මං ඉතින් අම්මා කෙනෙක් නෙ!

ලොකු පුතා පරිප්පු කන්නෙ කිරට. 

මහත්තයා කන්නෙ තෙම්පරාදු කරලා. 

ඒ විතරක් නෙවෙයි මහත්තයට මාලු කෑල්ල කරස් ගාලා හැපෙන්න බැදලා තියෙන්න ඕනේ. 

ඉතින් මම උදේ පාන්දරම ලිප ළඟ ගින්දරේ තැම්බි තැම්බි ඕවා කරනවා. 

එයාලගෙ ආසාවනෙ ඉතින් අනේ. මොකෝ මං ඇරෙන්න වෙන කවුද ඕව හදන්න මේ ගෙදර ඉන්නෙ නේද? ලිපේ රස්නෙට මගේ මූණ රතු වෙලා, දාඩිය බෙල්ල දිගේ බේරෙනවා. හැබැයි ඉතින්  ඔය තැම්බෙන එක නෙවෙයි, මාව අඟුරු වෙලා ගියත් මම ඒක කරන්නේ හරිම ආසාවෙන්. 

මොකෝ මං ඉතින් අම්මා කෙනෙක් නෙ!

හයයි තිහ වෙද්දී මුළු කුස්සියම යුද්ධ කරන තැනක් වගේ. හැමෝම සැපට මේසෙට වාඩි වෙලා කනවා. මම හරිම ආඩම්බරෙන් බලන් ඉන්නවා.

 මට බඩගිනිද? 

අනේ නෑ! 

මම කොහොමත් කන්න ආස ඔය යමින් ගමන් තමයි. වාඩිවෙලා කන්න ගියොත් අරවා මේවා බෙදන්න මං ආයෙ ආයෙ නැගිටින්න ඕනනෙ. ඊට වඩා මේ ක්‍රමේ ලේසියි. මහත්තයට හොදි බෙදන්න, දරුවන්ට වතුරගෙනත් දෙන්න, මදි පාඩු බෙදන්න, පොඩි එක්කෙනාට කවන්න කීයක් කියලා තියෙද? එයාලා කෑවම මගෙ බඩ පිරෙනවා. අනික දුව දුව කද්දි තමයි අනේ ඔය කන දෙයක් උනත් ජීර්ණය වෙන්නෙ. නැත්තම් අන්තිමේ බක්කරේ වගේ ඉඳිවී. මං ඉතින් නිකන්මනෙ ගෙදට්ට වෙලා ඉන්නෙ වැඩක් කරනවා කියලද?

අනික මං ඉතින් අම්මා කෙනෙක් නෙ!

දවසම කුස්සියේ මාර යුද්ධයක් කරලා, රෑ දොළහට විතර මම ඇඳට වැටෙන්නේ හරියට බැටරි බැස්ස රොබෝ කෙනෙක් වගේ අනේ. යන්තම් ඇස් දෙක පියවෙද්දී පොඩි එක්කෙනා අඬන්න පටන් ගන්නවා නෙ. අනේ ඔය මිනිස්සු නම් පොඩි දරුවො අඬන ඒවා “හරි කරදරයි” කිව්වට අනේ මට නම් ඒක නිකන් අර යාන්තම් නින්ද ගිහින් ඉන්න වෙලාවට හීනෙන් වගේ ඇහෙන මියුසික් එකක් වගේ. ඒ වෙලාවට මගේ මහත්තයා ඉන්නවනේ, එයා අනිත් පැත්ත හැරිලා ගොරවන ගමන් හරිම ආදරෙන් මගේ අත අල්ලලා කියනවා, ” මැණික… අන්න බබා අඬනවා. පවු අනේ, එයාට බඩගිනිද කොහෙද? පොඩ්ඩක් බලන්නකෝ…” කියලා.

මට ඒ වෙලාවට හිනා යනවා. මම හරිම හිමින් ඇඳෙන් බැහැලා ළමයව වඩාගන්නේ මහත්තයාගේ නින්දට බාධා වෙයි කියලා බයේ. මොකද පවුනේ, මගේ මහත්තයා හෙට උදේම ඔෆිස් යන්න එපැයි. එයාට ඇහැරලා ඉන්න බෑනේ, එයා කරන්නේ ලොකු රස්සාවක්නේ. මම ඉතින් දවසම නිකන්ම නිකන් ගෙදර ඉන්න කෙනානේ. මට මොන රස්සාවල්ද? ගේ අස් කරන එකයි, උයන එකයි, ළමයි බලන එකයි කියන්නේ මොකද්ද?. ඉතින් රෑ එළිවෙනකම් ළමයා වඩාගෙන හිටියත් මොකද? පහුවදාට මට තියෙන්නේ ආයෙත් නිකන් ගෙදර ඉන්න එකනේ.

අනික ඉතින් මං ඉතින් අම්මා කෙනෙක් නෙ!

අපේ නැන්දම්මා ඉඳලා හිටලා ගෙදරට ගොඩවැදුණම තමයි මම මෙහෙම නිකන්ම අම්මා කෙනෙක් නෙවෙයි, සුපර් අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා මට හොඳටම මතක් වෙන්නේ. සමහර හවස්වරුවල අපේ ගෙදර ඇවිත් එයා සෝෆා එකේ සැපට වාඩි වෙලා, මම කඩෙන් ගෙනාපු පේස්ට්‍රි එකක් කන ගමන් කොච්චර නම් මට සුපර් අම්මා කෙනෙක් වෙන්න උපදෙස් දෙනවද? නැන්දම්මා කිව්වත් එයත් නැන්දා- සුපර් අම්මා කෙනෙක් නෙ. මාවත් ඒ ලෙවල් එකට ගන්නනෙ මේ වචන නාස්ති කරන්නෙ ඒ මනුස්සයා.

“දැන් කාලේ ළමයි මේවා කඩෙන් අරන් කනවා. මේවායේ මොනවා තියෙනවද කවුද දන්නේ? ඔයාට තිබුණනේ මේවා පොඩ්ඩක් ගෙදරම හදන්න. මම නම් ඉස්සර මගේ පුතාට හැමදේම ගෙදරමයි හැදුවේ. දන්නවනේ ඉතින්, ඔයා අම්මා කෙනෙක් නෙ.”

මම ඉතින් ඒ වෙලාවට හිනා වෙලා බිම බලාගන්නවා. ඒත් මං හොඳට ඒ වචන හිතට ගන්නවා. ඉන්පස්සෙ මම හරිම විනීතව, “ඔව් අම්මේ, ඇත්ත තමයි. මමත් බැලුවේ ලබන සතියේ ඉඳන් ඕවා ගෙදරම හදන්න පටන් ගන්න” කියලා පොරොන්දු වෙනවා.

ඇයි දෙයියනේ, නැන්දම්මා කියන්නේ ඇත්තනේ. 

කඩෙන් කෑම ගෙනත් දෙන එක නරක අම්මා කෙනෙක්ගේ වැඩක්. හොඳ අම්මා කෙනෙක් වුණාම පාන් පිටි ටික අනාගෙන, පේස්ට්‍රි තට්ටු දාගෙන, දාඩිය මුගුරු දාගෙන අවන් එක ගාව ඉන්න ඕනේ. මගේ කොන්ද රිදුණට මොකද, දරුවොයි මහත්තයයි පේස්ට්‍රි හරි රහයි කියලා කියද්දී දැනෙන ඒ සන්තෝසෙ මට කොච්චර වටිනවද? මම මැරිලා ගියත් කමක් නෑ, මහත්තයගෙයි දරුවන්ගෙයි බඩවල් වලට වස විස පුරවන්න බෑනෙ.

නැන්දම්මා ඔහොම උපදෙස් දෙද්දි මහත්තයත් එතකොට හරිම අහිංසක විදියට කියනවා, “ඔව් අම්මේ, මාත් මෙයාට කිව්වා ඕවා ගෙදර හදමු කියලා. අනික මෙයාටද වෙලාව නැත්තෙ ඕව හදන්න? නිකන්මනෙ ඉන්නෙ” කියලා. ඇත්තනෙ අනේ මොකෝ අපි මේ උදේ ඇහැරගෙන, තියෙන දෙයක් ඔතන් රස්සාවල් වලට යනවා කියලද නේ? ගෙදරමනෙ ඉන්නෙ. පේස්ට්‍රි හදලා විකුණන්න බැරිය ඕන් නං

අනික ඉතින් මං ඉතින් අම්මා කෙනෙක් නෙ!

More Stories

Don't Miss


Latest Articles