වසන්තය තව දුරද – 10

0
19

“අනියම් සබඳතාවයක පැටලුණ මනුස්සයෙක්ගෙන් මුලින්ම නැතිවෙලා යන්නේ එතෙක් කල් එයාගේ ඇස්වල තිබුණු අවංකකම. 

එයා ගෙදර ඉන්න මිනිස්සුන්ගේ ඇස් දිහා කෙළින් බලන එක එකපාරටම මගහරින්න පටන් ගන්නවා. 

එතෙක් කල් සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බ දුරකථනය, එකපාරටම එයාගේ ලෝකයේ ආරක්ෂිතම වගේම බයානකම රහස බවට පත්වෙනවා.

 රෑ තිස්සේ ෆෝන් එක කොට්ටෙ අස්සේ තද කරන් ඉන්න, පුංචි නොටිෆිකේෂන් සද්දයකටත් මුළු ශරීරෙම ගැස්සිලා යන, නිතරම තනියම කල්පනා කරමින් ගෙදර අයගෙන් මගහැරලා ඉන්න බලන මනුස්සයෙක් බවට එයා පත්වෙනවා.

 ආදරය වෙනුවට එයාගේ හිත ඇතුළේ රජ කරන්නේ නිරන්තරයෙන්ම තමන් කරන දේ ගැන ඇතිවෙන වරදකාරී හැඟීමක්. ඒ වරදකාරී බව වහගන්න එයා ගෙදර අයට අනවශ්‍ය විදියට ආදරේ පෙන්වන්න හරි, එහෙමත් නැත්නම් පුංචි දේටත් කුපිත වෙලා කෑගහන්න හරි පෙළඹෙනවා.” 

ගංගා ශයිනි ගමගේ අක්කා ඉරිදා පත්තරේට ලියනා “ආදරේ මල් වරුසා” නවකතාව කියවන එක නෙත්මලීට දැන් පුරුද්දකට ගොසින් ය. කලා විශයන් කරන නිසාමද මන්දා උසස් පෙළ විභාගය අත ළඟ තිබ්බද ඉඩක් ලැබෙන හැම වෙලාවකම හිත නිවාගන්නට, මහන්සි දැනෙන හිතට සැනසුමක් ලඟා කරගන්නට නවකතාවක් අස්සෙ මද වෙලාවකට දෙනෙත ඔබාගන්නට නෙත්මලී අමතක කරන්නේ නැත. ගංගක්කා ලියන කතන්දර කොහොමත් මී පැණි බඳු සුමධුර කතන්දර නිසා මහන්සි වූ හිත සුවපත් කරන්නට ඒ වචන අගනේය. නවකතාව කියවා අවසානයේ විවේකී ඉරිදාව ලැබෙන පත්තරයේ ඉතිරි පිටු ටිකත් ඔහේ පෙරළා බලන්නට නෙත්මලී තව විනාඩි කීපයක් වැය කළාය.

එහෙත් එදා ඉරිදා පත්තරයේ පිටු පෙරළද්දී නවකතාවට එහායින් වූ අටවැනි පිටුවේ මානසික වෛද්‍යවරියගේ තීරුව ළඟ නෙත්මලීගේ දෑස එකපාරටම නතර වූයේ නොසිතූ පරිද්දෙනි. ඒ පිටුවේ ලියා තිබූ වචන ඇගේ සිතේ තිබූ සැනසුම මොහොතකින් උදුරා දැමුවාය. 

ඒ අකුරු එකින් එක ඇගේ හිත අස්සට කිඳා බැස්සේ නොදැනුවත්වම හිත ඇතුළෙන් මහා බරක්, හිස් රිදුමක් ඉතිරි කරමිනි. මුද්‍රිත අකුරු අතර තමන්ට කියවන්නට ලැබුණේ වෙන කාගේවත් කතාවක් නොව, තමන්ගේම තාත්තා වූ අතුල සමරසිංහගේ වෙනස් වුණු හැසිරීම් රටාවම බව නෙත්මලීට නොතේරුණා නොවේ.

තමන්ගේ ලෝකයේ හැමදේම වුණු තාත්තාගේ මේ වෙනස් වීම් නෙත්මලීට දැනෙන්නට පටන්ගෙන දැන් මාස කිහිපයකි.

 වෙනදාට ඉස්කෝලේ ඇරී ආ හැටියේ අම්මා හදන තේ කෝප්පයෙන් උගුරක් බොන ගමන් තමන්ගේ පංති විස්තර, යාළුවන්ගේ විස්තර අහන්නට කුස්සියේ පඩිය උඩ වාඩිවෙන තාත්තා, දැන් ගෙදර එන්නේම නොපෙනෙන මහා බරක් හිතේ තියාගෙන වගේමය. අම්මා කුමක් හෝ ඇහුවත්, උත්තර දෙන්නේ ඇගේ දෑස් දිහා කෙළින් නොබලා, බිම බලාගෙන තතනමිනි. වෙනදා ඔහෙ තැන් තැන් වල තබා අමතක කර යන කුඩා බට්න් දුරකතනය දැන් සෑම මොහොතකම කමිස සාක්කුවේ සයිලන්ට් කර දමාගෙන ඉන්නා එකත්, රෑ ජාමේ එහි කුඩා එළිය දැල්වෙන වාරයක් පාසා තාත්තාගේ මුළු සිරුරම ගැස්සී යන හැටිත් නෙත්මලී රහසින් නිරීක්ෂණය කර වාර අනන්තය.

තාත්තාට වෙනත් සම්බන්ධයක් තිබෙනවාද?

ඒ එකම එක ප්‍රශ්නය ඇගේ හිත ඇතුළේ පැලපදියම් වූයේ මහා නොසන්සුන්කමක් ඉතිරි කරමිනි. 

පත්තර පිටුවේ තිබූ වෛද්‍යවරියගේ වචනත්, තාත්තාගේ හැසිරීමත් එකිනෙකට තබා ගලපා බලද්දී නෙත්මලීගේ දෑසින් කඳුළු කැටයක් ගිලිහී පත්තර පිටුව මතට වැටී පැතිරී ගියාය.

“ඔයාලයි තාත්තාට වෙන අෆෙයාර් එකක් තියෙනවා කියලා ඔයාලගෙ අම්මා දැනගත්තෙ කොහොමද?” කියා නෙත්මලී පාසලේ මිතුරියක වූ තාරුකාගෙන් විමසුවේ ඒ නිසාවෙන්මය. හිත අස්සේ මේ පීඩනය තව දුරටත් තද කරගෙන ඉන්නට බැරි නිසාවෙන්මය. තාරුකා යනු මේ වගේ වේදනාවක් හොඳටම හඳුනන කෙල්ලකි. මීට අවුරුදු දෙකකට පෙර තාරුකාගේ තාත්තාත් වෙනත් ගැහැනියක හා පැටලී, අම්මාව දික්කසාද කර ගෙදරින් යන්නට ගියේය. එහෙත් තාරුකා කිසිදිනක ඒ ගැන ලැජ්ජ උනේවත් ඒ බව මිතුරියන්ගෙන් හංගන්න උත්සහ කරේවත් නැති නිසාවෙන්ම ඒ ගැන ඕනම මොහතක විවෘතව දෙයක් විමසීමේ හැකියාව තිබුණි. 

“ඒ උනාට අපි කවදාවත් තාරාගෙන් ඒ ගැන අහන්නෙ නැතුව ඉමු” කියා මිතුරියන් දමාගෙන උන් වාරණය තමන්  නිසාවෙන් බිඳින්නට වේයැයි නෙත්මලී ඇත්තටම හිතා තිබුණේ නැත.

“උඹට මොකෝ අපේ තාත්තව එකපාර මතක් උනේ?” කියා තාරුකා අහද්දී නෙත්මලී ආයාසයෙන් හිනාවක් දෙතොල් අස්සෙන් එළියට මතුකර ගත්තාය. 

“නිකන් බං, ඊයෙ ගංගක්කගෙ කතාව කියවද්දි පත්තරේ දැක්ක ආටිකල් එකක තිබ්බා මිනිස්සු අනියං සම්බන්ධකං වලට යද්දි පෙන්නන ගති ලක්ශන ගැන. මට නිකන් ඉතින් හිතුනා ඒවා හැමෝගෙම එක වගේද කියලා දැනගන්න. අහන්න ඉතින් වෙන කෙනෙක් නෑනෙ උඹ ඇරෙන්න ඒකයි මං ඇහුවෙ”

“ඒක මිසක්. අනේ මන්දා ඉතින්, අම්මාට තමයි තේරිලා තිබ්බෙ. කොහොමත් ඉතින් අම්මටනෙ තේරිලා තිබ්බෙ. අනික බං තාත්තා එහෙම අපෙ ගෙදර උන්නට අර උඹලයි තාත්තා වගේ අපි එක්ක එච්චර ක්ලෝස් මිනිහෙක් නෙවිනෙ. බෝඩිංකාරයා වගේනෙ හිටියෙත්. 

අපෙ අම්මා ඕක මුලින්ම සැක කරලා තියෙන්නෙ තාත්තගෙ වෙනස් වෙච්ච රුටීන් එක හන්දා. ගෙදරින් එළියට බහින වෙලාවල්, රෑ වෙනකම් ඔෆිස් වැඩ කියලා එළියෙ ඉන්න එක, අලුතෙන් ඇඳුම් පැළඳුම් ගැන වෙනදා තිබ්බෙ නැති ඉන්ටරස්ට් එකක් පෙන්නන්න ගත්ත එක අන්න ඒ වගේ පුංචි පුංචි දේවල්වලින්. අන්තිමේදී ෆෝන් එකට ආපු මැසේජ් එකක් අම්මගේ අතටම අහුවුණා. බුදු අම්මෝ බං එදයින් පස්සෙ එපා උනා මට ගෙදර ඉන්න එක. හැමදාම රණ්ඩු. අහුවෙන්න කලින් හැබයි තාත්ත රණ්ඩු වෙහෙම උනේ නෑ. ඒ කිව්වෙ සමහරවිට දෙපැත්තම ශේප් එකේ තියාගන්න ඕන නිසාද මන්දා එයා අම්මාවත් බැලන්ස් කරගන්න මාර හොඳට හිටියා. ආතල් එකේ, අපිත් හෙන සන්තෝසෙන් හිටියේ, අහු උනාට පස්සෙ එක නාඩගමක් උනේ. අන්තිමේ ඉතින්  එයා අර ආන්ටි එක්ක යන්න ගියා. අම්මට තමයි ලොකුවටම ඩිවෝස් එක ඕන උනේ” කියා තාරුකා කිසි ගාණක් නෑ වගේ හිනාවෙද්දි නෙත්මලීට ඒ හිනාවට එකතු වෙනවා හැර කරන්නට දෙයක් තිබුණේ නැත.

තාරුකා කිව්ව දේවල් අනුව තාත්තලාට වෙන සම්බන්ධකම් තියෙද්දි තාත්තලා ලස්සනට අඳිනවාය. වෙනදාට වඩා ඇඳුම් පැළඳුම් ගැන හිතනවාය, ගෙදර අය එක්ක නිතරම තරහ ගන්නවාය. එහෙත් දුරකථනය සැමවිටම ළඟ තියාගන්න එක ඇරෙන්න, තමන්ගේ තාත්තා ළඟ අනියම් සබඳතාවයක් තියෙන වෙන තාත්තා කෙනෙකු ළඟ දකින්නට ලැබෙන වෙන කිසිම ගති ලක්ෂණයක් දකින්නට නොලැබීමම “තාත්තා එහෙම නැද්ද?” කියා හිතන තැනකට නෙත්මලීව අරගෙන යන්නට හේතු විය.

එහෙත් ජීවිතය කැරකෙන්නේ අපි බලාපොරොත්තු වෙන පරිද්දෙන් නොවේ.

 “අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති” — මේ ලෝකෙ කවදාවත් අපි හිතන දේ වෙන්නෙ නෑ, වෙන දේ හිතාගන්නත් බෑ කියා කත්නෝරුවේ හාමුදුරුවෝ දේශනා කරපු ඒ කතාව කොච්චර ඇත්තද කියා නෙත්මලීට තේරුණේ දවසක් ඉස්කෝලේ ඇරී අතිරේක පංති නැති දවසක ඇය දවල් වරුවේ ගෙදරට ගොඩවෙද්දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here