පසළොස්වක මල් – 61

0
915

” කොහෙවත් නෑ කියන්නේ මොකද්ද අම්මා..  හොඳට බලන්නකෝ ගේ වටේ “

” බැලුවා ළමයෝ බැලුවා. නැති නිසානේ මේ කියන්නේ ?” 

අෂ්මිල මොහොතක් කෝපයෙන් පුපුරු ගසමින් මව දෙස බලා සිටියේය. ඉන්පසු වේගයෙන් තරප්පු පෙළ නැඟ නින්දට වැටී සිටින අස්නක වෙතට අඩි තැබුවේය.

” ලොකූ.. ! ලොකූ..! නැඟිටපන් “

” සුදු පුතා ..! “

පසුපසින් පැමිණි මහීකා හෝ තේජ් දෙසට අවධානයක් නුදුන් ඔහු දිගටම අස්නක අවදි කරමින් සිටියේය. 

” ඇ.. ඇයි..?” 

අපහසුවෙන් දෑස විවර කළ අස්නක මළනුවන් දෙස නොබලාම ඇසුවේය.

” නැඟිටපන් ලොකූ.. අන්න උඹට ඕන දේ වෙලා. ඇහැට පේන්නැති තැනකට ගිහින් මැරියන් කිව්වනේ. අන්න අර කෙල්ල හොයාගන්න බැරි වෙන්නම ගිහිල්ලා. “

අස්නක වහා හිඳ උන් යහනෙන් නැඟී සිටියේය. 

” උඹ .. උඹ මහා තිරිසන් බල්ලෙක් යකෝ. තෝ මුලින්ම අපිට නොකියා එකියක්ව කසාද බැන්ඳා. ඒක අමතක කරලා දාමුකෝ. ඒකි දැන් ජීවතුන් අතරත් නෑනේ. ඊට පස්සේ අපිව විශ්වාස කරලා අර මිනිස්සු මෙහෙ නතර කරපු කෙල්ලවත් අමාරුවෙ දැම්මා. කරන්න ඕන ඔක්කොම කරලා , ඒකිව බඳින්න පොරොන්දුත් දීලා ඕන තැනක ගිහින් මැරියන් කිව්ව. දැන් හරි.. සතුටු වෙයන් ලොකූ.. අන්න ඒකි ගෙදරින් ගිහිල්ලා. “

අෂ්මිල පවසන කිසිදු දේක අග මුල තෝරා බේරා ගත නොහැකිවූ අස්නක ප්‍රශ්නාර්ථ බැල්මකින් මව දෙස බැලුවේය.

” දුමී ගෙදර කොහෙවත් නෑ ලොකූ. “

” කොහෙහරි යාලුවෙක්ගේ ගේක යන්නැති අම්මා. කෝල් එකක් දීලා බලන්න. “

” ෆෝන් එක කාමරේ මේසේ උඩ ලොකූ. ඒක අරන් ගිහින් නෑ. “

කිසිත් නොපැවසූ ඔහු සඳළුතලයෙන් පෙනෙන හිස් අවකාශය දෙසට ඔහේ බැල්මක් හෙළා සිටියේය. කිසිදු කලබලයක් නොමැති තම සොහොයුරා දුටු අෂ්මිල කේන්තියෙන් පුපුරමින් ඔහු වෙතට අඩි තැබුවේය. 

” තමුසෙට බය නැද්ද ලොකූ ? ආ.. ? තමුසෙට බය නැද්ද ?  තමුසේ ඒකිට කිව්වේ ගිහින් මැරියන් කියලා. ? ඒ කෙල්ල මොනාහරි කර ගත්තොත් අපි අර මිනිස්සු දෙන්නට මොනවද කියන්නේ ?” 

” තමුසෙට පිස්සුද ඕයි ? හිතේ තරහට කොහෙ හරි යන්නැති. “

ස්වරය වෙව්ලුම් කෑවද ඔහු අෂ්මිල දෙසට දෑස යොමු නොකළේය.

” ආන්ටී..! දුමීගේ ෆෝන් එක ?” 

” මං අරන් එන්නං “

” මචං..! මේ අහපන්. “

දෑතම හිස මත බැඳ ගෙන සිටින මිතුරා වෙතට ළං වූ තේජ් ඔහුගේ උරහිසට අතක් තැබුවේය. 

” සිංදුමීගේ සිද්ධිය වළලලා දාපු කුණු ගොඩක් බං. ඒක ආයේ ආයේ ගොඩ ගන්න එකෙන් කාටවත් හොඳක් වෙන්නෑ. අනික මිහිදුමී කියන්නේ මහවලතැන්න පවුලේ දරුවෙක්. ඒ කෙල්ල උනත් බය වෙන්නැති බං. උඹ මේවා දැනගත්තම ඒකිව එපා වෙයි කියලා හිතන්නැති. දෙයක් සිද්ධ උනාම ඒකේ නරක ටිකම විතරක් ගන්න පුරුදු වෙන්න එපා බං. හොඳ ටිකත් ගනින්. දුමී නිසා උඹට කොච්චර හොඳ දේවල් උනාද ? උඹම කීපාරක්නං කිව්වද උඹ ජීවත් වෙනවා කියලා දැනෙනවා කියලා. ?” 

” පව්.. ඕයි.. ඒ කෙල්ල මුගේ කකුල් දෙක අල්ලගෙන ඇඬුවා ඕයි.. හැමදේම දැනගත්තේ පස්සේ කියලා කිව්වා. දාලා යන්න එපා වස්තුවේ කිය කියම අඬද්දි මූ මහ තිරිසනෙක් ගාණට ඒකිව දාලා ගියේ. “

” ලොකූ…!” 

අෂ්මිලගේ කතාවත් සමඟම නැවත නිදන කාමරයට පැමිණි මහීකා අත තිබූ මිහිදුමීගේ ජංගම දුරකතනය තේජ් අතට දී යහන මත හිඳ සිටින වැඩිමහලු පුත්‍රයා අසල හිඳ ගත්තාය. 

” ලොකූ…! දුමී ඔයාට පිස්සුවෙන් වගේ ආදරෙයි ලොකූ. ඒක මං හොඳටම ඒ කෙල්ලගේ ඇස් දෙකෙන් දැකලා තියනවා.  අනේ.. මගේ රත්තරනේ.. වෙච්ච හැමදේම අමතක කරලා අපි දුමීව හොයාගමු. මං වෙනුවෙන් .. මං වෙනුවෙන්වත් දුමීට සමාව දෙන්න රත්තරනේ..  ඔයාට පින් සිද්ධ වෙනවා. “

මහීකා පුත්‍රයා වෙත දෑතම එකතු කරමින් හඬා වැටුණු අතර අස්නක වහා ඈ තුරුළු කර ගත්තේය. 

” මචං .. ෆෝන් එකේ පාස්වර්ඩ් එකක් තියනවනේ ?” 

” මගෙ නම “

තමාගේ පැනයට පහත් හඬින් පිළිතුරු දුන් මිතුරා දෙස බැලූ තේජ් නිහඬවම එහි තීරය ක්‍රියාත්මක කළේය. 

” යාලුවගේ නම මොකද්ද ?” 

” පියවි. “

” ශේප් එකේ අහලා බලමු. “

තේජ් එසේ පවසා දුරකතනය ගෙන සඳලුතලය දෙසට ඇවිද ගියේය. 

කෝපයෙන් ඇවිළෙමින් උන් අෂ්මිලද හිස දෑතටම බර කර ගනිමින් යහනෙන් හිඳ ගත්තේය. 

” ශනුත් එක්ක එෆෙයාර් එකක් පටන් අරන් අවුරුදු ගාණක්. කවදාවත් ශනූවත් මට දුමී තමුසෙට කතා කරනවා වගේ ආදරෙන් කතා කරලා නෑ ඕයි. කොයි වෙලෙත් මගේ අයියේ.. වස්තුවේ.. ගාගෙන හිටපු කෙල්ල. නොකිව්වට තමුසෙලා දෙන්නා දිහා බලාගෙන අපි කීදෙනෙක් හිත යටින් සතුටු උනාද කියලා දන්නවද ?” 

” මචං..! නංගි යාලුවගේ ගෙදර ගිහින් නෑ. මං කිව්වා පුලුවන් නං අනිත් යාලුවන්ගෙනුත් අහලා මොනාහරි දැනගත්තොත් කියන්න කියලා. “

පියවි අමතා යළි පැමිණි තේජ් බිඳුණු ස්වරයෙන් පැවසුවේය.

” සුභාවිට කිව්වොත් ?” 

” සුභාවිට කියනව කියන්නෙම භරණට කිව්වා වගේ තමයි. දැන් ඉතිං කරන්න දෙයක් නෑ භරණට කතා කරමු. දුමී ගෙදර ගියාද කියලත් අපි දන්නෑනේ. ඒක දැනගන්න භරණට හරි ආන්ටිට හරි කතා කරන්නම වෙනවනේ.” 

” භරණ මේ දවස්වල මෙහෙ ඉන්නේ. “

දෑසින් ගලා වැටෙන කඳුළක් කොපුල පුරා බේරී වැටෙද්දී එය මායිම් නොකර මුහුණ බිමට බර කරමින් සිටින සොහොයුරා දෙස බැලූ අෂ්මිල විසල් සුසුමක් පහළට හෙළුවේය. 

*********************************************

” යකෝ….!” 

මාරාවේශ වී පැමිණි භරණ මහවලතැන්න අස්නකගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තේය. 

” ඇයි #$% ප්‍රශ්නයක් උනා නං උඹට මට කියන්න බැරි උනේ ? ඇයි මගෙන් අහන්න බැරි උනේ ? මෙච්චර දවසක් තෝ එක්ක මං කතා නොකරපු දෙයක් තියනවද ? තෝ අර පොඩි එකීව මරන් කන්නැතුව දැනගත්තු මඟුලක් තිබ්බනං ඒක මගෙන් අහන්නෙපැයි. “

විජේසිංහ නිවස දෙදරා යන තරමට කෑ ගැසූ භරණ එතැනම තිබූ සෝපාවට කඩා වැටී දෑතම හිසට තද කර ගත්තේය. 

” මචං.. ! ම..මට සමාවෙයන්..! මං .. මං සේයාට පණ වගේ ආදරේ කළා භරණ. මේ දේවල් හැංගුවා කියලා දැනගත්තම මට කේන්ති ගියා. මං.. හිතුවේ නෑ මේ කෙල්ල මෙහෙම දෙයක් කරයි කියලා?” 

දෙනෙතින් කඩා හැළෙන කඳුළු බිඳු සියල්ලම සුරතින් පිස දමා භරණ ඉදිරියේ වූ සෝපාවට බර වූ අස්නක පැවසුවේය.

” ඒ මගේ දරුවා බං. ඒ කෙල්ල නිසයි මායි , මගේ අම්මයි ජීවත් වෙන්නේ. උඹ .. උඹ කසාද බැඳලා ඉන්නේ සිංදුමී කියලා දැනගත්තම ඒක මිහිදුමීට ලේසි උනා කියලද හිතුවේ ? දවසක් මේ ගේ ඇතුළෙදිම ඒ කෙල්ල ෆේන්ට් උනේ ඒක දැනගත්තු දවසේ. ඒක දරාගන්න බැරුව තමයි මට කතා කරලා, ගෙදර එක්ක යන්න කිව්වේ. කරන්න ඕන දේ ඒ කෙල්ල දැනන් හිටියේ නෑ. අනේ.. මාමේ මට එයාව ඕනේ. මං එයාට ආදරෙයි. ඒකි කිව්වේ එච්චරයි. ඒ කෙල්ල පුදුම විදිහට උඹට ආදරේ කළා යකෝ. ඇයි උඹට බැරි අවුරුදු ගණකට කලින් වෙච්ච දේවල් අමතක කරන්න ?  යකෝ.. ඒ මගේ දරුවා බං. දන්න කියන කිසිම තැනක ඒකි නෑ. උඹට තේරෙනවද මගේ පපුවේ තියන වේදනාව ?” 

” මචං… !” 

ඉකි ගසන භරණගේ උර මතට අත තැබූ ශමෙල් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කළේය. 

” අපි මේක ආන්ටිට ..?” 

” කියන්න එපා. කොයි ලෝකෙන් හරි දුමීව හොයාගන්නකන් මේ ගැන මුකුත් කියන්න එපා.  අම්මාගේ පපුව පැළෙයි බං. මොකාට නැති උනත් මටයි , ඒ මනුස්සයට ජීවත් වෙන්න තිබ්බ එකම හේතුව ඒක. “

විජේසිංහ නිවසේ සියල්ලන් දෙසම නොරිස්සුම් බැල්මක් හෙළූ භරණ නැවතත් එසේ පැවසුවේය. තව දුරටත් කාලය කා දැමීමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව තේරුම් ගත් ශමෙල් වහා අෂ්මිල හා තේජ් දෙසට හැරුණේය. 

” අෂ්මිල..! සීසීටීවී චෙක් කරන්න. දුමී ගෙදරින් ගිය වෙලාව හොයාගන්න. තේජ්..! දුමීගේ යාළුවෝ හැමෝටම කෝල් කරන්න. “

” භරණ..! මේ අහන්න..!  තිරිසනෙක් දිහා බලන විදිහට මගේ දිහා බලන්න එපා. අක්කවයි , නංගිවයි දෙන්නවම කසාද බැඳගත්තු මිනිහෙක් කියලා මගේ නම ඈඳෙන එක දරාගන්න පුලුවන් දෙයක්ද භරණ ? අක්කවයි , නංගිවයි දෙන්නවම යූස් කරන්න තරම් මං බාල මිනිහෙක් නෙමෙයි. මං.. මං.. දුමීට ආදරෙයි භරණ. ඔයාට , ආන්ටි විශාඛාට වගේම මටත් දෙවෙනි පාරට ජීවිතයක් දුන්නේ එයා. රිදෙන්නැද්ද භරණ ? මං හැංගෙන්න , වළදාන්න ට්‍රයි කරන මගේ ජීවිතේ නරකම දේ මගෙ ඇස් ඉස්සරහට ආයේ ආයේ එද්දි මට රිදෙන්නැද්ද භරණ ? මගේ ජීවිතේ හොඳම කාලෙන් බාගයක්ම විනාස උනා. හැමදේම ආයේ මුල ඉඳන් පටන් අර ගන්න හදනකොටම ආයේ මං මවපු මගේ හීන ඔක්කොම කකුල් දෙක ඉස්සරහා කඩන් වැටෙද්දි මට රිදෙන්නැද්ද භරණ.? මට රිදුණා. සෑහෙන්න රිදුණා. මගේ වචන මටම කන්ට්‍රෝල් නැති උනා. ඇහැටවත් නොපෙනී ගිහින් මැරෙන්න කියලා එයාට කිව්වට ඇත්තටම එහෙම දෙයක් කරගන්න තිබ්බේ මට. “

හිස හරවා දෑස උරහිසේ තවරා තමා තුළ සහ තම ස්වරූපයේ වූ වංශවත් බව සම්පූර්ණ බිමට සමතලා කර දැමූ තරුණයා අන්‍ත අසරණ භාවයකින් යුක්තව කඳුළු බිඳු පිස දැමුවේය. ඔහු පවසන සියල්ල සවන වැකුණද ඒ කිසිවකට පිළිතුරු නුදුන් භරණ වේදනාබර උවනින් හිස් අවකාශය දෙසට මුහුණ දී සිටියේය. 

ගෙමිදුලට බට ශමෙල්  තම දුරකතනය ගෙන තවත්  ඇමතුමක් හා සම්බන්ධ වූයේය. 

” හෙලෝ.. දිසා ..! උඹ ස්ටේශන් එකේද ? ගෙදරද ?” 

………….

” පොඩි හදිස්සියක්. ඔව් … ඔව්..”

එසේ පවසමින් ඔහු වේගයෙන් තවත් ඉදිරියට අඩි තැබුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here