ලස්සන කියන්නේ වචනයක් විතරක් ද?

ලස්සන ගැන කතාකරන්න වැඩියෙන් ම කැමති කවුද? ඒ ගැන එක පාරට ම ඔබ දෙන උත්තරය හරියට ම හරි. ලස්සනට අඳින්න, ලස්සනට ඇවිදින්න, ලස්සනට කතා කරන්න, ලස්සනට සිංදු කියන්න, ලස්සනට නටන්න, ලස්සනට චිත‍්‍ර අඳින්න, කැමති අය ගැන අපි නිතරම කතාකරනවා. එහෙම අය ගැන අපි හැම කෙනෙකුගේම විශේෂ අවධානය යොමු වෙනවා. 

ලස්සනට අඳින්න නම් ලස්සන ඇඳුම් තෝරගන්න වෙනවා. ලස්සනට කතාකරන්න ලස්සන වචන තෝරගන්න වෙනවා. හැමදේම ලස්සන වෙන්නෙ ඔබේ තෝරාගැනීම නිවැරදි වුණොත් විතරයි.

ඒත්.. කොහොම ද නිවැරදි දේ තෝරාගෙන ලස්සන වෙන්නෙ? වෙළඳ පොළ ඔබට බොහෝ අදහස් කියාවි. බොහොමයක් දේ යෝජනා කරාවි. ඒත් ඔබේ පසුම්බිය ඒ හැම දේටම සූදානම් ද? ඔබේ හිතිවිලි නිවැරදිව හසුරවා ගන්න ඔබ පොහොසත් ද?

මෙතනදි මතක තියාගන්න ඕනම දේ මොකක්ද?.. අපට තියෙන සීමාකම් ගැන අවබෝධයක් ඇතිකරගන්න ඕනේ..

අපට තියෙන සීමාකම් මොනවද?

  • යම් මිළදී ගැනීමකට වැය කළ හැකි මුදල
  • යම් තෝරාගැනීමකට ගත කළ හැකි කාලය
  • යම් තීරණයක් ගැනීමේ දී පවතින විකල්ප තීරණ
  • යමක් ක‍්‍රියාවට නැංවීමේ දී පවතින අභියෝග
  • යම් අවශ්‍යතාවක් ඉටු කරගැනීමේ දී පවත්නා විකල්ප හැකියාවන්
  • යම් කිසි පිරිසක් හමුවේ කතාකරන විට ඔවුන් තමන්ගෙන් අපේක්ෂා කරන දේ
  • අපේ ක‍්‍රියාත්මක වීමෙන් සතුටු වන්නේ කවුද? කණගාටු වන කිසිවෙක් හෝ සිටිනවාද?
  • අපේ ක‍්‍රියාත්මකවීම කවුරුන්හට හෝ අසාධාරණ හෝ හිත් රිදවනසුළු එකක් ද?

මේ වගේ ඔබ හිතන්න ඕනෙ, තවත් හුඟක් කරුණු තියෙනවා. ඉතින් එකපාරට ම ඔබට මෙහෙම හිතෙන්නත් පුළුවනි. කිසි දෙයක් අපට ඕනෙ විදියට සැහැල්ලූවෙන් නිදහසේ කරන්න අපට අයිතියක් නැද්ද? අඩුගානෙ ලස්සන වෙන එකවත්.

එහෙම හිතුණනම්, ඔබේ හිතිවිල්ල වෙනස් කරගන්න ම වෙනවා. මොකද, ඔබේ සැහැල්ලූව නැති වෙන්නෙ එහෙම හිතන්න පටන්ගත්තට පස්සෙදියි.මොහොතක් හිතන්න. ලස්සන කියන්නෙ සාපේක්ෂ සංකල්පයක්. ඒක ඊටත් වඩා සරලව හිතුවොත් එක එක අය දකින විදියට ලස්සන දැනෙන විදිය වෙනස් වෙනවා. හැම කෙනෙකුට ම ආවේණික හිතිවිලි තියෙනවා. ඒ ඒ අය හිතන්න පටන් ගන්නෙ, අදහස් ඉදිරිපත් කරන්නෙ ඒ හිතිවිලි එක්ක.

ඉතින් මට ඉතාමත් ලස්සන කතාවක් ඔබට තරමක් ලස්සන කතාවක් වෙන්න පුළුවන්. මම ඉතා අගය කරන ඇඳුමක් ඔබ ඉතා අප‍්‍රසන්න ලෙස ප‍්‍රතික්ෂේප කරන්න වුණත් පුළුවන්. සමහර තරුණ යුවතියන් ඇඳුමක් ගන්න සාප්පු ගියාම ගොඩක් වෙලාව ගන්නවා. අධික ලෙස හිතනවා. කිහිප දෙනෙකුගෙන්ම අදහස් විමසනවා. එකින් එකට එකින් එකට සංසන්දනය කරලා බලනවා. හොඳයි. නිවැරදි තීරණයක් වෙනුවෙන් ඔබට කාලයක් ගතවුණාට දුක් වෙන්න ඕනෙ නැහැ. ඒත් අවසාන මිළ දී ගැනීමෙන් පස්සෙත් තමන්ට හිතෙනවා නම් ඒක ගත්තෙ අපරාදෙ. වෙන පාටක් ගන්නයි තිබුණෙ.. එහෙමත් නැත්නම් අත් දිග ඇඳුම ගත්තෙ අපරාදෙ, අත් කොට එක ගන්නයි තිබුණෙ වගේ පසුතැවීම්. ඔවුන් සම්පූර්ණයෙන් ම අසමත්. සමහර තරුණියන්ට මේ හිතිවිල්ල හිතෙන් අයින් කරගන්න බැරිව ඊට පසු දිනයේදීත් සාප්පු එන්න වෙලාව නාස්ති කරගන්න වෙනවා. සාප්පු හිමියන් මිළදී ගැනීම් මාරු කරන්නෙ තවත් ඇඳුමකට හෝ භාණ්ඩයකට පමණයි. එවිට ඔවුන්ට සිදුවන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම සාප්පුවේ අදාළ වටිනාකමට ගැළපෙන කුමක් හෝ මිළදී ගෙන නැවත පැමිණෙන්නටයි  සිදුවුයේ කුමක් ද?

  • ඔබේ වටිනා කාලය විනාශ වී යාමක්.
  • හිතිවිලි සහ බලාපොරොත්තු බිඳ වැටී යාමක්.
  • අනවශ්‍ය මුදල් නාස්තියක්.
  • කරන්නට තිබූ වෙනත් වටිනා කටයුත්තක් මේ නිසා මඟ හැරී යාමක්.
  • නිවසේ වැඩිහිටියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් හෝ මිතුරු මිතුරියන්ගෙන් ඔබේ අසමත්වීම ගැන අසතුටුදායී ප‍්‍රතිචාරයක්.
  • අවසානයේ ලස්සනට අඳින්නට ඇඳුමක් මිළදී ගැනීමට තිබූ අවස්ථාව අහිමිවීමක්.
  • සාප්පු හිමියන්ට අනවශ්‍ය කරදරයක්.

ලස්සන වෙන්න ගිහින් මේ තරම් කරදර විඳින්න ඔබට අවශ්‍ය නැහැ. අපි හැම කෙනෙකුට ම උපතින් ලැබුණු වර්ණයක් තියෙනවා. සමට, ඇස්වලට, නියපොතුවලට සහ කොණ්ඩයට. ඒ වර්ණවලට ගැළපෙන තෝරාගැනීම් ගැන අපි අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා. අපි ජීවත් වෙන රට, අපි ජීවත් වෙන ප‍්‍රදේශය උණුසුම් ද ශීතල අධික ද, වගේ සාධක ගැනත් අප හිතන්න වෙනවා. ඇඳුම අවශ්‍ය වන්නේ කවර කටයුත්තකට සහභාගී වන්නට ද යන්නත් අපි තීරණය කළ යුතු වෙනවා.

අවමඟුල් උත්සවය, පූජනීය ස්ථානය, මංගල උත්සවය, රාත‍්‍රී උපන්දින සාදය, විනෝද ගමන, වගේ එක් එක් අවස්ථාවෙන් නිවැරදිව හඳුනා නොගෙන අපට ඇඳුම් අඳින්න බැහැ. මේවා අතිශයින් සරලව ඔබ තීන්දු තීරණ ගන්නා කරුණු. එහෙම වුණත් අපට සමහර අවස්ථාවල දී මේ සරල දේවල් මඟ ඇරෙනවා. එහෙම වෙලාවට අප වෙත අවධානය යොමු කරන බොහෝ දෙනා අප ගැන අවඥාසහගතව සිතනවා. කතා කරනවා. මේ තත්වයට අපි පත්විය යුතු නැහැ.

විශේෂයෙන් ම බාල තරුණ වැඩිහිටි කවර වයස් කාණ්ඩයක කාන්තාවක් වුවත් ඔබ ඔබට උපතින්ම උරුම වූ අනන්‍ය වූ සුන්දරත්වය සඟවා ගන්නට අවශ්‍ය නැහැ. ලස්සන වෙනුවෙන් ඔබට කරන්නට ඇත්තේ ඔබේ හිතිවිලි නිවැරදිව හසුරුවා ගැනීම පමණයි.

සමහර යුවතියන් ලස්සන වෙන්නට වියදම් කරන විදිය නිවැරදි නැහැ. වෙළඳ පොළ ඔබට බොහෝ දේ විකුණාවි. ඔබ ලස්සන කරන මුහුණු ආලේපන, කේශ ආලේපන, ෂැම්පු වර්ග, විවිධ බෙහෙත් පෙති වර්ග, ගැන දහසකුත් තොරතුරු ඔවුන් ඔබට පවසාවි.

ඒ සියල්ල ඔබට ගැළපෙන්නේ නැහැ. අලෙවිකරණ උපක‍්‍රමවලට හසුවී ලස්සන වීම සම්බන්ධ තීරණ ගන්න එපා. හිතිවිලි පාලනය කරගන්න. උදාහරණයක් කිව්වොත්, කොණ්ඩයේ කිසිම ගැටළුවක් නැති, අඩුම තරමින් කෙස් ගැලවී යාමක් වත් නැති තරුණියක් වෙළඳ පොළේ කේශ වර්ධන ෂැම්පු වර්ගයක් දුටු පමණින් එය මිළ දී ගත යුතු නැහැ. සමහර වෙළඳ දැන්වීම්වල සිටින නලූ නිළියන් නිසා ඔබ මිළ දී ගැනීම්වලට පෙළඹුනා විය හැකියි. එහෙත් ඔබේ අවශ්‍යතාව කුමක් ද? යන්න නිවැරදිව හඳුනාගන්න. එසේ නොවුණොත් ඔබට ස්වභාවිකව උරුම ව තිබෙන සුන්දරත්වය ඔබ තුළින් සැඟවී යන්නට පවා ඉඩ තිබෙනවා.

ලස්සන කියන්නෙ වචනයක් විතරක් නෙමෙයි. එහි පුළුල් අර්ථය නිවැරදිව හසු කරගන්නට ඔබට බොහෝ උපදෙස් අවශ්‍ය නැහැ. තාක්ෂණය අතින්, සොයා ගැනීම් අතින් අද වන විට ලෝකය ම සිටින්නේ ඉදිරියෙන්. ඔබ දැනුවත්භාවයේ ඉදිරියෙන්ම සිටින්න. ලස්සන පිළිබඳ නිවැරදි මානයකින් ඔබේ අවධානය යොමු කරන්න.
ලස්සන කියන්නේ වචනයක් විතරක් නෙමෙයි.

නිරංජලා ගමගේ

Related Articles

Don't Miss


Latest Articles