රටේ හරිම ඈත කෙළවරක, සාමාන්‍ය මිනිස්සු පය ගහන්නවත් බය වුණු මහා විසාල වනාන්තරයක් තිබුණා.
මේ වනාන්තරය හැම වෙලාවකම වගේ ඝන මීදුමකින් වැහිලයි තිබුණේ. ගම්වල මිනිස්සු අතරෙ මේ වනාන්තරේ ගැන තිබුණේ පුදුම බයක්. මොකද, මේ වනාන්තරේ ඇතුළට ගිය කිසිම කෙනෙක් ආපහු ගමට ආවේ නැති හන්දා. සමහරුන්ට ඒ ගැන කියන්න එක එක ජාතියේ කතා තිබුණා. සතෙක් කන්න ඇති, කන්න නැතුව මැරෙන්න ඇති, වතුර නැතුව මැරෙන්න ඇති වගේ කතා ගොඩක් මැද්දෙ හැමෝවම බය කරවන්න හේතු වුණේ නම් වෙනස්ම විදියෙ කතාවක්.
“ඔය කැලේ මැද්දෙ මහ මාළිගාවක් තියෙනවලු. ඒකෙ ඉන්නවලු කලුම කලු පාට යකින්නක්. ඒ යකින්න බලාගෙන ඉන්නෙ ලස්සන කොල්ලො බිලිගන්නලු. ඒ යකින්නට පුලුවන්ලු තරුණ කොල්ලන්ව වශි කරගන්න. අනික සෑහෙන ධන වස්තු සම්භාරයක් එහෙමත් තියෙනවලු. ඒ වස්තුවල තියෙන රත්තරන් වල දිස්නෙට තරුණ පිරිමින්ගෙ ඇස් අන්ධ වෙනවලු. ඒකලු ඒ කාලෙ ඔය කැලේට ගිය පිරිමින්ට ආපහු ගමට එන්න පුළුවන් වෙලා නැත්තෙ” කියලා තමයි මිනිස්සු කතාව කිව්වෙ. ඒ පැත්තෙන් රෑට ඇහෙන බකමූණන්ගේ සද්දෙයි, ගහකොළ හෙලවෙන සද්දෙයි අහලා ගමේ මිනිස්සු හිතුවේ ඒ අඟුරු පාට යකින්න ගමට පනියි කියලා කොල්ලො බිලි ගන්න. ඒ තරමටම ඒ අද්භූත රූපය ගැන මිනිස්සුන්ගේ හිතේ තිබුණේ පිළිකුලක් වගේම පරාණ බයක්.
ඒ නිසාම මේ ගමේ ඉන්න අම්මලා තාත්තලා තමන්ගෙ තරුණ පුතාලට මේ කැලෑවෙ මායිමටවත් යන්න ඉඩ දුන්නෙ නෑ. මොකෝ අම්මලා උන්නෙ බයෙන් තමන්ගෙ රත්තරන් පුතාව මේ අඟුරු කෑල්ල වගේ ඉන්න යකින්න අල්ලගනීවි කියලා.
ඔන්න ඔහොම කාලෙක තමයි කවීන් මේ කතාවට එන්ටර් වෙන්නෙ. කවීන් කියන්නෙ ඒ දවස්වල මුළු පළාතටම හිටපු පට්ටම ලස්සන කොල්ලා කිව්වොත් හරියටම හරි. උස මහත, රත්තරන් පාට හම, කැරලි ගැහුණ කොණ්ඩෙ එක්ක මිනිහව දැක්කම ඕනම කෙල්ලෙක්ගෙ හිත නතර වෙනවා. කෙල්ලන්ගෙ විතරක් නෙවි නාකි ආච්චිලා වුනත් හැරිලා බලලා අනේ මං තිරිහං උනානං කොච්චර ශෝක්ද කියලා හිතෙන ලෙවල් එකේ පට්ට සුපිරි ලුක් එකක් තමයි මුට තිබ්බෙ. කොහොමහරි long story short කවීන් දවසක් ඔන්න මේ කැලෑවට එනවා. එනවා නෙවෙයි කතාවෙ හැටියට මිනිහා කැලෑවෙ අතරමං වෙනවා.
අර පාරෙත් ගියා. මේ පාරෙත් ගියා. ඒත් අන්තිමේ කැලෑවෙන් එළියට යනවා කියලා හිතාගෙන තමන් ගිහින් තියෙන්නෙ කැලෑවෙ අස්සටමයි කියන එක කවීන්ට තේරුණේ තමන්ගෙ ඇස් ඉස්සරහින් කලු ගල් මාලිගාව පේන්න තියෙද්දි.
“දෙයියනේ” කවීන් කිව්වා නෙවෙයි කවීන්ට කියවුණා. කවීන් උන්නෙ පුදුමාකාර බයකින්. තමන් තව අඩියක් එහෙට මෙහෙට තිබ්බොත් අඟුරු පාට යකින්න ඇවිත් තමන්ව කාලා දාවි කියන බය කවීන්ව මාර විදියට බය කරා. අන්න ඒ හන්දමයි කවීන් ඔලුව හරවලා ආපහු කැලැව දිහා බැලුවෙ. ඒ වෙද්දිත් හතර අතින් අන්ධකාරෙ ගොඩ ගහන ගමන් තිබුණෙ. ආපහු හැරිලා කැලෑව අස්සට යන්න පුළුවන් උනත් එහෙම ගිහින් මොන ජල්තරයක් වෙයිද දන්නෙ නෑනෙ කියන බය වගේම “දන්න යකින්නි නොදන්න එවුන්ට වඩා හොඳයිනෙ” කියලා හිතිච්ච සිතුවිල්ල හන්දා තමයි කවීන් පපුව ඉස්සරහට,පස්ස පස්සට දාගෙන මාලිගාව අස්සට යන්න අඩිය ඉස්සුවෙ.
මේක අර බියුටි ඇන්ඩ් ද බීස්ට් කතාවෙ වගේ මැජික් බලෙන් ඇරෙන වැහෙන මාලිගාවක් නෙවෙයි. ඒ හන්දා කවීන්ට තමයි සිද්ද වුණේ කොල අතු වැල් වලින් වැහිච්ච මාලිගාවෙ දොර ඇරගෙන ඒ මාලිගාව අස්සට යන්න.කිරි කිරිස් සද්දෙට ඇරිච්ච දොරෙන් ඇතුලු වෙච්ච ගමන් කවීන් බලාපොරොත්තු උනා යස්සනී තමන් ඉස්සරහට ඒවි කියන එක. එහෙම ඇවිත් තමන්ව කාවි කියන එක අනිත් උන් වගේම.
හැබැයි මාලිගාව ඇතුළේ මහා පාලු ගතියක් තිබුණෙ. හැම තැනම රත්තරන් බඩු විසිරිලා තිබුණට දූවිලි පිරිලා. කවීන් හෙමින් හෙමින් අඩිය තිබ්බෙ බිම තිබිච්ච රත්තරන් කාසි පාගන ගමන්. “මොන මල යකෙක්වත් පේන්න නෑනෙ. කවුරුත් නැද්ද මේකෙ?” කියලා හිතනකොටම පඩිපෙළ උඩහින් කවීන්ට සද්දයක් ඇහුණා. කවීන් බය වුණ පාර අත් දෙකෙන්ම මූණ වහගත්තා බයටම.
“ඔයා… ඔයා ඇත්තටම ආවද?”
කවීන් හෙමින් ඇස් දෙක ඇරලා බැලුවෙ අන්න ඒ කටහඬට. පඩිපෙළ උඩ හිටගෙන හිටියෙ කළුම කළු ගැහැනු රූපයක්. ඒක දැක්කම කවීන්ට “බඩුම තමයි” කියලා හිතුණා. මිනිස්සු කියපු කතාව අකුරක් නෑර ඇත්ත! ඒ ඉන්නෙ අඟුරු කෑල්ලක් වගේ කළුම කළු යකින්නක්… නෑ නෑ… කුමරියක්!
“මාව… මාව කන්න එපා යකින්නි!” කවීන් බිම දණගහලා වැන්දා.
ඒ කළු රූපය හෙමින් හෙමින් පඩිපෙළ බැහැලා කවීන් ගාවට ආවා. එයා ළඟින් ආවෙ අමුතුම මල් සුවඳක්. “යකින්නක්? කවුද ඔයාට එහෙම කිව්වෙ?” එයා ඇහුවෙ මාරම සිනිඳු කටහඬකින්. “මම මේ මාලිගාවෙ කුමරිය. මට ඔයාව කන්න උවමනාවක් නැහැ. මම බලන් හිටියෙ ඔයා වගේ කෙනෙක් එනකල්. මොකද මගේ මේ අන්ධකාර ඉරණම වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරයි හන්දා.”
කවීන් බය අස්සෙත් තමන්ගෙ රූපෙ ගැන තිබුණ ආඩම්බරේ මතක් කරගත්තා. “ආ… මගේ ලස්සන දැකලා මේකිත් වහ වැටිලා නේද?” කියලා කවීන් හිතින් හිනා වුණා. ඒත් කුමරියගෙ අඟුරු පාට හම දැකලා කවීන්ට ඇති වුණේ පුදුම අප්පිරියාවක්.
කුමරිය තමන්ගෙ අත කවීන්ගෙ අත දිහාට දික් කළා. “මම මේ සාපයක් හන්දා තමයි හිරවෙලා ඉන්නෙ. හොඳ හදවතක් තියෙන කෙනෙක් මට එක හාදුවක් දුන්නොත්, මට මේ කලුවර මාලිගාවෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට මේ මුළු මාලිගාවෙම රජ්ජුරුවෝ වෙන්නෙ ඔයා. මේ මුලු වස්තුව ඔක්කොම ඔයාගෙ. ඒ විතරක් නෙවෙයි මමත් ඔයාගෙ”
කවීන් එකපාරටම අත පස්සට ගත්තා. මූණ හකුළුවගෙන එයා හිතුවා, “මම වගේ ලස්සන එකෙක් මේ කළු අඟුරු කෑල්ලව කිස් කරන්න? මේකි මොනවා හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ මං ගැන!” කියලා.
කවීන් තමන් කිව්ව දේට මුකුත් නොකිව්ව හන්දා කුමරියගෙ ඇස්වල තිබුණ බලාපොරොත්තුව හෙමින් හෙමින් දියවෙලා යනවා පෙනුණා. මාලිගාව ඇතුළෙ තිබුණ රන් රිදී වස්තුවලට වඩා කවීන්ට ලොකු වුණේ තමන්ගෙ පෙනුම ගැන තියෙන ආඩම්බරේ. කොහොමත් කොල්ලා පොඩි කාලෙ ඉඳලා හැන්ඩියා හන්දා අම්මලා උනත් කියලා තිබ්බෙ “ලොකු වෙද්දි රාජ කුමාරිකාවක් උනත් දපනෙ දාගන්න පුළුවන් ජාතියේ කොල්ලෙක්” කියලා හන්දා එහෙව් රාජ කුමාරියක් මිසක්කා මේ වගේ අඟුරු කෑල්ලක් නෙවෙයි නේද තමන් බලාපොරොත්තු වෙන්නෙ කියන එක කවීන්ට මතක තිබ්බා.
හැබැයි ඉතින් කවීන් උන්නෙ වෙන කරන්න දෙයක් නැතිව. ආපහු කැලෑවට ගියොත් සත්තු කනවා, මාලිගාවේ හිටියොත් අර අඟුරු කැල්ල බලාගෙන ඉන්නෙ තමන් ඒකිව කිස් කරලා ඒකිව සාපෙකින් බේර ගන්න ගමන්. ඒත් කොච්චර කරත් එළියට ගියොත් මොකෙක් හරි වෙන මල යකෙක් කෑවොත් කියන බය හන්දම එයා හිත හදාගෙන මාලිගාවේ නතර වුණා. හැබැයි එයාඅ හිතුවේ මේකත් අර මිනිස්සු කියපු විදිහට වශී කරන සීන් එකක් කියලා.
“යකින්න… නෑ සොරි කුමරිය, මට ඉන්න තැනක් දෙනවා නේද ඔයාගෙ මේ මාළිගාව අස්සෙ? හැබැයි ඔන්න ඒකෙන් අදහස් කරන්නෙ මං ඔයාව කිස් කරාවි කියන එක නම් නෙවි හොඳේ. මට ඔයාව දැක්කම එහෙම දේකට හිත හදාගන්න අමාරුයි” කියලා කවීන් මාලිගාවේ සෝෆා එකක වාඩි වුණා. කුමරිය හරිම අහිංසක විදිහට හිනා වෙලා මාලිගාවේ හොඳම කාමරයක් කවීන්ට ලෑස්ති කරලා දුන්නා. ඒ කාමරේ ඇඳ රෙදි පවා රත්තරන් නූලෙන් මහපුවා. කවීන්ට හිතුණා “ෂා… මෙහේ සැප නියමයිනේ, මේකිත් අඟුරු කෑල්ල වගේ කලු වෙන්නෙ නැතුව පොඩ්ඩක් තලෙලු පාටට හරි හිටියනම් සැප කනේ” කියලා.
පහුවදා උදේ කවීන් ඇහැරෙද්දී කාමරේ මේසේ උඩ රජ කෑම වේලක්. එක එක ජාතියේ පලතුරු, මස් මාළු, මී පැණි… මේ හැමදේම අතරේ අර අඟුරු කෑල්ල හිටගෙන හිටියා. එයා ඇඳලා හිටියේ පට්ටම ලස්සන සේද ඇඳුමක්. හැබැයි ඒ ඇඳුම සුදු පාට වෙද්දී එයාගේ හම තවත් කළු වෙලා පෙනුණා. කවීන්ට කෑම ටික දකිද්දී කටට කෙළ උනන්න ආවත්, කුමරිය දැක්කම මූණ ඇඹුල් කරගත්තා.
“ඔයා කන්න ආස ජාති මම තාම දන්නෙ නෑනෙ මේ කෑම ඔයාට හොඳයිද?” කුමරිය හරිම ආදරෙන් ඇහුවා.
“කෑම නම් හොඳයි, ඔයාද හැදුවෙ? ඔයා ඔච්චර කලු එකේ ලිප ළඟ ඉන්න එපා. තව කලු වෙයි” කවීන් හිනා වෙවී කිව්වෙ හරිම කැත විදිහට. කුමරියගේ හිත රිදුණත් එයා ඒක පෙන්නුවේ නැහැ. එයා කවීන්ට මාලිගාව වටේ තියෙන ලස්සන තැන් පෙන්නන්න එක්කන් ගියා.
මාලිගාවේ උයන හරිම පුදුම තැනක්. එහේ පිපෙන මල්වලින් අමුතුම සුවඳක් ආවා. කුමරිය ඒ මල් ගැන, තාරකා ගැන, ලෝකේ තියෙන ලස්සන දේවල් ගැන පැය ගාණක් කවීන් එක්ක කතා කළා. කුමරිය ඇත්තටම මාරම බුද්ධිමත්, ඒ වගේම හරිම කරුණාවන්තයි. එයා කතා කරද්දී කවීන්ටත් නොදැනීම එයාගේ ඒ ගතිගුණ වලට ආස හිතුණා. හැබැයි එයාගේ මූණ දකිද්දී කවීන්ට ආපහු අර පරණ පිළිකුල ආවා.
“ඔයා මාර විදිහට දේවල් දන්නවනේ… ඒ උනාට ඉතින් වැඩක් තියෙනවද නේ? මේ මාළිගාවක් අස්සෙ හිරවෙලා ඒ මදිවට යකෙක් වගේ කලුපාටයි,” කවීන් ආඩම්බරෙන් තමන්ගේ රන්වන් පාට අත් දිහා බල බල එහෙම කිව්වා.
“කවීන්, රූපේ කියන්නේ තාවකාලික දෙයක් විතරයි. හිතේ ලස්සන දකින්න ඔයාට බැරිද? මම කිව්වනේ, ඔයාගේ එක හාදුවකින් මේ සාපෙන් මට ගැලවෙන්න පුළුවන්වෙනවා. එතකොට ඔයාට මාව ලස්සනට පෙනේවි. අර අවුරුදු ගානක් මේ වනන්තරේ අස්සෙ හිරවෙලා ඉඳලා මගේ හැබෑ.ලස්සන දකින්න අමාරුයි. මම කලු එක මම අවලස්සන වෙන්න හේතුවක්ද? ඔය විදියෙම වරදක් හන්දා, මට වස්තුව තිබුන හන්දා දුප්පත් මිනිස්සුන්ට ඇද කරලා තමයි අන්තිමේ මට මේ වගේ සාපෙකට අහුවෙන්න උනේ අද බලන්නකො කොච්චර සැප සම්පත් තිබුණත් වැඩක් තියෙනවද මෙහෙම හිර වෙලා ජීවත් වෙලා? රූප ලස්සනත් එච්චරයි කවීන්. ඒවා නැතිවෙන දේවල්.ඒ නැතිවෙන දේවල් හන්දා අපි අපේ මනුස්සකම් නැති කරගන්න උවමනා නෑ නේද?”
“මනුස්සකම් ගැන මං එක්ක කියවන්න එන්න එපා. ඔයා ඔය හෙන දාර්ශනික ටෝක්ස් කියන්නේ මාව රවට්ටලා සාපෙන් බේරෙන්නනෙ. ඔයා ලස්සන වෙයිද නැද්ද කියලා කවුද දන්නේ? මම වගේ සුපිරි ලුක් එකක් තියෙන එකෙක් ඔයාව කිස් කරනවා දකින මගේ යාළුවෝ මට හිනා වෙයි. අනික මං කැමති දුප්පත් කෙල්ලෙක් උනත් කමක් නෑ ලැජ්ජ නැතුව පාරෙ එක්කන් යන්න පුළුවන් එකියක්ව.”
“ඔයා ඔහොම කියන්නෙ ඔයාට බයද ඔයා මාව රෑට දැක්කොත් බයවෙයි කියලා?”
“බයවෙන්න හරි ඔයාව පේන්න ඕන නෙ. රෑට ඔයාව පේනවා කියලද හිතන් ඉන්නෙ”
කවීන් හිතුවේ කුමරිය එයාට වශී වෙලා කියලා. ඒ නිසා එයා තවත් උඩ ගියා. මාලිගාවෙ තියෙන හැම සැප සම්පතක්ම අත් විඳින ගමන් කවීන් උන්නෙ පුදුමාකාර විනෝදෙක. මොකෝ මහන්සි වෙන්න උවමනා නෑ. අතට පයට අඟුරු කෑල්ල ඔක්කොම කරලා දෙනවා. “පිරිමියෙක්ව කල්පෙකින් දැකලා නැති හන්දා විසේ ඉහට ගහලා” කියලා හිත අස්සෙන් හිනාවෙන ගමන් තමයි කවීන් ඒ හැම සැප සම්පතක්ම වින්දෙ.
දින කිහිපයක් ඔය විදියට ගත වුණා. කුමරිය දවසින් දවස මලානික වුණා. එයාට තේරුණා කවීන්ගේ හදවතේ කවදාවත් තමන්ට තැනක් හම්බෙන්න නෑ කියන එක. දවසක් රෑ කුමරිය කවීන්ව ලොකු ශාලාවකට එක්කන් ගියා. ඒ ශාලාව මැද ලොකු කන්නාඩියක් තිබුණා.
“කවීන්, අද තමයි අන්තිම දවස. ඔයා මාව පිළිගන්නවාද? නැත්නම්?”
කවීන් කන්නාඩියෙන් තමන්ගේ රූපේ බල බල හිටියා මිසක් කුමරිය දිහා බැලුවෙවත් නැහැ.
“මම ඔයාට උදව්වක් කරන්නම්. මම මෙහෙන් යන්නම්. ඔයාට අවුල් ඇති නෙ මං වගේ සුපිරි කොල්ලෙක් ළඟ තියාගෙන තවදුරටත් සිල් රැක රැක ඉන්න එක නේද? අනේ සොරි ඒත් මට නම් ඔයාව කිස් කරන්න බැහැ. ඔය කලු පාට මගෙ ඇඟෙත් ගෑවෙයි කියලා බයයි මට.”
කුමරියගේ හිතේ තිබුණ අන්තිම බලාපොරොත්තුවත් සුන් වෙලා ගියා. එයාගේ අඟුරු පාට මූණේ තිබුණේ පුදුම වේදනාවක්. කවීන් දන්නේ නැහැ එයා අද කරගත්තේ තමන්ගේ ජීවිතේ ලොකුම මෝඩකම කියලා.
කවීන් අර ශාලාව මැද තිබුණ ලොකු කන්නාඩියෙන් තමන්ගේ රන්වන් පාට මූණ දිහා බල බල හෙන සන්තෝසෙක හිටියා. කුමරියගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙද්දී එයා ඒ දිහා බැලුවේ හෙනම පිළිකුලෙන්.
“දැන් ඇති ඔය අඬවැඩියාව නවත්තන්න. ඔයා ඔය විදියට මාව රවට්ටලා සාපෙන් ගැලවෙන්න පුලුවන් කියලා හිතන්න එපා. ඔයා උනත් මෙච්චර කාලයක් මාලිගාවක් අස්සෙ හිරවෙලා ඉද්දි තේරුං ගන්නෝන පිරිමි උනත් ආසයි කල එලියකට ඉන්න ගෑනුන්ට. කවුද අනේ අඟුරු කෑලි තමන්ගෙ ජීවිතේ අස්සෙ දාගන්න කැමති වෙන්නෙ. සොරි තමයි. මගේ රූපෙට ගැලපෙන්නේ සුදුම සුදු කෙල්ලෙක් විතරයි. ඔයාට උනත් ඒක දැක්කම තේරෙනවා ඇතිනෙ. අනික මට එහෙම ගෑනුන්ගෙන් අඩුවක් නෑ. තාම මට හරියන කෙනා හම්බුනේ නෑ ඒකයි මම තාම සිංගල්. ඔයා ඔය අඟුරු කෑල්ලක් වගේ ඉඳගෙන මාව මේ මාලිගාවෙ රජ්ජුරුවෝ කරන්න හැදුවට මම රැවටෙන්නේ නැහැ.
කුමරිය ඒ වචන අහලා තමන්ගේ කඳුළු පිහදාගත්තා. එයාගේ ඇස්වල තිබුණ අහිංසක බැල්ම වෙනුවට මහා ගාම්භීර, බය හිතෙන බැල්මක් ආවා. මාලිගාව ඇතුළේ එකපාරටම මහා හුළඟක් කැරකෙන්න ගත්තා.
“හොඳයි කවීන්… ඔයාට ඕනේ ඔය කියන රූප ලස්සන විතරක් නම්, ඔයා ඒකත් අරන්ම යන්න. මම ඔයාව නිදහස් කරනවා. මගේ සාපය දුරු කරන්න ආදරේ ඕන වුණාට, ඔයා වගේ රූපෙට වහල් වුණු මනුස්සයෙක්ගෙන් මට වැඩක් නැහැ” කුමරියගේ කටහඬ මාලිගාවේ බිත්ති පවා හෙල්ලුවා.
එකපාරටම මහා අන්ධකාරයක් පැතිරුණා. කවීන්ට සිහිය එද්දී මිනිහා හිටියේ වනාන්තරයේ මායිමේ. මිනිහා කලබලෙන් සාක්කුවේ තිබුණ පොඩි කන්නාඩි කෑල්ල අරන් බැලුවා. “බුදු අම්මේ තාම මං යහතින්” කියලා හති දදා හිනා වුණා. මාලිගාව නැති වෙච්ච එකට හිතේ පොඩි දුකක් තිබ්බත් අඟුරු කෑල්ලක් කසාද බැඳගෙන ජීවිත කාලෙම එක එකාගෙන් කතා අහගන්නවට වඩා මේක හොඳයි කියලා තමයි කවීන් හිතුවෙ.
කවීන් ආඩම්බරෙන් ආපහු ගමට ගියා. මිනිහා හැමෝටම කිව්වේ “මම අර අඟුරු යකින්නගෙන් බේරිලා ආවා, ඒකිට මාව වශී කරගන්න බැරි වුණා” කියලා. ගමේ කෙල්ලෝ ආයෙත් එයා වටේ කැරකුණා. හැබැයි මාස කිහිපයක් යද්දී ගමේ හැමෝම එකපාරටම කතාවෙන්න ගත්තේ අමුතු ආරංචියක් ගැන.
“අර මාරක වනාන්තරේ අයිති කුමරියගේ සාපය ඉවර වෙලා ලු! කොහේදෝ හිටපු අහිංසක පිරිසිදු හදවතක් තියෙන දර කපන කොල්ලෙක් ඒකිව බේරගෙන රජ වෙලා ලු!”
කවීන් මේක ඇහුවම මාරම විදිහට හිනා වුණා. “පිස්සුද බං, මම ඒකිව දැක්කනේ. ඒකි අඟුරු කෑල්ලක් වගේ. ඕවා බොරු කතා, ශුවර් එකටම ඔය දර කපන ඩයල් එකත් තනි බොරුව දානවා ඇත්තෙ. මං දැක්කනෙ ඒ මාලිගාව පිරෙන්න තිබිච්ච වස්තු සම්භාරෙ. ඕන එකෙක්ට පිස්සු හැදෙනවා. ඒ උනාට අපි අර එහෙම ලේසියෙන් ඕවට වහවැටෙන ඈයො නෙවෙයිනෙ දන්නවනෙ අපි ගැන” මූ ආඩම්බරෙන් කිව්වා.
හැබැයි දවසක් මාලිගාවේ අලුත් රජ්ජුරුවෝයි කුමරියයි ගමට ආවා. ගමේ හැමෝම පාර අයිනට වෙලා බලන් හිටියෙ යකින්න කොහොමද ලස්සන කුමරියක් වෙලා තියෙන්නෙ කියලා දකින්න. කවීනුත් හිටියා ඉස්සරහම. රත්තරන් අශ්ව කරත්තෙ තමන් ළඟට එද්දී කවීන්ගේ පපුව නතර වුණා.
කරත්තෙ ඇතුළේ හිටියේ ඇත්තටම දේවතාවියක් වගේ ලස්සන කුමාරි. තමන් මාලිගාවෙදි අඟුරු කෑල්ලක් විදියට දැක්කට එයාගෙ කලු පාට හම උඩට ඉර එළිය වැක්කුරුණුම ඒ කුමාරි පුදුමාකාර ලස්සනට දිලිහෙනවා කියන එක කවීන් දැක්කෙ එවෙලෙ. ඉර එළිය බිංදුවක් නොවැටෙන මාලිගාව අස්සෙ තමන්ගෙ අතෙන් ගිලිහිලා ගිහින් තියෙන්නෙ කලු පාට මැණිකක් කියන එක කවීන් තේරුංගත්තෙ එවෙලෙ.
එයාගේ ඇස්වල දිස්නෙට කට්ටිය උන්නෙ වශීවෙලා වගේ කුමාරි දිහා බලාගෙන. එයා ලඟ හිටියේ අර දර කපන කොල්ලා. කරත්තෙ කවීන් ඉස්සරහ නතර වුණා. කුමරිය හෙමීට පහත් වෙලා කවීන්ගේ ඇස් දිහාව බැලුවා. කවීන්ට අඳුරගන්න පුළුවන් වුණේ ඒ ඇස් විතරයි.
“මතකද කවීන්? ඔයා රිජෙක්ට් කළේ මෙන්න මේ ඇත්තම ඇත්ත මාව,” කුමරිය හිනා වෙවී කිව්වා.
“ඔයාට ඔය රූපේ නිසා ලෝකෙ ඕනම ලස්සන පණ තියෙන හරි පණ නැති හරි වස්තුවක් සල්ලි වලට හරි, රවට්ටලා හරි තමන්ගෙ කරගන්න පුළුවන් වෙයි. හැබැයි අමතක කරන්න එපා ඔයාට පිරිසිදු, අවංක හදවත වගේ එකක් නම් කවදාවත් හම්බවෙන්නේ නැහැ මොකද රූපේ ලස්සන පස්සෙම දුවන ඇස් වලට, හදවතක තියෙන ගැඹුර කවදාවත් පේන්නේ නැති නිසා. රූපෙට වහල් වුණු මිනිහෙක්ට හදවතක් හම්බුණත්, ඒකේ වටිනාකම තේරුම් ගන්න තරම් ඇස් දෙකක් ඒ මනුස්සයට නැති නිසා.
ලස්සන රූපයක් හොයන දෑස් වලට, ලස්සන හදවතක් කවදාවත් අහුවෙන්නේ නැති නිසා”











