වසන්තය තව දුරද – 66

0
149

“චන්ද්‍රා එහෙම කතාවක් නොකිව්වා නංනෙ පුතා අපි පුදුම වෙන්නෝන. ගැනු අම්මලා උනාම උන් හිතන්නෙ තමන්ට වෙච්ච දේවල්ව්ලටම තමයි කවදහරි තමන්ගෙ දරුවන්ටත් මූණ දෙන්න වෙන්නෙ කියලා. එහෙමෙකේ මං කරපුවම පුතත් කවදහරි දවසක නෙත්මලීට කරාවි කියලා චන්ද්‍රගෙ හිතේ බයක් ඇතිවෙච්ච එකේ වරදක් දකින්නෙ නෑ මං. අනික් එක පුතා එක ගෑනියෙක්ව අත ඇරලා තව කෙල්ලෙක් ළඟට යනවා දකිද්දි කොහොමත් චන්ද්‍රා පුතාව එයාගෙ හිත අස්සෙ ඇඳගන්නෙත් මං වගේ මනුස්සයෙක් හැටියට තමයි” කියා අතුල කිව්වේ නලින්ද්‍ර විසින් ගෙන එන්නට යෙදුන දහවල් ආහාරය බුදින අතරයේය. තාරාත් තමන්ගේත් වෛවාහක නිවස තාරාට භාර දී ගෙදරින් පිට වූ නිසාවෙන් නලින්ද්‍ර ජීවත් උනේ වෙනම ගෙදරකය. එනිසාවෙන්ම උයා පිහා ගැනිමක් නොඋන තැනක කඩ කෑමට හුරු වූ නිසාවෙන්ම සති අන්තයේ වු පාලුව මකාගනු වස් අතුලගෙ පුංචි බෝඩිමට ගොස් ඔහු හා වතගොත කතා බස් කරගැනීමේ අලුත් පුරුද්දක් නලින්ද්‍රත් ඒ වෙද්දී ඇතිකරගෙන තිබුණේය. 

“ඒ උනාට මම තාරාව ඩිවෝස් කරේ අංකල් නෙත්මලීලගෙ අම්මව දාලා ආවා වගෙ හේතුවකට නෙවෙයි. ඇත්තටම එයයි මායි ගැලපෙන්නෙ නැති හන්දා. අනික එයයි මායි අතර කොච්චර ප්‍රශ්න තිබුණත් මම කවදාවත් වෙන ගෑනු පස්සෙ ගියේ නෑ” කියා නලින්ද්‍ර කිව්වේ අනමින් උන් බත් පත මොහොතකට නතර කරමිනි. ඒ වචනවල මද තරහක් ගැබ් වී තිබුණ බව තේරුණ නිසාදෝ අතුලද කමින් උන් බත් පත මොහොතකට නතර කරේය.

“මං දන්නවා පුතා. මං එහෙම කිව්වෙ පුතා ගැන වැරදියට හිතුව හන්දා නෙවෙයි. මමත් පුතාගෙ වයසෙ ඉන්න කාලෙ ඔය වගේ දේවල් ගැන හිතන්න තිබුණා. ඒත් මං හිතුවෙ මට ඕන දේ ගැන විතරයි. අන්තිමට මට ඕන දේ හොයාගෙන යද්දි මට වටිනාකමක් තිබුණ දේවල් කොච්චරක් මගෑරුණාද කියලා තේරෙනකොට පරක්කු වැඩියි”

අතුල එසේ කීවේ නලින්ද්‍රගේ හිතේ ඇති වූ නොසන්සුන්කම තේරුම් ගත්තාක් මෙනි. නලින්ද්‍ර නැවතත් බත් පතට අත තැබුවද ඔහුගේ මුහුණේ තිබූ තද ගතිය මුළුමනින්ම පහව ගියේ නැත.

“අංකල් මට තේරෙනවා මිනිස්සුන්ට වැරදි වෙන්න පුළුවන් කියලා. මං හිතන්නෙ නෑ කෙනෙක්ගෙ ජීවිතේ එක වැරැද්දක් වුණා කියලා එයාට ආයෙත් හොඳ ජීවිතයක් ගත කරන්න අයිතියක් නෑ කියලා. ඒත් ඒ වැරැද්දෙන් තව කෙනෙක්ට වෙච්ච හානියත් අපි අමතක කරන්න හොඳ නෑනෙ. ඒකයි මට නෙත්මලී ගැන හිතෙද්දි බය හිතෙන්නෙ”

“ඒ කිව්වෙ?”

“මං එයාට ආදරෙයි. එතන මං එයාට කිසිමාකාරෙක බොරුවක් කරන්නෙ නෑ. ඒ වගේම ඒක මට හංගන්න දෙයක් නෙවෙයි. ඒත් මට ඕන නෑ එයා මාව කසාද බඳින්නෙ එයාගෙ ජීවිතේ වෙන මොනවා හරි අඩුවක් පුරවගන්න හන්දා වෙන්න. එයා මාව තෝරගන්න ඕනෙ මං කවුද කියලා තේරුම් අරගෙන. මං එක්ක ජීවත් වෙන එකේ හොඳ වගේම නරකත් දැනගෙන වෙන්න. මොකද කසාදයක් කියන්නෙ කෙනෙක්ගෙ හිතේ තියෙන හිස්තැනක් පුරවගන්න විතරක් කරන දෙයක් නෙවෙයිනෙ අංකල්.මට නෙත්මලීට බොරුවක් කරන්න ඕන නැ. ඒ වගේම නෙත්මලී කවදහරි මාව මැරි කරනවනම් එයා එයාගෙම කැමැත්තෙන්ම් ඒ ඩිසිශන් එක ගන්නවා දකින්නයි මට ඕන. ඒ වගේම මට ඕන නෑ අංකල් එයා මාව තෝරගන්නෙ අංකල් නිසා එයාගෙ හිතේ ඇතිවෙච්ච හිස්තැන මකාගන්න වෙන්න. මට ඊලඟ කසාදෙත් ප්‍රශ්නෙකින් ඉවරකරගන්න ඕන නෑ. ඒ නිසා මට ඕන මාත් එක්ක තියෙන සම්බන්ධෙ මැරේජ් එකකට යනවනම් ඊට කලින් නෙත්මලී එයාගෙ හිතේ අංකල් එක්ක තියෙන ප්‍රශ්නෙ විසඳගෙන මං ලඟට එනවා දකින්න. ඒකට මං කැමති අංකල් ආය ඒ ෆැමිලි එක එක්ක එකතු වෙනවා දකින්න ”

අතුල ඒ කතාවට කිසිවක් කීවේ නැත. නලින්ද්‍ර කී තරං පහසුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට නොහැකි බව අතුල දැනගෙන උන්නේය. අනෙක් අතට චන්ද්‍රා එ තරං පහසුවෙන් තමන්ට සමාව දේද යන්න සැකයක් හිතේ නොතිබුණාද නොවේ.

“කරන්න පුලුවන් දෙයක් උනා නම් මං ඒක මෙලහකටත් කරලා කියලා පුතා හිතන්නෙ නැද්ද?” කියා අතුල නැගු ප්‍රශ්නයට පිලිතුරු දිය යුත්තේ වෙන ආකාරයකට බව නලින්ද්‍ර තේරුං ගත්තේ ගෙදර ගොස් කල්පනා කරද්දීය.

“මං හිතුවෙ එදා ඔයාලගෙ අම්මා මට බණීවි කියලා” නලින්ද්‍ර කිව්වේ දුරකතනයෙන් නෙත්මලී එක්ක රැයේ කතා කරන්නට ලැබුණ අවසරයකය. 

“මං හිතුවෙ අම්මා කියපු දේවල්වලට ඔයා අවුලෙන් කියලා”

“අම්මා කිව්ව දේවල් වැරදි නෑනෙ නෙත්. මලක් වගේ හදපු කෙල්ලව එකපාරක් බැඳලා ඩිවෝස් වෙච්ච නාකි මිනිහෙක්ට දෙන ඕන අම්මෙක් ඉතින් ඔය වගේ දේවල් කියනවා තමයි. ඔයාලගෙ අම්මා ඔච්චර ඉවසීමෙන් ඒව කිව්ව එකයි මට පුදුම. වෙන අම්මා කෙනෙක් උනා නම් සමහරවිට රියැක්ට් කරන්න තිබුණෙ වෙන විදියකට” 

“තාත්තගෙ ප්‍රශ්නෙන් පස්සෙ අම්මා සෑහෙන වෙනස් උනා. ඉස්සර අම්මයි මමයි සැහෙන දුරයි. අම්මා මට හරියට අනං මනං කියනවා. ඇත්තටම මම අම්මා එක්ක මෙච්චර හරි ක්ලෝස් උනේ තාත්තා ගෙදරින් ගියාට පස්සෙ”

“අයියා අද කියන කං ඔයා ඇයි නෙත් මට තාත්තගෙ ප්‍රශ්න මුකුත් කිව්වෙ නැත්තෙ?”

“දන්නෙ නෑ. මං හිතන්නෙ මට ලැජ්ජ හිතෙන්න ඇති ඔයා මාව ජජ් කරාවි කියලා”

“ඇයි මං ඔයාව ජජ් කරන්නෙ?”

“දන්නෙ නෑ.මං හිතන්නෙ මට ඒක කියන්න ලැජ්ජ හිතෙන්න ඇති. මං ඔයාට ආදරේ කරන්නෙ ඇත්තටම. ඒත් මගෙ ජීවිතේ මෙච්චර ප්‍රශ්න තියෙනවා කියලා දැනගත්තම ඔයා මං ගැන වෙනස් විදියට හිතයි කියලා මට බය හිතෙන්න ඇති”

“මං ඔයා ගැන වෙනස් විදියට හිතනවා තමයි නෙත්.” ඒ වචනවලට නෙත්මලීගේ හිත මොහොතකට ගැස්සුණ බ්ව ඇත්තකි.

“ඒත් ඒ නරක විදියට නෙවෙයි ළමයො. ඔයා මෙච්චර දේවල් හිතේ තියාගෙනත් හිනාවෙලා ඉන්න විදිය ගැන මම හිතන්නෙ වෙනස් විදියට. සමහර වෙලාවට ඔයාට රිදෙන දේවල් ගැන මට කියන්න බැරි තරම් ඔයා ඒවා තනියම දරාගෙන ඉන්න පුරුදු වෙලා කියන දේ ගැන ම්ම වෙනස් විදියට හිතනවා”

“මං එහෙම ඉන්න පුරුදු වෙලා නෑ නලින්ද්‍ර. මට  එහෙම කරන්න කරන්න සිද්ද වෙලා තියෙනවා. ඒ උනට තව දුරටත් මට එහෙම කරන්නොන නෑ. මට ඔයා ඉන්නවනෙ දැන්”

“ඒක තමයි මට තියෙන බයත් නෙත්. මං ඔයාට ආදරෙයි. ඒත් ඔයාට ඔයාගෙ ජීවිතේ නැතිවෙච්ච හැමදේම මගෙන් බලාපොරොත්තු වෙන්න පටන් ගත්තොත් අපි දෙන්නටම ඒක අමාරු වෙයි නේද. ඔයා මාව තෝරගන්න ඕනෙ ඔයාගෙ තාත්තාගෙන් ලැබුණෙ නැති ආදරයක් මගෙන් ලබාගන්න විතරක් නෙවෙයි. මං කවුද කියලා තේරුම් අරගෙන මගෙ අඩුපාඩුත් එක්ක ජීවත් වෙන්න කැමති නිසා.”

“එතකොට ඔයා කියන්නෙ මං ඔයාට ආදරේ කරන්නෙ තාත්තා නිසා කියලද?”

“නෑ. මං එහෙම හිතනවා නම් මං ඔයාට මෙච්චර ආදරේ කරන්නෙ නෑ. ඒත් ඔයාගෙ හිතේ තාත්තා ගැන තියෙන ප්‍රශ්නෙ විසඳගන්න කලින් අපි දෙන්නා කසාදයක් ගැන තීරණයක් ගන්නවට මං කැමති නෑ. මට ඕන ඔයා ඒ තීරණය ගන්නෙ ඔයාගෙම කැමැත්තෙන් කියලා දැනගන්න. මං ඔයාව කසාද බැන්දට පස්සෙත් ඔයාගෙ ජීවිතේ අඩුවක් වුණා කියලා ඔයාට දවසක හිතෙන්න මට ඕන නෑ”

ඒ වචන ඉස්සරහා නෙත්මලී නිහඬ වූවාය. නලින්ද්‍ර කියන දේ වැරදි නොවන බව ඇත්තකි. එහෙත් නෙත්මලී ඒ වචන භාරගත්තේ නලින්ද්‍ර තමාව හැරදමායන්න කරනා නිවේදනයක් මෙනි.

“මට ඔයාව නැති කරගන්න ඕන නෑ නලින්ද්‍ර”

“මටත් ඔයාව නැති කරගන්න ඕන නෑ නෙත්. ඒකයි මං මේ හැමදේම ගැන හිතන්නෙ. ඔයාට හිතෙන්නෙ නැද්ද අපි එකතුවෙන්න කලින් ඔයා ආයෙ තාත්තට කතා කරන්න ඕන කියල?”

“කතා කරලා?”

 “එයා කරපු දේවල් අමතක කරලා දාන්න කියනවා නෙවෙයි. ඒත් එයාට ඒ වැරදි හදාගන්න චාන්ස් එකක් ලැබෙන්න ඕන. ඔයාටත් ඔයාගෙ හිතේ තියෙන දේවල් විසඳගන්න අවස්ථාවක් ලැබෙන්න ඕන”

“ඔයා ඔය කියන තරං ඒක ලේසි නෑ. අනික මං තාත්තට වතාවක් කතා කරා නලින්ද්‍ර. එයා අපිව දාලා ගිය අලුත, අම්මා මට වෙනස් කං කරද්දි මං කතා කරා. ඒ උනාට තාත්තා කෝල් එක ආන්ස්වර් කරේ නෑ. අඩුම එයා මට කෝල් බැක් කරේවත් නෑ. එයා අපිට ආදරේ කරා නම් එයාට තිබ්බා නේද අඩුම මට කෝල් එකක් වත් දෙන්න?

ඔයා දන්නෙ නෑ නලින්ද්‍ර එවෙලෙ මං තනියෙන් හිතේ තිබිච්ච වේදනාව කොච්චර අමාරුවෙන්ද දරාගත්තෙ කියලා.මට ඕන වුණේ තාත්තා ඇවිත් මාව බදාගෙන අඬන්න විතරයි. මං එයාට කොච්චර ආදරේද කියලා එයා දන්නවනෙ. එහෙම දැන දැනත් මට කතා නොකර ඉන්න තරම් එයාගෙ හිත ගලක් වුණේ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බෑ. මට හැමදාම හිතුණෙ මං එයාගෙ දුව නිසා එයා කවදහරි මං ළඟට ආයෙත් එයි කියලා. ඒත් එයා ආවෙ නෑ නලින්ද්‍ර. මං එයා එනකල් බලාගෙන හිටියා. මට එයා එක්ක තරහ වෙන්නත් ඕන වුණා. ඒත් මං කොහොමද මට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු මනුස්සයා එක්ක තරහ වෙන්නෙ? මට අදටත් එයා මාව අමතක කරලා දැම්මෙ ඇයි කියලා හිතාගන්න බෑ.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here