේ සිරුර වටේ එතෙන්න ගත්තා. ඒ ලේ ධාරා නීල්ගේ පපුව එක්ක බද්ධ වෙලා, ඒ දෙන්නගෙ හදවත් එකම එක හදවතක් බවට පත් වුණා.
සාගර පතුලේ අමුතුම ආලෝකයක් විහිදුණා. ඒ දෙන්නාගේ සිරුරු ටිකෙන් ටික ගල් පිළිම දෙකක් වගේ එකට බැඳුණා. ඒක හරියට සදාකාලිකවම එකිනෙකා වැළඳගෙන ඉන්න පෙම්වතුන් යුවළක් වගේ.
අදටත් ගමේ පැරණි ධීවරයෝ කියනවා, පෝය දවස්වලට මූද නිසල වුණාම සාගර පතුලේ ගැඹුරුම තැනකින් නිල් පාට ආලෝකයක් විහිදෙනවා කියලා.
හඳ එළිය වැටෙනකොට මූද මැදින් ඇහෙන ඒ හීන් විලාපය, මූදු කෙල්ල නීල් වෙනුවෙන් ගයන ආදර ගීතිකාවලු.
ඒ දෙන්නා ජීවත් වෙද්දී එකතු වෙන්න බැරි වුණු ඒ අවාසනාවන්ත ආදරේ, අන්තිමේදී මරණයෙන් පස්සේ සාගරයේ ගැඹුරුම නිහඬතාවය මැද එකතු වුණාලු.
“හැබෑ ආදරේ කොච්චර ළඟ තිබ්බත් අපිට අඳුරගන්න බෑ,” කියන ඒ වචන ටික අදටත් මූදු හුළඟත් එක්ක වෙරළට ගහගෙන එනවා.
සමහරවිට ඒ නීල් වගේ තවත් පරාජිත පෙම්වතුන්ට හැබෑ ආදරේ ගැන කියලා දෙන්න වෙන්න ඇති.











