මුම්ටාස්

“මොකක්ද ආදරේ කියන්නේ?”

මම ඒ ප්‍රශ්නෙ ඇහුවේ නිකම්ම කුතුහලේ හන්දා නෙවෙයි. 

මගේ අනාගතය දැනටමත් තීරණය කරලා ඉවරයි කියලා දැනගත්ත ගැහැනු ළමයෙක්ගේ හිතේ ඇතිවෙන පුංචි බයක් එක්කයි මම ඒක ඇහුවේ. මට මතකයි එදා මම අම්මා ළඟින් වාඩි වෙලා බලාගෙන හිටියා, එයා හරිම ලස්සනට සේද රෙද්දක් උඩ මල් මෝස්තර මහනවා. 

මං ප්‍රශ්නයක් ඇහුවට එයා එකපාරටම ඒකට උත්තර දුන්නේ නෑ. ඒ වෙනුවට එයා අතේ තිබිච්ච ඉදිකට්ට පැත්තකින් තිබ්බා. මං ඒක දැක්කෙ හරියට මගේ ප්‍රශ්නේ තිබිච්ච බර උස්සන්න එයාට අත් දෙකම ඕන වුණා වගේ.

“ඇයි දැන් එකපාර එහෙම දෙයක් අහන්න හිතුණෙ?” එයා හරිම සන්සුන්ව ඇහුවා. ඒත් එයාගේ ඇස් මගේ ඇස් දෙක අස්සෙ මොකක්දෝ හෙව්වා, එහෙම නැත්තම් මොකක් හරි දෙයක් හංගන්න විදියක් හෙව්වා කියන එක මට නොතේරුණා නෙවෙයි. එච්චර පුංචි වයසෙදිත් මට මගේ අම්මව තේරුංගන්න පුළුවන්කම තිබ්බා.

“හැමෝම කියනවා මං කසාද බඳින්න යනවා කියලා,” මම කිව්වා. “කුමාරයෙක්ව…. හැමෝම ඒක ගැන කතා කරන්නේ මහා ලොකු දෙයක් වගේ. ඒත් මට තේරෙන්නෙ නෑ මොකද්ද කසාද බඳිනවා කියන්නෙ කියලා.  කවුරුවත් කියලා දෙන්නෙත් නෑ. මට මොනවද දැනෙන්න ඕන කියලවත් මම දන්නෙ නෑ”

“ඉතින් ඔයා හිතන්නේ ඔයාට මොනවා දැනෙන්න ඕනේ කියලද?” අම්මා ඇහුවා.

මම ටිකක් වෙලා හිටියා. “කිසිම දෙයක් නොදැනෙනවාට වඩා… මොකක් හරි දැනෙන්න එපැයි. එහෙම නෙවිද?”

අම්මා හීන් සුසුමක් හෙළුවා. ඒක හරියට හිනාවකුයි දුකකුයි අතර මැද දෙයක් වගේ. “කසාදෙ එක්ක ආදරේ එන්නම ඕන කියලා දෙයක් නෑ.”

“එහෙනම් ඇයි හැමෝම ඒක එහෙමයි කියලා කියවන්නේ? ඇයි මේ කවියෝ ආදරේ තමයි ලෝකේ වටිනම දේ කියලා ලියන්නේ?”

“මොකද කවියෝ අපි වගේ ජීවිත ගෙවන්නේ නැති හින්දා,” අම්මා කිව්වෙ හීන් හඬින්.

මම එයා දිහාට තවත් නැඹුරු වුණේ මට ඒකට උත්තරේ දැනගන්න ඕන වෙච්ච හන්දා. “අපි වගේ ජීවිත කියන්නෙ මොකද්ද?  මට ඇත්තම කියන්න. මම එයා ළඟට ගියාම… මම මගේ හැමදේම එයාට දුන්නම… එයා මට ආදරේ කරයිද?”

අම්මාගේ බැල්ම මෘදු වුණේ ඒ වචන එක්ක. ඒත් ඒ බැල්ම ඇතුළේ මහා රිදුමක් තිබුණා. “සමහර වෙලාවට දුවේ,” එයා හෙමින් හෙමින් කිව්වා, “කසාදයක් වෙන්නත් ගොඩක් කලින් තමයි පිරිමියෙක්ගේ හිත වෙන කෙනෙක්ව බලාපොරොත්තු වෙන්නෙ. එයා හිතෙන් තමන්ට ඕන කෙනාව මවාගෙන ඉන්නෙ.ජීවිත කාලෙම පිරිමි කරන්නෙ අන්තිමේ ඒ හිතේ ඇඳගත්ත කෙනාව හොයන එක”

මගේ හිත ඇතුළේ මොකක්දෝ ගැස්සීමක් දැනුණා අම්මා එහෙම කියද්දි. ඒත් මට ඒක ඒ වෙලාවේ හරියටම තේරුණේ නැහැ. 

“ඉතින් එහෙම වුණොත්?” මම රහසින් වගේ ඇහුවා. “ඒ පිරිමියා කසාද බඳින කෙනාට මොකද වෙන්නේ?”

අම්මා මගේ මූණ අත් දෙකෙන්ම අල්ලලා, එයාගේ මහපට ඇඟිල්ලෙන් මගේ කම්මුල පිරිමැද්දා. “එතකොට ඒ ගෑනි ඉගෙන ගන්නවා,” එයා කිව්වා.

“මොකද්ද ඉගෙන ගන්නෙ?”

 “තමන්ව තෝරා නොගත්ත ලෝකයක තනිවම ජීවත් වෙන්නේ කොහොමද කියලා.”

ඒ හැම වචනයක්ම මට අද වගේ මතක තිබ්බා.

මුළු මාලිගාවම නිහඬ වෙලා තිබුණෙ, ඒත් මගේ හිතේ තිබුණේ මහා කලබලයක්. මගේ කසාදෙට කලින් දවසෙ රෑ වගේම මේ රෑත් මට දැනුණේ  කවදාවත් ඉවර වෙන්නේ නැති විදියෙ රැයක් කියලා. හිතේ තිබුණු දාහක් ප්‍රශ්න කාගෙන්වත් අහන්න මට හයියක් තිබුණේ නැහැ. අදත් මට ඒ සමහර ප්‍රශ්නවලට උත්තර හොයාගන්න උවමනාවක් තිබ්බා. ඒත් මට ඒව අහන්න කවුරුවත් හිටියෙ නෑ. මම හෙමින් සැරේ සක්මන් මළුවට ආවා. සීතල කිරිගරුඬ පොළොවට මගේ කකුල් තියද්දී මගේ හිත පොඩ්ඩක් සන්සුන් වුණා. අන්න එතන… ආරුක්කුවක් යට තනිවෙලා ඔහු හිටියා. තනියම කළුවර දිහා බලාගෙන. හරියට ඒ අන්ධකාර රාත්‍රිය ඇතුළේ එයාට හොයාගන්න බැරි වෙච්ච මොකක් හරි ප්‍රශ්නෙකට උත්තර හැංගිලා තියෙනවා වගේ.

“ස්වාමීනී?” මම කිව්වෙ හෙමින්.

එයා ටිකක් පුදුම වෙලා මගේ පැත්තට හැරුණා. “ඔයා මේ වෙලාවේ විවේක ගන්න ඕනේ නැද්ද?”

“ඔයත් එහෙමයි,” මටත් නොදැනිම මගේ කටින් පිටවුණා.

මොහොතකට එයාගේ මූණේ අමුතු පෙනුමක් ඇඳුණා. ඒක ආදරයක් නෙවෙයි… ඒත් ඒකේ මහා අවංකකමක් තිබුණා.

“මට ඒක කරන්න අමාරුයි,” එයා පිළිගත්තා.

“විවේක ගන්න එකද?” මම ඇහුවා.

“නැහැ… රඟපාන එක,” එයා කිව්වා.

ඒ වචන අපි දෙන්නා මැද්දෙ තිබ්බෙ නතර වෙලා. ලොකු ප්‍රහේලිකාවක් හදන ගමන්. අපි දෙන්නා අතර ලොකු බාධකයක් ඇති කරන ගමන්. මම හෙමින් සැරේ එයා ළඟට පියවරක් තිබ්බා. “මම ඔයාගෙන් දෙයක් අහන්නද… ඇත්තම ඇත්ත කියනවද මට ඒකට?”

“අහන්න.”

“රඟපානවා කියලා ඔයා මොකද්ද අදහස් කරේ?” මම ඇහුවා.

එයාගේ බැල්ම මගෙන් ඉවතට ගිහින් ඒක නතර වුණේ මට නොපෙනෙන කොහේ හරි ඈතක. “හෙට කියන්නේ අලුත් පටන්ගැනීමක් කියලා රඟපාන එක.”

” ඉතින් ඒක අලුත් පටන්ගැනීමක් නෙවෙයිද?”

“ඔයාට නං ඒක එහෙම වෙන්නැති. ඒත් මට…මට ඒක නිකන් තව දවසකට පස්සෙ එන තව එක දවසක් විතරයි,” 

“මොනවාට පස්සේද?” මම ඇහුවා. මං එහෙම ප්‍රශ්නයක් ඇහුවට මගේ හිත ඇතුළේ ඒ උත්තරේට මහා බයක් තිබුණා.

“මට රකින්න බැරි වෙච්ච පොරොන්දුවකට පස්සේ,” එයා කිව්වා.

“ඔයා එයාට ගොඩක් ආදරෙයි නේද?” කියලා මං ඇහුවෙ ඇත්තටම මං කාලාන්තරයක් තිස්සෙ අහන්න බලාගෙන උන්න ප්‍රශ්නයක්.  මං ඒකට උත්තරේ දැනගෙන උන්නට මට ඕන උනා එයාගෙ කටෙන්ම ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න. මට ඕන උනා අඩුම එයා උත්තරේ දෙන්න කළින් මගෙන් අහවි කියලා “කවුද එයා?” කියලා. ඒත් එයා ඇහුවේ නැහැ “කවුද ඒ?” කියලා. මගෙ හිත රිදුණෙ ගොඩක්ම අන්න ඒකට. ඒ වගේ බොහොම සාමාන්‍ය ආමන්ත්‍රණයකින් පවා එයාව අඳුරගන්න තරම් ජහන් ගෙ හිතේ අර්ජුමාන් ගැන තිබ්බ ආදරේ මාව හෙමින් සැරේ කටුවකින් අණිනවා වගේ රිද්දුවා.

“ඔව්,” එයා කිව්වා.

ඒ වචනය එයා කිව්වේ කිසිම පැකිලීමක් නැතුව. ඒකයි මට දරාගන්න බැරි වුණේ.

“මාව කසාද බඳිද්දි ඔයාට ආදරේ කියන දේ අපි අතර නැති එක ගැටලුවක් වුණේ නැද්ද?” මගේ පපුව ගැහෙද්දීත් මම මගේ හඬ පාලනය කරගෙන ඇහුවා.

 “සමහර දේවල් අපේ කැමැත්තට කලින් තීරණය වෙලා ඉවරයි,” එයා උත්තර දුන්නා. “සමහර කතන්දර වලට බැහැ වෙන්න ඕන දේවල් වෙනස් කරන්න.”

“ඉතින් මට මොකද වෙන්නේ? මේ විදියෙ ජීවිතයක් එක්ක මම මොකද කරන්නේ?” මට ඒ ප්‍රශ්නෙ එයාගෙන් අහන්න කොච්චර උවමනාව තිබුණත් මම ඒක එයාගෙන් ඇහුවෙ නෑ. මොකද ඒකට ලැබෙන උත්තරේ මාව තව ටිකක් රිද්දන්න හේතුවෙන බව මම සමහරවිට ඒ වෙද්දිත් දැනගෙන ඉඳපු හන්දා වෙන්න ඇති.

පළවෙනි වතාවට එයා මගේ දිහා බැලුවේ වගකීමක් දිහා බලනවා වගේ නෙවෙයි… තමන්ට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අරන් ඉන්න මනුස්සයෙක් දිහා බලනවා වගේ.

“අපිට ඒක කවදාවත් වෙනස් කරන්න බැරිද? ජීවිතේ ගෙවන විදිය, දේවල් වෙන විදිය, අපි අතරෙ තියෙන ගනුදෙනුව අපිට ගනුදෙනුවකින් එහාට අරගෙන යන්න බැරිද?”

“මම දන්නේ නෑ, මම හිතන්නෙ නෑ” එයා කිව්වා.

පුදුමෙකට වගේ, ඒ අවංකකම මගේ හිතට වෙන හැමදේකටම වඩා තදින් රිදෙව්වා.

“එයාව හම්බෙන්න කළින් ඔය ප්‍රශ්නෙ ඔයා මගෙන් ඇහුවනම මට සමහරවිට ඒකට දෙන්න මීට වඩා හොඳ උත්තරයක් තියෙන්න තිබුණා. ඒත් දැන් මට ඒක කරන්න හරි අමාරුයි. එයා එන්න කළින්ම හරියට මම දැනගෙන හිටියා වගේ එයා එනවා කියන එක”

ඒක ඇත්තටම ඇත්තක්. අර්ජුමාන් මෙහෙ මාළිගාවට එන්න කළින් මුළු මාළිගාවම වෙනස් වෙලා තිබුණා. ඒක හරිම සියුම් ඒත් කාටවත් නැහැයි කියන්න බැරි වෙනසක්. මාළිගාවේ ඇහිච්ච කතාබස් වල වෙනස් හඬක් තිබුණා, වාතය පවා සැහැල්ලු වෙලා වගේ දැනුණා. ඒ හැමදේටම වඩා ජහන් වෙනස් වෙලා තිබුණා. එකම විදියකට ජීවත්වෙච්ච එයා එකපාරටම සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වුණා.

මම ඒ දෙන්නව එකට දැක්කේ පළවෙනි වතාවට, හැන්දෑවේ ඉර එළිය වැටුණු සක්මන් මළුවෙදී. අර්ජුමාන් එයා ළඟින් හිටගෙන හරිම හෙමින් මොනවාදෝ කියනවා, ජහන් ඒකට ඇහුන්කම් දීගෙන හිටියා. එයා මං කියන දේවලුත් එහෙම අහගෙන ඉඳලා තියෙනවා. ඒත් එයා මේ වෙලාවෙ අර්ජුමාන්ට ඇහුන්කම් දීගෙන හිටියෙ මට ඇහුන්කම් දීගෙන ඉන්නවට වඩා, ඒක නිකන් යුතුකමකට අහගෙන ඉන්නවා වගේ නෙවෙයි, මට කවදාවත් ලැබිලා නැති විදියේ මහා ඕනෑකමකින්. එයා හිනාවෙද්දී ජහනුත් හිනා වුණා. ඒක නිකන් ආචාරශීලී හිනාවක් නෙවෙයි. ප්‍රවේශමෙන් හිනාවෙන හිනාවකුත් නෙවෙයි.

ඒක හරිම නිදහස් හිනාවක්.

එතකොටයි මට ඒක තේරුණේ. අම්මාගෙන් මුළින්ම ඇහුව “මොකද්ද ආදරේ කියන්නෙ?” කියන්න ප්‍රශ්නෙට උත්තරේ මං ඒ හිනාව අස්සෙ එදා පළවෙනි වතාවට දැක්කා.

අර්ජුමාන් මාව මග ඇරියෙ නෑ. එයා මාව හම්බෙන්නත් ආවා.

“මම ඔයා එක්ක කතා කරන්න හිටියේ,” එයාට තිබුණෙ හරිම සනීප කටහඬක්. ඒ කටහඬ අස්සෙ තිබ්බ එයා මාත් එක්ක එහෙම නැත්තම් අග රැජිණ එක්ක කතා කරන්න මැලිකමක්. පැකිලෙන ගතියක්. ඒත් එයා දැන ගෙන හිටියෙ නෑ  ඇත්තටම එයා ඉස්සරහා පැකිලුනේ මම කියන එක. එයා එක්ක කතා කරන්න මැලිවුණේ මම කියන එක.

මම එයා දිහා හොඳට බැලුවා. “ කතා කරන්න මොනවා ගැනද?”

“අපි ගැන” 

“අපි කියලා කෙනෙක් ඇති කියලා මම කවදාවත් හිතලා නෑ” මම හරිම සන්සුන්ව කිව්වා. “ඔයා ඉන්නවා… මම ඉන්නවා… එච්චරයි.”

එයා මොහොතකට බිම බලාගත්තා, පස්සේ ආයෙත් මගේ ඇස් දිහා බැලුවා. “ඔයා තමයි මෙතනට මුලින්ම ආවේ. එහෙමෙකේ මම ඔයා එක්ක කතා කරන්න උවමනා නැද්ද?”

“ඒ වුණාට මට දැනෙන්නේ මම ආවේ ගොඩක් පරක්කු වෙලා වගේ. සමහර වෙලාවට මට හිතිලා තියෙනවා මට තිබුණා කියලා කවදාවත් එන්නෙ නැතුව ඉන්න”

මම ඒක කියද්දී එයා පොඩ්ඩක් ගැස්සුණා.

“මම මෙතනට ආවේ ඔයාගෙන් කිසිම දෙයක් උදුරගන්න නෙවෙයි,”

“මගෙන් උදුරගන්නවත් ඒ දේ කවදාවත් මගෙ වෙලා තිබුණෙ නෑ.”

ඒ වචන මගේ කටින් කොච්චර ලේසියෙන් පිටවුණාද කියලා මටත් පුදුමයි. හරියට හුස්මක් පිටවෙනවා වගේ හරිම ස්වාභාවිකව. ඒ වචන ටික එළියට පනිනකම් මම දැනගෙන හිටියේ නැහැ මගේ යටිහිත ඒ ඇත්ත පිළිගන්න කොයි තරම් කාලයක් තිස්සේ ලෑස්ති වෙලා හිටියද කියලා. මම මේ මාලිගාවට පය තිබ්බේ පර්සියාවේ කුමාරිකාවක් විදිහට ලොකු අභිමානයක් එක්ක. මම හිතාගෙන හිටියේ මම එයාගේ පළවෙනිය වුණ නිසා මට එයාගේ හැමදේකටම ලොකු අයිතියක් තියෙනවා කියලා. ඒත් ආදරේ කියන්නේ ඔප්පු තිරප්පු ලියලා, බලෙන් අල්ලගන්න පුළුවන් බූදලයක් නෙවෙයි කියලා මට තේරුණේ ඒ වචන ටික මගේ කටින් පිටවෙච්ච මොහොතෙමයි.

ඇත්ත, ජහන් මට මහා ඉහළින් සැලකුවා. කන්න අඳින්න අඩුවක් කළේ නැහැ. එයාගේ දරුවන්ගේ අම්මා විදිහට මට මාලිගාවේ හැම ගෞරවයක්ම දුන්නා. ඒත් ඒ ආදරේ… අන්න ඒ ආදරේ නම් මට කවදාවත් දැනුනෙ නෑ. පර්සියන් කුමාරියක් වෙච්ච මම ඊට කළින් ආදරේ අඳුනගෙන උන්නෙ නැතුව ඇති. ඒත් ආදරේ කියන්නෙ අඳුරගන්න ඕන දෙයක් නෙවෙයි. දැනෙන දෙයක්. කෙනෙක් මගෙන් අහන්න පුළුවන් “ඔයාට ජහන්ගෙන් ආදරේ ලැබුණෙ නෑ කියන එක ඔයා දන්නෙ ඔයා මීට කළින් වෙන කෙනෙක්ට ආදරේ කරාද?” කියලා. ආදරේ දැනෙන්න ආදරේ කරන්නම ඕනද? නෑ නේද? ආදරේ කියන්නෙ දැනෙන දෙයක් නේද?

ඉතින් මට කවදාවත් අයිති වෙලා නැති දෙයක් තව කෙනෙක් කොහොමද මගෙන් උදුරගන්නේ? එයා කළේ මට කවදාවත් හාරවුස්සන්න බැරි වුණු එයාගේ හිතේ තිබුණු ඒ ආදරේ කියන ගින්දරට පණ දීපු එක විතරයි. පාලුවට ගිය කාන්තාරෙක ඉන්න මනුස්සයෙක් ඈතින් පෙනෙන මිරිඟුවක් දිහා බලාගෙන ඉන්නවා වගේ, මම ඒ ආදරේ දිහා ඈතින් ඉඳන් බලාගෙන හිටියා.

ඒ වචන ටික කියලා දැම්මම මගේ පපුව ඇතුළේ තිබුණු මහා ලොකු බරක් බිම වැටුණා වගේ මට දැනුණා. මම තවත් එයා එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැහැ. එයාගේ හිතේ පොඩි ඉඩක් ඉල්ලලා තවත් මම හිඟමනේ යන්නෙත් නැහැ. මම හොඳටම තේරුම් ගත්තා… මේ ආදර කතාව ඇතුළේ මට රඟපාන්න ලැබුණේ වෙන කතාවක් කියලා.

අර්ජුමාන් තවත් මං ළඟට ආවා, එයාගෙ මූණේ තිබුණේ මහා අනුකම්පාවක්. “ඔයා මට වෛර කරනවද?”

මම ඒ ගැන හිතුවා. ඇත්තටම හිතුවා.

“නැහැ, මම අන්තිමේදී කිව්වා.

“ඒ ඇයි?”

“මොකද එයා ඔයා දිහා බලන විදිය මම දැක්කා”  මම කිව්වා. “ඊට පස්සේ මට දෙයක් තේරුණා.”

“මොකක්ද ඒ?”

“ ඒ වගේ ආදරයක්…”මම ටිකක් නතර වුණා, කියන්න ඕන හරිම වචන හොයන ගමන්, “කවදාවත් හොරකම් කරන්න බැහැ. ඒක ලැබෙන්න විතරයි පුළුවන් කියන එක”

එයාගෙ ඇස් පිරුණෙ මට අඳුනාගන්න බැරි හැඟීමකින්. “ඉතින් ඔයාට?…ඔයාට මොනවාද ලැබුණේ?”

මම හිනා වුණා, ඒත් ඒ හිනාවේ සතුටක් තිබුණේ නෑ. “මට තැනක් ලැබුණා,” මම කිව්වා. “මට නමක් ලැබුණා. මට ජීවිතයක් ලැබුණා.”

‘ඉතින් ඒක ඇතිද?’

“ඒක ජීවත් වෙන්න නම් මදි නැහැ,” මම කිව්වා. “ඒත් ආදරේ ලබන්න නම් ඒක කොහෙත්ම මදි.”

ඒ විදියට අවුරුදු  ගණනාවක් ගෙවිලා ගියා. මට කවදාවත් අයිති නොවන දෙයක හෙවනැල්ල යට ජීවත් වෙන්නේ කොහොමද කියලා මම ඉගෙන ගත්තා. මම ප්‍රශ්න අහන එක නැවැත්තුවා. නිහඬතාවයෙන් දැනටමත් දීලා තිබුණු උත්තර ලැබෙනකල් බලන් ඉන්න එකත් මම නැවැත්තුවා. ඒ නිහඬ අත්හැරීම ඇතුළේ මම කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක් හොයාගත්තා. ඒක සතුටක් නෙවෙයි, ඒත් මහා පුදුම නිස්කලංක බවක්.

අර්ජුමාන් මැරුණෙ ඊට පස්සෙ.

මම කවදාවත් ෂා ජහාන්ව ඒ වගේ දැකලා තිබුණේ නෑ. මුළු අධිරාජ්‍යයක්ම කිසිම පැකිලීමක් නැතුව දරපු ඒ මනුස්සයා… එකම එක හිස්තැනක් ඉස්සරහා සම්පූර්ණයෙන්ම බිඳිලා ගිහින් තිබුණා. දවසක් මම එයාව දැක්කා තනියම හිටගෙන ඉන්නවා. එයා එයාගේ අත සීතල ගල් බිත්තියකට තද කරගෙන හිටියේ, හරියට එයා බිඳිලා වැටෙන එක නවත්තගන්න හදනවා වගේ.

“ස්වාමීනී,” මම හෙමින් මැතිරුවා.

ඒත් කළින් වතාවෙ වගේ එයා මගේ පැත්ත හැරුණේ නැහැ. “මට කියන්න,” එයාගේ හඬ හරිම හිස් විදියට ඇහුණා. “කෙනෙක් මේ ලෝකේ තේරුමක් ඇතිව කරපු එකම දේ නැති වුණාම… ඉතිරි වෙන්නේ මොනවාද?”

මම එතනම හිටගෙන හිටියා. එයාව තවත් බිඳින්නේ නැති උත්තරයක් මගේ ළඟ තියෙනවද කියලා මම දැනගෙන හිටියේ නැහැ.

“මම ඒක දන්නේ නැහැ,” මම අවංකවම කිව්වා.

“ඒ ඔයාට කිසිම දෙයක් අහිමි වෙලා නැති නිසාද?” එයා ඇහුවා.

“නැහැ,” මම හෙමින් උත්තර දුන්නා. “මොකද මට කවදාවත් කිසිම දෙයක් හිමි වෙලා තිබුණේ නැති නිසා.”

එයා පළවෙනි වතාවට මගේ දිහා හැරිලා බැලුවේ එතකොටයි.

එයාගේ ඇස් ඇතුළේ මම අලුත් දෙයක් දැක්කා.

ඒ තමයි… තේරුම් ගැනීම.

ටජ් මහල ඉදිවෙන්න පටන් ගද්දී මම ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. ගලින් ගල තියලා ඒක ඉදිවුණේ දවසක මුළු ලෝකයම සදාකාලික ප්‍රේමය කියලා හඳුන්වන ස්මාරකය විදියට. ඒක හදලා ඉවර වුණාම, අහස උසට කිසිම කැළලක් නැතිව අදහාගන්න බැරි තරම් ලස්සනට ඒක තියෙද්දී මම එක වතාවක් ඒක බලන්න ගියා.

එයා එතන හිටියා.

“ඔයා ආවා,” එයා හෙමින් කිව්වා.

“ඔව්,” මම උත්තර දුන්නා.

ටික වෙලාවක් අපි දෙන්නම නිහඬව හිටියා. පස්සේ එයා ආයෙත් කතා කළා. “මිනිස්සු මේක මතක තියාගනීවි,” එයා කිව්වා. “මිනිස්සු එයාව මතක තියාගනීවි.”

“ඔව්,” මම කිව්වා.

“ඔයාට ඒක ගැන දුකක් තියෙනවද?” එයා පළවෙනි වතාව ඒ මගේ සිතුවිල්ලක් ගැන, මට දැනෙන විදිය ගැන අහපු.

මම ඒ කිරිගරුඬ ස්මාරකේ දිහා බැලුවා. මහා දුකකින් නිර්මාණය වෙච්ච ඒ පරිපූර්ණත්වය දිහා බලලා මම ආයෙත් එයා දිහා බැලුවා.

“මාව මතක තියාගන්න ඕනේ නැහැ,” මම කිව්වා.

එයාගේ මූණේ පුංචි අමනාපයක් ඇඳුණා. “ඒක ඇත්ත නෙවෙයි.”

“ඇත්ත නෙවෙයිද?” මම හෙමින් ඇහුවා. “මට කියන්න… මිනිස්සු ඔයාගේ ආදරේ ගැන කතා කරද්දී, එයාල මගේ නම කියනවාද?”

එයා ඒකට මුකුත් කිව්වේ නැහැ.

මම හිනා වුණා. ඒකේ වේදනාවක් තිබුණේ නැහැ. ඒක අවුරුදු ගණනාවක් තිස්සේ මම ඉගෙන ගත්ත මහා නිහඬ පිළිගැනීමක්. “මම තමයි පළවෙනියා,” මම කිව්වා. “ඒත් ආදරේ කියන දේ පටන්ගැනීම් ගැන සලකන්නේ නැහැ.”

එයා පළවෙනි වතාවට මාව පැහැදිලිව දකිනවා වගේ මගේ දිහා බලාගෙන හිටියා.

“මට සමාවෙන්න,” එයා කිව්වා.

පළවෙනි වතාවට… 

“ඒකට කමක් නැහැ,” මම හෙමින් කිව්වා.

“ඒ ඇයි?” එයා ඇහුවා.

“මොකද දැන් මට ඒක තේරෙනවා,” මම කිව්වා.

“මොකක්ද තේරෙන්නේ?”

“ආදරය අයිති වෙන්නේ මුලින්ම ආපු කෙනාට නෙවෙයි… ආදරය අයිති වෙන්නේ තෝරගත්ත කෙනාට විතරයි,” මම කිව්වා.

More Stories

Don't Miss


Latest Articles